Thursday, May 7, 2015

100 | Century





මේක බොහොම පොඩි සටහනක්...

එදිනෙදා ඇසි දිසි දේ යම් පමණකට අරගෙන ආව, රනා ලියන බ්ලොග් අඩවිය, අද සාපේක්ෂව බොහොම සරළ කඩ ඉමක් පහුකරනවා...

මම රනා.
බ්ලොග් කියවන්න,ලියන්න මටත් හරි ලොකු අමාරුවක් ඉස්සර ඉ‍දංම තිබුනා. මීට කළිං මම බ්ලොග් ලියන්න උත්සහ කළත් ඒක හරියටම හරි ගියේ නෑ. කොහොම උනත් මම මේක කරන්න දිගටම උත්සාහ කරනවා. ඒකට ඔයලාගේ උදව් මට ගොඩක් ඕනේ වෙයි.

මේ තියෙන්නේ රනා ලියන බ්ලොග් එකේ පළවෙනිම පෝස්ට් එකේ පළවෙනිම වාක්‍ය තුන හතර... මේ ටික ලියලා තියෙන්නේ 2009 ජූනි මාසේ 23වෙනිදා... අදට අවුරුදු 6ට මාසයයි දවස් ගාණයි අඩු... බ්ලොග් පෝස්ට් 100ක් ලියන්න අවුරුදු 6ක් ගියේ ඇයි කියන එක කියවන ඔබට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. එකම හේතුවයි... කම්මැලිකම!!!

මේ බ්ලොග් සටහන් 100න් 52ක්ම ලිව්වේ පැය 24ක් ඇතුළත. ඒ 2010 අවුරුද්දේ අප්‍රේල් 24වෙනි සෙනසුරාදා සිට 25වෙනි ඉරිදා වෙනකං තිබ්බ සිංහල බ්ලොග් මැරතන් තරඟේදි. එදා පැය 12ක කාලෙකදි බ්ලොග් පෝස්ට් 52ක් ලිව්වා... ඊට පස්සේ තමයි හොඳම හරිය... 2011 අවුරුද්දේ ඉඳං අද මේ මොහොත දක්වා, මේ සටහනත් ඇතුළුව ලියලා තියෙන්නේ හරියටම බ්ලොග් පෝස්ට් 25යි. හැබැයි හැම අවුරුද්දෙම බ්ලොග් පෝස්ට් එකක් හරි ලියන්න තරං දක්ෂතාවයක් මගේ තිබිලා තියෙනවා... ඒ ගැන හරි සන්තෝසයි...

මේ බ්ලොග් පෝස්ට් 100 පුරාවට එක එක ජාතියේ විකාර ලියලා තියෙනවා. රනාගේ චින්තන, නිදහස් මෘදුකාංග, ලිනක්ස්, කතන්දර, කවි, ෆොටෝ, ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් වැඩකෑලි, චිත්‍රපටි විචාර, පොලිස් කේස්, අරක්කු ගැන... මේ වගේ ගොඩාක් දේවල්... බ්ලොග් පෝස්ට් එකක් ලියන එක හරි ආස හිතෙන වැඩක්... නමුත් ඉතිං උප්පත්ති කම්මැලිකම ඔය හැම එකටම වඩා විශාලයි...

බ්ලොග් නිසා ලැබුණ දේවල් විශාලයි... ඉන්ටර්නෙට් එකේ මගේම කියලා පෙන්නන්න තියෙන එක දෙයක් තමයි බ්ලොග් එක... ඒ වගේම තමයි අඳුරගත්ත හිත මිත්‍ර සෙට් එක... ලේසියෙන් සෙට් වෙන්නේ නැති වපසරියක විශාල පිරිසක් අඳුරගන්න ලැබුනා අන්තර්ජාල ජීවිතේ නිසා... වැදගත්ම දේ ඒ අයගෙන් බහුතරයක් යුනිකෝඩ් මිනිස්සු නෙමේ... යුනිකෝඩ්වලිං එහාට ගිය ලොකු බැඳීමක් තියෙනවා එතන... 

මම කවදාවත් ප්ලෑන් කරලා බ්ලොග් පෝස්ට් ලිව්වේ නැහැ... ඉස්සරහට එහෙම ලියන එකකුත් නෑ... ඒක නිසා 150වෙනි පෝස්ට් එක හෝ 200වෙනි පෝස්ට් එක කවදා ලියවෙයිද දන්නේ නැහැ... සමහරවිට ලියවෙයි... සමහර විට ලියවෙන එකක් නෑ... බ්ලොග් පෝස්ට් ගොඩාක් ලියන්න ලොකු කැමැත්තක් තියෙනවා... බලමු...

හරි එහෙනං... අවුරුදු 6ක් තිස්සේ මේ බ්ලොග් එක කියවපු, කමෙන්ට් කරපු, කමෙන්ට් නොකරපු, ඔබ හැමෝටම බොහෝම ස්තූතියි... ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු...

ජයවේවා!!!

Wednesday, May 6, 2015

පාරෙදි චාර්ජ් කරන ෆෝන් | Public Phone Charger


ජංගම දුරකතන එහෙමත් නැත්තං මොබයිල් ෆෝන් එකක් අතේ නැති පුද්ගලයෙක් අද හොයාගන්න එක තරමක් අමාරු වැඩක්. ප්‍රයෝජනයක් ඇතුවා හෝ නැතුවා හෝ අපේ රටේ සමස්ත ජනගහනයෙන් අති විශාල ප්‍රමාණයක් අද ජංගම දුරකතන පාවිච්චි කරනවා. 

ජංගම දුරකතන පාවිච්චියත් එක්ක ඊළඟට එන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඒකේ බැටරි බලය. ඉස්සරම ඉස්සර තිබ්බ ෆෝන් වගේ නෙමේ දැං තියෙන ස්මාට් ෆෝන් බහුතරේක බැටරිය පැය 8ක් 10ක් යද්දි බැහැලා යාම ස්මාට් ෆෝන් පාවිච්චි කරන බොහෝ දෙනෙක් දිනපතා අත් දකින දෙයක්. මේ තත්ත්වය මඟහැරගන්න විදියක් තියෙනවද?

ලෝකේ අනිත් රටවල පොදු ස්තානවල නොමිලේ තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න උපකරණ පිහිටුවලා තියෙන බව මම අහලා දැකලා තියෙන දෙයක්. විශේෂයෙන්ම ගුවන්තොටුපොළ, දුම්රිය ස්තාන, බස්නැවතුම් පොළවල්, උද්‍යාන, පුස්තකාල මේ වගේ පොදු ස්තානවලදී තමන්ගේ ජංගම දුරකතනය චාර්ජ් කරගන්න හැකියාවක් තියෙනවනං, ඒක මහජනතාවට මහත් විශාල පහසුවක් බව නං පැහැදිලියි. 

තමන්ගේ දුම්රිය එහෙම නැත්තං බස් එක එනකං බලාගෙන ඉන්න විනාඩි කීපයේදී, බිංදුවට ටිකක් අඩුවෙන් බැහැලා තියෙන බැටරිය ආයෙත් ටිකකින් හරි වැඩි කරගන්න හැකියාවක් තියෙනවනං, මුදල් ගෙවලා හෝ ඒ සේවය ලබාගන්න විශාල පිරිසක් ඉන්නවා. නිකං උදාහරණයක් විදියට ගත්තොත් එකපාරක් චාර්ජ් කරගන්න රුපියල් 10ක් අයකළා කියලා හිතමු. ඊට වඩා දහගුණයක් හරි වැඩුපුර ගෙවලාවත් ෆෝන් එක චාර්ජ් කරගන්න තැනක් හොයාගන්න සමහර අවස්තාවලදී බෑ. අතිශය අත්‍යවශ්‍ය අවස්තාවලදී, හිත කෑලි කෑලි කරමින් ෆෝන් එකේ බැටරිය බැහැලා ගිය අවස්ථා ජීවිතේ ඕනෙතරං ඇති...

හරි, දැං තියෙන ප්‍රශ්නේ ඕකට යන වියදම කව්ද දරන්නේ, ඔය චාර්ජ් කරන ගැජට් හදන්නේ කව්ද, කරන්ට් බිල ගෙවන්නේ කව්ද කියන එකනේ... එක එක ජාතියේ ෆෝන් චාර්ජ් කරන්න ඕනේ වෙන චාර්ජර් සහ ඒ චාර්ජර්වලට බලය සපයන්න මල්ටිප්ලග් එකක් ගහලා, චාර්ජර් ගලෝගෙන යන්න බැරි විදියට ෆ්‍රේම් එකක් ගහන්න රුපියල් 1000ක් යයි උපරිම. ඊට අමතරව ඉතිං කරන්ට් එක තමයි. කරන්ට් එකට උපරිම මාසෙකට රුපියල් 1000ක් යයි. ඊට වැඩි වෙන එකක් නෑ. අපේ රටට මොබයිල් ෆෝන් ගේන කම්පැණියකට ඔය ගාණ ඉතා සුලු මුදලක්. තමන්ගේ CSR ප්‍රොජෙක්ට් එක විදියට කිසි කරදරයක් නැතුව ඕක කරන්න පුළුවං... ඒ වගේම පත්තරේ ටීවී එකේ ලක්ෂ ගණං වියදං කරලා ඇඩ් දාන්න ඕනේ වෙන්නෙත් නෑ. එයාලාගේ ප්‍රචාරණ අවශ්‍යතාවයෙන් යම් කිසි ප්‍රමාණයක් මේ වැඩේ හරහා ගොඩ දාගන්න පුළුවං...

අවසානම ප්‍රශ්නේ වෙන්නේ මොකක්ද? හරි වෙනස් වර්ගයක මිනිස්සු වෙන ශ්‍රී ලාංකීය අපි කොයි විදියට ඔය සේවය ලබාගනීද කියන එක... කෙනෙක්ට සාධාරණ සැකයක් එන්න පුළුවං ෆෝන් චාර්ජර් සෙට් එක එක්ක ඒ ගැජට් එක රහත් නොවී තියේවිද කියලා. හැබැයි මට හිතෙන හැටියට, 70%කට වඩා මේ වැඩේ සාර්තක වෙන්න පුළුවං. ඉස්සර වගේ නෙමේ දැං මිනිස්සුංගේ අදහස් දියුණුයි. මේ සේවය සැලසෙන්නේ තමන්ටමයි කියන අදහස දැං බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙනවා. රටේ තැං 100ක මේ වගේ යුනිට් හයි කරලා හරියට මේන්ටේන් කළොත්, අවුරුද්දකට පස්සේ මේ ගැජට්වලිං 70%ක් විතර හොඳ තත්වයෙන් තියෙනවා කියන එක මගේ පුද්ගලික අදහස. සමහරවිට මම වැරදි වෙන්න ඇති...

ලෝකේ ගොඩාක් රටවල ක්‍රියාත්මක වෙන මේ වගේ සේවාවන්, කවදා හෝ දවසක අපේ රටේත් ඇතිවේවි. ඒ දවස ඉක්මනින් උදාවේවා...