Saturday, September 19, 2009

අද නිදහස් මෘදුකාංග දිනයයි...

අද ගොඩාක් වැදගත් දවසක්. හේතුව ඔයාලා දැනටමත් දන්නවා. අද (2009-09-19) ලෝක නිදහස් මෘදුකාංග දිනයයි... එහෙම නැත්තම් Software Freedom Day කියන්නේ අදටයි.
මේ ලිපියෙන් මම අදහස් කරන්නේ නිදහස් මෘදුකාංග දිනයේ ඉතිහාසය ගැනවත් ඒකේ වැදගත් කම ගැනවත් ලියන්න නෙමෙයි. ඒ ගැන විස්තරයක් වෙන වෙලාවක දාන්නම්. මගේ මේ උත්සාහය නිදහස් මෘදුකාංග දිනය ගැන මට හිතෙන දේවල් කියන්නයි.

මීට හරියටම අවුරුද්දකට කළින් තමා මම නිදහස් මෘදුකාංග ගැන ඉස්සෙල්ලාම දැනගත්තේ. ඒ ගැන මම මගේ පලවෙනි බ්ලොග් පෝස්ට් 1න්ම කිව්වා. එදා ඉදලා අද වෙනකම් නිදහස් මෘදුකාංග වලින් මට දැනිච්ච දේවල් ටිකක් කියන්නම්.

අනුන්ගේ මෘදුකාංග හොරට පාවිච්චි කරපු මම ඔරිමජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න පටන්ගත්තේ FOSS එහෙමත් නැත්තම් නිදහස් මෘදුකාංග නිසා තමයි. ඒක මම බොහොම ආඩම්බරෙන් කියනවා. අද මම පාවිච්චි කරන්නේ ඔරිජිනල් මෘදුකාංග. ඒවා නිදහස්. නිකම් දෙනවා විතරක් නෙමේ ඕනේනම් කැමති විදියට වෙනස් කරගන්න කේතත් දෙනවා. මම ඒ එක කේතයක්වත් වෙනස් කරලා මට කැමති දේ කළේ නෑ. ඒත් ලෝකේ ගොඩාක් මිනිස්සු ඒක කරනවා කියලා මම දන්නවා. එහෙම කරලා නිකම් ඉන්නේ නෑ. වඩාත් යහපත් දෙයක් සාමාජෙට දෙනවා.

ලිනක්ස් කර්නල් 1 ලෝකෙට හදුන්වා දුන්න ලීනස් ටෝර්වල්ඩ්ස් වගේම නිදහස් මෘදුකාංග සංකල්පය ඇතිකළ රිචඩ් ස්ටෝල්මන් ඇතුලු FOSS මිනිස්සු දෙවිවරු නෙමේ. ඒත් සෑහෙන්න උතුම් අරමුණක් වෙනුවෙන් එයාලා කැපවුනා. ඒකේ ප්‍රතිපල තමා අද මම මේ විදින්නේ.

බිල් ගේට්ස්ට සිහිනයක් තිබුනා. ඒ ලෝකේ පාවිච්චි කරන හැම කොම්පියුටරේකම වින්ඩෝස් OS 1ත් මයික්‍රොසොෆ්ට් මෘදුකාංගත් වැඩකරනවා දකින්න. ගේට්ස් ඒ සිහිනේ යතාර්තයක් කරගත්තා. ඒත් ඒ ලෝකේ නිදහස නෑ.

නිදහස් ලෝකයක් තියෙනවානම්, ඇයි බලාගෙන ඉන්නේ?

නිදහස් මෘදුකාංග ජනප්‍රිය කරමු. මෘදුකාංග නිදහස අගයමු.

නිදහස් මෘදුකාංගවලට ජය වේවා...