Tuesday, October 8, 2013

මැරුණ පරිගණකයට පණ පොවමු | The Reincarnation

තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. අද අලුතෙන් එළිදක්වපු තාක්ෂණික උපාංග හෙට වෙද්දි පරණයි. තව මාසයක් යද්දි ඊටත් පරණයි. අවුරුදු දෙක තුනක් යද්දි පරණම පරණයි. අවුරුදු 5ක් විතර වගේ පොඩි කාලයක් ඇතුළත භාවිතයෙන් ඉවත් කරන්න වෙන තරමට තාක්ෂණික උපාංග පරණ වෙනවා... වෙන උපාංගවලට බලපාන්නේ නැති මහ අරුම පුදුම කාරණාවක් තමා ඒක. නමුත් බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංගවල ඇත්ත තත්ත්වේ ඕක තමයි. 

ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් අපේ රටට වැඩියෙන්ම ගෙන්වන ඉලෙක්ට්‍රොනික් උපාංග වර්ගයක් තමා පරිගණක. ගෙන්නන විදිය අනුව කොටස් කීපයකට බෙදලා වෙන් කරන්න පුළුවනි. බ්‍රෑන්ඩ්නිව් පරිගණක, පරිගණක අමතර කොටස් සහ පාවිච්චි කළ පරිගණක. බ්‍රෑන්ඩ්නිව් කිව්වම ඉතිං ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක තමා අයිති වෙන්නේ. ඩෙස්ක්ටොප් පරිගණකත් බ්‍රෑන්ඩ්නිව් ගෙන්නනවා, නමුත් ලැප්ටොප්වලට සාපේක්ෂව අඩුයි. අනිත් ජාතිය තමා ඇමරිකාවෙ, එංගලන්තේ, ජපානේ, දකුණු කොරියාව වගේ රටවල්වල පාවිච්චි කරලා ඉවත් කරන පරිගණක. මේ මොන ජාතිය උනත් අවුරුදු දෙක තුනක් හතරක් පරණ වෙන කොට ඉතිං කුණු කූඩෙට තමයි. මොකද තාක්ෂණේ එන්න එන්නම දියුණු වෙන නිසා වගේම කාලයට සාපේක්ෂව ඒවාගේ මිල අඩුවෙන නිසා. උදාහරණෙකට මීට අවුරුදු 5කට (2008) කළිං ලැප්ටොප් එකක් තිබ්බේ එහෙමත් එකෙක්ට. නමුත් අද වෙනකොට ලැප්ටොප් එකක් තිබ්බා කියලා මහ බක්කක් නැහැ.

පරිගණක පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි මීට අවුරුදු 5කට 6කට කළිං ගත්ත පරිගණකයට දැං මොකද කරන්නේ කියන එක? එහෙමත් නැත්තං අද රුපියල් 4,000/=කට 5,000/=කට මිලදී ගන්න සෙකන්ඩ් හෑන්ඩ් පරිගණකයකට තව අවුරුදු දෙකකින් විතර මොකද කරන්නේ? කාට හරි පින් සලකා දුන්නා කියලා කියමු. ඒත් ඒ ගන්න මනුස්සයට ඒකෙන් ඇති වැඩක් තියේවිද? රුපියල්ම 100ක් වියදං කරලා CD කඩෙං අරගත්ත වින්ඩෝස් XP දාලා දුන්නත්, වර්ඩ් හරි ෆොටෝ එකක් එඩිට් කරන්න හරි ගියාම පරිගණක කියන වචනෙත් එපා වෙන එක වෙයි නේද? ඔය වගේ පරණ පරිගණකයකට අලුතෙන් එන වින්ඩෝස් 7, වින්ඩෝස් 8 (හොර කොපියක් තමා ඉතිං.. අපි කවදද සල්ලි දීලා ජෙනුයින් ගත්තේ) කිට්ටු කරන්නවත් පුළුවං වෙයිද? ඔය වගේ ගැටළු ගොඩයි.

මේ ගැටළුවලට පිළියමක් විදියට තමයි මේ පෝස්ට් එක ලියවෙන්නේ. ගොඩ දෙනෙක්ගේ ගෙවල්වල තියෙන, මීට අවුරුදු අටකට දහයකට කළිං ගත්ත පෙන්ටියම් II, පෙන්ටියම් III, පෙන්ටියම් IV පරිගණක වගේම, අවුරුදු 5කට 6කට කළිං මිලදී ගත්ත, තෑගි ලැබිච්ච ලැප්ටොප් පරිගණකවලට පණ දීලා ගන්නේ කොහොමද? අද දවසේ ඔබට කරන්න අවශ්‍ය වැඩ සඳහා ඒ පරිගණක ප්‍රමාණවත්ද? පිළිතුර ලොකුම ලොකු ඔව් එකක්. ඒ පරණ පරිගණකවලට පණදීලා ගන්න පුළුවං. ඒ වගේම ඒ පරණ පරිගණකවලින් අද දවසේ කරන වැඩ රාජකාරි කරන්නත් පුළුවං...

කොහොමද ඕක කරන්නේ?
පිළිතුර හරිම සරළයි. පාවිච්චි කරන්න ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති.

ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඩිසයින් කරල තියෙන්නේම පරිගණකයේ දෘඩාංග (Hardware) වලින් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන විදියට. බොහොම අඩු දෘඩාංග පහසුකම් යටතේ වැඩි වැඩ කොටසක් කරන්න පුළුවං වෙන විදියට. ඉතිං නිකං විසි කරලා හෝ විසි කරලා දාන්න ලෝබකමට දූවිලි බැඳි බැඳි පැත්තකට කරලා දාලා තියෙන තාක්ෂණයෙන් පරණ පරිගණකවලට අලුත් පණක් දීලා, අද දවසට ගැලපෙන විදියට හදලා ගන්න හැටියි මේ කියන්න යන්නේ.
 
ඊළඟට එන ප්‍රශ්නේ...
වියදම කීයක් විතර යයිද?
උත්තරේ - සතයක්වත් යන්නේ නැහැ...

ලිනක්ස් කර්නල් එක භාවිතා කරලා හදපු මෙහෙයුම් පද්ධති කීපයක්ම තියෙනවා බොහොම අඩු ධාරිතාවයක් තියෙන පරිගණක සඳහාම නිශ්පාදනය කරපු. පහතින් සාකච්ඡා කරන්න යන්නේ ඒවායින් ජනප්‍රියම සහ වැඩිම භාවිතාවකින් යුතු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන. 
මේ හැම මෙහෙයුම් පද්ධතියක්ම ඉතාම කාර්යක්ෂමව වැඩ කරවන්න පෙන්ටියම් III ප්‍රොසෙසරයක්, 512 MB රැම් එකක් සහ 6GB හාඩ් ඩිස්ක් ඉඩක් තියෙන පරිගනකයක් හොඳටම ඇති. දෘඩාංගවල ධාරිතාව ඊට ගොඩක් අඩු උනත් අවුලක් නැහැ. මේ දක්වලා තියෙන මෙහෙයුම් පද්ධති ඒකට ගැලපෙන විදියට සකස් කරගන්න පුළුවං.

හරි... එහෙනං අපි එකින් එකට සාකච්ඡා කරමු.

 


ලෝකේ තියෙන Light Weight Linux Distro වලින් ජනප්‍රියම OS එකක් තමයි මේ Puppy Linux OS එක. 2003 අවුරුද්දේදි තමයි මුලින්ම එළි දැක්වුවේ. සම්පූර්ණ OS එකම වෙන්නේ මෙගා බයිට් 128ක්. හිතාගන්නත් අමාරුයි නේද? ඩවුන්ලෝඩ් කරලා CD එකකට burn කරගන්නත් පුළුවං. USB පෙන් ඩ්‍රයිව් එකක් බූටබල් විදියට හදාගන්නත් පුළුවං. ඒ වගේම ඔබේ වින්ඩෝස් පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ නැත්තං, ඔබට පුළුවං Puppy Linux Live USB එකෙන් හෝ Live CD එකෙන් පරිගණකය පණ ගන්වා ඔබේ දත්ත සියල්ල බැකප් කරගැනීමට. අලුතෙන්ම ලිනක්ස් භාවිතයට පැමිණෙන කෙනෙක්ට ඉතාමත්ම පහසුවෙන් තම කටයුතු කරගන්න හැකි ආකාරයට තමයි Puppy Linux නිර්මාණය කර තිබෙන්නේ.
ප්‍රොසෙසරයේ වේගය 600 MHz සහ RAM එක 256 සිට ඉහළට තිබෙන ඕනෑම පරිගණකයක Puppy Linux ස්ථාපනය කර බොහොම පහසුවෙන් ක්‍රියාත්මක කරවන්න පුළුවනි.
Puppy Linux අලුත්ම සංස්කරනය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.

Puppy Linux ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
Puppy Linux ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

වින්ඩෝස් OS එකක ඉඳං ඩවුන්ලෝඩ් කරලා USB පෙන් එකකින් ඉන්ස්ටෝල් කරන විදිය ගැන බොහොම සරළව කාටත් තේරෙන විදියට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්. විනාඩි 30ක විතර වීඩියෝ එකක්. බැලුවට පස්සේ අයියෝ ඩේටා කියලා හිතෙන්නේ නැහැ...

 


තවත් බොහොම ජනප්‍රිය ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් තමයි VectorLinux කියලා කියන්නේ. බොහොම සරළ, ධාරිතාවයෙන් කුඩා මෙහෙයුම් පද්ධතියක් තමයි මේක. ඒ වගේම ඉතාම වේගවත්. අපේ පරිගනකය කොච්චර පරණ, ධාරිතාවයෙන් ඉතා අඩු වුනත් මේ මෙහෙයුම් පද්ධතිය තුළ වැඩ කරද්දි ඒක දැනෙන්නේ නැහැ... සාමාන්‍ය පරිගණකයකින් වැඩ කරනවා හා සමාන හැඟීමක් මේවාගෙන් දැනෙනවා. ඒ තරමටම වේගවත්.
VectorLinux සංස්කරණ කීපයක්ම තිබෙනවා. ඒ Standard Edition, SOHO Edition, Light Edition සහ Live Edition විදියට.
පහතින් තියෙන්නේ ඒ එක් එක් සංස්කරණය ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න අවශ්‍ය වෙන අවම දෘඩාංග පහසුකම්.

Standard Edition: පෙන්ටියම් 200 MHz ප්‍රොසෙසරය, 96MB RAM (අවම), 2.1GB හාඩ් ඩිස්ක් ඉඩ... පෙන්ටියම් I පරිගණකයක් සඳහා නියම OS එකක්. ඔබ සතුව පෙන්ටියම් I පරිගණකයක් තියෙනවානම් VectorLinux උත්සාහ කර බලන්න. ඔබ මවිතයට පත්වෙනවා නිසැකයි...

SOHO Edition: පෙන්ටියම් 750 MHz ප්‍රොසෙසරය, 512MB RAM (අවම), 5GB හාඩ් ඩිස්ක් ඉඩ... මේ සඳහා 1024x768 24 bit වර්ණ රෙසලූෂන් තිබෙන මොනිටරයක් අවශ්‍ය වෙනවා.

Light Edition: පෙන්ටියම් 166 MHz ප්‍රොසෙසරය, 64MB RAM (අවම), 1.8GB හාඩ් ඩිස්ක් ඉඩ...

Live Editions: පෙන්ටියම් 750 MHz ප්‍රොසෙසරය, 256MB RAM (අවම), මේ සඳහා 1024x768 24 bit වර්ණ රෙසලූෂන් තිබෙන මොනිටරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙහි ඇති වීඩියෝ ඉෆෙක්ට්ස් ආදිය සඳහා 16MB/32MB වගේ VGA කාඩ් එකකුත් අවශ්‍ය වෙනවා.

ඉන්ස්ටෝල් කරන විදිය බොහොම සරළව කාටත් තේරෙන විදියට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්.  විනාඩි 15ක විතර වීඩියෝ එකක්...

VectorLinux අලුත්ම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
VectorLinux ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
VectorLinux ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...


 


නම ඇහෙද්දිම දන්නවා කොහේ කාගේ මොකක්ද කියලා... සුප්‍රකට Canonical සමාගමේ තවත් සාඩම්බර නිශ්පාදනයක්. Ubuntu, Kubuntu, Xubuntu වගේ OS සඳහා ලොකු ධාරිතාවයකින් යුත් දෘඩාංග අවශ්‍ය නිසා හැම පරිගණකයකටම ඒ OS ඉන්ස්ටෝල් කරන්න බැහැ. ඉතිං පරණ පරිගණකවලටත් මනුස්සකමේ මෙහෙයුම් පද්ධතිය අරගෙන යන්න Canonical ලොක්කා දරන උත්සාහය තමා Lubuntu. අපි දන්න කියන Ubuntu වගේම තමයි. ගොඩක් සමානයි. පාවිච්චි වෙන මෘදුකාංගවලත් ලොකු වෙනස්කමක් නැහැ. ඔබට ධාරිතාවයෙන් අඩු පරිගණකවලදීත් Ubuntu අත්දැකීමක් ලබන්න අවශ්‍යනම්, Lubuntu තමා එයත හොඳම පිළියම.
Canonical සමාගමෙන් කරපු නොයෙකු පර්යේෂණ සහ අත්හදාබැලීම්වලදී මතුවෙච්ච කාරනයක් තමයි, ලුබුන්ටු මෙහෙයුම් පද්ධතිය පෙන්ටියම් II හෝ Celeron ප්‍රොසෙසර් සමඟ 128MB රැම් ධාරිතාවයකින් යුතුව ක්‍රියාත්මක කරවන්න පුළුවංයන වග. නමුත් ප්‍රායෝගිකව එදිනෙදා වැඩකතයුතු සඳහා එය යෝග්‍යවන්නේ නැහැ.

පෙන්ටියම් III ප්‍රොසෙසරයක් සමඟ 256MB - 384MB රැම් එකකින් ඔබේ පරිගණකය සන්නද්ධ නම්, කිසි ගැටළුවකින් තොරව ඔබට මෙම මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගෙන එදිනෙදා වැඩකතයුතු සිදුකරගත හැකියි...
ඔබේ පරිගණකයේ RAM ධාරිතාවය 512MB නම්, ආයේ අහන්න දෙයක් නැහැ... වෙඩි වගේ වැඩ...

Lubuntu අලුත්ම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
Lubuntu ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
Lubuntu ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

මේ තියෙන්නේ Lubuntu 13.04 නවතම සංස්කරණය ඉන්ස්ටෝල් කරන විදිය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙන වීඩියෝ එකක්...



Damn Small Linux (DSL)



ඩෑම්(න්) ස්මෝල් ලිනක්ස් [Damn Small Linux (DSL)] කියලා කියන්නේ බොහොම පොඩි ධාරිතාවයකින් යුත් (50MB) ඩෙස්ක්ටොප් ලිනක්ස් OS එකක්. DSL UBS ඩ්‍රයිව් එකකින්, Live CD එකකින්, වින්ඩෝස් ඇතුළෙම තවත් OS එකක් විදියට, බූට් කරන්න පුළුවං...
DSL කොච්චර Light Weight ද කියලා කියනවානං, 486DX පරිගණකයක් 16MB රැම් එකකින් ක්‍රියාත්මක කරවන්න පුළුවං...
දැං තියෙන ප්‍රශ්නේ කොහෙන්ද 16MB රැම් එකක් තියෙන 486 පරිගණකයක් හොයාගන්නේ කියලා...
128MB රැම් එකක් තියෙන පෙන්ටියම් II හෝ පෙන්ටියම් III පරිගණකයකින්, අද දවසේ අපි සිදුකරන බහුතරයක් වැඩ කටයුතු ඉතාමත්ම පහසුවෙන් සහ වේගයෙන් සිදුකරගන්න පුළුවං. ඔබට පුදුම හිතේවි, මේ වැඩ කරන්නේ ඒ 128MB රැම් සහ 450MHz පරිගණකයෙන්ද කියලා.

අංගසම්පූර්ණ ඩෙස්ක්ටොප් එකක් DSL සතුයි. ඒ වගේම SSH/FTP/HTTPD එකක් විදියට උනත් ක්‍රියාත්මක වෙන්න DSLට පුළුවනි. MP3 සිංදු අහන්න, CD එකක් රිප් කරන්න, MPEG වීඩියෝ බලන්න, Netrik/Dillo වෙබ් බ්‍රව්සර්, FireFox බ්‍රව්සර් එක, පැතුරුම්පත් (Spreadsheet) මෘදුකාංග, වදන් සැකසුම් මෘදුකාංග, ඡායාරූප සැකසුම් මෘදුකාංග ආදී මෘදුකාංග බොහොමයක් පෙරනිමියෙන්ම DSL එක්ක ඉන්ස්ටෝල් වෙනවා. රැහැන් සහිත වගේම රැහැන් රහිත ජාලකරණ පහසුකමුත් DSL ලබාදෙනවා.

DSL අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
DSL ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

මේ තියෙන්නේ DSL ඉන්ස්ටෝල් කරන විදිය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙන වීඩියෝ එකක්...
මේ තියෙන්නේ පෙන්ටියම් I ප්‍රොසෙසරයක් තියෙන පරිගණකයකට DSL ඉන්ස්ටෝල් කරන විදිය ගැන වීඩියෝ එකක්...


අනිත් කිසිම මෙහෙයුම් පද්ධතියක නැති, ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතිවල පමණක් ඇති විශේෂම ලක්ෂණය තමා, තමන්ට කැමති විදියකට පාවිච්චි කරන්න තියෙන හැකියාව. පරණ පරිගණක අපිට විසිකරලා දාන්න වෙලා තියෙන්නේ, අපි පාවිච්චි කරන OS ඒවාට නොගැලපෙන නිසා. නමුත් ඒ පරිගණක තාමත් පාවිච්චි කළ හැකි තත්ත්වයේ තියෙනවානං, මේ වගේ OS එකක් දාලා ඒක පාවිච්චි කරන්න කැමති කෙනෙක්ට ලබා දෙන එක පිනක්. 


පරිගණකයක් ගන්න නෙමේ, පිටු 80 පොත් දෙකක් ගන්න සල්ලි නැතුව අසරණ වෙලා ඉන්න ළමයි අපේ රටේ ඕනේ තරම් තියෙනවා. අඳින්න හරි හමං ඇඳුමක් නැතුව එකම නිල ඇඳුම දවස් 5ම හෝද හෝද අඳින ළමයි ඉන්න ඉස්කෝල රටේ නැත්තේ කොහේද... ඒ පාසල්වල ළමයින්ට පරිගණකයක් අරගන්නවා කියන්නේ හීනයක්. ඒ ලමයින්ගේ දෙමව්පියන්ටත් එහෙම දේකට වියදම් කරන්න තරම් මුදලක් නැහැ... ඒ මිනිස්සුන්ගේ අනිවාර්ය අවශ්‍යතා පරිගණකයකට වඩා ගොඩාක් වැඩියි. තාමත් ඈත ගම්බදව තියෙන පාසල්වල බහුතරයක තත්ත්වේ ඕකයි. ඉතිං නිකං ගෙදර පැත්තකට දාලා තියෙන පරිගණකවලට මේ විදියට පණ දීලා, ඒ ළමයින්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය කරන්න, ඒ ළමයින්ටත් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න සහයෝගයක් දෙන්න ඔබටත් පුළුවං... ඔබේ සුළු උපකාරයක් ඔවුන්ට මහමෙරක් වගේ දැනෙයි...

මේ තියෙන්නේ රටේ බොහෝ දුෂ්කර පැත්තක පාසලක පරිගණක විද්‍යාගාරයක් හදලා ඒ දරුවන්ට පරිගණක අධ්‍යාපනය ලබා දීමට පවත්වපු වැඩමුළුවක ඡායාරූප.

මේ ඉස්කෝලේ පරිගණක විද්‍යාගාරය හදන්න උදව් කළේ Born Free කියන සංවිධානේ. වැඩමුළුව සංවිධානය කළේ සහ සම්පත් දායකයෝ විදියට කටයුතු කළේ හන්තාන ලිනක්ස් ටීම් එක. ඒ පාසලේ ළමයින්ට ලැප්ටොප් පරිගණක 15ක් ලබාදෙන්න පුළුවං උනා. ඒ පරිගණකනං අලුත් පරිගණක. ඒ හැම පරිගණකයකම තියෙන OS එක හන්තාන ලිනක්ස්. මේ එක පාසලක් විතරයි... තව මේ වගේ පාසල් විශාල ප්‍රමාණයක් රටේ තියෙනවා... ඔබට පුළුවන්නං ඒකට අපිත් එක්ක එකතු වෙන්න, වඩා යහපත් දෙයක් ඒ දරුවන්ට තිළිණ කරන්නට අපිට පුළුවනි...

පරන පරිගණකවලට පණ දෙන,
මෙකී නොකී මේ සියළුම සෙල්ලම්,
ලිනක්ස් එක්ක විතරයි....
ජයවේවා ලිනක්ස්!!!

25 comments:

  1. ගොඩක් වටින ලිපියක්...

    ReplyDelete
  2. ස්තුතියි ස්තුතියි.. වැදගත් ලිපියක්....

    ReplyDelete
  3. ලිනක්ස් රොක්ස් !!!!

    ReplyDelete
  4. මං කන්තෝරුවෙ භාවිත කරන පරිඝනකය 2002දි හදපු පෙන්ටියම් 4 වර්ගයේ පරිඝනකයක් ධාරිතාවය 1.8 ගිගාහර්ට්ස්.. රැම් එක 384යි..
    මෙතන තියෙන ලිස්ට් එකෙන් සිංහල ලියන්න කියන්න පුළුවන් සිංහල කිට් එක දාන්න පුළුවන් වෙන්නෙ ලුබන්ටු වල විතරයි.. ඒ වගේම ලිනක්ස් මින්ට් ගෘෘප් එක හැම වර්ෂන් එකක් එක්කම ලිනක්ස් මින්ට් වර්ෂන් එකක් එවනවා එල් එක්ස් ඩී වර්ශන් එකක්.. ඒකත් අලුත්ම මෘදුකාංග එක්ක හොඳටම වැඩ කරනවා.. මගේ කන්තෝරු මැසිමෙ වසර දෙකක් ලිනක්ස් මින්ට් එල් එක්ස් ඩී වර්ශන් එක දිව්වා..ෆෙඩෝරා ටීම් එකත් ලයිට් වෙයිට් ස්පින් කිහිපයක් නිකුත් කරනවා එයාලගේ සෑම රිලිස් එකත් එක්කම..

    පපී සහ අනික් පොඩිම පොඩි සංස්කරණ බර අඩුවුනාට සමහර තැන්වලදි හිර වෙනවා.. උදාහරණ විදියට සමහර හාඩ්වෙයාර් සම්බන්ධ කරන්න ගියාම ඩ්‍රයිවර් ගැටලු ආදිය එනවා.පපී සහ ඒ වාගේ ඕ ඇස් වල ලිබ්‍රෙ ඔෆිස් වෙනුවට වඩාත් බර අඩු වර්ෂන්ස තමයි තියෙන්නෙ.

    මං ලග තිබුන ඩොංගල් කිහිපයක්ම පපී වලදි වැඩ කලේ නැහැ. මා නම් සිතන්නේ අපිට අද පවතින පරිඝනකයකින් ගත හැකි එදිනෙදා සියලුම වැඩ කරගන්න පුලුවන් වෙන්නෙ ලිනක්ස් මින්ට් අඩුබර නිකුතුවෙන් සහ ලුබුන්ටු වාගේ එකකින් තමයි..

    ReplyDelete
  5. මේ ලිපි දැක්කම මට තරහ යන්නෙ අටමා එක්ක. හන්තාන ඩීවීඩී එක ගෙනත් දෙනව කියපු එකා දැන් සද්ද නැහැ.

    ජය !

    ReplyDelete
    Replies
    1. හිටපං හෙට අනිද්දට හන්තාන 19 හම්බෙනවා එතකොට දෙන්නං .

      Delete
  6. එකෙන්ම වැදගත් ලිපියක්... ඕනයා ලිනක්ස් රොක්ස් කිව්වට සාමාන්‍ය මිනිස්සුන්ගේ භාවිතයට සුදුසු විදිහට තවම ලිනක්ස් ඇවිත් නැහැ...කොච්චර වාසි තිබ්බත් භාවිතය අඩු ඒකයි ( නිකන් දීලත් ) ...

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නැ සහන් , හැබැයි එහෙම නැත්තෙත් නැ , මගේ මේ මෙෂින් එක පෙන්ටියම් 4 එකක් , පොසෙසරේ 2.6 එකක් , රැම් 1 ජීබී වින්ඩෝස් එක්ස් පී නං යකා වාගෙ වැඩ , වින්ඩෝස් සෙවන් දැම්මහම පට්ට ස්ලෝ වෙනවා , ඒත් හන්තාන 14/7 දැම්මහම පෙර නිමිත්තෙන් ලැබෙන අච්චර පට්ට සොප්ට් ගොඩක් එක්ක හොදට දුහනවා ,

      මං මහලොකු වැඩක් නොකරන හින්දද මන්දා මට මේ දෙකේම එච්චර වෙනසක් නැ , ලිනකස් සහ වින්ඩෝස් දෙකෙම උඩ මට මගේ වැඩ කරගන්න පුළුවන් , හැබැයි ඉතින් අවංකවම කියුවොත් වින්ඩෝස් උඩදී යම්කිසි පහසුවක් තියනවා , ඒකට හේතුව තමයි මම මුලින්ම හුරුඋනේ වින්ඩෝස්වලට වීම , ඒක ඇබ්බැහියක් , හරියට එක සිකරට් වර්ගයකට හුරුවෙච්ච එකා කොච්චර වෙන සිකරට් දුන්නත් පුරුදු එකම ඉල්ලනවා වාගේ.

      අපේ ගෙදර උන්දැයි , ලොකු කෙල්ලයි දෙන්නම කම්පියුටරයක් කියලා හාහා පුරා කියලා පාවිච්චි කලේ ලිනක්ස් නිසා ඒ දෙන්නට නං ඒක තමා හොද. කෙල්ලනං ඉදලා හිටලා වින්ඩෝස් උඩට නැග්ගත් වැඩි කැමැත්ත ලිනක්ස් වලට ,

      මොනවාහරි ගැටලුවක් ආපුවහම නං ටිකක් වාතයක් තමා , වින්ඩෝස් වාගේ ලේසියට ගොඩදාගන්න අමාරුයි , නොදන්න එකෙකුට , අළුතින් සොප්ට් වෙයාර් එකක් ඇතුලට ඔබන්න ගියහමත් ටිකක් කරදරයි පරිගණක ගැන අඩු දැනුමැත්තෙකුට , හැබැයි පෙර නිමිත්තෙන් ලැබෙන සියල්ල හන්දා සාමාන්‍ය භාවිතා කරන්නෙකුට ලිනක් කරදරයක් නැතුව භාවිතා කරන්න පුළුවන්

      ඔය තියන පුංචි පුංචි ගැටලු වලට විසදුම් ලැබෙයි , කාලයත් එක්ක ලිනක්ස් භාවිතා කරන අය වැඩිවෙනකොට ,

      ලිනක්ස් හදුන්වාදෙන මම දැක්ක හොදම සිංහල ලිපිය කියලා හිතෙනවා මේ ලිපිය

      ස්තුතියි රනා

      Delete
    2. ඔබගේ කතාවට එකඟ වෙන්න අමාරුයි සහන්.භාවිතය අඩු වූ පමණින් භාවිකයට සුදුසු විදිහට ඇවිත් නැහැ කියලා කියන්න බැහැ. මම භාවිතා කරලා තියෙන මෙහෙයුම් පද්ධති අතරින් වින්ඩෝස් ලිනක්ස් සහ මැක් අතර භාවිතයේදී එහෙමමටමය කියලා අපහසු තා ඇවිල්ලා නැහැ. ඔතන තියෙන්නේ ලිනක්ස් අමාරුයි කියන බොරු ආකල්පය.

      අනික් අතට ලිනක්ස් වල භාවිතයට සුදුසු නැති විදිහට තියෙන එක යෙදුමක් මට කියන්න. උබුන්ටු වගේ මෙහෙයුම් පද්ධති භාවිතය ඉතාම පහසුයි ආදුනිකයෙකුට වුනත්. මීට වසර කීපයකට ඉහතදී යම් යම් දුෂ්කරතා තිබුනත් මේ වන විට එබඳු දුෂ්කරතාවයන් නැති තරම්. මට තේරෙන්නේ නැහැ ඔබ ලිනක්ස් භාවිතයට සුදුසු විදිහට නැහැ කියන්නෙ මොන හේතුවක් නිසාද කියලා

      Delete
    3. මම සෑහෙන්න දිග කෙමෙන්ට් එකක් ගහලත් ආයේ මකලා දැම්මා මොකටද කියලා. ලිනක්ස් වලට එදා ඉඳන් උනේ ස්වාදීන කණ්ඩායම් හැදිලා තනි තනි ලෝක වල ජීවත් වීම ( ඩිවලොප් කිරීම ) .. දැන් කියන්න එපා ලිනක්ස් ෆෝරම් ගැනයි ,වෙබ් එක පිරිලා ඉන්න ලිනක්ස් ඩිවලොප් කරන අයයි ගැන... හැමෝම හැමදාම කරේ තමන්ගේ ඒවා හද හද ඉඳීම විතරයි... අනිත් එක ලංකාවේ උන් ලිනක්ස් දාගෙන ඉන්නේ පොරත්වය සඳහා .. ( මේ චෝදනාව අටම් සඳහා වලංගු නැහැ.. අනිත් ඕනෙම කෙනෙක් බාර ගත්තට කමක් නැහැ )

      නැතුව ඩ්‍රයිවර් , හාර්ඩ් වෙයාර් , ෆර්ම් වෙයාර් එකම ෆ්ලැට්ෆෝරම් එකකට එන දෙයක් කලේ නැහැ..උබුන්ටු අය වෙනම ගමනක්.. රෙඩ් හැට් වෙනම ගමනක් .. අනිත් අයත් එහෙමයි.. මම කියන්නේ මේ සියලු දෙනා එකතු වෙලා සාමාන්‍ය අයට භාවිතා කරන්න පුළුවන් OS එකක් කවදා හදයිද කියන දේ..

      අරයා ළඟ මේක තියෙනවා , මෙයා ළඟ අරක තියෙනවා .. එතකොට අරයයි මෙයයි දෙන්නම ඕනේ.. ලිනක්ස් සාමන්‍ය මිනිස්සු අතරට එන්න තව අවුරුදු 6 ක් වත් යයි.. එච්චරයි කියන්න තියෙන්නේ...

      සර්වර් කොන්ට්‍රෝලින් , සිස්ටම් ඩිවලොපින් ගැන කියන්න එපා මම ඒවා ගැන දන්නවා. . මම මේ කතා කරේ සාමන්‍ය මිනිස්සු ගැන විතරයි.. සාමාන්‍ය මිහිහට ගැලපෙන මට්ටමට තාමත් ලිනක්ස් ඇවිත් නැහැ.. එච්චරයි..

      Delete
    4. [said]ලිනක්ස් වලට එදා ඉඳන් උනේ ස්වාදීන කණ්ඩායම් හැදිලා තනි තනි ලෝක වල ජීවත් වීම ( ඩිවලොප් කිරීම )[/said]

      ඇත්ත. ඕපන් සෝස් කර්නල් එකක් භාවිතා කරගෙන තමන්ට ඕන විදිහේ OS හදාගත්තා. තමන්ගෙ අවශ්‍යතාවයට ඒ යම් ඩිස්ට්‍රෝ එකක් ගැලපෙනවද ඒ ගැලපෙන ඩිස්ට්‍රෝ එක අනික් උදවිය භාවිතා කලා. හැබැයි මේ සෑහෙන පරණ යුගයෙ කතාවක්.

      [said] හැමෝම හැමදාම කරේ තමන්ගේ ඒවා හද හද ඉඳීම විතරයි[/said] මයික්‍රොසොෆ්ට් හැමදාම කරන්නේ තමන්ගේ ඒවා හද හදා ඉඳීම. ඇපල් කරන්නෙ හැමදාම තමන්ගේ එව්වා හද හදා ඉඳීම. ඒ වගේ ලිනක්ස් කර්නල් එක පාදක කරගත්ත ඕ එස් හදන කම්පැනිත් තමන් ඒ හදාගත්ත ඕ ඇස් එක වැඩිදියුණු කර කර ඉන්නවා. මොකද ලිනක්ස් කියන්නෙ සමාගමක් නෙවෙයිනේ. ඒ ඒ සමාගම් තම තමන්ගෙ ඩිස්ට්‍රො වැඩිදියුණු කරනවා.

      [said]අනිත් එක ලංකාවේ උන් ලිනක්ස් දාගෙන ඉන්නේ පොරත්වය සඳහා[/said]
      ටූල් එකක් භාවිතා කරපුවාම පොරක් වෙනවද ? ලිනක්ස් අමාරුයි. ලිනක්ස් සාමාන්‍ය භාවිතාවට සුදුසු නෑ වගේ කතා කියන කට්ටිය ඉන්න නිසා නිකම්ම ලිනක්ස් මොකක් හරි ටූල් එකක් භාවිතා කරන එකෙක් දිහා පොරක් විදිහට බලන්න අයි ටී ගැන මේලෝ මල දානයක් නොදන්න එවුන් පටන් ගන්නවා.

      [said]නැතුව ඩ්‍රයිවර් , හාර්ඩ් වෙයාර් , ෆර්ම් වෙයාර් එකම ෆ්ලැට්ෆෝරම් එකකට එන දෙයක් කලේ නැහැ[/said]
      මේකෙන් ඔබ මොකක් අදහස් කරනවාද කියලා මට තේරෙන්නේ නැහැ. ඔබ කතාකරන්නේ හාඩ්වෙයාර් වලට අවශ්‍ය ඩ්‍රයිවර්ස් නැහැ වගේ කතාවක්ද ? ඒක එහෙමනම් ඒකෙ යම් තාක් දුරට සත්‍යක් තිබෙනවා. නමුත් අපි නිතර දෙවේලේ භාවිතා කරන ගොඩාක් දෘඩාංග වලට අවශ්‍ය ඩ්‍රයිවර්ස් හැම ලිනක්ස් ඩිස්ට්‍රො එකකම වගේ තියෙනවා

      [said]උබුන්ටු අය වෙනම ගමනක්.. රෙඩ් හැට් වෙනම ගමනක්[/said]
      ඇපල් වෙනම ගමනක් යනවා වගේ මයික්‍රොසොෆ්ට් වෙනම ගමනක් යනවා වගේ කැනෝනිකල් එක ,රෙඩ් හැට් එක වෙන වෙනම ගමන් යනවා. ඒවා වෙන වෙනම කම්පනි.ඒ කම්පනි වලට ඒ ඒ අයගෙ ෆයිනෑන්ෂියල් මොඩල්ස් තියෙනවා. අනික් අතට උබුන්ටු වගේ දෙයක් සමාන්‍ය කෙනෙකුට භාවිතා කරද්දි එන ප්‍රායෝගික ගැටලු මොනවාද ?

      [said]සර්වර් කොන්ට්‍රෝලින් , සිස්ටම් ඩිවලොපින් ගැන කියන්න එපා මම ඒවා ගැන දන්නවා. . මම මේ කතා කරේ සාමන්‍ය මිනිස්සු ගැන විතරයි[/said]
      ඒවා ගැන මෙතන කතා කරලා තිබෙන්නේ ඔබ විතරයි. මගේ කමෙන්ටුවේ ඒ ගැන සඳහනක් නැහැ. නමුත් ඔබ ඒ ගැන සඳහන් කරලා තියෙන නිසා ඔබ ඒවා ගැන දන්න බව මා මතකයේ තබාගන්නම්.

      Delete
    5. ඔබ සටහන් කල පිළිතුර මා දුටු බව කියන්නයි මේ කමෙන්ට් එක දමන්නේ...


      මම දැන් කියන්න යන දේ සහ අපේ සංවාදය අතර සම්බන්ධයක් දකින්න එපා ... මේ ලෝකේ වින්ඩෝව්ස් , මැක් වලට සාපේක්ෂව ඇයි ලිනක්ස් මූලික වුණු OS සාමාන්‍ය මිනිස්සු අතර භාවිතයේ නැත්තේ ... ?

      මට ඕනේ තාක්ෂණික පිළිතුරක් නෙවේ සාමාන්‍ය අදහසක් පමණයි...


      හරි ඔක්කෝම අමතක කරලා මට කියන්න සිංහල වැඩ කරන ( ටයිපින් කල හැකි ) ලිනක්ස් OS ටිකක්...( මන් මේ ඇහුවේ මට දාගන්න ඕනේ නිසා ...) ( හන්තාන ලබා ගැනීමට නොහැකියි )


      Delete
    6. මම සාමාන්යයෙන් කොමෙන්ට් වලට පිළිතුරු දෙන්නේ බොහොම අඩුවෙන්...
      නමු සයිලන්ට් සහන් මහත්තයාගේ අදහස් දැක්වීම දැක්කාම,
      උත්තරයක් නොදී ඉන්න හිතෙන්නෙම නැහැ...
      ඒ නිසා සහන් මහත්තයාගේ පළවෙනි කොමෙන්ට් එකෙංම පටං ගන්නම්...

      //මම සෑහෙන්න දිග කෙමෙන්ට් එකක් ගහලත් ආයේ මකලා දැම්මා මොකටද කියලා.//
      අපරාදේ...
      මතක නං ආයෙත් ටයිප් කරලා දාන්න...
      ටයිප් කරපු දෙයක් නිකරුණේ ඩිලීට් කරන්න එපා...
      අපරාදේ යුනිකෝඩ්...

      //ලිනක්ස් වලට එදා ඉඳන් උනේ ස්වාදීන කණ්ඩායම් හැදිලා තනි තනි ලෝක වල
      ජීවත් වීම ( ඩිවලොප් කිරීම ) ..//
      85% බොරු... 15% ඇත්ත...
      තීර්ථ යාත්‍රිකයා හොඳ උත්තරයක් දීලා තියෙනවා...
      ඒක තමයි මෘදුකාංගකරණයේ නිදහස කියන්නේ...
      තමන්ට කැමති දේ තමන් හදාගන්නවා...
      මෘදුකාංග හදාගන්න තරම් තාක්ෂණික දැනුමක් නැති පුද්ගලයෝ (මමත් ඇතුළුව),
      ඒ හදලා තියෙන ඒවා පාවිච්චි කරනවා...
      එකක් පාවිච්චි කරලා ඇති උනාම, ඒකට එහෙම පිටිංම වෙනස් වෙන එකක් පාවිච්චි කරනවා...
      ඒකත් ඇති උනාම තවත් එකක් පාවිච්චි කරනවා...
      මෘදුකාංග සංවර්ධනය කරන කිසිම පුද්ගලයෙක් කිසිම ආයතනයකට බැඳිලා නැහැ...
      පාවිච්චි කරන පුද්ගලයොත් බැඳිලා නැහැ...
      මේක එපා නං වෙන එකකට යන්න ඕනේ නිදහස උපරිමයෙන් තියෙනවා...
      කිසිම මූල්‍යමය පාඩුවකින් තොරව...

      // අනිත් එක ලංකාවේ උන් ලිනක්ස් දාගෙන ඉන්නේ පොරත්වය සඳහා ..//
      ඔව්... පොරත්වය සඳහාම තමයි...
      පොරත්වය නිසා වෙන්න ඇති, ලංකාවේ ලිනක්ස් පාවිච්චි නිර්මාණය කරන/පාවිච්චි
      කරන බොහෝ දෙනෙක්, අවුරුදු ගාණක ඉඳං තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරගෙන
      රට වටේම ස්වේච්ඡාවෙන් ලිනක්ස් සහ තොරතුරු තාක්ෂණය ප්‍රචාරය කර කර
      යන්නේ... එහෙම කළේ නැත්තං තමන්ගේ පොරසිටිය හැදෙන්නේ නැහැ නේ...
      නිදහස් හෝ වේවා හිමිකාරීත්වය ඇති හෝ වේවා මෘදුකාංගයක් පාවිච්චි කරන
      කෙනෙක්ව පොරක් විදියට දකින්නේ තීර්ථ යාත්‍රිකයා කිව්ව විදියට ඉතිං
      කොම්පියුටරේ කියන්නේ මහත් ඵල මහානිසංස ලබාදෙන මහාර්ඝ බලයකින් හෙබි මැෂින්
      රාජයෙක් විදියට දකින මැ##ක්ම තමා...

      මතු සම්බන්ධයි...

      Delete
    7. කළිං කොමෙන්ට් එකෙං...

      //නැතුව ඩ්‍රයිවර් , හාර්ඩ් වෙයාර් , ෆර්ම් වෙයාර් එකම ෆ්ලැට්ෆෝරම් එකකට
      එන දෙයක් කලේ නැහැ..//
      සහන්, ඔබ මෘදුකාංග ඒකාධිකාරය පිළිබඳව තාම හරි හැටි වටහාගෙන නැහැ... එහෙම
      එක කොම්පැණියකින් සියල්ල ලබාදෙන තත්ත්වයක් ආවොතින්, පාවිච්චි කරන
      මිනිස්සු නිකංම ඒ කොම්පැණියේ රූකඩ වෙන එක අහන්න දෙයක් ද? කොම්පියුටර්
      අල්ලලා දාන්න... නිකං මතක් කරගන්න අපේ රටේ ජංගම දුරකතන ආපුම කාලේ සමාගම්
      දෙකකින් පාරිභෝගිකයව නටෝපු නැටවිල්ල... ඔබතුමා ඉතිහාස කතා කියන්න
      දක්ෂයෙක් නිසා ඒ සිදුවීම මතක ඇති කියලා හිතනවා...

      //උබුන්ටු අය වෙනම ගමනක්.. රෙඩ් හැට් වෙනම ගමනක් .. අනිත් අයත් එහෙමයි.. //
      එක ගමනයි යන්නේ...
      ඔබ එය වටහාගෙන තියෙන්නේ වැරදි විදියට...
      ඩේබියන්, රෙඩ්හැට්, ස්ලැක් මේ ඕනෙම දේකින් කරන්නේ එකම දේ...
      කරන විදිය වෙනස්...
      හරියට කොත්තු රොටිය එක එක කඩවල්වල එක එක රහ වගේ...

      //මම කියන්නේ මේ සියලු දෙනා එකතු වෙලා සාමාන්‍ය අයට භාවිතා කරන්න පුළුවන්
      OS එකක් කවදා හදයිද කියන දේ..//
      හදලා ගොඩක් කල්...
      පෞද්ගලිකව මම 2008 ඉඳංම පාවිච්චි කරනවා...
      අධ්‍යාපන මට්ටම විවිධාකාර වෙච්ච මිනිස්සු මිලියන ගාණක් ලෝකේ පුරා පාවිච්චි කරනවා...
      අධ්‍යාපන මට්ටම විවිධාකාර වෙච්ච අපේ රටේ මිනිස්සු දහස් ගණනක් පාවිච්චි කරනවා...
      දැං ඒ මිනිස්සු අසාමාන්‍ය අයද?

      //අරයා ළඟ මේක තියෙනවා , මෙයා ළඟ අරක තියෙනවා .. එතකොට අරයයි මෙයයි දෙන්නම ඕනේ.. //
      වැරදියි...
      හැමෝම ළඟ හැමදේම තියෙනවා...
      කව්රු හරි ළඟ මොකක් හරි නැත්තං,
      එයා ඒක හදලා sourceforge.net අප්ලෝඩ් කරනවා...
      එතකොට ඒක අවශ්‍ය අය එතනින් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරනවා...
      ඔබ කියන විදියට එක සමාගමකින් ලිනක්ස් පාලනය වෙනවානං,
      ඔය මම කිව්ව වැඩේ මේ භද්‍රකල්පේදී වෙයිද කියලා හිතලා බලන්න...

      //ලිනක්ස් සාමන්‍ය මිනිස්සු අතරට එන්න තව අවුරුදු 6 ක් වත් යයි.. එච්චරයි
      කියන්න තියෙන්නේ...//
      ජීවිතේට දවස් තුනක් හෝ,
      එහෙමවත් ලිනක්ස් පාවිච්චි නොකර,
      එක්දාස් නමසිය අනූ ගණංවල ලිනක්ස් OS එකක් දුරින් දැකලා,
      දැනුත් එහෙමයි කියලා හිතාගෙන ඉන්න,
      ලිනක්ස් ගැන අසාමාන්‍ය බියක් මවන මිනිස්සු ඉන්නකං,
      අවුරුදු 6කින් නෙමේ 60කින්වත් ඒක ජනතාව අතරට යන්නේ නැහැ...
      ඒක හෙට ඉර පායනවා වගේ ෂුවර්...

      මතු සම්බන්ධයි...

      Delete
    8. කළිං කොමෙන්ට් එකෙං...

      //සාමාන්‍ය මිහිහට ගැලපෙන මට්ටමට තාමත් ලිනක්ස් ඇවිත් නැහැ.. එච්චරයි..//
      සහන් මේ අර්ථදක්වන සාමාන්‍ය මිනිහා ඉන්නේ කොහේද?

      //මේ ලෝකේ වින්ඩෝව්ස් , මැක් වලට සාපේක්ෂව ඇයි ලිනක්ස් මූලික වුණු OS
      සාමාන්‍ය මිනිස්සු අතර භාවිතයේ නැත්තේ ... ?//
      වැදගත් ප්‍රශ්නයක්...
      සරළම පිළිතුර වෙළදාම...
      වින්ඩෝස්, මැක් කියන්නේ වෙළඳ භාණ්ඩ...
      ලිනක්ස් කියන්නේ තාමත් වෙළඳ භාණ්ඩයක් නෙමේ...
      වෙළඳ භාණ්ඩ එක්ක එන පළවෙනි දේ තමා ප්‍රචාරන යාන්ත්‍රණය...
      අන්තර්ජාලය පීරලා බලන්න ලිනක්ස් OS එකක් සඳහා කරලා තියෙන වෙළඳ ප්‍රචාරනය...
      ඒ වගේම ඊට සාපේක්ෂව වින්ඩෝස්, මැක් සඳහා කරන ප්‍රචාරණය...
      සහන් ඇතුළු බොහෝ දෙනෙක් ඔය කියන ප්‍රචාරණ යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වෙලා
      තියෙන්නේ...
      මේ බණ දෙසන මමත් කාලෙකට කළිං එහෙම තමයි... හැබැයි දැං එහෙම නෙමේ...

      සහන් අහන්න කළිං සහන්ට එන ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්නං...
      ලිනක්ස් වෙළඳ භාණ්ඩයක් කරන්න බැරිද?
      පිළිතුර - පුළුවං... දැනටම කරලා තියෙන්නේ...
      ඇන්ඩ්‍රොයිඩ් OS... ඒවත් ලිනක්ස්ම තමා...
      මම කියනවට විශ්වාස නොකර හොයලා බලන්න...
      ඇන්ඩ්‍රොයිඩ් OS ලෝකෙට නිකුත් කළේ 2009...
      අවුරුදු 4ක් යද්දී ලෝකේ ස්මාට්ෆෝන්වලින් 66.9%ක තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OS එක...
      ඒකත් එක්ක තරඟ කරන iOS මාකට් ශෙයා එක 2009 දී 18%.. අද 26%...
      බ්ලැක්බෙරි එහෙමත් නැත්තං RIM 2009 දි 21%... අද 3.2%...
      ලෝකෙම හොල්ලගෙන හිටිය Symbian (NOKIA OS) එක 2009 දී 47%.. අද ලොවෙත් නැහැ...
      වින්ඩෝස් මොබයිල් OS එක ගැන අපි කතා නොකර ඉමු...
      එතකොට ඒ ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නේ අසාමාන්‍ය මිනිස්සුද?
      සමහරවිට සහන් මහත්තයා අතෙත් මේ වෙනකොට තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OSඑකක්
      තියෙන ජංගම දුරකතනයක් වෙන්න පුළුවනි...
      ඔන්න ඕකයි සහන් ඇත්ත තත්ත්වේ...
      කොමෙන්ට් කරන්න කළිං පොඩ්ඩක් වටපිටාව හොයලා ආවනං,
      මේ දේවල් දැනගෙන තමයි ඔබතුමා කතා කරන්නේ...
      හෙට ඉඳං ඔබතුමා මේකේ කොමෙන්ට් නොකරයි...
      මට කමක් නැහැ... මොකද මේකේ කොමෙන්ට් වැඩි උනා කියලා මට ඇති ආතල් එකක් නැහැ...

      මතු සම්බන්ධයි...

      Delete
    9. අවසාන කොටස...

      //හරි ඔක්කෝම අමතක කරලා මට කියන්න සිංහල වැඩ කරන ( ටයිපින් කල හැකි )
      ලිනක්ස් OS ටිකක්...( මන් මේ ඇහුවේ මට දාගන්න ඕනේ නිසා ...) ( හන්තාන ලබා
      ගැනීමට නොහැකියි )//
      2008 ඉඳලා මම පාවිච්චි කරපු/කරන OS ඔක්කෝගෙංම මේ දේ කරන්න පුළුවං...
      මම සිංහල යුනිකෝඩ් කොතන්න ඉගෙන ගත්තේත්, බ්ලොග් ලියන්න ඉගෙන ගත්තේත්,
      ලිනක්ස් උඩදිම තමයි... මම පාවිච්චි කරපු/කරන OS ටික කියන්නං... කැමති
      එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න... අමාරු තැනක්
      තියෙනවානං අහන්න...

      පාවිච්චි කරපු OS...
      Ubuntu 8.04 / 8.10 / 9.04 / 10.04 / 11.04 ---> මේවා ඩවුන්ලෝඩ් කරන්න
      මහන්සි වෙන්න එපා...
      Fedora 10 / 14 / 15 / 16 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
      LankaNet Linux 3 ---> මේකත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
      හන්තාන ලිනක්ස් 11 / 14 / 17 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...

      දැනට පාවිච්චි කරන OS
      Ubuntu 12.04 ---> ඩවුන්ලෝඩ් කරගන්න... [http://www.ubuntu.com/download/desktop]
      Fedora 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න... [https://fedoraproject.org/get-fedora]
      Cent OS ---> ඩවුන්ලෝඩ් කරගන්න...
      [https://www.centos.org/modules/tinycontent/index.php?id=13]
      හන්තාන ලිනක්ස් 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
      [http://hanthana.sourceforge.net/download.php#hanthana19]
      සහළාන ලිනක්ස් ---> ඩවුන්ලෝඩ් කරගන්න...
      [http://www.sahalana.org/index.php?option=com_content&view=article&id=47&Itemid=54]

      ඔය දීලා තියෙන OS හැම එකකම සිංහල ටයිපින් විතරක් නෙමේ,
      එදිනෙදා ජීවිතයේදී කරන කියන හැම පරිගණක කටයුත්තක්ම,
      අතිශය සර්ථකව, බොහොම පහසුවෙන් කරගන්න පුළුවං...

      මතක තියාගන්න...
      ලිනක්ස් කියන්නේ,
      බලලා කරන දෙයක් නෙමේ...
      කරලා බලන දෙයක්...

      ජයවේවා!!!

      --- ඉවරයි ---

      Delete
    10. ස්තූතියි රනා මහන්සියෙන් ලියපු පෝස්ට් එකටත් , මහන්සියෙන් ලියපු කමෙන්ට් වලටත්... ඇත්තටම ලිනක්ස් හෝ එවැනි නිදහස් මෘදුකාංග ලෝකයේ ව්‍යාප්ත වෙනවට මම කැමති.. කඩතුරාව ඉවත් කරලා සාමාන්‍ය මිනිස්සු අතරටයි මේවා අපි ගෙනියන්න ඕනේ... මේ බ්ලොග් සටහන පවා එයට රුකුලක්...ඒ ගැන නැවත ස්තූතියි...

      මම ගැන කියනවා නම් මම මේ ෆෝන් එකක් හරි අල්ලන්න ගත්තේ අවුරුදු 3 කට විතර පස්සේ... සෑහෙන කාලෙකින් මම ගෙදර ඇවිත් කරන්න වැඩක් නැතුව ඉද්දියි මගේ පරණ පරිගණකය අටවලා ගත්තේ... ඒකෙන් තමයි ඉතින් මේ බ්ලොග් එක පවා ලියන්නේ... මම දැනට සෑහෙන කාලෙකින් ලෝකය එක්ක නිරාවරණය වෙලා නැහැ...

      රනාට පුළුවන් වෙලාවට මම ලියපු මෙන්න මේ වගේ පෝස්ට් කීපයක් ඇති..ඒවා බලන්න...

      ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරිමාවෝ මැතිණිය


      02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requirements".

      " : 02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.".

      චර පුරුෂ සේවය

      02. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය සහ යුධ සැලසුම්කරණය. Tactical Management 02".

      " අකුණක විද්‍යාත්මක පැහැදිළි කිරීම .".


      ස්තූතියි ... ජයෙන් ජය ...........

      Delete
  7. ලිනක්ස් හොඳයි බලවත් අන්තර්ජාල සබඳතාවයක් තියෙනවනම්. OS එකට අදාල repositories ගන්න ගියාම, ඩිපෙන්ඩන්සීස් ගන්න ගියාම එයා මුලින්ම බලන්නේ අන්තර්ජාල සබඳතාවය ගැන. හන්තාන නම් එයට විකල්පයක් තමයි. වින්ඩෝස්වලින් අපේ තියෙන තාර්කික හැකියාව මොට කරන තැනට පත් වුනත් ලිනක්ස් වලදි හිතල වැඩ කරන්න ඕනෙ තැනට අපි පත්වෙනවා. මම වුනත් ඩුවල් විදිහට වින් 8 හා cent os භාවිතා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව නම් වටිනවා ගොඩක් සහෝ. ලිනක්ස් වල වැඩ කරද්දි මතුවන ගැටලු අලලා ලිපි පෙලක් ලියන්න පුලවන් නම් ගොඩක් වටිනවා...

      Delete
  8. පරණ එකක් තියෙනවා. ඔයාටම තමා ඇවිත් පණ දෙන්ට පුලුවන්නේ...:D:D

    ReplyDelete
  9. බොහොම වැදගත් ලිපියක්.
    ස්තුතියි

    ReplyDelete
  10. නියම පොස්ට් එකක් සහෝ....

    ReplyDelete
  11. මම නම් හිතන්නේ ලිනක්ස් සාමාන්‍ය අයට භාවිතා කරන්න පුළුවන් තත්වයට ඇවිල්ලා ඉවරයි. මෙතන දැන් තියෙන්නේ මාකටින් කේස් එකක්.. ඇඩෝබි, ඔටෝ ඩෙස්ක් වගේ කොම්පැනි එයාලාගේ මෘදුකාංග පෝට් කරොත්, ලිනක්ස් අල්ලන්න කාටවත් බැරි වෙනවා..

    ReplyDelete
  12. >"අනිත් එක ලංකාවේ උන් ලිනක්ස් දාගෙන ඉන්නේ පොරත්වය සඳහා .. ( මේ චෝදනාව අටම් සඳහා වලංගු නැහැ.. >අනිත් ඕනෙම කෙනෙක් බාර ගත්තට කමක් නැහැ"

    අටම් වගේම ඔන තරම් තොරතුරු තාක්ෂණි නොවන ක්ෂේත්‍ර වල අය භාවිත කරනව. පාසල් පද්ධතිය තුල මේක භාවිත කරන්නෙත් ඔය කියන පොරත්වයක් නිසාද?

    සමාජයේ විවිධ අය ඉන්නව, ඉතින් පොරක් වෙන්න විවිවධ දෙවල් කරන අය ඉන්නව වගේ ලිනක්ස් දාගත්ත කෙනෙක් දෙන්නෙක් එහෙම ඉන්නත් පුලුවන්. නමුත් ලිනක්ස් භාවිත කරන හැමෝටම එහෙම ඇගිල්ල දික් කරන එක වැරදී.
    මම නම් හිතන්නෙ එය ඔබ එක් පුද්ගලයෙක් ඉලක්ක කරමින් කියන දෙයක් වෙන්න ඇති කියල. :)

    >මම දැන් කියන්න යන දේ සහ අපේ සංවාදය අතර සම්බන්ධයක් දකින්න එපා ... මේ ලෝකේ වින්ඩෝව්ස් , මැක් >වලට සාපේක්ෂව ඇයි ලිනක්ස් මූලික වුණු OS සාමාන්‍ය මිනිස්සු අතර භාවිතයේ නැත්තේ ... ?

    මම ඔබෙන් පෙරලා ප්‍රශ්නයක් අහනව එහෙම මිනිස්සු අතර ලිනක්ස් නැති බව කියන්නෙ කොහොමද කියල.


    >හරි ඔක්කෝම අමතක කරලා මට කියන්න සිංහල වැඩ කරන ( ටයිපින් කල හැකි ) ලිනක්ස් OS ටිකක්...( මන් මේ >ඇහුවේ මට දාගන්න ඕනේ නිසා ...) ( හන්තාන ලබා ගැනීමට නොහැකියි )

    වින්ඩොස් වලට කලින් තමයි ලිනක්ස් වලට සිංහල සහාය ආවෙ.
    හන්තාන බාගන්න බැරි බවද ලබාගන්න නොහැකියි කියා කිවේ? පිටපතක් අවශ්‍ය නම් iso@hanthana.org ලිපිනයට දන්වන්න.

    ReplyDelete
  13. Hanthana Linux link is not working Also Those Email Adresses

    ReplyDelete