Saturday, February 13, 2010

Sherlock Holmes (2009) - Review



අද දවසට ලියන දෙවෙනි බ්ලොග් ලිපියයි මේ. ටික දවසක ඉදලා මේ ගැන ලියන්න අදහසක් තිබුනා. එහෙම ලියන්න ඕනේ කියලා හිතුන 1 තවත් වැඩිවුනා "තිලාන්ගේ ලෝකයේ" තිබුන මේ ලිපිය කියෙව්වාම. ඇත්තම කියනවානම් මේක මම තිලාන්ගේ ඒ පෝස්ට් 1ට දාන්න කියලා ලියපු කොමෙන්ට් 1. ඒත් කොමෙන්ට් 1 ලියලා ඉවර වුනාම මේක කොමෙන්ට් 1ක් විදියට දාන්න මට ලෝබ හිතුනා. රනා තාම රහත් වෙලා නැහැනේ. රහත් වෙනවා තියා රනා මතක ඇති කාලෙකින් පෝයටවත් පන්සල පළාතේ ගියේ නෑ. ඒක අතුරු කතාවක්. ඒක නිසා තව පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා මේක බ්ලොග් පෝස්ට් 1ක් බවටම පත් කලා. දැන් රනා කලා විචාර හිටං ලියනවා. එහෙනම් කියවන්නකෝ හා හා පුරා කියලා රනා ලියන කලා විචාර.

සෑහෙන්න කාලෙකින් බලපු නියම ෆිල්ම් 1ක් විදියට ෂර්ලොක් හෝම්ස් දක්වන්න පුලුවන්. මේ ෆිල්ම් 1 හොද කොපියක් ලබා දුන්න 1 ට මුලින්ම ගුරා,ගෝලයා ඇතුලු බයිස්කෝප් සෙට් 1ට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ෆිල්ම් 1 ගැන මට හිතෙන දේවල් ටිකක් මෙහෙම කියන්නම්.

තිලාන්ගේ ලිපියේදී මතුකරලා තිබුන එක අදහසක් තමා ෆිල්ම් 1දී ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය හදලා තියෙන හැටි එච්චර හරි නෑ කියන කාරණාව. ඒක තිලාන් කියලා තිබුනේ මේ විදියට.
"ඒ වගේමයි මෙහි ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය ගොඩ නගා ඇති ආකාර​ය පිලිබද ෂර්ලොක් හෝම්ස් රසිකයන් වැඩි කැමැත්තක් දක්වන එකක් නෑ කියලයි මගෙ අදහස". ඇත්ත. ඒකට හේතුව මේකයි.
අපි ෂර්ලොක් හෝම්ස් කියවලා තියෙන්නෙ ගොඩක්ම පොත් වලින්. ඒවගෙනුත් මම නම් 1ක් ඇර අනික් ඔක්කොම කියෙව්වේ චන්දන මෙන්ඩිස් මහතා පරිවර්තනය කරපු පොත්. ඒ පොත්වලින් අපි දැක්කේ දෙවියෙක් වගේ ෂර්ලොක් හෝම්ස් කෙනෙක්. කවදාවත් වරදින්නේ නැති, හැමදේම හරියටම කරන, කොටින්ම කියනවානම් පරමාදර්ශී චරිතයක්. ඒත් මේ ෆිල්ම් 1දි ෂර්ලොක් හෝම්ස්ගේ ඒ පරමාදර්ශී චරිතය වෙනුවට ඔහුගේ අපි දන්න විශේෂ හැකියාවන්ගෙන් යුක්ත සාමාන්‍ය මිනිහෙක්ව යොදවලා තියෙනවා. ෆිල්ම් 1 ෂර්ලොක් හෝම්ස් කියන්නේ මේ අපි වගේම අත්වැරදීම් සිදුවෙන, පිස්සු කෙළින ඒත් හරි මාර්ගයේ ගමන් කරන චරිතයක්. ඒ වගේම ඔහු කොමඩියකුත් නෙමේ (බොක්සිං සටන කොහොමද?). පොත්වල කවදාවත් හෝම්ස්ව කොමඩියක් කරලා නෑ. ඒත් ෆිල්ම් 1 එහෙම නෙමේ. ඒ අතින් බලනකොට පොත්වල ඉන්න හෝම්ස්ට වඩා ෆිල්ම් 1 ඉන්න හෝම්ස්ව වැළදගන්න ලේසියි කියලා හිතෙනවා. මොකද පොතේ ඉන්නේ අසමසම චරිතයක්. හරියට දෙයියෙක් වගේ. ඒත් ෆිල්ම් 1 ඉන්නේ විශේෂ හැකියාවන් තියෙන, ඒවා හරියටම පාවිච්චි කරන, අන්තිම සාමාන්‍ය කෙනෙක්.



වොට්සන් ගැන තිලාන් මෙහෙම අදහසක් දක්වලා තිබුණා.
"ඒ කොහොම වුනත් දොස්තර වොට්සන්ට නම් වැඩි ගෞරවාන්විත බවක් දී ඇති බවයි ම​ට හිතුනෙ." ඒකත් ඇත්ත. පොතේ වොට්සන්ගේ දායකත්වය හරිම අඩුයි. ඇත්තටම වොට්සන් කරන්නේ හෝම්ස් කරනදේ ලියන 1 විතරයි. ඒත් ෆිල්ම් 1 දි හෝම්ස්ට තරම්ම තැනක් වොට්සන්ටත් දීලා තියෙනවා. මම ඒකටත් කැමතියි. වෙනදා නිකම්ම නිකම් වාර්තාකාරයෙක් වෙච්ච වොට්සන් ෆිල්ම් 1දි හරි හරියට ගහගනිද්දී මාර ආතල්.

තිලාන්ගේ පෝස්ට් 1 වෙනුවෙන් ලියපු කොමෙන්ට් 1 එතනින් ඉවරයි. මේ ඊට පස්සේ ඒ කොමෙන්ට් 1 පෝස්ට් 1ක් කරන්න එකතු කරපු දේවල්.

සියලුම නලු නිළියන්ගේ රගපෑම නම් ඉහළම තැනක තියෙනවා. ඒ ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ. විශේෂයෙන්ම හෝම්ස්ගේ චරිතයට පණදෙන Robert Downey Jr, දොස්තර වොට්සන්ගේ චරිතය කරන Jude Law, දුෂ්ඨයා එහෙමත් නැත්නම් බ්ලැක්වුඩ් සාමි වන Mark Strong, හෝම්ස්වත් පරද්දන සුරූපී අයිරින් ඇඩ්ලර්ගෙ චරිතය රගදක්වන Rachel McAdams යන ඒ හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරලා තියෙනවා. ෂර්ලොක් හෝම්ස් කියන ලෝකෙම ප්‍රසිද්ධ චරිතයට පණ දෙනවා කියන්නේ විශාල අභියෝගයක්. මේ අභියෝගය Robert Downey Jr ඉහළින්ම ජයගෙන තිබෙන බව ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොදම නලුවා වෙනුවෙන් වන සම්මානය දිනා ගැනීමෙන්ම දක්වන්න පුලුවන්. ඒ වගේම අනිත් සියලුම නලු නිළියන් ඔහුට ඉතා හොද සහයෝගයක් ලබා දෙනවා.

මේ ෆිල්ම් 1 සංගීතය බාවිතා කර ඇති ආකාරය පිළිබදව නම් ලිවිය යුතුමයි. පසුබිම් සංගීත සංයෝජනයත් (Background Score) උපරිම තලයක තියෙනවා. සංගීත සංයෝජනය කිරීමේදී ෆිල්ම් 1 පෙන්වන 1880 දශකයේ තිබෙන්නට ඇතියි අප සිතන සංගීතය මනාව සපයා තිබෙනවා. ඒ වගේම සංගීතය සැපයීම සදහා යොදාගෙන තිබෙන සංගීත උපාංගත් ෆිල්ම් 1ත් එක්ක නියමෙටම ගැලපෙනවා. උදාහරණයක් විදියට වයලීනය, සෙලෝව, බටනළාව, පියානෝව යන සංගීත භාණ්ඩ මගින් ඉතාම සුමට සහ සාර්ක සංගීත සංයෝජනයක් සිදුකරලා තියෙනවා. පරණ කාලය ගැන නිපදවන ගොඩක් ෆිල්ම් අනාගන්න තැන තමා පසුබිම් සංගීතය නූතන සංගීත රටාවන්ගෙන් පුරවන්න හදන 1. නමුත් මෙහි සංගීතය සපයන Hans Zimmer ඒ තත්වය නියමාකාරයෙන් පාලනය කරලා තිබෙන බව පැහැදිලියි. මේ වතාවේ ඔස්කාර් සම්මාන සදහා මොහු නිර්දේශ වුනා. ඒවගේම අපි කවුරුත් දන්න Gladiator ෆිල්ම් 1 සංගීතය සංයෝජනය කරලා තියෙන්නෙත් Hans Zimmer ම තමා.

ෆිල්ම් 1 පසුබිම (Background Set) 1890 කාලය මනාව නිරූපණය වෙන විදියට හදලා තියෙන බව පැහැදිලියි. ඒ කාලයට ගැලපෙන ලෙස නිවාස, පාරවල්, වාහන විතරක්ම නෙමේ රූපරාමු කීපයක් විතරක් තිබෙන හෝටල් කාමරයේ පසුබිම පවා ගොඩක් උවමනාවෙන් සකස් කරලා තියෙනවා. ඒ වගේම නලු නිළියන් සදහා වන ඇදුම් නිර්මාණයත් ඒ කාලයට හරියටම ගැලපෙන පරිදි සිදුකරලා තියෙනවා. වඩාත් අවදානයෙන් බැලුවොත් ඔබට පෙනේවි පසුබිමේ සිටිනා සමහර කාන්තාවන් ඉතා දිගු ගවුම් ඇද ඇති බව (පාර අතුගාගෙන යන සයිස් 1). ඒ විලාසිතාව ඒ කාලයේ ඉතා ජනප්‍රිය වූ එකක්. මේ ෆිල්ම් 1 කලා අධ්‍යක්ෂිකාව වන Sarah Greenwood සහ පසුබිම් නිර්මාණය කළ Katie spencer යන මේ දෙදෙනාම ඔස්කාර් සම්මාන සදහා නිර්දේ වීමෙන් ඔවුන්ගේ සාර්කත්වය අපට මැනගත හැකියි නේද.

කැමරාකරණය සහ ආලෝකකරණය කියන මේ දෙකම ඉහළ තත්වෙක තියෙනවා. කැමරාකරණයේදී තනි දර්ශන, චලන දර්ශන කියන මේ හැම එකක්ම බොහොම ශූර විදියට පාවිච්චි කරලා තියෙනවා. කැමරා කෝණ සෑහෙන්න ඉක්මනට මාරු කරනවා. ඒ වගේම කැමරාව පාවිච්චි කරලා තියෙන ආකාරයත් උපරිමයි. උදාහරණයක් දක්වනවානම් අර පුද්ගලයෙක් ජනේලය කඩාගෙන එළියට වැටෙන අවස්තාවේදී කැමරාව ස්ථානගත කරලා තියෙන්නේ කොතනින්ද කියන 1 එකපාරටම වැටහෙන්නේ නෑ. ඒක හරියටම තේරුම් ගන්න මම දෙපාරක් බැලුවා. කොටින්ම කියනවානම් ෆිල්ම් 1 බලනකොට ඇහැට කිසිම මහන්සියක් නෑ. ඒක දක්ෂ කැමරාකරණයේ එක් ලක්ෂණයක්.

අඩුපාඩුවකට කියන්න තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් කතාවක අවසාන මොහොත දක්වාම අපි විදින කුතුහලය ෆිල්ම් 1න් වැඩිය විදින්න නොලැබෙන 1 තමා. ඒ සමහරවිට දුෂ්ඨයා කවුද කියලා අපි මුල ඉදළම දන්න නිසා වෙන්න ඇති. ඒ වගේම 3D animation කරලා තියෙන ඒවාගේ තත්වය මදි බවයි මගේ හැගීම. ඇත්තම කියනවානම් ෆිල්ම් 1 අනිත් දේවල් එක්ක සංසන්දනය කරනකොට 3D animation කරලා තියෙන 1නම් සෑහෙන්න පහළ තත්වෙක තියෙන්නේ.

කොහොමින් කොහොම හරි සෑහෙන්න වියදම් කරලා, සෑහෙන්න මහන්සි වෙලා හදලා තියෙන ඒ වගේම සෑහෙන්න හම්බ කරන්න පුලුවන් ෆිල්ම් 1ක් විදියට මේ ෆිල්ම් 1 දක්වන්න පුලුවන්.

කොහොම උනත් ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් 1 නියම ෆිල්ම් 1ක්. ඒකෙ ආයේ 2ක් නෑ. ෆිල්ම් 1 එළ නැත්තම් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලැබෙයි යැ. ඔස්කාර් සම්මානවලට නිර්දේශ වෙයියැ.

රනාගේ කලා විවාරේ මෙතනින් ඉවරයි. මගේ කලා විචාරේ ගුණදොස් එහෙම කියන්න. මේකෙ මගහැරුණ තැනක් තියෙනවානම් ඒකත් කියන්න. වැදගත්ම දේ, තාම මේක බැලුවේ නැත්නම් දැන්ම බාගෙන හරි සල්ලි දීලා අරගෙන හරි බලන්න. මෙන්න ලින්ක් 1.

බොක්සිං ෆයිට් 1 වෙලාවේ යන Rocky Road to Dublin කියන අයිරිෂ් සිංදුව මෙතනින් ගන්න පුලුවන්. ඒකත් මරු සිංදුව.

ජය වේවා...

ජාතික රූපවාහිනියේ හොද වැඩක්....



ආයුබෝවන් කිව්වා එහෙනම් හැමෝටම. සෑහෙන්න දවසකට පස්සේ තමා පෝස්ට් 1ක් ලියන්නේ. වැඩ ගොඩක් තිබීම සහ මගේ කම්මැලිකම බ්ලොග් නොලිවීමට හේතුවක් විදියට පෙන්නන්න පුලුවන්. කොහොමහරි කමක් නෑ ඔන්න දැන් රනා ආයෙත් බ්ලොග් ලියනවා.

ඕනෙම කෙනෙක්ගේ හොද දෙයක් දැක්කම ඒක හොදයි කියලා කියන 1 මම හිතන්නේ හොද වැඩක්. ජාතික රූපවාහිනියෙත් ඒ වගේ දැකපු හොදක් කියන්නයි මගේ මේ සූදානම. ඒකට පූර්විකාවක් ගමු මේ විදියට.

අපි දන්නවා මීට ටික කාලෙකට කළින් අපේ රටට අමුතුම විදියේ වසංගතයක් ආවා. ඒක නම් කළේ "රන් දෙපැය" කියලා. අපේ රටේ සුවහසක් ජනී ජනතාව ඔය රන් දෙපැය වටා කැමැත්තෙන් හරි අකමැත්තෙන් එකතු වුනා. අකමැත්තෙන් එකතුවුනා කිව්වේ සමහර අය රන් දෙපැය බැලුවේ "ඉට්ටැයිල්" 1ට. පහුවෙනිදා බස් 1දී, කෝච්චියේදී, ඔපිස් 1දී අනිත් අයත් එක්ක කතාවට සෙට් වෙන්න ඕනේ නිසා සමහරු බැලවා. කොටින්ම කියනවානම් අපේ රටේ ටැලිවිසොන් තියෙන ගෙවල් වලින් 7/10 ඕක බලන්න පටන් ගත්තා. පැය 2ම කෙසේ වෙතත් හැමෝම "ප්‍රවීනා" බලන 1 අනිවාර්ය කරගත්තා. මේ කරුණ ගැන ඒ දවස්වල සෑහෙන්න පත්තරවල එහෙම ලියුම් පළවුනා. සමහරවිට බ්ලොග් පෝස්ට් ලියැවෙන්නත් ඇති. රනා ඒ දවස්වල බ්ලොග් කියවන්නේ නෑ. කියවනවා තියා බ්ලොග් කියලා ජාතියක් තියෙනවාද කියලාවත් රනා දන්නේ නෑ. කොහොමහරි රන් දෙපැයේ ප්‍රවීනා අපේ රටේ සෙනගෙන් සෑහෙන්න පිරිසකගේ ඔලු ගෙඩි ඇතුළ්ට පැනගත්තා. පැනගත්තාම නෙමේ ඇත්තටම කියනවානම් ඔලු ඇතුළට එබ්බුවා. අපේ අයත් ඔලුව ඇතුළටම ඔබන්න කියලා කට ඇරගෙන බලාගෙන හිටියා.

"ප්‍රවීනා" ඔච්චර දෙයක් කළේ කොහොමද? ඒකට ඉඩ ආවේ මට හිතෙන විදියට මෙන්න මෙහෙම. අපි ගොඩක් අය රෑට කන්නේ රෑ 8 - 9.30 කාලයේදී. ගෙදර රූපවාහිනියක් තියෙනවානම්, ඒක වැඩකරනවානම්, ඒ ඉස්සරහ වාඩිවෙලා තමා රෑට කන්නේ. එතකොට ප්‍රවීනා බල බල රෑට කන 1 පුරුද්දක් බවට පත්වුනා. අන්තිමේදී රෑට නොකෑවත් ප්‍රවීනා බලන තත්වෙට අපේ කට්ටිය පත්වුනා. ඇයි මිනිස්සු ප්‍රවීනාට ඔච්චර ඇබ්බැහි උනේ? ලොකුම හේතුව තමා ප්‍රවීනා වෙනුවට තෝරගන්න වෙන ඊට වඩා වැදගත් වැඩසටහනක් නොතිබීම. විශේෂයෙන්ම අනිත් හැම නාළිකාවකම වගේ ඒ වෙලාවට පෙන්නුවේ කිසිම ආතල් 1ක් නැති වැඩසටහන්. උදාහරණයක් විදියට ලොතරැයි දිනුම් ඇදීම් වගේ ඒවා. එතකොට රටේ බහුතරයක් මිනිස්සු නිකම්ම රන් දෙපැය දිහාවට ඇදිලා ගියා. වැදගත් දේ මේකයි. "ප්‍රවීනා" ඔය වැඩේ කරනකොට අපේ අනිත් රුපවාහිනී නාළිකා මොනවද කළේ? අන්න ඒක තමා අපි කල්පනා කරලා බලන්න ඕනේ. මම දැකපු විදියට අනිත් රූපවාහිනී නාළිකා ඔක්කොම වගේ නන්නත්තාර වෙලා හිටියේ. කරකියාගන්න දෙයක් නෑ. මොකෙක්වත් තමන්ගේ චැනල් 1 බලන්නේ නෑ. ඔහොම තත්වයක් තිබුනේ.

මේකට විසදුමක් විදියට කට්ටිය මොකද කළේ? පෝළිමේ ශ්‍රී ලංකන් මෙගා හදන්න පටන් ගත්තා. ජාතික රූපවාහිනිය හැරෙන්නට අනිත් හැමෝම ඒ වැඩේ කළා. ඒක යම් තරමකට සාර්ථකයි. නමුත් අනිත් රූපවාහිනී නාළිකාලට තමන් බලාපොරොත්තු වෙච්ච සාර්තකත්වය ලැබුනේ නෑ. යන්තම් හරි ගොඩ ආවේ බට්ටියි පබායි විතරයි. ඉතිං ඊට පස්සේ උනත් ලොකූ රැල්ලක් ඇතිකළේ නෑ. දැන් බට්ටි ඉවරයි. පබාට කෙළවෙලා වගේ තියෙන්නේ. ඒකේ අනාගතය හරියටම කියන්න අමාරුයි. හැබැයි වෙනදා තරම්ම ලොකු සෙනගක් නොබැලුවත් ප්‍රවීනා තාම දුවනවා. ඒකෙ බෙල්ට් 1ට අනිත් චැනල් වලින් ලොකු තරගයක් නැතිකොට ජාතික රූපවාහිනිය හොද වැඩක් පටන් ගත්තා. මේ බ්ලොග් සටහන ගොඩක්ම ලිව්වේ ඒකෙ පාළනාධිකාරිය ගත්ත ඒ තීරණේට ස්තූති කරන්නයි. ඒක තමා පරණ නාට්ටි පෙන්නන 1. රෑ 9 ඉදලා 9.30 වෙනකම්.

මට මතක හැටියට ඉස්සෙල්ලාම පෙන්නුවේ "චරිත 3ක්". ඊළගට කන්දෙ ගෙදර. ඊළගට සකිසද එළියස්. ඊළගට සබද පබිලිස්. පෙරේදා ඉවරවුනා දඩුබස්නාමානය. ඊයේ පටන් ගත්තා මුතුමිණගේ ඉසුරු යෝගය. කියලා වැඩක් නෑ. ඔක්කොම පරණයි. ඒත් ආසාවෙන් බලන්න පුලුවන්. විශේෂයෙන්ම රස වින්දනයක් කියලා දෙයක් තියෙන මිනිස්සුන්ට ආසාවෙන් බලන්න පරණ ඒවා ටිකක් හරි පෙන්නන 1 ගොඩක් වටිනවා. මුකුත්ම නොපෙන්නනවාට වඩා. මේ කෙහෙල්මල් මෙගා විකාරයක් එන්න කළින් කොච්චර සිරා ටෙලි නාට්‍ය කලාවක් අපිට තිබුනාද කියලා ඇත්තටම දුක හිතෙනවා. ඒ වගේම ඒ නාට්ටි වලට හොද ඉල්ලුමක් තාම තියෙනවා කියලා ඒ බෙල්ට් 1 යන වෙළද දැන්වීම් ගාණෙන් කියන්න පුලුවන්. අනුන් කරනදේම අන්ධානුකරණයෙන් කරන්නේ නැතිව මේ වගේ දෙයක් කරන 1 රෑට කන වෙලාවට විතරක් ටැලිවිසොන් බලන මේ මම වගේ අයට කරන ලද අති විශාල සේවයක් කියලයි මට හිතෙන්නේ. කොහොමින් කොහොමින් හරි මේ වැඩේ කරන්න තීරණේ කරපු සහ ඒ තීරණේ ක්‍රියාත්මක කරපු ජාතික රූපවාහිනියේ හැමෝටම බොහොම ස්තූතියි.

මේක කියවන ඔබ තාමත් රෑ 9 ඉදලා 9.30 වෙනකම් ටැලිවිසොන් 1 බලන්න දෙයක් නැතිව චැනල් මාරු කර කර දුක් විදින කෙනෙක්නම් සතියේ දවස් 5 ම ඒ වෙලාවට ජාතික රූපවාහිනිය බලන්න. ඉස්සර අපි ආසාවෙන් රසවිදපු ටෙලි නාට්‍ය ආයේ බලන්න පුලුවන්.

පරණ ටෙලි නාට්‍යවලට ජය වේවා...