Tuesday, March 3, 2015

අපිට වෙනස් වෙන්න බැරිද | Why No New Technology


කොටුව දුම්රියපොළේ නවීකරණ කටයුතුවලට සමගාමීව වේදිකා කීපයකම අඟල් 42 ප්‍රමාණයේ දැවැන්ත රූපවාහිනී සවිකර ඇත. දුම්රිය කාල සටහන සහ වෙළඳ දැන්වීම් කීපයක් ඒ මගින් විකාශනය කරන අතර දුම්රිය එනතුරු ඒ දෙස බලාගෙන සිටීමට මඟීන්ට ඉඩ පහසුව ඇත.

එම රූපවාහිනී සේවයේ විකාශනය වන වෙළඳ දැන්වීම් අතර එක් සුවිශේෂී වෙළඳ දැන්වීමක් දක්නට ලැබුනි. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය මඟින් ලබාදෙන ව්‍යාපාරික ණය ලබාගැනීමේ වෙළද දැන්වීමක් වන ඒ දැන්වීම මෙය කියවන ඔබ දැක තිබෙන්නට ඇතැයි විශ්වාස කරමි. කෙටියෙන් වෙළඳ දැන්වීමේ විස්තරය මෙළෙසය.

පෙනුමෙන් එක්දහස් නවසිය මුල් කාලයේ දුම්රිය ස්ථානයකි. මඟියෙක්  පැමිණ ගාල්ල බලා යාමට ටිකට් පතක් ඉල්ලා සිටින අතර දුම්රිය සේවකයාගේ ක්‍රියාකලාපය නිසා අවසානයේ මගියාට දුම්රියේ ගමන් කිරීමට නොලැබේ. මේ තත්වය එක්දාස් නවසිය ගණංවල මුල් කාලයේ පමණක් නොව වර්තමානයේදීද දිවයිනේ සමහර දුම්රිය ස්ථානයන්හිදී අත්දැකීමට ලැබෙන දෙයකි. ඒ ගැන වෙනම කථිකාවතක් ඇති කළ යුතුය. නමුත් ඒ වෙළද දැන්වීමෙන් මා මතුකරන්නට අදහස් කරන්නේ එම කරුණ නම් නොවේ.

එකී වෙළඳ දැන්වීමේදී දුම්රිය සේවකයා දුම්රිය ටිකට්ටුව ලබා දෙන ආකාරය පිළිබඳව ඔබේ අවධානය යොමු වූවාද නැතිද කියා කියන්නට මම නොදන්නෙමි. නමුත් ඒ කෙරෙහි ඔබගේ අවධානය යෙදවීම වටී. ඊට හේතුව වන්නේ එක්දාස් නවසිය මුල් කාලය නිරූපණය කරනා එම දැන්වීමේ දුම්රිය සේවකයා ටිකට් ලබාදෙන්නේ අද වර්තමානයේදීද දුම්රිය ටිකට්පතක් ලබාදීමට භාවිතා කරනා ආකාරයේ යන්ත්‍රයකින් වීමය. මේ ටිකට් නිකුත් කරනා යන්ත්‍රය ඔබ දැක ඇතැයි සිතමි. ඉතාම ප්‍රාථමික යන්ත්‍රයක් වන එයින් ටිකට් පතේ පසුපස කොටසේ අදාළ දිනය සටහන් කිරීම සිදු කරයි. එම ටිකට් යන්ත්‍රයක් නොමැති දුම්රියපොළවල්හිදී ඒ වෙනුවට දිනය සටහන් කළ හැකි තීන්ත සීල් එකක් භාවිතා කරයි. එම වෙළද දැන්වීමේ නිර්මාණකරුවන් විසින් එක්දාස් නවසිය තිහ හතලිහ දශකයන්හි අප රටේ දුම්රිය සේවය සහ ඒ අවට බැඳුන දේ පිළිබඳව හැදෑරීමක් සිදුකර එම ටිකට් යන්ත්‍රය දැන්වීමට එක්කර ගත්තේදැයි නොදන්නෙමි. නමුත් ඒ කාලයට සාපේක්ෂව අද දක්වාම තාක්ෂණිකව විශාල වෙනස් වීම් සිදුවී නොමැති බව නම් පැහැදිලිවම දැක ගත හැකි දෙයකි.

අද අප පා තබා සිටිනා නව යුගයට මෙවැනි ක්‍රමවේදයන් කොතෙක් දුරට ගැලපේද? මීට වඩා කාර්‍යක්ෂම ක්‍රමයක් ඇත්තේම නැත්ද? අප සිතා බැලිය  යුතු කරුණ එයයි. වර්තමානයේදී ලංගම සහ පුද්ගලික බස් රථවලින් 60%ක පමණ ප්‍රමාණයක භාවිතා වන්නේ ඉලෙක්ට්‍රොනික ටිකට් නිකුත් කිරීමේ යන්ත්‍රයි. රටේ ඇති සමස්ථ දුම්රිය ස්ථාන ගණන ලංගම බස් රථ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුය. මෙවැනි ටිකට් යන්ත්‍ර දුම්රිය ස්ථානයන්ට ලබා දී අවම වශයෙන් දුම්රිය ටිකට් ලබාදීමේ ක්‍රමවේදය හෝ නවීන කිරීමට බලදාරීන් උත්සාහ දැරිය යුතු බව මාගේ පෞද්ගලික අදහසයි. එමෙන්ම සෑම දුම්රියකටම මෙවන් ටිකට් මැෂින් කීපයක් සමඟ මුදල් අයකර ගැනීමට නිලදරුවන් කීප දෙනෙකු යෙදවීනම්, ටිකට් නොමැතිව දුම්රියේ ගමන් කරනා බොහෝ දෙනා ටිකට්පතක් ගැනීමට පෙළඹෙනු ඇතැයි මගේ විශ්වාසයයි.
"කෝච්චියේ කවදද ඕයි කොන්දොස්තරලා හිටියේ" යනුවෙන් කෙනෙක් මගෙන් ප්‍රශ්න කිරීමට හැකිය. ඔබට දියුණු වීමට අවශ්‍යනම් මීට පෙර සිදු නොකළ දේවල් සිදුකිරීමේ වරදක් නැත. අපේ දුම්රිය සේවය පාඩු ලබන්නේ දශක ගණනාවක සිට බව ඔබ සැමට අමතක නැතැයි සිතමි.

මේ ලියනා අකුරු දුම්රිය සෙවයේ වගකිව යුතු නිලදරුවෙකු හෝ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වගකිව යුතු නිලදරුවෙකුගේ ඇස ගැටෙනු ඇතැයි මාගේ කිසිදු බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් නැත. සමහර විටදී අලුතෙන් සිතනා පුද්ගලයෙකු විසින් මෙවන් ප්‍රතිසංස්කරණයන් දුම්රිය සේවය කෙරෙහි සිදුකරනු ඇත. ඇතැම් විට එසේ සිදු නොවෙනු ඇත. සිතෙනා දේ ලියා තැබීමෙන් අනර්තයක් සිදුවන්නේ නැත.

දුම්රියේ යන නොයන සියලු දෙනාගේ එකම පැතුම පාඩු නොලබන ලාභ ලබන වඩාත් යහපත් දුම්රිය සේවයක් පමණක්ම බව සටහන් කරමින් මේ සටහන හමාර කරමි.