Showing posts with label Firefox. Show all posts
Showing posts with label Firefox. Show all posts

Monday, October 14, 2013

ලිනක්ස් - ප්‍රශ්න සහ පිළිතුරු | Linux Q&A


     පහුගිය දවස් කීපයකදි ලිනක්ස් පිළිබඳ කරපු කතාබස්වලදි, මගේ හිතවතුන්/හිතවතියන් ලිනක්ස් ගැන විවිධ අදහස් පළකළා.. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතා කරන අය නෙමෙයි. නමුත් ඔවුන් ඉඳිරිපත් කළේ නිදහස් හා විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ගැන ඔවුන්ගේ අවංක අදහස්.
ඒ අදහස්වලට ඔවුන්ට පිළිතුරු දුන්නත්, නිදහස් සහ විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් ගැන සංවාදයක් ඇති කරන්න ඒ අදහස් හා මතවාද හොඳ පදනමක් වේවි කියල දැනුනා... තැන් තැන්වල තිබුණ ඒ අදහස්, මතවාද එක්කහු කරලා මේ විදියට පෝස්ට් එකක් බවට පත්කළේ ඒකයි...
මේ සංවාදය වඩාත් යහපත් සංවාදයක් බවට පත් කරන්න ඔබටත් පුළුවං...
එන්න, අපිත් එක්ක එකතුවෙන්න...


ඔය කිව්වට කවුද ඕවා සල්ලි දීලා ගන්නේ... අපි ජාතියක් වශයෙන්ම කම්බ හොරුනේ... 
මගේ හිතවතෙක් කිව්ව දෙයක්...

දුන්න පිළිතුර...
මේක මචං අර "රත්වෙන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුව දිය කෙළියේ…" කේස් එකක්...
පෞද්ගලික පරිගණකවලත් OS එක ජෙනුයින්ද කියලා බලන කාලේ වැඩි ඈතක නැහැ...
හොරබඩු නං,
රුපියල් ලක්ෂ 5ට අඩු දඩයක් හෝ, මාස 6කට අඩු සිර දඳුවමක් හෝ, දෙකම සෙට් වෙන්න පුළුවං...
මෙන්න උදාහරණ...

ඊළඟ එක,
හොර මෘදුකාංග සමඟ එන ආරක්ෂාව පිළිබඳ ගැටළු...
නිකමට කල්පනා කරලා බලන්න,
වයිරස් කේස් නිසා කොම්පියුටරේ ෆෝමැට් කරපු වාර ගාන...
ෆෝමැට්කරලා ඉවරවෙලා ආයේ අනිත් සොෆ්ට්වෙයා දාන්න වින්ද දුක...
වයිරස් නිසා නැතිවෙච්ච ඩේටා....
වින්ඩෝස් ජෙනුයින් උනාට මචං අනිත් සොෆ්ට්වෙයා ජෙනුයින්ද?
ඔෆිස්, ෆොටෝසෝප්, නීරෝ උනත් ජෙනුයින් නෙමේ...
මම ටක්කෙටම කියන්නං,
උඹේ කොම්පියුටරේ තියෙන්නේ ජෙනුයින් සොෆ්ට්වෙයා දෙකයි...
පළවෙනි එක ෆයර්ෆොක්ස් හෝ ක්‍රෝම්...
අනික VLC/KPlayer/GomPlayer එක...
ඔය දෙකත් නිදහස් හා විවෘත මෘදුකාංග...
ඕනේ තරං විස්කි තියෙද්දි,
හිත යද්දි කසිප්පුවලටමනං,
ඒක විස්කිවල ප්‍රශ්නයක් නෙමේ මචං,
බොන එකාගේ මානසික ප්‍රශ්නයක්...

--මේ සංවාදයෙන් පසුව හිතවතා කිව්ව විදියට ඔහුගේ පරිගණකයේ තිබෙන්නේ ජෙනුයින් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය. ඊට අමතරව ඔහු එදිනෙදා අනෙකුත් පරිගණක ආශ්‍රිත වැඩ කටයුතු කරන්නේ ගූගල් සමාගමෙන් ලබාදෙන සේවාවන් ඔස්සේ... එමනිසා ඔහු පිළිබඳව කරපු උපකල්පනය වැරදියි...


ලිනක්ස් හොඳ ඇති. හැබැයි මට ඉතිං ඒක ඉගෙන ගෙන වැඩක් නැති වෙයි.... ඉස්කෝලෙන් කරන්න කිව්වොත් කරනවා..මම හිතන්නෙ නෑ ඕලෙවල් වෙනකං පොඩ්ඩන්ට ලිනක්ස් ඕනෙ වෙයි කියලා....
මගේ හිතවතියක්...

පිළිතුර...

පළවෙනි කාරණේ,
අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රලේකයක්ම නිකුත් කරලා තියෙනවා පාසැල් පරිගණක විද්‍යාගාරවලට මින් ඉඳිරියට ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ ජෙනුයින් මෘදුකාංග පමණයි කියලා... එතකොට ඔප්ෂන් දෙකයි... එක්කෝ සල්ලි දීලා ගන්න ඕනේ... නැත්තං නිදහස් මෘදුකාංගවලට යොමුවෙන්න ඕනේ...
OL/AL සිලබස් දෙකම බොහොම ලස්සනට ඉගෙන ගන්න පුළුවං නිදහස් මෘදුකාංගවලින්...

තියෙන පාඩම් ටික බලමු,

Word Processing, Presentation, Spreadsheet...
මේවා MS Office වලින් වගේම වෙන ඔෆිස් මෘදුකාංගවලිනුත් කරන්න පුළුවං... උදාහරණෙට LibreOffice වලින්...

Image Manipulating බොහොම පොඩ්ඩක් තියෙනවා..
ඒකට තමා ඔය හැමෝම ෆොටෝසෝප් ෆොටෝසෝප් ගාන්නේ... GIMP වලින් ඉගෙන ගන්න වැඩේ බොහොම අපූරුවට කරගන්න පුළුවනි...

තව HTML ටිකක් උගන්නනවා... ඒකට හොරෙං පාවිච්චි කරන Dreamviewer වෙනුවට ඔරිමජිනල් Geany පාවිච්චි කරන්න පුළුවං...

වැඩිය ඕනේ නැහැ... ප්‍රෝග්‍රෑමිංවලට තියෙන්නේ VB6 (මේක අධ්‍යාපන පද්ධතියට එක්කහු කරපු/කරන්න උපදෙස් දීපු කෙනාගේ හතරවරිගෙම නිවන් යන්න ඕනේ කරපු පිනේ බල මහිමෙට).. ඕකට VisualStudio 2000 ඕනේ නැහැ, Gambas වලින් VB6 ප්‍රෝග්‍රෑමිං කරන්න පුළුවං...

ඔය කිව්වේ OL ගැන...

AL ගැන එකම දෙයක් කියන්නං...
ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න තියෙන භාෂාව Python...
වින්ඩෝස්වලදි අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනේ...
ලිනක්ස් OS ඕනෙම එකක Default ඉන්ස්ටෝල්කරලා එන්නේ...

1වසරේ සිට 9 වසර දක්වා පොඩි පැංචොන්ට...
ඉගෙනගන්න උදව්කරන මෘදුකාංග දහස්ගාණක් තියෙනවා
චක්කරේ පාඩං කරගන්න, ගණං හදන්න, සමාජ අධ්‍යයනය ඉගෙනගන්න විතරක් නෙමේ තාරකා විද්‍යාව ඉගෙන ගන්නවානං ඒකට උනත් පාවිච්චි කරන්න පුළුවං මෘදුකාංග බොහොමයි... අපේ රටේ අපේ එවුංම හදන "හන්තාන ලිනක්ස්" OS එකේ ඒ මෘදුකාංග ගොඩක් ඉන්ස්ටෝල්වෙලාමයි එන්නේ... මේ තියෙන්නේ ඒ තියෙන මෘදුකාංග...


මේක ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
ලිනක්ස් වලට එදා ඉඳන් උනේ ස්වාදීන කණ්ඩායම් හැදිලා තනි තනි ලෝක වල ජීවත් වීම ( ඩිවලොප් කිරීම ) ..
මගේ හිතවතෙක්...

පිළිතුර...

85% බොරු... 15% ඇත්ත...
ඒක තමයි මෘදුකාංගකරණයේ නිදහස කියන්නේ...
තමන්ට කැමති දේ තමන් හදාගන්නවා...
මෘදුකාංග හදාගන්න තරම් තාක්ෂණික දැනුමක් නැති පුද්ගලයෝ (මමත් ඇතුළුව) ඒ හදලා තියෙන ඒවා පාවිච්චි කරනවා...
එකක් පාවිච්චි කරලා ඇති උනාම, ඒකට එහෙම පිටිංම වෙනස් වෙන එකක් පාවිච්චි කරනවා...
ඒකත් ඇති උනාම තවත් එකක් පාවිච්චි කරනවා...
මෘදුකාංග සංවර්ධනය කරන කිසිම පුද්ගලයෙක් කිසිම ආයතනයකට බැඳිලා නැහැ...
පාවිච්චි කරන පුද්ගලයොත් බැඳිලා නැහැ...
මේක එපා නං වෙන එකකට යන්න ඕනේ නිදහස උපරිමයෙන් තියෙනවා...
ඒ වගේම යන්න ඕනේ තරං වෙන ඔප්ෂනුත් තියෙනවා...
කිසිම මූල්‍යමය පාඩුවකින් තොරව...
Proprietary (හිමිකාරීත්වය ඇති) මෘදුකාංගවල නැති දේ තමයි ඕක...
ඒක නං ඒක විතරයි... ඒක කොච්චර ජරාව උනත් වෙන විකල්පයකට යන්න බැහැ...
බැහැ නෙමේ... යන්න පුළුවං... හැබැයි සල්ලි ඕනේ...


මේකත් ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
අනිත් එක ලංකාවේ උන් ලිනක්ස් දාගෙන ඉන්නේ පොරත්වය සඳහා ..
මගේ හිතවතෙක්...

පිළිතුර...
ඔව්... පොරත්වය සඳහාම තමයි...
ඔය කියන පොරත්වය නිසා වෙන්න ඇති,
ලංකාවේ ලිනක්ස් පාදක OS නිර්මාණය කරන/පාවිච්චි කරන බොහෝ දෙනෙක්, අවුරුදු ගාණක ඉඳං තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරගෙන,
රට වටේම ස්වේච්ඡාවෙන්,
ලිනක්ස් සහ තොරතුරු තාක්ෂණය ප්‍රචාරය කර කර යන්නේ...
එහෙම කළේ නැත්තං තමන්ගේ පොරසිටිය හැදෙන්නේ නැහැ නේ...
නිදහස් හෝ වේවා හිමිකාරීත්වය ඇති හෝ වේවා,
මෘදුකාංගයක් පාවිච්චි කරන කෙනෙක්ව පොරක් විදියට දකින්නේ,
කොම්පියුටරේ කියන්නේ මහත් ඵල මහානිසංස ලබාදෙන,
මහාර්ඝ බලයකින් හෙබි මැෂින් රාජයෙක් විදියට දකින,
මැ**ක්ම තමා...


මේකත් ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
ඩ්‍රයිවර් , හාර්ඩ් වෙයාර් , ෆර්ම් වෙයාර් එකම ෆ්ලැට්ෆෝරම් එකකට එන දෙයක් කලේ නැහැ..
මගේ හිතවතෙක්...

පිළිතුර...
ඔබ මෘදුකාංග ඒකාධිකාරය පිළිබඳව තාම හරි හැටි වටහාගෙන නැහැ...
එහෙම එක කොම්පැණියකින්,
සියල්ල ලබාදෙන තත්ත්වයක් ආවොතින්,
පාවිච්චි කරන මිනිස්සු නිකංම ඒ කොම්පැණියේ,
රූකඩ වෙන එක අහන්න දෙයක් ද?
ඔන්න ඔය කාරණාව නිසයි,
එක සමාගමක් විදියට නැතුව,
වෙන වෙනම ස්වාධීනව සිටීමේ වාසිය,
පාරිභෝගිකයට ලැබෙන්නේ...
එක ලිනක්ස් OS එකකින් තමන්ට අවශ්‍ය දේ වෙන්නේ නැතිනම්,
වෙන ලිනක්ස් OS එකකට මාරුවෙන්න පුළුවනි...
එතකොට තමන්ගේ OS එක මිනිස්සු පාවිච්චි කරනවා අඩුයි කියලා දැනෙද්දි,
OS එකේ නිර්මාපකයන් ඒකත විසඳුමක් ලබාදෙන්න ඉක්මන් වෙනවා...
නමුත් එකම තැනකින් නම් වෙන්නේ...
උඹලට ඕනෙනං පාවිච්චි කරහල්ලා, බැරිනං ඒත් පාවිච්චි කරහල්ලා,
කියලා අදාල සමාගම තමන්ගේ තනි කැමැත්තට වැඩ කරයි...
මිලියන ගාණක් පාරිභෝගිකයෝ,
කරකියාගන්න දෙයක් නැතුව උඩබලාගෙන ඉඳියි..

කොම්පියුටර් අල්ලලා දාන්න...
නිකං මතක් කරගන්න,
අපේ රටේ ජංගම දුරකතන ආපුම කාලේ,
සමාගම් දෙකකින් පාරිභෝගිකයව නටෝපු නැටවිල්ල...

ඊළඟ ප්‍රශ්නේ...
මේ ලෝකේ වින්ඩෝව්ස් , මැක් වලට සාපේක්ෂව ඇයි ලිනක්ස් මූලික වුණු OS සාමාන්‍ය මිනිස්සු අතර භාවිතයේ නැත්තේ ... ?
මගේ හිතවතෙක්...

පිළිතුර...
වැදගත් ප්‍රශ්නයක්...
සරළම පිළිතුර වෙළදාම...
වින්ඩෝස්, මැක් කියන්නේ වෙළඳ භාණ්ඩ...
ලිනක්ස් කියන්නේ තාමත් වෙළඳ භාණ්ඩයක් නෙමේ...
වෙළඳ භාණ්ඩ එක්ක එන පළවෙනි දේ තමා ප්‍රචාරන යාන්ත්‍රණය...
අන්තර්ජාලය පීරලා බලන්න ලිනක්ස් OS එකක් සඳහා කරලා තියෙන වෙළඳ ප්‍රචාරනය...
ඒ වගේම ඊට සාපේක්ෂව වින්ඩෝස්, මැක් සඳහා කරන ප්‍රචාරණය...
සහන් ඇතුළු බොහෝ දෙනෙක් ඔය කියන ප්‍රචාරණ යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වෙලා
තියෙන්නේ...
මේ බණ දෙසන මමත් කාලෙකට කළිං එහෙම තමයි... හැබැයි දැං එහෙම නෙමේ...

හරි, අපි ඊළඟ පියවර ගැන හිතමු.
ලිනක්ස් වෙළඳ භාණ්ඩයක් කරන්න බැරිද?
අපොයි පුළුවං... දැනටම කරලා තියෙන්නේ...
ඇන්ඩ්‍රොයිඩ් OS... ඒවත් ලිනක්ස්ම තමා...
මම කියනවට විශ්වාස නොකර හොයලා බලන්න...
ඇන්ඩ්‍රොයිඩ් OS ලෝකෙට නිකුත් කළේ 2009...
අවුරුදු 4ක් යද්දී ලෝකේ ස්මාට්ෆෝන්වලින් 66.9%ක තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OS එක...
ඒකත් එක්ක තරඟ කරන iOS මාකට් ශෙයා එක 2009 දී 18%.. අද 26%...
බ්ලැක්බෙරි එහෙමත් නැත්තං RIM 2009 දි 21%... අද 3.2%.
ලෝකෙම හොල්ලගෙන හිටිය Symbian (NOKIA OS) එක 2009 දී 47%.. අද ලොවෙත් නැහැ...
වින්ඩෝස් මොබයිල් OS එක ගැන අපි කතා නොකර ඉමු...
එතකොට ඒ ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නේ අසාමාන්‍ය මිනිස්සුද?
සමහරවිට ඔබ අතෙත් මේ වෙනකොට තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OSඑකක් තියෙන ජංගම දුරකතනයක් වෙන්න පුළුවනි...

ඊළඟ ප්‍රශ්නේ...
හරි ඔක්කෝම අමතක කරලා මට කියන්න සිංහල වැඩ කරන ( ටයිපින් කල හැකි ලිනක්ස් OS ටිකක්...( මන් මේ ඇහුවේ මට දාගන්න ඕනේ නිසා ...)


පිළිතුර
...
2008 ඉඳලා මම පාවිච්චි කරපු/කරන OS ඔක්කෝගෙංම මේ දේ කරන්න පුළුවං...
මම සිංහල යුනිකෝඩ් කොටන්න ඉගෙන ගත්තේත්, බ්ලොග් ලියන්න ඉගෙන ගත්තේත්,
ලිනක්ස් උඩදිම තමයි... මම පාවිච්චි කරපු/කරන OS ටික කියන්නං... කැමති
එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න... අමාරු තැනක්
තියෙනවානං අහන්න...

පාවිච්චි කරපු OS...
Ubuntu 8.04 / 8.10 / 9.04 / 10.04 / 11.04 ---> මේවා ඩවුන්ලෝඩ් කරන්න
මහන්සි වෙන්න එපා...
Fedora 10 / 14 / 15 / 16 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
LankaNet Linux 3 ---> මේකත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
හන්තාන ලිනක්ස් 11 / 14 / 17 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...

දැනට පාවිච්චි කරන OS
Ubuntu 12.04 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
Fedora 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
Cent OS ---> ඩවුන්ලෝඩ් කරගන්න...
හන්තාන ලිනක්ස් 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
සහළාන ලිනක්ස් ---> ඩවුන්ලෝඩ් කරගන්න...

ඔය දීලා තියෙන OS හැම එකකම සිංහල ටයිපින් විතරක් නෙමේ,
එදිනෙදා ජීවිතයේදී කරන කියන හැම පරිගණක කටයුත්තක්ම,
අතිශය සර්ථකව, බොහොම පහසුවෙන් කරගන්න පුළුවං...

මේ සංවාදය තවම ඉවර නැහැ...
ඔබටත් ඒ සමඟ එකතු වෙන්න පුළුවං...
ඔබේ අදහසත් ඉඳිරිපත් කරන්න... අපි සාකච්ඡා කරමු...
ඒ සාකච්ඡා තුළින් අවසානයේදී,
වඩාත් යහපත් දේ සමාජයට ලැබෙයි...

මතක තියාගන්න...
ලිනක්ස් කියන්නේ,
බලලා කරන දෙයක් නෙමේ...
කරලා බලන දෙයක්...

ජයවේවා ලිනක්ස්!!!

Tuesday, October 8, 2013

මැරුණ පරිගණකයට පණ පොවමු | The Reincarnation

තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. අද අලුතෙන් එළිදක්වපු තාක්ෂණික උපාංග හෙට වෙද්දි පරණයි. තව මාසයක් යද්දි ඊටත් පරණයි. අවුරුදු දෙක තුනක් යද්දි පරණම පරණයි. අවුරුදු 5ක් විතර වගේ පොඩි කාලයක් ඇතුළත භාවිතයෙන් ඉවත් කරන්න වෙන තරමට තාක්ෂණික උපාංග පරණ වෙනවා... වෙන උපාංගවලට බලපාන්නේ නැති මහ අරුම පුදුම කාරණාවක් තමා ඒක. නමුත් බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංගවල ඇත්ත තත්ත්වේ ඕක තමයි. 

ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් අපේ රටට වැඩියෙන්ම ගෙන්වන ඉලෙක්ට්‍රොනික් උපාංග වර්ගයක් තමා පරිගණක. ගෙන්නන විදිය අනුව කොටස් කීපයකට බෙදලා වෙන් කරන්න පුළුවනි. බ්‍රෑන්ඩ්නිව් පරිගණක, පරිගණක අමතර කොටස් සහ පාවිච්චි කළ පරිගණක. බ්‍රෑන්ඩ්නිව් කිව්වම ඉතිං ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක තමා අයිති වෙන්නේ. ඩෙස්ක්ටොප් පරිගණකත් බ්‍රෑන්ඩ්නිව් ගෙන්නනවා, නමුත් ලැප්ටොප්වලට සාපේක්ෂව අඩුයි. අනිත් ජාතිය තමා ඇමරිකාවෙ, එංගලන්තේ, ජපානේ, දකුණු කොරියාව වගේ රටවල්වල පාවිච්චි කරලා ඉවත් කරන පරිගණක. මේ මොන ජාතිය උනත් අවුරුදු දෙක තුනක් හතරක් පරණ වෙන කොට ඉතිං කුණු කූඩෙට තමයි. මොකද තාක්ෂණේ එන්න එන්නම දියුණු වෙන නිසා වගේම කාලයට සාපේක්ෂව ඒවාගේ මිල අඩුවෙන නිසා. උදාහරණෙකට මීට අවුරුදු 5කට (2008) කළිං ලැප්ටොප් එකක් තිබ්බේ එහෙමත් එකෙක්ට. නමුත් අද වෙනකොට ලැප්ටොප් එකක් තිබ්බා කියලා මහ බක්කක් නැහැ.

පරිගණක පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි මීට අවුරුදු 5කට 6කට කළිං ගත්ත පරිගණකයට දැං මොකද කරන්නේ කියන එක? එහෙමත් නැත්තං අද රුපියල් 4,000/=කට 5,000/=කට මිලදී ගන්න සෙකන්ඩ් හෑන්ඩ් පරිගණකයකට තව අවුරුදු දෙකකින් විතර මොකද කරන්නේ? කාට හරි පින් සලකා දුන්නා කියලා කියමු. ඒත් ඒ ගන්න මනුස්සයට ඒකෙන් ඇති වැඩක් තියේවිද? රුපියල්ම 100ක් වියදං කරලා CD කඩෙං අරගත්ත වින්ඩෝස් XP දාලා දුන්නත්, වර්ඩ් හරි ෆොටෝ එකක් එඩිට් කරන්න හරි ගියාම පරිගණක කියන වචනෙත් එපා වෙන එක වෙයි නේද? ඔය වගේ පරණ පරිගණකයකට අලුතෙන් එන වින්ඩෝස් 7, වින්ඩෝස් 8 (හොර කොපියක් තමා ඉතිං.. අපි කවදද සල්ලි දීලා ජෙනුයින් ගත්තේ) කිට්ටු කරන්නවත් පුළුවං වෙයිද? ඔය වගේ ගැටළු ගොඩයි.

මේ ගැටළුවලට පිළියමක් විදියට තමයි මේ පෝස්ට් එක ලියවෙන්නේ. ගොඩ දෙනෙක්ගේ ගෙවල්වල තියෙන, මීට අවුරුදු අටකට දහයකට කළිං ගත්ත පෙන්ටියම් II, පෙන්ටියම් III, පෙන්ටියම් IV පරිගණක වගේම, අවුරුදු 5කට 6කට කළිං මිලදී ගත්ත, තෑගි ලැබිච්ච ලැප්ටොප් පරිගණකවලට පණ දීලා ගන්නේ කොහොමද? අද දවසේ ඔබට කරන්න අවශ්‍ය වැඩ සඳහා ඒ පරිගණක ප්‍රමාණවත්ද? පිළිතුර ලොකුම ලොකු ඔව් එකක්. ඒ පරණ පරිගණකවලට පණදීලා ගන්න පුළුවං. ඒ වගේම ඒ පරණ පරිගණකවලින් අද දවසේ කරන වැඩ රාජකාරි කරන්නත් පුළුවං...

කොහොමද ඕක කරන්නේ?
පිළිතුර හරිම සරළයි. පාවිච්චි කරන්න ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති.

ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඩිසයින් කරල තියෙන්නේම පරිගණකයේ දෘඩාංග (Hardware) වලින් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන විදියට. බොහොම අඩු දෘඩාංග පහසුකම් යටතේ වැඩි වැඩ කොටසක් කරන්න පුළුවං වෙන විදියට. ඉතිං නිකං විසි කරලා හෝ විසි කරලා දාන්න ලෝබකමට දූවිලි බැඳි බැඳි පැත්තකට කරලා දාලා තියෙන තාක්ෂණයෙන් පරණ පරිගණකවලට අලුත් පණක් දීලා, අද දවසට ගැලපෙන විදියට හදලා ගන්න හැටියි මේ කියන්න යන්නේ.
 
ඊළඟට එන ප්‍රශ්නේ...
වියදම කීයක් විතර යයිද?
උත්තරේ - සතයක්වත් යන්නේ නැහැ...

ලිනක්ස් කර්නල් එක භාවිතා කරලා හදපු මෙහෙයුම් පද්ධති කීපයක්ම තියෙනවා බොහොම අඩු ධාරිතාවයක් තියෙන පරිගණක සඳහාම නිශ්පාදනය කරපු. පහතින් සාකච්ඡා කරන්න යන්නේ ඒවායින් ජනප්‍රියම සහ වැඩිම භාවිතාවකින් යුතු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන. 
මේ හැම මෙහෙයුම් පද්ධතියක්ම ඉතාම කාර්යක්ෂමව වැඩ කරවන්න පෙන්ටියම් III ප්‍රොසෙසරයක්, 512 MB රැම් එකක් සහ 6GB හාඩ් ඩිස්ක් ඉඩක් තියෙන පරිගනකයක් හොඳටම ඇති. දෘඩාංගවල ධාරිතාව ඊට ගොඩක් අඩු උනත් අවුලක් නැහැ. මේ දක්වලා තියෙන මෙහෙයුම් පද්ධති ඒකට ගැලපෙන විදියට සකස් කරගන්න පුළුවං.

හරි... එහෙනං අපි එකින් එකට සාකච්ඡා කරමු.

 


ලෝකේ තියෙන Light Weight Linux Distro වලින් ජනප්‍රියම OS එකක් තමයි මේ Puppy Linux OS එක. 2003 අවුරුද්දේදි තමයි මුලින්ම එළි දැක්වුවේ. සම්පූර්ණ OS එකම වෙන්නේ මෙගා බයිට් 128ක්. හිතාගන්නත් අමාරුයි නේද? ඩවුන්ලෝඩ් කරලා CD එකකට burn කරගන්නත් පුළුවං. USB පෙන් ඩ්‍රයිව් එකක් බූටබල් විදියට හදාගන්නත් පුළුවං. ඒ වගේම ඔබේ වින්ඩෝස් පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ නැත්තං, ඔබට පුළුවං Puppy Linux Live USB එකෙන් හෝ Live CD එකෙන් පරිගණකය පණ ගන්වා ඔබේ දත්ත සියල්ල බැකප් කරගැනීමට. අලුතෙන්ම ලිනක්ස් භාවිතයට පැමිණෙන කෙනෙක්ට ඉතාමත්ම පහසුවෙන් තම කටයුතු කරගන්න හැකි ආකාරයට තමයි Puppy Linux නිර්මාණය කර තිබෙන්නේ.
ප්‍රොසෙසරයේ වේගය 600 MHz සහ RAM එක 256 සිට ඉහළට තිබෙන ඕනෑම පරිගණකයක Puppy Linux ස්ථාපනය කර බොහොම පහසුවෙන් ක්‍රියාත්මක කරවන්න පුළුවනි.
Puppy Linux අලුත්ම සංස්කරනය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.

Puppy Linux ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
Puppy Linux ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

වින්ඩෝස් OS එකක ඉඳං ඩවුන්ලෝඩ් කරලා USB පෙන් එකකින් ඉන්ස්ටෝල් කරන විදිය ගැන බොහොම සරළව කාටත් තේරෙන විදියට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්. විනාඩි 30ක විතර වීඩියෝ එකක්. බැලුවට පස්සේ අයියෝ ඩේටා කියලා හිතෙන්නේ නැහැ...

 


තවත් බොහොම ජනප්‍රිය ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් තමයි VectorLinux කියලා කියන්නේ. බොහොම සරළ, ධාරිතාවයෙන් කුඩා මෙහෙයුම් පද්ධතියක් තමයි මේක. ඒ වගේම ඉතාම වේගවත්. අපේ පරිගනකය කොච්චර පරණ, ධාරිතාවයෙන් ඉතා අඩු වුනත් මේ මෙහෙයුම් පද්ධතිය තුළ වැඩ කරද්දි ඒක දැනෙන්නේ නැහැ... සාමාන්‍ය පරිගණකයකින් වැඩ කරනවා හා සමාන හැඟීමක් මේවාගෙන් දැනෙනවා. ඒ තරමටම වේගවත්.
VectorLinux සංස්කරණ කීපයක්ම තිබෙනවා. ඒ Standard Edition, SOHO Edition, Light Edition සහ Live Edition විදියට.
පහතින් තියෙන්නේ ඒ එක් එක් සංස්කරණය ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න අවශ්‍ය වෙන අවම දෘඩාංග පහසුකම්.

Standard Edition: පෙන්ටියම් 200 MHz ප්‍රොසෙසරය, 96MB RAM (අවම), 2.1GB හාඩ් ඩිස්ක් ඉඩ... පෙන්ටියම් I පරිගණකයක් සඳහා නියම OS එකක්. ඔබ සතුව පෙන්ටියම් I පරිගණකයක් තියෙනවානම් VectorLinux උත්සාහ කර බලන්න. ඔබ මවිතයට පත්වෙනවා නිසැකයි...

SOHO Edition: පෙන්ටියම් 750 MHz ප්‍රොසෙසරය, 512MB RAM (අවම), 5GB හාඩ් ඩිස්ක් ඉඩ... මේ සඳහා 1024x768 24 bit වර්ණ රෙසලූෂන් තිබෙන මොනිටරයක් අවශ්‍ය වෙනවා.

Light Edition: පෙන්ටියම් 166 MHz ප්‍රොසෙසරය, 64MB RAM (අවම), 1.8GB හාඩ් ඩිස්ක් ඉඩ...

Live Editions: පෙන්ටියම් 750 MHz ප්‍රොසෙසරය, 256MB RAM (අවම), මේ සඳහා 1024x768 24 bit වර්ණ රෙසලූෂන් තිබෙන මොනිටරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙහි ඇති වීඩියෝ ඉෆෙක්ට්ස් ආදිය සඳහා 16MB/32MB වගේ VGA කාඩ් එකකුත් අවශ්‍ය වෙනවා.

ඉන්ස්ටෝල් කරන විදිය බොහොම සරළව කාටත් තේරෙන විදියට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්.  විනාඩි 15ක විතර වීඩියෝ එකක්...

VectorLinux අලුත්ම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
VectorLinux ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
VectorLinux ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...


 


නම ඇහෙද්දිම දන්නවා කොහේ කාගේ මොකක්ද කියලා... සුප්‍රකට Canonical සමාගමේ තවත් සාඩම්බර නිශ්පාදනයක්. Ubuntu, Kubuntu, Xubuntu වගේ OS සඳහා ලොකු ධාරිතාවයකින් යුත් දෘඩාංග අවශ්‍ය නිසා හැම පරිගණකයකටම ඒ OS ඉන්ස්ටෝල් කරන්න බැහැ. ඉතිං පරණ පරිගණකවලටත් මනුස්සකමේ මෙහෙයුම් පද්ධතිය අරගෙන යන්න Canonical ලොක්කා දරන උත්සාහය තමා Lubuntu. අපි දන්න කියන Ubuntu වගේම තමයි. ගොඩක් සමානයි. පාවිච්චි වෙන මෘදුකාංගවලත් ලොකු වෙනස්කමක් නැහැ. ඔබට ධාරිතාවයෙන් අඩු පරිගණකවලදීත් Ubuntu අත්දැකීමක් ලබන්න අවශ්‍යනම්, Lubuntu තමා එයත හොඳම පිළියම.
Canonical සමාගමෙන් කරපු නොයෙකු පර්යේෂණ සහ අත්හදාබැලීම්වලදී මතුවෙච්ච කාරනයක් තමයි, ලුබුන්ටු මෙහෙයුම් පද්ධතිය පෙන්ටියම් II හෝ Celeron ප්‍රොසෙසර් සමඟ 128MB රැම් ධාරිතාවයකින් යුතුව ක්‍රියාත්මක කරවන්න පුළුවංයන වග. නමුත් ප්‍රායෝගිකව එදිනෙදා වැඩකතයුතු සඳහා එය යෝග්‍යවන්නේ නැහැ.

පෙන්ටියම් III ප්‍රොසෙසරයක් සමඟ 256MB - 384MB රැම් එකකින් ඔබේ පරිගණකය සන්නද්ධ නම්, කිසි ගැටළුවකින් තොරව ඔබට මෙම මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගෙන එදිනෙදා වැඩකතයුතු සිදුකරගත හැකියි...
ඔබේ පරිගණකයේ RAM ධාරිතාවය 512MB නම්, ආයේ අහන්න දෙයක් නැහැ... වෙඩි වගේ වැඩ...

Lubuntu අලුත්ම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
Lubuntu ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
Lubuntu ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

මේ තියෙන්නේ Lubuntu 13.04 නවතම සංස්කරණය ඉන්ස්ටෝල් කරන විදිය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙන වීඩියෝ එකක්...



Damn Small Linux (DSL)



ඩෑම්(න්) ස්මෝල් ලිනක්ස් [Damn Small Linux (DSL)] කියලා කියන්නේ බොහොම පොඩි ධාරිතාවයකින් යුත් (50MB) ඩෙස්ක්ටොප් ලිනක්ස් OS එකක්. DSL UBS ඩ්‍රයිව් එකකින්, Live CD එකකින්, වින්ඩෝස් ඇතුළෙම තවත් OS එකක් විදියට, බූට් කරන්න පුළුවං...
DSL කොච්චර Light Weight ද කියලා කියනවානං, 486DX පරිගණකයක් 16MB රැම් එකකින් ක්‍රියාත්මක කරවන්න පුළුවං...
දැං තියෙන ප්‍රශ්නේ කොහෙන්ද 16MB රැම් එකක් තියෙන 486 පරිගණකයක් හොයාගන්නේ කියලා...
128MB රැම් එකක් තියෙන පෙන්ටියම් II හෝ පෙන්ටියම් III පරිගණකයකින්, අද දවසේ අපි සිදුකරන බහුතරයක් වැඩ කටයුතු ඉතාමත්ම පහසුවෙන් සහ වේගයෙන් සිදුකරගන්න පුළුවං. ඔබට පුදුම හිතේවි, මේ වැඩ කරන්නේ ඒ 128MB රැම් සහ 450MHz පරිගණකයෙන්ද කියලා.

අංගසම්පූර්ණ ඩෙස්ක්ටොප් එකක් DSL සතුයි. ඒ වගේම SSH/FTP/HTTPD එකක් විදියට උනත් ක්‍රියාත්මක වෙන්න DSLට පුළුවනි. MP3 සිංදු අහන්න, CD එකක් රිප් කරන්න, MPEG වීඩියෝ බලන්න, Netrik/Dillo වෙබ් බ්‍රව්සර්, FireFox බ්‍රව්සර් එක, පැතුරුම්පත් (Spreadsheet) මෘදුකාංග, වදන් සැකසුම් මෘදුකාංග, ඡායාරූප සැකසුම් මෘදුකාංග ආදී මෘදුකාංග බොහොමයක් පෙරනිමියෙන්ම DSL එක්ක ඉන්ස්ටෝල් වෙනවා. රැහැන් සහිත වගේම රැහැන් රහිත ජාලකරණ පහසුකමුත් DSL ලබාදෙනවා.

DSL අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
DSL ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

මේ තියෙන්නේ DSL ඉන්ස්ටෝල් කරන විදිය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙන වීඩියෝ එකක්...
මේ තියෙන්නේ පෙන්ටියම් I ප්‍රොසෙසරයක් තියෙන පරිගණකයකට DSL ඉන්ස්ටෝල් කරන විදිය ගැන වීඩියෝ එකක්...


අනිත් කිසිම මෙහෙයුම් පද්ධතියක නැති, ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතිවල පමණක් ඇති විශේෂම ලක්ෂණය තමා, තමන්ට කැමති විදියකට පාවිච්චි කරන්න තියෙන හැකියාව. පරණ පරිගණක අපිට විසිකරලා දාන්න වෙලා තියෙන්නේ, අපි පාවිච්චි කරන OS ඒවාට නොගැලපෙන නිසා. නමුත් ඒ පරිගණක තාමත් පාවිච්චි කළ හැකි තත්ත්වයේ තියෙනවානං, මේ වගේ OS එකක් දාලා ඒක පාවිච්චි කරන්න කැමති කෙනෙක්ට ලබා දෙන එක පිනක්. 


පරිගණකයක් ගන්න නෙමේ, පිටු 80 පොත් දෙකක් ගන්න සල්ලි නැතුව අසරණ වෙලා ඉන්න ළමයි අපේ රටේ ඕනේ තරම් තියෙනවා. අඳින්න හරි හමං ඇඳුමක් නැතුව එකම නිල ඇඳුම දවස් 5ම හෝද හෝද අඳින ළමයි ඉන්න ඉස්කෝල රටේ නැත්තේ කොහේද... ඒ පාසල්වල ළමයින්ට පරිගණකයක් අරගන්නවා කියන්නේ හීනයක්. ඒ ලමයින්ගේ දෙමව්පියන්ටත් එහෙම දේකට වියදම් කරන්න තරම් මුදලක් නැහැ... ඒ මිනිස්සුන්ගේ අනිවාර්ය අවශ්‍යතා පරිගණකයකට වඩා ගොඩාක් වැඩියි. තාමත් ඈත ගම්බදව තියෙන පාසල්වල බහුතරයක තත්ත්වේ ඕකයි. ඉතිං නිකං ගෙදර පැත්තකට දාලා තියෙන පරිගණකවලට මේ විදියට පණ දීලා, ඒ ළමයින්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය කරන්න, ඒ ළමයින්ටත් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න සහයෝගයක් දෙන්න ඔබටත් පුළුවං... ඔබේ සුළු උපකාරයක් ඔවුන්ට මහමෙරක් වගේ දැනෙයි...

මේ තියෙන්නේ රටේ බොහෝ දුෂ්කර පැත්තක පාසලක පරිගණක විද්‍යාගාරයක් හදලා ඒ දරුවන්ට පරිගණක අධ්‍යාපනය ලබා දීමට පවත්වපු වැඩමුළුවක ඡායාරූප.

මේ ඉස්කෝලේ පරිගණක විද්‍යාගාරය හදන්න උදව් කළේ Born Free කියන සංවිධානේ. වැඩමුළුව සංවිධානය කළේ සහ සම්පත් දායකයෝ විදියට කටයුතු කළේ හන්තාන ලිනක්ස් ටීම් එක. ඒ පාසලේ ළමයින්ට ලැප්ටොප් පරිගණක 15ක් ලබාදෙන්න පුළුවං උනා. ඒ පරිගණකනං අලුත් පරිගණක. ඒ හැම පරිගණකයකම තියෙන OS එක හන්තාන ලිනක්ස්. මේ එක පාසලක් විතරයි... තව මේ වගේ පාසල් විශාල ප්‍රමාණයක් රටේ තියෙනවා... ඔබට පුළුවන්නං ඒකට අපිත් එක්ක එකතු වෙන්න, වඩා යහපත් දෙයක් ඒ දරුවන්ට තිළිණ කරන්නට අපිට පුළුවනි...

පරන පරිගණකවලට පණ දෙන,
මෙකී නොකී මේ සියළුම සෙල්ලම්,
ලිනක්ස් එක්ක විතරයි....
ජයවේවා ලිනක්ස්!!!

Saturday, September 21, 2013

නිදහස් මෘදුකාංග දිනය අදයි...


ලෝක නිදහස් මෘදුකාංග දිනය අද... හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසේ 3වෙනි සෙනසුරාදා තමා ලෝක නිදහස් මෘදුකාංග දිනය සමරන්නේ... මීට අවුරුදු 4කට කළිං, ඒ කියන්නේ 2009 අවුරුද්දේදිත් මම නිදහස් මෘදුකාංග දිනයට පෝස්ට් එකක් දැම්මා... මේ තියෙන්නේ ඒක... ඒ පෝස්ට් එකේ තියෙන හැටියට, 2009 සැප්තැම්බර් වෙන කොට මම නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න පටං අරගෙන අවුරුද්දක්... එහෙනං අද මේ ගෙවෙන්නේ නිදහස් මෘදුකාංග එක්ක ගෙවෙන පස්වෙනි අවුරුද්ද... අවුරුදු 5ට ලබපු අත්දැකීම් සහ වෙච්ච දේවල් නං බොහොමයි... වැදගත්ම දේ විදියට දකින්නේ මේ අවුරුදු 5ක කාලය ඇතුලේදි, මවිසින් නිදහස් මෘදුකාංග හඳුන්වා දීපු ප්‍රමාණය... ඒ ගාණ 1000කට ටිකක් වැඩි ඇති... ඒ හැමෝම අද වෙනකොට නිදහස් මෘදුකාංග පාවිච්චි නොකළත් 10%ක්වත් සම්පූර්ණයෙන් නිදහස් මෘදුකාංග පාවිච්චි කරනවා කියලා නං ස්තීරයි...

මේ තියෙන්නේ එදා, 2009 ලිව්ව පෝස්ට් එකේ එක ඡේදයක්... මේකේ තියෙන කාරණා අදටත් ඒ විදියටම වලංගුයි...
"අනුන්ගේ මෘදුකාංග හොරට පාවිච්චි කරපු මම ඔරිමජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න පටන්ගත්තේ FOSS එහෙමත් නැත්තම් නිදහස් මෘදුකාංග නිසා තමයි. ඒක මම බොහොම ආඩම්බරෙන් කියනවා. අද මම පාවිච්චි කරන්නේ ඔරිජිනල් මෘදුකාංග. ඒවා නිදහස්. නිකම් දෙනවා විතරක් නෙමේ ඕනේනම් කැමති විදියට වෙනස් කරගන්න කේතත් දෙනවා. මම ඒ එක කේතයක්වත් වෙනස් කරලා මට කැමති දේ කළේ නෑ. ඒත් ලෝකේ ගොඩාක් මිනිස්සු ඒක කරනවා කියලා මම දන්නවා. එහෙම කරලා නිකම් ඉන්නේ නෑ. වඩාත් යහපත් දෙයක් සාමාජෙට දෙනවා."

දැං මේ පෝස්ට් එක ලිවීමේ අරමුණ මොකක්ද?
අරමුණු දෙකක් තියෙනවා... පළවෙනි එක අද දිනයේ වැදගත්කම පිළිබඳව මතක් කරන එක... පළවෙනි කාරණාව හරි...
දෙවෙනි එක, ව්‍යාජ මෘදුකාංග වෙනුවට පාවිච්චි කරන්න පුළුවං ඔරිජිනල් නිදහස් මෘදුකාංග පිළිබඳව ප්‍රජාව දැනුවත් කරන එක..
දැං සැරසෙන්නේ දෙවෙනි අරමුණ ගොඩ දාන්න...

මේක මම වෙන තැනක කිව්ව කතාවක්...
මේ පෝස්ට් එකටත් අදාල නිසා,
මෙතන අලෝනවා...

අද නිදහස් මෘදුකාංග දිනය...
උඹලා ගොඩක් දෙනෙක්,
දැනුවත්ව හෝ නොදැනුවත්ව,
නිදහස් මෘදුකාංග පාවිච්චි කරනවා...
ඒ ගැන බලවත් ස්තූතිය...

අපේ රටේ මිනිස්සු,
ගොඩක් වෙලාවට මෘදුකාංග හොර කොපි,
පාවිච්චි කරන්නේ,
වෙන විකල්පයන් නැති නිසා නෙමේ...
වෙන විකල්ප පිළිබඳ නොදැනීම නිසා...

ඔරිජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න...
මෘදුකාංග මිලදී ගන්න මුදල් නැත්තං,
ඒකේ හොර කොපි එක පාවිච්චි නොකර,
වෙන විසඳුමකට යන්න...
ඒ වෙන විසඳුම බොහෝවිට සම්පූර්ණ වෙන්නේ,
නිදහස් මෘදුකාංගයකින්...
නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න...
නිදහස් මෘදුකාංග ප්‍රචලිත කරන්න...
නිදහස් මෘදුකාංගවලට ජයවේවා!!!

උඹලාගේ දැනගැනීම පිණිස,
ජනප්‍රිය මුදල් ගෙවා මිලදී ගත යුතු මෘදුකාංග කීපයකට,
ගැලපෙන නිදහස් මෘදුකාංග ලිස්ට් එකක් අමුනන්නං...
පාවිච්චි කරලා බලන්න...


1. Mozilla Firefox - (වැඩි විස්තර අනවශ්‍යයි නේ)
අලුත්ම එක ගන්න - http://www.getfirefox.com/

2. Thunderbird - (ඊමේල් ක්ලයන්ට් එකක්... MS Outlook හෝ Eudora වෙනුවට)
http://www.mozilla.org/thunderbird/

3. Sunbird - (MS Outlook කැලෙන්ඩර් ෆන්ෂන් එක වෙනුවට)
http://www.mozilla.org/projects/calendar/sunbird/

4. LibreOffice - (MS Office වෙනුවට) 

5. CalmWin - (Antivirus Solution)
http://www.clamwin.com/

6. BitTorrent - (ටොරන්ට් ක්ලයන්ට් එකක්) 

7. Vuze - (ටොරන්ට් ක්ලයන්ට් එකක්) 

8. GIMP - (Photoshop වෙනුවට)
http://www.gimp.org/

9. VLC - (විස්තර ඕනේ නැහැ නේ)
https://www.videolan.org/vlc/download-windows.html

10. Audacity - (ඕඩියෝ එඩිටිං වැඩවලට සහ වොයිස් රෙකෝඩිං + පොඩ්කාස්ට්) http://audacity.sourceforge.net/

11. MusikCube - (iTunes වෙනුවට)
http://www.musikcube.com/

12. Handbrake - (ඕඩියෝ කන්වර්ට් කරන වැඩවලට)

13. KeePass - (පාස්වර්ඩ් මතක තියාගන්න, Store කරගන්න)
http://keepass.info/

14. TrueCrypt - (ඩේටා එන්ක්‍රිප්ට් කරන්න) 

15. PDFCreator - (ඩොකියුමන්ට්ස් PDF කරන්න)
http://sourceforge.net/projects/pdfcreator/

16. HealthMonitor - (පරිගණකයේ හාඩ්වෙයාර් ගැන ඇහැ ගහගෙන ඉන්න)
http://healthmonitor.zucchetti.com/

17. GranttPV - (MS Project වෙනුවට)
http://www.pureviolet.net/ganttpv/

18. Dia - (MS Visio වෙනුවට)
http://dia-installer.de/

19. Geany - (Adobe Dreamviewer වෙනුවට)
http://www.geany.org/

20. K3B - (Nero Suite වෙනුවට)
http://www.kde.org/applications/multimedia/k3b/

21. Scribus - (ඩෙස්ක්ටොප් පබ්ලිෂිං - MS Publisher වෙනුවට)   

22. NotePad2 - (MS Notepad වෙනුවට)
http://www.flos-freeware.ch/notepad2.html

23. Notepad++ - (ක්‍රමලේකන භාෂා කීපයකටම සපෝට් කරන Source Code editor එකක්)
http://notepad-plus-plus.org/

24. Virtual Box - (VMware වෙනුවට)
https://www.virtualbox.org/wiki/Downloads 


25. 7-Zip - (WinRAR වෙනුවට)
http://www.7-zip.org/

මේ මෘදුකාංගවලින් බොහෝ ඒවා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියටත් සහය දක්වනවා... ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නැතුව ජීවත් වෙන්නම බැරිනං, වින්ඩෝස් උඩ මේ මෘදුකාංගවලින් වැඩ කරන්න...

මේ ලිස්ට් එක තව දහස් ගාණක් දිග ඇති...
මේ මම සාමන්‍යයෙන් පාවිච්චි කරන ඒවා...
දන්න කියන ඒවා තියෙනවනං අමුනන්න...
නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න...


මේ මෘදුකාංග ඔක්කෝම ඉන්ස්ටෝල් වෙලා එන,
ඔපරේටිං සිස්ටම් තියෙනවා ගොඩක්...
උබුන්ටු, ෆෙඩෝරා වගේ ඒවා ගොඩක් ජනප්‍රියයි...
ඩවුන්ලෝඩ් කරගන්න තැං ඕනේ තරං...
 
අපේ රටේ අපේම අය හදපු,
ලිනක්ස් මෙහෙයුම් පද්ධති කීපයකුත් තියෙනවා...

ෆෙඩෝරා ලිනක්ස් ආශ්‍රයෙන් හදපු හන්තාන ලිනක්ස්...
මෙන්න විස්තර...

උබුන්ටු ලිනක්ස් ආශ්‍රයෙන් හදපු සහළාන ලිනක්ස්...
මෙන්න විස්තර...

උබුන්ටු ලිනක්ස් ආශ්‍රයෙන් හදපු Cylon ලිනක්ස්...
මෙන්න විස්තර...

ඔය මෙහෙයුම් පද්ධති 3මනියමයි...
අපේ රටේ ලිනක්ස් පාවිච්චිය අවම වෙන්න ලොකුම හේතුව වෙච්ච, අන්තර්ජාල සම්බන්ධතා ගැටළුවට විසඳුම මේ මෙහෙයුම් පද්ධති 3න්ම දීලා තියෙනවා... සරළව කියනවානං, එදිනෙදා ජීවිතයේදී භාවිතයට අවශ්‍ය වෙන මෘදුකාංග සියල්ලම පෙර නිමියෙන්ම මේ මෙහෙයුම් පද්ධති එක්ක එනවා... ඒ නිසා අතිරේක මෘදුකාංග ඉන්ස්ටෝල් කරන්න අන්තර්ජාල පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ...

එහෙනං අදට ඇති...
අවුරුදු 4කට කළිං ඉවර කරපු විදියටම,
මේ පෝස්ට් එකත් ඉවර කරන්නං...

නිදහස් ලෝකයක් තියෙනවානම්, ඇයි බලාගෙන ඉන්නේ?
නිදහස් මෘදුකාංග ජනප්‍රිය කරමු. මෘදුකාංග නිදහස අගයමු.
නිදහස් මෘදුකාංගවලට ජය වේවා...


මේ පෝස්ට් එකට විස්තර ගත්තේ මෙතනින්...
උඩිංම තියෙන ඡායාරූපය ගත්තේ මෙතනින්...

Thursday, February 9, 2012

Ubuntu 10.04 මතදී Firefox 10 ප්‍රතිස්ථාපනය කරමු | How to Reinstall Firefox 10 on Ubuntu 10.04

හෙඩිම දැක්ක ගමන් හැමෝම වගේ දන්නවා මොකක්ද කරන්න යන වැඩේ කියලා.
Ubuntu සහ Firefox...
නිකං ජාඩියට මූඩිය, ඉදිකටුවට නූල, ශ්‍රී ලංකාවට ක්‍රිකට් වගේ එකම පීල්ලේ එකම පැත්තට යන විවෘත සහ නිදහස් මෘදුකාංග දෙකක්.
නිකමට වගේ දෙන්නා ගැන පොඩ්ඩක් හොයලා බලමු...

මොකක්ද මේ Firefox...
සුප්‍රකට Mozilla සමාගමේ සාඩම්බර නිශ්පාදනයක්. විවෘත සහ නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න කට්ටිය. 2009 ජනවාරි ඉදලා අද මේ වෙනකම්ම ලෝකේ ජනප්‍රියතම වෙබ් බ්‍රව්සරය. අලුත්ම සංස්කරණය තමා Firefox 10.0. වෙන කොච්චර වෙබ් බ්‍රව්සර් තිබ්බත් මේක තමා රනාගේ ප්‍රියතම බ්‍රව්සරය.

ඊළගට බලමු Ubuntu...
සුප්‍රකට Canonical සමාගමේ නිශ්පාදනයක්. ලෝකේ දෙවෙනියට ජනප්‍රියතම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතිය. විවෘත සහ නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ මෙහෙයුම් පද්ධතියක්. ස්ථාපනය කරන්න (install), වැඩ කරන්න, පෙනුම වෙනස් කරන්න ලේසිම සහ පාවිච්චි කරන්න ආසම හිතෙන මෙහෙයුම් පද්ධතියක්. රනාගේ ප්‍රියතම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් Ubuntuම තමා.

මොකක්ද දැං මේ කරන්න යන්නේ....


සිද්ධියේ නිධාන කතාව මේකයි.

රනා තවමත් පාවිච්චි කරන්නේ Ubuntu 10.04 Lucid Lynx මෙහෙයුම් පද්ධතිය. මේක එළිදැක්වුවේ 2010 අප්‍රේල් මාසෙදි. අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනස් නොකර මේකම පාවිච්චි කරන්න මූලිකම වෙච්ච හේතුව තමා Ubuntu 10.04 කියන්නේ LTS Version එකක් වීම.
 
මොකක්ද මේ LTS සහ Normal Release කියන දෙකේ වෙනස!

මොකක්ද Normal Release කියලා කියන්නේ?

Normal Release එහෙමත් නැත්තං සාමාන්‍ය සංස්කරණයක් සදහා Canonical ආයතනය මාස 18ක කාලයක් සහය ලබාදෙනවා. උදාහරණයක් විදියට ගිය අවුරුද්දේ ඔක්තෝම්බර්වලදී එළිදැක්වුව Ubuntu 11.10 මෙහෙයුම් පද්ධතියට සහය දක්වන්නේ මාස 18ක කාලයක්. ඒ කියන්නේ 2013 ජූනි මාසයේදී Ubuntu 11.10 කියන මෙහෙයුම් පද්ධතියට Canonical ආයතනය මගින් ලබාදෙන සහයෝගය අවසන් වෙනවා.
සහයෝගය ලබා දෙනවා කියන්නේ විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන කිරීම ලබාදීම. මෙහෙයුම් පද්ධතියේ දෝෂ සහ ආරක්ෂක උපක්‍රම නිරන්තරයෙන් අළුත්වැඩියා කරන අතර ඒ අළුත්වැඩියාවන් නොමිලේම පරිශීලකයන්ට ලබාදීම සිදුකරනවා. ඒ වගේම Ubuntu මෙහෙයුම් පද්ධතියේ ඇති වෙනත් වාණිජමය මෘදුකාංගවල කොන්ත්‍රාත් කාලයත් මේ සහයෝගය ලබාදෙන එකට අයිතියි. මාස 18කින් පස්සේ Canonical සහයෝගය අවසන් වෙනවා කියන්නේ අර කළිං කියපු සහය පරිශීලකයාට තවදුරටත් ලබාදෙන්නේ නෑ කියන එක.

එතකොට මොකක්ද මේ LTS?

LTS කියන එකේ තේරුම Long Term Support. ඒ කියන්නේ දිගු කාලයක් Canonical සහය ලබාදෙනවා කියන එක. LTS සංස්කරණයක් සදහා අවුරුදු 3ක කාලයක් Canonical ආයතනය තමන්ගේ සහය ලබා දෙනවා. Ubuntu Desktop සංස්කරණයක් සදහා පසු සහය අවුරුදු 3ක කාලයක් වගේම Ubuntu Server සංස්කරණයක් සදහා අවුරුදු 5ක කාලයක් මේ LTS නිකුතුවකදී පසු සහය ලබාදීමට Canonical ආයතනය බැදී සිටිනවා. ඒ වගේම රනා අත්දැකීමෙන් දන්න දෙයක් තමා Normal Release එකකට වඩා LTS Release එකක ස්ථාවරභාවය (Stablity) වැඩිවීම.

මේ හේතූන් නිසා තමා රනා තාමත් 2010 අප්‍රේල්වලදී නිකුත්කළ Ubuntu 10.04 Lucid Lynx මෙහෙයුම් පද්ධතියම පාවිච්චි කරන්නේ.

ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමග පෙරනිමියෙන්ම එන අටෝරාසියක් මෘදුකාංග අතරේ වෙබ් බ්‍රව්සරය විදියට ගොඩක් වෙලාවට පැමිණෙන්නේ Firefox. මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන කාලේ වෙනකොට තියෙන අලුත්ම Firefox සංස්කරණය එහිදී ලබාගන්න පුළුවනි. මේ විදියට රනා පාවිච්චි කර කර හිටපු 10.04 මෙහෙයුම් පද්ධතිය එක්ක තිබ්බේ Firefox 3.6.3 කියන සංස්කරණය.

Goolge Chrome බ්‍රව්සරය මගින් තමන්ගේ වෙබ් බ්‍රව්සර් අධිරාජ්‍යයට එල්ල කරන දැඩි තර්ජනය නිසාම අවුරුද්දක් වගේ ඉතා කෙටි කාලයක් ඇතුළත Firefox 4.0 සංස්කරණයේ සිට Firefox 10.0 සංස්කරණය දක්වා සීඝ්‍ර ගමනක් යන්නට Mozilla ආයතනයට සිදුවුනා. Firefox වෙනස් වෙන වේගෙට වෙනස් නොවිච්ච රනා පුරුදු විදියට Firefox 3.6ම පාවිච්චි කර කර හිටියා. වැඩි අවුලක් නෑ.

ඔහොම ඉද්දි තමා Google+ කාරයා අලුතෙන් ගේම්ස් වගයක් හදුන්වලා දුන්නේ. ගේම් ගහන්න රනාත් හරි කැමතියි. ඉතිං Google+ එකේ ගේම් ගහන්න ගියාම රනාට මොකද උනේ? බ්‍රව්සරේ පරණයි, ගිහිං අලුත් එක දාගෙන එන්න කියලා Google+ ගොයියා කිව්වා. 
අපොයි!!! 
කාලා වරෙංකෝ දැං ඉතිං.

Firefox යළි ස්ථාපනය කරන්න පුළුවං විදි ගොඩක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ඉවත්කරලා නැවත පිහිටුවන්නත් පුළුවං. ඒත් බුක්මාර්ක් කරගන්න වෙබ් අඩවි බර ගාණක් තියෙන නිසා ඒ ක්‍රමේ හරියන්නේ නෑ. එහෙනං මොකක්ද කරන්නේ?

මේ වෙලාවේදි තමා රනාට Terminal එක පිහිටට ආවේ. රනාගේ සහ Terminal එකේ සම්බන්ධය ගැන මීට කළිනුත් රනා කියලා තියෙනවා.
කළිං තිබ්බ settings ඒ විදියටම තියාගෙන අලුත්ම සංස්කරණයට බොහොම ලේසියෙන් Terminal එක හරහා පිවිසෙන්න පුළුවනි. 

මේ තියෙන්නේ ඒ ක්‍රමය.
මේක ක්‍රියාත්මක කරන්නනං අන්තර්ජාල සම්බන්ධතාවක් තිබීම අනිවාර්ය කරුණක්.

මුලින්ම Terminal එක ගන්න ඕනේ.

අලුත් විදියකට Terminal එක ගෙන්න ගමු.
Alt + F2 ටයිප් කළාම එන කව්ළුවේ gnome-terminal කියලා ටයිප් කළාම Terminal එක නිකංම open වෙනවා.

ඊළගට root වෙන්න ඕනේ.
sudo bash කියලා ටයිප් කරලා ඔබේ password එක දීමෙන් තාවකාලිකව (මේ Session එකට විතරක්) root වෙන්න පුළුවං.

ඊළගට මෙන්න මේ විදියට ටයිප් කරන්න ඕනේ.
apt-get install --reinstall firefox

මේ command එකේ apt-get install කියන එකේ තේරුම මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට සූදානම් කියන එක සහ "--reinstall firefox" කියන්නේ firefox මෘදුකාංගය ප්‍රතිස්ථාපනය කරන්න කියන විධානයයි.

ඔය ටික ටයිප් කරලා Enter කළාම වැඩේ හරි.

18MB පමණ වෙන ගොනු කීපයක් අපේ පරිගණකයට බාගත වෙනවා. ඊට පස්සේ ස්වයංක්‍රීයව ස්ථාපනය වීම සිදුවේවි. එච්චරයි.

ඊළග වතාවේ ඉදලා ඔබ යළිත් Firefox open කරනකොට ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ නවතම Firefox සංස්කරණය තුළින්...

කරලා බලන්න.

ජය වේවා Firefox!!!