Thursday, February 9, 2012

Ubuntu 10.04 මතදී Firefox 10 ප්‍රතිස්ථාපනය කරමු | How to Reinstall Firefox 10 on Ubuntu 10.04

හෙඩිම දැක්ක ගමන් හැමෝම වගේ දන්නවා මොකක්ද කරන්න යන වැඩේ කියලා.
Ubuntu සහ Firefox...
නිකං ජාඩියට මූඩිය, ඉදිකටුවට නූල, ශ්‍රී ලංකාවට ක්‍රිකට් වගේ එකම පීල්ලේ එකම පැත්තට යන විවෘත සහ නිදහස් මෘදුකාංග දෙකක්.
නිකමට වගේ දෙන්නා ගැන පොඩ්ඩක් හොයලා බලමු...

මොකක්ද මේ Firefox...
සුප්‍රකට Mozilla සමාගමේ සාඩම්බර නිශ්පාදනයක්. විවෘත සහ නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න කට්ටිය. 2009 ජනවාරි ඉදලා අද මේ වෙනකම්ම ලෝකේ ජනප්‍රියතම වෙබ් බ්‍රව්සරය. අලුත්ම සංස්කරණය තමා Firefox 10.0. වෙන කොච්චර වෙබ් බ්‍රව්සර් තිබ්බත් මේක තමා රනාගේ ප්‍රියතම බ්‍රව්සරය.

ඊළගට බලමු Ubuntu...
සුප්‍රකට Canonical සමාගමේ නිශ්පාදනයක්. ලෝකේ දෙවෙනියට ජනප්‍රියතම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතිය. විවෘත සහ නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ මෙහෙයුම් පද්ධතියක්. ස්ථාපනය කරන්න (install), වැඩ කරන්න, පෙනුම වෙනස් කරන්න ලේසිම සහ පාවිච්චි කරන්න ආසම හිතෙන මෙහෙයුම් පද්ධතියක්. රනාගේ ප්‍රියතම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් Ubuntuම තමා.

මොකක්ද දැං මේ කරන්න යන්නේ....


සිද්ධියේ නිධාන කතාව මේකයි.

රනා තවමත් පාවිච්චි කරන්නේ Ubuntu 10.04 Lucid Lynx මෙහෙයුම් පද්ධතිය. මේක එළිදැක්වුවේ 2010 අප්‍රේල් මාසෙදි. අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනස් නොකර මේකම පාවිච්චි කරන්න මූලිකම වෙච්ච හේතුව තමා Ubuntu 10.04 කියන්නේ LTS Version එකක් වීම.
 
මොකක්ද මේ LTS සහ Normal Release කියන දෙකේ වෙනස!

මොකක්ද Normal Release කියලා කියන්නේ?

Normal Release එහෙමත් නැත්තං සාමාන්‍ය සංස්කරණයක් සදහා Canonical ආයතනය මාස 18ක කාලයක් සහය ලබාදෙනවා. උදාහරණයක් විදියට ගිය අවුරුද්දේ ඔක්තෝම්බර්වලදී එළිදැක්වුව Ubuntu 11.10 මෙහෙයුම් පද්ධතියට සහය දක්වන්නේ මාස 18ක කාලයක්. ඒ කියන්නේ 2013 ජූනි මාසයේදී Ubuntu 11.10 කියන මෙහෙයුම් පද්ධතියට Canonical ආයතනය මගින් ලබාදෙන සහයෝගය අවසන් වෙනවා.
සහයෝගය ලබා දෙනවා කියන්නේ විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන කිරීම ලබාදීම. මෙහෙයුම් පද්ධතියේ දෝෂ සහ ආරක්ෂක උපක්‍රම නිරන්තරයෙන් අළුත්වැඩියා කරන අතර ඒ අළුත්වැඩියාවන් නොමිලේම පරිශීලකයන්ට ලබාදීම සිදුකරනවා. ඒ වගේම Ubuntu මෙහෙයුම් පද්ධතියේ ඇති වෙනත් වාණිජමය මෘදුකාංගවල කොන්ත්‍රාත් කාලයත් මේ සහයෝගය ලබාදෙන එකට අයිතියි. මාස 18කින් පස්සේ Canonical සහයෝගය අවසන් වෙනවා කියන්නේ අර කළිං කියපු සහය පරිශීලකයාට තවදුරටත් ලබාදෙන්නේ නෑ කියන එක.

එතකොට මොකක්ද මේ LTS?

LTS කියන එකේ තේරුම Long Term Support. ඒ කියන්නේ දිගු කාලයක් Canonical සහය ලබාදෙනවා කියන එක. LTS සංස්කරණයක් සදහා අවුරුදු 3ක කාලයක් Canonical ආයතනය තමන්ගේ සහය ලබා දෙනවා. Ubuntu Desktop සංස්කරණයක් සදහා පසු සහය අවුරුදු 3ක කාලයක් වගේම Ubuntu Server සංස්කරණයක් සදහා අවුරුදු 5ක කාලයක් මේ LTS නිකුතුවකදී පසු සහය ලබාදීමට Canonical ආයතනය බැදී සිටිනවා. ඒ වගේම රනා අත්දැකීමෙන් දන්න දෙයක් තමා Normal Release එකකට වඩා LTS Release එකක ස්ථාවරභාවය (Stablity) වැඩිවීම.

මේ හේතූන් නිසා තමා රනා තාමත් 2010 අප්‍රේල්වලදී නිකුත්කළ Ubuntu 10.04 Lucid Lynx මෙහෙයුම් පද්ධතියම පාවිච්චි කරන්නේ.

ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමග පෙරනිමියෙන්ම එන අටෝරාසියක් මෘදුකාංග අතරේ වෙබ් බ්‍රව්සරය විදියට ගොඩක් වෙලාවට පැමිණෙන්නේ Firefox. මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන කාලේ වෙනකොට තියෙන අලුත්ම Firefox සංස්කරණය එහිදී ලබාගන්න පුළුවනි. මේ විදියට රනා පාවිච්චි කර කර හිටපු 10.04 මෙහෙයුම් පද්ධතිය එක්ක තිබ්බේ Firefox 3.6.3 කියන සංස්කරණය.

Goolge Chrome බ්‍රව්සරය මගින් තමන්ගේ වෙබ් බ්‍රව්සර් අධිරාජ්‍යයට එල්ල කරන දැඩි තර්ජනය නිසාම අවුරුද්දක් වගේ ඉතා කෙටි කාලයක් ඇතුළත Firefox 4.0 සංස්කරණයේ සිට Firefox 10.0 සංස්කරණය දක්වා සීඝ්‍ර ගමනක් යන්නට Mozilla ආයතනයට සිදුවුනා. Firefox වෙනස් වෙන වේගෙට වෙනස් නොවිච්ච රනා පුරුදු විදියට Firefox 3.6ම පාවිච්චි කර කර හිටියා. වැඩි අවුලක් නෑ.

ඔහොම ඉද්දි තමා Google+ කාරයා අලුතෙන් ගේම්ස් වගයක් හදුන්වලා දුන්නේ. ගේම් ගහන්න රනාත් හරි කැමතියි. ඉතිං Google+ එකේ ගේම් ගහන්න ගියාම රනාට මොකද උනේ? බ්‍රව්සරේ පරණයි, ගිහිං අලුත් එක දාගෙන එන්න කියලා Google+ ගොයියා කිව්වා. 
අපොයි!!! 
කාලා වරෙංකෝ දැං ඉතිං.

Firefox යළි ස්ථාපනය කරන්න පුළුවං විදි ගොඩක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ඉවත්කරලා නැවත පිහිටුවන්නත් පුළුවං. ඒත් බුක්මාර්ක් කරගන්න වෙබ් අඩවි බර ගාණක් තියෙන නිසා ඒ ක්‍රමේ හරියන්නේ නෑ. එහෙනං මොකක්ද කරන්නේ?

මේ වෙලාවේදි තමා රනාට Terminal එක පිහිටට ආවේ. රනාගේ සහ Terminal එකේ සම්බන්ධය ගැන මීට කළිනුත් රනා කියලා තියෙනවා.
කළිං තිබ්බ settings ඒ විදියටම තියාගෙන අලුත්ම සංස්කරණයට බොහොම ලේසියෙන් Terminal එක හරහා පිවිසෙන්න පුළුවනි. 

මේ තියෙන්නේ ඒ ක්‍රමය.
මේක ක්‍රියාත්මක කරන්නනං අන්තර්ජාල සම්බන්ධතාවක් තිබීම අනිවාර්ය කරුණක්.

මුලින්ම Terminal එක ගන්න ඕනේ.

අලුත් විදියකට Terminal එක ගෙන්න ගමු.
Alt + F2 ටයිප් කළාම එන කව්ළුවේ gnome-terminal කියලා ටයිප් කළාම Terminal එක නිකංම open වෙනවා.

ඊළගට root වෙන්න ඕනේ.
sudo bash කියලා ටයිප් කරලා ඔබේ password එක දීමෙන් තාවකාලිකව (මේ Session එකට විතරක්) root වෙන්න පුළුවං.

ඊළගට මෙන්න මේ විදියට ටයිප් කරන්න ඕනේ.
apt-get install --reinstall firefox

මේ command එකේ apt-get install කියන එකේ තේරුම මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට සූදානම් කියන එක සහ "--reinstall firefox" කියන්නේ firefox මෘදුකාංගය ප්‍රතිස්ථාපනය කරන්න කියන විධානයයි.

ඔය ටික ටයිප් කරලා Enter කළාම වැඩේ හරි.

18MB පමණ වෙන ගොනු කීපයක් අපේ පරිගණකයට බාගත වෙනවා. ඊට පස්සේ ස්වයංක්‍රීයව ස්ථාපනය වීම සිදුවේවි. එච්චරයි.

ඊළග වතාවේ ඉදලා ඔබ යළිත් Firefox open කරනකොට ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ නවතම Firefox සංස්කරණය තුළින්...

කරලා බලන්න.

ජය වේවා Firefox!!!

4 comments:

  1. මගේ මින්ට් තියෙන්නෙ සමාරවිට ඒකට හරියන්නත් පුලුවනි...

    ReplyDelete
  2. ඕක කරන්න කලින් sudo apt-get update ගහලා ඉන්න ඕනෙ නේද...?

    තව terminal එක ලේසියෙන් ගන්න ඕනි නම් alt+ctrl+T වලින් පුලුවන්.. හැබැයි 10.04 වල වැඩද මතක නෑ...

    ReplyDelete
  3. මමත් අන්තිමට පාවිච්චි කලේ 10.04 හැබැයි ටික කාලයයි. මේ දවස් කීපෙකට කලින් මම ආයේ උබුන්ටු දැම්මා 11.10 (රනායියලා එදා ට්‍රිප් එක දවසේ කිව්ව හන්දමයි ආයේ උබුන්ටු දාන්න හිතුනේ). 11.10 නම් ටිකක් අවුල් වගේ.

    ReplyDelete
  4. මම එච්චර මෙව්වා ගැන දන්නැ. මම ඩුවල් බූට් කරලා පාවිච්චි කරනවා, හන්තාන 15.5 .මගේ පෙරපාසල් යන දුව මාර කැමතියි හන්තානට. උබුන්ටුද හන්තානද වඩා හොද.ටිකක් පැහැදිලි කරනවානං වටිනවා.

    ReplyDelete