Showing posts with label Software Freedom. Show all posts
Showing posts with label Software Freedom. Show all posts

Monday, June 22, 2015

ලිනක්ස් ගැන සිංහලෙන් | Linux Video Tutorials


අවුරුදු 7කට වැඩි කාලයක් තිස්සේ මගේ පරිගණක ජීවිතය ගෙවෙන්නේ තනිකරම නිදහස් සහ විවෘත මෘදුකාංග උඩ.

ඒ විතරක් නෙමේ, මම පාවිච්චි කරන හැම මෘදුකාංගයක්ම ජෙනුයින් මෘදුකාංග. අන්තිමටම ක්‍රැක් කරපු මෘදුකාංගයක් (Pirated Software) පාවිච්චි කළේ 2008දී. මම හිතන්නේ නැහැ මැරෙනකංම ආයේ කවදාවත් මම ක්‍රැක් කරපු මෘදුකාංග පාවිච්චි කරයි කියලා. ඒ ගැන හිතද්දී දැනෙන්නේ හරි සන්තෝසයක්. ඒකට එකම හේතුව, 2009 ඉඳං අද මේ මොහොත වෙනකංම මම පාවිච්චි කරන්නේ ලිනක්ස් OS එකක්...

ලිනක්ස් පාවිච්චි කරන්න ගත්තට පස්සේ, ලිනක්ස් ගැන හොයන්න පටං ගත්තා. ලිනක්ස් ගැන කියවන්න පටං ගත්තා. එහෙම හොයලා, කියවලා, කරලා බලලා ඉගෙන ගත්ත දේවල් බ්ලොග් එකේ ලියන්න්නත් පටං ගත්තා. එහෙම ඉස්සෙල්ලාම ලිනක් සම්බන්ධ දෙයක් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ 2009-ජූලි-03 වෙනිදා. තව සති දෙකක්ට අඩු කාලයකදි ලිනක්ස් ගැන මම දන්න දේවල් ලෝකේ එක්ක බෙදාගන්න පටං අරගෙන අවුරුදු 6ක් සම්පූර්ණ වෙනවා...

මම දන්න ලිනක්ස් පොඩ්ඩ ගැන තව කෙනෙක්ට ක්‍රමවත්ව උගන්නන්න පටං ගන්නේත් 2009 අවුරුද්දේ ඉඳංම තමයි. ඒ අවස්ථාව මට ලබාදෙන්නේ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ දෙහිවල කව්ඩානේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක දෘඪාංග (Computer Hardware) පාඨමාලාවේ අධ්‍යක්ෂ Chamara Nandika Perera මගේ හිතවතා. මම ගැන, මගේ හැකියාව ගැන විශ්වාස කරලා ඔහු මට අවස්ථාව ලබාදෙනවා ඔහුගේ හාඩ්වෙයා කෝස් එකේ ලිනක්ස් පාට් එක මෙහයවන්න. 2009 ඉඳලා අද වෙනකංම චාමර සර්ගේ පාඨමාලාවල් සියල්ලේම ලිනක්ස් කොටස උගන්නන්නේ මම. 

මේ වෙනකොට මගෙන් ලිනක්ස් ගැන "අ" යනු, "ආ" යනු කියෙව්ව තරුණ තරුණියන් සංඛ්‍යාව 1500කට වැඩි මිසක් අඩු නං නැහැ. ඒ අයගෙන් 10% විතර දැනට සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේත් ලිනක්ස් OS විතරයි. ඒ ගැන දැනෙද්දීත් හිතට දැනෙන්නේ ලොකු සතුටක්...

බ්ලොග් පෝස්ට් එකක් ටයිප් කරනවාට වඩා වෙනස් විදියකට, ලිනක්ස් ගැන කතාකරන්න අවශ්‍යයි කියන කාරණාව මගේ හිතේ වැඩකරන්නේ සෑහෙන කාලෙක ඉඳං. හොඳම විකල්පය තමයි පොඩි පොඩි වීඩියෝ නිකුත් කරන එක... 
  
ලිනක්ස් ගැන, ලිනක්ස් කමාන්ඩ්ස් ගැන, එදිනෙදා පරිගණක අවශ්යතාවයන් ලිනක්ස් OS එකක ඉඳං කරන විදි ගැන තියෙන වීඩියෝ YouTube එකේ වගේම ඉන්ටර්නෙට් එක පුරාම දකින්න පුළුවං. හැබැයි එහෙම කරන විදිය ගැන සිංහලෙන් තියෙන වීඩියෝ තියෙන්නේ ඉතාම අල්පයයි. 

ඉතිං මම තීරණය කළා ඒ හිඩස මට හැකි අයුරින් පුරවන්න.
ඒ සඳහා මම හැදුවා වෙනම YouTube Play List එකක්, සිංහලෙන් ලිනක්ස් ගැන තියෙන. දවසින් දවස, සතියෙන් සතිය මේ ලිස්ට් එකේ තියෙන වීඩියෝ ගණන වැඩි වෙයි. ඒ වගේම ලිනක්ස් මඟින් කරගන්න පුළුවං වැඩ ගැන ඔබ දන්න ප්‍රමාණෙත් ඒ වගේම වැඩි වෙයි. 

පල්ලෙහා තියෙන ලිංක් එකෙන් ගිහිං ඒ වීඩියෝ ඔබටත් බලාගන්න පුළුවං. ඒ වගේම ඔබගෙන් බොහොම පුංචි උදව්වක් ඉල්ලන්නම්. ලිනක්ස් ඉගෙන ගන්න ආස කෙනෙක්ව ඔබ දන්නවානං, ඒ අයටත් මේ වීඩියෝ ලිංක් යවන්න. ලිනක්ස් ගැන අන්දො සංසාරයක් නොදන්න අයට බොහොම සරළව තේරෙන විදියටයි මේ වීඩියෝ හදලා තියෙන්නේ.


එහෙනං සිංහලෙන් ලිනක්ස් ගැන තියෙන වීඩියෝ සීරීස් එකක් බලන්න ඔබ සැමට ආරාධනා!!!



YouTube චැනල් එකට යන්න පුළුවං මෙතනින්...

mv කමාන්ඩ් එක


rm කමාන්ඩ් එක


rmdir කමාන්ඩ් එක


මෙතන අමුණලා තියෙන්නේ වීඩියෝ බොහොම පොඩි ගාණක් විතරයි. තව වීඩියෝ ගොඩක් ප්ලේ ලිස්ට් එකේ තියෙනවා. 

ඒ වගේම මේ වීඩියෝ ටියුටෝරියල් ටික හදන්න මම පාවිච්චි කරපු මෘදුකාංග ටික ගැන සඳහන් නොකළොත් ඒක ලොකු අඩුවක්. පල්ලෙහායින් තියෙන්නේ මම ඒ පාවිච්චි කරපු මෘදුකාංග කීපය.

LibraOffice Impress


Simple Screen Recorder



OpenShot Video Editor



ජයවේවා ලිනක්ස්!!!

Thursday, May 7, 2015

100 | Century





මේක බොහොම පොඩි සටහනක්...

එදිනෙදා ඇසි දිසි දේ යම් පමණකට අරගෙන ආව, රනා ලියන බ්ලොග් අඩවිය, අද සාපේක්ෂව බොහොම සරළ කඩ ඉමක් පහුකරනවා...

මම රනා.
බ්ලොග් කියවන්න,ලියන්න මටත් හරි ලොකු අමාරුවක් ඉස්සර ඉ‍දංම තිබුනා. මීට කළිං මම බ්ලොග් ලියන්න උත්සහ කළත් ඒක හරියටම හරි ගියේ නෑ. කොහොම උනත් මම මේක කරන්න දිගටම උත්සාහ කරනවා. ඒකට ඔයලාගේ උදව් මට ගොඩක් ඕනේ වෙයි.

මේ තියෙන්නේ රනා ලියන බ්ලොග් එකේ පළවෙනිම පෝස්ට් එකේ පළවෙනිම වාක්‍ය තුන හතර... මේ ටික ලියලා තියෙන්නේ 2009 ජූනි මාසේ 23වෙනිදා... අදට අවුරුදු 6ට මාසයයි දවස් ගාණයි අඩු... බ්ලොග් පෝස්ට් 100ක් ලියන්න අවුරුදු 6ක් ගියේ ඇයි කියන එක කියවන ඔබට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. එකම හේතුවයි... කම්මැලිකම!!!

මේ බ්ලොග් සටහන් 100න් 52ක්ම ලිව්වේ පැය 24ක් ඇතුළත. ඒ 2010 අවුරුද්දේ අප්‍රේල් 24වෙනි සෙනසුරාදා සිට 25වෙනි ඉරිදා වෙනකං තිබ්බ සිංහල බ්ලොග් මැරතන් තරඟේදි. එදා පැය 12ක කාලෙකදි බ්ලොග් පෝස්ට් 52ක් ලිව්වා... ඊට පස්සේ තමයි හොඳම හරිය... 2011 අවුරුද්දේ ඉඳං අද මේ මොහොත දක්වා, මේ සටහනත් ඇතුළුව ලියලා තියෙන්නේ හරියටම බ්ලොග් පෝස්ට් 25යි. හැබැයි හැම අවුරුද්දෙම බ්ලොග් පෝස්ට් එකක් හරි ලියන්න තරං දක්ෂතාවයක් මගේ තිබිලා තියෙනවා... ඒ ගැන හරි සන්තෝසයි...

මේ බ්ලොග් පෝස්ට් 100 පුරාවට එක එක ජාතියේ විකාර ලියලා තියෙනවා. රනාගේ චින්තන, නිදහස් මෘදුකාංග, ලිනක්ස්, කතන්දර, කවි, ෆොටෝ, ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් වැඩකෑලි, චිත්‍රපටි විචාර, පොලිස් කේස්, අරක්කු ගැන... මේ වගේ ගොඩාක් දේවල්... බ්ලොග් පෝස්ට් එකක් ලියන එක හරි ආස හිතෙන වැඩක්... නමුත් ඉතිං උප්පත්ති කම්මැලිකම ඔය හැම එකටම වඩා විශාලයි...

බ්ලොග් නිසා ලැබුණ දේවල් විශාලයි... ඉන්ටර්නෙට් එකේ මගේම කියලා පෙන්නන්න තියෙන එක දෙයක් තමයි බ්ලොග් එක... ඒ වගේම තමයි අඳුරගත්ත හිත මිත්‍ර සෙට් එක... ලේසියෙන් සෙට් වෙන්නේ නැති වපසරියක විශාල පිරිසක් අඳුරගන්න ලැබුනා අන්තර්ජාල ජීවිතේ නිසා... වැදගත්ම දේ ඒ අයගෙන් බහුතරයක් යුනිකෝඩ් මිනිස්සු නෙමේ... යුනිකෝඩ්වලිං එහාට ගිය ලොකු බැඳීමක් තියෙනවා එතන... 

මම කවදාවත් ප්ලෑන් කරලා බ්ලොග් පෝස්ට් ලිව්වේ නැහැ... ඉස්සරහට එහෙම ලියන එකකුත් නෑ... ඒක නිසා 150වෙනි පෝස්ට් එක හෝ 200වෙනි පෝස්ට් එක කවදා ලියවෙයිද දන්නේ නැහැ... සමහරවිට ලියවෙයි... සමහර විට ලියවෙන එකක් නෑ... බ්ලොග් පෝස්ට් ගොඩාක් ලියන්න ලොකු කැමැත්තක් තියෙනවා... බලමු...

හරි එහෙනං... අවුරුදු 6ක් තිස්සේ මේ බ්ලොග් එක කියවපු, කමෙන්ට් කරපු, කමෙන්ට් නොකරපු, ඔබ හැමෝටම බොහෝම ස්තූතියි... ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු...

ජයවේවා!!!

Monday, October 14, 2013

ලිනක්ස් - ප්‍රශ්න සහ පිළිතුරු | Linux Q&A


     පහුගිය දවස් කීපයකදි ලිනක්ස් පිළිබඳ කරපු කතාබස්වලදි, මගේ හිතවතුන්/හිතවතියන් ලිනක්ස් ගැන විවිධ අදහස් පළකළා.. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතා කරන අය නෙමෙයි. නමුත් ඔවුන් ඉඳිරිපත් කළේ නිදහස් හා විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ගැන ඔවුන්ගේ අවංක අදහස්.
ඒ අදහස්වලට ඔවුන්ට පිළිතුරු දුන්නත්, නිදහස් සහ විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් ගැන සංවාදයක් ඇති කරන්න ඒ අදහස් හා මතවාද හොඳ පදනමක් වේවි කියල දැනුනා... තැන් තැන්වල තිබුණ ඒ අදහස්, මතවාද එක්කහු කරලා මේ විදියට පෝස්ට් එකක් බවට පත්කළේ ඒකයි...
මේ සංවාදය වඩාත් යහපත් සංවාදයක් බවට පත් කරන්න ඔබටත් පුළුවං...
එන්න, අපිත් එක්ක එකතුවෙන්න...


ඔය කිව්වට කවුද ඕවා සල්ලි දීලා ගන්නේ... අපි ජාතියක් වශයෙන්ම කම්බ හොරුනේ... 
මගේ හිතවතෙක් කිව්ව දෙයක්...

දුන්න පිළිතුර...
මේක මචං අර "රත්වෙන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුව දිය කෙළියේ…" කේස් එකක්...
පෞද්ගලික පරිගණකවලත් OS එක ජෙනුයින්ද කියලා බලන කාලේ වැඩි ඈතක නැහැ...
හොරබඩු නං,
රුපියල් ලක්ෂ 5ට අඩු දඩයක් හෝ, මාස 6කට අඩු සිර දඳුවමක් හෝ, දෙකම සෙට් වෙන්න පුළුවං...
මෙන්න උදාහරණ...

ඊළඟ එක,
හොර මෘදුකාංග සමඟ එන ආරක්ෂාව පිළිබඳ ගැටළු...
නිකමට කල්පනා කරලා බලන්න,
වයිරස් කේස් නිසා කොම්පියුටරේ ෆෝමැට් කරපු වාර ගාන...
ෆෝමැට්කරලා ඉවරවෙලා ආයේ අනිත් සොෆ්ට්වෙයා දාන්න වින්ද දුක...
වයිරස් නිසා නැතිවෙච්ච ඩේටා....
වින්ඩෝස් ජෙනුයින් උනාට මචං අනිත් සොෆ්ට්වෙයා ජෙනුයින්ද?
ඔෆිස්, ෆොටෝසෝප්, නීරෝ උනත් ජෙනුයින් නෙමේ...
මම ටක්කෙටම කියන්නං,
උඹේ කොම්පියුටරේ තියෙන්නේ ජෙනුයින් සොෆ්ට්වෙයා දෙකයි...
පළවෙනි එක ෆයර්ෆොක්ස් හෝ ක්‍රෝම්...
අනික VLC/KPlayer/GomPlayer එක...
ඔය දෙකත් නිදහස් හා විවෘත මෘදුකාංග...
ඕනේ තරං විස්කි තියෙද්දි,
හිත යද්දි කසිප්පුවලටමනං,
ඒක විස්කිවල ප්‍රශ්නයක් නෙමේ මචං,
බොන එකාගේ මානසික ප්‍රශ්නයක්...

--මේ සංවාදයෙන් පසුව හිතවතා කිව්ව විදියට ඔහුගේ පරිගණකයේ තිබෙන්නේ ජෙනුයින් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය. ඊට අමතරව ඔහු එදිනෙදා අනෙකුත් පරිගණක ආශ්‍රිත වැඩ කටයුතු කරන්නේ ගූගල් සමාගමෙන් ලබාදෙන සේවාවන් ඔස්සේ... එමනිසා ඔහු පිළිබඳව කරපු උපකල්පනය වැරදියි...


ලිනක්ස් හොඳ ඇති. හැබැයි මට ඉතිං ඒක ඉගෙන ගෙන වැඩක් නැති වෙයි.... ඉස්කෝලෙන් කරන්න කිව්වොත් කරනවා..මම හිතන්නෙ නෑ ඕලෙවල් වෙනකං පොඩ්ඩන්ට ලිනක්ස් ඕනෙ වෙයි කියලා....
මගේ හිතවතියක්...

පිළිතුර...

පළවෙනි කාරණේ,
අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රලේකයක්ම නිකුත් කරලා තියෙනවා පාසැල් පරිගණක විද්‍යාගාරවලට මින් ඉඳිරියට ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ ජෙනුයින් මෘදුකාංග පමණයි කියලා... එතකොට ඔප්ෂන් දෙකයි... එක්කෝ සල්ලි දීලා ගන්න ඕනේ... නැත්තං නිදහස් මෘදුකාංගවලට යොමුවෙන්න ඕනේ...
OL/AL සිලබස් දෙකම බොහොම ලස්සනට ඉගෙන ගන්න පුළුවං නිදහස් මෘදුකාංගවලින්...

තියෙන පාඩම් ටික බලමු,

Word Processing, Presentation, Spreadsheet...
මේවා MS Office වලින් වගේම වෙන ඔෆිස් මෘදුකාංගවලිනුත් කරන්න පුළුවං... උදාහරණෙට LibreOffice වලින්...

Image Manipulating බොහොම පොඩ්ඩක් තියෙනවා..
ඒකට තමා ඔය හැමෝම ෆොටෝසෝප් ෆොටෝසෝප් ගාන්නේ... GIMP වලින් ඉගෙන ගන්න වැඩේ බොහොම අපූරුවට කරගන්න පුළුවනි...

තව HTML ටිකක් උගන්නනවා... ඒකට හොරෙං පාවිච්චි කරන Dreamviewer වෙනුවට ඔරිමජිනල් Geany පාවිච්චි කරන්න පුළුවං...

වැඩිය ඕනේ නැහැ... ප්‍රෝග්‍රෑමිංවලට තියෙන්නේ VB6 (මේක අධ්‍යාපන පද්ධතියට එක්කහු කරපු/කරන්න උපදෙස් දීපු කෙනාගේ හතරවරිගෙම නිවන් යන්න ඕනේ කරපු පිනේ බල මහිමෙට).. ඕකට VisualStudio 2000 ඕනේ නැහැ, Gambas වලින් VB6 ප්‍රෝග්‍රෑමිං කරන්න පුළුවං...

ඔය කිව්වේ OL ගැන...

AL ගැන එකම දෙයක් කියන්නං...
ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න තියෙන භාෂාව Python...
වින්ඩෝස්වලදි අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනේ...
ලිනක්ස් OS ඕනෙම එකක Default ඉන්ස්ටෝල්කරලා එන්නේ...

1වසරේ සිට 9 වසර දක්වා පොඩි පැංචොන්ට...
ඉගෙනගන්න උදව්කරන මෘදුකාංග දහස්ගාණක් තියෙනවා
චක්කරේ පාඩං කරගන්න, ගණං හදන්න, සමාජ අධ්‍යයනය ඉගෙනගන්න විතරක් නෙමේ තාරකා විද්‍යාව ඉගෙන ගන්නවානං ඒකට උනත් පාවිච්චි කරන්න පුළුවං මෘදුකාංග බොහොමයි... අපේ රටේ අපේ එවුංම හදන "හන්තාන ලිනක්ස්" OS එකේ ඒ මෘදුකාංග ගොඩක් ඉන්ස්ටෝල්වෙලාමයි එන්නේ... මේ තියෙන්නේ ඒ තියෙන මෘදුකාංග...


මේක ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
ලිනක්ස් වලට එදා ඉඳන් උනේ ස්වාදීන කණ්ඩායම් හැදිලා තනි තනි ලෝක වල ජීවත් වීම ( ඩිවලොප් කිරීම ) ..
මගේ හිතවතෙක්...

පිළිතුර...

85% බොරු... 15% ඇත්ත...
ඒක තමයි මෘදුකාංගකරණයේ නිදහස කියන්නේ...
තමන්ට කැමති දේ තමන් හදාගන්නවා...
මෘදුකාංග හදාගන්න තරම් තාක්ෂණික දැනුමක් නැති පුද්ගලයෝ (මමත් ඇතුළුව) ඒ හදලා තියෙන ඒවා පාවිච්චි කරනවා...
එකක් පාවිච්චි කරලා ඇති උනාම, ඒකට එහෙම පිටිංම වෙනස් වෙන එකක් පාවිච්චි කරනවා...
ඒකත් ඇති උනාම තවත් එකක් පාවිච්චි කරනවා...
මෘදුකාංග සංවර්ධනය කරන කිසිම පුද්ගලයෙක් කිසිම ආයතනයකට බැඳිලා නැහැ...
පාවිච්චි කරන පුද්ගලයොත් බැඳිලා නැහැ...
මේක එපා නං වෙන එකකට යන්න ඕනේ නිදහස උපරිමයෙන් තියෙනවා...
ඒ වගේම යන්න ඕනේ තරං වෙන ඔප්ෂනුත් තියෙනවා...
කිසිම මූල්‍යමය පාඩුවකින් තොරව...
Proprietary (හිමිකාරීත්වය ඇති) මෘදුකාංගවල නැති දේ තමයි ඕක...
ඒක නං ඒක විතරයි... ඒක කොච්චර ජරාව උනත් වෙන විකල්පයකට යන්න බැහැ...
බැහැ නෙමේ... යන්න පුළුවං... හැබැයි සල්ලි ඕනේ...


මේකත් ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
අනිත් එක ලංකාවේ උන් ලිනක්ස් දාගෙන ඉන්නේ පොරත්වය සඳහා ..
මගේ හිතවතෙක්...

පිළිතුර...
ඔව්... පොරත්වය සඳහාම තමයි...
ඔය කියන පොරත්වය නිසා වෙන්න ඇති,
ලංකාවේ ලිනක්ස් පාදක OS නිර්මාණය කරන/පාවිච්චි කරන බොහෝ දෙනෙක්, අවුරුදු ගාණක ඉඳං තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරගෙන,
රට වටේම ස්වේච්ඡාවෙන්,
ලිනක්ස් සහ තොරතුරු තාක්ෂණය ප්‍රචාරය කර කර යන්නේ...
එහෙම කළේ නැත්තං තමන්ගේ පොරසිටිය හැදෙන්නේ නැහැ නේ...
නිදහස් හෝ වේවා හිමිකාරීත්වය ඇති හෝ වේවා,
මෘදුකාංගයක් පාවිච්චි කරන කෙනෙක්ව පොරක් විදියට දකින්නේ,
කොම්පියුටරේ කියන්නේ මහත් ඵල මහානිසංස ලබාදෙන,
මහාර්ඝ බලයකින් හෙබි මැෂින් රාජයෙක් විදියට දකින,
මැ**ක්ම තමා...


මේකත් ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
ඩ්‍රයිවර් , හාර්ඩ් වෙයාර් , ෆර්ම් වෙයාර් එකම ෆ්ලැට්ෆෝරම් එකකට එන දෙයක් කලේ නැහැ..
මගේ හිතවතෙක්...

පිළිතුර...
ඔබ මෘදුකාංග ඒකාධිකාරය පිළිබඳව තාම හරි හැටි වටහාගෙන නැහැ...
එහෙම එක කොම්පැණියකින්,
සියල්ල ලබාදෙන තත්ත්වයක් ආවොතින්,
පාවිච්චි කරන මිනිස්සු නිකංම ඒ කොම්පැණියේ,
රූකඩ වෙන එක අහන්න දෙයක් ද?
ඔන්න ඔය කාරණාව නිසයි,
එක සමාගමක් විදියට නැතුව,
වෙන වෙනම ස්වාධීනව සිටීමේ වාසිය,
පාරිභෝගිකයට ලැබෙන්නේ...
එක ලිනක්ස් OS එකකින් තමන්ට අවශ්‍ය දේ වෙන්නේ නැතිනම්,
වෙන ලිනක්ස් OS එකකට මාරුවෙන්න පුළුවනි...
එතකොට තමන්ගේ OS එක මිනිස්සු පාවිච්චි කරනවා අඩුයි කියලා දැනෙද්දි,
OS එකේ නිර්මාපකයන් ඒකත විසඳුමක් ලබාදෙන්න ඉක්මන් වෙනවා...
නමුත් එකම තැනකින් නම් වෙන්නේ...
උඹලට ඕනෙනං පාවිච්චි කරහල්ලා, බැරිනං ඒත් පාවිච්චි කරහල්ලා,
කියලා අදාල සමාගම තමන්ගේ තනි කැමැත්තට වැඩ කරයි...
මිලියන ගාණක් පාරිභෝගිකයෝ,
කරකියාගන්න දෙයක් නැතුව උඩබලාගෙන ඉඳියි..

කොම්පියුටර් අල්ලලා දාන්න...
නිකං මතක් කරගන්න,
අපේ රටේ ජංගම දුරකතන ආපුම කාලේ,
සමාගම් දෙකකින් පාරිභෝගිකයව නටෝපු නැටවිල්ල...

ඊළඟ ප්‍රශ්නේ...
මේ ලෝකේ වින්ඩෝව්ස් , මැක් වලට සාපේක්ෂව ඇයි ලිනක්ස් මූලික වුණු OS සාමාන්‍ය මිනිස්සු අතර භාවිතයේ නැත්තේ ... ?
මගේ හිතවතෙක්...

පිළිතුර...
වැදගත් ප්‍රශ්නයක්...
සරළම පිළිතුර වෙළදාම...
වින්ඩෝස්, මැක් කියන්නේ වෙළඳ භාණ්ඩ...
ලිනක්ස් කියන්නේ තාමත් වෙළඳ භාණ්ඩයක් නෙමේ...
වෙළඳ භාණ්ඩ එක්ක එන පළවෙනි දේ තමා ප්‍රචාරන යාන්ත්‍රණය...
අන්තර්ජාලය පීරලා බලන්න ලිනක්ස් OS එකක් සඳහා කරලා තියෙන වෙළඳ ප්‍රචාරනය...
ඒ වගේම ඊට සාපේක්ෂව වින්ඩෝස්, මැක් සඳහා කරන ප්‍රචාරණය...
සහන් ඇතුළු බොහෝ දෙනෙක් ඔය කියන ප්‍රචාරණ යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වෙලා
තියෙන්නේ...
මේ බණ දෙසන මමත් කාලෙකට කළිං එහෙම තමයි... හැබැයි දැං එහෙම නෙමේ...

හරි, අපි ඊළඟ පියවර ගැන හිතමු.
ලිනක්ස් වෙළඳ භාණ්ඩයක් කරන්න බැරිද?
අපොයි පුළුවං... දැනටම කරලා තියෙන්නේ...
ඇන්ඩ්‍රොයිඩ් OS... ඒවත් ලිනක්ස්ම තමා...
මම කියනවට විශ්වාස නොකර හොයලා බලන්න...
ඇන්ඩ්‍රොයිඩ් OS ලෝකෙට නිකුත් කළේ 2009...
අවුරුදු 4ක් යද්දී ලෝකේ ස්මාට්ෆෝන්වලින් 66.9%ක තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OS එක...
ඒකත් එක්ක තරඟ කරන iOS මාකට් ශෙයා එක 2009 දී 18%.. අද 26%...
බ්ලැක්බෙරි එහෙමත් නැත්තං RIM 2009 දි 21%... අද 3.2%.
ලෝකෙම හොල්ලගෙන හිටිය Symbian (NOKIA OS) එක 2009 දී 47%.. අද ලොවෙත් නැහැ...
වින්ඩෝස් මොබයිල් OS එක ගැන අපි කතා නොකර ඉමු...
එතකොට ඒ ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නේ අසාමාන්‍ය මිනිස්සුද?
සමහරවිට ඔබ අතෙත් මේ වෙනකොට තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OSඑකක් තියෙන ජංගම දුරකතනයක් වෙන්න පුළුවනි...

ඊළඟ ප්‍රශ්නේ...
හරි ඔක්කෝම අමතක කරලා මට කියන්න සිංහල වැඩ කරන ( ටයිපින් කල හැකි ලිනක්ස් OS ටිකක්...( මන් මේ ඇහුවේ මට දාගන්න ඕනේ නිසා ...)


පිළිතුර
...
2008 ඉඳලා මම පාවිච්චි කරපු/කරන OS ඔක්කෝගෙංම මේ දේ කරන්න පුළුවං...
මම සිංහල යුනිකෝඩ් කොටන්න ඉගෙන ගත්තේත්, බ්ලොග් ලියන්න ඉගෙන ගත්තේත්,
ලිනක්ස් උඩදිම තමයි... මම පාවිච්චි කරපු/කරන OS ටික කියන්නං... කැමති
එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න... අමාරු තැනක්
තියෙනවානං අහන්න...

පාවිච්චි කරපු OS...
Ubuntu 8.04 / 8.10 / 9.04 / 10.04 / 11.04 ---> මේවා ඩවුන්ලෝඩ් කරන්න
මහන්සි වෙන්න එපා...
Fedora 10 / 14 / 15 / 16 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
LankaNet Linux 3 ---> මේකත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
හන්තාන ලිනක්ස් 11 / 14 / 17 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...

දැනට පාවිච්චි කරන OS
Ubuntu 12.04 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
Fedora 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
Cent OS ---> ඩවුන්ලෝඩ් කරගන්න...
හන්තාන ලිනක්ස් 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
සහළාන ලිනක්ස් ---> ඩවුන්ලෝඩ් කරගන්න...

ඔය දීලා තියෙන OS හැම එකකම සිංහල ටයිපින් විතරක් නෙමේ,
එදිනෙදා ජීවිතයේදී කරන කියන හැම පරිගණක කටයුත්තක්ම,
අතිශය සර්ථකව, බොහොම පහසුවෙන් කරගන්න පුළුවං...

මේ සංවාදය තවම ඉවර නැහැ...
ඔබටත් ඒ සමඟ එකතු වෙන්න පුළුවං...
ඔබේ අදහසත් ඉඳිරිපත් කරන්න... අපි සාකච්ඡා කරමු...
ඒ සාකච්ඡා තුළින් අවසානයේදී,
වඩාත් යහපත් දේ සමාජයට ලැබෙයි...

මතක තියාගන්න...
ලිනක්ස් කියන්නේ,
බලලා කරන දෙයක් නෙමේ...
කරලා බලන දෙයක්...

ජයවේවා ලිනක්ස්!!!