Showing posts with label කඩේ යාම. Show all posts
Showing posts with label කඩේ යාම. Show all posts

Thursday, May 5, 2016

නිහඬ වැඩකාරයෝ | The Unsung Heroes | 2016



සයිබර් සිහින බක්මහ උළෙල පහුගිය අප්‍රේල් 30 සෙනසුරාදා දවස පුරාම වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වුනා. බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කමෙන්ට් කරන සහ ඒ මොනවත්ම නොකරන සහ ඊට අමතරව ෆේස්බුක් සහ අනෙකුත් සමාජ ජාලවල ක්‍රියාකාරී බොහෝ පිරිසක් එදා දවස තමන්ගේ ජීවිතේ අමතක නොවෙන සුන්දර මතකයන්ගෙන් පිරිච්ච දවසක් බවට පත්කරගත්තා. අකුරුවලින් විතරක් දැනගෙන හිටිය අයව හැබැහින් දැකලා අඳුනගත්තා. තිබ්බ හිතවත්කම් වැඩි කරගත්තා. අමනාපකම් නැතිකරගත්තා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම සන්තෝසජනක දවසක්...

ඒ වගේම අවුරුදු උත්සවේට ආපු බොහෝදෙනෙක් ඒ වෙනුවෙන් සටහන් එක්කරලා තිබ්බා. ස්තූති ප්‍රශංසා වගේම සාධනීය විවේචනත් තිබුණා. ඒ හැම දෙයක්ම බොහොම ස්තූති පූර්වකව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අපි භාරගන්නවා. විශේෂයෙන්ම ඔබ පෙන්වා දුන්න ඒ අඩුපාඩු සම්පූර්ණ කරගත්තනම්, අවුරුදු උත්සවේ මීට වඩා සාර්ථකව පවත්වන්න තිබුණා. ලබන වතාවකදී ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න සංවිධායක මණ්ඩලේ උත්සාහ ගනීවි...

පළවෙනිම දේ, මෙදාපාර අවුරුදු උත්සවේ පවත්වන්න කිසිම කෙනෙක්ට කිසිම ආකාරයක බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලේ හිටිය බොහෝ දෙනෙක් මේ පාර අතිශය කාර්යබහුල වෙලා හිටිය හින්දා, අවුරුදු උත්සවේ සංවිධානය නොකර ඒ වෙනුවට වෙන මොකක් හරි දෙයක් කරමු කියලයි හිටියේ. හැබැයි ඒ තීරණේ වෙනස් උනා එකම එක දුරකතන ඇමතුමකින්. ඒ දුරකථන ඇමතුම දුන්නේ වැපා, එහෙම නැත්තං වැප් නිශාන්ත. 

කෝල් එක දීලා වැපා ඇහුවේ මෙච්චරයි, "අඩෝ, මේ පාර අවුරුදු උත්සවේ අපි සෙට් වෙලා කරමුද?". වෙන කෙනෙක් ඇහුවනං බොහෝ වෙලාවට මම දෙන උත්තරේ බොහොම සරළයි. ඒත් මොකක් හරි හේතුවක් නිසා වැපා වගේ එකෙක් (ඒ කුලකෙට අහුවෙන තව කීපදෙනෙක් ඉන්නවා) මොකක් හරි කරමු කිව්වම බෑ කියනන බැරි තත්ත්වයක් තියෙනවා. "හරි බං, කරමු!" ඒක තමයි මම දුන්න උත්තරේ. 

ඊට පස්සේ අපි කළේ සංවිධායක මණ්ඩලේ කට්ටියව ෆෝම් කරලා ගත්ත එක. ඒක මහ අමාරු වැඩක් උනේ නැහැ. ගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලේ හිටිය බොහෝ දෙනෙක් මේ පාරත් ස්වේච්ඡාවෙන් සහ බොහොම උනන්දුවෙන් වැඩේට සෙට් උනා. වෙන වාරවලදී සංවිධායක මණ්ඩලේ කට්ටිය රැස්වීම් වාර දෙකතුනක් පවත්වලා තව ඔන්ලයින් මේල් ත්‍රෙඩ්, ෆේස්බුක් ගෲප් චැට් සහ මෙකී නොකී විදි බොහෝමයකට සන්නිවේදන වැඩ කටයුතු සිදු කරනවා. ඒත් මේ පාර හරිම වෙනස්. ෆේස්බුක් ගෲප් චැට් එකක් තුළදී තමයි මේ හැම දෙයක්ම සිදු කළේ. වැඩ බෙදාදීම, අදහස් ප්‍රකාශ කිරීම, අනං මනං සේරම උනේ ගෲප් චැට් එකේදී. ඒකත් හරි ශෝක් අත්දැකීමක්.

ඒ වගේම අවුරුදු උත්සවේ සංවිධානය කරන්න වගේම එදා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණයට ආව ඔබ සැම වෙනුවෙන් එහෙම සුන්දර අත්දැකීමක් ගේන්න තිරය පිටිපස්සේ ඉඳං මහන්සි වෙච්ච පිරිස බොහෝමයි. විශේෂයෙන්ම දිවා රෑ නොබලා, තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැපකරගෙන, කිසිම ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී, හුදෙක් අනිත් අයගේ සතුට වෙනුවෙන් මහන්සි වෙච්ච බොහෝ දෙනෙක් සංවිධායක මණ්ඩලේ හිටියා. ස්තූති ප්‍රශංසා බොහොමයක් තිබ්බත්, ඒ හැම එකක්ම පොදුවේ සංවිධායක මණ්ඩලේ ගිණුමටයි බැරවුනේ. එහෙම වෙද්දි සංවිධායක මණ්ඩලේ තිරෙන් පිටිපස්සේ හිටිය පිරිස හඳුන්වා දෙන එක අපේ යුතුකමක්. ඉතිං පෙරහැරේ යන්නේ නැතුව කොට ඇද්ද අලි ටික හඳුන්වා දෙන්නයි මේ සටහන වෙන්වෙන්නේ.



වැපාගේ මැදිහත්වීම නොවෙන්න මේ පාර අවුරුදු උත්සවේ සිදුවෙන්නේ නැහැ. නොකරන්න හිටිය අවුරුදු උත්සවේ කෙරුණේ වැපා නිසා. වැපාගේ ඒ මැදිහත්වීම නියමයි.

සසිඳු තමා මෙදාපාර මෑන් ඔෆ් ද මැච්. ඒ වගේම සංවිධායක මණ්ඩලේ ජීවය... සංවිධායක මණ්ඩලේ වෙනුවෙන් හදල තිබ්බ ෆේස්බුක් ගෲප් එක සජීවීව තියාගත්ත එක්කෙනෙක් තමයි සසිඳු. හැමෝටම වැඩ කටයුතු භාරදීලා, ඒවා හරියට වෙලාවට කෙරෙනවද කියලා හොයලා බලලා, නොකෙරෙනවානං අදාල පාර්ශව දැනුවත් කරලා, වැඩේ හරියට ගෙනියන්න ලොකු බරක් ඇද්ද කෙනෙක්. විශේෂයෙන්ම පණිවිඩ සැපයීමේදී සසිඳු දක්වපු සම්බන්ධීකරණ හැකියාව විශිෂ්ඨයි. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවේ දවසේ උනත්, තමංගේ පෞද්ගලික විනෝදය එහෙම් පිටින්ම අමතක කරලා, වැඩේ වෙනුවෙන් උපරිම කැපවීමක් දුන්නේ සසිඳු. කොටින්ම කියනවානං අවුරුදු උත්සවේ වෙලාවේ එක එක දේවල් ගේන්න ගෙනියන්න සසිඳු එහේ මෙහේ දිව්ව අවස්ථා ගාන මට ඉලක්කමෙන් මතක නෑ. එච්චරකට සසිඳු දිව්වා. 



ගයාන් අවුරුදු උත්සව කීපයකදීම සංවිධායක මණ්ඩලේ හිටිය පළපුරුදු සංවිධායකයෙක්. ඒ වගේම මේ අවුරුද්දෙත් අපේ නිල මුද්‍රණ සහකරු. ගයාන්ගේ වැඩ කොච්චර කොලිටිද කියනවානං, 2014 අවුරුද්දේ අපි පාවිච්චි කරපු ඩිජිටල් ප්‍රින්ට් බැනර්, අදටත් ඒ විදියටම අපිට පාවිච්චි කරන්න පුළුවං උනා. මේ අවුරුද්දෙත් අවුරුදු උත්සවය වෙනුවෙන් අප පාවිච්චි කරපු හැම ඩිජිටල් ෆ්ලෙක්ස් පුවරුවක්ම, නොමිලේම මුද්‍රණය කරලා දුන්නේ ගයාන්. ඒ වගේම කඹ ඇදීමේ තරඟේ වෙනුවෙන් අපි ලබාදුන්න තෑග්ගත් බොහෝම ලස්සනට නිර්මාණය කරලා දුන්නේ ගයාන්. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවේ දවසේ, පැමිණි පිරිසව රෙජිස්ටර් කරන වැඩේ, නියමෙටම සිදුකරලා, ඒ බර අනිත් සංවිධායකයන්ගේ ඔලුවෙන් අයින් කළේ මෙතුමා තමයි. අවුරුදු උත්සවේ සාර්ථකත්වය වෙනුවෙන් නිහඬවම ගයාන් කරපු වැඩ කොටස අපමණයි...
මෙදාපාර සංවිධායක මණ්ඩලේ ගරු ලේකම්තුමියගේ භූමිකාව කළේ චාපා. මේ අවුරුදු උත්සවේ ලිපි ලේඛණ කටයුතු සියල්ල සිදුකළේ මෙතුමිය තමයි. විශේෂයෙන්ම අවුරුදු උත්සවේ දවසෙදි සංවිධායක මණ්ඩලේ කාර්යාලයේ වැඩකටයුතු සියල්ල බලාගෙන, ඒ වගකීම් අකුරටම ඉටුකරමින්, සමස්ත අවුරුදු උත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් ලොකු දායකත්වයක් චාපා දැක්වූවා. ඒ වගේම ත්‍යාග සඳහා අනුග්‍රාහකයන් හොයාගන්නත් ලොකු දායකත්වයක් දක්වපු කෙනෙක් තමයි චාපා...

අවුරුදු උත්සවේ සංවිධාන වැඩවලට මේ අවුරුද්දේ අලුතෙන් එක්කහු උනාට, බ්ලොග් හෝ බ්ලොග්කරුවන් නිමේෂාට අලුත් අය නෙමේ. නිමේෂා තමයි අපේ හිතවත් ඕනමැන්ටල් තරුණ මහතාගේ ප්‍රිය බිරිඳ. අවුරුදු උත්සවේ සංවිධායක මණ්ඩලේ ෆේස්බුක් චැට් එක නිරන්තරයෙන් අප්ඩේට් කරමින්, ඒ වගේම සංවිධායක මණ්ඩලේ අය අතර සම්බන්ධීකරණය තියාගනිමින් නිමේෂා විශාල මෙහෙයක් තිරෙන් පිටිපස්සේ ඉඳං සිදු කළා. ඒ වගේම තෑගි සඳහා අනුග්‍රාහකයන් හොයලා දෙන්න නිමේෂා දක්වපු දායකත්වය සුළුපටු නෑ. විශේෂයෙන්ම අපිට විශාල තෑගි ප්‍රමාණයක් ලැබුණ CBL ආයතනය සෙට් උනේ නිමේෂා හරහා බව මේ වෙලාවේ මතක් කළ යුතුමයි...

මෙදාපාර අලුතෙන්ම සංවිධායක මණ්ඩලේට සෙට් වෙච්ච එකෙක්. අවුරුදු උත්සවේ ගැන පූර්ව ප්‍රචාරණ වැඩවලට තමංගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරගෙන මාරම කට්ටක් කාගෙන වැඩ කරපු සංවිධායකයෙක්. මොකක් හරි දෙයක් ගැන විකාර අදහසක් දුන්නම, ඒ අදහස පණ පිහිටවලා පොළොවේ හිටවන්න  ලොකු පුතාට තියෙන්නේ පට්ට සිරා හැකියාවක්. ඒක මේ වෙලාවේදී ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ...

මේත් සෑහෙන්න මහන්සි වෙච්ච කෙනෙක්. විශේෂයෙන්ම තමන්ට භාර දෙන වගකීම අකුරටම ඉටුකරන්න ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්...

අවුරුදු කීපයක ඉඳලා සංවිධායක මණ්ඩලේ එක්ක ඉන්න තවත් සුපිරිම චරිතයක්. හැම අවුරුද්දේම වගේ අපි අවුරුදු උත්සවේ වෙලාවට චාරිත්‍රානුකූලව පත්තුකරන පොල්තෙල් පහන හැදෙන්නේ ගයාන්ගේ අතින්. මෙ අවුරුද්දෙත් ඒ වගකීම බොහොම කැමැත්තෙන් භාරගෙන ඒ වගේම බොහොම උනන්දුවෙන්, වෙනදා වගේම මාර කොලිටි පොල්තෙල් පහනක් හදලා දෙන්න ගයාන් සෑහෙන්න මහන්සි උනා...
මේ පාරත් නිහඬව අපිට සහයෝගය දුන්න කෙනෙක් චතුමිතු. වෙන අවුරුදු උත්සවවලදී වගේ අවුරුදු උත්සවේට කළිං ඉඳලා ලොකු සපෝට් එකක් දෙන්න අමාරු උනත්, අවුරුදු උත්සවේ දවසේ උදේ ඉඳංම තරඟ සංවිධානයට, තෑගි පිළිවෙලක් කරන්න, ජයග්‍රාහකයෝ සටහන් කරගන්න ලොකු දායකත්වයක් චතුරිකා දැක්වූවා. ඒ විතරක් නෙමේ, වෙනදට තනියම එන එක්කෙනා මෙදාපාර තනියට ලස්සන අක්කෙක්වත් එක්කගෙන ඇවිත් තිබ්බා...

නලීන් අයියව ඉතිං නොදන්න කෙනෙක් නැහැ නේ. හැමපාරම වගේ මේ අවුරුද්දේදීත් අවුරුදු උත්සවේ සාර්ථකත්වය වෙනුවෙන් සෑහෙන්න වැඩක් කරපු කෙනෙක් තමයි නලීන් අයියා... 
ප්‍රදීප්ව ඉතිං නොදන්න කෙනෙක් නැහැ නේ. අත්‍යවශ්‍ය පෞද්ගලික අවශ්‍යතාවයක් නිසා මේ අවුරුද්දේදි ප්‍රදීප්ට අවුරුදු උත්සවේට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. හැබැයි අවුරුදු උත්සවේ වැඩ සංවිධානය කරගන්න ප්‍රදීප් විශාල සහයෝගයක් ලබාදුන් බව මතක් කරන්නම ඕනේ...

අවුරුදු උත්සවේ දවසේ සහභාගී වෙන්න නොහැකි උනත්, රෙපා එහෙම නැත්තං අරුණ, මේ වැඩේ සාර්ථක කරගන්න ලොකු සහයෝගයක් තිරෙන් පිටිපස්සේ ඉඳං ලබාදුන්න කෙනෙක්. ඒ වගේම දුලාන් දළුගම, ජනිත් අරන්දර, තඹරු විජේසේකර, පවනි තරංගා, දුලිප් සිකුරාජපති හෙවත් ඕනමැන්ටල් තරුණ මහතා එහෙමත් ෆේස්බුක් චැට් එක හරහා ලොකු සහයෝගයක් මේ වෙනුවෙන් ලබාදුන්නා...

අවුරුදු උත්සවේ සංවිධායක මණ්ඩලේ නොහිටියත්, තව බොහෝ දෙනෙක් අවුරුදු උත්සවේ සාර්ථක කරගන්න සෑහෙන්න මහන්සි උනා. මේ උත්සහය ඒ අයවත් අඳුන්වලා දෙන්න.
2011දී තිබ්බ පළවෙනි අවුරුදු උත්සවෙන් පස්සේ ලිෂාන් කවදාවත් සංවිධායක මණ්ඩලේ හිටිය කෙනෙක් නෙමේ. හැබැයි එදා මෙදා තුර තිබ්බ හැම අවුරුදු උත්සවේකදීම, අවුරුදු උත්සව විතරක් නෙමේ ඕනෙම සයිබර් ක්‍රියාකාරකමකදී ලිෂාන් බොහොම නිහඬව තමන්ගේ උපරිම දායකත්වය ඒ වෙනුවෙන් ලබා දීලා තියෙනවා. මේ පාරත් ඒක එහෙම්මමයි. අවුරුදු උත්සවේ සියළුම ග්‍රැෆික් නිර්මාණ කටයුතු සිදුකළේ ලිෂාන්. ඒ වගේම මෙදාපාර ජයග්‍රාහකයන් සඳහා දෙන තෑගි හොයාගන්නත් ලිෂාන්ගෙන් ලැබුන දායකත්වය සුළුපටු නැහැ. ඒ වගේම අවුරුදු උත්සවේ ඡායාරූප ගතකරන්න ලිෂාන් ලබාදුන්න දායකත්වය විශාලයි. මේ තියෙන්නේ ලිෂාන්ගේ කැමරාවට අපේ අවුරුදු උත්සවේ අහුවෙච්ච විදිය.. 
2012 අවුරුද්දේ ප්‍රධාන සංවිධාකයතුමා. මේ අවුරුද්දේත් අවුරුදු උත්සවේ සංවිධානය කරගන්න අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා... 
තෑගි සඳහා අනුග්‍රාහකයින් අපි හොයද්දි රවීෂගෙන් ලැබුණ සහයෝගය සහ මැදිහත්වීම ගැන විස්තර කරන්න වචන නැහැ. ඒ විතරකින් නවතින්නේ නැතුව, අවුරුදු උත්සවේ දවසේ ඒ වැඩ සංවිධානය කරගන්න ක්‍රියාකාරීව රවීෂ දක්වපු සහයෝගයත් ඉස්තරම්. 
2014 ඉඳං අපි එක්ක ඉන්න සංවිධායකයෙක්. කාර්ය බහුලත්වය නිසාම මේ පාර වැඩි දායකත්වයක් දක්වන්න මංජුලට නොහැකි උනත්, කඹ ඇදීමේ තරඟය වෙනුවෙන් මංජුල දක්වපු සහයෝගය ගැන කිව යුතුමයි. සයිබර් බක් මහ සැණකෙළි ඉතිහාසයේ කඹ අදින්න පාවිච්චි කරපු ලොකුම කඹේ අපිට සහයලා දෙන්න මූලික උනේ මංජුල තමයි. 

ජනරඟ දේවසුරේන්ද්‍ර


පහුගිය අවුරුදු කීපයේදී වගේම මේ අවුරුද්දේදීත් නිවේදන කටයුතු සිදු කළේ ජනරඟ විසින්. බොහොම ප්‍රාණවත්ව ලස්සනට මේ අවුරුද්දෙත් ජනරඟ ඒ කටයුත්ත අපි වෙනුවෙන් ඉෂ්ඨ කරලා දුන්නා. ජනරඟ ඔබටත් බොහෝම ස්තූතිවන්ත වෙනවා. 
සංවිධායක මණ්ඩලේ වැඩවලට සහ අවුරුදු උත්සවේ දවසේ නිවේදන වැඩවලටත් නෙරංජි විශාල සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන්ම සයිබර් සැණකෙළිය බ්ලොග් එක අප්ඩේට් කරන්න සහ රෙජිස්ටර් වෙච්ච අයට යවන ලිපිය සකසාගන්න නෙරංජිගෙන් ලැබුන දායකත්වය අති මහත්.
අපේ අවුරුදු උත්සවේ නිල ඡායාරූප ශිල්පියා තමයි තිසර මධුවන්ත හෙවත් සිහින මල්ලි. ඒ මල්ලි විනෝදාංශයක් විදියට සිදු කරන හාල්කෑලි ට්‍රාන්ස්පෝට් සේවය නිසා පොඩි පොඩි වෙලාවල් කීපයක් අවුරුදු උත්සවේ හිටියේ නැති උනත්, එදා දවසේ බොහෝ අවස්ථා බොහොම ලස්සනට තමන්ගේ කැමරා කාචයේ සටහන් කරගෙන තිබුනා. ඒ දායකත්වය මේ වෙලාවේදී සිහිපත් කළ යුතුමයි. මේ තියෙන්නේ සිහින මල්ලිගේ කැමරා කාචයේ අපේ අවුරුදු උත්සවේ සටහන් වෙච්ච හැටි...


ඒ වගේම තමයි මේ අවුරුදු උත්සවේ වෙනුවෙන් අනුග්‍රහය දක්වපු අපේ අනුග්‍රාහක හිතවතුන්. ඒ අයගේ කාරුණික අනුග්‍රහයන් නොවෙන්න මේ වැඩ කටයුත්ත මේ ආකාරයෙන් සාර්ථකව අවසන් කරන්න අපිට හැකිවෙන්නේ නැහැ. මේ ඉන්නේ අපේ අනුග්‍රාහක භවතුන්.
මේ අවුරුදු උත්සවේ ප්‍රධානම අනුග්‍රාහකයා උනේ UnCommon Homes. ඒ අනුග්‍රහය අපිට සම්බන්ධ කරලා දුන්නේ අන්කොමන් හෝම්ස් අධ්‍යක්ෂකයෙක් වෙන අපේ හිතවත් අවංක පැට්ටා තරුණ මහතා. 

සමන් මල් ටෙක්ස්ටයිල්ස්

මෙදාපාර අවුරුදු උත්සවේ අවුරුදු කුමරියගේ ත්‍යාග වෙනුවෙන් පානදුර සමන් මල් ටෙක්ස්ටයිල්ස් රෙදි පිළි මාළිගය අපිට විශේෂ අනුග්‍රහයක් ලබා දුන්නා. ඒ ආයතනයටත් අපේ ගෞරවනීය ස්තූතිය විශේෂයෙන්ම හිමි වෙනවා.


Tech City
අපේ හිතවත් තිළිණ ශෙහාන් මල්ලි අධිපතීත්වය දරණ Tech City ආයතනය මෙදාපාර අවුරුදු උත්සවේ වෙනුවෙන් සෑහෙන්න දායකත්වයක් දක්වපු ආයතනයක්.

ඉන්දික ගුණවර්ධන, චමල්ක අල්විස් සමරසිංහ, රවීෂ තිලකවර්ධන කණ්ඩායමේ සාමුහික ව්‍යාපාරයක්. එක ටෙලිෆෝන් කෝල් එකෙන් අවශ්‍ය අනුග්‍රහය ලබාදෙන්න මැදිහත් උන රවීෂට වගේම එදා අවුරුදු උත්සවේට ඇවිත් සහයෝගය ලබාදුන්න ඉන්දිකටත් ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම අපිට විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබාදුන් රිදම් FM ආයතනයටත් අපේ විශේෂ ස්තූතිය හිමිවෙන්නම ඕනේ. ඒ වගේම රිදම් FM ආයතනය අපිට සම්බන්ධ කරලා දුන්න රවිඳු මධුශංක අපේ හිතවතාවත් මේ වෙලාවෙදි ඉතාම ආදරයෙන් මතක් කරනවා...

මීට අමතරව බ්ලොග් අවකාශයෙන් තමන්ගේ ලේඛණ හැකියාව දියුණු කරගෙන පොත් එළි දක්වපු කීපදෙනෙක්ගෙනුත් අපි ඉල්ලීමක් කළා අවුරුදු උත්සවේ වෙනුවෙන් තමන්ගේ පොත් දෙක තුනකින් දායකත්වය දක්වන්න කියලා. ඒ කටයුත්ත සම්බන්ධීකරණය කරලා දුන්න රන්ධිකා රණවීර මහත්මියට, ඒ වගේම අවුරුදු උත්සවේ වෙනුවෙන් තමන්ගේම පොත්වලින් දායකත්වය ලබා දුන්න අනිත් කොන ලිව්ව වෛද්‍ය බෝධිනී ආර්. සමරතුංග මහත්මිය, කොළඹ ගමයා ලිව්ව අජිත් ධර්මකීර්ති මහතා, තරු රසී ලිව්ව තරංගනී රොෂිකා ප්‍රනාන්දු මෙනවිය, කලාහිත ලිව්ව සුමිත් කළනසිරි මහතාවත් ඉතාම ආදරයෙන් මතක් කරන ගමන්, ඒ දක්වපු අනුග්‍රහයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම ඇවිද්ද පය බ්ලොග් එක ලියන සුදීක අයියා දක්වපු අනුග්‍රහයත් මේ වෙලාවේදී ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. 

2016 තව බොහෝ පිරිසක් අපිට එහෙම උදව් උපකාර කළා. එහෙම උදව්කරපු අනිත් අය තමන්ව අමතක කළා කියලා මාත්තෙක්ක අමනාප නොවේවි.
 
සංවිධායක මණ්ඩලේ හිටිය මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ කීපදෙනා නොවෙන්න මේ 2016 සයිබර් අවුරුදු උත්සවේ මේ  ආකාරයට සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම මේ අයට නිසි ඇගයීමක් සිදුවෙනවා මේ වනතුරු මම දැක්කේ නැහැ. එදා ඔබ ඒ වින්ද සතුට ඔබ වෙත ගෙන එන්න විශාලම දායකත්වය දැක්වූවේ මොවුන්. ඔවුන්ට ඒ නිසි ඇගයීම දිය යුතුයි...

සිංහල බ්ලොග්කරුවන්ගේ ඉතිහාසයේ, වඩාත් සාර්ථක අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න හැකිවීම පිළිබඳව සංවිධායක මණ්ඩලය විදියට අපිට ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට ගෙන එන්න විශාල දායකත්වයක් දක්වපු, 2016 සයිබර් සිහින බක්මහ උළෙලේ නිහඬ වැඩකාරයෝ සියළුම දෙනාට සමස්ථ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ස්තූතිකරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා...

එහෙනං, ආයෙත් දවසක හමුවෙමු...

Wednesday, December 5, 2012

පොලිසියෙන් ආවා!!! | When Cops came!!!

ඊයේ අපේ ගෙදරට පොලීසියෙන් ආවා. කට උත්තරයක් ගන්න. මම හොරකමකට මංකොල්ලෙකට ස්ත්‍රී දූෂණයකට සැකකාරයා වෙලා එහෙම නෙමෙයි. පාරිසරික ප්‍රශ්ණ...

කතන්දරේ මෙහෙමයි...
අපේ ගෙදර තියෙන්නේ ගමේ පිට්ටනිය ළඟ. පිට්ටනිය ළඟ කියන්නේ පිට්ටනියට අල්ලපු වැට අපේ ගෙදර. නිවාස සංකීර්ණයක් නිසා ඒක ටිකක් ලොකු පිට්ටනියක්. මේ පිට්ටනියේ අවුරුද්දට සැරයක් දෙකක් කානිවල් පවත්වනවා... එක එක ආයතන, සංගම්, පදනම්වලින්. ඒ අයගේ අරමුදල් තර කරගන්න, සුභසාධන වැඩවලට වගේ දේවල් වලට. ඒ කානිවල් දවස් දෙක තුනක් තිස්සෙම තියෙනවා. ඒවගේ ප්‍රධානම අංගයක් තමා මහා සංගීත රාත්‍රිය. ඇත්තම කියනවානං, කානිවල් එකේ ලාභය හෝ පාඩුව තීරණය කරන සාධකේ තමා ඔය සංගීතේ. සංගීතයක් බලන්න අඩුම තරමේ දාහක් දෙදාහක් එන නිසා ඒක ටිකක් ලාභදායක වැඩක්...

මේ මාසේ අග හරියට වෙන්න, ආයෙත් තියෙනවා ලොකු කානිවල් එකක්. දවස් 3ක. සංගීතත් 03ක්ම තියෙනවා. නමගිය සංගීත කණ්ඩායම් 3ක් එන්නේ. සෙනඟ ඉඳියි වකාරෙට. හොඳ ලාබෙකුත් තියෙයි.

දැං ඇයි අපේ ගෙදරට කට උත්තර ගන්න පොලීසියෙන් ආවේ. අපි නෙමේ කානිවල් එක සංවිධානය කරන්නේ. එහෙනං මොකක්ද මේ කටඋත්තරේ. මේකයි වැඩේ. සංගීත සංදර්ශනයක් කියන්නේ ලොකු ඝෝෂාවක්. ඒ ඝෝෂාව ඇතිකරන්නේ ලොකු ස්පීකර්, බෆල් වලින්. මේ ස්පීකර්, බෆල් තමන්ට හිතූමනාපෙට දාන්න බැහැ. නීතියෙන් අවසර ගන්න ඕනේ. ඒ කියන්නේ පර්මිට් එකක් ගන්න ඕනේ. අවසරේ දෙන්නේ පොලිසිය. කොට්ඨාශය භාරව ඉන්න සහකාර පොලිස් අධිකාරීතුමාගෙන් තමා අවසරේ ගන්න ඕනේ. ඒකෙත් ලොකු වැඩ සටහනක් තියෙනවා. බෆල් කොච්චර දානවද? සද්දේ ඩෙසිබල් කීයද? ඔය වගේ ලොකු ප්‍රශ්ණ පත්තරයක්. ඒවට උත්තර බඳින්න ඕනේ සංගීතය සපයන අය. අපි ඒ ගොඩට අයිති වෙන්නෙත් නැහැ. එහෙනං මොකටද අපෙං කට උත්තර?


මේ ඝෝෂාකාරී ශබ්ද නිසා අසල්වැසියන් වෙන අපිලු අගතියට පත්වෙන්නේ. අපි එහෙම අගතියට පත්වෙනවට කැමතිද නැද්ද කියලා සහසුද්ධෙන්ම දැනගන්නයි කට උත්තරේ ගන්න ඇවිත් තියෙන්නේ.

ඊයේ කට උත්තරේ දෙන්න සෙට් උනේ මම. පොලිස් පොර මගෙන් අහනවා, සංගීත සංදර්ශනේට විරුද්ධද නැද්ද කියලා. මම ගත්ත කටටම කිව්වා, අනේ අපේනං කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා.

හේතු මෙන්න මේවයි.
පළවෙනි එක,  අපේ ගමට විතරක් නෙමේ, අහළ පහළ ගම්මාන කීපයකටම පිට්ටනියකට කියලා තියෙන්නේ මෙච්චරයි. ඉතිං අහළ පහළ ඉස්කෝලෙක ආදි ශිෂ්‍ය කණ්ඩායමක්, ඉස්කෝලේ සුබ සිද්ධියට කානිවල් කරනවානං, ඒක කරන්න එයාලට තියෙන්නෙත් මේ පිට්ටනියම  විතරයි. ඉතිං අපිට සද්දයි කියලා ඒ වගේ දේකට විරුද්ධ වෙන එක සදාචාර සම්පන්න නැහැ.

දෙවෙනි එක, කානිවල් සහ ඔයවගේ දේවල්වලට පිට්ටනි පාවිච්චියට ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒකේ තහනමක් නැහැ. ඉතිං අපි දැනගන්න ඕනේ කානිවල් වගේ දේවල්වලට අකමැතිනං, පිට්ටනි ළඟ ගෙවල් නොගෙන ඉන්න. වැරැද්ද අපේ. පිට්ටනියක් ළඟ ගේ තියාගෙන, කොල්ලෝ ක්‍රිකට් ගහද්දි බෝලේ ගෙදර වහලෙට වදිනවා කියලා උං එක්ක ගෝරි දාගන්න එක ගොං පාට් එකක්. මේවගේ දේකටත් එහෙම විරුද්ධ වෙනවා කියන්නේ අර ගොංපාට් එකේම දිගුවක්.

ඊළඟ එක. අවුරුද්දේ හැමදාම මෙතන කානිවල් තියන්නේ නැහැ. උපරිම, මුළු අවුරුද්දටම දවස් 10ක් තියෙයි. නමුත් ඒකෙන් සන්තෝස වෙන සංඛ්‍යාව ගොඩක්. සංගීතයක් ගත්තොත්, ඒකේ කඩල විකුණන, සාරවිට විකුණන මිනිහගේ ඉඳලා, සිංදු කියන අයගේ ඉඳලා, සංවිධායකයෝ වෙනකම්ම කට්ටිය ජීවත් වෙන්නේ ඒකෙන්. ඒ වගේම ඒක බලන්න ඇවිත් සන්තෝසවෙන, නටන, බොන්න සෙට් වෙන, තව වෙන වෙන සබ්ජෙක්ට්වලට සෙට් වෙන උදවිය කොච්චරක් ඉන්නවද. අපිට දවස් 03ක් නිදාගන්න නැහැ කියලා ඇයි අපි ඒ අයගේ ආතල් කඩන්නේ. මට අනුව ඒක හෙණ අසාධාරණයි.

දැං සමහරවිට  කව්රු හරි තර්ක කරන්න පුළුවං පාඩම් කරන ළමයි, ලෙඩ්ඩු, ගැබිණි මාතාවන්, අලුත ඉපදිච්ච පොඩි ළමයි ගැන කියලා. ඒත් මම ආයෙත් කියන්නේ, අපි සොහොනේ ගෙවල් හදන්න ඕනේ, ජීවත් වෙන්න වෙන්නේ යක්කු එක්ක තමා කියලා දැනගෙනම. නැතුව සොහොනේ ගෙයක් ලොකුවට ලස්සනට හදලා, ආනේ "මෙතන ඉන්න අසල්වැසියෝ යක්කුනේ" කියලා තැවෙන එක ගොංපාට් එකක්.

ඊටත් අමතරව, දැං පිට්ටනිය වටේම ඉන්න හැමෝම මේකට පට්ටෙට විරුද්ධ උනා කියමුකෝ. එහෙම විරුද්ධ වෙලා පොලිස් පොත පිරෙන්න කට උත්තර දීලා තියෙද්දි, සංවිධායක මණ්ඩලේ උදවිය දේශපාලක පොරක් අල්ලලා, DIG ලෙවල් එකේ පොලිස් ලොක්කෙක්ගෙං ඕඩර් එකක් අරගත්තොත් පර්මිට් එක ගන්න කියලා, අපිට නිකං හිතේ අමාරුව හැදෙන එක සහ රට ජාතිය ගැන කළකිරීමක් ඇතිවෙන එක විතරයි වෙන්නේ. මොකෝ අපි නොදන්නවායැ රටේ වැඩ කටයුතු සිද්ධ වෙන සිස්ටම් එක...

ඔන්න ඔය ටික මම පොලිස් බුවාට කිව්වා. ඔයා කැමති දෙයක් ලියාගන්න කියලත් කිව්වා. පැහැදිලිව ලියන්න කිව්වා "මේ සංගීත රාත්‍රීන්ට අපේ(පෞද්ගලිකව අපේ ගෙදර කිසිවෙකුගේ) කිසිම විරෝධයක් නැහැ" කියලා. මම සහසුද්ධෙන්ම දන්නවා පොලිස් බුවා මගෙන් ඔයවගේ දෙයක් බලාපොරොත්තු උනේ නැහැ කියලා. ඒත් ඉතින්ග් මොනා කරන්නද. මම ඇත්තම කිව්වා...

පොලිස් බුවත් මාර කතාවක් කිව්වා. දැං මේ කට උත්තරේ ගන්න යන ගෙවල්වලින් හැමෝම වගේ ඔහොම කියනවළු. හැබැයි රෑ 12 පනිද්දී වන් වන් නයින් (119) කෝල් කරලා කියනවළු සද්දේ වැඩියි, අරකයි මේකයි කියලා. ඊට පස්සේ වන් වන් නයින් (119) එකෙන් ගමේ පොලීසියට කතා කරලා කියනවළු සංගීතයක්, අසල්වැසියන්ට කරදරයි, ගිහිං බලලා පිළියමක් කරන්න කියලා. මගෙන් අහනවා ඒකට මොකද කරන්නේ කියලා. මම මොනා කරන්නද ඒකට. මම කතා කරන්නේ නැහැ කොහොමත් ඔය මොකකටවත්.
ඒ පාර මම පොරට කිව්වා, "මම සහතික වෙනවා අපේ ගෙදරින් කිසිම කෙනෙක් එහෙම වන් වන් නයින් (119) එකට කෝල් නොකරන බවට, අනිත් මිනිස්සු ගැන කියන්න මම දන්නේ නැහැ, මට වගකීමක් ගන්නත් බැහැ, ඔයාලා ඒක ඒ ගෙවල්වල අය එක්ක බලාගන්න" කියලා. අනිත් එවුංගේ ටෙලිෆෝන් කෝල් ගැන හොයන්න මට වෙන වැඩ නැතුවයැ...


අවසානේ මේකයි.
පිට්ටනියක් ළඟ නං අපේ ගෙදර තියෙන්නේ, අපිට පෞද්ගලිකව කොච්චර කරදරයක් වදයක් කරච්චලයක් උනත්, ඒකත් එක්ක බැඳිලා තියෙන ක්‍රියාකාරකම්වලට අකමැත්තෙන් හරි අපිට එකඟ වෙන්න වෙනවා. අපි පෞද්ගලිකව ඒකට කැමති නැත්තං, අපිට කරන්න තියෙන හොඳම වැඩේ, පිට්ටනියක් පේන තෙක්මානෙක නැති, නිස්කලංක පරිසරයකින් ගෙයක් හදාගෙන පදිංචි වෙන එකයි. නැතුව පිට්ටනියේ එක එක ඉවෙන්ට් සංවිධානය කරන එවුංට බාල්දි පෙරලන එක නෙමෙයි.

සංවාදයට විවෘතයි...

Saturday, January 30, 2010

කඩේ ගිය තරමක්....



2009 වසරේ නොවැම්බර් මස 25
න් පසුව ලියැවෙන පළමු සටහන මෙයයි. හරියටම මාස 2ක් මුකුත්ම නොලිව්වෙමි. ඒ සදහා මූලිකම හේතුව මගේ කම්මැලිකම වූ අතර දෙවන හේතුව ලෙස වැඩ ගොඩකට කරගැසීම දැක්විය හැක. මේ උත්සාහය ඒ ගතවූ කාලය පිළිබදව කෙටි සටහනක් තැබීමටය.

SBU සාදය මගහැරීම

2009 දෙසැම්බර් මස 19 දින SBU සාදය පැවැත්වූ බව ඔබ මම ඇතුලු අපි සැම දන්නා කරුණකි. මේ සාදය ගැන මම ඉස්සෙල්ලාම විස්තර දැනගත්තේ අපේ හිත මිතුරු කතන්දරකාරයාගෙනි. ඇත්තටම මේ ගැන විස්තර අසමින් මම කතන්දරේට අසමාන වදයක් වුනෙමි. ඊට මූලිකම හේතුව වූයේ ඒ වනවිටත් මම සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයෙක් නොවීමයි. අන්තිමේ මගේ වදෙන් බේරෙන්නටම බැරි තැන කතන්දරකාරයා මගේ අන්තිම බ්ලොග් සටහනේ කොමෙන්ටුවක් ලෙසත් සාදය පිළිබදව ලිව්වේය. කරුමෙකට එය මා දැක්කේ සෑහෙන්න කාලෙකට පස්සේය. කොහොම කොහොමහරි විස්තර ඔක්කොම දැනගෙනත් මම සාදයට නොආවෙමි. කිතුලට ගිය එකාටත් ඒකට කියන්න හේතුවක් ඇත්තා සේ මටත් දැක්වීමට හේතු ඇත. සිදුවූයේ මෙයයි. රනා නම් වන මම තවමත් ඉගෙන ගන්නා සිසුවෙක්මි. ඉගෙන ගන්නවා යනු පිටරටක උපාධියක් අපේ රටේ සිට කරමි. සියලු සිසුවන්ට පොදු කරුණ වූ අභාග විභාග මටත් එමට තිබේ. හරියටම දෙසැම්බර් 20 ඒ වගේ අභාගයක් තිබුණි. ඉගෙනගත් කිසිම දෙයක් ඔලුවේ තිබුණේ නැති නිසා 19 දවසම පොතේ තිබුණ දේවල් ඔලුවට ක්‍රෑම් කළෙමි. ඒ නිසා සාදයට නාවෙමි. මගේ කම්මැලිකම නිසා (කළින් පාඩම් නොකිරීම) සාදයට නොඒමෙන් සිදුකළ වරදට ඔබ සියලු දෙනාගෙන් මෙළෙස සමාව ඉල්ලමි.


2010 ජනාධිපතිවරණය (කඩේ ගිය තරමක්....)

2010 ජනාධිපතිවරණය සදහා වැඩ කළෙමි. කොහොමත් මට අතීතයේ සිටම තදබල දේශපාලන උණක් ඇත. මෙවර එය සහලෝල උණ බවට පත්විය. මෙම බ්ලොග් සටහනේ අරමුණ වූයේ එළෙස මම කොච්චර කඩේ ගියාද යන්න පැවසීමය. කඩේ ගියේ කාටද යන්න පැවසීම මගේ යුතුකමකි. මම කඩේ ගියේ මහින්ද මාමාටය. ඊට හේතුව මම හෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වීමය. මගේ කඩේ යාම පහත ලෙස දැක්විය හැක.

සහභාගී වූ ලොකු රැස්වීම් සංඛ්‍යාව - 2 (මේවාට ජනාධිපතිතුමා සහභාගී වූයේය.)
සහභාගී වූ මැතිවරණ කමිටු රැස්වීම් සංඛ්‍යාව - 4 (අපේ ගමෙන් පිට)
මගේ සහභාගීත්වයෙන් පිහිටවනු ලැබූ මැතිවරණ කමිටු සංඛ්‍යාව - 4 (අපේ ගම තුළ)
මම කතා පවත්වන ලද මීටිං සංඛ්‍යාව - 6 (මේවා පොඩි පොකට් මීටිංය. 1ක සෙනග උපරිමයෙන් 150ක් සිටින්නට ඇත.)
පෝස්ටර් ගැසීම (ටිකක් විතර)
කැන්වසිං යාම (ගෙවල් 500ක් පමණ)

මැතිවරණය පැවැත්වූ ජනවාරි 26 දින සෑහෙන්න වෙහෙස වුණෙමි (කඩේ ගියෙමි). අපේ ගමේ ඡන්ද මධ්‍යස්ථාන(Polling Booth) 4ක් ඇත. මේවාට ඡන්ද පොළ නියෝජිතයන්(Polling Agents) පත්කලේ මගේ නායකත්වයෙනි. ඊට අමතරව එම නියෝජිතයන්හට උදේ/දිවා ආහාර ගෙනගොස් දීම, තේ සහ සිසිල් පැන් දීම, රහස් උපදෙස් දීම(ඡන්ද මධ්‍යස්ථානය තුළදී කළ යුතු දේවල්) යන මේ හැම දේම කළෙමි. එමෙන්ම දවල් වනතුරු ඡන්දය පාවිච්චි නොකළ අපේ පාක්ෂිකයන්ගේ නිවෙස්වලටම ගොස් ඔවුන්ගෙන් ඡන්දය ඉක්මනින් දාන ලෙස ඉල්ලුවෙමි (ඔවුන් බොහෝ දෙනෙක් එම ඉල්ලීමට එකග චිය). අවසානයේ ඡන්ද පෙට්ටි රැගෙන යන වෙලාවේ රතිඤ්ඤා පත්තු කිරීමද කළෙමි. මේ සියලු කටයුතු බොහොම සාමකාමීව සිදුකරගැනීමට හැකිවීම ඇත්තටම හිතට සහනයක් විය.
මෙතැනින් නොනැවතුන මම ඡන්ද ගණන් කිරීමටද (Counting) ගියෙමි. එම මධ්‍යස්ථානයේ සිටි නිලධාරී මහත්ම මහත්මීන් ඡන්ද ගණින ආකාරය මුලදී හෙන උද්යෝගයෙන්/පසුව නිදිකිරමින් බලා සිටියෙමි. අවසානයේ අපේ කලාපයේ ඡන්ද ප්‍රතිඵලයත් (හරියට), ආසනයේ ඡන්ද ප්‍රතිඵලයත්ම (හරියට), දිස්ත්රික්කයේ ඡන්ද ප්‍රතිඵලයත්(ආසන්න), සමස්ත ඡන්ද ප්‍රතිඵලයත්(ආසන්න) දැනගෙන 27 උදේ 6.30ට විතර ගෙදර ආවෙමි. අපේ මහන්සිය ගගට කැපූ ඉනි නොකරමින් මහින්ද මාමා විශිෂ්ඨ ලෙස ජයගෙන තිබුණි. ගෙදර ආව ගමන් නිදා ගත්තෙමි. ජනවාරි 25 උදේ නැගිටීමෙන් පසු 27 උදේ වෙනකම් කිසිම නින්දක් නොලැබීම හේතුවෙන් සවස් වෙනකම්ම හොදට නිදාගත්තෙමි. හවස නැගිටින විට මැතිවරණ කොමසාරිස්තුමා ටීවී 1 කතා කරමින් සිටි අතර ඉතිරි වී තිබූ රතිඤ්ඤා ටිකද පත්තු කළෙමි. කටයුතු සියල්ලම එලටම වීම ගැන මට අම්බානකට සන්තෝස හිතුණි.

වැදගත්ම කරුණ මේ එකක්වත් නොවේ. ජනාධිපතිවරණය වෙනුවෙන්ම අලුතෙන් බ්ලොගයක්ද පටන් ගතිමි. මාස 2ක් තිස්සේ මගේ මේ බ්ලොග් 1 තියෙනවාද නැත්දවත් කියා නොබැලූ මම ඒ බ්ලොග් 1ට පෝස්ට් 6ක්ම ලිව්වෙමි (මේක පටන් ගත්තේ මැතිවරණයට හරියටම සතියක් තිබියදීය). ඉන් 2ක් කෙළගා ඇලවූ ඒවා වූ අතර අනික් 4 හෙන කැපවීමෙන් ලියපු ඒවා විය. බ්ලොග් 1 සිංඩියටත් කොත්තුවටත් දැමූ අතර කොත්තුවේ එය පහුවෙනිදාම පළ විය. දින 14ක් ඇතුළත එය සිංඩියට ඇතුළත්කරන බවට SBU 1න් දැනුම්දීමක් ලැබුණි. මගේ අනෙක් බ්ලොග් 1 ටත් ගිහින් බලන්න කියා කාරුණිකව ඉල්ලමි.

දැන් ඉතින් සියල්ල අවසානය. මාර්තුවලදී මහ මැතිවරණය පවත්වන බවට රාවයක් ඇත. එතෙක් සුපුරුදු පරිදි ජීවත්වෙමි. උවමනාවක් ඇතිවූවොත් මහ මැතිවරණයටත් මෙළෙසම කඩේ යමි.

එතෙක් ඔබට සුබ අනාගතයක්...

මගේ කඩේ යාමට ජය වේවා...