Showing posts with label නිදහස් මෘදුකාංග. Show all posts
Showing posts with label නිදහස් මෘදුකාංග. Show all posts

Monday, June 22, 2015

ලිනක්ස් ගැන සිංහලෙන් | Linux Video Tutorials


අවුරුදු 7කට වැඩි කාලයක් තිස්සේ මගේ පරිගණක ජීවිතය ගෙවෙන්නේ තනිකරම නිදහස් සහ විවෘත මෘදුකාංග උඩ.

ඒ විතරක් නෙමේ, මම පාවිච්චි කරන හැම මෘදුකාංගයක්ම ජෙනුයින් මෘදුකාංග. අන්තිමටම ක්‍රැක් කරපු මෘදුකාංගයක් (Pirated Software) පාවිච්චි කළේ 2008දී. මම හිතන්නේ නැහැ මැරෙනකංම ආයේ කවදාවත් මම ක්‍රැක් කරපු මෘදුකාංග පාවිච්චි කරයි කියලා. ඒ ගැන හිතද්දී දැනෙන්නේ හරි සන්තෝසයක්. ඒකට එකම හේතුව, 2009 ඉඳං අද මේ මොහොත වෙනකංම මම පාවිච්චි කරන්නේ ලිනක්ස් OS එකක්...

ලිනක්ස් පාවිච්චි කරන්න ගත්තට පස්සේ, ලිනක්ස් ගැන හොයන්න පටං ගත්තා. ලිනක්ස් ගැන කියවන්න පටං ගත්තා. එහෙම හොයලා, කියවලා, කරලා බලලා ඉගෙන ගත්ත දේවල් බ්ලොග් එකේ ලියන්න්නත් පටං ගත්තා. එහෙම ඉස්සෙල්ලාම ලිනක් සම්බන්ධ දෙයක් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ 2009-ජූලි-03 වෙනිදා. තව සති දෙකක්ට අඩු කාලයකදි ලිනක්ස් ගැන මම දන්න දේවල් ලෝකේ එක්ක බෙදාගන්න පටං අරගෙන අවුරුදු 6ක් සම්පූර්ණ වෙනවා...

මම දන්න ලිනක්ස් පොඩ්ඩ ගැන තව කෙනෙක්ට ක්‍රමවත්ව උගන්නන්න පටං ගන්නේත් 2009 අවුරුද්දේ ඉඳංම තමයි. ඒ අවස්ථාව මට ලබාදෙන්නේ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ දෙහිවල කව්ඩානේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක දෘඪාංග (Computer Hardware) පාඨමාලාවේ අධ්‍යක්ෂ Chamara Nandika Perera මගේ හිතවතා. මම ගැන, මගේ හැකියාව ගැන විශ්වාස කරලා ඔහු මට අවස්ථාව ලබාදෙනවා ඔහුගේ හාඩ්වෙයා කෝස් එකේ ලිනක්ස් පාට් එක මෙහයවන්න. 2009 ඉඳලා අද වෙනකංම චාමර සර්ගේ පාඨමාලාවල් සියල්ලේම ලිනක්ස් කොටස උගන්නන්නේ මම. 

මේ වෙනකොට මගෙන් ලිනක්ස් ගැන "අ" යනු, "ආ" යනු කියෙව්ව තරුණ තරුණියන් සංඛ්‍යාව 1500කට වැඩි මිසක් අඩු නං නැහැ. ඒ අයගෙන් 10% විතර දැනට සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේත් ලිනක්ස් OS විතරයි. ඒ ගැන දැනෙද්දීත් හිතට දැනෙන්නේ ලොකු සතුටක්...

බ්ලොග් පෝස්ට් එකක් ටයිප් කරනවාට වඩා වෙනස් විදියකට, ලිනක්ස් ගැන කතාකරන්න අවශ්‍යයි කියන කාරණාව මගේ හිතේ වැඩකරන්නේ සෑහෙන කාලෙක ඉඳං. හොඳම විකල්පය තමයි පොඩි පොඩි වීඩියෝ නිකුත් කරන එක... 
  
ලිනක්ස් ගැන, ලිනක්ස් කමාන්ඩ්ස් ගැන, එදිනෙදා පරිගණක අවශ්යතාවයන් ලිනක්ස් OS එකක ඉඳං කරන විදි ගැන තියෙන වීඩියෝ YouTube එකේ වගේම ඉන්ටර්නෙට් එක පුරාම දකින්න පුළුවං. හැබැයි එහෙම කරන විදිය ගැන සිංහලෙන් තියෙන වීඩියෝ තියෙන්නේ ඉතාම අල්පයයි. 

ඉතිං මම තීරණය කළා ඒ හිඩස මට හැකි අයුරින් පුරවන්න.
ඒ සඳහා මම හැදුවා වෙනම YouTube Play List එකක්, සිංහලෙන් ලිනක්ස් ගැන තියෙන. දවසින් දවස, සතියෙන් සතිය මේ ලිස්ට් එකේ තියෙන වීඩියෝ ගණන වැඩි වෙයි. ඒ වගේම ලිනක්ස් මඟින් කරගන්න පුළුවං වැඩ ගැන ඔබ දන්න ප්‍රමාණෙත් ඒ වගේම වැඩි වෙයි. 

පල්ලෙහා තියෙන ලිංක් එකෙන් ගිහිං ඒ වීඩියෝ ඔබටත් බලාගන්න පුළුවං. ඒ වගේම ඔබගෙන් බොහොම පුංචි උදව්වක් ඉල්ලන්නම්. ලිනක්ස් ඉගෙන ගන්න ආස කෙනෙක්ව ඔබ දන්නවානං, ඒ අයටත් මේ වීඩියෝ ලිංක් යවන්න. ලිනක්ස් ගැන අන්දො සංසාරයක් නොදන්න අයට බොහොම සරළව තේරෙන විදියටයි මේ වීඩියෝ හදලා තියෙන්නේ.


එහෙනං සිංහලෙන් ලිනක්ස් ගැන තියෙන වීඩියෝ සීරීස් එකක් බලන්න ඔබ සැමට ආරාධනා!!!



YouTube චැනල් එකට යන්න පුළුවං මෙතනින්...

mv කමාන්ඩ් එක


rm කමාන්ඩ් එක


rmdir කමාන්ඩ් එක


මෙතන අමුණලා තියෙන්නේ වීඩියෝ බොහොම පොඩි ගාණක් විතරයි. තව වීඩියෝ ගොඩක් ප්ලේ ලිස්ට් එකේ තියෙනවා. 

ඒ වගේම මේ වීඩියෝ ටියුටෝරියල් ටික හදන්න මම පාවිච්චි කරපු මෘදුකාංග ටික ගැන සඳහන් නොකළොත් ඒක ලොකු අඩුවක්. පල්ලෙහායින් තියෙන්නේ මම ඒ පාවිච්චි කරපු මෘදුකාංග කීපය.

LibraOffice Impress


Simple Screen Recorder



OpenShot Video Editor



ජයවේවා ලිනක්ස්!!!

Thursday, May 7, 2015

100 | Century





මේක බොහොම පොඩි සටහනක්...

එදිනෙදා ඇසි දිසි දේ යම් පමණකට අරගෙන ආව, රනා ලියන බ්ලොග් අඩවිය, අද සාපේක්ෂව බොහොම සරළ කඩ ඉමක් පහුකරනවා...

මම රනා.
බ්ලොග් කියවන්න,ලියන්න මටත් හරි ලොකු අමාරුවක් ඉස්සර ඉ‍දංම තිබුනා. මීට කළිං මම බ්ලොග් ලියන්න උත්සහ කළත් ඒක හරියටම හරි ගියේ නෑ. කොහොම උනත් මම මේක කරන්න දිගටම උත්සාහ කරනවා. ඒකට ඔයලාගේ උදව් මට ගොඩක් ඕනේ වෙයි.

මේ තියෙන්නේ රනා ලියන බ්ලොග් එකේ පළවෙනිම පෝස්ට් එකේ පළවෙනිම වාක්‍ය තුන හතර... මේ ටික ලියලා තියෙන්නේ 2009 ජූනි මාසේ 23වෙනිදා... අදට අවුරුදු 6ට මාසයයි දවස් ගාණයි අඩු... බ්ලොග් පෝස්ට් 100ක් ලියන්න අවුරුදු 6ක් ගියේ ඇයි කියන එක කියවන ඔබට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. එකම හේතුවයි... කම්මැලිකම!!!

මේ බ්ලොග් සටහන් 100න් 52ක්ම ලිව්වේ පැය 24ක් ඇතුළත. ඒ 2010 අවුරුද්දේ අප්‍රේල් 24වෙනි සෙනසුරාදා සිට 25වෙනි ඉරිදා වෙනකං තිබ්බ සිංහල බ්ලොග් මැරතන් තරඟේදි. එදා පැය 12ක කාලෙකදි බ්ලොග් පෝස්ට් 52ක් ලිව්වා... ඊට පස්සේ තමයි හොඳම හරිය... 2011 අවුරුද්දේ ඉඳං අද මේ මොහොත දක්වා, මේ සටහනත් ඇතුළුව ලියලා තියෙන්නේ හරියටම බ්ලොග් පෝස්ට් 25යි. හැබැයි හැම අවුරුද්දෙම බ්ලොග් පෝස්ට් එකක් හරි ලියන්න තරං දක්ෂතාවයක් මගේ තිබිලා තියෙනවා... ඒ ගැන හරි සන්තෝසයි...

මේ බ්ලොග් පෝස්ට් 100 පුරාවට එක එක ජාතියේ විකාර ලියලා තියෙනවා. රනාගේ චින්තන, නිදහස් මෘදුකාංග, ලිනක්ස්, කතන්දර, කවි, ෆොටෝ, ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් වැඩකෑලි, චිත්‍රපටි විචාර, පොලිස් කේස්, අරක්කු ගැන... මේ වගේ ගොඩාක් දේවල්... බ්ලොග් පෝස්ට් එකක් ලියන එක හරි ආස හිතෙන වැඩක්... නමුත් ඉතිං උප්පත්ති කම්මැලිකම ඔය හැම එකටම වඩා විශාලයි...

බ්ලොග් නිසා ලැබුණ දේවල් විශාලයි... ඉන්ටර්නෙට් එකේ මගේම කියලා පෙන්නන්න තියෙන එක දෙයක් තමයි බ්ලොග් එක... ඒ වගේම තමයි අඳුරගත්ත හිත මිත්‍ර සෙට් එක... ලේසියෙන් සෙට් වෙන්නේ නැති වපසරියක විශාල පිරිසක් අඳුරගන්න ලැබුනා අන්තර්ජාල ජීවිතේ නිසා... වැදගත්ම දේ ඒ අයගෙන් බහුතරයක් යුනිකෝඩ් මිනිස්සු නෙමේ... යුනිකෝඩ්වලිං එහාට ගිය ලොකු බැඳීමක් තියෙනවා එතන... 

මම කවදාවත් ප්ලෑන් කරලා බ්ලොග් පෝස්ට් ලිව්වේ නැහැ... ඉස්සරහට එහෙම ලියන එකකුත් නෑ... ඒක නිසා 150වෙනි පෝස්ට් එක හෝ 200වෙනි පෝස්ට් එක කවදා ලියවෙයිද දන්නේ නැහැ... සමහරවිට ලියවෙයි... සමහර විට ලියවෙන එකක් නෑ... බ්ලොග් පෝස්ට් ගොඩාක් ලියන්න ලොකු කැමැත්තක් තියෙනවා... බලමු...

හරි එහෙනං... අවුරුදු 6ක් තිස්සේ මේ බ්ලොග් එක කියවපු, කමෙන්ට් කරපු, කමෙන්ට් නොකරපු, ඔබ හැමෝටම බොහෝම ස්තූතියි... ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු...

ජයවේවා!!!

Monday, October 14, 2013

ලිනක්ස් - ප්‍රශ්න සහ පිළිතුරු | Linux Q&A


     පහුගිය දවස් කීපයකදි ලිනක්ස් පිළිබඳ කරපු කතාබස්වලදි, මගේ හිතවතුන්/හිතවතියන් ලිනක්ස් ගැන විවිධ අදහස් පළකළා.. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතා කරන අය නෙමෙයි. නමුත් ඔවුන් ඉඳිරිපත් කළේ නිදහස් හා විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ගැන ඔවුන්ගේ අවංක අදහස්.
ඒ අදහස්වලට ඔවුන්ට පිළිතුරු දුන්නත්, නිදහස් සහ විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් ගැන සංවාදයක් ඇති කරන්න ඒ අදහස් හා මතවාද හොඳ පදනමක් වේවි කියල දැනුනා... තැන් තැන්වල තිබුණ ඒ අදහස්, මතවාද එක්කහු කරලා මේ විදියට පෝස්ට් එකක් බවට පත්කළේ ඒකයි...
මේ සංවාදය වඩාත් යහපත් සංවාදයක් බවට පත් කරන්න ඔබටත් පුළුවං...
එන්න, අපිත් එක්ක එකතුවෙන්න...


ඔය කිව්වට කවුද ඕවා සල්ලි දීලා ගන්නේ... අපි ජාතියක් වශයෙන්ම කම්බ හොරුනේ... 
මගේ හිතවතෙක් කිව්ව දෙයක්...

දුන්න පිළිතුර...
මේක මචං අර "රත්වෙන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුව දිය කෙළියේ…" කේස් එකක්...
පෞද්ගලික පරිගණකවලත් OS එක ජෙනුයින්ද කියලා බලන කාලේ වැඩි ඈතක නැහැ...
හොරබඩු නං,
රුපියල් ලක්ෂ 5ට අඩු දඩයක් හෝ, මාස 6කට අඩු සිර දඳුවමක් හෝ, දෙකම සෙට් වෙන්න පුළුවං...
මෙන්න උදාහරණ...

ඊළඟ එක,
හොර මෘදුකාංග සමඟ එන ආරක්ෂාව පිළිබඳ ගැටළු...
නිකමට කල්පනා කරලා බලන්න,
වයිරස් කේස් නිසා කොම්පියුටරේ ෆෝමැට් කරපු වාර ගාන...
ෆෝමැට්කරලා ඉවරවෙලා ආයේ අනිත් සොෆ්ට්වෙයා දාන්න වින්ද දුක...
වයිරස් නිසා නැතිවෙච්ච ඩේටා....
වින්ඩෝස් ජෙනුයින් උනාට මචං අනිත් සොෆ්ට්වෙයා ජෙනුයින්ද?
ඔෆිස්, ෆොටෝසෝප්, නීරෝ උනත් ජෙනුයින් නෙමේ...
මම ටක්කෙටම කියන්නං,
උඹේ කොම්පියුටරේ තියෙන්නේ ජෙනුයින් සොෆ්ට්වෙයා දෙකයි...
පළවෙනි එක ෆයර්ෆොක්ස් හෝ ක්‍රෝම්...
අනික VLC/KPlayer/GomPlayer එක...
ඔය දෙකත් නිදහස් හා විවෘත මෘදුකාංග...
ඕනේ තරං විස්කි තියෙද්දි,
හිත යද්දි කසිප්පුවලටමනං,
ඒක විස්කිවල ප්‍රශ්නයක් නෙමේ මචං,
බොන එකාගේ මානසික ප්‍රශ්නයක්...

--මේ සංවාදයෙන් පසුව හිතවතා කිව්ව විදියට ඔහුගේ පරිගණකයේ තිබෙන්නේ ජෙනුයින් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය. ඊට අමතරව ඔහු එදිනෙදා අනෙකුත් පරිගණක ආශ්‍රිත වැඩ කටයුතු කරන්නේ ගූගල් සමාගමෙන් ලබාදෙන සේවාවන් ඔස්සේ... එමනිසා ඔහු පිළිබඳව කරපු උපකල්පනය වැරදියි...


ලිනක්ස් හොඳ ඇති. හැබැයි මට ඉතිං ඒක ඉගෙන ගෙන වැඩක් නැති වෙයි.... ඉස්කෝලෙන් කරන්න කිව්වොත් කරනවා..මම හිතන්නෙ නෑ ඕලෙවල් වෙනකං පොඩ්ඩන්ට ලිනක්ස් ඕනෙ වෙයි කියලා....
මගේ හිතවතියක්...

පිළිතුර...

පළවෙනි කාරණේ,
අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රලේකයක්ම නිකුත් කරලා තියෙනවා පාසැල් පරිගණක විද්‍යාගාරවලට මින් ඉඳිරියට ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ ජෙනුයින් මෘදුකාංග පමණයි කියලා... එතකොට ඔප්ෂන් දෙකයි... එක්කෝ සල්ලි දීලා ගන්න ඕනේ... නැත්තං නිදහස් මෘදුකාංගවලට යොමුවෙන්න ඕනේ...
OL/AL සිලබස් දෙකම බොහොම ලස්සනට ඉගෙන ගන්න පුළුවං නිදහස් මෘදුකාංගවලින්...

තියෙන පාඩම් ටික බලමු,

Word Processing, Presentation, Spreadsheet...
මේවා MS Office වලින් වගේම වෙන ඔෆිස් මෘදුකාංගවලිනුත් කරන්න පුළුවං... උදාහරණෙට LibreOffice වලින්...

Image Manipulating බොහොම පොඩ්ඩක් තියෙනවා..
ඒකට තමා ඔය හැමෝම ෆොටෝසෝප් ෆොටෝසෝප් ගාන්නේ... GIMP වලින් ඉගෙන ගන්න වැඩේ බොහොම අපූරුවට කරගන්න පුළුවනි...

තව HTML ටිකක් උගන්නනවා... ඒකට හොරෙං පාවිච්චි කරන Dreamviewer වෙනුවට ඔරිමජිනල් Geany පාවිච්චි කරන්න පුළුවං...

වැඩිය ඕනේ නැහැ... ප්‍රෝග්‍රෑමිංවලට තියෙන්නේ VB6 (මේක අධ්‍යාපන පද්ධතියට එක්කහු කරපු/කරන්න උපදෙස් දීපු කෙනාගේ හතරවරිගෙම නිවන් යන්න ඕනේ කරපු පිනේ බල මහිමෙට).. ඕකට VisualStudio 2000 ඕනේ නැහැ, Gambas වලින් VB6 ප්‍රෝග්‍රෑමිං කරන්න පුළුවං...

ඔය කිව්වේ OL ගැන...

AL ගැන එකම දෙයක් කියන්නං...
ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න තියෙන භාෂාව Python...
වින්ඩෝස්වලදි අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනේ...
ලිනක්ස් OS ඕනෙම එකක Default ඉන්ස්ටෝල්කරලා එන්නේ...

1වසරේ සිට 9 වසර දක්වා පොඩි පැංචොන්ට...
ඉගෙනගන්න උදව්කරන මෘදුකාංග දහස්ගාණක් තියෙනවා
චක්කරේ පාඩං කරගන්න, ගණං හදන්න, සමාජ අධ්‍යයනය ඉගෙනගන්න විතරක් නෙමේ තාරකා විද්‍යාව ඉගෙන ගන්නවානං ඒකට උනත් පාවිච්චි කරන්න පුළුවං මෘදුකාංග බොහොමයි... අපේ රටේ අපේ එවුංම හදන "හන්තාන ලිනක්ස්" OS එකේ ඒ මෘදුකාංග ගොඩක් ඉන්ස්ටෝල්වෙලාමයි එන්නේ... මේ තියෙන්නේ ඒ තියෙන මෘදුකාංග...


මේක ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
ලිනක්ස් වලට එදා ඉඳන් උනේ ස්වාදීන කණ්ඩායම් හැදිලා තනි තනි ලෝක වල ජීවත් වීම ( ඩිවලොප් කිරීම ) ..
මගේ හිතවතෙක්...

පිළිතුර...

85% බොරු... 15% ඇත්ත...
ඒක තමයි මෘදුකාංගකරණයේ නිදහස කියන්නේ...
තමන්ට කැමති දේ තමන් හදාගන්නවා...
මෘදුකාංග හදාගන්න තරම් තාක්ෂණික දැනුමක් නැති පුද්ගලයෝ (මමත් ඇතුළුව) ඒ හදලා තියෙන ඒවා පාවිච්චි කරනවා...
එකක් පාවිච්චි කරලා ඇති උනාම, ඒකට එහෙම පිටිංම වෙනස් වෙන එකක් පාවිච්චි කරනවා...
ඒකත් ඇති උනාම තවත් එකක් පාවිච්චි කරනවා...
මෘදුකාංග සංවර්ධනය කරන කිසිම පුද්ගලයෙක් කිසිම ආයතනයකට බැඳිලා නැහැ...
පාවිච්චි කරන පුද්ගලයොත් බැඳිලා නැහැ...
මේක එපා නං වෙන එකකට යන්න ඕනේ නිදහස උපරිමයෙන් තියෙනවා...
ඒ වගේම යන්න ඕනේ තරං වෙන ඔප්ෂනුත් තියෙනවා...
කිසිම මූල්‍යමය පාඩුවකින් තොරව...
Proprietary (හිමිකාරීත්වය ඇති) මෘදුකාංගවල නැති දේ තමයි ඕක...
ඒක නං ඒක විතරයි... ඒක කොච්චර ජරාව උනත් වෙන විකල්පයකට යන්න බැහැ...
බැහැ නෙමේ... යන්න පුළුවං... හැබැයි සල්ලි ඕනේ...


මේකත් ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
අනිත් එක ලංකාවේ උන් ලිනක්ස් දාගෙන ඉන්නේ පොරත්වය සඳහා ..
මගේ හිතවතෙක්...

පිළිතුර...
ඔව්... පොරත්වය සඳහාම තමයි...
ඔය කියන පොරත්වය නිසා වෙන්න ඇති,
ලංකාවේ ලිනක්ස් පාදක OS නිර්මාණය කරන/පාවිච්චි කරන බොහෝ දෙනෙක්, අවුරුදු ගාණක ඉඳං තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරගෙන,
රට වටේම ස්වේච්ඡාවෙන්,
ලිනක්ස් සහ තොරතුරු තාක්ෂණය ප්‍රචාරය කර කර යන්නේ...
එහෙම කළේ නැත්තං තමන්ගේ පොරසිටිය හැදෙන්නේ නැහැ නේ...
නිදහස් හෝ වේවා හිමිකාරීත්වය ඇති හෝ වේවා,
මෘදුකාංගයක් පාවිච්චි කරන කෙනෙක්ව පොරක් විදියට දකින්නේ,
කොම්පියුටරේ කියන්නේ මහත් ඵල මහානිසංස ලබාදෙන,
මහාර්ඝ බලයකින් හෙබි මැෂින් රාජයෙක් විදියට දකින,
මැ**ක්ම තමා...


මේකත් ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
ඩ්‍රයිවර් , හාර්ඩ් වෙයාර් , ෆර්ම් වෙයාර් එකම ෆ්ලැට්ෆෝරම් එකකට එන දෙයක් කලේ නැහැ..
මගේ හිතවතෙක්...

පිළිතුර...
ඔබ මෘදුකාංග ඒකාධිකාරය පිළිබඳව තාම හරි හැටි වටහාගෙන නැහැ...
එහෙම එක කොම්පැණියකින්,
සියල්ල ලබාදෙන තත්ත්වයක් ආවොතින්,
පාවිච්චි කරන මිනිස්සු නිකංම ඒ කොම්පැණියේ,
රූකඩ වෙන එක අහන්න දෙයක් ද?
ඔන්න ඔය කාරණාව නිසයි,
එක සමාගමක් විදියට නැතුව,
වෙන වෙනම ස්වාධීනව සිටීමේ වාසිය,
පාරිභෝගිකයට ලැබෙන්නේ...
එක ලිනක්ස් OS එකකින් තමන්ට අවශ්‍ය දේ වෙන්නේ නැතිනම්,
වෙන ලිනක්ස් OS එකකට මාරුවෙන්න පුළුවනි...
එතකොට තමන්ගේ OS එක මිනිස්සු පාවිච්චි කරනවා අඩුයි කියලා දැනෙද්දි,
OS එකේ නිර්මාපකයන් ඒකත විසඳුමක් ලබාදෙන්න ඉක්මන් වෙනවා...
නමුත් එකම තැනකින් නම් වෙන්නේ...
උඹලට ඕනෙනං පාවිච්චි කරහල්ලා, බැරිනං ඒත් පාවිච්චි කරහල්ලා,
කියලා අදාල සමාගම තමන්ගේ තනි කැමැත්තට වැඩ කරයි...
මිලියන ගාණක් පාරිභෝගිකයෝ,
කරකියාගන්න දෙයක් නැතුව උඩබලාගෙන ඉඳියි..

කොම්පියුටර් අල්ලලා දාන්න...
නිකං මතක් කරගන්න,
අපේ රටේ ජංගම දුරකතන ආපුම කාලේ,
සමාගම් දෙකකින් පාරිභෝගිකයව නටෝපු නැටවිල්ල...

ඊළඟ ප්‍රශ්නේ...
මේ ලෝකේ වින්ඩෝව්ස් , මැක් වලට සාපේක්ෂව ඇයි ලිනක්ස් මූලික වුණු OS සාමාන්‍ය මිනිස්සු අතර භාවිතයේ නැත්තේ ... ?
මගේ හිතවතෙක්...

පිළිතුර...
වැදගත් ප්‍රශ්නයක්...
සරළම පිළිතුර වෙළදාම...
වින්ඩෝස්, මැක් කියන්නේ වෙළඳ භාණ්ඩ...
ලිනක්ස් කියන්නේ තාමත් වෙළඳ භාණ්ඩයක් නෙමේ...
වෙළඳ භාණ්ඩ එක්ක එන පළවෙනි දේ තමා ප්‍රචාරන යාන්ත්‍රණය...
අන්තර්ජාලය පීරලා බලන්න ලිනක්ස් OS එකක් සඳහා කරලා තියෙන වෙළඳ ප්‍රචාරනය...
ඒ වගේම ඊට සාපේක්ෂව වින්ඩෝස්, මැක් සඳහා කරන ප්‍රචාරණය...
සහන් ඇතුළු බොහෝ දෙනෙක් ඔය කියන ප්‍රචාරණ යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වෙලා
තියෙන්නේ...
මේ බණ දෙසන මමත් කාලෙකට කළිං එහෙම තමයි... හැබැයි දැං එහෙම නෙමේ...

හරි, අපි ඊළඟ පියවර ගැන හිතමු.
ලිනක්ස් වෙළඳ භාණ්ඩයක් කරන්න බැරිද?
අපොයි පුළුවං... දැනටම කරලා තියෙන්නේ...
ඇන්ඩ්‍රොයිඩ් OS... ඒවත් ලිනක්ස්ම තමා...
මම කියනවට විශ්වාස නොකර හොයලා බලන්න...
ඇන්ඩ්‍රොයිඩ් OS ලෝකෙට නිකුත් කළේ 2009...
අවුරුදු 4ක් යද්දී ලෝකේ ස්මාට්ෆෝන්වලින් 66.9%ක තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OS එක...
ඒකත් එක්ක තරඟ කරන iOS මාකට් ශෙයා එක 2009 දී 18%.. අද 26%...
බ්ලැක්බෙරි එහෙමත් නැත්තං RIM 2009 දි 21%... අද 3.2%.
ලෝකෙම හොල්ලගෙන හිටිය Symbian (NOKIA OS) එක 2009 දී 47%.. අද ලොවෙත් නැහැ...
වින්ඩෝස් මොබයිල් OS එක ගැන අපි කතා නොකර ඉමු...
එතකොට ඒ ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නේ අසාමාන්‍ය මිනිස්සුද?
සමහරවිට ඔබ අතෙත් මේ වෙනකොට තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OSඑකක් තියෙන ජංගම දුරකතනයක් වෙන්න පුළුවනි...

ඊළඟ ප්‍රශ්නේ...
හරි ඔක්කෝම අමතක කරලා මට කියන්න සිංහල වැඩ කරන ( ටයිපින් කල හැකි ලිනක්ස් OS ටිකක්...( මන් මේ ඇහුවේ මට දාගන්න ඕනේ නිසා ...)


පිළිතුර
...
2008 ඉඳලා මම පාවිච්චි කරපු/කරන OS ඔක්කෝගෙංම මේ දේ කරන්න පුළුවං...
මම සිංහල යුනිකෝඩ් කොටන්න ඉගෙන ගත්තේත්, බ්ලොග් ලියන්න ඉගෙන ගත්තේත්,
ලිනක්ස් උඩදිම තමයි... මම පාවිච්චි කරපු/කරන OS ටික කියන්නං... කැමති
එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න... අමාරු තැනක්
තියෙනවානං අහන්න...

පාවිච්චි කරපු OS...
Ubuntu 8.04 / 8.10 / 9.04 / 10.04 / 11.04 ---> මේවා ඩවුන්ලෝඩ් කරන්න
මහන්සි වෙන්න එපා...
Fedora 10 / 14 / 15 / 16 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
LankaNet Linux 3 ---> මේකත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
හන්තාන ලිනක්ස් 11 / 14 / 17 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...

දැනට පාවිච්චි කරන OS
Ubuntu 12.04 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
Fedora 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
Cent OS ---> ඩවුන්ලෝඩ් කරගන්න...
හන්තාන ලිනක්ස් 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
සහළාන ලිනක්ස් ---> ඩවුන්ලෝඩ් කරගන්න...

ඔය දීලා තියෙන OS හැම එකකම සිංහල ටයිපින් විතරක් නෙමේ,
එදිනෙදා ජීවිතයේදී කරන කියන හැම පරිගණක කටයුත්තක්ම,
අතිශය සර්ථකව, බොහොම පහසුවෙන් කරගන්න පුළුවං...

මේ සංවාදය තවම ඉවර නැහැ...
ඔබටත් ඒ සමඟ එකතු වෙන්න පුළුවං...
ඔබේ අදහසත් ඉඳිරිපත් කරන්න... අපි සාකච්ඡා කරමු...
ඒ සාකච්ඡා තුළින් අවසානයේදී,
වඩාත් යහපත් දේ සමාජයට ලැබෙයි...

මතක තියාගන්න...
ලිනක්ස් කියන්නේ,
බලලා කරන දෙයක් නෙමේ...
කරලා බලන දෙයක්...

ජයවේවා ලිනක්ස්!!!

Tuesday, October 8, 2013

මැරුණ පරිගණකයට පණ පොවමු | The Reincarnation

තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. අද අලුතෙන් එළිදක්වපු තාක්ෂණික උපාංග හෙට වෙද්දි පරණයි. තව මාසයක් යද්දි ඊටත් පරණයි. අවුරුදු දෙක තුනක් යද්දි පරණම පරණයි. අවුරුදු 5ක් විතර වගේ පොඩි කාලයක් ඇතුළත භාවිතයෙන් ඉවත් කරන්න වෙන තරමට තාක්ෂණික උපාංග පරණ වෙනවා... වෙන උපාංගවලට බලපාන්නේ නැති මහ අරුම පුදුම කාරණාවක් තමා ඒක. නමුත් බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංගවල ඇත්ත තත්ත්වේ ඕක තමයි. 

ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් අපේ රටට වැඩියෙන්ම ගෙන්වන ඉලෙක්ට්‍රොනික් උපාංග වර්ගයක් තමා පරිගණක. ගෙන්නන විදිය අනුව කොටස් කීපයකට බෙදලා වෙන් කරන්න පුළුවනි. බ්‍රෑන්ඩ්නිව් පරිගණක, පරිගණක අමතර කොටස් සහ පාවිච්චි කළ පරිගණක. බ්‍රෑන්ඩ්නිව් කිව්වම ඉතිං ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක තමා අයිති වෙන්නේ. ඩෙස්ක්ටොප් පරිගණකත් බ්‍රෑන්ඩ්නිව් ගෙන්නනවා, නමුත් ලැප්ටොප්වලට සාපේක්ෂව අඩුයි. අනිත් ජාතිය තමා ඇමරිකාවෙ, එංගලන්තේ, ජපානේ, දකුණු කොරියාව වගේ රටවල්වල පාවිච්චි කරලා ඉවත් කරන පරිගණක. මේ මොන ජාතිය උනත් අවුරුදු දෙක තුනක් හතරක් පරණ වෙන කොට ඉතිං කුණු කූඩෙට තමයි. මොකද තාක්ෂණේ එන්න එන්නම දියුණු වෙන නිසා වගේම කාලයට සාපේක්ෂව ඒවාගේ මිල අඩුවෙන නිසා. උදාහරණෙකට මීට අවුරුදු 5කට (2008) කළිං ලැප්ටොප් එකක් තිබ්බේ එහෙමත් එකෙක්ට. නමුත් අද වෙනකොට ලැප්ටොප් එකක් තිබ්බා කියලා මහ බක්කක් නැහැ.

පරිගණක පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි මීට අවුරුදු 5කට 6කට කළිං ගත්ත පරිගණකයට දැං මොකද කරන්නේ කියන එක? එහෙමත් නැත්තං අද රුපියල් 4,000/=කට 5,000/=කට මිලදී ගන්න සෙකන්ඩ් හෑන්ඩ් පරිගණකයකට තව අවුරුදු දෙකකින් විතර මොකද කරන්නේ? කාට හරි පින් සලකා දුන්නා කියලා කියමු. ඒත් ඒ ගන්න මනුස්සයට ඒකෙන් ඇති වැඩක් තියේවිද? රුපියල්ම 100ක් වියදං කරලා CD කඩෙං අරගත්ත වින්ඩෝස් XP දාලා දුන්නත්, වර්ඩ් හරි ෆොටෝ එකක් එඩිට් කරන්න හරි ගියාම පරිගණක කියන වචනෙත් එපා වෙන එක වෙයි නේද? ඔය වගේ පරණ පරිගණකයකට අලුතෙන් එන වින්ඩෝස් 7, වින්ඩෝස් 8 (හොර කොපියක් තමා ඉතිං.. අපි කවදද සල්ලි දීලා ජෙනුයින් ගත්තේ) කිට්ටු කරන්නවත් පුළුවං වෙයිද? ඔය වගේ ගැටළු ගොඩයි.

මේ ගැටළුවලට පිළියමක් විදියට තමයි මේ පෝස්ට් එක ලියවෙන්නේ. ගොඩ දෙනෙක්ගේ ගෙවල්වල තියෙන, මීට අවුරුදු අටකට දහයකට කළිං ගත්ත පෙන්ටියම් II, පෙන්ටියම් III, පෙන්ටියම් IV පරිගණක වගේම, අවුරුදු 5කට 6කට කළිං මිලදී ගත්ත, තෑගි ලැබිච්ච ලැප්ටොප් පරිගණකවලට පණ දීලා ගන්නේ කොහොමද? අද දවසේ ඔබට කරන්න අවශ්‍ය වැඩ සඳහා ඒ පරිගණක ප්‍රමාණවත්ද? පිළිතුර ලොකුම ලොකු ඔව් එකක්. ඒ පරණ පරිගණකවලට පණදීලා ගන්න පුළුවං. ඒ වගේම ඒ පරණ පරිගණකවලින් අද දවසේ කරන වැඩ රාජකාරි කරන්නත් පුළුවං...

කොහොමද ඕක කරන්නේ?
පිළිතුර හරිම සරළයි. පාවිච්චි කරන්න ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති.

ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඩිසයින් කරල තියෙන්නේම පරිගණකයේ දෘඩාංග (Hardware) වලින් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන විදියට. බොහොම අඩු දෘඩාංග පහසුකම් යටතේ වැඩි වැඩ කොටසක් කරන්න පුළුවං වෙන විදියට. ඉතිං නිකං විසි කරලා හෝ විසි කරලා දාන්න ලෝබකමට දූවිලි බැඳි බැඳි පැත්තකට කරලා දාලා තියෙන තාක්ෂණයෙන් පරණ පරිගණකවලට අලුත් පණක් දීලා, අද දවසට ගැලපෙන විදියට හදලා ගන්න හැටියි මේ කියන්න යන්නේ.
 
ඊළඟට එන ප්‍රශ්නේ...
වියදම කීයක් විතර යයිද?
උත්තරේ - සතයක්වත් යන්නේ නැහැ...

ලිනක්ස් කර්නල් එක භාවිතා කරලා හදපු මෙහෙයුම් පද්ධති කීපයක්ම තියෙනවා බොහොම අඩු ධාරිතාවයක් තියෙන පරිගණක සඳහාම නිශ්පාදනය කරපු. පහතින් සාකච්ඡා කරන්න යන්නේ ඒවායින් ජනප්‍රියම සහ වැඩිම භාවිතාවකින් යුතු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන. 
මේ හැම මෙහෙයුම් පද්ධතියක්ම ඉතාම කාර්යක්ෂමව වැඩ කරවන්න පෙන්ටියම් III ප්‍රොසෙසරයක්, 512 MB රැම් එකක් සහ 6GB හාඩ් ඩිස්ක් ඉඩක් තියෙන පරිගනකයක් හොඳටම ඇති. දෘඩාංගවල ධාරිතාව ඊට ගොඩක් අඩු උනත් අවුලක් නැහැ. මේ දක්වලා තියෙන මෙහෙයුම් පද්ධති ඒකට ගැලපෙන විදියට සකස් කරගන්න පුළුවං.

හරි... එහෙනං අපි එකින් එකට සාකච්ඡා කරමු.

 


ලෝකේ තියෙන Light Weight Linux Distro වලින් ජනප්‍රියම OS එකක් තමයි මේ Puppy Linux OS එක. 2003 අවුරුද්දේදි තමයි මුලින්ම එළි දැක්වුවේ. සම්පූර්ණ OS එකම වෙන්නේ මෙගා බයිට් 128ක්. හිතාගන්නත් අමාරුයි නේද? ඩවුන්ලෝඩ් කරලා CD එකකට burn කරගන්නත් පුළුවං. USB පෙන් ඩ්‍රයිව් එකක් බූටබල් විදියට හදාගන්නත් පුළුවං. ඒ වගේම ඔබේ වින්ඩෝස් පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ නැත්තං, ඔබට පුළුවං Puppy Linux Live USB එකෙන් හෝ Live CD එකෙන් පරිගණකය පණ ගන්වා ඔබේ දත්ත සියල්ල බැකප් කරගැනීමට. අලුතෙන්ම ලිනක්ස් භාවිතයට පැමිණෙන කෙනෙක්ට ඉතාමත්ම පහසුවෙන් තම කටයුතු කරගන්න හැකි ආකාරයට තමයි Puppy Linux නිර්මාණය කර තිබෙන්නේ.
ප්‍රොසෙසරයේ වේගය 600 MHz සහ RAM එක 256 සිට ඉහළට තිබෙන ඕනෑම පරිගණකයක Puppy Linux ස්ථාපනය කර බොහොම පහසුවෙන් ක්‍රියාත්මක කරවන්න පුළුවනි.
Puppy Linux අලුත්ම සංස්කරනය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.

Puppy Linux ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
Puppy Linux ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

වින්ඩෝස් OS එකක ඉඳං ඩවුන්ලෝඩ් කරලා USB පෙන් එකකින් ඉන්ස්ටෝල් කරන විදිය ගැන බොහොම සරළව කාටත් තේරෙන විදියට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්. විනාඩි 30ක විතර වීඩියෝ එකක්. බැලුවට පස්සේ අයියෝ ඩේටා කියලා හිතෙන්නේ නැහැ...

 


තවත් බොහොම ජනප්‍රිය ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් තමයි VectorLinux කියලා කියන්නේ. බොහොම සරළ, ධාරිතාවයෙන් කුඩා මෙහෙයුම් පද්ධතියක් තමයි මේක. ඒ වගේම ඉතාම වේගවත්. අපේ පරිගනකය කොච්චර පරණ, ධාරිතාවයෙන් ඉතා අඩු වුනත් මේ මෙහෙයුම් පද්ධතිය තුළ වැඩ කරද්දි ඒක දැනෙන්නේ නැහැ... සාමාන්‍ය පරිගණකයකින් වැඩ කරනවා හා සමාන හැඟීමක් මේවාගෙන් දැනෙනවා. ඒ තරමටම වේගවත්.
VectorLinux සංස්කරණ කීපයක්ම තිබෙනවා. ඒ Standard Edition, SOHO Edition, Light Edition සහ Live Edition විදියට.
පහතින් තියෙන්නේ ඒ එක් එක් සංස්කරණය ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න අවශ්‍ය වෙන අවම දෘඩාංග පහසුකම්.

Standard Edition: පෙන්ටියම් 200 MHz ප්‍රොසෙසරය, 96MB RAM (අවම), 2.1GB හාඩ් ඩිස්ක් ඉඩ... පෙන්ටියම් I පරිගණකයක් සඳහා නියම OS එකක්. ඔබ සතුව පෙන්ටියම් I පරිගණකයක් තියෙනවානම් VectorLinux උත්සාහ කර බලන්න. ඔබ මවිතයට පත්වෙනවා නිසැකයි...

SOHO Edition: පෙන්ටියම් 750 MHz ප්‍රොසෙසරය, 512MB RAM (අවම), 5GB හාඩ් ඩිස්ක් ඉඩ... මේ සඳහා 1024x768 24 bit වර්ණ රෙසලූෂන් තිබෙන මොනිටරයක් අවශ්‍ය වෙනවා.

Light Edition: පෙන්ටියම් 166 MHz ප්‍රොසෙසරය, 64MB RAM (අවම), 1.8GB හාඩ් ඩිස්ක් ඉඩ...

Live Editions: පෙන්ටියම් 750 MHz ප්‍රොසෙසරය, 256MB RAM (අවම), මේ සඳහා 1024x768 24 bit වර්ණ රෙසලූෂන් තිබෙන මොනිටරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙහි ඇති වීඩියෝ ඉෆෙක්ට්ස් ආදිය සඳහා 16MB/32MB වගේ VGA කාඩ් එකකුත් අවශ්‍ය වෙනවා.

ඉන්ස්ටෝල් කරන විදිය බොහොම සරළව කාටත් තේරෙන විදියට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්.  විනාඩි 15ක විතර වීඩියෝ එකක්...

VectorLinux අලුත්ම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
VectorLinux ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
VectorLinux ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...


 


නම ඇහෙද්දිම දන්නවා කොහේ කාගේ මොකක්ද කියලා... සුප්‍රකට Canonical සමාගමේ තවත් සාඩම්බර නිශ්පාදනයක්. Ubuntu, Kubuntu, Xubuntu වගේ OS සඳහා ලොකු ධාරිතාවයකින් යුත් දෘඩාංග අවශ්‍ය නිසා හැම පරිගණකයකටම ඒ OS ඉන්ස්ටෝල් කරන්න බැහැ. ඉතිං පරණ පරිගණකවලටත් මනුස්සකමේ මෙහෙයුම් පද්ධතිය අරගෙන යන්න Canonical ලොක්කා දරන උත්සාහය තමා Lubuntu. අපි දන්න කියන Ubuntu වගේම තමයි. ගොඩක් සමානයි. පාවිච්චි වෙන මෘදුකාංගවලත් ලොකු වෙනස්කමක් නැහැ. ඔබට ධාරිතාවයෙන් අඩු පරිගණකවලදීත් Ubuntu අත්දැකීමක් ලබන්න අවශ්‍යනම්, Lubuntu තමා එයත හොඳම පිළියම.
Canonical සමාගමෙන් කරපු නොයෙකු පර්යේෂණ සහ අත්හදාබැලීම්වලදී මතුවෙච්ච කාරනයක් තමයි, ලුබුන්ටු මෙහෙයුම් පද්ධතිය පෙන්ටියම් II හෝ Celeron ප්‍රොසෙසර් සමඟ 128MB රැම් ධාරිතාවයකින් යුතුව ක්‍රියාත්මක කරවන්න පුළුවංයන වග. නමුත් ප්‍රායෝගිකව එදිනෙදා වැඩකතයුතු සඳහා එය යෝග්‍යවන්නේ නැහැ.

පෙන්ටියම් III ප්‍රොසෙසරයක් සමඟ 256MB - 384MB රැම් එකකින් ඔබේ පරිගණකය සන්නද්ධ නම්, කිසි ගැටළුවකින් තොරව ඔබට මෙම මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගෙන එදිනෙදා වැඩකතයුතු සිදුකරගත හැකියි...
ඔබේ පරිගණකයේ RAM ධාරිතාවය 512MB නම්, ආයේ අහන්න දෙයක් නැහැ... වෙඩි වගේ වැඩ...

Lubuntu අලුත්ම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
Lubuntu ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
Lubuntu ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

මේ තියෙන්නේ Lubuntu 13.04 නවතම සංස්කරණය ඉන්ස්ටෝල් කරන විදිය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙන වීඩියෝ එකක්...



Damn Small Linux (DSL)



ඩෑම්(න්) ස්මෝල් ලිනක්ස් [Damn Small Linux (DSL)] කියලා කියන්නේ බොහොම පොඩි ධාරිතාවයකින් යුත් (50MB) ඩෙස්ක්ටොප් ලිනක්ස් OS එකක්. DSL UBS ඩ්‍රයිව් එකකින්, Live CD එකකින්, වින්ඩෝස් ඇතුළෙම තවත් OS එකක් විදියට, බූට් කරන්න පුළුවං...
DSL කොච්චර Light Weight ද කියලා කියනවානං, 486DX පරිගණකයක් 16MB රැම් එකකින් ක්‍රියාත්මක කරවන්න පුළුවං...
දැං තියෙන ප්‍රශ්නේ කොහෙන්ද 16MB රැම් එකක් තියෙන 486 පරිගණකයක් හොයාගන්නේ කියලා...
128MB රැම් එකක් තියෙන පෙන්ටියම් II හෝ පෙන්ටියම් III පරිගණකයකින්, අද දවසේ අපි සිදුකරන බහුතරයක් වැඩ කටයුතු ඉතාමත්ම පහසුවෙන් සහ වේගයෙන් සිදුකරගන්න පුළුවං. ඔබට පුදුම හිතේවි, මේ වැඩ කරන්නේ ඒ 128MB රැම් සහ 450MHz පරිගණකයෙන්ද කියලා.

අංගසම්පූර්ණ ඩෙස්ක්ටොප් එකක් DSL සතුයි. ඒ වගේම SSH/FTP/HTTPD එකක් විදියට උනත් ක්‍රියාත්මක වෙන්න DSLට පුළුවනි. MP3 සිංදු අහන්න, CD එකක් රිප් කරන්න, MPEG වීඩියෝ බලන්න, Netrik/Dillo වෙබ් බ්‍රව්සර්, FireFox බ්‍රව්සර් එක, පැතුරුම්පත් (Spreadsheet) මෘදුකාංග, වදන් සැකසුම් මෘදුකාංග, ඡායාරූප සැකසුම් මෘදුකාංග ආදී මෘදුකාංග බොහොමයක් පෙරනිමියෙන්ම DSL එක්ක ඉන්ස්ටෝල් වෙනවා. රැහැන් සහිත වගේම රැහැන් රහිත ජාලකරණ පහසුකමුත් DSL ලබාදෙනවා.

DSL අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
DSL ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

මේ තියෙන්නේ DSL ඉන්ස්ටෝල් කරන විදිය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙන වීඩියෝ එකක්...
මේ තියෙන්නේ පෙන්ටියම් I ප්‍රොසෙසරයක් තියෙන පරිගණකයකට DSL ඉන්ස්ටෝල් කරන විදිය ගැන වීඩියෝ එකක්...


අනිත් කිසිම මෙහෙයුම් පද්ධතියක නැති, ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතිවල පමණක් ඇති විශේෂම ලක්ෂණය තමා, තමන්ට කැමති විදියකට පාවිච්චි කරන්න තියෙන හැකියාව. පරණ පරිගණක අපිට විසිකරලා දාන්න වෙලා තියෙන්නේ, අපි පාවිච්චි කරන OS ඒවාට නොගැලපෙන නිසා. නමුත් ඒ පරිගණක තාමත් පාවිච්චි කළ හැකි තත්ත්වයේ තියෙනවානං, මේ වගේ OS එකක් දාලා ඒක පාවිච්චි කරන්න කැමති කෙනෙක්ට ලබා දෙන එක පිනක්. 


පරිගණකයක් ගන්න නෙමේ, පිටු 80 පොත් දෙකක් ගන්න සල්ලි නැතුව අසරණ වෙලා ඉන්න ළමයි අපේ රටේ ඕනේ තරම් තියෙනවා. අඳින්න හරි හමං ඇඳුමක් නැතුව එකම නිල ඇඳුම දවස් 5ම හෝද හෝද අඳින ළමයි ඉන්න ඉස්කෝල රටේ නැත්තේ කොහේද... ඒ පාසල්වල ළමයින්ට පරිගණකයක් අරගන්නවා කියන්නේ හීනයක්. ඒ ලමයින්ගේ දෙමව්පියන්ටත් එහෙම දේකට වියදම් කරන්න තරම් මුදලක් නැහැ... ඒ මිනිස්සුන්ගේ අනිවාර්ය අවශ්‍යතා පරිගණකයකට වඩා ගොඩාක් වැඩියි. තාමත් ඈත ගම්බදව තියෙන පාසල්වල බහුතරයක තත්ත්වේ ඕකයි. ඉතිං නිකං ගෙදර පැත්තකට දාලා තියෙන පරිගණකවලට මේ විදියට පණ දීලා, ඒ ළමයින්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය කරන්න, ඒ ළමයින්ටත් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න සහයෝගයක් දෙන්න ඔබටත් පුළුවං... ඔබේ සුළු උපකාරයක් ඔවුන්ට මහමෙරක් වගේ දැනෙයි...

මේ තියෙන්නේ රටේ බොහෝ දුෂ්කර පැත්තක පාසලක පරිගණක විද්‍යාගාරයක් හදලා ඒ දරුවන්ට පරිගණක අධ්‍යාපනය ලබා දීමට පවත්වපු වැඩමුළුවක ඡායාරූප.

මේ ඉස්කෝලේ පරිගණක විද්‍යාගාරය හදන්න උදව් කළේ Born Free කියන සංවිධානේ. වැඩමුළුව සංවිධානය කළේ සහ සම්පත් දායකයෝ විදියට කටයුතු කළේ හන්තාන ලිනක්ස් ටීම් එක. ඒ පාසලේ ළමයින්ට ලැප්ටොප් පරිගණක 15ක් ලබාදෙන්න පුළුවං උනා. ඒ පරිගණකනං අලුත් පරිගණක. ඒ හැම පරිගණකයකම තියෙන OS එක හන්තාන ලිනක්ස්. මේ එක පාසලක් විතරයි... තව මේ වගේ පාසල් විශාල ප්‍රමාණයක් රටේ තියෙනවා... ඔබට පුළුවන්නං ඒකට අපිත් එක්ක එකතු වෙන්න, වඩා යහපත් දෙයක් ඒ දරුවන්ට තිළිණ කරන්නට අපිට පුළුවනි...

පරන පරිගණකවලට පණ දෙන,
මෙකී නොකී මේ සියළුම සෙල්ලම්,
ලිනක්ස් එක්ක විතරයි....
ජයවේවා ලිනක්ස්!!!

Saturday, September 21, 2013

නිදහස් මෘදුකාංග දිනය අදයි...


ලෝක නිදහස් මෘදුකාංග දිනය අද... හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසේ 3වෙනි සෙනසුරාදා තමා ලෝක නිදහස් මෘදුකාංග දිනය සමරන්නේ... මීට අවුරුදු 4කට කළිං, ඒ කියන්නේ 2009 අවුරුද්දේදිත් මම නිදහස් මෘදුකාංග දිනයට පෝස්ට් එකක් දැම්මා... මේ තියෙන්නේ ඒක... ඒ පෝස්ට් එකේ තියෙන හැටියට, 2009 සැප්තැම්බර් වෙන කොට මම නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න පටං අරගෙන අවුරුද්දක්... එහෙනං අද මේ ගෙවෙන්නේ නිදහස් මෘදුකාංග එක්ක ගෙවෙන පස්වෙනි අවුරුද්ද... අවුරුදු 5ට ලබපු අත්දැකීම් සහ වෙච්ච දේවල් නං බොහොමයි... වැදගත්ම දේ විදියට දකින්නේ මේ අවුරුදු 5ක කාලය ඇතුලේදි, මවිසින් නිදහස් මෘදුකාංග හඳුන්වා දීපු ප්‍රමාණය... ඒ ගාණ 1000කට ටිකක් වැඩි ඇති... ඒ හැමෝම අද වෙනකොට නිදහස් මෘදුකාංග පාවිච්චි නොකළත් 10%ක්වත් සම්පූර්ණයෙන් නිදහස් මෘදුකාංග පාවිච්චි කරනවා කියලා නං ස්තීරයි...

මේ තියෙන්නේ එදා, 2009 ලිව්ව පෝස්ට් එකේ එක ඡේදයක්... මේකේ තියෙන කාරණා අදටත් ඒ විදියටම වලංගුයි...
"අනුන්ගේ මෘදුකාංග හොරට පාවිච්චි කරපු මම ඔරිමජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න පටන්ගත්තේ FOSS එහෙමත් නැත්තම් නිදහස් මෘදුකාංග නිසා තමයි. ඒක මම බොහොම ආඩම්බරෙන් කියනවා. අද මම පාවිච්චි කරන්නේ ඔරිජිනල් මෘදුකාංග. ඒවා නිදහස්. නිකම් දෙනවා විතරක් නෙමේ ඕනේනම් කැමති විදියට වෙනස් කරගන්න කේතත් දෙනවා. මම ඒ එක කේතයක්වත් වෙනස් කරලා මට කැමති දේ කළේ නෑ. ඒත් ලෝකේ ගොඩාක් මිනිස්සු ඒක කරනවා කියලා මම දන්නවා. එහෙම කරලා නිකම් ඉන්නේ නෑ. වඩාත් යහපත් දෙයක් සාමාජෙට දෙනවා."

දැං මේ පෝස්ට් එක ලිවීමේ අරමුණ මොකක්ද?
අරමුණු දෙකක් තියෙනවා... පළවෙනි එක අද දිනයේ වැදගත්කම පිළිබඳව මතක් කරන එක... පළවෙනි කාරණාව හරි...
දෙවෙනි එක, ව්‍යාජ මෘදුකාංග වෙනුවට පාවිච්චි කරන්න පුළුවං ඔරිජිනල් නිදහස් මෘදුකාංග පිළිබඳව ප්‍රජාව දැනුවත් කරන එක..
දැං සැරසෙන්නේ දෙවෙනි අරමුණ ගොඩ දාන්න...

මේක මම වෙන තැනක කිව්ව කතාවක්...
මේ පෝස්ට් එකටත් අදාල නිසා,
මෙතන අලෝනවා...

අද නිදහස් මෘදුකාංග දිනය...
උඹලා ගොඩක් දෙනෙක්,
දැනුවත්ව හෝ නොදැනුවත්ව,
නිදහස් මෘදුකාංග පාවිච්චි කරනවා...
ඒ ගැන බලවත් ස්තූතිය...

අපේ රටේ මිනිස්සු,
ගොඩක් වෙලාවට මෘදුකාංග හොර කොපි,
පාවිච්චි කරන්නේ,
වෙන විකල්පයන් නැති නිසා නෙමේ...
වෙන විකල්ප පිළිබඳ නොදැනීම නිසා...

ඔරිජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න...
මෘදුකාංග මිලදී ගන්න මුදල් නැත්තං,
ඒකේ හොර කොපි එක පාවිච්චි නොකර,
වෙන විසඳුමකට යන්න...
ඒ වෙන විසඳුම බොහෝවිට සම්පූර්ණ වෙන්නේ,
නිදහස් මෘදුකාංගයකින්...
නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න...
නිදහස් මෘදුකාංග ප්‍රචලිත කරන්න...
නිදහස් මෘදුකාංගවලට ජයවේවා!!!

උඹලාගේ දැනගැනීම පිණිස,
ජනප්‍රිය මුදල් ගෙවා මිලදී ගත යුතු මෘදුකාංග කීපයකට,
ගැලපෙන නිදහස් මෘදුකාංග ලිස්ට් එකක් අමුනන්නං...
පාවිච්චි කරලා බලන්න...


1. Mozilla Firefox - (වැඩි විස්තර අනවශ්‍යයි නේ)
අලුත්ම එක ගන්න - http://www.getfirefox.com/

2. Thunderbird - (ඊමේල් ක්ලයන්ට් එකක්... MS Outlook හෝ Eudora වෙනුවට)
http://www.mozilla.org/thunderbird/

3. Sunbird - (MS Outlook කැලෙන්ඩර් ෆන්ෂන් එක වෙනුවට)
http://www.mozilla.org/projects/calendar/sunbird/

4. LibreOffice - (MS Office වෙනුවට) 

5. CalmWin - (Antivirus Solution)
http://www.clamwin.com/

6. BitTorrent - (ටොරන්ට් ක්ලයන්ට් එකක්) 

7. Vuze - (ටොරන්ට් ක්ලයන්ට් එකක්) 

8. GIMP - (Photoshop වෙනුවට)
http://www.gimp.org/

9. VLC - (විස්තර ඕනේ නැහැ නේ)
https://www.videolan.org/vlc/download-windows.html

10. Audacity - (ඕඩියෝ එඩිටිං වැඩවලට සහ වොයිස් රෙකෝඩිං + පොඩ්කාස්ට්) http://audacity.sourceforge.net/

11. MusikCube - (iTunes වෙනුවට)
http://www.musikcube.com/

12. Handbrake - (ඕඩියෝ කන්වර්ට් කරන වැඩවලට)

13. KeePass - (පාස්වර්ඩ් මතක තියාගන්න, Store කරගන්න)
http://keepass.info/

14. TrueCrypt - (ඩේටා එන්ක්‍රිප්ට් කරන්න) 

15. PDFCreator - (ඩොකියුමන්ට්ස් PDF කරන්න)
http://sourceforge.net/projects/pdfcreator/

16. HealthMonitor - (පරිගණකයේ හාඩ්වෙයාර් ගැන ඇහැ ගහගෙන ඉන්න)
http://healthmonitor.zucchetti.com/

17. GranttPV - (MS Project වෙනුවට)
http://www.pureviolet.net/ganttpv/

18. Dia - (MS Visio වෙනුවට)
http://dia-installer.de/

19. Geany - (Adobe Dreamviewer වෙනුවට)
http://www.geany.org/

20. K3B - (Nero Suite වෙනුවට)
http://www.kde.org/applications/multimedia/k3b/

21. Scribus - (ඩෙස්ක්ටොප් පබ්ලිෂිං - MS Publisher වෙනුවට)   

22. NotePad2 - (MS Notepad වෙනුවට)
http://www.flos-freeware.ch/notepad2.html

23. Notepad++ - (ක්‍රමලේකන භාෂා කීපයකටම සපෝට් කරන Source Code editor එකක්)
http://notepad-plus-plus.org/

24. Virtual Box - (VMware වෙනුවට)
https://www.virtualbox.org/wiki/Downloads 


25. 7-Zip - (WinRAR වෙනුවට)
http://www.7-zip.org/

මේ මෘදුකාංගවලින් බොහෝ ඒවා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියටත් සහය දක්වනවා... ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නැතුව ජීවත් වෙන්නම බැරිනං, වින්ඩෝස් උඩ මේ මෘදුකාංගවලින් වැඩ කරන්න...

මේ ලිස්ට් එක තව දහස් ගාණක් දිග ඇති...
මේ මම සාමන්‍යයෙන් පාවිච්චි කරන ඒවා...
දන්න කියන ඒවා තියෙනවනං අමුනන්න...
නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න...


මේ මෘදුකාංග ඔක්කෝම ඉන්ස්ටෝල් වෙලා එන,
ඔපරේටිං සිස්ටම් තියෙනවා ගොඩක්...
උබුන්ටු, ෆෙඩෝරා වගේ ඒවා ගොඩක් ජනප්‍රියයි...
ඩවුන්ලෝඩ් කරගන්න තැං ඕනේ තරං...
 
අපේ රටේ අපේම අය හදපු,
ලිනක්ස් මෙහෙයුම් පද්ධති කීපයකුත් තියෙනවා...

ෆෙඩෝරා ලිනක්ස් ආශ්‍රයෙන් හදපු හන්තාන ලිනක්ස්...
මෙන්න විස්තර...

උබුන්ටු ලිනක්ස් ආශ්‍රයෙන් හදපු සහළාන ලිනක්ස්...
මෙන්න විස්තර...

උබුන්ටු ලිනක්ස් ආශ්‍රයෙන් හදපු Cylon ලිනක්ස්...
මෙන්න විස්තර...

ඔය මෙහෙයුම් පද්ධති 3මනියමයි...
අපේ රටේ ලිනක්ස් පාවිච්චිය අවම වෙන්න ලොකුම හේතුව වෙච්ච, අන්තර්ජාල සම්බන්ධතා ගැටළුවට විසඳුම මේ මෙහෙයුම් පද්ධති 3න්ම දීලා තියෙනවා... සරළව කියනවානං, එදිනෙදා ජීවිතයේදී භාවිතයට අවශ්‍ය වෙන මෘදුකාංග සියල්ලම පෙර නිමියෙන්ම මේ මෙහෙයුම් පද්ධති එක්ක එනවා... ඒ නිසා අතිරේක මෘදුකාංග ඉන්ස්ටෝල් කරන්න අන්තර්ජාල පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ...

එහෙනං අදට ඇති...
අවුරුදු 4කට කළිං ඉවර කරපු විදියටම,
මේ පෝස්ට් එකත් ඉවර කරන්නං...

නිදහස් ලෝකයක් තියෙනවානම්, ඇයි බලාගෙන ඉන්නේ?
නිදහස් මෘදුකාංග ජනප්‍රිය කරමු. මෘදුකාංග නිදහස අගයමු.
නිදහස් මෘදුකාංගවලට ජය වේවා...


මේ පෝස්ට් එකට විස්තර ගත්තේ මෙතනින්...
උඩිංම තියෙන ඡායාරූපය ගත්තේ මෙතනින්...

Wednesday, October 31, 2012

පරක්කු වෙන්න එපා!!! | Better never than late!!!

ලිනක්ස් මතදී ඔබ වින්ඩෝස් සඳහා නිර්මාණය කරපු මෘදුකාංග පාවිච්චි කරලා තියෙනවද?
කාලයක් තිස්සේ ලිනක්ස් පරිශීලනය නෙකෙක් නම්, බොහෝ විට උත්තරේ "ඔව්".
මම ඇහුවොත් ඒ කොහොමද කියලා, 
ඔබ දෙන උත්තරේ තමා WINE...

Wine Is Not an Emulator (WINE
කිව්වට, ගොඩක් වෙලාවට අපි ලිනක්ස් පාවිච්චි කරද්දී WINE පාවිච්චි කරන්නේ Emulator එකක් විදියටම තමයි. හැබැයි ප්‍රශ්ණයක් තියෙනවා. අපිට ඕනේ විදියටම WINE වැඩ කරන්නේ නැති වීම. වින්ඩෝස්වල ඉඳලා ලිනක්ස් වලට මාරුවෙච්ච මුල් කාලේ රනාටත් තිබ්බ ලොකුම ගැටළුව ඕක. වින්ඩෝස්වලදී කරපු Photoshop, Illustrator වැඩ විතරක් නෙමේ අඩුම ගානේ NFS ගේම් එකක්වත් ගහන්න විදියක් නැහැ. බැහැයි කිය කිය ඉන්නේ නැතුව WINE උඩ වැඩේ කරගන්න ගියත්, අවසාන ප්‍රතිඵලය... ඉතා සෝචනීයයි!!!

දැං ඒකට විසඳුමක් තියෙනවා. Wineවලට වඩා කාර්යක්ෂම විදියට ලිනක්ස් මතදී වින්ඩෝස් මෘදුකාංග පාවිච්චි කරන්න හදලා තියෙන E mulator මෘදුකාංගයක් තමයි CrossOver.
වින්ඩෝස්වලදී පාවිච්චි වෙන ගොඩක් High End පරිගණක ක්‍රීඩා, Adobe Photoshop, Illustrator, Premier විතරක් නෙමේ ඕනෙම .exe ෆයිල් එකක් මේ CrossOver හරහා ස්ථාපනය කරලා සාර්ථකව පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි CrossOver කියන්නේ අපි මුදල් ගෙවා මිලදී ගත යුතු මෘදුකාංගයක්.
ඒත්, අද ඒ කියන්නේ 2012 ඔක්තෝම්බර් 31 දවස ඇතුළත, නොමිලේම වසරක කාලයක් සඳහා වලංගු CrossOver මෘදුකාංගය නොමිලේ බාගත කරගෙන පාවිච්චි කරන්න එහි නිර්මාපකයෝ අවස්ථාව දීලා තියෙනවා.

මෙන්න මෙතනින් ඉක්මනට අරගන්න...

 
තව පැය 3ක් විතර තියෙන්නේ...
දන්න කියන හැමෝටම කියන්න...
 අතට ආව දේ කටට දාගන්නේ නැතුව ඉන්න නං එපා!!!


ජයවේවා ලිනක්ස්!!!

Tuesday, October 30, 2012

ලිනක්ස් - ඔබේ ජීවිතේ වඩාත් පහසු කරන හැටි | How Linux makes your Life Lot More Easier

ලෝකේ ජනප්‍රියම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් වෙන Ubuntu Linux (උබුන්ටු ලිනක්ස්) වල අලුත්ම දීර්ඝ කාලීන සංස්කරණෙත් (LTS - Long Term Support) පහුගිය දවසක එළිදැක්වූවා. ඒ Ubuntu 12.04 Precise Pangolin. එළිදක්වලා මේ වෙනකොට මාස 6කට ආසන්න උනත් තාම ඒක හෙන අළුත්... දැං අලුතෙන් එන උබුන්ටු සංස්කරණවල මුහුණත තිරය (Desktop Environment)  එක විදියට එන්නේ Unity Desktop Envirenment එක. ආව මුල් කාලේ (2010 අග) ගොඩක් කරදරකාරී ඇප්ලිකේෂන් එකක් වගේ දැනුනට වර්ථමානය වෙනකොට Unity වෙත තියෙන ජනතා ආකර්ශනය සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. Unity හුරුවෙන්න ලේසියි වගේම Unityවල තියෙන වැඩ කෑලිත් ටික ටික වැඩි වීම ඊට හේතුවක්...


Unity ගේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි Dash. මේ Dash උදව් කරගෙන පරිශීලකයාට බොහෝම ඉක්මනින් තමන්ගේ පරිගණකයේ තියෙන තොරතුරු (ස්ථාපිත මෘදුකාංග, පාවිච්චි කරපු ඩොකියුමන්ට්, බුක්මාක් කරපු ලිංක්) වගේම අන්තර්ජාලයේ තියෙන දේවලුත් (ටුවිටර්, වීඩියෝ, සිංදු, වෙබ්පිටු, ටොරන්ට්) ලබාගන්න පුළුවනි.



Dash කොහොමද මෙච්චර දෙයක් කරන්නේ. මෙතනදී සිද්ධවෙන තාක්ෂණික කාරණාව ගැනයි මේ කියන්න යන්නේ. Dashගෙන් අපි ඉල්ලන තොරතුරු ලබාදෙන්නේ ලෙන්ස් (Lense) මඟින්. ඒ කියන්නේ අපි ඉල්ලන තොරතුරු ලබාදෙන්න, ඒ ඒ කාණ්ඩවලට වෙන්වෙච්ච එකකට එකක් වෙනස් සෙවුම් තොරතුරු දෙන ලෙන්ස් ගොඩක් (Lenses) තියෙනවා. පරිශීලකයා තමන්ට අවශ්‍ය තොරතුරු සොයන්නේ මේ ලෙන්ස් හරහා. Dashගේ ප්‍රධාන අතුරුමුහුණතෙන් (Dash Home Screen or Global Search කියලත් මේකට කියනවා) හරි ඒ ඒ ලෙන්ස් එක හරහා හරි මේ විදියට තමන්ට අවශ්‍ය තොරතුරු හොයාගන්න පුළුවනි. 

හැබැයි මෙහෙමයි වැඩේ. මෙතනදී ලෙන්ස් එක එච්චරම පොරක් හෝ වැඩකරුවෙක් නෙමේ. ඇත්තම කියනවානං ලෙන්ස් එක අපි කියන කිසිම දෙයක් හොයන්නේ නැහැ. එහෙනං කව්ද හොයන්නේ? 

මේ හැම ලෙන්ස් එකක් සතුවම එකක් හෝ ඊට වඩා වැඩි ස්කෝප් (Scopes) තියෙනවා. මේ Scopes තමා ඇත්තටම සර්ච් එන්ජින් එකේ වැඩේ කරන්නේ. ලෙන්ස් එක කරන්නේ අතුරුමුහුණතක් සපයන වැඩේ විතරයි.
හරි, තාක්ෂනික කාරණාව එතනින් ඉවරයි. මේ ස්කෝප්, ලෙන්ස් ගැන වැඩිදුර දැනගන්න ඕනේ අයට ඒ විස්තර මෙතනින් අරගන්න පුළුවං.

දැං අපි බලමු කොහොමද මේ විදියට අන්තර්ජාලයේ විස්තර වෙබ් බ්‍රව්සරයක් හරහා සර්ච් කිරීමක් නොකර Unity Dash හරහාම ලබාගන්නේ කොහොමද කියලා. මේ දවස්වල රනා පාවිච්චි කරන්නේ Ubuntu 12.04 නිසා ඒකෙන් වැඩේ කරගන්න විදිය ගැන පෙන්නන්නං. ඊට පරණ සංස්කරණවලටත් (11.04, 11.10)  මේක කරන විදියේ වැඩි වෙනසක් නැහැ.

හරි, වැඩේ පටං ගමු.

අවශ්‍ය ද්‍රව්‍ය
Ubuntu අඩංගු පරිගණකයක්
අන්තර්ජාල සම්බන්ධතාවයක්
වැඩේ කරලා බලන්න උවමනාවක්

සාදන ක්‍රමය

මුලින්ම කරන්න ඕනේ මේ Scopes සහ Lenses අඩංගු Repositories ටික එකතු කරගන්න ඕනේ.
මේවා තියෙන්නේ PPA විදියට නිසා (මොනවද මේ PPA කියන්නේ - වෙන වෙලාවක දීර්ඝව කියලා දෙන්නං) ඒ PPA එකතු කරගෙන ඉමු.

මුලින්ම Terminal එක අරගමු. Alt , Ctrl සහ T යතුරු තුන එකපාර එබුවම Terminal එක ඕපන් වෙනවා.
ඒකේ පහත විධානය ටයිප් කරමු.

sudo apt-add-repository ppa:scopes-packagers/ppa




ස්ථාපනය කරන්න අවශ්‍යමනම් Enter Key එක ඔබන්න හෝ අවශ්‍ය නැත්නම් Ctrl + c යතුරු දෙක ඔබන්න කියන පණිවිඩේ දෙනවා.
අපිට ස්ථාපනය කරන්න අවශ්‍ය නිසා Enter Key එක දෙන්න.

 

PPA එක එකතු කරගෙන ඉවර උනාම මෙන්න මේ වගේ පණිවිඩයක් දෙනවා.

 

ඊළඟට පරිගණකයේ මෘදුකාංග යාවත්කාලීන කිරීම අත්‍යාවශ්‍යයි.
ඒක කරන්නේ පහත කරන විධානය ක්‍රියාත්මක කරවීම මඟින්.
sudo apt-get update

දැං ස්ථාපනය කරමු අවශ්‍ය Lenses සහ Scopes
sudo apt-get install unity-lens-utilities

මෙතනදී පොඩි දෙයක් බලාගන්න පුළුවනි.
sudo apt-get install unity-lens- වෙනකං ටයිප් කරලා TAB Key එක ප්‍රෙස් කිරීම මඟින් මේ වෙනකොට තියෙන ඔක්කොම Lenses බලාගන්න පුළුවං. ඒකෙන් තමන්ට කැමති ලෙන්ස් එකක් ස්ථාපනය කරගන්න පුළුවං.



ඒ වගේම
sudo apt-get install unity-lens* කියන විධානේ ටයිප් කළාම ඒ සියළුම ලෙන්ස් ඉන්ස්ටෝල් කරගන්න පුළුවනි.

උදාහරණ කීපයක් මෙන්න.

Dash Calculator එක ස්ථාපනය කර ගන්නේ මෙහෙමයි.

sudo add-apt-repository ppa:scopes-packagers/ppa
sudo apt-get update
sudo apt-get install unity-lens-utilities unity-scope-calculator



දෙවෙනියට තියෙන Calculator එකේ පෙන්නලා තියෙන්නේ අපි දීපු සුලුකිරීමේ උත්තරේ.


ලෝකේ තියෙන නගර ගැන විස්තර දැනගන්න Unity Cities Scope/Lens


මේකත් unity-lens-utilities යටතේම තියෙන Scope එකක් නිසා ඉහත       sudo apt-get install unity-lens-utilities විධානය දුන්නානං ආයෙත් ඒක දෙන්න ඕනේ නැහැ. නගර ගැන විස්තර බලාකියාගන්න පහත විධානය හරහා පුළුවනි.

sudo apt-get install unity-scope-cities



මේ මඟින් නගරය අයිති රට, වෙලාව, කාළගුණ තත්වය විතරක් නෙමේ සුළගේ වේගයත් බලාගන්න පුළුවනි. නගරයේ නම උඩ ක්ලික් කළාම ඊට අදාළ ගූගල් මැප් එක තමයි වෙබ් බ්‍රව්සර් එකේ ඕපන් වෙන්නේ.
ලෝකේ තියෙන ප්‍රසිද්ධ නගර විතරක් නෙමෙයි ඈත ඩොටේ තියෙන ගමේ විස්තර උනත් බලාගන්න්න පුළුවං මේකෙන්.
මේ තියෙන්නේ අපේ රටේ කහටගස්දිගිලිය ගැන පෙන්නන විස්තරේ.




චිත්‍රපටි විස්තර ඉක්මනට බලාගන්න.


ඔබත් චිත්‍රපටි ලෝලියෙක්නම්, මේ ආරංචිය ඔබ වෙනුවෙන්මයි.
Rotten Tomatoes Scope/Lens එක හරහා වඩාත් ඉක්මනින් වගේම පහසුවෙන් චිත්‍රපටි විස්තර ලබාගන්න පුළුවං.
මෙච්චරයි කරන්න තියෙන්නේ.

sudo apt-get install unity-scope-rottentomatoes



ටොරන්ට් හොයමු

වඩාත් ලේසියෙන් අපිට ඕනෙ කරන ටොරන්ට් ෆයිල් එක හොයාගන්න TPB එහෙම නැත්තං The Pirate Bay අඩවියෙන් ටොරන්ට් ෆයිල් ලබාගමු.
මෙහෙම කළාම හරි.

sudo apt-get install unity-lens-torrents unity-scope-piratebay




විකිපීඩියා Lens
නිතර දෙවේලේ ගොඩවදින් විශ්වකෝෂය විකිපීඩියාවටත් ගොඩවැදෙමු Dash හරහාම.
මෙන්න මෙහෙම ස්ථාපනය කරගමු.

sudo apt-get install unity-lens-wikipedia



You Tube වීඩියෝ හොයන්න.
අන්තර්ජාලයේ සැරිසරන අපි හැමෝම දවසකට සැරයක්වත් ගොඩවදින අඩවියක් තමා You Tube. ඒකේ තියෙන වීඩියෝත් Unity Dash හරහාම හොයමු.
මේකට වෙනම PPA එකක් එකතු කරගන්න වෙනවා.
පහත විධාන ටික දුන්නාම වැඩේ ලෙසටම ගොඩ.

sudo add-apt-repository ppa:atareao/lenses
sudo apt-get update
sudo apt-get install yavol scope-youtube




වැදගත්!!!

මේ හැම Lense/Scope එකක්ම වැඩ කරන්නටනම්, ස්ථාපනය කිරීමෙන් පසුව ඔබ Log Out වී නැවත Login විය යුතුයි. සමහර Lense/Scope සඳහා පරිගණකය ප්‍රථි පණගැන්වීමක් (Reboot) අවශ්‍ය වෙන නිසා රනා අනුමත කරන්නේත් ප්‍රථි පණගැන්වීමක්ම තමයි.
Terminal එකෙන්ම ඒකත් කරමු.

 
sudo reboot

ප්‍රථි පණගැන්විලා ආයෙමත් පරිශීලකයෙක් විදියට Login වුනාට පස්සේ Unity Dash එකට ගිහිං අපි ස්ථාපනය කරගත්ත ඒවට ගැලපෙන සෙවීම් Dash තුළ ඉඳලාම කරන්න පුළුවනි. කරලම බලන්න. ඔබට වැටහේවි ලිනක්ස් ඔබේ ජීවිතය කොච්චර පහසු කරනවද කියලා.

ඉවරයි කියලද හිතුවේ.
තව ඉවර නැහැ.
මේ වගේ එදිනෙදා අන්තර්ජාලයෙන් හොයන ගොඩක් දේවල් Unity Dash හරහාම හොයාගන්න පුළුවං වෙන Scopes/Lenses විශාල ප්‍රමාණයක් ගැන විස්තර සහ ඒවා ස්ථාපනය කරගන්න විදිය මෙතන තියෙනවා.

අපි ඉන්න Facebook, Twitter වගේ සමාජ ජාලවල instant updates, ලෝකේ ප්‍රමුඛම ප්‍රවෘත්ති වෙබ් අඩවි, පොත්, සිංදු, දින දර්ශන විතරක් නෙමේ ඉංග්‍රීසි/ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් පවා මේ ආකාරයට ස්ථාපනය කරගන්න පුළුවං.
ගිහිල්ලා බලලා කැමති එකක් ස්ථාපනය කරගන්න.

මීට දවස් දෙක තුනකට කළිං Microsoft ආයතනය Windows 8 මෙහෙයුම් පද්ධතිය නිකුත් කළානේ. මේ දවස්වල පරිගණක ලෝකේ රැල්ල තමයි Windows 8 මෙහෙයුම් පද්ධතිය හොය හොය ඉන්ස්ටෝල් කරගන්න එක. ඔරිජිනල් කොපි නෙමේ ඉතිං. හොරාට ගත්ත ඒවා තමා. මේ තියෙන්නේ නිදහස් මෘදුකාංග පදනමේ කීපදෙනෙක් Windows 8 නිකුත් කරපු දවසේ ඒ නිකුත් කරපු තැනටම ගිහිං කරපු වැඩක්. ලේසි නැහැ නේද...

හදිස්සියේ  Windows 8 මෙහෙයුම් පද්ධතිය මතක් උනේ මේකයි. රනාගේ මිතුරෙක්  Windows 8 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගත්තා එයාගේ පරිගණකයේ. එහෙම කරගෙන නිකම් හිටියේ නැහැ, තිස්සෙම ඒක ගැන වරුණාව. Facebook, Twitter updates දැං ලොග් නොවී කෙළිංම ගන්න පුළුවනි කියලා  Facebook status එකකුත් දාලා තිබ්බා. ඒක ඉතිං හෙණ ලොකු දෙයක්නේ. ලේසි පාසු වැඩක්ද ලොග් නොවී Facebook, Twitter updates බලන එක.

හැබැයි ඒක දැක්කම රනාට හිනා ගියේ වෙන මොකක්වත් හින්දා නෙමේ. ලිනක්ස් ඒ පහසුකම දුන්නේ 2011 අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳලා නිසයි. Gwibber Lens තමයි ඒ Lens එක. ඔය කතාව දැක්කම රනාගේ කට කහන්න ගත්තත් ඒ වෙලාවේ මොකුත්ම නොකිව්වේ මිනිස්සුංගේ ආතල් කඩන එක හොඳ වැඩක් නොවන හින්දමයි.
හැබැයි, ඒක විතරක් නෙමෙයි තව ගොඩක් වැඩ පුළුවං කියලා පෙන්නන්න තමයි මේ පෝස්ට් එක ලිව්වේ.

ලිනක්ස් ඔබේ ජීවිතය වඩාත් පහසු කරන එකට මීට වඩා තව සාක්කි ඕනෙද?

ජයවේවා ලිනක්ස්!!!

Sunday, April 8, 2012

Dual Boot අයිං කරමු... ජනෙල්ම තියමු!!! | How To Remove Linux!!!

ලිනක්ස් එක්ක ජනෙල් එහෙමත් නැත්තං Windows මෙහෙයුම් පද්ධති දෙකම එකට ස්ථාපනය කරලා, ඒ කියන්නේ Dual Boot කරලා තියෙන කොම්පියුටර් අද සාමාන්‍ය ප්‍රමාණයක් දකින්න පුළුවනි.

රස්සාව හරි එහෙමත් නැත්තං ඉගෙනීමේ කරුණු නිසා හරි Windows අතාරින්න බැරි, ඒවගේම ලිනක්ස් පාවිච්චි කරන්න බොහොම කැමැත්තක් ඇති උදවියට තියෙන හොදම විසදුම තමා Dual Boot කිරීම. Dual Boot කරලා තියෙද්දි තමන්ට Windows ඕනේ වෙලාවට Windows සහ ලිනක්ස් ඕනේ වෙලාවට ලිනක්ස් තෝරගෙන පාවිච්චි කරන්න පුළුවනි. ගොඩක් වෙලාවට ආසාවට ලිනක්ස් පාවිච්චි කරන උදවිය තමංගේ කොම්පියුටරේ Hard Disk එකෙං පොඩි ඉඩක්, උදාහරණයක් විදියට 320GB HDD එකකිං 40GB විතර වගේ කොටසක තමා ලිනක්ස් ස්ථාපනය කරගෙන ඉන්නේ. වැඩියම ලිනක්ස් පාවිච්චි කරන්නේ නැත්තං, ඒ වගේම ලිනක්ස් නොවන අනිත් පාටිෂන් පිරෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවට, ලිනක්ස් අයින්ම කරලා දාන එක තමා තියෙන එකම විසදුම.

ආරක්ෂිතව ලිනක්ස් ඉවත් කරන්නේ කොහොමද?

ඉස්සෙල්ලාම බලමු "අනාරක්ෂිතව ලිනක්ස් ඉවත් කිරීම" කියන්නේ මොකක්ද කියලා.
Dual Boot කරලා තිබ්බ කොම්පියුටරයකින් අනාරක්ෂිතව ලිනක්ස් අයිං කරන්න ගිහිං රනාට වෙච්ච සන්තෑසිය මතකයිනේ....
ඒ වැඩේ වෙලා තාම මාස 3ක්වත් නෑ.
එදා රනා මෙහෙම කිව්වා කියලා කාටද මතක?

"Windows තුළින් ගොස් සාර්ථකව ලිනක්ස් පාටිෂන් ඉවත් කළ හැකි ක්‍රමයක්ද ඉහත සොයා ගැනීම් සිදු කරද්දී රනාගේ ඇස ගැටුණි.
ඒ වෙලාවේ අවශ්‍යතාවය එය නොවූ නිසා වැඩිදුර පස්සෙන් පැන්නුවේ නැත.
පස්සේ වෙලාවක ඒකත් කරලා බලමු...."

එහෙනං එදා ඒ දීපු පොරොන්දුව ඉටුකරන්න තමා මේ උත්සාහ කරන්නේ.

Windows ඕනෙම සංස්කරණයක්, ඒ කියන්නේ Windows 98, Windows 2000, Windows XP, Windows XP SP1, Windows XP SP2, Windows Vista, Windows 7 කියන මේ ඕනෙම සංස්කරණයක් එක්ක සමාන්තරව ස්ථාපනය කරලා තියෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඉවත් කරනා ආකාරය තමා මේ පහතින් දක්වන්නේ.

මුලින්ම අවශ්‍ය කරන්නේ අදාළ Windows සංස්කරණය සහිත CD එකක් හෝ DVD එකක්.
උදාහරණයක් විදියට ඔබේ පරිගණකයේ තියෙන්නේ Windows 98 නම් Windows 98 CD තැටියක්. ඔබේ පරිගනකයේ තියෙන්නේ Windows 7නම් Windows 7 DVD තැටියක්.

පියවර 1
   
Windows 98දී...
 
1.   Command Prompt එකෙන් Boot කරගත යුතුය.

2.   ඉන් පසුව  :- fdisk /MBR විධානය ක්‍රියාත්මක කළ යුතුය.
3.   ඉහත විධානය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව exit විධානය ක්‍රියාත්මක කර Command Prompt එකෙන් ඉවත්විය යුතුවේ.

Windows 2000, Windows XP, Windows XP SP1, Windows XP SP2 යන මෙහෙයුම් පද්ධතිවලදී...
 
1.    CD තැටියෙන් Boot කර Recovery Console වෙත යා යුතුය.

2.    Recovery Console තිරය පහත පරිදි වේ. 

3.    එහිදී ඔබේ Administration Password එක ලබා දිය යුතු වේ. නැතිනම් ඔබට ලොග් විය නොහැක.
4.    ඉන් පසුව :- fixmbr විධානය ක්‍රියාත්මක කළ යුතුය.
5.    ඔබ එම විධානය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව ස්ථිර කිරීමට Y යතුර ඔබන්න.
6.   ඉහත විධානය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව exit විධානය ක්‍රියාත්මක කර Command Prompt එකෙන් ඉවත්විය යුතුවේ.

Windows Vista, Windows 7 යන මෙහෙයුම් පද්ධතිවලදී...
 
වැඩේ කරන විදිය මීට කළිං සවිස්තරව තියෙනවා. මේක තමා පහසුම ක්‍රමය.


පියවර 2

ඉහත ඔබ ක්‍රියාත්මක කරන ලද විධානයන්ගෙන් සිදුවන්නේ ලිනක්ස් හි GRUB Boot Loarder එක ආරක්ෂිතව ඉවත් කිරීමයි.
දැන් කොම්පියුටරය ReStart කළවිට Windows Boot Loarder එක මගින් කෙළින්ම Windows මෙහෙයුම් පද්ධතියට ඔබව යොමු කරයි.


පියවර 3
    
Windows හි ඇති Disk Management උපාංගය මගින් දැන් ඔබේ ලිනක්ස් පාටිෂන් සියල්ල ඉවත් කළ හැක. 
      
එම ලිනක්ස් පාටිෂන් එක තෝරාගෙන එය මකා දැමිය හැක.
ලිනක්ස් පාටිෂන්වල File Type එක Windows හට හදුනාගැනීමට නොහැකි බැවින් File Type එකක් නොපෙන්වන පාටිෂන් ලිනක්ස් පාටිෂන් ලෙස පහසුවෙන් හදුනාගත හැක.
      

ඉහත පියවර කීපය හරහා යාමෙන් වඩාත් පහසුවෙන් හා ආරක්ෂාකාරීව ඔබට Dual Boot ලෙස ඇති පරිගණකයකින් ලිනක්ස් ඉවත් කළ හැක.

වැඩිදුර:-
මේ දේවල් කොච්චර ලිව්වත්, කිව්වත් රනා තවමත් දකින්නේ ලිනක්ස් තියෙන පරිගණකයකින් එය ඉවත් කිරීම "මහා අපරාධයක්" ලෙසය.
එම නිසා අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර අනිත් කිසිම විටක එවන් "මහා අපරාධ" කිරීමෙන් වළකින්න.


ජයවේවා ලිනක්ස්!!!


මේ කරුණු හොයාගත්තේ අන්තර්ජාලයේ ඇතිවෙනකං කරක් ගැසීමෙනි. මෙම ක්‍රම සහ විධි සොයාගත් මුල් අයිතිකරුවන්ට පිං සිදු වේවා.
ලිපියට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගත්තේ
ඉල්ලන පරක්කුවෙන් මේ වෙබ් අඩවි ලබාදුන් ගූගල් දෙයියන්ට ජයවේවා!!!