Saturday, April 4, 2015

අපේ වෙලාව | Why U Waste My Time!



අපි යම්කිසි සේවාවක් ලබාගනිද්දි, ඒ සේවාව තවත් වැඩියෙන් ලබාගන්න හරි එහෙමත් නැත්තං අදාළ ආයතනය සහ අපි අතරේ සම්බන්ධතාවය වැඩි කරගන්න හරි වගේ දේවල්වලට ඒ අදාළ ආයතනය ක්ෂණිකව සම්බන්ධ කරගන්න පුළුවං ක්‍රමයක් සෑහෙන කාලෙක ඉඳං ක්‍රියාත්මක වෙනවා. කස්ටමර් කෙයාර් නම්බර් එක කියලා සිංහලෙන් හඳුන්වන්නේ ඒක. අද අපේ රටේ එක එක සේවාවන් සපයන විශාල ප්‍රමාණයක් ආයතන මේ විදියේ කස්ටමර් කෙයාර් නොම්මරයක් මේන්ටේන් කරනවා. ඒක සෑහෙන්න හොඳ දෙයක්.
හැබැයි මේ අකුරු ටික ලියවෙන්නේ ඒ සේවාවේ තියෙන යහපත ගැන කතා කරන්න නෙමේ. අපි නොදැනුවත්වම කස්ටමර් කෙයාර් හරහා අපේ විනාස කරන කාලය ගැන කතා කරන්න. මේ වැඩේ නරකම විදියට කරන්නේ  දුරකථන සම්බන්ධතා සේවා සපයන ආයතන.
මම ජංගම දුරකථන ආයතන 3ක සහ ස්තාවර දුරකතන ආයතන 1ක සේවාව ලබාගන්නවා. යම් යම් අවශ්‍යතා සඳහා අඩුම තරමෙන් සතියකට සැරයක්වත් ඔය ආයතනවල කස්ටමර් කෙයාර් එකට ඇමතුමක් ගන්නවාමයි. ඒ හැම වෙලාවකම, හැම ආයතනයකින්ම අඩු වැඩි හෝ සමාන වශයෙන් කරන්නේ එකම දේ. අපේ කාලය විනාස කිරීම.
මේක කියවන ඔබ හැමෝම ජීවිතේ එකපාරක් හරි කස්ටමර් කෙයාර් එකට කතා කරලා ඇති. ඔබ දන්නවා ඒකේ වැඩේ සිද්ධවෙන විදිය. ඉස්සෙල්ලාම භාෂාව තෝරගන්න ඕනේ. ඊට පස්සේ එන මෙනු එකෙන් අදාල සේවාව තෝරගන්න ඕනේ. ඉස්සරම ඉස්සර නං ඉතා කෙටි කාලයකින් ඔය වැඩේ කරගන්න පුළුවං කම තිබ්බා. හැබැයි අද?
පහුගිය සතියේ ඉඳලා මම ගණං බලපු විදියට අනුව ඩයලොග්, මොබිටෙල් සහ එටිසලාට් කියන ජංගම දුරකතන ජාල 3ම භාෂාව තෝරන තැන ඉඳලා ප්‍රධාන මෙනුවට එන ටිකට විනාස කරන කාලය විනාඩි එකහමාරකට ආසන්නයි!!!  එකම හේතුව ඔවුන්ගේ වෙළඳ දැන්වීම්. ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙත් මහ වෙනසක් නෑ.
භාෂාව තේරුවාට පස්සේ ආසන්න වශයෙන් විනාඩියට වැඩි කාලයක් මට කිසිම අවශ්‍යතාවයක් නැති සේවාවක් ගැන විස්තරයක් අහගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි ප්‍රධාන මෙනුවට පිවිසෙන්නේ.
ජංගම දුරකතන සමාගම් වෙළඳ දැන්වීමක් දාගත්තට මගේ අමනාපයක් නෑ. නමුත් මේ විදියට මහා කරදරකාරී විදියට ඒක කරන එක ගැන තියෙන්නේ මහා අප්පිරියාවක්. මොකක් හරි දෙයක් දැනගන්න/කරගන්න ඔවුන්ව ඇමතුවාම විනාඩි එකහමාරක් කෙළිංම විනාස කරනවා.
සමහර අවස්තාවලදී පාරිභෝගික සේවා නිලධාරියෙකු සම්බන්ධ කරනකං විනාඩි හතරක් පහක් උඩබලාගෙන ඉන්න වෙච්ච වෙලාවල් තියෙනවා. ඒකත් එක්තරා අවුලක් තමයි. නමුත් පාරිභෝගික නිලධාරීන් අමතන්න හදන එකම පුද්ගලයා මම විතරක් නොවන නිසා එතන තදබදයක් ඇතිවීම ස්වභාවිකයි.  
සමහරවිට ඔබ මගෙන් අහන්න පුළුවං, ඔය විනාඩි එකහමාර දෙක ඉතුරු කරගත්තා කියලා මොකෝ උඹ රට පෙරට ගෙනියන්නද කියලා. නමුත් ඒ විදියට මගේ කාලය බලෙං විනාස කරන එකට මගේ කිසිම කැමැත්තක් නෑ. එහෙම විනාස කරගන්න මට සතේක උවමනාවකුත් නෑ.
නරකම දේ තමයි මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවං දේකුත් නැතිවීම. මේ ගැන අදාළ දුරකථන ආයතනයට පැමිණිලි කරන එක මට හිතෙන හැටියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මගේ පැමිණිල්ල අහලා මේං කියලා නවත්තයි ඔය ඇඩ් දැමිල්ල...
පාරිභෝගිකයන් වෙනුවෙන් හදපු සේවාවක් හරහා පාරිභෝගිකයන්ව මේ විදියට පීඩාවට පත්කිරීම කවදා නවතීවිද?