Tuesday, April 29, 2014

නිහඬ වැඩකාරයෝ | The Unsung Heroes


සයිබර් සිහින බක්මහ උළෙල පහුගිය අප්‍රේල් 20 ඉරිදා දවස පුරාම බත්තරමුල්ල පැලවත්ත ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වුනා. බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කමෙන්ට් කරන සහ ඒ මොනවත්ම නොකරන බොහෝ පිරිසක් එදා දවස තමන්ගේ ජීවිතේ අමතක නොවෙන සුන්දර මතකයන්ගෙන් පිරිච්ච දවසක් බවට පත්කරගත්තා. අකුරුවලින් විතරක් දැනගෙන හිටිය අයව හැබැහින් දැකලා අඳුනගත්තා. තිබ්බ හිතවත්කම් වැඩි කරගත්තා. අමනාපකම් නැතිකරගත්තා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම සන්තෝසජනක දවසක්...

ඒ වගේම අවුරුදු උත්සවේට ආපු බොහෝදෙනෙක් ඒ වෙනුවෙන් සටහන් එක්කරලා තිබ්බා. ස්තූති ප්‍රශංසා වගේම සාධනීය විවේචනත් තිබුණා. ඒ හැම දෙයක්ම බොහොම ස්තූති පූර්වකව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අපි භාරගන්නවා. විශේෂයෙන්ම ඔබ පෙන්වා දුන්න ඒ අඩුපාඩු සම්පූර්ණ කරගත්තනම්, අවුරුදු උත්සවේ මීට වඩා සාර්ථකව පවත්වන්න තිබුණා. ලබන වතාවකදී ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න සංවිධායක මණ්ඩලේ උත්සාහ ගනීවි...

මේ පැවැත්වුණ සයිබර් සිහින බක්මහ උළෙල එක දවසකින්, සතියකින්, මාසෙකින් සංවිධානය වෙච්ච දෙයක් නෙමේ. මේ අවුරුද්දේ ජනවාරිවල ඉඳංම වගේ කට්ටිය එක්කහුවෙලා, සංවිධායක මණ්ඩලයක් හදාගෙන, ඒ සංවිධායක මණ්ඩලේ කීපවතාවක්ම එක්කහු වෙලා, කතා බහ කරලා, තීන්දු තීරන අරගෙන, ඒවා වෙනස් කරලා, බොහෝ කාලයක් අරගෙන තමයි මේ උත්සවේ ඔබ වෙත ගෙන ආවේ. ඔබ සැම වෙනුවෙන් එහෙම සුන්දර අත්දැකීමක් ගේන්න තිරය පිටිපස්සේ ඉඳං මහන්සි වෙච්ච පිරිස බොහෝමයි. විශේෂයෙන්ම දිවා රෑ නොබලා, තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැපකරගෙන, කිසිම ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී, හුදෙක් අනිත් අයගේ සතුට වෙනුවෙන් මහන්සි වෙච්ච බොහෝ දෙනෙක් සංවිධායක මණ්ඩලේ හිටියා. ස්තූති ප්‍රශංසා බොහොමයක් තිබ්බත්, ඒ හැම එකක්ම පොදුවේ සංවිධායක මණ්ඩලේ ගිණුමටයි බැරවුනේ. එහෙම වෙද්දි සංවිධායක මණ්ඩලේ තිරෙන් පිටිපස්සේ හිටිය පිරිස හඳුන්වා දෙන එක අපේ යුතුකමක්. ඉතිං පෙරහැරේ යන්නේ නැතුව කොට ඇද්ද අලි ටික හඳුන්වා දෙන්නයි මේ සටහන වෙන්වෙන්නේ.

චතුමිතු - චතුරිකා දුලාංජලී

පහුගිය අවුරුදු උත්සව කීපයකම සංවිධායක මණ්ඩලේ හිටිය, නිහඬ, නමුත් සෑහෙන්න බරක් ඇද්ද චරිතයක්. මේ අවුරුදු උත්සවේ ලිපි ලේඛණ කටයුතු සියල්ල සිදුකළේ මෙතුමිය තමයි. විශේෂයෙන්ම අවුරුදු උත්සවේ දවසෙදි සංවිධායක මණ්ඩලේ කාර්යාලය තුළ වැඩකටයුතු සියල්ල බලාගෙන, ඒ වගකීම් අකුරටම ඉටුකරමින්, සමස්ත අවුරුදු උත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් ලොකු දායකත්වයක් චතුමිතු දැක්වූවා...

 






ගයාන් සම්පත් ගුණවර්ධන

අපේ නිල මුද්‍රණ සහකරු. අවුරුදු උත්සවය වෙනුවෙන් අපපාවිච්චි කරපු හැම ලිපියක්ම, ඩිජිටල් ෆ්ලෙක්ස් පුවරුවක්ම, ටිකට් එකේ ඉඳං හැම දෙයක්ම, නොමිලේම මුද්‍රණය කරලා දුන්නේ ගයාන්. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවේ දවසේ, පැමිණි පිරිසව රෙජිස්ටර් කරන වැඩේ, නියමෙටම සිදුකරලා, ඒ බර අනිත් සංවිධායකයන්ගේ ඔලුවෙන් අයින් කළේ මෙතුමා තමයි. අවුරුදු උත්සවේ සාර්ථකත්වය වෙනුවෙන් නිහඬවම ගයාන් කරපු වැඩ කොටස අපමණයි...

 




සසිඳු නිර්මාල්

 සංවිධායක මණ්ඩලේ ජීවය... සංවිධායක මණ්ඩලේ වෙනුවෙන් හදල තිබ්බ ෆේස්බුක් ගෲප් එක සජීවීව තියාගත්තේ සසිඳු. හැමෝටම වැඩ කටයුතු භාරදීලා, ඒවා හරියට වෙලාවට කෙරෙනවද කියලා හොයලා බලලා, නොකෙරෙනවානං අදාල පාර්ශව දැනුවත් කරලා, වැඩේ හරියට ගෙනියන්න ලොකු බරක් ඇද්ද කෙනෙක්. විශේෂයෙන්ම පණිවිඩ සැපයීමේදී සසිඳු දක්වපු සම්බන්ධීකරණ හැකියාව විශිෂ්ඨයි...

 






වින්දික තිලක්ෂණ

තවත් හොඳ සංවිධායකයෙක්. මූලික සංවිධාන වැඩවලදී සෑහෙන්න මහන්සියක් වෙලා වැඩ කරපු පුද්ගලයෙක් තමයි මෙතුමාත්.

 












රුවන් රංගනාත්
 මේත් සෑහෙන්න කොට ඇද්ද අලියෙක්. රැස්වීම්වලට සහභාගීවීමේ ඉඳලා, තමන්ට භාර දෙන වගකීම අකුරටම ඉටුකරන්න ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්.

 







සමීර සඳරුවන්
අවුරුදු උත්සවේ වෙනුවෙන් සිදුවෙච්ච කතා බහවලදී, තමන්ගේ අදහස් දක්වලා නිකං ඉන්නේ නැතුව, ඒ අදහස් ක්‍රියාත්මක කරවන්න ලොකු මහන්සියක් ගත්ත කෙනෙක්.

 













ජනිත් අරන්දර
 අවසාන දවස් කීපයේ තමයි සංවිධායක මණ්ඩලේට එක්කහු උනේ. හොඳ සංවිධායකයෙක්. විශේෂයෙන්ම තරඟ සංවිධාන කටයුතුවලදී සෑහෙන්න ලොකු දායාකත්වයක් දැක්වුව කෙනෙක්.









මංජුල සමරසේකර
අවසාන දවස් කීපයේ සංවිධායක මණ්ඩලේ ඒකමතික තීරණයක් අනුව අපේ කණ්ඩායමට බලෙන් ඇදලා දාගත්ත පුද්ගලයෙක්. දහසක් වැඩ රාජකාරි තිබ්බත්, ඒවා කරන ගමන්ම, අවුරුදු උත්සවේ සාර්ථක කරගන්න විශාල දායකත්වයක් දැක්වුව කෙනෙක් මෙතුමා. විශේෂයෙන්ම, ඒ වෙලාවේ අවශ්‍යතාවය මොකක්ද, ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න, මංජුල තමන්ට කරන්න පුළුවං හැමදේම සිදුකරපු ආකාරය අපි දැක්කා. ලොකු වැඩ කොටසක් සිදුකරපු, ලොකු බරක් ඇද්ද කෙනෙක්...

 









ඒ වගේම සංවිධායක මණ්ඩලේ නැතිඋනත්, එදා දවස ලස්සන කරන්න මහන්සි වෙච්ච තව බොහෝ දෙනෙක් සිටියා. විශේෂයෙන්ම අපේ හිතවත්කම්වලට, තමන්ගේ විනෝදය සතුට පැත්තකින් තියලා, සංවිධාන කටයුතුවලට දායක වෙච්ච පිරිස බොහෝයි. බස් රේඩියෝ කණ්ඩායම, ජනරඟ, රාජ්, පසන්, අනුරාධ, වැප්, ලිෂාන්, පූසා, හර්ෂන, තරියා, දේවා මගේ මතකයට එන නම් කීපයක් විතරයි. ඒ වගේම එදා දවසේ ප්‍රථමාධාර කටයුතු භාරව සිටිමින් ඒ වගකීම ඉටුකළ නෙරංජිවත් මේ අවස්ථාවේදී ඉතාම කෘතවේදීව සිහිකරනවා. තව බොහෝ පිරිසක් අපිට එහෙම උදව් උපකාර කළා. එහෙම උදව්කරපු අනිත් අය තමන්ව අමතක කළා කියලා මාත්තෙක්ක අමනාප නොවේවි.

සංවිධායක මණ්ඩලයේ සාමාජිකයන් වෙච්ච ප්‍රදීප්, නලීන්, දුලිප් වගේ අය ගැන මම මොකුත් නොලිව්ව එක ගැන ඔවුන් මා එක්ක අමනාප වෙන එකක් නැහැ... ඒ සංවිධායක මණ්ඩලේ විදියට ඔවුන්ව හැමෝම අඳුරගත්ත නිසා සහ ගොඩක් බ්ලොග් සටහන් හරහාත් ඇගයීමකට ලක්කර තිබූ නිසා. නමුත් සංවිධායක මණ්ඩලේ හිටිය මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ කීපදෙනාට නිසි ඇගයීමක් සිදුවෙනවා දැක්කේ නැහැ. එදා ඔබ ඒ වින්ද සතුට ඔබ වෙත ගෙන එන්න විශාලම දායකත්වය දැක්වූවේ මොවුන්. ඔවුන්ට ඒ නිසි ඇගයීම දිය යුතුයි...

සිංහල බ්ලොග්කරුවන්ගේ ඉතිහාසයේ, සාර්ථකම අවුරුදු උත්සවය සංවිධානය කරන්න හැකිවීම පිළිබඳව සංවිධායක මණ්ඩලය විදියට අපිට ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට ගෙන එන්න විශාල දායකත්වයක් දක්වපු, 2014 සයිබර් සිහින බක්මහ උළෙලේ නිහඬ වැඩකාරයෝ සියළුම දෙනාට සමස්ථ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ස්තූතිකරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා...

එහෙනං, ආයෙත් දවසක හමුවෙමු...