ළඟදී බැලුවා හිංදි චිත්‍රපටියක්... නම Chillar Party. ඉන්දියාවේ මුම්බායි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වෙන අවුරුදු 5 ඉඳලා 12 විතර වෙනකං වෙන පිරිමි ළමයි 9 දෙනෙක් සහ එයාලගේ සුරතල් බල්ලා ගැන තමයි කතාව යන්නේ... ධාවන කාලය පැය 2යි මිනිත්තු 15ක්. 2011 වසරේදීයි ෆිල්ම් එක නිකුත් කරලා තියෙන්නේ...
මහා විශාල සිනමාත්මක අත්දැකීමක් හෝ රස වින්දනයක්, හිතන්න දෙයක් තියෙන චිත්‍රපටියක් නෙමේ... නමුත් හිත සැහැල්ලු කරන, හිනාවෙන්න පුළුවං, අඬන්නත් පුළුවං, සංවේදී සහ Happy Ending ෆිල්ම් එකක්.
ෆිල්ම් එක ගැන විස්තර වැඩිය කියන්නේ නැතුව, ෆිල්ම් එකෙන් දෙන පණිවිඩේ ගැන ටිකක් කතා කරන එක හොඳයි. අපේ රට ඇතුළු බොහෝ ආසියාතික රටවල්වල තවමත් ළමයා කියන පුද්ගලයාව තීරණ ගැනීමේ ක්‍රියාවලියන් සඳහා සම්බන්ධ කරගන්නේ නැහැ. ගොඩක් වෙලාවට ළමයින්ගේ මතය අවසාන තීන්දුව සඳහා වැදගත් වෙන්නේම නැහැ. නමුත් යම්කිසි දෙයක් සඳහා තීන්දු තීරණ ගැනීමට පෙර ඒ ගැන ළමයින්ගේ අදහස මොකක්ද කියලා විමසීම සහ එයින් සමස්ත සමාජයම ප්‍රතිලාභ ලබන්නේ කොහොමද කියන එක ගැන සාර්ථක කථිකාවතක් හදන්න මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමා සහ පිරිස උත්සාහ අරගෙන තියෙනවා. ඒ වගේම තමන්ගේ යහපත් ඉල්ලීම් වෙනුවෙන් සටන් කළ යුතුයි කියන තැනට ළමා මනස ගේන්නත් උත්සාහයක් දරණ ආකාරයත් දැකගන්න පුළුවනි. නමුත් මේ දකුණු ආසියාවේ නං ඒ සෙල්ලම් හරි යන්නේ නැහැ කියන එක ළමයින් ලොකු වෙද්දි තේරුම් ගනීවි.
ඒ වගේම දරුවන් කියන දේ දෙමව්පියන්, වැඩිහිටියන් සාවධානව ඇසිය යුතුයි කියන පණිවිඩේත් මේ ෆිල්ම් එක හරහා ලස්සනට බලන කෙනාට දෙනවා. ෆිල්ම් එකේ සමහර ළමයින්ගේ දෙමව්පියන්ගේ චරිත හරහා ඒ පණිවිඩේ ගෙනියන්න උත්සාහයක් අරගෙන තියෙනවා. ඒක යම්තරමකට සාර්ථකයි. හැබැයි ෆිල්ම් එකෙන් එළියට ඇවිල්ලා ඇත්ත ලෝකේ ගැන කල්පනා කරන්න පටං ගන්න පළවෙනි විනාඩියෙම, අර ෆිල්ම් එකේ තියෙන දේවල් කොහේ කොහොම කරන්නද කියලා හිතෙන එක නවත්තන්න බැහැ... ෆිල්ම් එකේ දෙමාපියන් හැසිරෙන ආකාරය මහ පොළොවට ගොඩක් දුරයි කියන එක නෙමේ මේ කියන්න හදන්නේ. නමුත් ඒකේ තියෙන දේවල් ඒ විදියටම හෝ යම් තරමකට හෝ මහ පොළොව මත හදන්න ගියාම එන ප්‍රැක්ටිකල් ප්‍රශ්න ගොඩාක් තියෙනවා අපි දැනටමත් අත්දැකලා තියෙන. ඉතිං ඔය කේස් දෙකම බැලන්ස් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ හිතට එනවා.
ඒ වගේම ආසියාතික රටවල්වල දෙමව්පියන් මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් වෙන හොඳ ළමයා සංකල්පයත් අභියෝගයට ලක් කරලා තියෙනවා. මටත් මතකයි පොඩි කාලෙදි මම සමහර ළමයින් ආශ්‍රය කරනවට මගේ දෙමව්පියන් කැමැත්තක් දැක්වුවේ නැහැ... ඒ වගේම තමන්ගේ දරුවන් මාව ආශ්‍රය කරනවට සමහර දෙමව්පියන් කැමැත්තක් නොදැක්වූවා කියලත් මම දන්නවා. ඒකට හේතුව මම පොඩි කාලේ බොහොම ඉක්මනට රණ්ඩු ඇති කරගන්න, ගහගන්න චරිතයක් වීම. ඉතිං තමංගේ දරුවත් මාව ආස්සරේ කරලා ඒ ගතිගුන පුරුදු වෙලා හොඳ ළමයා ඉමේජ් එක නැති කරගන්නවාට බයේ වෙන්නැති සමහර දෙමව්පියෝ මගෙත් එක්ක සෙල්ලමට තමන්ගේ ළමයින්ව එව්වේ නැත්තේ. මගේ ඉස්සරහදීම මාත්තෙක්ක සෙල්ලම් කිරීම නිසා තමන්ගේ ළමයට ගහලා ගෙදර එක්කගෙන අම්මලා කීප දෙනෙක්ම ඉන්නවා. ඒවා ඉතිං එහෙම තමයි. එතකොට මගේ දෙමව්පියෝ සමහර ළමයින්ව ආස්සරේ කරන්න එපා කිව්වේ... ඒත් ඉතිං එයාලා මම ගැන හිතේ මවාගෙන ඉන්න හොඳ ළමයා ඉමේජ් එක, නැතිවෙයි කියන බයට වෙන්න ඇති. හැබැයි මම මහ ඇට්ටරයා නිසා එපා කිව්ව එවුං එක්කම තමා ආස්සරේ කළේ. පුස්බයිසිකලේ පදින්න, ඒකේ සර්කස් දාන්න, හොරෙං ගිහිං ගඟේ නාන්න ආදී මෙකී නොකී ඇඩ්වෙන්චර් වැඩ ගොඩාක් පුළුවං උනෙත් ඒක නිසාමයි... ඒ වගේ ඇට්ටරම ඇට්ටර පොඩි කොල්ලෝ ටිකක් ගැන තමයි මේ ෆිල්ම් එකේ කියවෙන්නෙත්. හොඳ ළමයා සහ නරක ළමයා කියන චරිත දෙකම මම පෞද්ගලිකවම රඟපාලා තියෙන නිසා ඒ දෙකේදිම හිතට දැනෙන දේ ගැන මම දන්නවා... ඒ හැඟීම වඩාත් ලස්සනට විඳින්න පුළුවනි මේ ෆිල්ම් එක බලද්දි.
රඟපෑම් ගැන කතා කරනවනං, ළමයි හැමෝම වගේ ප්‍රශස්ථ රඟපෑමක නියැලෙනවා. ඒ වයසේ ළමයි කණ්ඩායමක් ඒ විදියට හසුරුවා ගන්නත් ලොකු හැකියාවක් තියෙන්න ඕනේ. ප්‍රධාන චරිතවලට ඉන්න හැම ළමයෙක්ම තමන්ගේ චරිතයට සාධාරණයක් කළා කියලා හිතෙනවා. ඒ වගේම බල්ලත් හොඳට හසුරුවාගෙන තියෙනවා. දකුණු ආසියාවේ සුලබ රෝඩ්මාස්ටර් බල්ලෙක් තමා ඇට් කරන්නේ. ඌ හොඳට පුරුදු කරවපු සර්කස් බල්ලෙක් වෙන්න ඇති. ඒ වගේම බහුතරයක් වැඩිහිටි චරිතත් හොඳයි. විශේෂයෙන් ඇමතිතුමාගේ චරිතය ලස්සනට හදලා තියෙනවා. ඊට අමතරව හිංදි ෆිල්ම් එකක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන ගොං පාට් කීපයක්ම දකින්න පුළුවං. ලංකාවේ හෝටලයක් දානවානං පරිප්පු හොද්ද තියෙන්නම ඕනේ වගේ ඉන්දියාවේ ෆිල්ම් එකක් සඳහා ගොංපාට් තියෙන්නම ඕනේ ඇති.
දරුවන් සහ දෙමව්පියන් අතර බැඳීම, කුරුවල් නොවිච්ච ළමා මනස තුළ තමන්ගේ යාළුවන් වෙනුවෙන් ඇති බැඳීම, සත්තුන්ට දක්වන ආදරේ කරුණාව, මේ දේවල් Chillar Party ෆිල්ම් එකේ යහපත් දේවල් විදියට දකින්න පුළුවනි. ලොකූ වියදමක් කරලා හදපු ෆිල්ම් එකකුත් නෙමෙයි. කොහොම නමුත්, මට අනුව සාර්ථක ෆිල්ම් එකක්.
ෆිල්ම් එක ගැන විස්තර ගොඩක් කතා කළා.
ෆයිල් සයිස් එක මෙගා බයිට් 700ක් විතර වෙනවා. ඩවුන්ලෝඩ් කරගත්තට අයියෝ ඩේටා වෙන්නේ නැති ෆිල්ම් එකක්.
IMDB රේටිං 7.2ක් තියෙනවා. IMDB රේටිං ගොඩක් තිබ්බ පලියටම හොඳ ෆිල්ම් එකක් වෙන්නේ නැද්ද මංදා. රේටිං හොඳට තියෙන ඒත් බලන්න හිතෙන්නේ නැති මහ එපාකරපු ෆිල්ම් කීපයක්ම හාඩ් ඩිස්ක් එකේ තියෙනවා. ඒවත් බලන්න ඕනේ වෙලාවක් අරගෙන. නැත්තං ඩේටා ටික අපරාදේ.
මෙන්න ට්‍රේලර් එක...
මෙන්න පයිරේට් බේ ටොරන්ට් එක..
මෙන්න කික් ඈස් ටොරන්ට් එක...
වැදගත්ම දේ,
පවුලේ සැමට නැරඹීමට සුදුසුයි...
රනා ඔය ෆිල්ම් එක මම දැක්කෙ වෙනමම විදියකට.. ඔය ෆිල්ම් එක ළමා කතාවක් වුනාට ඔය හරහ ාඉන්දියාවෙ තියෙන ෆ්ලැට් ලයිෆ් එක පෙන්නනවා..
ReplyDeleteඉන්දියාවෙ දුප්පත් මිනිස්සුන්ගේ පුතාල දුවල ඉගනගන්න එකේ එක අරමුණක් තමයි ඔය ෆිල්ම එකේ තයෙන ජාතියෙ ෆ්ලැට් එකක් මිලදී ගන්න එක.. ඒ ෆ්ලැට් එකට දුප්පත් මිනිස්සුන්ට ගංජා කාරයින්ට එන්න දෙන්නෙ නැහැ..
තමුංගෙ ළමයිව සාමාන්‍ය ලෝකෙන් ඈත් කරලා තමුන්ටත් සාමාන්‍ය ඉන්දිය සමාජයෙ තියෙන ජරාවෙන් ඈත් වෙලා මේ ෆ්ලැට් එකක ආත්ල එකේ ජීව්ත වෙන්න හැකියාව ලැබෙනවා...
ඒ කියන්නෙ ඉන්දියාවෙ තියෙන දුප්පත් මජර ඕජස් ගලන දුප්පතුන්ගේ ලෝකයේ සිහිනය තමයි ඔය ජාතියෙ ෆ්ලැට් කියන්නෙ.. ඕක බල්ලා සහ අර කාර් හෝදන කොල්ලා කියන්නෙ මේ ෆ්ලැට් එකේ ජීව්ත් වෙන ගොඩක් මිනිස්සුන්ගෙ පුංචි කාලෙ සාමාන්‍ය දේවල්.. නමුත් දැන් ඔවුන් ලොකුයි.. ඕක ඇත්තටම මම දකින්නෙ ෆැලැට් ලෝකය සහ පිටත අතර ගැටුම ගැන කියවුනු සාර්ථක ෆිල්ම් එකක්..
පොඩි ළමයිට පොඩි කාලෙදි ඔය පන්ති බේද, ස්ථර බේද දැනෙන්නෙ නැහැ.. උන් හරි සංවේදියි.. ඒපොඩි උන් ලොකු වුනාම තමයි හැම දේම වෙනස් වෙන්නෙ.. ඒ පුංචි ළමයි ගේ පුංචි කාලෙ තියෙන උදාර ගති මතුකරලා පෙන්වන සාර්ථක සිනමා පටියක්.. හොඳ දේශපාලනික යටිපෙල අරුතකුත් මේක තුල තියෙනවා..
අපිට ෆ්ලැට් ජීවිත ආගන්තුකයි..නමුත් අපිටත් ඉස්සරහට ඒ වගේ සාමාන්‍ය මිනිසුන්ගෙන් මිදුුන දිවිය ලෝකෙ වගේ ආතල් තියෙන ෆ්ලැට් එකක් අපේ හීන ගොඩ අතරට ඇතුල් වෙලා තියේවි..