Wednesday, November 25, 2009

සිරස සුපර් ඉස්ටාර් සහ අල්ලපු ගෙදර නංගී


දින බොහෝ ගණනකට පසු ලියැවෙන පළමු බ්ලොග් සටහන මෙයයි. මෙච්චර කල් ලියපු බ්ලොග් ගොඩක (ගොඩක් කිව්වට ඔක්කොම තියෙන්නෙත් 7යි) ලිව්වේ ටෙක්නිකල් දේවල්. අද ලියන්න යන්නේ ටෙක්නිකල් නැති දෙයක්. මගේ බ්ලොග් 1 තේමාව තියෙන්නෙත් "එදිනෙදා ඇසි දිසි දේ යම් පමණකට" කියලානේ. මේකත් ඉතින් එහෙම දැකපු දෙයක්. මේ කතාකරන්න යන දේ වෙලාත් දැනට මාසයක් විතර වුනත් ඒක ඒ දවස් වලම මේ ගැන ලියන්න බැරි වුනේ වැඩ ගොඩ ගැහිලා තිබුන හින්දාම නෙමෙයි. මගේ කම්මැලිකම නිසාමයි. කොහොම උනත් දවස් ගානක ඉදලා ලියන්න ඕනෙමයි කියලා හිතාගෙන හිතපු දේ දැන් නම් ලියලම දාලා තමා පස්ස බලන්නේ...

හැමෝම දන්නවනේ අපේ රටේ තියෙන ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන " සිරස සුපර් ඉස්ටාර්" ගැන. කතාව පටං ගන්නේ එතනින්. කතා නායිකාව අපේ අල්ලපු ගෙදර නංගී. එයා මීට කළින් තිබුන Super Star Season දෙකටම ගිහින් තියෙනවා. මෙදා පාරත් තරග කළා. සෑහෙන්න මහන්සි උනා. නංගී විතරක් නෙමේ. ගෙදර අයත් හරියට මහන්සි උනා නංගී වෙනුවෙන්. එයාගේ තාත්තා දැන් පෙන්ෂන්. අම්මා නම් රැකියාවක් කළේ නෑ. මූළික වටයේ තරග තිබුනේ අපේ ගෙවල් වල ඉදලා කිලෝමීටර් 200කටත් වඩා දුරින්. ඉතින් මේ දුර ගෙවාගෙන තරගය වෙනුවෙන් එයාලා සිරස ආයතනය සුපර් ඉස්ටාර් තරගේ තිබ්බ හැම තැනටම ගියා. නිකම්ම නෙමේ, මම සුපිරි තරුවක්ම වෙමි කියන දැඩි අධිෂ්ඨානයෙන්.

හැමදේම හොදට ගියා. නංගී ගොඩක් දක්ෂයි. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි වටවලින් සමත්වෙලා 4 වෙනි වටේටත් අවා. ඒ කියන්නේ අන්තිම 1000න් සුපිරිම 100 තෝරන වටේ. මේකේ තේරීම් තිබුනේ වේයන්ගොඩ පැත්තේ තැනක. බලපු කට්ටිය දන්නවා ඇති තැන මොකක්ද කියලා. මට ඒක මතක නෑ. කොහොම හරි රෑ 10 විතර වෙනකම් එයාලව තියාගෙන ඉදලා අන්තිමට ප්‍රතිඵල ලබා දුන්නා. අපේ අල්ලපු ගෙදර නංගී අන්තිම 100ට සුදුසු වෙලා තිබුනා.

මේ වෙනකොට නංගී රස්සාව කළේ පුද්ගලික ආයතනයක ගිණුම් සහයිකාවක් (Account Assistant) හැටියට. අවුරුදු 2ක විතර පළපුරුද්දකුත් තිබුනා. රැකියා ස්ථානයෙනුත් හොද සහයක් එයාට ලැබුනා. කතාවේ තීරණාත්මක කොටස පටන් ගන්නේ දැන්.

ඔයාලට මතක ඇති අන්තිම 100ට තේරුන තරගකරුවන්ට සිරසෙන් වැඩමුලු කීපයක්ම සංවිධානය කළා කියලා. මේවට තරගකරුවන් සහභාගී වීම අනිවාර්යවුනාද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒත් සහභාගීත්වය තරගයේ ඉදිරියට යන්න වැදගත් කියලානම් ඒක රූපවාහිනියෙන් බලද්දී තේරුනා. මේ දවස් 10යේ වැඩමුලුව සදහා නංගී නිවාඩු ඉල්ලුවත් රැකියා ස්ථානයෙන් ඒකට අවසර ලැබුනේ නෑ. වෙච්ච දේ නංගී රැකියාවෙන් අස්වෙලා වැඩමුලුවට සහභාගී වීම සහ සුපර් ඉස්ටාර් සිහිනය ඇත්තක් කරගන්න full time වැඩ කිරීම.

නංගී දිගටම පුහුණුවීම් කළා. තමන්ගේ ගායනය තරගයේදී ලස්සනට ඉදිරිපත් කළා. අපිත් ගෙදර ඉදන් බොහොම ආසාවෙන් එදා සුපර් ඉස්ටාර් බැලුවා. අන්තිමේ ප්‍රතිඵල ලබාදුන්නා. කොච්චර හොදට ලස්සනට ගීතය ගායනා කළත්, ඉතාමත්ම අවාසනාවන්ත විදියට නංගිගේ සුපර් ඉස්ටාර් සිහිනය බොද වුනා. අවසාන 48 දෙනා අතරට එන්න එයාගේ දක්ෂතා ප්‍රමානවත් කියලා චන්ද්රිකා සහ සමිතා මහත්මීන් පැවසුවත් අවසාන 48 දෙනා අතරට එන්න එයාගේ දක්ෂතා ප්‍රමානවත් නෑ කියලයි අමල් සහ රාජු මහත්වරු පැවසුවේ. අවසානයේ අපේ අල්ලපු ගෙදර නංගී සිරස සුපර් ඉස්ටාර් තරගයෙන් ඉවත් වුනා.

කොහොමින් කොහොමින් හරි දැන් අපේ අල්ලපු ගෙදර නංගී සුපර් ඉස්ටාර් වීමේ සිහිනය සහ රැකියාව කියන මේ දෙකම නැතිව ගෙදරට වෙලා ඉන්නවා. මේ සිදුවීම වෙච්ච දවස්වල එයා හිටියේ පුදුම විදියට මානසිකව වැටිලා. ගෙදරින් එළියටවත් අවේ නෑ. ඒක එහෙම තමා. තමන් ගොඩාක් බලාපොරොත්තු තියාගෙන සැරිසරපු සිහින ලෝකෙ කඩාගෙන ආයෙත් මේ මහ පොළොවටම වැටුනම තදබල විදියට මානසිකව වැටෙන එක වෙන්න පුලුවන් දෙයක්. ඒක අපි හැමෝටම පොදුයි. නංගී තාමත් රැකියාවක් හොයනවා. ඉක්මනටම රැකියාවක් ලැබුනොත් හොදයි. ඒක එයාගේ වැටුන මානසිකත්වයෙන් ආයෙත් නැගිටින්න හොද අවස්තාවක් වෙයි.

මේ කතාව මම ලිව්වේ මේකෙන් අපි හැමෝටම ගන්න ගොඩාක් දේවල් තියෙන නිසයි. මිනිස්සු වෙන අපි හැමෝටම නොයෙක් විදියේ සිහින තියෙනවා. සමහර සිහින අපි සැබෑ කරගන්නවා. සමහර සිහින නිකම් සිහිනම විතරයි. ඒත් සිහිනයක් පස්සෙන් දිවීම වෙනුවෙන් තමන් සතුව තියෙන සහ තමන්ව ආරක්ෂා කරන දේවල් අත්හරින 1 හරි උගස් කරන 1 හරි එච්චර බුද්ධිමත් දෙයක් නෙමේ. උදාහරණයක් විදියට තමන්ගේ රැකියාව වගේ දෙයක් අතහැරලා දාලා සිහින පස්සේ දිවීමනම් අනුමත කරන්නම බැරි දෙයක්. සමහරවිට මේක කියවන ඔබත් සුපර් ඉස්ටාර් තරගෙට සහභාගී වුන, තාමත් තරගයේ ඉන්න හෝ ඉස්සරහට එන්න තියෙන සීසන් 1කට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. තරගෙකට ඉදිරිපත් වෙන 1 හොදයි. නමුත් ඔබ සතුව තියෙන අනිත් වැදගත්ම දේවල් අත්හැරල දාලා නම් ඒක කරන්න එපා. එහෙම අත්හරිනවානම් අඩුම ගානේ අන්තිම 12ටවත් ආවම එහෙම කරන්න. එතකොට යම්කිසි විදියකට ඔබ ආරක්ෂිතයි. හැබැයි ඒ හැමදාටමනම් නෙමෙයි. මොනවා කළත් අන්තිමේ "සිරස මාව කෑවා" කියන තත්වෙටනම් වැටෙන්න එපා. මොකද වළ කපාගත්තේ අපිමයි. සිරස සුපර් ඉස්ටාර් වලට විතරක් නෙමේ, මේක අනිත් හැම රූපවාහිනී නාළිකාවකින්ම කරන "සිහින තරු" තෝරන වැඩසටහන් වලට පොදුයි.

එහෙනම්, ගිහිං එන්නං.

ජය වේවා...