Wednesday, December 5, 2012

පොලිසියෙන් ආවා!!! | When Cops came!!!

ඊයේ අපේ ගෙදරට පොලීසියෙන් ආවා. කට උත්තරයක් ගන්න. මම හොරකමකට මංකොල්ලෙකට ස්ත්‍රී දූෂණයකට සැකකාරයා වෙලා එහෙම නෙමෙයි. පාරිසරික ප්‍රශ්ණ...

කතන්දරේ මෙහෙමයි...
අපේ ගෙදර තියෙන්නේ ගමේ පිට්ටනිය ළඟ. පිට්ටනිය ළඟ කියන්නේ පිට්ටනියට අල්ලපු වැට අපේ ගෙදර. නිවාස සංකීර්ණයක් නිසා ඒක ටිකක් ලොකු පිට්ටනියක්. මේ පිට්ටනියේ අවුරුද්දට සැරයක් දෙකක් කානිවල් පවත්වනවා... එක එක ආයතන, සංගම්, පදනම්වලින්. ඒ අයගේ අරමුදල් තර කරගන්න, සුභසාධන වැඩවලට වගේ දේවල් වලට. ඒ කානිවල් දවස් දෙක තුනක් තිස්සෙම තියෙනවා. ඒවගේ ප්‍රධානම අංගයක් තමා මහා සංගීත රාත්‍රිය. ඇත්තම කියනවානං, කානිවල් එකේ ලාභය හෝ පාඩුව තීරණය කරන සාධකේ තමා ඔය සංගීතේ. සංගීතයක් බලන්න අඩුම තරමේ දාහක් දෙදාහක් එන නිසා ඒක ටිකක් ලාභදායක වැඩක්...

මේ මාසේ අග හරියට වෙන්න, ආයෙත් තියෙනවා ලොකු කානිවල් එකක්. දවස් 3ක. සංගීතත් 03ක්ම තියෙනවා. නමගිය සංගීත කණ්ඩායම් 3ක් එන්නේ. සෙනඟ ඉඳියි වකාරෙට. හොඳ ලාබෙකුත් තියෙයි.

දැං ඇයි අපේ ගෙදරට කට උත්තර ගන්න පොලීසියෙන් ආවේ. අපි නෙමේ කානිවල් එක සංවිධානය කරන්නේ. එහෙනං මොකක්ද මේ කටඋත්තරේ. මේකයි වැඩේ. සංගීත සංදර්ශනයක් කියන්නේ ලොකු ඝෝෂාවක්. ඒ ඝෝෂාව ඇතිකරන්නේ ලොකු ස්පීකර්, බෆල් වලින්. මේ ස්පීකර්, බෆල් තමන්ට හිතූමනාපෙට දාන්න බැහැ. නීතියෙන් අවසර ගන්න ඕනේ. ඒ කියන්නේ පර්මිට් එකක් ගන්න ඕනේ. අවසරේ දෙන්නේ පොලිසිය. කොට්ඨාශය භාරව ඉන්න සහකාර පොලිස් අධිකාරීතුමාගෙන් තමා අවසරේ ගන්න ඕනේ. ඒකෙත් ලොකු වැඩ සටහනක් තියෙනවා. බෆල් කොච්චර දානවද? සද්දේ ඩෙසිබල් කීයද? ඔය වගේ ලොකු ප්‍රශ්ණ පත්තරයක්. ඒවට උත්තර බඳින්න ඕනේ සංගීතය සපයන අය. අපි ඒ ගොඩට අයිති වෙන්නෙත් නැහැ. එහෙනං මොකටද අපෙං කට උත්තර?


මේ ඝෝෂාකාරී ශබ්ද නිසා අසල්වැසියන් වෙන අපිලු අගතියට පත්වෙන්නේ. අපි එහෙම අගතියට පත්වෙනවට කැමතිද නැද්ද කියලා සහසුද්ධෙන්ම දැනගන්නයි කට උත්තරේ ගන්න ඇවිත් තියෙන්නේ.

ඊයේ කට උත්තරේ දෙන්න සෙට් උනේ මම. පොලිස් පොර මගෙන් අහනවා, සංගීත සංදර්ශනේට විරුද්ධද නැද්ද කියලා. මම ගත්ත කටටම කිව්වා, අනේ අපේනං කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා.

හේතු මෙන්න මේවයි.
පළවෙනි එක,  අපේ ගමට විතරක් නෙමේ, අහළ පහළ ගම්මාන කීපයකටම පිට්ටනියකට කියලා තියෙන්නේ මෙච්චරයි. ඉතිං අහළ පහළ ඉස්කෝලෙක ආදි ශිෂ්‍ය කණ්ඩායමක්, ඉස්කෝලේ සුබ සිද්ධියට කානිවල් කරනවානං, ඒක කරන්න එයාලට තියෙන්නෙත් මේ පිට්ටනියම  විතරයි. ඉතිං අපිට සද්දයි කියලා ඒ වගේ දේකට විරුද්ධ වෙන එක සදාචාර සම්පන්න නැහැ.

දෙවෙනි එක, කානිවල් සහ ඔයවගේ දේවල්වලට පිට්ටනි පාවිච්චියට ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒකේ තහනමක් නැහැ. ඉතිං අපි දැනගන්න ඕනේ කානිවල් වගේ දේවල්වලට අකමැතිනං, පිට්ටනි ළඟ ගෙවල් නොගෙන ඉන්න. වැරැද්ද අපේ. පිට්ටනියක් ළඟ ගේ තියාගෙන, කොල්ලෝ ක්‍රිකට් ගහද්දි බෝලේ ගෙදර වහලෙට වදිනවා කියලා උං එක්ක ගෝරි දාගන්න එක ගොං පාට් එකක්. මේවගේ දේකටත් එහෙම විරුද්ධ වෙනවා කියන්නේ අර ගොංපාට් එකේම දිගුවක්.

ඊළඟ එක. අවුරුද්දේ හැමදාම මෙතන කානිවල් තියන්නේ නැහැ. උපරිම, මුළු අවුරුද්දටම දවස් 10ක් තියෙයි. නමුත් ඒකෙන් සන්තෝස වෙන සංඛ්‍යාව ගොඩක්. සංගීතයක් ගත්තොත්, ඒකේ කඩල විකුණන, සාරවිට විකුණන මිනිහගේ ඉඳලා, සිංදු කියන අයගේ ඉඳලා, සංවිධායකයෝ වෙනකම්ම කට්ටිය ජීවත් වෙන්නේ ඒකෙන්. ඒ වගේම ඒක බලන්න ඇවිත් සන්තෝසවෙන, නටන, බොන්න සෙට් වෙන, තව වෙන වෙන සබ්ජෙක්ට්වලට සෙට් වෙන උදවිය කොච්චරක් ඉන්නවද. අපිට දවස් 03ක් නිදාගන්න නැහැ කියලා ඇයි අපි ඒ අයගේ ආතල් කඩන්නේ. මට අනුව ඒක හෙණ අසාධාරණයි.

දැං සමහරවිට  කව්රු හරි තර්ක කරන්න පුළුවං පාඩම් කරන ළමයි, ලෙඩ්ඩු, ගැබිණි මාතාවන්, අලුත ඉපදිච්ච පොඩි ළමයි ගැන කියලා. ඒත් මම ආයෙත් කියන්නේ, අපි සොහොනේ ගෙවල් හදන්න ඕනේ, ජීවත් වෙන්න වෙන්නේ යක්කු එක්ක තමා කියලා දැනගෙනම. නැතුව සොහොනේ ගෙයක් ලොකුවට ලස්සනට හදලා, ආනේ "මෙතන ඉන්න අසල්වැසියෝ යක්කුනේ" කියලා තැවෙන එක ගොංපාට් එකක්.

ඊටත් අමතරව, දැං පිට්ටනිය වටේම ඉන්න හැමෝම මේකට පට්ටෙට විරුද්ධ උනා කියමුකෝ. එහෙම විරුද්ධ වෙලා පොලිස් පොත පිරෙන්න කට උත්තර දීලා තියෙද්දි, සංවිධායක මණ්ඩලේ උදවිය දේශපාලක පොරක් අල්ලලා, DIG ලෙවල් එකේ පොලිස් ලොක්කෙක්ගෙං ඕඩර් එකක් අරගත්තොත් පර්මිට් එක ගන්න කියලා, අපිට නිකං හිතේ අමාරුව හැදෙන එක සහ රට ජාතිය ගැන කළකිරීමක් ඇතිවෙන එක විතරයි වෙන්නේ. මොකෝ අපි නොදන්නවායැ රටේ වැඩ කටයුතු සිද්ධ වෙන සිස්ටම් එක...

ඔන්න ඔය ටික මම පොලිස් බුවාට කිව්වා. ඔයා කැමති දෙයක් ලියාගන්න කියලත් කිව්වා. පැහැදිලිව ලියන්න කිව්වා "මේ සංගීත රාත්‍රීන්ට අපේ(පෞද්ගලිකව අපේ ගෙදර කිසිවෙකුගේ) කිසිම විරෝධයක් නැහැ" කියලා. මම සහසුද්ධෙන්ම දන්නවා පොලිස් බුවා මගෙන් ඔයවගේ දෙයක් බලාපොරොත්තු උනේ නැහැ කියලා. ඒත් ඉතින්ග් මොනා කරන්නද. මම ඇත්තම කිව්වා...

පොලිස් බුවත් මාර කතාවක් කිව්වා. දැං මේ කට උත්තරේ ගන්න යන ගෙවල්වලින් හැමෝම වගේ ඔහොම කියනවළු. හැබැයි රෑ 12 පනිද්දී වන් වන් නයින් (119) කෝල් කරලා කියනවළු සද්දේ වැඩියි, අරකයි මේකයි කියලා. ඊට පස්සේ වන් වන් නයින් (119) එකෙන් ගමේ පොලීසියට කතා කරලා කියනවළු සංගීතයක්, අසල්වැසියන්ට කරදරයි, ගිහිං බලලා පිළියමක් කරන්න කියලා. මගෙන් අහනවා ඒකට මොකද කරන්නේ කියලා. මම මොනා කරන්නද ඒකට. මම කතා කරන්නේ නැහැ කොහොමත් ඔය මොකකටවත්.
ඒ පාර මම පොරට කිව්වා, "මම සහතික වෙනවා අපේ ගෙදරින් කිසිම කෙනෙක් එහෙම වන් වන් නයින් (119) එකට කෝල් නොකරන බවට, අනිත් මිනිස්සු ගැන කියන්න මම දන්නේ නැහැ, මට වගකීමක් ගන්නත් බැහැ, ඔයාලා ඒක ඒ ගෙවල්වල අය එක්ක බලාගන්න" කියලා. අනිත් එවුංගේ ටෙලිෆෝන් කෝල් ගැන හොයන්න මට වෙන වැඩ නැතුවයැ...


අවසානේ මේකයි.
පිට්ටනියක් ළඟ නං අපේ ගෙදර තියෙන්නේ, අපිට පෞද්ගලිකව කොච්චර කරදරයක් වදයක් කරච්චලයක් උනත්, ඒකත් එක්ක බැඳිලා තියෙන ක්‍රියාකාරකම්වලට අකමැත්තෙන් හරි අපිට එකඟ වෙන්න වෙනවා. අපි පෞද්ගලිකව ඒකට කැමති නැත්තං, අපිට කරන්න තියෙන හොඳම වැඩේ, පිට්ටනියක් පේන තෙක්මානෙක නැති, නිස්කලංක පරිසරයකින් ගෙයක් හදාගෙන පදිංචි වෙන එකයි. නැතුව පිට්ටනියේ එක එක ඉවෙන්ට් සංවිධානය කරන එවුංට බාල්දි පෙරලන එක නෙමෙයි.

සංවාදයට විවෘතයි...

Wednesday, October 31, 2012

පරක්කු වෙන්න එපා!!! | Better never than late!!!

ලිනක්ස් මතදී ඔබ වින්ඩෝස් සඳහා නිර්මාණය කරපු මෘදුකාංග පාවිච්චි කරලා තියෙනවද?
කාලයක් තිස්සේ ලිනක්ස් පරිශීලනය නෙකෙක් නම්, බොහෝ විට උත්තරේ "ඔව්".
මම ඇහුවොත් ඒ කොහොමද කියලා, 
ඔබ දෙන උත්තරේ තමා WINE...

Wine Is Not an Emulator (WINE
කිව්වට, ගොඩක් වෙලාවට අපි ලිනක්ස් පාවිච්චි කරද්දී WINE පාවිච්චි කරන්නේ Emulator එකක් විදියටම තමයි. හැබැයි ප්‍රශ්ණයක් තියෙනවා. අපිට ඕනේ විදියටම WINE වැඩ කරන්නේ නැති වීම. වින්ඩෝස්වල ඉඳලා ලිනක්ස් වලට මාරුවෙච්ච මුල් කාලේ රනාටත් තිබ්බ ලොකුම ගැටළුව ඕක. වින්ඩෝස්වලදී කරපු Photoshop, Illustrator වැඩ විතරක් නෙමේ අඩුම ගානේ NFS ගේම් එකක්වත් ගහන්න විදියක් නැහැ. බැහැයි කිය කිය ඉන්නේ නැතුව WINE උඩ වැඩේ කරගන්න ගියත්, අවසාන ප්‍රතිඵලය... ඉතා සෝචනීයයි!!!

දැං ඒකට විසඳුමක් තියෙනවා. Wineවලට වඩා කාර්යක්ෂම විදියට ලිනක්ස් මතදී වින්ඩෝස් මෘදුකාංග පාවිච්චි කරන්න හදලා තියෙන E mulator මෘදුකාංගයක් තමයි CrossOver.
වින්ඩෝස්වලදී පාවිච්චි වෙන ගොඩක් High End පරිගණක ක්‍රීඩා, Adobe Photoshop, Illustrator, Premier විතරක් නෙමේ ඕනෙම .exe ෆයිල් එකක් මේ CrossOver හරහා ස්ථාපනය කරලා සාර්ථකව පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි CrossOver කියන්නේ අපි මුදල් ගෙවා මිලදී ගත යුතු මෘදුකාංගයක්.
ඒත්, අද ඒ කියන්නේ 2012 ඔක්තෝම්බර් 31 දවස ඇතුළත, නොමිලේම වසරක කාලයක් සඳහා වලංගු CrossOver මෘදුකාංගය නොමිලේ බාගත කරගෙන පාවිච්චි කරන්න එහි නිර්මාපකයෝ අවස්ථාව දීලා තියෙනවා.

මෙන්න මෙතනින් ඉක්මනට අරගන්න...

 
තව පැය 3ක් විතර තියෙන්නේ...
දන්න කියන හැමෝටම කියන්න...
 අතට ආව දේ කටට දාගන්නේ නැතුව ඉන්න නං එපා!!!


ජයවේවා ලිනක්ස්!!!

Tuesday, October 30, 2012

ලිනක්ස් - ඔබේ ජීවිතේ වඩාත් පහසු කරන හැටි | How Linux makes your Life Lot More Easier

ලෝකේ ජනප්‍රියම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් වෙන Ubuntu Linux (උබුන්ටු ලිනක්ස්) වල අලුත්ම දීර්ඝ කාලීන සංස්කරණෙත් (LTS - Long Term Support) පහුගිය දවසක එළිදැක්වූවා. ඒ Ubuntu 12.04 Precise Pangolin. එළිදක්වලා මේ වෙනකොට මාස 6කට ආසන්න උනත් තාම ඒක හෙන අළුත්... දැං අලුතෙන් එන උබුන්ටු සංස්කරණවල මුහුණත තිරය (Desktop Environment)  එක විදියට එන්නේ Unity Desktop Envirenment එක. ආව මුල් කාලේ (2010 අග) ගොඩක් කරදරකාරී ඇප්ලිකේෂන් එකක් වගේ දැනුනට වර්ථමානය වෙනකොට Unity වෙත තියෙන ජනතා ආකර්ශනය සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. Unity හුරුවෙන්න ලේසියි වගේම Unityවල තියෙන වැඩ කෑලිත් ටික ටික වැඩි වීම ඊට හේතුවක්...


Unity ගේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි Dash. මේ Dash උදව් කරගෙන පරිශීලකයාට බොහෝම ඉක්මනින් තමන්ගේ පරිගණකයේ තියෙන තොරතුරු (ස්ථාපිත මෘදුකාංග, පාවිච්චි කරපු ඩොකියුමන්ට්, බුක්මාක් කරපු ලිංක්) වගේම අන්තර්ජාලයේ තියෙන දේවලුත් (ටුවිටර්, වීඩියෝ, සිංදු, වෙබ්පිටු, ටොරන්ට්) ලබාගන්න පුළුවනි.



Dash කොහොමද මෙච්චර දෙයක් කරන්නේ. මෙතනදී සිද්ධවෙන තාක්ෂණික කාරණාව ගැනයි මේ කියන්න යන්නේ. Dashගෙන් අපි ඉල්ලන තොරතුරු ලබාදෙන්නේ ලෙන්ස් (Lense) මඟින්. ඒ කියන්නේ අපි ඉල්ලන තොරතුරු ලබාදෙන්න, ඒ ඒ කාණ්ඩවලට වෙන්වෙච්ච එකකට එකක් වෙනස් සෙවුම් තොරතුරු දෙන ලෙන්ස් ගොඩක් (Lenses) තියෙනවා. පරිශීලකයා තමන්ට අවශ්‍ය තොරතුරු සොයන්නේ මේ ලෙන්ස් හරහා. Dashගේ ප්‍රධාන අතුරුමුහුණතෙන් (Dash Home Screen or Global Search කියලත් මේකට කියනවා) හරි ඒ ඒ ලෙන්ස් එක හරහා හරි මේ විදියට තමන්ට අවශ්‍ය තොරතුරු හොයාගන්න පුළුවනි. 

හැබැයි මෙහෙමයි වැඩේ. මෙතනදී ලෙන්ස් එක එච්චරම පොරක් හෝ වැඩකරුවෙක් නෙමේ. ඇත්තම කියනවානං ලෙන්ස් එක අපි කියන කිසිම දෙයක් හොයන්නේ නැහැ. එහෙනං කව්ද හොයන්නේ? 

මේ හැම ලෙන්ස් එකක් සතුවම එකක් හෝ ඊට වඩා වැඩි ස්කෝප් (Scopes) තියෙනවා. මේ Scopes තමා ඇත්තටම සර්ච් එන්ජින් එකේ වැඩේ කරන්නේ. ලෙන්ස් එක කරන්නේ අතුරුමුහුණතක් සපයන වැඩේ විතරයි.
හරි, තාක්ෂනික කාරණාව එතනින් ඉවරයි. මේ ස්කෝප්, ලෙන්ස් ගැන වැඩිදුර දැනගන්න ඕනේ අයට ඒ විස්තර මෙතනින් අරගන්න පුළුවං.

දැං අපි බලමු කොහොමද මේ විදියට අන්තර්ජාලයේ විස්තර වෙබ් බ්‍රව්සරයක් හරහා සර්ච් කිරීමක් නොකර Unity Dash හරහාම ලබාගන්නේ කොහොමද කියලා. මේ දවස්වල රනා පාවිච්චි කරන්නේ Ubuntu 12.04 නිසා ඒකෙන් වැඩේ කරගන්න විදිය ගැන පෙන්නන්නං. ඊට පරණ සංස්කරණවලටත් (11.04, 11.10)  මේක කරන විදියේ වැඩි වෙනසක් නැහැ.

හරි, වැඩේ පටං ගමු.

අවශ්‍ය ද්‍රව්‍ය
Ubuntu අඩංගු පරිගණකයක්
අන්තර්ජාල සම්බන්ධතාවයක්
වැඩේ කරලා බලන්න උවමනාවක්

සාදන ක්‍රමය

මුලින්ම කරන්න ඕනේ මේ Scopes සහ Lenses අඩංගු Repositories ටික එකතු කරගන්න ඕනේ.
මේවා තියෙන්නේ PPA විදියට නිසා (මොනවද මේ PPA කියන්නේ - වෙන වෙලාවක දීර්ඝව කියලා දෙන්නං) ඒ PPA එකතු කරගෙන ඉමු.

මුලින්ම Terminal එක අරගමු. Alt , Ctrl සහ T යතුරු තුන එකපාර එබුවම Terminal එක ඕපන් වෙනවා.
ඒකේ පහත විධානය ටයිප් කරමු.

sudo apt-add-repository ppa:scopes-packagers/ppa




ස්ථාපනය කරන්න අවශ්‍යමනම් Enter Key එක ඔබන්න හෝ අවශ්‍ය නැත්නම් Ctrl + c යතුරු දෙක ඔබන්න කියන පණිවිඩේ දෙනවා.
අපිට ස්ථාපනය කරන්න අවශ්‍ය නිසා Enter Key එක දෙන්න.

 

PPA එක එකතු කරගෙන ඉවර උනාම මෙන්න මේ වගේ පණිවිඩයක් දෙනවා.

 

ඊළඟට පරිගණකයේ මෘදුකාංග යාවත්කාලීන කිරීම අත්‍යාවශ්‍යයි.
ඒක කරන්නේ පහත කරන විධානය ක්‍රියාත්මක කරවීම මඟින්.
sudo apt-get update

දැං ස්ථාපනය කරමු අවශ්‍ය Lenses සහ Scopes
sudo apt-get install unity-lens-utilities

මෙතනදී පොඩි දෙයක් බලාගන්න පුළුවනි.
sudo apt-get install unity-lens- වෙනකං ටයිප් කරලා TAB Key එක ප්‍රෙස් කිරීම මඟින් මේ වෙනකොට තියෙන ඔක්කොම Lenses බලාගන්න පුළුවං. ඒකෙන් තමන්ට කැමති ලෙන්ස් එකක් ස්ථාපනය කරගන්න පුළුවං.



ඒ වගේම
sudo apt-get install unity-lens* කියන විධානේ ටයිප් කළාම ඒ සියළුම ලෙන්ස් ඉන්ස්ටෝල් කරගන්න පුළුවනි.

උදාහරණ කීපයක් මෙන්න.

Dash Calculator එක ස්ථාපනය කර ගන්නේ මෙහෙමයි.

sudo add-apt-repository ppa:scopes-packagers/ppa
sudo apt-get update
sudo apt-get install unity-lens-utilities unity-scope-calculator



දෙවෙනියට තියෙන Calculator එකේ පෙන්නලා තියෙන්නේ අපි දීපු සුලුකිරීමේ උත්තරේ.


ලෝකේ තියෙන නගර ගැන විස්තර දැනගන්න Unity Cities Scope/Lens


මේකත් unity-lens-utilities යටතේම තියෙන Scope එකක් නිසා ඉහත       sudo apt-get install unity-lens-utilities විධානය දුන්නානං ආයෙත් ඒක දෙන්න ඕනේ නැහැ. නගර ගැන විස්තර බලාකියාගන්න පහත විධානය හරහා පුළුවනි.

sudo apt-get install unity-scope-cities



මේ මඟින් නගරය අයිති රට, වෙලාව, කාළගුණ තත්වය විතරක් නෙමේ සුළගේ වේගයත් බලාගන්න පුළුවනි. නගරයේ නම උඩ ක්ලික් කළාම ඊට අදාළ ගූගල් මැප් එක තමයි වෙබ් බ්‍රව්සර් එකේ ඕපන් වෙන්නේ.
ලෝකේ තියෙන ප්‍රසිද්ධ නගර විතරක් නෙමෙයි ඈත ඩොටේ තියෙන ගමේ විස්තර උනත් බලාගන්න්න පුළුවං මේකෙන්.
මේ තියෙන්නේ අපේ රටේ කහටගස්දිගිලිය ගැන පෙන්නන විස්තරේ.




චිත්‍රපටි විස්තර ඉක්මනට බලාගන්න.


ඔබත් චිත්‍රපටි ලෝලියෙක්නම්, මේ ආරංචිය ඔබ වෙනුවෙන්මයි.
Rotten Tomatoes Scope/Lens එක හරහා වඩාත් ඉක්මනින් වගේම පහසුවෙන් චිත්‍රපටි විස්තර ලබාගන්න පුළුවං.
මෙච්චරයි කරන්න තියෙන්නේ.

sudo apt-get install unity-scope-rottentomatoes



ටොරන්ට් හොයමු

වඩාත් ලේසියෙන් අපිට ඕනෙ කරන ටොරන්ට් ෆයිල් එක හොයාගන්න TPB එහෙම නැත්තං The Pirate Bay අඩවියෙන් ටොරන්ට් ෆයිල් ලබාගමු.
මෙහෙම කළාම හරි.

sudo apt-get install unity-lens-torrents unity-scope-piratebay




විකිපීඩියා Lens
නිතර දෙවේලේ ගොඩවදින් විශ්වකෝෂය විකිපීඩියාවටත් ගොඩවැදෙමු Dash හරහාම.
මෙන්න මෙහෙම ස්ථාපනය කරගමු.

sudo apt-get install unity-lens-wikipedia



You Tube වීඩියෝ හොයන්න.
අන්තර්ජාලයේ සැරිසරන අපි හැමෝම දවසකට සැරයක්වත් ගොඩවදින අඩවියක් තමා You Tube. ඒකේ තියෙන වීඩියෝත් Unity Dash හරහාම හොයමු.
මේකට වෙනම PPA එකක් එකතු කරගන්න වෙනවා.
පහත විධාන ටික දුන්නාම වැඩේ ලෙසටම ගොඩ.

sudo add-apt-repository ppa:atareao/lenses
sudo apt-get update
sudo apt-get install yavol scope-youtube




වැදගත්!!!

මේ හැම Lense/Scope එකක්ම වැඩ කරන්නටනම්, ස්ථාපනය කිරීමෙන් පසුව ඔබ Log Out වී නැවත Login විය යුතුයි. සමහර Lense/Scope සඳහා පරිගණකය ප්‍රථි පණගැන්වීමක් (Reboot) අවශ්‍ය වෙන නිසා රනා අනුමත කරන්නේත් ප්‍රථි පණගැන්වීමක්ම තමයි.
Terminal එකෙන්ම ඒකත් කරමු.

 
sudo reboot

ප්‍රථි පණගැන්විලා ආයෙමත් පරිශීලකයෙක් විදියට Login වුනාට පස්සේ Unity Dash එකට ගිහිං අපි ස්ථාපනය කරගත්ත ඒවට ගැලපෙන සෙවීම් Dash තුළ ඉඳලාම කරන්න පුළුවනි. කරලම බලන්න. ඔබට වැටහේවි ලිනක්ස් ඔබේ ජීවිතය කොච්චර පහසු කරනවද කියලා.

ඉවරයි කියලද හිතුවේ.
තව ඉවර නැහැ.
මේ වගේ එදිනෙදා අන්තර්ජාලයෙන් හොයන ගොඩක් දේවල් Unity Dash හරහාම හොයාගන්න පුළුවං වෙන Scopes/Lenses විශාල ප්‍රමාණයක් ගැන විස්තර සහ ඒවා ස්ථාපනය කරගන්න විදිය මෙතන තියෙනවා.

අපි ඉන්න Facebook, Twitter වගේ සමාජ ජාලවල instant updates, ලෝකේ ප්‍රමුඛම ප්‍රවෘත්ති වෙබ් අඩවි, පොත්, සිංදු, දින දර්ශන විතරක් නෙමේ ඉංග්‍රීසි/ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් පවා මේ ආකාරයට ස්ථාපනය කරගන්න පුළුවං.
ගිහිල්ලා බලලා කැමති එකක් ස්ථාපනය කරගන්න.

මීට දවස් දෙක තුනකට කළිං Microsoft ආයතනය Windows 8 මෙහෙයුම් පද්ධතිය නිකුත් කළානේ. මේ දවස්වල පරිගණක ලෝකේ රැල්ල තමයි Windows 8 මෙහෙයුම් පද්ධතිය හොය හොය ඉන්ස්ටෝල් කරගන්න එක. ඔරිජිනල් කොපි නෙමේ ඉතිං. හොරාට ගත්ත ඒවා තමා. මේ තියෙන්නේ නිදහස් මෘදුකාංග පදනමේ කීපදෙනෙක් Windows 8 නිකුත් කරපු දවසේ ඒ නිකුත් කරපු තැනටම ගිහිං කරපු වැඩක්. ලේසි නැහැ නේද...

හදිස්සියේ  Windows 8 මෙහෙයුම් පද්ධතිය මතක් උනේ මේකයි. රනාගේ මිතුරෙක්  Windows 8 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගත්තා එයාගේ පරිගණකයේ. එහෙම කරගෙන නිකම් හිටියේ නැහැ, තිස්සෙම ඒක ගැන වරුණාව. Facebook, Twitter updates දැං ලොග් නොවී කෙළිංම ගන්න පුළුවනි කියලා  Facebook status එකකුත් දාලා තිබ්බා. ඒක ඉතිං හෙණ ලොකු දෙයක්නේ. ලේසි පාසු වැඩක්ද ලොග් නොවී Facebook, Twitter updates බලන එක.

හැබැයි ඒක දැක්කම රනාට හිනා ගියේ වෙන මොකක්වත් හින්දා නෙමේ. ලිනක්ස් ඒ පහසුකම දුන්නේ 2011 අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳලා නිසයි. Gwibber Lens තමයි ඒ Lens එක. ඔය කතාව දැක්කම රනාගේ කට කහන්න ගත්තත් ඒ වෙලාවේ මොකුත්ම නොකිව්වේ මිනිස්සුංගේ ආතල් කඩන එක හොඳ වැඩක් නොවන හින්දමයි.
හැබැයි, ඒක විතරක් නෙමෙයි තව ගොඩක් වැඩ පුළුවං කියලා පෙන්නන්න තමයි මේ පෝස්ට් එක ලිව්වේ.

ලිනක්ස් ඔබේ ජීවිතය වඩාත් පහසු කරන එකට මීට වඩා තව සාක්කි ඕනෙද?

ජයවේවා ලිනක්ස්!!!

Sunday, April 8, 2012

Dual Boot අයිං කරමු... ජනෙල්ම තියමු!!! | How To Remove Linux!!!

ලිනක්ස් එක්ක ජනෙල් එහෙමත් නැත්තං Windows මෙහෙයුම් පද්ධති දෙකම එකට ස්ථාපනය කරලා, ඒ කියන්නේ Dual Boot කරලා තියෙන කොම්පියුටර් අද සාමාන්‍ය ප්‍රමාණයක් දකින්න පුළුවනි.

රස්සාව හරි එහෙමත් නැත්තං ඉගෙනීමේ කරුණු නිසා හරි Windows අතාරින්න බැරි, ඒවගේම ලිනක්ස් පාවිච්චි කරන්න බොහොම කැමැත්තක් ඇති උදවියට තියෙන හොදම විසදුම තමා Dual Boot කිරීම. Dual Boot කරලා තියෙද්දි තමන්ට Windows ඕනේ වෙලාවට Windows සහ ලිනක්ස් ඕනේ වෙලාවට ලිනක්ස් තෝරගෙන පාවිච්චි කරන්න පුළුවනි. ගොඩක් වෙලාවට ආසාවට ලිනක්ස් පාවිච්චි කරන උදවිය තමංගේ කොම්පියුටරේ Hard Disk එකෙං පොඩි ඉඩක්, උදාහරණයක් විදියට 320GB HDD එකකිං 40GB විතර වගේ කොටසක තමා ලිනක්ස් ස්ථාපනය කරගෙන ඉන්නේ. වැඩියම ලිනක්ස් පාවිච්චි කරන්නේ නැත්තං, ඒ වගේම ලිනක්ස් නොවන අනිත් පාටිෂන් පිරෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවට, ලිනක්ස් අයින්ම කරලා දාන එක තමා තියෙන එකම විසදුම.

ආරක්ෂිතව ලිනක්ස් ඉවත් කරන්නේ කොහොමද?

ඉස්සෙල්ලාම බලමු "අනාරක්ෂිතව ලිනක්ස් ඉවත් කිරීම" කියන්නේ මොකක්ද කියලා.
Dual Boot කරලා තිබ්බ කොම්පියුටරයකින් අනාරක්ෂිතව ලිනක්ස් අයිං කරන්න ගිහිං රනාට වෙච්ච සන්තෑසිය මතකයිනේ....
ඒ වැඩේ වෙලා තාම මාස 3ක්වත් නෑ.
එදා රනා මෙහෙම කිව්වා කියලා කාටද මතක?

"Windows තුළින් ගොස් සාර්ථකව ලිනක්ස් පාටිෂන් ඉවත් කළ හැකි ක්‍රමයක්ද ඉහත සොයා ගැනීම් සිදු කරද්දී රනාගේ ඇස ගැටුණි.
ඒ වෙලාවේ අවශ්‍යතාවය එය නොවූ නිසා වැඩිදුර පස්සෙන් පැන්නුවේ නැත.
පස්සේ වෙලාවක ඒකත් කරලා බලමු...."

එහෙනං එදා ඒ දීපු පොරොන්දුව ඉටුකරන්න තමා මේ උත්සාහ කරන්නේ.

Windows ඕනෙම සංස්කරණයක්, ඒ කියන්නේ Windows 98, Windows 2000, Windows XP, Windows XP SP1, Windows XP SP2, Windows Vista, Windows 7 කියන මේ ඕනෙම සංස්කරණයක් එක්ක සමාන්තරව ස්ථාපනය කරලා තියෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඉවත් කරනා ආකාරය තමා මේ පහතින් දක්වන්නේ.

මුලින්ම අවශ්‍ය කරන්නේ අදාළ Windows සංස්කරණය සහිත CD එකක් හෝ DVD එකක්.
උදාහරණයක් විදියට ඔබේ පරිගණකයේ තියෙන්නේ Windows 98 නම් Windows 98 CD තැටියක්. ඔබේ පරිගනකයේ තියෙන්නේ Windows 7නම් Windows 7 DVD තැටියක්.

පියවර 1
   
Windows 98දී...
 
1.   Command Prompt එකෙන් Boot කරගත යුතුය.

2.   ඉන් පසුව  :- fdisk /MBR විධානය ක්‍රියාත්මක කළ යුතුය.
3.   ඉහත විධානය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව exit විධානය ක්‍රියාත්මක කර Command Prompt එකෙන් ඉවත්විය යුතුවේ.

Windows 2000, Windows XP, Windows XP SP1, Windows XP SP2 යන මෙහෙයුම් පද්ධතිවලදී...
 
1.    CD තැටියෙන් Boot කර Recovery Console වෙත යා යුතුය.

2.    Recovery Console තිරය පහත පරිදි වේ. 

3.    එහිදී ඔබේ Administration Password එක ලබා දිය යුතු වේ. නැතිනම් ඔබට ලොග් විය නොහැක.
4.    ඉන් පසුව :- fixmbr විධානය ක්‍රියාත්මක කළ යුතුය.
5.    ඔබ එම විධානය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව ස්ථිර කිරීමට Y යතුර ඔබන්න.
6.   ඉහත විධානය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව exit විධානය ක්‍රියාත්මක කර Command Prompt එකෙන් ඉවත්විය යුතුවේ.

Windows Vista, Windows 7 යන මෙහෙයුම් පද්ධතිවලදී...
 
වැඩේ කරන විදිය මීට කළිං සවිස්තරව තියෙනවා. මේක තමා පහසුම ක්‍රමය.


පියවර 2

ඉහත ඔබ ක්‍රියාත්මක කරන ලද විධානයන්ගෙන් සිදුවන්නේ ලිනක්ස් හි GRUB Boot Loarder එක ආරක්ෂිතව ඉවත් කිරීමයි.
දැන් කොම්පියුටරය ReStart කළවිට Windows Boot Loarder එක මගින් කෙළින්ම Windows මෙහෙයුම් පද්ධතියට ඔබව යොමු කරයි.


පියවර 3
    
Windows හි ඇති Disk Management උපාංගය මගින් දැන් ඔබේ ලිනක්ස් පාටිෂන් සියල්ල ඉවත් කළ හැක. 
      
එම ලිනක්ස් පාටිෂන් එක තෝරාගෙන එය මකා දැමිය හැක.
ලිනක්ස් පාටිෂන්වල File Type එක Windows හට හදුනාගැනීමට නොහැකි බැවින් File Type එකක් නොපෙන්වන පාටිෂන් ලිනක්ස් පාටිෂන් ලෙස පහසුවෙන් හදුනාගත හැක.
      

ඉහත පියවර කීපය හරහා යාමෙන් වඩාත් පහසුවෙන් හා ආරක්ෂාකාරීව ඔබට Dual Boot ලෙස ඇති පරිගණකයකින් ලිනක්ස් ඉවත් කළ හැක.

වැඩිදුර:-
මේ දේවල් කොච්චර ලිව්වත්, කිව්වත් රනා තවමත් දකින්නේ ලිනක්ස් තියෙන පරිගණකයකින් එය ඉවත් කිරීම "මහා අපරාධයක්" ලෙසය.
එම නිසා අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර අනිත් කිසිම විටක එවන් "මහා අපරාධ" කිරීමෙන් වළකින්න.


ජයවේවා ලිනක්ස්!!!


මේ කරුණු හොයාගත්තේ අන්තර්ජාලයේ ඇතිවෙනකං කරක් ගැසීමෙනි. මෙම ක්‍රම සහ විධි සොයාගත් මුල් අයිතිකරුවන්ට පිං සිදු වේවා.
ලිපියට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගත්තේ
ඉල්ලන පරක්කුවෙන් මේ වෙබ් අඩවි ලබාදුන් ගූගල් දෙයියන්ට ජයවේවා!!!

Monday, March 26, 2012

කොපි කිරීම.... | How To Copy Properly...

රස්සාවට කම්පියුටර් ප්‍රෝග්‍රෑමිං කරන බුවෙක් දවසක් වෙරළේ ඇවිදගෙන යනවළු.
බුවා ඔහොම යනකොට ටිකක් සයිස් ගෙම්ඹියෙක් වෙරලේ ඉන්නවා දැක්කළු.
බුවාව දැක්ක ගෙම්ඹි පොරට මෙහෙම කිව්වළු.
"ඔයා මාව කිස් කළොත් මම ඔයාගේ Girl Friend වෙලා ඔයාව කසාද බදිනවා..."
ප්‍රෝග්‍රෑමිං බුවා පට්ට කොරළු ගෙම්ඹිගේ මේ ටෝක් එකට.
පොර ගෙම්ඹිව සාක්කුවේ දාගෙන වෙරළ දිගේ ඇවිදගෙන යනවළු.
ගෙම්ඹි ආයෙත් වතාවක් පොරට කියනවළු "ඔයා මාව කිස් කළොත් මම ඔයාගේ Girl Friend වෙලා ඔයාව කසාද බදිනවා..."
ප්‍රෝග්‍රෑමිං බුවාගෙං නැල්ලු කිසිම උත්තරයක්.

පොර ගෙම්ඹිව සාක්කුවෙං එළියට අරගෙන ගෙම්ඹි දිහා බලලා හිනාවක් දාලා ආයෙත් සාක්කුවට දාගත්තළු.
ටික දුරක් මෙහෙම යන කොට ගෙම්ඹිට පට්ට මළලු මේකා ඌව කිස් කරන්නේ නැති සීන් එකට.

ඊට පස්සේ ගෙම්ඹියි ප්‍රෝග්‍රෑමිං බුවයි අතරේ සංවාදේ මෙහෙමළු...

ගෙම්ඹි :- ඇයි ඔයා මාව කිස් කරන්නේ නැත්තේ!!!
ප්‍රෝග්‍රෑමිං බුවා :- මම ප්‍රෝග්‍රෑමර් කෙනෙක්. මට Girl Friendලා වයිෆ්ලා එක්ක ඉන්න වෙලාවක් නෑ. ඒත් කතාකරන ගෙම්ඹියෙක් තියාගෙන ඉන්න එක පට්ට ආතල්....

Tuesday, February 14, 2012

ඉවසපං !!!!! | STICK OUT !!!!!


තරුණ සංගීත කණ්ඩායමක් වන Draw Links විසින් ගායනා කරණු ලබන "ඉවසපං..." ගීතය පසුගිය දිනක යළිත් ලේඛකයා විසින් අසනු ලද්දේය. එම ගීතය නිකුත් කළ 2010 වසරේ සිට මේ දක්වාම එම ගීතය ලේඛකයා සාමාන්‍යයෙන් අසන ගීත ගොන්නේ තිබේ. එම ගීතයේ සංගීත සංයෝජනය හේතුවෙන් එසේ වෙන්නට ඉඩ ඇති බව ලේඛකයාගේ මතයයි. කෙසේ වෙතත් මේ සැරසුම එම ගීතය ඇසුරෙන් වර්ථමාන ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ ශෝකාන්තය ගෙනහැර දැක්වීමටය.

මෙම ගීතයේ ගේය පද රචකයා නිශ්චිතවම කිව නොහැක. කණ්ඩායම් ගීතයක් බැවින් ගේයපද රචනය, සංගීත සංයෝජනය සහ ගායනය යන මේ කරුණු ත්‍රිත්වයම එකී Draw Links සංගීත කණ්ඩායමේ පොදු ගිණුමට බැර වේ.

ලේඛකයාගේ අදහසට අනුව වර්ථමාන ශ්‍රී ලාංකීය තරුණයන්ගේ ඉච්ඡා භංගත්වය, සමාජය විසින් ඔවුන් කෙරෙහි ඇති කරන ලද පීඩනය, නියමාකාර අධ්‍යාපනයක් නොලැබීම,  තම අනාගතය අවිනිශ්චිතභාවයෙන් පිරී තිබීම වැනි කරුණු රාශියක් මේ ගීතයේ පදවැල් අතරින් යහමින් තෝරා බේරා ගත හැක. ඉතාම සරළ එමෙන්ම විශේෂයෙන්ම තරුණ පිරිස අතර බහුල වශයෙන් භාවිත වන එනම් "ඉලන්දාරි ශබ්ද කෝෂයේ" ඇති වචන බොහොමයක් මේ ගීතය තුළ අඩංගු නමුත් ඒ වචනවලින් ගීතයට ගෙන එන්නේ අමුතුම හැඩතලයකි. එමෙන්ම එකී වචන හේතුවෙන් ගීතයේ ගලායාමට හෝ එහි අර්ථයට කිසිදු ආකාරයේ අවැඩක් සිදුවී නැත යන්න ලේඛකයාගේ පෞද්ගලික මතයයි. ගීතයේ පදවැල් සියල්ල හරහා ගමන් කිරීමෙන් මේ බව උදාහරණ සහිතවම දැක්විය හැක.

ගීතයේ පළමු පද්‍ය පහත පරිදිය.

අවුරුදු දහනමයයි අපි තවම සුන්දරයි
ඉපදුණු දවසේ ඉදං වැඩ සින්දුවෙන් තමයි
ඒ ලෙවලුත් ඉවරයි අපි හිටියා වගේමයි
සිංදු හදනව හදනව හිට් වෙන්නෑ අයියෝ....

වයස අවුරුදු 19 යනු තාරුණ්‍යයේ එළිපත්තයි. ශ්‍රී ලංකාවේදීනම් පාසල් අධ්‍යාපනය හමාර කර තරුණ ප්‍රජාව සමාජයට මුහුවන්නේ මේ වයසේදීය. ඒ උසස් අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවක් කිරීමට යනුවෙනි. මෙහිදී "සුන්දරයි" යනුවෙන් අදහස් කරන්නේ ජීවිතයේ ඇති බරපතළ ස්වභාවය තවමත් අවබෝධ කර නොගත් බවයි. ඒ පිළිබදව තර්කයක් නැත. අගනුවර හෝ තදාසන්න ටවුන්වල වාසය කරනා සංඛ්‍යාවෙන් බොහෝ අධික තරුණ පිරිසක් අවුරුදු 19, 20, 21 වන තුරුම වාසය කරනුයේ දෙමව්පියන්ගේ වියදමෙනි. මෙය ඉහළ පාන්තික, ඉහළ මධ්‍යම පාන්තික සහ පහළ මධ්‍යම පාන්තික සමාජයන්හි බොහෝ විට දැකගත හැකි තත්වයකි. දෙමව්පියන් කන්න, අදින්න සියල්ල කෙසේ හෝ සපයා දෙනවිට තම ජීවිතය අතිශය සුන්දර යැයි සිතීමේ අරුමයක් ලේඛකයා දකින්නේ නැත. පද්‍යයේ සදහන් වන පරිදි "ඉපදුණු දවසේ ඉදං වැඩ සින්දුවෙන් තමයි" වුවද එය හරියට නොහැකි බව ඊළග පද දෙකෙන් පැහැදිලි කර දීමට ගේය පද රචකයා සමත් වේ. අ.පො.ස උසස් පෙළ විභාගය අවසාන වී ඇතිමුත් "හිටියා වගේමයි" යන්නෙන් අදහස් වන්නේ එයින් සාර්ථකත්වයක් ලැබ නැති බවයි. අවසාන පේළියේ එන "සිංදු හදනවා හදනවා හිට් වෙන්නෑ අයියෝ...." මගින් ඔවුන් මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න තත්වය පිළිබදව කරුණු පැහැදිළි කරයි.

නූතන ශ්‍රී ලාංකීය තරුණයාගේ කතාවද මීට සමාන වේ. අ.පො.ස උසස් පෙළට මුහුණ දෙන තරුණයන්ගෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේ අතිශයින් සුළු ප්‍රමාණයක් වන අතර සෙසු බහුතරය "හිටියා වගේම" වීම මෙම සමාජයේ සාමාන්‍ය තත්වයකි. එමෙන්ම තමන් කරනා කටයුත්තේ ඔවුන් අසාර්ථකවීමද නිරන්තරයෙන් සිදුවන්නකි. ගීතයේ පළමු පද්‍යයෙන්ම තමන්ගේ සත්‍ය තත්වය පිළිබද යම් තොරතුරක් ප්‍රකාශ කරනු ලබයි. උසස් අධ්‍යාපනයත් නොලබන, රැකියාවක් නොකරන තාරුණ්‍යය වෙත සමාජයෙන් ඇතිවෙන පීඩනය මේ මගින් දැකගත හැකි වේ.

මීලගට ඇත්තේ සමූහ ගායන කොටසයි. එහි වදන් පහත පරිදි වේ.

ඉවසපං, තව හිටපං, තව එකක් කරල බලමු
බැරිමනං හොයල බලලා හොද කොප්පක්වත් ගහමු
උදේ ඉදං හෙට එළි වෙනකං මේකට ගිටාර් ගහලා කියමු
පොට්ටෙටවත් හිට් උනොත් වීඩියෝ එකකුත් අපි කරමු....

මෙහි මුළුමනින්ම ඇත්තේ තරුණයක් පිරිසක් එකිනෙකා සනසා ගැනීමකි. තරුණ පිරිසක් එක්ව යම්කිසි කර්තව්‍යයක් ඉටුකර එය වැරදී ගියතැන හෝ අසාර්ථක වූ තැන එකිනෙකා සනසා ගන්නා වදන් මාලාව මෙහි මුල් පදයෙන් දැක්වේ. එමෙන්ම තරුණයන් තුළ පවත්නා කෙසේ හෝ "තමන්ට අවශ්‍ය කාර්යය කරගැනීමේ වේතනාව" දෙවන පදයෙන් දක්වයි. උනන්දුව හා කැපවීම ක්‍රියාවෙන් කෙසේවෙතත් වචනවලින් ඉතා විශිෂ්ඨ ලෙස ඉදිරිපත් කිරීම නූතන තාරුණ්‍යයේ සෝබන ගතියකි. එය තෙවන පදයෙන් මොනවට පැහැදිලි කරන අතර තමන් කරන කාර්යය පිළිබදව තමන්ටවත් නියමාකාර විශ්වාසයක් නොමැතිබව සහ ඒ මත ෆැන්ටසි නිර්මාණය කිරීමේ පොදු තරුණ ගතිය අවසාන පදයෙන් පෙන්නුම් කරයි. මෙහිදී ගීතය නිර්මාණය කිරීම සදහා එළිසමය ඇති කරන නමුත්, සාමාන්‍යයෙන් ගේය පද රචකයන් භාවියා නොකරන භාෂා විලාසයක් මෙම රචකයා භාවිතා කරයි. එය ඉතා නිර්භීත පියවරක් වන අතර යම්තාක් දුරකට සාර්ථක වී ඇති බව ලේඛකයාගේ මතයයි.

වර්ථමාන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයටද අවශ්‍ය ක්ෂණිකව සෑම දෙයක්ම සිදු කරගැනීමටය. ක්ෂණිකව ධනවතුන් වීමට, ක්ෂණිකව ප්‍රසිද්ධියට පත්වීමට යනාදී කරුණු සදහා ක්ෂණික මාර්ග සෙවීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යය බොහෝ විට සිදුකරයි. කාලයක් තිස්සේ යම් දෙයක් කර ඉන් මනා පරිචයක් ලබා ගැනුමට වඩා ක්ෂණිකව "පොරක්" වීමට බොහෝ දෙනා උත්සාහ කරයි. නමුත් ඒ ක්ෂණිකව අත්කරගන්නා පොරත්වය ක්ෂණිකවම නැතිවී යනබව නොවැටහීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අභාග්‍ය සම්පන්නභාවය පැහැදිළි කරයි. තමන්ගේ දෙයක් හරියන්නේ නැත්තං "මාට්ටු වෙන්නේ නැති විදියට කොප්පක් හරි ගැහීම" මෙය මනාව විද්‍යාමාන කරයි(කොප්ප ගැසීම යනු කොපි කිරීම යන වදනේ ඉලන්දාරි ඉදිරිපත්කිරීමයි). එමෙන්ම තමාට තමා පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැතිවීම සහ හැකිතාක් වෙන කෙනෙක් මත යැපීම, හැකි සෑම විටම ශේප් න්‍යාය අනුගමනය කිරීමට තරම් ආත්මාර්ථකාමීවීම නූතන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ගති ලක්ෂණයි. පද්‍යයේ දෙවන පදයෙන් මේ සියල්ල ඉදිරිපත්වේ.

සෙට් එකේ හයක් හිටියා දැං ඉන්නේ පස් දෙනයි
එදා ඉදං අපි හිටියේ වෙන වෙන ලෝකවලයි
වීඩියෝ කරන්න සල්ලිත් නෑ අපි පුංචි ළමයි
මේ සිංදුවවත් අපෙ හිට් වෙයිදෝ... වෙයිදෝ...


කණ්ඩායමක් නිශ්චිත අරමුණකින් තොරව කටයුතු කිරීමේදී එහි සාමාජිකයින් හැලී යාම පොදු තත්වයකි. පද්‍යයේ මුල් පද දෙකින් එම තත්වය පැහැදිලි කරයි. එමෙන්ම තමන්ගේ සත්‍ය තත්වය යම් තරමකට හෝ අවබෝධකරගෙන සිටිනු තෙවන පදයෙන් පැහැදිලි කරයි. නමුත්, තමන් යුගයේ ජනප්‍රියතම ගායන කණ්ඩායම වීමේ ෆැන්ටසිය සිත් තුළ හොල්මන් කිරීම නිරන්තරයෙන් සිදුවේ. ගීතයේ පරිදි අවසාන බලාපොරොත්තුව වන්නේ හොද නිර්මාණයක් කිරීම නොව සිංදුව "හිට්" කරගැනීමයි. එනම් ප්‍රසිද්ධවීමයි.

ගීතයෙන් ඉදිරිපත්කරනා මෙම තත්වය නූතන ශ්‍රී ලාංකීය තාරුණ්‍යය සමග සසදා බැලීමේදීද සමානකම් විශාල ප්‍රමාණයක් දැකගත හැක. කණ්ඩායමක් වශයෙන් එක්ව කටයුතු කරනා විටදී බොහෝවිට තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකරගැනීමට වෙහෙසීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යය ගිලගත් ශෝචනීය තත්වයකි. එම හේතුව නිසා කණ්ඩායමේ සාමාජිකයන් අතර විරසකයන් ඇතිවීම හා සාමාජිකයන් කණ්ඩායම හැරයෑම සාමාන්‍ය තත්වයකි. එමෙන්ම තමන්ට අවශ්‍ය ජීවිතය ගතකිරීම සදහා අවශ්‍ය සමාජ, ආර්ථික, සංස්කෘතික ශක්තිය නොමැතිවීමද ශ්‍රී ලාංකීය තාරුණ්‍යය හමුවේ ඇති ගැටළුවකි. ශ්‍රී ලංකාවේ බොහෝ තරුණයන්ට අවශ්‍ය හොලිවුඩ් හෝ බොලිවුඩ් චිත්‍රපටයන්හි පෙන්වන තරුණයන්ගේ හා සමාන ජීවන තත්වයකි. නමුත් සත්‍යයම තත්වය නම් ඒ සදහා අවශ්‍ය සමාජමය, ආර්ථිකමය, සහ සංස්කෘතිකමය ශක්තිය මෙරට සමාජය තුළ නොමැති වීමයි. මේ හේතුවෙන් ඉච්ඡාභංගත්වය ඇති වේ. "මෙහේ වගේ නෙමේ ජර්මනියේ හුළගත් සැපයි!!!" කියා බොහෝ තරුණ පිරිස් කෙසේ හෝ වළිකා විදේශ ගතවන්නේ මේ සමාජ, ආර්ථික, සංස්කෘතික රාමුවෙන් මිදී තමන්ගේ ෆැන්ටසියේ ඇති සමාජ, ආර්ථික, සංස්කෘතික රාමුවට අනුගතවීමටය. නමුත් එම කරුණේදී සාර්ථකවන්නෝ බොහෝ සුළු ප්‍රමාණයකි.

කෙල්ලෝ ගැන ලිව්වා අපි ආදරේ ගැන ලිව්වා
රැප් කරලත් කිව්වා කෙල්ලො දම්මවලත් කිව්වා
කෑ ගහලා කිව්වා හැම මගුල ගැනම කිව්වා
දැං බලපංකෝ චික් මේකෙත් උං ගැන කියලා...


තමන්ගේ සිහිනය එළිකරගැනීම සදහා දන්නා සෑම දෙයක්ම කිරීම ඉහත පද්‍යයෙන් මනාව ගම්‍ය වේ. "සිංදුවක් හිට් කරගැනීමට" සිදුකළයුතු සෑම දෙයක්ම සිදුකළත් "සිංදුව හිට් නොවීම" මෙහි ඇති ගැටළුවයි. තමා සතු සියළු උපක්‍රම අවසන්වුවත් තවමත් ප්‍රතිඵල රහිත වූ විට ඇතිවන ඉච්ඡාභංගත්වය මෙහි වචන වලින් මනාව ග්‍රහණය කරගත හැක.

නූතන තාරුණ්‍යය සමාජමය වශයෙන් මුහුණ දෙන ප්‍රධානම ගැටළුව මෙහි දක්වා ඇත. එනම් මොන දේ සිදු කළත් ඉන් නියම ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි වීමයි. වර්ථමාන තරුණයා පාසල් අධ්‍යාපනයෙන් පසු නොයෙක් දිශාවන්ට යොමු වුවත් ඉන් සාර්ථකත්වයක් නොලැබීම මෙහි විස්තර වේ. එමෙන්ම කාලයෙන් කාලයට තාරුණ්‍යය වසා ගන්නා රැළි හේතුවෙන්ද මේ තත්වය උදා වේ. උදාහරණයක් ලෙස මීට වසර කීපයකට ඉහත කාලයකදී පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු නීති ප්‍රවේශ විභාගය කිරීමේ රැල්ලක් විය. වර්ථමානයේ පරිගණක පාඨමාලා හැදෑරීමේ රැල්ලකි. එමෙන්ම හෝටල් කළමනාකරණ රැල්ලද තාරුණ්‍යය හරහා යමින් පවතී. මේ සියල්ල කළත් තරුණයා ඉන් කිසිවක කෙළවරක් දකින්නේ නැත. තමා යා යුතු දිශාව පිළිබද නිශ්චිත අරමුණකින් තොර ඔහු අතරමගදී වෙන රැල්ලකට හසුවී ගසාගෙන යාම සිදුවේ. අවසානයේදී "නොකරපු දේකුත් නැති, පුළුවන් දේකුත් නැති" ඉච්ඡාභංගත්වයෙන් පිරි පුද්ගලයෙක් සමාජයට පැමිණෙන අතර මොනවා හෝ දෙයක් සිදුකර ජීවත් වීම ඔහු සිදුකරයි. තමන්ට කියා ස්ථිර දැක්මක් නොමැතිවීම හෝ එවන් දැක්මක් සදහා තමන්ව යොමුකරනා නායකත්වයක් නොමැතිවීම මේ අර්බුධයට ප්‍රධානතම හේතුව වේ. ශෝචනීයම කරුණනම් ශ්‍රී ලාංකීය තාරුණ්‍යය  මේ ගැටළුවේ කරවටක් එරී සිටීමයි.

ඉදල ඉදලා කොහෙට හරි අපි සෙට් වෙනවා
කකා ඉදලා ඉදත් පිස්සු නටලා යනවා
දවසක් රෑ නමයට මම මේ සිංදුව ලිව්වා
කෝල් කරල මේ සිංදුව සෙට් එකටම කිව්වා


තමන් ස්ථිර අරමුණකින් තොරව ඉබාගාතේ සැරිසරණා බව මෙම පද්‍යයෙන් දක්වයි. "ඉදල ඉදලා කොහෙට හරි අපි සෙට් වෙනවා, කකා ඉදලා එදත් පිස්සු නටලා යනවා" යන දෙපදෙන් එය පැහැදිලි වේ. ප්‍රසිද්ධවීමට, ජනප්‍රියවීමට තමන් ඉතාමත්ම කැමති නමුත් ඒ සදහා අවශ්‍ය කැපවීම සිදුකිරීමට තමන් අකමැතිවීමද මේ අතරම පෙන්නුම් කරයි.

නූතන තාරුණ්‍යයද මේ ව්‍යාධියෙන්ම පෙළෙයි. ඉක්මනින් ධනවත්වීමට, ප්‍රසිද්ධවීමට දැඩි ආශාවක් ඇතිමුත් ඒ සදහා අවශ්‍ය කැපවීම සිදුකරන්නෝ ඉතා අල්පයකි. බොහෝ විට සිදුකරන්නේ එළෙසින් කැපවීමෙන් කටයුතු කරනා කෙනෙකු දුටු විට එම පුද්ගලයාවද අධෛර්යයට පත් කරවන සිදුවීම් සිදු කිරීමයි. බොහෝ තරුණ තරුණියන්ද මෙළෙසින් හැසිරීම අභාග්‍යයට කරුණකි. එමෙන්ම රැකියා ස්ථානයන්හිදී තමාගේ හෝ ආයතනයේ හෝ ඉදිරි දියුණුවක් පිළිබදව අවධානය යොමු නොකොට රැකියාවට යා යුතු හෙයින් යනෙන ලෙසට සිටින තරුණ පිරිස්වලින්ද මෙරටට අඩුවක් නැත. පෞද්ගලික අංශයේදී මේ තත්වය යම්තාක් දුරට අවම වුවත් රාජ්‍ය අංශයේදීනම් මේ කරුණ පිළිබදව ඕනෑ තරම් උදාහරණ දැක්විය හැක.

ශ්‍රී ලාංකීය තාරුණ්‍යය වර්ථමානයේදී මුහුණ දී ඇති ගැටළු සදහා වන සම්පූර්ණ වගකීම ඔවුන් මතම පැටවීම කිසිසේත් යුක්ති සහගත නොවේ. 1970 දශකයේ මුල සිටම තාරුණ්‍යය මෙම ගැටළු වලින් පීඩනයට පත්වූ අතර එකී පීඩනය ඔවුන් මුදාහරින ලද්දේ රාජ්‍ය බලය පැහැර ගැනීම සදහා වන සන්නද්ධ අරගල දෙකක් මගිනි. එම ක්‍රමය මුළුමනින්ම අසාර්ථක වූ අතර සිදුවූ එකම කරුණ වූයේ විශාල තරුණ ජීවිත ප්‍රමාණයක් රටට අහිමිවීම  සහ රටේ ජන ජීවිතය අඩාල වීම පමණි. එකී සන්නද්ධ අරගලයන්ගෙන් පසුව බලයට පැමිණි රජයන්ද තාරුණ්‍යයේ උන්නතිය වෙනුවෙන් දැනෙන යමක් සිදු නොකළ අතර සිදු කළ එකම දෙය වූයේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවාගැනීම සදහා තාරුණ්‍යය බළල් අතක් කරගැනීම පමණකි. එකී සේවයට කළගුණ සැළකීමක් ලෙස රැකියා ලබාදීම සිදුකළ අතර වර්ථමානයේ බිහිවී ඇති මුළුමනින්ම අදේශපාලනික ආත්මාර්ථකාමී තාරුණ්‍යය එකී ක්‍රියාදාමයේ ප්‍රතිඵලය වේ. වර්ථමාන සමාජ ආර්ථික රටාව අනුව මෙම ක්‍රමය පෙනෙන තෙක්මානයේදී වෙනස් නොවන අතර තාරුණ්‍යය ගිලගෙන ඇති ගැටළුද සදාකාලිකව එළෙසම පවතිනු ඇතැයි ලේඛකයා විශ්වාස කරයි. තමන්ට සාධාරණයක් ඉටුකරගැනීමට තාරුණ්‍යයට අවශ්‍යතාවයක් නොමැති අතර වෙන කවුරුන් හෝ එය ඉටුකර තමන් වෙත එය ගෙන දෙනවාට ඔවුන් දැඩි ප්‍රියතාවයක් දක්වයි. සැබෑ කරුණ නම් වර්ථමාන තාරුණ්‍යයට තමාගේ සහ අනෙකුත් තරුණයන්ගේ අරමුණු වෙනුවෙන් පාරට බහිනවාට වඩා සවසට ගෙදර පැමිණ Facebook එකේ status update කිරීම සහ photo එකක් share කිරීම වැදගත් හා අත්‍යාවශ්‍ය වීමයි. අනෙකාට කුමක් සිදුවුවත් තමාගේ කාර්යය කෙරේනම් කමක් නැතැයි සිතන තරම් ආත්මාර්ථකාමී ස්ථානයකට තාරුණ්‍යය තල්ලුවී යෑම කෙතරම් අභාග්‍යසම්පන්න සිදුවීමක්ද?

Draw Links සංගීත කණ්ඩායම ගායනා කරන ඉහත ගීතය ලේඛකයාගේ සිත් ගැනීමට තවත් ප්‍රධානතම හේතුවක් නම් එහි උපයෝගී කරගෙන ඇති වේග රිද්ම සංගිතයයි. වේග රිද්ම වුවද එම සංගීතය මනාව පාලනය කිරීම හේතුවෙන් කොපමණ හඩ උස්කර ශ්‍රවණය කළත් එම ගීතයෙන් කණට අපහසුතාවයක් ඇතිවන්නේ නැත (ලේඛකයා මෙහි සදහන් කරන්නේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමයි. මෙය පුද්ගලානුබද්ධව වෙනස් විය හැක). එමෙන්ම මෙම ගීතයේ ශක්තිය(weight) ඉතා ඉහළ වන අතර මෙම ගීතය ශ්‍රවණය කරනා විට එය මනාව ශරීරයට දැනීමද සිදුවේ. එමෙන්ම මෙම ගීතය සදහා නිර්මාණය කර ඇති වීඩියෝවද ගීතයේ රිද්මයටම අනුකූල වන ලෙස නිර්මාණය කර ඇති අතර ගීතයෙන් ශරීරයට ලබා දෙන ප්‍රවේගය එළෙසින්ම වීඩියෝවෙන්ද ලබාදීම හෝ තීව්‍ර කිරීම සිදුකරයි. ඒනයින් බලන කළ ජනප්‍රිය වීම කෙසේ වෙතත් නිර්මාණාත්මක අතින් මේ ගීතය සාර්ථකය.

නූතන ශ්‍රී ලංකාවේ පවතින සමාජ, ආර්ථික, දේශපාලන තත්වය හේතුවෙන් ඉච්ඡාභංගත්වයට, අපේක්ෂාහීනත්වයට පත්ව සිටින තාරුණ්‍යය පිළිබදව කෙරෙන මනා විවරණයක් සහිත විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස මෙම ගීතය ලේඛකයා වර්ග කරයි. සැබැවින්ම තාරුණ්‍යය මුහුණ දී ඇති ගැටළු මේ තරම් සාර්ථකව විග්‍රහ කරනා වෙනත් ගීතයක් 2000 දශකයේදීම ලේඛකයාට හමුවී නැත. නූතන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට ඇති බොහෝ ගැටළු මේ ගීතය මගින් ස්පර්ශ කර ඇති අතර එය කොපමණක පිරිසක් වටහාගත්තාදෝ යන සැකය ලේඛකයා තුළ ඇත. තමන් දකින අනතුරක් පිළිබදව සමාජය දැනුවත් කිරීම සමාජ මෙහෙවරකි. මේ ලිපිය ලියැවුනේ එකී සමාජ මෙහෙවර ඉටුකිරීම වෙනුවෙන්මය.

Thursday, February 9, 2012

Ubuntu 10.04 මතදී Firefox 10 ප්‍රතිස්ථාපනය කරමු | How to Reinstall Firefox 10 on Ubuntu 10.04

හෙඩිම දැක්ක ගමන් හැමෝම වගේ දන්නවා මොකක්ද කරන්න යන වැඩේ කියලා.
Ubuntu සහ Firefox...
නිකං ජාඩියට මූඩිය, ඉදිකටුවට නූල, ශ්‍රී ලංකාවට ක්‍රිකට් වගේ එකම පීල්ලේ එකම පැත්තට යන විවෘත සහ නිදහස් මෘදුකාංග දෙකක්.
නිකමට වගේ දෙන්නා ගැන පොඩ්ඩක් හොයලා බලමු...

මොකක්ද මේ Firefox...
සුප්‍රකට Mozilla සමාගමේ සාඩම්බර නිශ්පාදනයක්. විවෘත සහ නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න කට්ටිය. 2009 ජනවාරි ඉදලා අද මේ වෙනකම්ම ලෝකේ ජනප්‍රියතම වෙබ් බ්‍රව්සරය. අලුත්ම සංස්කරණය තමා Firefox 10.0. වෙන කොච්චර වෙබ් බ්‍රව්සර් තිබ්බත් මේක තමා රනාගේ ප්‍රියතම බ්‍රව්සරය.

ඊළගට බලමු Ubuntu...
සුප්‍රකට Canonical සමාගමේ නිශ්පාදනයක්. ලෝකේ දෙවෙනියට ජනප්‍රියතම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතිය. විවෘත සහ නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ මෙහෙයුම් පද්ධතියක්. ස්ථාපනය කරන්න (install), වැඩ කරන්න, පෙනුම වෙනස් කරන්න ලේසිම සහ පාවිච්චි කරන්න ආසම හිතෙන මෙහෙයුම් පද්ධතියක්. රනාගේ ප්‍රියතම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් Ubuntuම තමා.

මොකක්ද දැං මේ කරන්න යන්නේ....


සිද්ධියේ නිධාන කතාව මේකයි.

රනා තවමත් පාවිච්චි කරන්නේ Ubuntu 10.04 Lucid Lynx මෙහෙයුම් පද්ධතිය. මේක එළිදැක්වුවේ 2010 අප්‍රේල් මාසෙදි. අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනස් නොකර මේකම පාවිච්චි කරන්න මූලිකම වෙච්ච හේතුව තමා Ubuntu 10.04 කියන්නේ LTS Version එකක් වීම.
 
මොකක්ද මේ LTS සහ Normal Release කියන දෙකේ වෙනස!

මොකක්ද Normal Release කියලා කියන්නේ?

Normal Release එහෙමත් නැත්තං සාමාන්‍ය සංස්කරණයක් සදහා Canonical ආයතනය මාස 18ක කාලයක් සහය ලබාදෙනවා. උදාහරණයක් විදියට ගිය අවුරුද්දේ ඔක්තෝම්බර්වලදී එළිදැක්වුව Ubuntu 11.10 මෙහෙයුම් පද්ධතියට සහය දක්වන්නේ මාස 18ක කාලයක්. ඒ කියන්නේ 2013 ජූනි මාසයේදී Ubuntu 11.10 කියන මෙහෙයුම් පද්ධතියට Canonical ආයතනය මගින් ලබාදෙන සහයෝගය අවසන් වෙනවා.
සහයෝගය ලබා දෙනවා කියන්නේ විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන කිරීම ලබාදීම. මෙහෙයුම් පද්ධතියේ දෝෂ සහ ආරක්ෂක උපක්‍රම නිරන්තරයෙන් අළුත්වැඩියා කරන අතර ඒ අළුත්වැඩියාවන් නොමිලේම පරිශීලකයන්ට ලබාදීම සිදුකරනවා. ඒ වගේම Ubuntu මෙහෙයුම් පද්ධතියේ ඇති වෙනත් වාණිජමය මෘදුකාංගවල කොන්ත්‍රාත් කාලයත් මේ සහයෝගය ලබාදෙන එකට අයිතියි. මාස 18කින් පස්සේ Canonical සහයෝගය අවසන් වෙනවා කියන්නේ අර කළිං කියපු සහය පරිශීලකයාට තවදුරටත් ලබාදෙන්නේ නෑ කියන එක.

එතකොට මොකක්ද මේ LTS?

LTS කියන එකේ තේරුම Long Term Support. ඒ කියන්නේ දිගු කාලයක් Canonical සහය ලබාදෙනවා කියන එක. LTS සංස්කරණයක් සදහා අවුරුදු 3ක කාලයක් Canonical ආයතනය තමන්ගේ සහය ලබා දෙනවා. Ubuntu Desktop සංස්කරණයක් සදහා පසු සහය අවුරුදු 3ක කාලයක් වගේම Ubuntu Server සංස්කරණයක් සදහා අවුරුදු 5ක කාලයක් මේ LTS නිකුතුවකදී පසු සහය ලබාදීමට Canonical ආයතනය බැදී සිටිනවා. ඒ වගේම රනා අත්දැකීමෙන් දන්න දෙයක් තමා Normal Release එකකට වඩා LTS Release එකක ස්ථාවරභාවය (Stablity) වැඩිවීම.

මේ හේතූන් නිසා තමා රනා තාමත් 2010 අප්‍රේල්වලදී නිකුත්කළ Ubuntu 10.04 Lucid Lynx මෙහෙයුම් පද්ධතියම පාවිච්චි කරන්නේ.

ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමග පෙරනිමියෙන්ම එන අටෝරාසියක් මෘදුකාංග අතරේ වෙබ් බ්‍රව්සරය විදියට ගොඩක් වෙලාවට පැමිණෙන්නේ Firefox. මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන කාලේ වෙනකොට තියෙන අලුත්ම Firefox සංස්කරණය එහිදී ලබාගන්න පුළුවනි. මේ විදියට රනා පාවිච්චි කර කර හිටපු 10.04 මෙහෙයුම් පද්ධතිය එක්ක තිබ්බේ Firefox 3.6.3 කියන සංස්කරණය.

Goolge Chrome බ්‍රව්සරය මගින් තමන්ගේ වෙබ් බ්‍රව්සර් අධිරාජ්‍යයට එල්ල කරන දැඩි තර්ජනය නිසාම අවුරුද්දක් වගේ ඉතා කෙටි කාලයක් ඇතුළත Firefox 4.0 සංස්කරණයේ සිට Firefox 10.0 සංස්කරණය දක්වා සීඝ්‍ර ගමනක් යන්නට Mozilla ආයතනයට සිදුවුනා. Firefox වෙනස් වෙන වේගෙට වෙනස් නොවිච්ච රනා පුරුදු විදියට Firefox 3.6ම පාවිච්චි කර කර හිටියා. වැඩි අවුලක් නෑ.

ඔහොම ඉද්දි තමා Google+ කාරයා අලුතෙන් ගේම්ස් වගයක් හදුන්වලා දුන්නේ. ගේම් ගහන්න රනාත් හරි කැමතියි. ඉතිං Google+ එකේ ගේම් ගහන්න ගියාම රනාට මොකද උනේ? බ්‍රව්සරේ පරණයි, ගිහිං අලුත් එක දාගෙන එන්න කියලා Google+ ගොයියා කිව්වා. 
අපොයි!!! 
කාලා වරෙංකෝ දැං ඉතිං.

Firefox යළි ස්ථාපනය කරන්න පුළුවං විදි ගොඩක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ඉවත්කරලා නැවත පිහිටුවන්නත් පුළුවං. ඒත් බුක්මාර්ක් කරගන්න වෙබ් අඩවි බර ගාණක් තියෙන නිසා ඒ ක්‍රමේ හරියන්නේ නෑ. එහෙනං මොකක්ද කරන්නේ?

මේ වෙලාවේදි තමා රනාට Terminal එක පිහිටට ආවේ. රනාගේ සහ Terminal එකේ සම්බන්ධය ගැන මීට කළිනුත් රනා කියලා තියෙනවා.
කළිං තිබ්බ settings ඒ විදියටම තියාගෙන අලුත්ම සංස්කරණයට බොහොම ලේසියෙන් Terminal එක හරහා පිවිසෙන්න පුළුවනි. 

මේ තියෙන්නේ ඒ ක්‍රමය.
මේක ක්‍රියාත්මක කරන්නනං අන්තර්ජාල සම්බන්ධතාවක් තිබීම අනිවාර්ය කරුණක්.

මුලින්ම Terminal එක ගන්න ඕනේ.

අලුත් විදියකට Terminal එක ගෙන්න ගමු.
Alt + F2 ටයිප් කළාම එන කව්ළුවේ gnome-terminal කියලා ටයිප් කළාම Terminal එක නිකංම open වෙනවා.

ඊළගට root වෙන්න ඕනේ.
sudo bash කියලා ටයිප් කරලා ඔබේ password එක දීමෙන් තාවකාලිකව (මේ Session එකට විතරක්) root වෙන්න පුළුවං.

ඊළගට මෙන්න මේ විදියට ටයිප් කරන්න ඕනේ.
apt-get install --reinstall firefox

මේ command එකේ apt-get install කියන එකේ තේරුම මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට සූදානම් කියන එක සහ "--reinstall firefox" කියන්නේ firefox මෘදුකාංගය ප්‍රතිස්ථාපනය කරන්න කියන විධානයයි.

ඔය ටික ටයිප් කරලා Enter කළාම වැඩේ හරි.

18MB පමණ වෙන ගොනු කීපයක් අපේ පරිගණකයට බාගත වෙනවා. ඊට පස්සේ ස්වයංක්‍රීයව ස්ථාපනය වීම සිදුවේවි. එච්චරයි.

ඊළග වතාවේ ඉදලා ඔබ යළිත් Firefox open කරනකොට ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ නවතම Firefox සංස්කරණය තුළින්...

කරලා බලන්න.

ජය වේවා Firefox!!!

Tuesday, February 7, 2012

අරක්කු - සිගරට් බොනවානම් මේකත් කියවන්න | For Drinkers and Smokers !!!

            
අරක්කු සහ සිගරට් යනු වර්ථමාන ශ්‍රී ලංකාවේ මේ ලිපිය ලියන මොහොතේත් ඉතාම වැඩි වේගෙන් අළෙවි වන පාරිභෝගික භාණ්ඩ දෙකකි. මිල කොච්චර ඉහළ දැම්මත් මේ භාණ්ඩවල ඉල්ලුම අඩු වෙච්ච බවක්නම් සමාජය තුළදී දක්නට නැත. ඊට සාපේක්ෂව මිළ කොපමණ ඉහළ ගියත් පරිභෝජනය වැඩි බවනම් පැහැදිලිව දකින්නට පුළුවන. රජය වුවද කිසිම පැකිලීමකින් තොරව ඕනෑම අවස්ථාවකදී බදු අයකරමින් මිල වැඩි කරන්නේ මේ හේතුව රජයේ උදවියත් ඉතාම හොදින් දන්නා හදුනන බැවින් විය යුතුය. ඒ වගේම කිරිපිටි, ගෑස්, ආහාර ද්‍රව්‍ය වගේ දේවල් වල මිල ඉහළ දැම්මෝතින් රජයට පලු යන්න බනින උදවිය රජයෙන් නියම කරන මිලට කිසි කතාවක් බැනීමක් නැතුව අරක්කු සිගරට් මිලදී ගන්න හැටිත් සුලබ දසුනකි. ඒ වගේම අරක්කු මිල අඩු කරව්!!! සිගරට් මිල අඩු කරව්!!! කියලා කවදාකවත් කව්රුවත් උද්ඝෝශණය කරනු ලේඛකයා සම්මජ්ජාතියකදී දැක නැත.



                
අරක්කු සහ සිගරට් සදහා සමාජයේ පවතින ඉල්ලුම මීට ටික දිනකට පෙර ලේඛකයා දුටු සිදුවීමකින්ම විස්තර කළ හැක. මීට මාස දෙකකට පමණ පෙර දිනක ලේඛකයාත් ඔහුගේ සහෝදරයෙකුත් හිතවතෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී විම සදහා ලේඛකයාගේ ගමට ආසන්න ගමකට පිටත් වූහ. අවමංගල්‍ය පැවැත්වූ නිවසට යාමට කාලවේලාව මද වූ බැවින් අවසන් කටයුතු සිදු කෙරෙන සුසාන භූමියට යාමට ලේඛකයාට සිදුවූ අතර දේහය සුසාන භූමියට ගෙන එන තෙක් මිනිත්තු 40ක පමණ කාලයක් එහි රැදී සිටීමට ඔවුන්ට  සිදුවිය. එම සුසාන භූමිය ඉදිරිපසම රටබීම අළෙවිහළක් එසේත් නැතිනම් "වයින් ස්ටෝර්ස්" එකක් පිහිටා තිබේ. දේහය සුසාන භූමියට ගෙන එන තෙක් එම ස්ථානයේ රැදී සිටි මුළු කාලයෙන් හරියටම ගණන් බලාගත් මිනිත්තු 20ක කාලයකදී එම වයින් ස්ටෝර්ස් එකට ගණුදෙණු කරුවන් හතළිස් හත්දෙනෙකු (47) පැමිණියහ. ඔවුන් සියළුම දෙනා කුමක් හෝ බෝතලයක් හෝ කෑන් එකක් මිළදී ගත් අතර ලේඛකයාගේ ගණන් සැදීමට අනුව ඒ මිනිත්තු 20ක කාලය තුළදී රුපියල් 9,000/= ක පමණ ආදායමක් එම වෙළදසැළට තිබුණි. ඉහත කුඩා සිදුවීම මෙහි සටහන් කරන ලද්දේ අරක්කු සහ සිගරට් සදහා මෙරට පවතින ඉල්ලුම පිළිබදව පැහැදිලි කිරීමටය.


මේ ලිපිය ලියැවෙනුයේ එකී අරක්කු සිගරට් සදහා වන දැඩි ඉල්ලුමට විරෝධය පෑමටවත්, එකී අරක්කු සිගරට් පරිභෝජනය කරන්නන් හෙළා දැකීමටවත් නොවේ.  අරක්කු සිගරට් පරිභෝජනයෙන් ශරීරයට සිදුවන හානිය, මුදල් නාස්තිය යනාදිය පිළිබදව සමාජය හොදින් දැනුවත්ව ඇති බව ප්‍රකට කරුණකි. ඕනෑම කෙනෙක්ට නීති විරෝධී නොවන ඕනෑම දෙයක් කෑමට බීමට නිදහස ඇත. එම නිදහස අයුතු ලෙස භාවිතා කිරීමෙන් ගැටළු ඇතිවේ. එසේ ගැටළු ඇති කරගැනීම අරක්කු සිගරට් භාවිතා කරනා පුද්ගලයින්ගේ ගැටළුවක් මිස කයක් හෝ මනසක් නොමැති අරක්කු සිගරට් වල ගැටළුවක් නොවේ. මේ අරක්කු සහ සිගරට් පිළිබදව ලේඛකයා දරණ මතයයි.


මේ ලිපිය ලිවීමට මූලිකම කරුණනම් අරක්කු සිගරට් වලින් ක්ෂයවී යන ශාරීරික මානසික ශක්තිය යළි නංවා ගන්නා ආකාරය පිළිබදව සාකච්ඡා කිරීමය. එමෙන්ම අරක්කු සහ සිගරට් පානය කරනා විටදී අනුගමනය කළයුතු සිරිත් (රීති ලෙසටද දැක්විය හැක) පිළිබදවත් දැනුවත් වීමටය. මෙහි සදහන් කරුණු සියල්ල සදහා එකග විය යුතු නැත. සාකච්ඡා කිරීම යනුවෙන් අදහස් කෙරුණේ මෙම ලිපියේ අන්තර්ගත කරුණු පිළිබදව සංවාදයක් ඇතිකිරීම වේ. යම්කිසි කරුණක් පිළිබදව සංවාද කිරීම තුළින් ඒ පිළිබදව සමාජය දැනුවත් වීම වේගවත් වන බව ලේඛකයාගේ මතයයි.


මෙවන් ලිපියක් ලිවීම පිණිස ලේඛකයාගේ මනස මෙහෙයවූ සිදුවීමද මෙහි සටහන් කිරීම වටී. සැකෙවින් එය මෙසේය.


ලේඛකයා සහ ඔහුගේ මිතුරෙක් දිවා ආහාරය ලබාගැනීම පිණිස තෝසේ කඩයකට ගොඩ වැදේ.
දෙදෙනාම තෝසේ ඇණවුම් කළ අතර වේටර්වරයා පැමිණ සාම්බාරු (තෝසේ කන්නෝ මේ කුමක්දැයි දනිති) බෙදන්නට වූ අතර මිතුරා ඔහුගේ පිගානට  වට්ටක්කා කැබලි බොහෝ ප්‍රමාණයක් බෙදාගන්නට විය. ඉන් අනතුරුව මිතුරා සහ ලේඛකයා අතර දෙබස මෙසේ විය.


ලේඛකයා :- මොකෝ බං ඔච්චර වට්ටක්කා තොගයක්? වට්ටක්කාවලට ආසද ඔච්චර?
මිතුරා :- පපුවට හොදයි මචං. සිගරට්වල තියෙන නිකොටීන් ඔක්කොම ඇදලා ගන්නවා වට්ටක්කා වලින්.
ලේඛකයා :- සිරාවට?
මිතුරා :- ඔව් මචං. වට්ටක්කා හරි ගුණයි සිගරට් වලට...


මේ ලිපිය ලිවීම සදහා අවශ්‍ය උත්තේජනය සැපයූවේ එම දෙබසයි.

අරක්කු සිගරට් විසට බෙහෙත් කරන ආහාරවර්ග පමණක් නොව අරක්කු සිගරට් පානය කරනා අවස්ථාවකදී හැසිරිය යුතු ආකාරය පිළිබදව ලිවීමට සිතුණේ හුදී ජන පහන් සංවේගය පිණිසමය.

අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති.





අරක්කු පානය ආරම්භ කරන විට
ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව මේසය මත තැබීමෙන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී දෙතොළ තෙමාගැනීම හෝ සිදුකරන්න.

අරක්කු පානයට අතරමැදින් එක්වන විට

ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූයේනම් අරක්කු පානය කිරීමට පෙර අනිවාර්යයෙන්ම සව්දිය පුරන්න. එසේ කිරීමෙන් ඔබ වෙරිවෙන්නේ නැති හෝ ඔබ පානය කරන අරක්කු වෙන විශේෂ රසක් වීම සිදු නොවේ. නමුත් ඔබ ආචාරශීලී අයෙක් බවට අනෙක් අයට හැගේවි.

හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න

අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්‍ර කරන්න.

කිසිමවිටක ඔබේ වීදුරුව තනි නොකරන්න

ඔබ අරක්කු පානය කරනා විට ඔබට නොයෙක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්‍ය වීම මේ අතර ප්‍රධාන වේ. මේ සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානයෙන් නැගිටිනවානම් ඔබේ අරක්කු වීදුරුවත් රැගෙන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව මේසය මත තබා එම ස්ථානයෙන් පිට නොවන්න. මෙසේ කිරීම මගින් ඔබේ අරක්කු වීදුරුවට වෙනත් දේවල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුවේ.

ඔබේ වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එසේම සිදුකරන්න ඉඩ දෙන්න.

ඔබට ගැළපෙන අරක්කු ප්‍රමාණය දන්නේ ඔබ පමණි. එසේනම් ඔබේ අරක්කු වීදුරුව පුරවා ගත යුත්තේ ඔබ විසින්මය. ඔබ තවෙකෙකුගේ තත්වය දන්නේ නැත. එමනිසා අන් අයගේ වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර දෙන්න.

කටගැස්ම සහ මිශක භාවිතයේදී සැළකිළිමත්වන්න

අරක්කු සමග අවශ්‍ය වන ඊළග අංගයනම් කටගැස්මයි. මෙහිදී ඔබ සතුව ඇති අරක්කු ප්‍රමාණය සමග කටගැස්ම ප්‍රමාණයද කළමණාකරණය කරගැනීමේ වගකීම ඔබ සතුවේ. අරක්කු සමග මිශ්‍ර කරනා අනෙක් පාන වර්ගයන් (කොකාකෝලා, ස්ප්‍රයිට්) වැනි දේ සදහාද මෙය මෙසේම වේ.

කටගැස්ම පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න

බොහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම සදහා භාවිත වේ. මේ කිසිම දෙයකින් බොහෝ විට එකම ප්‍රමාණයේ කෑළි කැපිය නොහැකිය. එමනිසා පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න. පීරිසියේ ඇත්තේ ප්‍රමාණයෙන් විශාල කැබලිනම් එම කැබලි දෙකට කඩාගැනීම සිදු කළ හැක.

ඔබ පානය කරන්නේ ලෝකයේ ඇති අන්තිම අරක්කු බෝතලය නොවේ

අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.


හැකිතාක් ජලය පානය කරන්න
අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. මෙසේ කිරීමෙන් අරක්කු මගින් ශරීරයේ ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිවේ.

අරක්කුවලට ගිජු නොවන්න

මේසය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්‍ය නැත. අරක්කු සියල්ලම නොබීවා කියා කිසිවෙක් ඔබට දෝශාරෝපනය කරන්නේද නැත. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අරක්කු පානය කරන්න.

සිගරට් දුම සෑමවිටම බිමට යොමු කරන්න

සිගරට් පානය කරනා බොහෝ දෙනෙක් හුරුවී සිටින්නේ සිගරට් දුම තම කටට සමාන්තරව අවට වාතයට මුදා හැරීමටය. එසේ කිරීම මගින් අවට සිටිනා සිගරට් පානය නොකරන අනෙකුත් අයවද අක්‍රීය දුම්බොන්නන් ලෙස හවුල් කරගැනීම ඔහු සිදුකරයි. තමා පිටකරන සිගරට් දුම බිමට යොමුකිරීම මගින් මෙම තත්වය යම් තරමකට පාලනය කළ හැක.


ඉහතින් දැක්වූයේ අරක්කු පානය කරනාවිට අනුගමනය කළහොත් යහපත් ප්‍රතිඵල අත්කරදෙන යම් යම් රීතීන් කීපයකි. එම රීතීන් පිළිපැදිය යුතුමය යනුවෙන් නියමයක් නැත. තම තම නැණ පමණින් වටහාගැනීම උචිත වේ.

අරක්කු පානය කිරීමෙන් පසු


 
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අරක්කු පානය කරන්නේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීය. මේ හේතුවෙන් අරක්කු පානය කර නිදාගැනීම සුලභ සිදුවීමකි. නමුත් ඊට පසුදින උදෑසන හිස කැක්කුම සෑදීම සහ ඇගට දැඩි අපහසුවක් දැනීම බොහෝ දෙනෙක්ට සිදුවේ. මීට හේතුව වන්නේ අරක්කු මගින් ශරීරය විජලනය කිරීමයි. අරක්කු පානය කරනාවිට සහ පානය කිරීමෙන් පසු ජලය පානය කිරීමෙන් මෙම තත්වය නැතිකරගත හැක. මෙහිදී පානය කරනා අරක්කු ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රමාණයක් ජලය පානය කිරීම බොහෝවිට සුදුසු වේ.


අරක්කු පානය කිරීමෙන් පසු යම් කිසි ආහාරයක් ගැනීම ඉතා වැදගත් වේ. මෙසේ කිරීම මගින් ද පසු දින ඇතිවන ශාරීරික අපහසුතාවලින් අත්මිදිය හැක. බර ආහාරයක් ගැනීමට අපහසුනම් කෙටි/ක්ෂ්ණික ආහාරයක් හෝ ගැනීම සුදුසු වේ.

කෝපි හෝ කෝපි අඩංගු පානයක් ගැනීම සුදුසු නැත. කෝපි වලින් සිදුකරන්නේද ශරීරය විජලනය කිරීමයි. එමෙන්ම කිරි වර්ග හෝ කිරි අශ්‍රිත පානයන් ගැනීම සුදුසු නැත. එසේ කිරීම මගින් ඔක්කාරයට ඒම හෝ වමනය යෑම වැනි දේ සිදුවිය හැක. එසේ වූ විට තත්වය වඩාත් දරුණු වේ.


විටමින් C සහිත පළතුරු පානයන් ගැනීම හිතකර වේ. විටමින් C මගින් ක්ෂණිකව ඔබේ ශරීරයට ශක්තිය ලබා දෙයි. දෙහි හෝ දොඩම් ඉස්ම මේ සදහා වඩාත් යෝග්‍ය වේ. ප්‍රමාණය ඉක්මවා අරක්කු පානය කර සිහි මුර්ඡාවී සිටිනා අයගේ හිසේ දෙපතුලේ දෙහි අතුල්ලන්නේ මේ හේතුව නිසා විය යුතුය. විටමින් C සපිරි පානයන් බීමට අපහසුවේනම් විටමින් C හෝ මල්ටිවිටමින් පෙති ගැනීමෙන් එම අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැක. මෙළෙසින් බෙහෙත් පෙති මගින් විටමින් වර්ග ගැනීමට පෙර සෑමවිටම වෛද්‍යය නිර්දේශය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.


ඉහත ක්‍රමවේදයන් මගින් අරක්කු බීමෙන් පසුව ඇතිවෙන අපහසුකාරී තත්වයන්, සරළ සිංහලෙන් පවසනවානම් "කට් වීම" නොහොත් ඉංග්‍රීසියෙන් Hangover අවස්ථාවන්ට ගොදුරුවීම වළක්වා ගත හැක.


පුරුද්දක් ලෙස දිනපතාම අරක්කු සිගරට් පානය කිරීම ශරීර සෞඛ්‍යයට යහපත්ම නැත. මෙය සියළුම දෙනා දන්නා සත්‍යයකි. නමුත් කොපමණ අයහපත් යැයි කීවද එළෙසින් කරනා බොහෝ පිරිසක් ඇත. සමහරවිට ඔබේ හිතවතෙක්, මිතුරෙක් හෝ පවුලේ අයෙක් වුවද එළෙසින් හැසිරෙනවා විය හැක. එවන්නන්ගේ අරක්කු සිගරට් හේතුවෙන් පහළ වැටෙනා ශරීර සෞඛ්‍යය යම් තරමකට හෝ ඉහළ නංවා ගත හැකි ආකාර කීපයක් ඇත. විශේෂයෙන්ම ගන්නා ආහාරවලින් සහ ව්‍යායාම මගින් එළෙස අරක්කු සහ සිගරට් මගින් ශරීරයට ඇතිකරනා බලපෑම යම් තරමකට අවම කළ හැක.

නිතිපතා සිගරට් භාවිත කරන්නන් ගතයුතු ආහාර වර්ග







විටමින් A, B, C සහ E සපිරි ආහාරවර්ග භාවිතා කිරීම සුදුසුය. කිරි, කැරට්, බෝංචි, ඉරිගු, ගෝවා යනාදිය මගින් සිගරට් දුමින් ශරීරයේ ඇතිකරනා විටමින් ලුහුඩුතාව වර්ධනය කරගත හැක. එමෙන්ම මෙම ආහාර වර්ග මගින් ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තීකරණයද වර්ධනය කරයි.


කහට තේ පානය කිරීම සුදුසුය. මෙම තේ මගින් රුධිර නාළ තුළ කොලෙස්ට්‍රෝල් තැන්පත්වීම අවම කරයි. එමෙන්ම ගෑස්ට්‍රික් අම්ලය පාලනය කිරීම සහ රුධිරයේ අඩංගු සීනි සාන්ද්‍රණය අඩු කිරීමද තේ වලින් සිදු කරයි. තේ මූත්‍රවර්ධකයකි. මේ හේතුවෙන් ශරීරයේ රැදී පවතින යම් විෂ වර්ග මූත්‍ර මගින් වඩාත් ඉක්මනින් පිටකළ හැක.


සිගරට් දුම මගින් රුධිරයේ ඇති සෙලීනියම් සාන්ද්‍රණය අඩු කරයි. සෙලීනියම් යනු පිළිකා මඩින අලෝහමය මූලද්‍රව්‍යයකි. සත්ව පීකුදු (අක්මාව), මුහුදු පැළෑටි සහ ඉස්සන් ආහාරයට ගැනීමෙන් සිගරට් විෂ හේතුවෙන් විනාශවන සෙලීනියම් සාන්ද්‍රණය යළි වැඩිකරගත හැක.


යකඩ සහිත ආහාර ගැනීමෙන්ද සිගරට් විෂෙන් සිදුවන බලපෑම අඩු කරගත හැක. කිරි, නිවිති, සත්ව පීකුදු, මුහුදු පැළෑටි සහ සෝයා බෝංචි ආහාරයට ගැනීමෙන් මෙය සිදුකළ හැක.


සිගරට් දුම මගින් රුධිර නාළ තුළ කොලෙස්ට්‍රෝල් තැන්පත් කිරීම හේතුවෙන් රුධිර සංසරණයට බාධා සිදුවේ. මේ බාධාවන් හේතුවෙන් හෘධයාබාධ ඇතිවීම හෝ මොළයට සංසරණයවන රුධිරය අවම වීම නිසා මොළය වැහැරීම (Brain Atrophy) වැනි තත්වයන් ඇතිවිය හැක. එමනිසා නිතිපතා සිගරට් පානය කරන්නන් තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකිය යුතු අතර කොලෙස්ට්‍රෝල් අවම කරන ආහාර වර්ග වන කිරි, සෝයා ආහාර, මාළු සහ තන්තුමය ආහාර වන කුරුදු, කෙදි සහිත එළවළු වර්ග සහ පළතුරු වර්ග ආහාරයට ගැනීම යෝග්‍ය වේ.


එමෙන්ම කැරට්, නිවිති, මුංඇට සහ සෝයා ආහාර වැඩි වශයෙන් ගැනීම මගින් දුම්බීමේ අවශ්‍යතාව අවම කරගත හැකිය. එම ප්‍රකාශය සත්‍යයක්ද අසත්‍යක්ද වග නිර්ණය කිරීම පාඨක ඔබට භාරය.

දිනපතා අරක්කු පානය කරන්නන් ගතයුතු ආහාර වර්ග







තද වර්ණ සහිත එළවළු සහ පළතුරු වර්ග කැරට්, ඇප්‍රිකට්, නිවිති, ගම්මිරිස් වැනි දේ එමෙන්ම විටමින් C අධික ආහාරවර්ග වන දෙහි, දොඩම්, තක්කාලි වැනි දේ සහ විටමින් E අඩංගු ආහාර වර්ග වන එකක් හෝ කීපයක් ගැනීම අවශ්‍යවේ.


එමෙන්ම ප්‍රෝටීන් බහුල ආහාර වර්ග ගැනීමද සිදුකළ යුතුය. ප්‍රෝටීන් අධික ආහාර වර්ග වන පරිප්පු, සෝයා, බිත්තර සුදු මදය, මාළු වර්ග සහ මස් වර්ග ආහාරයට ගත යුතු වේ. මෙහිදී මස් වර්ග වලට වඩා මාළු වර්ග ආහාරයට සුදුසු වන්නේ මස්වලට සාපේක්ෂච මාළුවල මේදය අවම වන බැවීනි. මේද අධික ආහාර ගැනීමෙන් වැළකීම සුදුසු වේ.


සැමන්, මැකරල් වැනි තෙල් සහිත මාළු වර්ග සතියකට එක වතාවක් පමණ ආහාරයට ගැනීම සුදුසු වේ. එමෙන්ම සළාද වර්ග ආහාරයට ගැනීමෙන්ද අරක්කු මගින් ශරීරයට ඇතිකරනා අහිතකර බලපෑම යම් ප්‍රමාණයකට අවම කළ හැක.

නිවුඩ්ඩ සහිත බත් (රතු බත්) ආහාරයට ගැනීම නිරන්තර අරක්කු පානය කරන්නෙකුට අවශ්‍යම දෙයකි. එම නිවුඩ්ඩ මගින් රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරනා අතර දියවැඩියා තත්වය සමනය කිරීම ඉන් සිදු කරයි.


තල, බෝංචි, දිඹුල්, තිරිගු වැනි ආහාර වර්ග මගින් අරක්කු පානය හේතුවෙන් ශරීරයෙන් ගිලිහෙන මැග්නීසියම් ප්‍රමාණය නැවත ලබාගත හැකි වන අතර නිරන්තර අරක්කු පානය හේතුවෙන් ශරීරයෙන් විනාශ වන තුත්තනාගම් (Zink) ප්‍රමාණය නියමිත පරිදි තබා ගැනීම තිරිගු, වට්ටක්කා සහ බිත්තර මගින් වඩාත් පහසුවෙන් ඉටුකරගත හැක.


අරක්කු සිගරට් පානය කිරීම කිසිසේත් යහපත් කටයුත්තක් නොවේ. නමුත් අරක්කු සිගරට් යනු මෙරට තුළ හාල්, පොල්, පාන් තරමටම අළෙවිවන පාරිභෝගික ද්‍රව්‍යයන් වේ. මිනිසුන් මේවා මිළදී ගන්නේ පානය කිරීමටය. දුම් ඉරීමටය. අරක්කු හා සිගරට් හේතුවෙන් වැළදෙන ලෙඩ රෝග බොහොමයකි. එකී ලෙඩ රෝග බොහොමයක් ඉහත දැක්වූ ආහාර රටාවන් මගින් යම් තරමකට හේ පාලනය කරගත හැක. අරක්කු සිගරට් පානය කිරීම හේතුවෙන් රෝගී වී රජයේ රෝහලක රෝහල් ගතවන කිසිවෙකුට නොමිලේ ප්‍රථිකාර නොකරන ලෙස නියෝගයක් සෞඛ්‍යය අමාත්‍යතුමන් පසුගිය දිනක සිදු කළේය. රටේ යම් පිරිසක් එම මතයට පක්ෂ වනවිට අනෙක් පිරිසක් විපක්ෂ විය. එම ප්‍රකාශය සදහන් පුවත රටේ විවාදයට තුඩුදෙන කාලයේදී ලේඛකයා සිටියේ මධ්‍යස්ථ මතයකය. ඔහුගේ එම මධ්‍යස්ථ මතය යම්තාක් දුරකට තහවුරු කිරීමද මෙම ලිපියෙන් සිදු විය.


"දැනුම යනු මහා සාගරයක්නම් මා දන්නේ ඉන් වතුර වීදුරුවක ප්‍රමාණය පමණි"යි ප්‍රකට දාර්ශණිකයෙක් වරක් ප්‍රකාශ කළේය. එළෙසින් අරක්කු යන මාතෘකාව පිළිබදව කතා කරද්දී ඒ පිළිබදව දැනුම මහා සාගරය හා සමානනම් ලේඛකයාගේ දැනුම අරක්කු බෝතල් මූඩියකටත් වඩා අවම වේ. ඒ හේතුවෙන් මේ ලිපියේ අඩුපාඩු ගුණදොස් වෙතොත් සියල්ලෝ කමත්වා.

ජය වේවා!!!


මෙම ලිපියේ අඩංගු කරුණු බොහෝමයක් ලබා ගත්තේ අන්තර්ජාලයේ  සැරිසැරීම මගිනි.
එම ලිපි මේ මේ මේ සබැදියන් ක්ලික් කිරීම මගින් කියවිය හැක.

Sunday, January 29, 2012

ආරාධිත අමුත්තෝ.....

 
 
ලොව කොතැනක හෝ උත්සව අවස්ථාවක්, ප්‍රිය සම්භාශනයක්, ත්‍යාග ප්‍රධානෝත්සවයක්, වාර්ෂික සාදයක් හෝ මොනයම් හෝ ඒ හා සමාන අවස්ථාවකදී එම උත්සවයට සම්බන්ධවීමට එම උත්සවය සංවිධානය කරනා පාර්ශවයන් විසින් සමාජයේ උසස් යැයි සම්මත තලයන්හි සිටිනා පුද්ගලයින්ට ආරාධනා කිරීම සිරිතකි. එසේ ආරාධනා ලැබූ පුද්ගලයෝ ආරාධිත අමුත්තන් යන නමින් හැදින්වේ. තමන්ගේ උත්සව අවස්ථාවන් සදහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කරගැනීම කව්රුන් විසින් කුමන කාලයකදී ආරම්භ කරන ලද්දේදැයි නිශ්චිතවම පැවසිය නොහැකිමුත් අනාදිමත් කාලයක සිට සිරිතක් ලෙස එය සිදුවෙමින් පවතී. මෙම සිරිත වර්ථමානයේදීත් ක්‍රියාත්මක වන අතර අනාගතයේදීද වෙනස් නොවනු ඇතැයි අපේක්ෂා කළ හැක.


මෙලෙස ආරාධිත අමුත්තන් ලෙස ආරාධනා ලබන්නේ බොහෝ විට සමාජය විසින් ප්‍රභූන් ලෙස වර්ග කර ඇති කොට්ඨාශයයි. වර්ථමාන ශ්‍රී ලංකාවේදී දේශපාලකයින්, රජයේ ඉහළ මට්ටමේ සේවකයින්, පූජ්‍ය පක්ෂයේ ස්වාමීන් වහන්සේලා, පෞද්ගලික අංශයේ ධනවතුන් වැන්නන් ඉහළ මට්ටමේ උත්සවයන් සදහා ආරාධනා ලබයි. බොහෝ විට ග්‍රාමීය මට්ටමේදි ගමේ ආගමික ස්ථානයේ පූජක උතුමන් වහන්සේ, ගමේ සමාජ සේවකයින්, ගුරුවරුන්, ප්‍රාදේශීය දේශපාලකයින්, ගමේ විශාලතම වෙළද ව්‍යාපාරිකතුමන් යනාදීන් ආරාධිත අමුත්තන් ලෙස ආරාධනා ලබයි. කොයි සමාජ තලයේදී වුවත් එකම කාණ්ඩයකට අයත් වන පුද්ගලයින් (උදා. ආගමික, දේශපාලන, ව්‍යාපාරික) මෙලෙස ආරාධිතයන් ලෙස පැමිණෙන බව දැකිය හැක.


අද දවසේ මෙම ලිපියෙන් මූලික වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මෙලෙස පැමිණෙන ආරාධිත අමුත්තන්ගේ භූමිකාව පිළිබදවය. බොහෝ විට සංවිධායක මණ්ඩලය මෙලෙස ආරාධිත අමුත්තන් ලෙස ප්‍රභූන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන්නේ තමන්ගේ උත්සවයට ඔවුන්ගේ පැමිණීම මගින් ආලෝකයක් එකතු කරගැනීමට වේ. එමෙන්ම සමාජයේ ප්‍රභුන් යැයි පිළිගැනෙන පුද්ගලයින් තමන්ගේ උත්සව සභාවට සම්බන්ධ වීමෙන් තම උත්සවයේ වටිනාකම වැඩිවෙන බව බොහෝවිට සංවිධායක මණ්ඩලයේ යටිහිතේ පැළපදියම්ව තිබෙන කරුණක් වේ. සැබෑම කරුණ නම් බොහෝවිට ආරාධනා පත්‍ර නිර්මාණය කරගෙන සහ බොහෝ වෙහෙස වී ප්‍රභූන්ට එම ආරාධනා පත්‍ර පිළිගන්වමින් ඔවුන්ව සම්බන්ධ තම උත්සවයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කරන්නේ ඉහතින් සදහන් කළ කරුණු හේතුවෙනි.


එළෙසින් ආරාධනා ලබනා පුද්ගලයින්ගෙන් එම උත්සව සභාවට අවශ්‍ය, එහි සංවිධායකයින් බලාපොරොත්තුවන ආලෝකය නොලැබේ නම් එය ඉතාම කණගාටුවට කරුණකි. උදාහරණයක් ලෙස යම් කිසි උත්සවයකට සහභාගීවන ප්‍රධාන ආරාධිත අමුත්තා නොපැමිණීමෙන් හෝ ඉතා කෙටි කාලයකින් එම උත්සව භූමියෙන් පිටව යාමෙන් එකී සංවිධායකයින් විසින් දරණ ලද මහන්සිය යම් තරමකට හෝ අපතේ යාම සිදුවන බව ලේඛකයාගේ මතයයි. මෙම ලිපිය කියවන ඔබද එම අත්දැකීම ජීවිතයේ එක වාරයක් හෝ සමහරවිට බොහෝවාරයක් අත්දැක තිබෙනවා වෙන්නට ඇති ඉඩ ඉතාමත්ම ඉහළ වේ. ලේඛකයා විසින් මූලිකත්වය ගෙන හෝ සහසම්බන්ධවී සංවිධානය කරන ලද බොහෝ අවස්ථාවලදී මෙය සිදුවී ඇත. එම ප්‍රභූවරයා අතිශය කාර්ය බහුල පුද්ගලයෙක් නම් එලෙස උත්සවය අතර මැදදී පිටව ගියාට කම් නැත. නමුත් එසේ නොවේනම්? 


බොහෝවිට මෙලෙස ආරාධිත අමුත්තන් පිටව යාම හේතුවෙන් සිත් තැවුල් ඇතිවන්නේ උත්සව අවස්ථාවකදී ගායනය, නර්තනය වැනි අංගයන්ගෙන් උත්සවය රසවත් කිරීමට සූදානම්ව සිටිනා පිරිසටය. ලේඛකයාගේ අත්දැකීමකින්ම එය විස්තර කිරීම අපහසු නොවන්නේ එවන් අත්දැකීම් ඔහුගේ ජීවිතයේ අනන්තවත් ඇති බැවිනි. මේ එවන් එක් අත්දැකීමකි.


ලේඛකයා දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන්නෙකි. මීට වසර කීපයකට (මහ විශාල ගණනක් නොවේ) පෙර ඔහු ඉගැන්වීම සිදුකරනා දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන ලෙසට ආරාධනා කරන ලද්දේ රටේ ඉහළම පුද්ගලයෙකු හටය. මේ උත්සවය නැටුම් දෙකකින් සහ එක් ගීතමය අංගයකින් රසවත් කිරීමට සූදානම් කරන ලද්දේ ප්‍රධාන අමුත්තා  ලෙස පැමිණෙන පුද්ගලයා සැබවින්ම අතිශය කාර්ය බහුල පුද්ගලයෙකු වූ බැවිනි. එම නර්තන අංගයන් සහ ගීතමය අංගය පුහුණු කිරීම භාර වූයේ ලේඛකයාට සහ තවත් ගුරුවරියන් දෙදෙනෙකු හටය. ඔවුන් තිදෙනාම එම අංගයන්හි සිටි දරුවන්ට පැහැදිලි කරන ලද්දේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන්නේ අහවල් පුද්ගලයා බැවින් දහම් පාසලේ තත්වය සහ ගෞරවය රැකෙන පරිදි එම කටයුත්ත ඉතා විශිෂ්ඨ ලෙස සිදු කළ යුතු බවය. ගුරුවරුන්ගේ අදහස සහ ඉල්ලීම පිළිගත් ළමුන් තම උපරිමය ඒ ඒ අංගයන් වෙනුවෙන් ලබා දුනි. ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි පුද්ගලයා උත්සවය ආරම්භ කිරීමට නියමිත වේලාවට වඩා ස්වල්ප වේලාවක් (මිනිත්තු 30ක් පමණ) ප්‍රමාදව පැමිණිය අතර ඉතාම කෙටි කථාවක් පවත්වා ත්‍යාග දෙක තුනක් වේගයෙන් දී උත්සව සභාවෙන් පිටව ගියේ තමන් ඉතා කාර්ය බහුල බැවින් තවත් ස්ථාන කීපයකටම යා යුතු බව ප්‍රකාශ කරමිනි. ගැටළුවක් නැත. ඔහු සැබවින්ම කාර්ය බහුල බව සත්‍යයකි. 
නියම සිදුවීම සිදුවූයේ ඉන් අනතුරුවය. අසවල් පුද්ගලයා ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන බව ආරාධනා පත්‍රයේම පැහැදිලිව සටහන් කොට තැබූ නිසා ආරාධනා පත්‍ර භාර දුන් අනෙකුත් සියළුම ආරාධිතයෝද පැමිණ සිටියහ. එම ප්‍රධාන අමුත්තා උත්සව සභාවෙන් පිටව ගිය පසු අනෙකුත් බොහෝ ආරාධිතයෝද උත්සව සභාව හැර ගියේ එදිනට යොදාගත් වැඩ රාශියක් ඇති බැවින් තමන්ද අතිශයින් කාර්ය බහුල යැයි ප්‍රකාශ කරමිනි. සැබෑම කරුණනම් ඔවුන් සැවොම වාගේ පැමිණ සිටියේ ප්‍රධාන අමුත්තාට තමාගේ මූණත්තහඩුව පෙන්වීමට මිසක් උත්සවය සදහා නොවේ. "ප්‍රධාන අමුත්තා පිටව ගිය බැවින් අපිත් යනවා " කියා යන්නට තරම්වත් සදාචාරයක් ඔවුන්ට නොවූ අතර ඔවුන් ප්‍රකාශ කළේ "අතිශය කාර්යබහුල බැවින්" එම ස්ථානයෙන් පිටත් වන බවයි. ප්‍රධාන අමුත්තා පිටව ගොස් වැඩි වේලාවකට මත්තෙන් වේදිකාවේ ඉදිරිපෙළ ආසන පේළි දෙකම හිස් වූයේ පැමිණ සිටි සියළුම ආරාධිත අමුත්තන්ගේ අතිශය කාර්යබහුලත්වයට පින් සිදු වන්නටය. 
අවසානයට තිබූ නර්තන අංගයේ සිටි එක් කටකාර සිසුවෙක් කීවේ "සර්, අපි නැටුවේ හිස් පුටුවලටනේ!!!" කියලාය. ගුරුවරුන් වශයෙන් ලේඛකයා සහ අනෙත් ගුරුවරියන් තිදෙනා නිරුත්තර විය. එම දරුවාගේ කතාවේ සත්‍යයක් තිබේ. ඔවුන් තම නර්තන අංගය ඉදිරිපත් කරන ලද්දේ ප්‍රධාන ආරාධිතයා ප්‍රමුඛ ආරාධිතයන් නොමැති හිස් පුටුවලටය. එම කුඩා සිසුවා එළෙස වචනවලින් මුදා හරින ලද්දේ ඔහුගේ හිතට දැනුන ආවේගයයි. ලේඛකයා එම ප්‍රකාශයේ වරදක් නොදකී. අගතියට පත්වන්නට කව්රුවත් කැමති නැත.
මේ එක සිදුවීමක් පමණි. මෙවන් සිදුවීම් තව කොපමණ ප්‍රමාණයක් මේ සමාජය තුළ වර්ථමානයේ සිදුවෙනවා ඇත්ද?


තවත් ඉතාම කෙටි සිදුවීමක් ලේඛකයාගේ මතකයට නැගේ. මෙයටත් ලේඛකයා කෙළින්ම සම්බන්ධය.
තමා දැනට සිදු කරන රැකියාව සහ ඒ ආශ්‍රිත සමාජ සම්බන්ධතා හේතුවෙන් මාසයකට දෙතුන් වතාවක්වත් ප්‍රධාන කෙසේ වෙතත් ආරාධිත අමුත්තෙකු ලෙස උත්සව අවස්ථාවන්ට සහභාගී වීමට ලේඛකයාට සිදුවේ. මෙම සිදුවීම සිදුවූයේ එළෙස ඔහු පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ අවස්ථාවකය.  මෙම විදුහල ග්‍රාමීය විදුහලකි. සුපුරුදු පරිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රධාන අනෙකුත් ආරාධිත අමුත්තන් බොහෝ දෙනෙක් ක්‍රීඩා උත්සවය ආරම්භ වී මද වේලාවකින් පිටව ගිය අතර වේදිකාවේ ඉතිරි වූයේ ලේඛකයා සහ අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා පමණි. එම විදුහල්පතිවරයා සහ විද්‍යාලය සමග සාර්ථක පුද්ගල සම්බන්ධතාවයක් ඇති කරගැනීමට එම දිනයේදී ලේඛකයාට හැකිවූ අතර අවසානයේ "ලූලා නැති වළට කණයා පණ්ඩිතයා වී" ප්‍රධාන ජය සංඛේතය ප්‍රදානය කරන ලද්දේද ලේඛකයා විසිනි. මෙය මහා ලොකු දෙයක් නොවේ. නමුත් එම සිද්ධිය ලේඛකයා ජීවත්වන ප්‍රදේශයේ දින කීපයක් සාකච්ඡාවට බදුන් වූ අතර එම සිදුවීම  ලේඛකයා හා සම තත්වයේ සිටි බොහෝ දෙනෙකුගේ ඊර්ශ්‍යාවට බදුන් වීමටද හේතු විය. වැදගත්ම කරුණ නම් එළෙස ලේඛකයා හා සම තත්වයේ සිටි බොහෝ දෙනෙකුද එදින එම ක්‍රීඩා උත්සවයේ ආරාධිතයන් වීම සහ තමන් කාර්ය බහුල බව ප්‍රකාශ කරමින් උත්සව භූමියෙන් පිටත් වූවන් වීමයි. එම සිදුවීම ලේඛකයාට කිසිදිනෙක අමතක නොවනු ඇත.


මේ ලිපිය කියවන ඔබෙන් ලේඛකයාට ඉල්ලීමට ඇත්තේ එකම එක ඉල්ලීමකි. සමහරවිට මෙය කියවන ඔබ නුදුරු අනාගතයේදී ආරාධිත අමුත්තෙකු ලෙස උත්සවයකට සහභාගී වීමට ආරාධනා ලැබ සිටින්නෙකු විය හැකිය. සෑමවිටකම හැකි උපරිම වේලාවක් එම ස්ථානයේ රැදී සිටීමට උත්සාහගන්න. මන්ද යත් ආරාධිතයෙකු ලෙස හැකි උපරිම වේලාවක් එම ස්ථානයේ රැදී සිටීම මගින් ඔබට එම අවස්ථාව සංවිධානය කළ සහ ඔබට ආරාධනා කළ පුද්ගලයින්ට සාධාරණයක් ඉටු කළ හැක. සමහරවිට ඔවුන් ඔබෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළ හැක. හැකි සෑමවිටම එවන් ඉල්ලීම් ඉවත නොදැමීමට කාරුණික වන්න. එවන් අවස්ථාවක් සදහා සූදානම්ව සිටීම වැදගත් වේ. තමන් සහභාගී වන උත්සව අවස්ථාවේ ස්වභාවය පිළිබදව කල් ඇතුව දැනුවත් වීම මගින් මෙම සූදානම ලබාගත හැක.


එසේනම්, ඊළග වතාවේදී හෝ ආරාධිත අමුත්තෙකුගේ භූමිකාව නිවැරදිව ඉටු කිරීමට පාඨක ඔබට අවශ්‍ය ශක්තිය, ධෛර්‍ය සහ ප්‍රඥාව ඇති වේවායි ලේඛකයාගේ එකම පැතුමයි.

ජය වේවා!!!



පිංතූරය උපුටාගත්තේ මෙතැනිනි...