Wednesday, December 5, 2012

පොලිසියෙන් ආවා!!! | When Cops came!!!

ඊයේ අපේ ගෙදරට පොලීසියෙන් ආවා. කට උත්තරයක් ගන්න. මම හොරකමකට මංකොල්ලෙකට ස්ත්‍රී දූෂණයකට සැකකාරයා වෙලා එහෙම නෙමෙයි. පාරිසරික ප්‍රශ්ණ...

කතන්දරේ මෙහෙමයි...
අපේ ගෙදර තියෙන්නේ ගමේ පිට්ටනිය ළඟ. පිට්ටනිය ළඟ කියන්නේ පිට්ටනියට අල්ලපු වැට අපේ ගෙදර. නිවාස සංකීර්ණයක් නිසා ඒක ටිකක් ලොකු පිට්ටනියක්. මේ පිට්ටනියේ අවුරුද්දට සැරයක් දෙකක් කානිවල් පවත්වනවා... එක එක ආයතන, සංගම්, පදනම්වලින්. ඒ අයගේ අරමුදල් තර කරගන්න, සුභසාධන වැඩවලට වගේ දේවල් වලට. ඒ කානිවල් දවස් දෙක තුනක් තිස්සෙම තියෙනවා. ඒවගේ ප්‍රධානම අංගයක් තමා මහා සංගීත රාත්‍රිය. ඇත්තම කියනවානං, කානිවල් එකේ ලාභය හෝ පාඩුව තීරණය කරන සාධකේ තමා ඔය සංගීතේ. සංගීතයක් බලන්න අඩුම තරමේ දාහක් දෙදාහක් එන නිසා ඒක ටිකක් ලාභදායක වැඩක්...

මේ මාසේ අග හරියට වෙන්න, ආයෙත් තියෙනවා ලොකු කානිවල් එකක්. දවස් 3ක. සංගීතත් 03ක්ම තියෙනවා. නමගිය සංගීත කණ්ඩායම් 3ක් එන්නේ. සෙනඟ ඉඳියි වකාරෙට. හොඳ ලාබෙකුත් තියෙයි.

දැං ඇයි අපේ ගෙදරට කට උත්තර ගන්න පොලීසියෙන් ආවේ. අපි නෙමේ කානිවල් එක සංවිධානය කරන්නේ. එහෙනං මොකක්ද මේ කටඋත්තරේ. මේකයි වැඩේ. සංගීත සංදර්ශනයක් කියන්නේ ලොකු ඝෝෂාවක්. ඒ ඝෝෂාව ඇතිකරන්නේ ලොකු ස්පීකර්, බෆල් වලින්. මේ ස්පීකර්, බෆල් තමන්ට හිතූමනාපෙට දාන්න බැහැ. නීතියෙන් අවසර ගන්න ඕනේ. ඒ කියන්නේ පර්මිට් එකක් ගන්න ඕනේ. අවසරේ දෙන්නේ පොලිසිය. කොට්ඨාශය භාරව ඉන්න සහකාර පොලිස් අධිකාරීතුමාගෙන් තමා අවසරේ ගන්න ඕනේ. ඒකෙත් ලොකු වැඩ සටහනක් තියෙනවා. බෆල් කොච්චර දානවද? සද්දේ ඩෙසිබල් කීයද? ඔය වගේ ලොකු ප්‍රශ්ණ පත්තරයක්. ඒවට උත්තර බඳින්න ඕනේ සංගීතය සපයන අය. අපි ඒ ගොඩට අයිති වෙන්නෙත් නැහැ. එහෙනං මොකටද අපෙං කට උත්තර?


මේ ඝෝෂාකාරී ශබ්ද නිසා අසල්වැසියන් වෙන අපිලු අගතියට පත්වෙන්නේ. අපි එහෙම අගතියට පත්වෙනවට කැමතිද නැද්ද කියලා සහසුද්ධෙන්ම දැනගන්නයි කට උත්තරේ ගන්න ඇවිත් තියෙන්නේ.

ඊයේ කට උත්තරේ දෙන්න සෙට් උනේ මම. පොලිස් පොර මගෙන් අහනවා, සංගීත සංදර්ශනේට විරුද්ධද නැද්ද කියලා. මම ගත්ත කටටම කිව්වා, අනේ අපේනං කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා.

හේතු මෙන්න මේවයි.
පළවෙනි එක,  අපේ ගමට විතරක් නෙමේ, අහළ පහළ ගම්මාන කීපයකටම පිට්ටනියකට කියලා තියෙන්නේ මෙච්චරයි. ඉතිං අහළ පහළ ඉස්කෝලෙක ආදි ශිෂ්‍ය කණ්ඩායමක්, ඉස්කෝලේ සුබ සිද්ධියට කානිවල් කරනවානං, ඒක කරන්න එයාලට තියෙන්නෙත් මේ පිට්ටනියම  විතරයි. ඉතිං අපිට සද්දයි කියලා ඒ වගේ දේකට විරුද්ධ වෙන එක සදාචාර සම්පන්න නැහැ.

දෙවෙනි එක, කානිවල් සහ ඔයවගේ දේවල්වලට පිට්ටනි පාවිච්චියට ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒකේ තහනමක් නැහැ. ඉතිං අපි දැනගන්න ඕනේ කානිවල් වගේ දේවල්වලට අකමැතිනං, පිට්ටනි ළඟ ගෙවල් නොගෙන ඉන්න. වැරැද්ද අපේ. පිට්ටනියක් ළඟ ගේ තියාගෙන, කොල්ලෝ ක්‍රිකට් ගහද්දි බෝලේ ගෙදර වහලෙට වදිනවා කියලා උං එක්ක ගෝරි දාගන්න එක ගොං පාට් එකක්. මේවගේ දේකටත් එහෙම විරුද්ධ වෙනවා කියන්නේ අර ගොංපාට් එකේම දිගුවක්.

ඊළඟ එක. අවුරුද්දේ හැමදාම මෙතන කානිවල් තියන්නේ නැහැ. උපරිම, මුළු අවුරුද්දටම දවස් 10ක් තියෙයි. නමුත් ඒකෙන් සන්තෝස වෙන සංඛ්‍යාව ගොඩක්. සංගීතයක් ගත්තොත්, ඒකේ කඩල විකුණන, සාරවිට විකුණන මිනිහගේ ඉඳලා, සිංදු කියන අයගේ ඉඳලා, සංවිධායකයෝ වෙනකම්ම කට්ටිය ජීවත් වෙන්නේ ඒකෙන්. ඒ වගේම ඒක බලන්න ඇවිත් සන්තෝසවෙන, නටන, බොන්න සෙට් වෙන, තව වෙන වෙන සබ්ජෙක්ට්වලට සෙට් වෙන උදවිය කොච්චරක් ඉන්නවද. අපිට දවස් 03ක් නිදාගන්න නැහැ කියලා ඇයි අපි ඒ අයගේ ආතල් කඩන්නේ. මට අනුව ඒක හෙණ අසාධාරණයි.

දැං සමහරවිට  කව්රු හරි තර්ක කරන්න පුළුවං පාඩම් කරන ළමයි, ලෙඩ්ඩු, ගැබිණි මාතාවන්, අලුත ඉපදිච්ච පොඩි ළමයි ගැන කියලා. ඒත් මම ආයෙත් කියන්නේ, අපි සොහොනේ ගෙවල් හදන්න ඕනේ, ජීවත් වෙන්න වෙන්නේ යක්කු එක්ක තමා කියලා දැනගෙනම. නැතුව සොහොනේ ගෙයක් ලොකුවට ලස්සනට හදලා, ආනේ "මෙතන ඉන්න අසල්වැසියෝ යක්කුනේ" කියලා තැවෙන එක ගොංපාට් එකක්.

ඊටත් අමතරව, දැං පිට්ටනිය වටේම ඉන්න හැමෝම මේකට පට්ටෙට විරුද්ධ උනා කියමුකෝ. එහෙම විරුද්ධ වෙලා පොලිස් පොත පිරෙන්න කට උත්තර දීලා තියෙද්දි, සංවිධායක මණ්ඩලේ උදවිය දේශපාලක පොරක් අල්ලලා, DIG ලෙවල් එකේ පොලිස් ලොක්කෙක්ගෙං ඕඩර් එකක් අරගත්තොත් පර්මිට් එක ගන්න කියලා, අපිට නිකං හිතේ අමාරුව හැදෙන එක සහ රට ජාතිය ගැන කළකිරීමක් ඇතිවෙන එක විතරයි වෙන්නේ. මොකෝ අපි නොදන්නවායැ රටේ වැඩ කටයුතු සිද්ධ වෙන සිස්ටම් එක...

ඔන්න ඔය ටික මම පොලිස් බුවාට කිව්වා. ඔයා කැමති දෙයක් ලියාගන්න කියලත් කිව්වා. පැහැදිලිව ලියන්න කිව්වා "මේ සංගීත රාත්‍රීන්ට අපේ(පෞද්ගලිකව අපේ ගෙදර කිසිවෙකුගේ) කිසිම විරෝධයක් නැහැ" කියලා. මම සහසුද්ධෙන්ම දන්නවා පොලිස් බුවා මගෙන් ඔයවගේ දෙයක් බලාපොරොත්තු උනේ නැහැ කියලා. ඒත් ඉතින්ග් මොනා කරන්නද. මම ඇත්තම කිව්වා...

පොලිස් බුවත් මාර කතාවක් කිව්වා. දැං මේ කට උත්තරේ ගන්න යන ගෙවල්වලින් හැමෝම වගේ ඔහොම කියනවළු. හැබැයි රෑ 12 පනිද්දී වන් වන් නයින් (119) කෝල් කරලා කියනවළු සද්දේ වැඩියි, අරකයි මේකයි කියලා. ඊට පස්සේ වන් වන් නයින් (119) එකෙන් ගමේ පොලීසියට කතා කරලා කියනවළු සංගීතයක්, අසල්වැසියන්ට කරදරයි, ගිහිං බලලා පිළියමක් කරන්න කියලා. මගෙන් අහනවා ඒකට මොකද කරන්නේ කියලා. මම මොනා කරන්නද ඒකට. මම කතා කරන්නේ නැහැ කොහොමත් ඔය මොකකටවත්.
ඒ පාර මම පොරට කිව්වා, "මම සහතික වෙනවා අපේ ගෙදරින් කිසිම කෙනෙක් එහෙම වන් වන් නයින් (119) එකට කෝල් නොකරන බවට, අනිත් මිනිස්සු ගැන කියන්න මම දන්නේ නැහැ, මට වගකීමක් ගන්නත් බැහැ, ඔයාලා ඒක ඒ ගෙවල්වල අය එක්ක බලාගන්න" කියලා. අනිත් එවුංගේ ටෙලිෆෝන් කෝල් ගැන හොයන්න මට වෙන වැඩ නැතුවයැ...


අවසානේ මේකයි.
පිට්ටනියක් ළඟ නං අපේ ගෙදර තියෙන්නේ, අපිට පෞද්ගලිකව කොච්චර කරදරයක් වදයක් කරච්චලයක් උනත්, ඒකත් එක්ක බැඳිලා තියෙන ක්‍රියාකාරකම්වලට අකමැත්තෙන් හරි අපිට එකඟ වෙන්න වෙනවා. අපි පෞද්ගලිකව ඒකට කැමති නැත්තං, අපිට කරන්න තියෙන හොඳම වැඩේ, පිට්ටනියක් පේන තෙක්මානෙක නැති, නිස්කලංක පරිසරයකින් ගෙයක් හදාගෙන පදිංචි වෙන එකයි. නැතුව පිට්ටනියේ එක එක ඉවෙන්ට් සංවිධානය කරන එවුංට බාල්දි පෙරලන එක නෙමෙයි.

සංවාදයට විවෘතයි...