Tuesday, February 14, 2012

ඉවසපං !!!!! | STICK OUT !!!!!


තරුණ සංගීත කණ්ඩායමක් වන Draw Links විසින් ගායනා කරණු ලබන "ඉවසපං..." ගීතය පසුගිය දිනක යළිත් ලේඛකයා විසින් අසනු ලද්දේය. එම ගීතය නිකුත් කළ 2010 වසරේ සිට මේ දක්වාම එම ගීතය ලේඛකයා සාමාන්‍යයෙන් අසන ගීත ගොන්නේ තිබේ. එම ගීතයේ සංගීත සංයෝජනය හේතුවෙන් එසේ වෙන්නට ඉඩ ඇති බව ලේඛකයාගේ මතයයි. කෙසේ වෙතත් මේ සැරසුම එම ගීතය ඇසුරෙන් වර්ථමාන ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ ශෝකාන්තය ගෙනහැර දැක්වීමටය.

මෙම ගීතයේ ගේය පද රචකයා නිශ්චිතවම කිව නොහැක. කණ්ඩායම් ගීතයක් බැවින් ගේයපද රචනය, සංගීත සංයෝජනය සහ ගායනය යන මේ කරුණු ත්‍රිත්වයම එකී Draw Links සංගීත කණ්ඩායමේ පොදු ගිණුමට බැර වේ.

ලේඛකයාගේ අදහසට අනුව වර්ථමාන ශ්‍රී ලාංකීය තරුණයන්ගේ ඉච්ඡා භංගත්වය, සමාජය විසින් ඔවුන් කෙරෙහි ඇති කරන ලද පීඩනය, නියමාකාර අධ්‍යාපනයක් නොලැබීම,  තම අනාගතය අවිනිශ්චිතභාවයෙන් පිරී තිබීම වැනි කරුණු රාශියක් මේ ගීතයේ පදවැල් අතරින් යහමින් තෝරා බේරා ගත හැක. ඉතාම සරළ එමෙන්ම විශේෂයෙන්ම තරුණ පිරිස අතර බහුල වශයෙන් භාවිත වන එනම් "ඉලන්දාරි ශබ්ද කෝෂයේ" ඇති වචන බොහොමයක් මේ ගීතය තුළ අඩංගු නමුත් ඒ වචනවලින් ගීතයට ගෙන එන්නේ අමුතුම හැඩතලයකි. එමෙන්ම එකී වචන හේතුවෙන් ගීතයේ ගලායාමට හෝ එහි අර්ථයට කිසිදු ආකාරයේ අවැඩක් සිදුවී නැත යන්න ලේඛකයාගේ පෞද්ගලික මතයයි. ගීතයේ පදවැල් සියල්ල හරහා ගමන් කිරීමෙන් මේ බව උදාහරණ සහිතවම දැක්විය හැක.

ගීතයේ පළමු පද්‍ය පහත පරිදිය.

අවුරුදු දහනමයයි අපි තවම සුන්දරයි
ඉපදුණු දවසේ ඉදං වැඩ සින්දුවෙන් තමයි
ඒ ලෙවලුත් ඉවරයි අපි හිටියා වගේමයි
සිංදු හදනව හදනව හිට් වෙන්නෑ අයියෝ....

වයස අවුරුදු 19 යනු තාරුණ්‍යයේ එළිපත්තයි. ශ්‍රී ලංකාවේදීනම් පාසල් අධ්‍යාපනය හමාර කර තරුණ ප්‍රජාව සමාජයට මුහුවන්නේ මේ වයසේදීය. ඒ උසස් අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවක් කිරීමට යනුවෙනි. මෙහිදී "සුන්දරයි" යනුවෙන් අදහස් කරන්නේ ජීවිතයේ ඇති බරපතළ ස්වභාවය තවමත් අවබෝධ කර නොගත් බවයි. ඒ පිළිබදව තර්කයක් නැත. අගනුවර හෝ තදාසන්න ටවුන්වල වාසය කරනා සංඛ්‍යාවෙන් බොහෝ අධික තරුණ පිරිසක් අවුරුදු 19, 20, 21 වන තුරුම වාසය කරනුයේ දෙමව්පියන්ගේ වියදමෙනි. මෙය ඉහළ පාන්තික, ඉහළ මධ්‍යම පාන්තික සහ පහළ මධ්‍යම පාන්තික සමාජයන්හි බොහෝ විට දැකගත හැකි තත්වයකි. දෙමව්පියන් කන්න, අදින්න සියල්ල කෙසේ හෝ සපයා දෙනවිට තම ජීවිතය අතිශය සුන්දර යැයි සිතීමේ අරුමයක් ලේඛකයා දකින්නේ නැත. පද්‍යයේ සදහන් වන පරිදි "ඉපදුණු දවසේ ඉදං වැඩ සින්දුවෙන් තමයි" වුවද එය හරියට නොහැකි බව ඊළග පද දෙකෙන් පැහැදිලි කර දීමට ගේය පද රචකයා සමත් වේ. අ.පො.ස උසස් පෙළ විභාගය අවසාන වී ඇතිමුත් "හිටියා වගේමයි" යන්නෙන් අදහස් වන්නේ එයින් සාර්ථකත්වයක් ලැබ නැති බවයි. අවසාන පේළියේ එන "සිංදු හදනවා හදනවා හිට් වෙන්නෑ අයියෝ...." මගින් ඔවුන් මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න තත්වය පිළිබදව කරුණු පැහැදිළි කරයි.

නූතන ශ්‍රී ලාංකීය තරුණයාගේ කතාවද මීට සමාන වේ. අ.පො.ස උසස් පෙළට මුහුණ දෙන තරුණයන්ගෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේ අතිශයින් සුළු ප්‍රමාණයක් වන අතර සෙසු බහුතරය "හිටියා වගේම" වීම මෙම සමාජයේ සාමාන්‍ය තත්වයකි. එමෙන්ම තමන් කරනා කටයුත්තේ ඔවුන් අසාර්ථකවීමද නිරන්තරයෙන් සිදුවන්නකි. ගීතයේ පළමු පද්‍යයෙන්ම තමන්ගේ සත්‍ය තත්වය පිළිබද යම් තොරතුරක් ප්‍රකාශ කරනු ලබයි. උසස් අධ්‍යාපනයත් නොලබන, රැකියාවක් නොකරන තාරුණ්‍යය වෙත සමාජයෙන් ඇතිවෙන පීඩනය මේ මගින් දැකගත හැකි වේ.

මීලගට ඇත්තේ සමූහ ගායන කොටසයි. එහි වදන් පහත පරිදි වේ.

ඉවසපං, තව හිටපං, තව එකක් කරල බලමු
බැරිමනං හොයල බලලා හොද කොප්පක්වත් ගහමු
උදේ ඉදං හෙට එළි වෙනකං මේකට ගිටාර් ගහලා කියමු
පොට්ටෙටවත් හිට් උනොත් වීඩියෝ එකකුත් අපි කරමු....

මෙහි මුළුමනින්ම ඇත්තේ තරුණයක් පිරිසක් එකිනෙකා සනසා ගැනීමකි. තරුණ පිරිසක් එක්ව යම්කිසි කර්තව්‍යයක් ඉටුකර එය වැරදී ගියතැන හෝ අසාර්ථක වූ තැන එකිනෙකා සනසා ගන්නා වදන් මාලාව මෙහි මුල් පදයෙන් දැක්වේ. එමෙන්ම තරුණයන් තුළ පවත්නා කෙසේ හෝ "තමන්ට අවශ්‍ය කාර්යය කරගැනීමේ වේතනාව" දෙවන පදයෙන් දක්වයි. උනන්දුව හා කැපවීම ක්‍රියාවෙන් කෙසේවෙතත් වචනවලින් ඉතා විශිෂ්ඨ ලෙස ඉදිරිපත් කිරීම නූතන තාරුණ්‍යයේ සෝබන ගතියකි. එය තෙවන පදයෙන් මොනවට පැහැදිලි කරන අතර තමන් කරන කාර්යය පිළිබදව තමන්ටවත් නියමාකාර විශ්වාසයක් නොමැතිබව සහ ඒ මත ෆැන්ටසි නිර්මාණය කිරීමේ පොදු තරුණ ගතිය අවසාන පදයෙන් පෙන්නුම් කරයි. මෙහිදී ගීතය නිර්මාණය කිරීම සදහා එළිසමය ඇති කරන නමුත්, සාමාන්‍යයෙන් ගේය පද රචකයන් භාවියා නොකරන භාෂා විලාසයක් මෙම රචකයා භාවිතා කරයි. එය ඉතා නිර්භීත පියවරක් වන අතර යම්තාක් දුරකට සාර්ථක වී ඇති බව ලේඛකයාගේ මතයයි.

වර්ථමාන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයටද අවශ්‍ය ක්ෂණිකව සෑම දෙයක්ම සිදු කරගැනීමටය. ක්ෂණිකව ධනවතුන් වීමට, ක්ෂණිකව ප්‍රසිද්ධියට පත්වීමට යනාදී කරුණු සදහා ක්ෂණික මාර්ග සෙවීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යය බොහෝ විට සිදුකරයි. කාලයක් තිස්සේ යම් දෙයක් කර ඉන් මනා පරිචයක් ලබා ගැනුමට වඩා ක්ෂණිකව "පොරක්" වීමට බොහෝ දෙනා උත්සාහ කරයි. නමුත් ඒ ක්ෂණිකව අත්කරගන්නා පොරත්වය ක්ෂණිකවම නැතිවී යනබව නොවැටහීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අභාග්‍ය සම්පන්නභාවය පැහැදිළි කරයි. තමන්ගේ දෙයක් හරියන්නේ නැත්තං "මාට්ටු වෙන්නේ නැති විදියට කොප්පක් හරි ගැහීම" මෙය මනාව විද්‍යාමාන කරයි(කොප්ප ගැසීම යනු කොපි කිරීම යන වදනේ ඉලන්දාරි ඉදිරිපත්කිරීමයි). එමෙන්ම තමාට තමා පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැතිවීම සහ හැකිතාක් වෙන කෙනෙක් මත යැපීම, හැකි සෑම විටම ශේප් න්‍යාය අනුගමනය කිරීමට තරම් ආත්මාර්ථකාමීවීම නූතන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ගති ලක්ෂණයි. පද්‍යයේ දෙවන පදයෙන් මේ සියල්ල ඉදිරිපත්වේ.

සෙට් එකේ හයක් හිටියා දැං ඉන්නේ පස් දෙනයි
එදා ඉදං අපි හිටියේ වෙන වෙන ලෝකවලයි
වීඩියෝ කරන්න සල්ලිත් නෑ අපි පුංචි ළමයි
මේ සිංදුවවත් අපෙ හිට් වෙයිදෝ... වෙයිදෝ...


කණ්ඩායමක් නිශ්චිත අරමුණකින් තොරව කටයුතු කිරීමේදී එහි සාමාජිකයින් හැලී යාම පොදු තත්වයකි. පද්‍යයේ මුල් පද දෙකින් එම තත්වය පැහැදිලි කරයි. එමෙන්ම තමන්ගේ සත්‍ය තත්වය යම් තරමකට හෝ අවබෝධකරගෙන සිටිනු තෙවන පදයෙන් පැහැදිලි කරයි. නමුත්, තමන් යුගයේ ජනප්‍රියතම ගායන කණ්ඩායම වීමේ ෆැන්ටසිය සිත් තුළ හොල්මන් කිරීම නිරන්තරයෙන් සිදුවේ. ගීතයේ පරිදි අවසාන බලාපොරොත්තුව වන්නේ හොද නිර්මාණයක් කිරීම නොව සිංදුව "හිට්" කරගැනීමයි. එනම් ප්‍රසිද්ධවීමයි.

ගීතයෙන් ඉදිරිපත්කරනා මෙම තත්වය නූතන ශ්‍රී ලාංකීය තාරුණ්‍යය සමග සසදා බැලීමේදීද සමානකම් විශාල ප්‍රමාණයක් දැකගත හැක. කණ්ඩායමක් වශයෙන් එක්ව කටයුතු කරනා විටදී බොහෝවිට තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකරගැනීමට වෙහෙසීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යය ගිලගත් ශෝචනීය තත්වයකි. එම හේතුව නිසා කණ්ඩායමේ සාමාජිකයන් අතර විරසකයන් ඇතිවීම හා සාමාජිකයන් කණ්ඩායම හැරයෑම සාමාන්‍ය තත්වයකි. එමෙන්ම තමන්ට අවශ්‍ය ජීවිතය ගතකිරීම සදහා අවශ්‍ය සමාජ, ආර්ථික, සංස්කෘතික ශක්තිය නොමැතිවීමද ශ්‍රී ලාංකීය තාරුණ්‍යය හමුවේ ඇති ගැටළුවකි. ශ්‍රී ලංකාවේ බොහෝ තරුණයන්ට අවශ්‍ය හොලිවුඩ් හෝ බොලිවුඩ් චිත්‍රපටයන්හි පෙන්වන තරුණයන්ගේ හා සමාන ජීවන තත්වයකි. නමුත් සත්‍යයම තත්වය නම් ඒ සදහා අවශ්‍ය සමාජමය, ආර්ථිකමය, සහ සංස්කෘතිකමය ශක්තිය මෙරට සමාජය තුළ නොමැති වීමයි. මේ හේතුවෙන් ඉච්ඡාභංගත්වය ඇති වේ. "මෙහේ වගේ නෙමේ ජර්මනියේ හුළගත් සැපයි!!!" කියා බොහෝ තරුණ පිරිස් කෙසේ හෝ වළිකා විදේශ ගතවන්නේ මේ සමාජ, ආර්ථික, සංස්කෘතික රාමුවෙන් මිදී තමන්ගේ ෆැන්ටසියේ ඇති සමාජ, ආර්ථික, සංස්කෘතික රාමුවට අනුගතවීමටය. නමුත් එම කරුණේදී සාර්ථකවන්නෝ බොහෝ සුළු ප්‍රමාණයකි.

කෙල්ලෝ ගැන ලිව්වා අපි ආදරේ ගැන ලිව්වා
රැප් කරලත් කිව්වා කෙල්ලො දම්මවලත් කිව්වා
කෑ ගහලා කිව්වා හැම මගුල ගැනම කිව්වා
දැං බලපංකෝ චික් මේකෙත් උං ගැන කියලා...


තමන්ගේ සිහිනය එළිකරගැනීම සදහා දන්නා සෑම දෙයක්ම කිරීම ඉහත පද්‍යයෙන් මනාව ගම්‍ය වේ. "සිංදුවක් හිට් කරගැනීමට" සිදුකළයුතු සෑම දෙයක්ම සිදුකළත් "සිංදුව හිට් නොවීම" මෙහි ඇති ගැටළුවයි. තමා සතු සියළු උපක්‍රම අවසන්වුවත් තවමත් ප්‍රතිඵල රහිත වූ විට ඇතිවන ඉච්ඡාභංගත්වය මෙහි වචන වලින් මනාව ග්‍රහණය කරගත හැක.

නූතන තාරුණ්‍යය සමාජමය වශයෙන් මුහුණ දෙන ප්‍රධානම ගැටළුව මෙහි දක්වා ඇත. එනම් මොන දේ සිදු කළත් ඉන් නියම ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි වීමයි. වර්ථමාන තරුණයා පාසල් අධ්‍යාපනයෙන් පසු නොයෙක් දිශාවන්ට යොමු වුවත් ඉන් සාර්ථකත්වයක් නොලැබීම මෙහි විස්තර වේ. එමෙන්ම කාලයෙන් කාලයට තාරුණ්‍යය වසා ගන්නා රැළි හේතුවෙන්ද මේ තත්වය උදා වේ. උදාහරණයක් ලෙස මීට වසර කීපයකට ඉහත කාලයකදී පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු නීති ප්‍රවේශ විභාගය කිරීමේ රැල්ලක් විය. වර්ථමානයේ පරිගණක පාඨමාලා හැදෑරීමේ රැල්ලකි. එමෙන්ම හෝටල් කළමනාකරණ රැල්ලද තාරුණ්‍යය හරහා යමින් පවතී. මේ සියල්ල කළත් තරුණයා ඉන් කිසිවක කෙළවරක් දකින්නේ නැත. තමා යා යුතු දිශාව පිළිබද නිශ්චිත අරමුණකින් තොර ඔහු අතරමගදී වෙන රැල්ලකට හසුවී ගසාගෙන යාම සිදුවේ. අවසානයේදී "නොකරපු දේකුත් නැති, පුළුවන් දේකුත් නැති" ඉච්ඡාභංගත්වයෙන් පිරි පුද්ගලයෙක් සමාජයට පැමිණෙන අතර මොනවා හෝ දෙයක් සිදුකර ජීවත් වීම ඔහු සිදුකරයි. තමන්ට කියා ස්ථිර දැක්මක් නොමැතිවීම හෝ එවන් දැක්මක් සදහා තමන්ව යොමුකරනා නායකත්වයක් නොමැතිවීම මේ අර්බුධයට ප්‍රධානතම හේතුව වේ. ශෝචනීයම කරුණනම් ශ්‍රී ලාංකීය තාරුණ්‍යය  මේ ගැටළුවේ කරවටක් එරී සිටීමයි.

ඉදල ඉදලා කොහෙට හරි අපි සෙට් වෙනවා
කකා ඉදලා ඉදත් පිස්සු නටලා යනවා
දවසක් රෑ නමයට මම මේ සිංදුව ලිව්වා
කෝල් කරල මේ සිංදුව සෙට් එකටම කිව්වා


තමන් ස්ථිර අරමුණකින් තොරව ඉබාගාතේ සැරිසරණා බව මෙම පද්‍යයෙන් දක්වයි. "ඉදල ඉදලා කොහෙට හරි අපි සෙට් වෙනවා, කකා ඉදලා එදත් පිස්සු නටලා යනවා" යන දෙපදෙන් එය පැහැදිලි වේ. ප්‍රසිද්ධවීමට, ජනප්‍රියවීමට තමන් ඉතාමත්ම කැමති නමුත් ඒ සදහා අවශ්‍ය කැපවීම සිදුකිරීමට තමන් අකමැතිවීමද මේ අතරම පෙන්නුම් කරයි.

නූතන තාරුණ්‍යයද මේ ව්‍යාධියෙන්ම පෙළෙයි. ඉක්මනින් ධනවත්වීමට, ප්‍රසිද්ධවීමට දැඩි ආශාවක් ඇතිමුත් ඒ සදහා අවශ්‍ය කැපවීම සිදුකරන්නෝ ඉතා අල්පයකි. බොහෝ විට සිදුකරන්නේ එළෙසින් කැපවීමෙන් කටයුතු කරනා කෙනෙකු දුටු විට එම පුද්ගලයාවද අධෛර්යයට පත් කරවන සිදුවීම් සිදු කිරීමයි. බොහෝ තරුණ තරුණියන්ද මෙළෙසින් හැසිරීම අභාග්‍යයට කරුණකි. එමෙන්ම රැකියා ස්ථානයන්හිදී තමාගේ හෝ ආයතනයේ හෝ ඉදිරි දියුණුවක් පිළිබදව අවධානය යොමු නොකොට රැකියාවට යා යුතු හෙයින් යනෙන ලෙසට සිටින තරුණ පිරිස්වලින්ද මෙරටට අඩුවක් නැත. පෞද්ගලික අංශයේදී මේ තත්වය යම්තාක් දුරට අවම වුවත් රාජ්‍ය අංශයේදීනම් මේ කරුණ පිළිබදව ඕනෑ තරම් උදාහරණ දැක්විය හැක.

ශ්‍රී ලාංකීය තාරුණ්‍යය වර්ථමානයේදී මුහුණ දී ඇති ගැටළු සදහා වන සම්පූර්ණ වගකීම ඔවුන් මතම පැටවීම කිසිසේත් යුක්ති සහගත නොවේ. 1970 දශකයේ මුල සිටම තාරුණ්‍යය මෙම ගැටළු වලින් පීඩනයට පත්වූ අතර එකී පීඩනය ඔවුන් මුදාහරින ලද්දේ රාජ්‍ය බලය පැහැර ගැනීම සදහා වන සන්නද්ධ අරගල දෙකක් මගිනි. එම ක්‍රමය මුළුමනින්ම අසාර්ථක වූ අතර සිදුවූ එකම කරුණ වූයේ විශාල තරුණ ජීවිත ප්‍රමාණයක් රටට අහිමිවීම  සහ රටේ ජන ජීවිතය අඩාල වීම පමණි. එකී සන්නද්ධ අරගලයන්ගෙන් පසුව බලයට පැමිණි රජයන්ද තාරුණ්‍යයේ උන්නතිය වෙනුවෙන් දැනෙන යමක් සිදු නොකළ අතර සිදු කළ එකම දෙය වූයේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවාගැනීම සදහා තාරුණ්‍යය බළල් අතක් කරගැනීම පමණකි. එකී සේවයට කළගුණ සැළකීමක් ලෙස රැකියා ලබාදීම සිදුකළ අතර වර්ථමානයේ බිහිවී ඇති මුළුමනින්ම අදේශපාලනික ආත්මාර්ථකාමී තාරුණ්‍යය එකී ක්‍රියාදාමයේ ප්‍රතිඵලය වේ. වර්ථමාන සමාජ ආර්ථික රටාව අනුව මෙම ක්‍රමය පෙනෙන තෙක්මානයේදී වෙනස් නොවන අතර තාරුණ්‍යය ගිලගෙන ඇති ගැටළුද සදාකාලිකව එළෙසම පවතිනු ඇතැයි ලේඛකයා විශ්වාස කරයි. තමන්ට සාධාරණයක් ඉටුකරගැනීමට තාරුණ්‍යයට අවශ්‍යතාවයක් නොමැති අතර වෙන කවුරුන් හෝ එය ඉටුකර තමන් වෙත එය ගෙන දෙනවාට ඔවුන් දැඩි ප්‍රියතාවයක් දක්වයි. සැබෑ කරුණ නම් වර්ථමාන තාරුණ්‍යයට තමාගේ සහ අනෙකුත් තරුණයන්ගේ අරමුණු වෙනුවෙන් පාරට බහිනවාට වඩා සවසට ගෙදර පැමිණ Facebook එකේ status update කිරීම සහ photo එකක් share කිරීම වැදගත් හා අත්‍යාවශ්‍ය වීමයි. අනෙකාට කුමක් සිදුවුවත් තමාගේ කාර්යය කෙරේනම් කමක් නැතැයි සිතන තරම් ආත්මාර්ථකාමී ස්ථානයකට තාරුණ්‍යය තල්ලුවී යෑම කෙතරම් අභාග්‍යසම්පන්න සිදුවීමක්ද?

Draw Links සංගීත කණ්ඩායම ගායනා කරන ඉහත ගීතය ලේඛකයාගේ සිත් ගැනීමට තවත් ප්‍රධානතම හේතුවක් නම් එහි උපයෝගී කරගෙන ඇති වේග රිද්ම සංගිතයයි. වේග රිද්ම වුවද එම සංගීතය මනාව පාලනය කිරීම හේතුවෙන් කොපමණ හඩ උස්කර ශ්‍රවණය කළත් එම ගීතයෙන් කණට අපහසුතාවයක් ඇතිවන්නේ නැත (ලේඛකයා මෙහි සදහන් කරන්නේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමයි. මෙය පුද්ගලානුබද්ධව වෙනස් විය හැක). එමෙන්ම මෙම ගීතයේ ශක්තිය(weight) ඉතා ඉහළ වන අතර මෙම ගීතය ශ්‍රවණය කරනා විට එය මනාව ශරීරයට දැනීමද සිදුවේ. එමෙන්ම මෙම ගීතය සදහා නිර්මාණය කර ඇති වීඩියෝවද ගීතයේ රිද්මයටම අනුකූල වන ලෙස නිර්මාණය කර ඇති අතර ගීතයෙන් ශරීරයට ලබා දෙන ප්‍රවේගය එළෙසින්ම වීඩියෝවෙන්ද ලබාදීම හෝ තීව්‍ර කිරීම සිදුකරයි. ඒනයින් බලන කළ ජනප්‍රිය වීම කෙසේ වෙතත් නිර්මාණාත්මක අතින් මේ ගීතය සාර්ථකය.

නූතන ශ්‍රී ලංකාවේ පවතින සමාජ, ආර්ථික, දේශපාලන තත්වය හේතුවෙන් ඉච්ඡාභංගත්වයට, අපේක්ෂාහීනත්වයට පත්ව සිටින තාරුණ්‍යය පිළිබදව කෙරෙන මනා විවරණයක් සහිත විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස මෙම ගීතය ලේඛකයා වර්ග කරයි. සැබැවින්ම තාරුණ්‍යය මුහුණ දී ඇති ගැටළු මේ තරම් සාර්ථකව විග්‍රහ කරනා වෙනත් ගීතයක් 2000 දශකයේදීම ලේඛකයාට හමුවී නැත. නූතන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට ඇති බොහෝ ගැටළු මේ ගීතය මගින් ස්පර්ශ කර ඇති අතර එය කොපමණක පිරිසක් වටහාගත්තාදෝ යන සැකය ලේඛකයා තුළ ඇත. තමන් දකින අනතුරක් පිළිබදව සමාජය දැනුවත් කිරීම සමාජ මෙහෙවරකි. මේ ලිපිය ලියැවුනේ එකී සමාජ මෙහෙවර ඉටුකිරීම වෙනුවෙන්මය.

Thursday, February 9, 2012

Ubuntu 10.04 මතදී Firefox 10 ප්‍රතිස්ථාපනය කරමු | How to Reinstall Firefox 10 on Ubuntu 10.04

හෙඩිම දැක්ක ගමන් හැමෝම වගේ දන්නවා මොකක්ද කරන්න යන වැඩේ කියලා.
Ubuntu සහ Firefox...
නිකං ජාඩියට මූඩිය, ඉදිකටුවට නූල, ශ්‍රී ලංකාවට ක්‍රිකට් වගේ එකම පීල්ලේ එකම පැත්තට යන විවෘත සහ නිදහස් මෘදුකාංග දෙකක්.
නිකමට වගේ දෙන්නා ගැන පොඩ්ඩක් හොයලා බලමු...

මොකක්ද මේ Firefox...
සුප්‍රකට Mozilla සමාගමේ සාඩම්බර නිශ්පාදනයක්. විවෘත සහ නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න කට්ටිය. 2009 ජනවාරි ඉදලා අද මේ වෙනකම්ම ලෝකේ ජනප්‍රියතම වෙබ් බ්‍රව්සරය. අලුත්ම සංස්කරණය තමා Firefox 10.0. වෙන කොච්චර වෙබ් බ්‍රව්සර් තිබ්බත් මේක තමා රනාගේ ප්‍රියතම බ්‍රව්සරය.

ඊළගට බලමු Ubuntu...
සුප්‍රකට Canonical සමාගමේ නිශ්පාදනයක්. ලෝකේ දෙවෙනියට ජනප්‍රියතම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතිය. විවෘත සහ නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ මෙහෙයුම් පද්ධතියක්. ස්ථාපනය කරන්න (install), වැඩ කරන්න, පෙනුම වෙනස් කරන්න ලේසිම සහ පාවිච්චි කරන්න ආසම හිතෙන මෙහෙයුම් පද්ධතියක්. රනාගේ ප්‍රියතම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් Ubuntuම තමා.

මොකක්ද දැං මේ කරන්න යන්නේ....


සිද්ධියේ නිධාන කතාව මේකයි.

රනා තවමත් පාවිච්චි කරන්නේ Ubuntu 10.04 Lucid Lynx මෙහෙයුම් පද්ධතිය. මේක එළිදැක්වුවේ 2010 අප්‍රේල් මාසෙදි. අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනස් නොකර මේකම පාවිච්චි කරන්න මූලිකම වෙච්ච හේතුව තමා Ubuntu 10.04 කියන්නේ LTS Version එකක් වීම.
 
මොකක්ද මේ LTS සහ Normal Release කියන දෙකේ වෙනස!

මොකක්ද Normal Release කියලා කියන්නේ?

Normal Release එහෙමත් නැත්තං සාමාන්‍ය සංස්කරණයක් සදහා Canonical ආයතනය මාස 18ක කාලයක් සහය ලබාදෙනවා. උදාහරණයක් විදියට ගිය අවුරුද්දේ ඔක්තෝම්බර්වලදී එළිදැක්වුව Ubuntu 11.10 මෙහෙයුම් පද්ධතියට සහය දක්වන්නේ මාස 18ක කාලයක්. ඒ කියන්නේ 2013 ජූනි මාසයේදී Ubuntu 11.10 කියන මෙහෙයුම් පද්ධතියට Canonical ආයතනය මගින් ලබාදෙන සහයෝගය අවසන් වෙනවා.
සහයෝගය ලබා දෙනවා කියන්නේ විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන කිරීම ලබාදීම. මෙහෙයුම් පද්ධතියේ දෝෂ සහ ආරක්ෂක උපක්‍රම නිරන්තරයෙන් අළුත්වැඩියා කරන අතර ඒ අළුත්වැඩියාවන් නොමිලේම පරිශීලකයන්ට ලබාදීම සිදුකරනවා. ඒ වගේම Ubuntu මෙහෙයුම් පද්ධතියේ ඇති වෙනත් වාණිජමය මෘදුකාංගවල කොන්ත්‍රාත් කාලයත් මේ සහයෝගය ලබාදෙන එකට අයිතියි. මාස 18කින් පස්සේ Canonical සහයෝගය අවසන් වෙනවා කියන්නේ අර කළිං කියපු සහය පරිශීලකයාට තවදුරටත් ලබාදෙන්නේ නෑ කියන එක.

එතකොට මොකක්ද මේ LTS?

LTS කියන එකේ තේරුම Long Term Support. ඒ කියන්නේ දිගු කාලයක් Canonical සහය ලබාදෙනවා කියන එක. LTS සංස්කරණයක් සදහා අවුරුදු 3ක කාලයක් Canonical ආයතනය තමන්ගේ සහය ලබා දෙනවා. Ubuntu Desktop සංස්කරණයක් සදහා පසු සහය අවුරුදු 3ක කාලයක් වගේම Ubuntu Server සංස්කරණයක් සදහා අවුරුදු 5ක කාලයක් මේ LTS නිකුතුවකදී පසු සහය ලබාදීමට Canonical ආයතනය බැදී සිටිනවා. ඒ වගේම රනා අත්දැකීමෙන් දන්න දෙයක් තමා Normal Release එකකට වඩා LTS Release එකක ස්ථාවරභාවය (Stablity) වැඩිවීම.

මේ හේතූන් නිසා තමා රනා තාමත් 2010 අප්‍රේල්වලදී නිකුත්කළ Ubuntu 10.04 Lucid Lynx මෙහෙයුම් පද්ධතියම පාවිච්චි කරන්නේ.

ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමග පෙරනිමියෙන්ම එන අටෝරාසියක් මෘදුකාංග අතරේ වෙබ් බ්‍රව්සරය විදියට ගොඩක් වෙලාවට පැමිණෙන්නේ Firefox. මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන කාලේ වෙනකොට තියෙන අලුත්ම Firefox සංස්කරණය එහිදී ලබාගන්න පුළුවනි. මේ විදියට රනා පාවිච්චි කර කර හිටපු 10.04 මෙහෙයුම් පද්ධතිය එක්ක තිබ්බේ Firefox 3.6.3 කියන සංස්කරණය.

Goolge Chrome බ්‍රව්සරය මගින් තමන්ගේ වෙබ් බ්‍රව්සර් අධිරාජ්‍යයට එල්ල කරන දැඩි තර්ජනය නිසාම අවුරුද්දක් වගේ ඉතා කෙටි කාලයක් ඇතුළත Firefox 4.0 සංස්කරණයේ සිට Firefox 10.0 සංස්කරණය දක්වා සීඝ්‍ර ගමනක් යන්නට Mozilla ආයතනයට සිදුවුනා. Firefox වෙනස් වෙන වේගෙට වෙනස් නොවිච්ච රනා පුරුදු විදියට Firefox 3.6ම පාවිච්චි කර කර හිටියා. වැඩි අවුලක් නෑ.

ඔහොම ඉද්දි තමා Google+ කාරයා අලුතෙන් ගේම්ස් වගයක් හදුන්වලා දුන්නේ. ගේම් ගහන්න රනාත් හරි කැමතියි. ඉතිං Google+ එකේ ගේම් ගහන්න ගියාම රනාට මොකද උනේ? බ්‍රව්සරේ පරණයි, ගිහිං අලුත් එක දාගෙන එන්න කියලා Google+ ගොයියා කිව්වා. 
අපොයි!!! 
කාලා වරෙංකෝ දැං ඉතිං.

Firefox යළි ස්ථාපනය කරන්න පුළුවං විදි ගොඩක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ඉවත්කරලා නැවත පිහිටුවන්නත් පුළුවං. ඒත් බුක්මාර්ක් කරගන්න වෙබ් අඩවි බර ගාණක් තියෙන නිසා ඒ ක්‍රමේ හරියන්නේ නෑ. එහෙනං මොකක්ද කරන්නේ?

මේ වෙලාවේදි තමා රනාට Terminal එක පිහිටට ආවේ. රනාගේ සහ Terminal එකේ සම්බන්ධය ගැන මීට කළිනුත් රනා කියලා තියෙනවා.
කළිං තිබ්බ settings ඒ විදියටම තියාගෙන අලුත්ම සංස්කරණයට බොහොම ලේසියෙන් Terminal එක හරහා පිවිසෙන්න පුළුවනි. 

මේ තියෙන්නේ ඒ ක්‍රමය.
මේක ක්‍රියාත්මක කරන්නනං අන්තර්ජාල සම්බන්ධතාවක් තිබීම අනිවාර්ය කරුණක්.

මුලින්ම Terminal එක ගන්න ඕනේ.

අලුත් විදියකට Terminal එක ගෙන්න ගමු.
Alt + F2 ටයිප් කළාම එන කව්ළුවේ gnome-terminal කියලා ටයිප් කළාම Terminal එක නිකංම open වෙනවා.

ඊළගට root වෙන්න ඕනේ.
sudo bash කියලා ටයිප් කරලා ඔබේ password එක දීමෙන් තාවකාලිකව (මේ Session එකට විතරක්) root වෙන්න පුළුවං.

ඊළගට මෙන්න මේ විදියට ටයිප් කරන්න ඕනේ.
apt-get install --reinstall firefox

මේ command එකේ apt-get install කියන එකේ තේරුම මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට සූදානම් කියන එක සහ "--reinstall firefox" කියන්නේ firefox මෘදුකාංගය ප්‍රතිස්ථාපනය කරන්න කියන විධානයයි.

ඔය ටික ටයිප් කරලා Enter කළාම වැඩේ හරි.

18MB පමණ වෙන ගොනු කීපයක් අපේ පරිගණකයට බාගත වෙනවා. ඊට පස්සේ ස්වයංක්‍රීයව ස්ථාපනය වීම සිදුවේවි. එච්චරයි.

ඊළග වතාවේ ඉදලා ඔබ යළිත් Firefox open කරනකොට ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ නවතම Firefox සංස්කරණය තුළින්...

කරලා බලන්න.

ජය වේවා Firefox!!!

Tuesday, February 7, 2012

අරක්කු - සිගරට් බොනවානම් මේකත් කියවන්න | For Drinkers and Smokers !!!

            
අරක්කු සහ සිගරට් යනු වර්ථමාන ශ්‍රී ලංකාවේ මේ ලිපිය ලියන මොහොතේත් ඉතාම වැඩි වේගෙන් අළෙවි වන පාරිභෝගික භාණ්ඩ දෙකකි. මිල කොච්චර ඉහළ දැම්මත් මේ භාණ්ඩවල ඉල්ලුම අඩු වෙච්ච බවක්නම් සමාජය තුළදී දක්නට නැත. ඊට සාපේක්ෂව මිළ කොපමණ ඉහළ ගියත් පරිභෝජනය වැඩි බවනම් පැහැදිලිව දකින්නට පුළුවන. රජය වුවද කිසිම පැකිලීමකින් තොරව ඕනෑම අවස්ථාවකදී බදු අයකරමින් මිල වැඩි කරන්නේ මේ හේතුව රජයේ උදවියත් ඉතාම හොදින් දන්නා හදුනන බැවින් විය යුතුය. ඒ වගේම කිරිපිටි, ගෑස්, ආහාර ද්‍රව්‍ය වගේ දේවල් වල මිල ඉහළ දැම්මෝතින් රජයට පලු යන්න බනින උදවිය රජයෙන් නියම කරන මිලට කිසි කතාවක් බැනීමක් නැතුව අරක්කු සිගරට් මිලදී ගන්න හැටිත් සුලබ දසුනකි. ඒ වගේම අරක්කු මිල අඩු කරව්!!! සිගරට් මිල අඩු කරව්!!! කියලා කවදාකවත් කව්රුවත් උද්ඝෝශණය කරනු ලේඛකයා සම්මජ්ජාතියකදී දැක නැත.



                
අරක්කු සහ සිගරට් සදහා සමාජයේ පවතින ඉල්ලුම මීට ටික දිනකට පෙර ලේඛකයා දුටු සිදුවීමකින්ම විස්තර කළ හැක. මීට මාස දෙකකට පමණ පෙර දිනක ලේඛකයාත් ඔහුගේ සහෝදරයෙකුත් හිතවතෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී විම සදහා ලේඛකයාගේ ගමට ආසන්න ගමකට පිටත් වූහ. අවමංගල්‍ය පැවැත්වූ නිවසට යාමට කාලවේලාව මද වූ බැවින් අවසන් කටයුතු සිදු කෙරෙන සුසාන භූමියට යාමට ලේඛකයාට සිදුවූ අතර දේහය සුසාන භූමියට ගෙන එන තෙක් මිනිත්තු 40ක පමණ කාලයක් එහි රැදී සිටීමට ඔවුන්ට  සිදුවිය. එම සුසාන භූමිය ඉදිරිපසම රටබීම අළෙවිහළක් එසේත් නැතිනම් "වයින් ස්ටෝර්ස්" එකක් පිහිටා තිබේ. දේහය සුසාන භූමියට ගෙන එන තෙක් එම ස්ථානයේ රැදී සිටි මුළු කාලයෙන් හරියටම ගණන් බලාගත් මිනිත්තු 20ක කාලයකදී එම වයින් ස්ටෝර්ස් එකට ගණුදෙණු කරුවන් හතළිස් හත්දෙනෙකු (47) පැමිණියහ. ඔවුන් සියළුම දෙනා කුමක් හෝ බෝතලයක් හෝ කෑන් එකක් මිළදී ගත් අතර ලේඛකයාගේ ගණන් සැදීමට අනුව ඒ මිනිත්තු 20ක කාලය තුළදී රුපියල් 9,000/= ක පමණ ආදායමක් එම වෙළදසැළට තිබුණි. ඉහත කුඩා සිදුවීම මෙහි සටහන් කරන ලද්දේ අරක්කු සහ සිගරට් සදහා මෙරට පවතින ඉල්ලුම පිළිබදව පැහැදිලි කිරීමටය.


මේ ලිපිය ලියැවෙනුයේ එකී අරක්කු සිගරට් සදහා වන දැඩි ඉල්ලුමට විරෝධය පෑමටවත්, එකී අරක්කු සිගරට් පරිභෝජනය කරන්නන් හෙළා දැකීමටවත් නොවේ.  අරක්කු සිගරට් පරිභෝජනයෙන් ශරීරයට සිදුවන හානිය, මුදල් නාස්තිය යනාදිය පිළිබදව සමාජය හොදින් දැනුවත්ව ඇති බව ප්‍රකට කරුණකි. ඕනෑම කෙනෙක්ට නීති විරෝධී නොවන ඕනෑම දෙයක් කෑමට බීමට නිදහස ඇත. එම නිදහස අයුතු ලෙස භාවිතා කිරීමෙන් ගැටළු ඇතිවේ. එසේ ගැටළු ඇති කරගැනීම අරක්කු සිගරට් භාවිතා කරනා පුද්ගලයින්ගේ ගැටළුවක් මිස කයක් හෝ මනසක් නොමැති අරක්කු සිගරට් වල ගැටළුවක් නොවේ. මේ අරක්කු සහ සිගරට් පිළිබදව ලේඛකයා දරණ මතයයි.


මේ ලිපිය ලිවීමට මූලිකම කරුණනම් අරක්කු සිගරට් වලින් ක්ෂයවී යන ශාරීරික මානසික ශක්තිය යළි නංවා ගන්නා ආකාරය පිළිබදව සාකච්ඡා කිරීමය. එමෙන්ම අරක්කු සහ සිගරට් පානය කරනා විටදී අනුගමනය කළයුතු සිරිත් (රීති ලෙසටද දැක්විය හැක) පිළිබදවත් දැනුවත් වීමටය. මෙහි සදහන් කරුණු සියල්ල සදහා එකග විය යුතු නැත. සාකච්ඡා කිරීම යනුවෙන් අදහස් කෙරුණේ මෙම ලිපියේ අන්තර්ගත කරුණු පිළිබදව සංවාදයක් ඇතිකිරීම වේ. යම්කිසි කරුණක් පිළිබදව සංවාද කිරීම තුළින් ඒ පිළිබදව සමාජය දැනුවත් වීම වේගවත් වන බව ලේඛකයාගේ මතයයි.


මෙවන් ලිපියක් ලිවීම පිණිස ලේඛකයාගේ මනස මෙහෙයවූ සිදුවීමද මෙහි සටහන් කිරීම වටී. සැකෙවින් එය මෙසේය.


ලේඛකයා සහ ඔහුගේ මිතුරෙක් දිවා ආහාරය ලබාගැනීම පිණිස තෝසේ කඩයකට ගොඩ වැදේ.
දෙදෙනාම තෝසේ ඇණවුම් කළ අතර වේටර්වරයා පැමිණ සාම්බාරු (තෝසේ කන්නෝ මේ කුමක්දැයි දනිති) බෙදන්නට වූ අතර මිතුරා ඔහුගේ පිගානට  වට්ටක්කා කැබලි බොහෝ ප්‍රමාණයක් බෙදාගන්නට විය. ඉන් අනතුරුව මිතුරා සහ ලේඛකයා අතර දෙබස මෙසේ විය.


ලේඛකයා :- මොකෝ බං ඔච්චර වට්ටක්කා තොගයක්? වට්ටක්කාවලට ආසද ඔච්චර?
මිතුරා :- පපුවට හොදයි මචං. සිගරට්වල තියෙන නිකොටීන් ඔක්කොම ඇදලා ගන්නවා වට්ටක්කා වලින්.
ලේඛකයා :- සිරාවට?
මිතුරා :- ඔව් මචං. වට්ටක්කා හරි ගුණයි සිගරට් වලට...


මේ ලිපිය ලිවීම සදහා අවශ්‍ය උත්තේජනය සැපයූවේ එම දෙබසයි.

අරක්කු සිගරට් විසට බෙහෙත් කරන ආහාරවර්ග පමණක් නොව අරක්කු සිගරට් පානය කරනා අවස්ථාවකදී හැසිරිය යුතු ආකාරය පිළිබදව ලිවීමට සිතුණේ හුදී ජන පහන් සංවේගය පිණිසමය.

අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති.





අරක්කු පානය ආරම්භ කරන විට
ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව මේසය මත තැබීමෙන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී දෙතොළ තෙමාගැනීම හෝ සිදුකරන්න.

අරක්කු පානයට අතරමැදින් එක්වන විට

ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූයේනම් අරක්කු පානය කිරීමට පෙර අනිවාර්යයෙන්ම සව්දිය පුරන්න. එසේ කිරීමෙන් ඔබ වෙරිවෙන්නේ නැති හෝ ඔබ පානය කරන අරක්කු වෙන විශේෂ රසක් වීම සිදු නොවේ. නමුත් ඔබ ආචාරශීලී අයෙක් බවට අනෙක් අයට හැගේවි.

හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න

අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්‍ර කරන්න.

කිසිමවිටක ඔබේ වීදුරුව තනි නොකරන්න

ඔබ අරක්කු පානය කරනා විට ඔබට නොයෙක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්‍ය වීම මේ අතර ප්‍රධාන වේ. මේ සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානයෙන් නැගිටිනවානම් ඔබේ අරක්කු වීදුරුවත් රැගෙන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව මේසය මත තබා එම ස්ථානයෙන් පිට නොවන්න. මෙසේ කිරීම මගින් ඔබේ අරක්කු වීදුරුවට වෙනත් දේවල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුවේ.

ඔබේ වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එසේම සිදුකරන්න ඉඩ දෙන්න.

ඔබට ගැළපෙන අරක්කු ප්‍රමාණය දන්නේ ඔබ පමණි. එසේනම් ඔබේ අරක්කු වීදුරුව පුරවා ගත යුත්තේ ඔබ විසින්මය. ඔබ තවෙකෙකුගේ තත්වය දන්නේ නැත. එමනිසා අන් අයගේ වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර දෙන්න.

කටගැස්ම සහ මිශක භාවිතයේදී සැළකිළිමත්වන්න

අරක්කු සමග අවශ්‍ය වන ඊළග අංගයනම් කටගැස්මයි. මෙහිදී ඔබ සතුව ඇති අරක්කු ප්‍රමාණය සමග කටගැස්ම ප්‍රමාණයද කළමණාකරණය කරගැනීමේ වගකීම ඔබ සතුවේ. අරක්කු සමග මිශ්‍ර කරනා අනෙක් පාන වර්ගයන් (කොකාකෝලා, ස්ප්‍රයිට්) වැනි දේ සදහාද මෙය මෙසේම වේ.

කටගැස්ම පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න

බොහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම සදහා භාවිත වේ. මේ කිසිම දෙයකින් බොහෝ විට එකම ප්‍රමාණයේ කෑළි කැපිය නොහැකිය. එමනිසා පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න. පීරිසියේ ඇත්තේ ප්‍රමාණයෙන් විශාල කැබලිනම් එම කැබලි දෙකට කඩාගැනීම සිදු කළ හැක.

ඔබ පානය කරන්නේ ලෝකයේ ඇති අන්තිම අරක්කු බෝතලය නොවේ

අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.


හැකිතාක් ජලය පානය කරන්න
අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. මෙසේ කිරීමෙන් අරක්කු මගින් ශරීරයේ ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිවේ.

අරක්කුවලට ගිජු නොවන්න

මේසය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්‍ය නැත. අරක්කු සියල්ලම නොබීවා කියා කිසිවෙක් ඔබට දෝශාරෝපනය කරන්නේද නැත. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අරක්කු පානය කරන්න.

සිගරට් දුම සෑමවිටම බිමට යොමු කරන්න

සිගරට් පානය කරනා බොහෝ දෙනෙක් හුරුවී සිටින්නේ සිගරට් දුම තම කටට සමාන්තරව අවට වාතයට මුදා හැරීමටය. එසේ කිරීම මගින් අවට සිටිනා සිගරට් පානය නොකරන අනෙකුත් අයවද අක්‍රීය දුම්බොන්නන් ලෙස හවුල් කරගැනීම ඔහු සිදුකරයි. තමා පිටකරන සිගරට් දුම බිමට යොමුකිරීම මගින් මෙම තත්වය යම් තරමකට පාලනය කළ හැක.


ඉහතින් දැක්වූයේ අරක්කු පානය කරනාවිට අනුගමනය කළහොත් යහපත් ප්‍රතිඵල අත්කරදෙන යම් යම් රීතීන් කීපයකි. එම රීතීන් පිළිපැදිය යුතුමය යනුවෙන් නියමයක් නැත. තම තම නැණ පමණින් වටහාගැනීම උචිත වේ.

අරක්කු පානය කිරීමෙන් පසු


 
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අරක්කු පානය කරන්නේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීය. මේ හේතුවෙන් අරක්කු පානය කර නිදාගැනීම සුලභ සිදුවීමකි. නමුත් ඊට පසුදින උදෑසන හිස කැක්කුම සෑදීම සහ ඇගට දැඩි අපහසුවක් දැනීම බොහෝ දෙනෙක්ට සිදුවේ. මීට හේතුව වන්නේ අරක්කු මගින් ශරීරය විජලනය කිරීමයි. අරක්කු පානය කරනාවිට සහ පානය කිරීමෙන් පසු ජලය පානය කිරීමෙන් මෙම තත්වය නැතිකරගත හැක. මෙහිදී පානය කරනා අරක්කු ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රමාණයක් ජලය පානය කිරීම බොහෝවිට සුදුසු වේ.


අරක්කු පානය කිරීමෙන් පසු යම් කිසි ආහාරයක් ගැනීම ඉතා වැදගත් වේ. මෙසේ කිරීම මගින් ද පසු දින ඇතිවන ශාරීරික අපහසුතාවලින් අත්මිදිය හැක. බර ආහාරයක් ගැනීමට අපහසුනම් කෙටි/ක්ෂ්ණික ආහාරයක් හෝ ගැනීම සුදුසු වේ.

කෝපි හෝ කෝපි අඩංගු පානයක් ගැනීම සුදුසු නැත. කෝපි වලින් සිදුකරන්නේද ශරීරය විජලනය කිරීමයි. එමෙන්ම කිරි වර්ග හෝ කිරි අශ්‍රිත පානයන් ගැනීම සුදුසු නැත. එසේ කිරීම මගින් ඔක්කාරයට ඒම හෝ වමනය යෑම වැනි දේ සිදුවිය හැක. එසේ වූ විට තත්වය වඩාත් දරුණු වේ.


විටමින් C සහිත පළතුරු පානයන් ගැනීම හිතකර වේ. විටමින් C මගින් ක්ෂණිකව ඔබේ ශරීරයට ශක්තිය ලබා දෙයි. දෙහි හෝ දොඩම් ඉස්ම මේ සදහා වඩාත් යෝග්‍ය වේ. ප්‍රමාණය ඉක්මවා අරක්කු පානය කර සිහි මුර්ඡාවී සිටිනා අයගේ හිසේ දෙපතුලේ දෙහි අතුල්ලන්නේ මේ හේතුව නිසා විය යුතුය. විටමින් C සපිරි පානයන් බීමට අපහසුවේනම් විටමින් C හෝ මල්ටිවිටමින් පෙති ගැනීමෙන් එම අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැක. මෙළෙසින් බෙහෙත් පෙති මගින් විටමින් වර්ග ගැනීමට පෙර සෑමවිටම වෛද්‍යය නිර්දේශය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.


ඉහත ක්‍රමවේදයන් මගින් අරක්කු බීමෙන් පසුව ඇතිවෙන අපහසුකාරී තත්වයන්, සරළ සිංහලෙන් පවසනවානම් "කට් වීම" නොහොත් ඉංග්‍රීසියෙන් Hangover අවස්ථාවන්ට ගොදුරුවීම වළක්වා ගත හැක.


පුරුද්දක් ලෙස දිනපතාම අරක්කු සිගරට් පානය කිරීම ශරීර සෞඛ්‍යයට යහපත්ම නැත. මෙය සියළුම දෙනා දන්නා සත්‍යයකි. නමුත් කොපමණ අයහපත් යැයි කීවද එළෙසින් කරනා බොහෝ පිරිසක් ඇත. සමහරවිට ඔබේ හිතවතෙක්, මිතුරෙක් හෝ පවුලේ අයෙක් වුවද එළෙසින් හැසිරෙනවා විය හැක. එවන්නන්ගේ අරක්කු සිගරට් හේතුවෙන් පහළ වැටෙනා ශරීර සෞඛ්‍යය යම් තරමකට හෝ ඉහළ නංවා ගත හැකි ආකාර කීපයක් ඇත. විශේෂයෙන්ම ගන්නා ආහාරවලින් සහ ව්‍යායාම මගින් එළෙස අරක්කු සහ සිගරට් මගින් ශරීරයට ඇතිකරනා බලපෑම යම් තරමකට අවම කළ හැක.

නිතිපතා සිගරට් භාවිත කරන්නන් ගතයුතු ආහාර වර්ග







විටමින් A, B, C සහ E සපිරි ආහාරවර්ග භාවිතා කිරීම සුදුසුය. කිරි, කැරට්, බෝංචි, ඉරිගු, ගෝවා යනාදිය මගින් සිගරට් දුමින් ශරීරයේ ඇතිකරනා විටමින් ලුහුඩුතාව වර්ධනය කරගත හැක. එමෙන්ම මෙම ආහාර වර්ග මගින් ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තීකරණයද වර්ධනය කරයි.


කහට තේ පානය කිරීම සුදුසුය. මෙම තේ මගින් රුධිර නාළ තුළ කොලෙස්ට්‍රෝල් තැන්පත්වීම අවම කරයි. එමෙන්ම ගෑස්ට්‍රික් අම්ලය පාලනය කිරීම සහ රුධිරයේ අඩංගු සීනි සාන්ද්‍රණය අඩු කිරීමද තේ වලින් සිදු කරයි. තේ මූත්‍රවර්ධකයකි. මේ හේතුවෙන් ශරීරයේ රැදී පවතින යම් විෂ වර්ග මූත්‍ර මගින් වඩාත් ඉක්මනින් පිටකළ හැක.


සිගරට් දුම මගින් රුධිරයේ ඇති සෙලීනියම් සාන්ද්‍රණය අඩු කරයි. සෙලීනියම් යනු පිළිකා මඩින අලෝහමය මූලද්‍රව්‍යයකි. සත්ව පීකුදු (අක්මාව), මුහුදු පැළෑටි සහ ඉස්සන් ආහාරයට ගැනීමෙන් සිගරට් විෂ හේතුවෙන් විනාශවන සෙලීනියම් සාන්ද්‍රණය යළි වැඩිකරගත හැක.


යකඩ සහිත ආහාර ගැනීමෙන්ද සිගරට් විෂෙන් සිදුවන බලපෑම අඩු කරගත හැක. කිරි, නිවිති, සත්ව පීකුදු, මුහුදු පැළෑටි සහ සෝයා බෝංචි ආහාරයට ගැනීමෙන් මෙය සිදුකළ හැක.


සිගරට් දුම මගින් රුධිර නාළ තුළ කොලෙස්ට්‍රෝල් තැන්පත් කිරීම හේතුවෙන් රුධිර සංසරණයට බාධා සිදුවේ. මේ බාධාවන් හේතුවෙන් හෘධයාබාධ ඇතිවීම හෝ මොළයට සංසරණයවන රුධිරය අවම වීම නිසා මොළය වැහැරීම (Brain Atrophy) වැනි තත්වයන් ඇතිවිය හැක. එමනිසා නිතිපතා සිගරට් පානය කරන්නන් තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකිය යුතු අතර කොලෙස්ට්‍රෝල් අවම කරන ආහාර වර්ග වන කිරි, සෝයා ආහාර, මාළු සහ තන්තුමය ආහාර වන කුරුදු, කෙදි සහිත එළවළු වර්ග සහ පළතුරු වර්ග ආහාරයට ගැනීම යෝග්‍ය වේ.


එමෙන්ම කැරට්, නිවිති, මුංඇට සහ සෝයා ආහාර වැඩි වශයෙන් ගැනීම මගින් දුම්බීමේ අවශ්‍යතාව අවම කරගත හැකිය. එම ප්‍රකාශය සත්‍යයක්ද අසත්‍යක්ද වග නිර්ණය කිරීම පාඨක ඔබට භාරය.

දිනපතා අරක්කු පානය කරන්නන් ගතයුතු ආහාර වර්ග







තද වර්ණ සහිත එළවළු සහ පළතුරු වර්ග කැරට්, ඇප්‍රිකට්, නිවිති, ගම්මිරිස් වැනි දේ එමෙන්ම විටමින් C අධික ආහාරවර්ග වන දෙහි, දොඩම්, තක්කාලි වැනි දේ සහ විටමින් E අඩංගු ආහාර වර්ග වන එකක් හෝ කීපයක් ගැනීම අවශ්‍යවේ.


එමෙන්ම ප්‍රෝටීන් බහුල ආහාර වර්ග ගැනීමද සිදුකළ යුතුය. ප්‍රෝටීන් අධික ආහාර වර්ග වන පරිප්පු, සෝයා, බිත්තර සුදු මදය, මාළු වර්ග සහ මස් වර්ග ආහාරයට ගත යුතු වේ. මෙහිදී මස් වර්ග වලට වඩා මාළු වර්ග ආහාරයට සුදුසු වන්නේ මස්වලට සාපේක්ෂච මාළුවල මේදය අවම වන බැවීනි. මේද අධික ආහාර ගැනීමෙන් වැළකීම සුදුසු වේ.


සැමන්, මැකරල් වැනි තෙල් සහිත මාළු වර්ග සතියකට එක වතාවක් පමණ ආහාරයට ගැනීම සුදුසු වේ. එමෙන්ම සළාද වර්ග ආහාරයට ගැනීමෙන්ද අරක්කු මගින් ශරීරයට ඇතිකරනා අහිතකර බලපෑම යම් ප්‍රමාණයකට අවම කළ හැක.

නිවුඩ්ඩ සහිත බත් (රතු බත්) ආහාරයට ගැනීම නිරන්තර අරක්කු පානය කරන්නෙකුට අවශ්‍යම දෙයකි. එම නිවුඩ්ඩ මගින් රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරනා අතර දියවැඩියා තත්වය සමනය කිරීම ඉන් සිදු කරයි.


තල, බෝංචි, දිඹුල්, තිරිගු වැනි ආහාර වර්ග මගින් අරක්කු පානය හේතුවෙන් ශරීරයෙන් ගිලිහෙන මැග්නීසියම් ප්‍රමාණය නැවත ලබාගත හැකි වන අතර නිරන්තර අරක්කු පානය හේතුවෙන් ශරීරයෙන් විනාශ වන තුත්තනාගම් (Zink) ප්‍රමාණය නියමිත පරිදි තබා ගැනීම තිරිගු, වට්ටක්කා සහ බිත්තර මගින් වඩාත් පහසුවෙන් ඉටුකරගත හැක.


අරක්කු සිගරට් පානය කිරීම කිසිසේත් යහපත් කටයුත්තක් නොවේ. නමුත් අරක්කු සිගරට් යනු මෙරට තුළ හාල්, පොල්, පාන් තරමටම අළෙවිවන පාරිභෝගික ද්‍රව්‍යයන් වේ. මිනිසුන් මේවා මිළදී ගන්නේ පානය කිරීමටය. දුම් ඉරීමටය. අරක්කු හා සිගරට් හේතුවෙන් වැළදෙන ලෙඩ රෝග බොහොමයකි. එකී ලෙඩ රෝග බොහොමයක් ඉහත දැක්වූ ආහාර රටාවන් මගින් යම් තරමකට හේ පාලනය කරගත හැක. අරක්කු සිගරට් පානය කිරීම හේතුවෙන් රෝගී වී රජයේ රෝහලක රෝහල් ගතවන කිසිවෙකුට නොමිලේ ප්‍රථිකාර නොකරන ලෙස නියෝගයක් සෞඛ්‍යය අමාත්‍යතුමන් පසුගිය දිනක සිදු කළේය. රටේ යම් පිරිසක් එම මතයට පක්ෂ වනවිට අනෙක් පිරිසක් විපක්ෂ විය. එම ප්‍රකාශය සදහන් පුවත රටේ විවාදයට තුඩුදෙන කාලයේදී ලේඛකයා සිටියේ මධ්‍යස්ථ මතයකය. ඔහුගේ එම මධ්‍යස්ථ මතය යම්තාක් දුරකට තහවුරු කිරීමද මෙම ලිපියෙන් සිදු විය.


"දැනුම යනු මහා සාගරයක්නම් මා දන්නේ ඉන් වතුර වීදුරුවක ප්‍රමාණය පමණි"යි ප්‍රකට දාර්ශණිකයෙක් වරක් ප්‍රකාශ කළේය. එළෙසින් අරක්කු යන මාතෘකාව පිළිබදව කතා කරද්දී ඒ පිළිබදව දැනුම මහා සාගරය හා සමානනම් ලේඛකයාගේ දැනුම අරක්කු බෝතල් මූඩියකටත් වඩා අවම වේ. ඒ හේතුවෙන් මේ ලිපියේ අඩුපාඩු ගුණදොස් වෙතොත් සියල්ලෝ කමත්වා.

ජය වේවා!!!


මෙම ලිපියේ අඩංගු කරුණු බොහෝමයක් ලබා ගත්තේ අන්තර්ජාලයේ  සැරිසැරීම මගිනි.
එම ලිපි මේ මේ මේ සබැදියන් ක්ලික් කිරීම මගින් කියවිය හැක.