Wednesday, July 15, 2015

මම ෆෝන් එකෙන් ෆේස්බුක් නොයන්නේ ඇයි | Y No Facebook



විසිඑක්වන සියවසේ ඇඟට හානියක් කරගන්නෙ නැතුව මත් වෙන්න පුළුවං දේවල් මොනවාද කියලා මගෙන් ඇහුවොත්, මම අංක එකට දෙන උත්තරේ තමයි ෆේස්බුක්... මට හිතෙන විදියට ෆේස්බුක් කියන දේ හෙරොයින්, හෆීෂ්, එක්ස්ටසි වලට එහා ගිය මත්කාරකයක්... එකම දේ, ෆේස්බුක් ලීගල්... රටේ ජනාධිපතිගේ ඉඳං ඉස්කෝලේ 5වසරේ ඉන්න එකා දක්වා ෆේස්බුක් යනවා... ෆේස්බුක් ගියා කියලා පොලීසියෙන් අල්ලන්නේ, නඩුදාන්නේ, හිරේ දාන්නේ නෑ... අනිත් මත්කාරක ඒවා එහෙම නෙමේ... ඒවා පාවිච්චි කළොත් පොලිස් කූඩූවේ ඉඳලා හිර කූඩුව දක්වා දිග ගමනක් යන්න හේතු වාසනා වෙනවා...

මම ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවේ 2011 ජනවාරි මාසෙදි... මේ වෙද්දි අවුරුදු හතරහමාරකට වැඩි කාලයක් මම ෆේස්බුක් එකේ ඉඳලා තියෙනවා... ෆේස්බුක් වෝල් එකේ ඔහේ උඩට පල්ලෙහාට යන්න, ස්ටේටස් අප්ඩේට් කරන්න, චැට් කරන්න, එක එක මලවිකාර ලයික් කරන්න, ශෙයා කරන්න, ෆොටෝ අප්ලෝඩ් කරන්න, ඒවා ටැග් කරන්න, ෆොටෝවලට කමෙන්ට් කරන්න, රට හදන්න, වීඩියෝ අප්ලෝඩ් කරන්න, වීඩියෝ බලන්න, මෙකී නොකී ෆේස්බුක් එකේ කරන ගොඩාක් වැඩවලට වියදං කරලා තියෙන පැය ගාණ මෙච්චරයි කියලා මට කියන්න තේරෙන්නේ නෑ... හැබැයි සාමාන්‍යයෙන් දවසකට පැය 6ක් 7ක්වත් ඔය දේවල්වලට මම වෙලාව ගතකරනවා... කවුරු හරි කියන්න පුළුවං,අපරාදේ ෆේස්බුක් හිටිය වෙලාවේ වෙන දෙයක් කළානං කොච්චර එකක්ද කියලා... එක පැත්තකට ඒක ඇත්ත... හැබැයි ෆේස්බුක් ඇවිත් ඔය දේවල් කරන එකෙං මම මාර ආතල් එකක් ගත්තා... දැනුත් ගන්නවා... 

ඉස්සර ඉන්ටර්නෙට් යන්න කොම්පියුටර්ම පාවිච්චි කළාට, තාක්ෂණේ දියුණුවත් එක්ක මොබයිල් ෆෝන්, ටැබ් සහ වෙන වෙන උපාංගවලින් ඉන්ටර්නෙට් යන පහසුකම අපිට ලැබුනා... ඒකෙදි ඉන්ටර්නෙට් යන්න තියෙන ලේසිම උපාංගය තමයි මොබයිල් ෆෝන් එක... ලෝක ජනගනයෙන් දොළහෙන් එකකටත් වැඩි තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් බොහෝ දෙනෙක් ෆෝන් එකෙන් ෆේස්බුක් එන බව දැනගත්ත ෆේස්බුක් ආයතනය ෆේස්බුක් එන්න ලේසිකරන්නම වෙනම ඇප් එකක් හැදුවා මොබයිල් ඩිවයිස්වලටම... අද වෙනකොට මිලියන 200කට වඩා ජනතාවක් ෆේස්බුක් එන්නේ මොබයිල් වලිං විතරයි... 

මම ස්මාට්ෆෝන් එකක් පාවිච්චි කරන්න පටං අරගෙන අවුරුද්දකට කිට්ටු කාලයක් උනත් තවම එක දවසක්වත් ෆේස්බුක් ‍යන්න ෆෝන් එක පාවිච්චි කළේ නෑ... ඉස්සරහට එහෙම කරයි කියලා හිතන්නෙත් නෑ... ඒකට හේතු මොනවද?


ඒ ගැන කියන්න තමයි මේ බ්ලොග්පෝස්ට් එක ලියන්නේ...
හේතු මේ විදියයි...

1. කාළකණ්නි උනා ඇති...
මම කළිනුත් කිව්ව විදියට, කොම්පියුටරෙන් ෆේස්බුක් ඇවිත් විනාස කරගත්ත සහ ඉස්සරහටත් ඒ විදියට විනාස කරගන්න නියමිතව තියෙන කාලය ඉතා විශාලයි... ආයේ ෆෝන් එකෙනුත් ඒ පැය ගාණ වැඩිකරන්න ඕනේ නෑ... 


2. ඩේටා වියදම වැඩියි...
අපේ රටේ අන්තර්ජාල සේවා සපයන්නංගෙන් ලබාගන්න මොබයිල් ඩේටා බන්ඩල්වලට වියදං කරන සල්ලි, අවුරුද්දක් ඉතුරු කළානං, සෙකන්ඩ් හෑන්ඩ් බජාජ් පල්සර් එකක් ගන්න පුළුවං... 


3. අනිත් අය දකින නිසා...
ලෝකේ ජීවත් වෙන ගොඩාක් මිනිස්සුංට තියෙන (කැත) පුරුද්දක් තමයි එහා පැත්තේ මනුස්සයාගේ ෆෝන් එකට එබිලා, ඒ මනුස්සයා කරන්නේ මොනවද බලන එක... ඔය (කැත) පුරුද්ද අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තියෙනවා... මගේ ෆේස්බුක් වෝල් එක මට පෞද්ගලික දෙයක්... ඉතිං පොදු ස්තානයක ෆේස්බුක් එකේ රස්තයාදු වෙද්දි, අහළ පහළ ඉන්න ජනීජනයා ඒකේ ඕපදූප බලනවට මම කැමති නෑ... 


4. ෆෝන් එකේ බැටරිය...
ස්මාට්ෆෝන්වල බැටරිය බහින ස්පීඩ් එක ගැන ආයේ අලුතෙන් කියන්න දෙයක් නෑනේ... පැය 15ක් 16ක් තියෙන චාර්ජ් එක පැය 8ට 10ට අඩුකරගන්න මට ඕනේ නෑ... 


5. බිසී වෙන්න අවශ්‍යවීම...
අපි හැමෝම ආසයි හෙණ බිසී වෙන්න... ෆේස්බුක් එකේ තියෙන වැඩ කන්දරාව නිසා අපිට සෑහෙන්න බිසී වෙන්න පුළුවං... ෆෝන් එක එක්ක බිසී වෙනවට වඩා කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා එහෙම බිසී වෙන්න මම ආසයි...


ප්‍රධාන වශයෙන්ම ඔය හේතු නිසා තමයි මම ෆෝන් එකෙන් ෆේස්බුක් එන්නේ නැත්තේ... 

හරි, දැං ෆෝන් එකෙන් ෆේස්බුක් නොයා ඉතුරු කරගන්න වෙලාවේ මම මොනවද කරන්නේ? මේක කියවන ඔබට ඊළඟට එන ප්‍රශ්නේ තමයි ඒක... 

මම ගොඩාක්ම ෆෝන් එක පාවිච්චි කරන්නේ පාරේදි. බස් එකේ, කෝච්චියේ යන වෙලාවට... ඒ වගේම බස් හෝල්ට්, කෝච්චි ස්ටේෂන්වල ඉන්න කොට... ඒ වෙලාවට ෆේස්බුක් වෙනුවෙට ෆෝන් එකෙංම කරන්න දේවල් ටිකකුත් හදාගන්න මට පුළුවං උනා... 

1. PDF කියවන එක...
සිංහල සහ ඉංග්‍රීසි පොත් කියවන්න පටං ගත්තා... දැනටත් බාගෙට කියෙව්ව, භාෂා දෙකෙන්ම ලියවෙච්ච, මාතෘකා 10ක විතර පොත් ෆෝන් එකේ තියෙනවා... 


2. ඉන්ටර්නෙට් යන්න...
නොදන්න දේවල් ඉන්ටර්නෙට් එකෙන් හොයන්න පුරුදු උනා... හදිස්සියේ මතක් වෙන නොදන්න දේවල් ගැන ඉන්ටර්නෙට් එකේ තියෙන විස්තර දැකබලාගන්න ඒ වෙලාව පාවිච්චි කරනවා... 


3. බ්ලොග් පෝස්ට් ලියන්න...
ඉස්සර කොම්පියුටරේ ළඟ නැති වෙලාවට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනම කළේ ඒක මතක තියාගෙන ඇවිත් කොම්පියුටරෙන් ටයිප් කරපු එක... හැබැයි දැං එහෙම නෙමෙයි... මම අන්තිමට ලිව්ව බ්ලොග් පෝස්ට් ඔක්කෝම කුරුටුගෑවේ ෆෝන් එකෙන්... හැම එකක්ම ලිව්වේ පොදු ප්‍රවාහන සේවාවල යද්දි එද්දි... මේ බ්ලොග් එකේ තියෙන ජංගම සිතුවිලි, N5, Mobile Thoughts කියන ටැග් දාලා තියෙන්නේ එහෙම ෆෝන් එකෙන් කුරුටු ගෑව පෝස්ට්වලට...
සරළ උදාහරණයක් පෙන්නනවානං, මේ පෝස්ට් එක ටයිප් කරන්නෙත් ෆෝන් එකෙන්... 


4. ඉස්සර කියෙව්වේ නැති ඊමේල් කියවන්න...
ගොඩක් වෙබ්සයිට්වලට ගියාම ඒ සයිට්වලට සබ්ස්ක්‍රයිබ් වෙන එක මගේ සිරිතක්... ඉස්සර නං එව්වගෙන් එන නිව්ස්ලෙටර් කියවන්නේම නැති තරං... හැබැයි දැං ඒ ඊමේල් හැම එකක්ම වගේ කියවනවා... 


5. පත්තර සහ නිව්ස් බලන්න...
දැං දවසේ පත්තර ඔක්කෝම කියවන්නේ ෆෝන් එකෙන්... නිව්ස් වෙබ් සයිට් හැම එකකම තියෙන නිව්ස් බැලිල්ලත් එහෙම්මම තමයි... 


6. ෆෝන් එකේ ඔප්ෂන් එක්ක සෙල්ලං කරන්න...
මගේ ෆෝන් එකේ තියෙන වැඩ කෑලි මොනවද කියලා ටෙස් කරලා බලන එක... 


7. වෙනත් සෝෂල් මීඩියා ඇසුරු කරන්න...
සෝෂල්මීඩියා කිව්වම ඒකට ගොඩාක් වෙබ් සයිට් අයිතියි... ෆේස්බුක් කියන්නේ එකක් විතරයි... ටුවිටර්, ලින්ක්ඩින් , ගූගල් +, පින්ටරෙස්ට්, ඉන්ස්ටග්‍රම්, වයිබර්, වට්සැප්, යූටියුබ් වගේ සෝෂල්මීඩියා සයිට්වල මම දැං නිතරම රස්තයාදු වෙනවා...


ෆෝන් එකෙන් ෆේස්බුක් යන එකට වඩා නොයන එකෙන් ලැබෙන වාසි වැඩියි කියන එක තමයි මගේ අදහස... ෆෝන් එකෙන් නෙමෙයි මොකෙන්වත් ෆේස්බුක් නොයා ඉන්න පුළුවංනං කියලා වැඩක් නෑ... හැබැයි ෆේස්බුක් එකට ඇබ්බැහිවෙලා, ඒකෙන් මත්වෙලා ඉන්න මම කොහොම ඒ මතෙන් මිදෙන්නද... 

ෆෝන් එකෙන් ෆේස්බුක් නොයා ඉන්න එක හරි සන්තෝසජනක වැඩක්... පුළුවන්නං උත්සාහ කරලා බලන්න... 
ජයවේවා!!!