Saturday, February 13, 2010

ජාතික රූපවාහිනියේ හොද වැඩක්....



ආයුබෝවන් කිව්වා එහෙනම් හැමෝටම. සෑහෙන්න දවසකට පස්සේ තමා පෝස්ට් 1ක් ලියන්නේ. වැඩ ගොඩක් තිබීම සහ මගේ කම්මැලිකම බ්ලොග් නොලිවීමට හේතුවක් විදියට පෙන්නන්න පුලුවන්. කොහොමහරි කමක් නෑ ඔන්න දැන් රනා ආයෙත් බ්ලොග් ලියනවා.

ඕනෙම කෙනෙක්ගේ හොද දෙයක් දැක්කම ඒක හොදයි කියලා කියන 1 මම හිතන්නේ හොද වැඩක්. ජාතික රූපවාහිනියෙත් ඒ වගේ දැකපු හොදක් කියන්නයි මගේ මේ සූදානම. ඒකට පූර්විකාවක් ගමු මේ විදියට.

අපි දන්නවා මීට ටික කාලෙකට කළින් අපේ රටට අමුතුම විදියේ වසංගතයක් ආවා. ඒක නම් කළේ "රන් දෙපැය" කියලා. අපේ රටේ සුවහසක් ජනී ජනතාව ඔය රන් දෙපැය වටා කැමැත්තෙන් හරි අකමැත්තෙන් එකතු වුනා. අකමැත්තෙන් එකතුවුනා කිව්වේ සමහර අය රන් දෙපැය බැලුවේ "ඉට්ටැයිල්" 1ට. පහුවෙනිදා බස් 1දී, කෝච්චියේදී, ඔපිස් 1දී අනිත් අයත් එක්ක කතාවට සෙට් වෙන්න ඕනේ නිසා සමහරු බැලවා. කොටින්ම කියනවානම් අපේ රටේ ටැලිවිසොන් තියෙන ගෙවල් වලින් 7/10 ඕක බලන්න පටන් ගත්තා. පැය 2ම කෙසේ වෙතත් හැමෝම "ප්‍රවීනා" බලන 1 අනිවාර්ය කරගත්තා. මේ කරුණ ගැන ඒ දවස්වල සෑහෙන්න පත්තරවල එහෙම ලියුම් පළවුනා. සමහරවිට බ්ලොග් පෝස්ට් ලියැවෙන්නත් ඇති. රනා ඒ දවස්වල බ්ලොග් කියවන්නේ නෑ. කියවනවා තියා බ්ලොග් කියලා ජාතියක් තියෙනවාද කියලාවත් රනා දන්නේ නෑ. කොහොමහරි රන් දෙපැයේ ප්‍රවීනා අපේ රටේ සෙනගෙන් සෑහෙන්න පිරිසකගේ ඔලු ගෙඩි ඇතුළ්ට පැනගත්තා. පැනගත්තාම නෙමේ ඇත්තටම කියනවානම් ඔලු ඇතුළට එබ්බුවා. අපේ අයත් ඔලුව ඇතුළටම ඔබන්න කියලා කට ඇරගෙන බලාගෙන හිටියා.

"ප්‍රවීනා" ඔච්චර දෙයක් කළේ කොහොමද? ඒකට ඉඩ ආවේ මට හිතෙන විදියට මෙන්න මෙහෙම. අපි ගොඩක් අය රෑට කන්නේ රෑ 8 - 9.30 කාලයේදී. ගෙදර රූපවාහිනියක් තියෙනවානම්, ඒක වැඩකරනවානම්, ඒ ඉස්සරහ වාඩිවෙලා තමා රෑට කන්නේ. එතකොට ප්‍රවීනා බල බල රෑට කන 1 පුරුද්දක් බවට පත්වුනා. අන්තිමේදී රෑට නොකෑවත් ප්‍රවීනා බලන තත්වෙට අපේ කට්ටිය පත්වුනා. ඇයි මිනිස්සු ප්‍රවීනාට ඔච්චර ඇබ්බැහි උනේ? ලොකුම හේතුව තමා ප්‍රවීනා වෙනුවට තෝරගන්න වෙන ඊට වඩා වැදගත් වැඩසටහනක් නොතිබීම. විශේෂයෙන්ම අනිත් හැම නාළිකාවකම වගේ ඒ වෙලාවට පෙන්නුවේ කිසිම ආතල් 1ක් නැති වැඩසටහන්. උදාහරණයක් විදියට ලොතරැයි දිනුම් ඇදීම් වගේ ඒවා. එතකොට රටේ බහුතරයක් මිනිස්සු නිකම්ම රන් දෙපැය දිහාවට ඇදිලා ගියා. වැදගත් දේ මේකයි. "ප්‍රවීනා" ඔය වැඩේ කරනකොට අපේ අනිත් රුපවාහිනී නාළිකා මොනවද කළේ? අන්න ඒක තමා අපි කල්පනා කරලා බලන්න ඕනේ. මම දැකපු විදියට අනිත් රූපවාහිනී නාළිකා ඔක්කොම වගේ නන්නත්තාර වෙලා හිටියේ. කරකියාගන්න දෙයක් නෑ. මොකෙක්වත් තමන්ගේ චැනල් 1 බලන්නේ නෑ. ඔහොම තත්වයක් තිබුනේ.

මේකට විසදුමක් විදියට කට්ටිය මොකද කළේ? පෝළිමේ ශ්‍රී ලංකන් මෙගා හදන්න පටන් ගත්තා. ජාතික රූපවාහිනිය හැරෙන්නට අනිත් හැමෝම ඒ වැඩේ කළා. ඒක යම් තරමකට සාර්ථකයි. නමුත් අනිත් රූපවාහිනී නාළිකාලට තමන් බලාපොරොත්තු වෙච්ච සාර්තකත්වය ලැබුනේ නෑ. යන්තම් හරි ගොඩ ආවේ බට්ටියි පබායි විතරයි. ඉතිං ඊට පස්සේ උනත් ලොකූ රැල්ලක් ඇතිකළේ නෑ. දැන් බට්ටි ඉවරයි. පබාට කෙළවෙලා වගේ තියෙන්නේ. ඒකේ අනාගතය හරියටම කියන්න අමාරුයි. හැබැයි වෙනදා තරම්ම ලොකු සෙනගක් නොබැලුවත් ප්‍රවීනා තාම දුවනවා. ඒකෙ බෙල්ට් 1ට අනිත් චැනල් වලින් ලොකු තරගයක් නැතිකොට ජාතික රූපවාහිනිය හොද වැඩක් පටන් ගත්තා. මේ බ්ලොග් සටහන ගොඩක්ම ලිව්වේ ඒකෙ පාළනාධිකාරිය ගත්ත ඒ තීරණේට ස්තූති කරන්නයි. ඒක තමා පරණ නාට්ටි පෙන්නන 1. රෑ 9 ඉදලා 9.30 වෙනකම්.

මට මතක හැටියට ඉස්සෙල්ලාම පෙන්නුවේ "චරිත 3ක්". ඊළගට කන්දෙ ගෙදර. ඊළගට සකිසද එළියස්. ඊළගට සබද පබිලිස්. පෙරේදා ඉවරවුනා දඩුබස්නාමානය. ඊයේ පටන් ගත්තා මුතුමිණගේ ඉසුරු යෝගය. කියලා වැඩක් නෑ. ඔක්කොම පරණයි. ඒත් ආසාවෙන් බලන්න පුලුවන්. විශේෂයෙන්ම රස වින්දනයක් කියලා දෙයක් තියෙන මිනිස්සුන්ට ආසාවෙන් බලන්න පරණ ඒවා ටිකක් හරි පෙන්නන 1 ගොඩක් වටිනවා. මුකුත්ම නොපෙන්නනවාට වඩා. මේ කෙහෙල්මල් මෙගා විකාරයක් එන්න කළින් කොච්චර සිරා ටෙලි නාට්‍ය කලාවක් අපිට තිබුනාද කියලා ඇත්තටම දුක හිතෙනවා. ඒ වගේම ඒ නාට්ටි වලට හොද ඉල්ලුමක් තාම තියෙනවා කියලා ඒ බෙල්ට් 1 යන වෙළද දැන්වීම් ගාණෙන් කියන්න පුලුවන්. අනුන් කරනදේම අන්ධානුකරණයෙන් කරන්නේ නැතිව මේ වගේ දෙයක් කරන 1 රෑට කන වෙලාවට විතරක් ටැලිවිසොන් බලන මේ මම වගේ අයට කරන ලද අති විශාල සේවයක් කියලයි මට හිතෙන්නේ. කොහොමින් කොහොමින් හරි මේ වැඩේ කරන්න තීරණේ කරපු සහ ඒ තීරණේ ක්‍රියාත්මක කරපු ජාතික රූපවාහිනියේ හැමෝටම බොහොම ස්තූතියි.

මේක කියවන ඔබ තාමත් රෑ 9 ඉදලා 9.30 වෙනකම් ටැලිවිසොන් 1 බලන්න දෙයක් නැතිව චැනල් මාරු කර කර දුක් විදින කෙනෙක්නම් සතියේ දවස් 5 ම ඒ වෙලාවට ජාතික රූපවාහිනිය බලන්න. ඉස්සර අපි ආසාවෙන් රසවිදපු ටෙලි නාට්‍ය ආයේ බලන්න පුලුවන්.

පරණ ටෙලි නාට්‍යවලට ජය වේවා...

4 comments:

  1. ඔබ කිව්ව එක හරි , සිරසෙන් රන් දෙපැය පෙන්නන කොට අනිත් අය මොනවද කරේ, ඊටත් වඩා එපාකරපු ඒව තමයි ඒගොල්ලො කරේ විශේෂයෙන්ම හොද දෙයක් කරයි කියල හිතපු ස්වර්ණවාහිනිය දැන් නම් අන්තිමයි ,

    ලංකාවෙ රූපවාහිනී චැනල් වලින් මටනම් බලන්න ඉතුරු වෙලා තියෙන්නෙ 9.00 - 9.30 වෙලාවට පෙන්නන ඔය නාට්‍ය ටික තමයි හැබැයි හුගක් වෙලාවට දේශපාලන වැඩ සටහන් වලට වඩා අඩු සැලකිල්ලක් තමයි එකටත් තියෙන්නෙ මුල්තැන දේශපාලන වැඩ තියෙන වෙලාවට ඔක තමයි යටකරන්නෙ තව ඔනතරම් බහුබූත තියෙද්දි

    ReplyDelete
  2. ඇත්තටම බලන්න හොද ටෙලිනාට්‍ය යන්නෙ ජාතික රූපවාහිනියෙ විතරයි.
    මේ දවස්වල 7.30 ට යන e-‍බ්‍රේන් තමා මට නම් දැනට විකාශය වන අළුත් ටෙලිනාට්‍ය වලින් හොදම

    ReplyDelete
  3. ඇයි? අඹු දරුවෝ !!!!!

    මට නම් ඒ නාට්‍යයේ තේමා ගීතය ඇහුනත් ඇති. 'මගේ ‍වෙහෙර නුඹයි ...........'

    තව නාට්‍යයක් ගියා ඒ දවස් වල 'දෙරණ' කියලා. ඒකත් මේ වගේම තමයි. තේමා ගීතයත් හරි ලස්සනයි.

    ReplyDelete
  4. පරණ වෙච්ච පලියට හැම නාට්යක්ම හොද නෑ. හැබැයි ඔය නාට්ය ටික නම් මරු. කවුරුහරි පින්වතෙක් ඔය ටික රෙකෝඩ් කරලා රට ඉන්න අපිට බලාගන්න දාන්න පුලුවන් නම් මරු.

    ReplyDelete