Thursday, May 5, 2016

නිහඬ වැඩකාරයෝ | The Unsung Heroes | 2016



සයිබර් සිහින බක්මහ උළෙල පහුගිය අප්‍රේල් 30 සෙනසුරාදා දවස පුරාම වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වුනා. බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කමෙන්ට් කරන සහ ඒ මොනවත්ම නොකරන සහ ඊට අමතරව ෆේස්බුක් සහ අනෙකුත් සමාජ ජාලවල ක්‍රියාකාරී බොහෝ පිරිසක් එදා දවස තමන්ගේ ජීවිතේ අමතක නොවෙන සුන්දර මතකයන්ගෙන් පිරිච්ච දවසක් බවට පත්කරගත්තා. අකුරුවලින් විතරක් දැනගෙන හිටිය අයව හැබැහින් දැකලා අඳුනගත්තා. තිබ්බ හිතවත්කම් වැඩි කරගත්තා. අමනාපකම් නැතිකරගත්තා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම සන්තෝසජනක දවසක්...

ඒ වගේම අවුරුදු උත්සවේට ආපු බොහෝදෙනෙක් ඒ වෙනුවෙන් සටහන් එක්කරලා තිබ්බා. ස්තූති ප්‍රශංසා වගේම සාධනීය විවේචනත් තිබුණා. ඒ හැම දෙයක්ම බොහොම ස්තූති පූර්වකව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අපි භාරගන්නවා. විශේෂයෙන්ම ඔබ පෙන්වා දුන්න ඒ අඩුපාඩු සම්පූර්ණ කරගත්තනම්, අවුරුදු උත්සවේ මීට වඩා සාර්ථකව පවත්වන්න තිබුණා. ලබන වතාවකදී ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න සංවිධායක මණ්ඩලේ උත්සාහ ගනීවි...

පළවෙනිම දේ, මෙදාපාර අවුරුදු උත්සවේ පවත්වන්න කිසිම කෙනෙක්ට කිසිම ආකාරයක බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලේ හිටිය බොහෝ දෙනෙක් මේ පාර අතිශය කාර්යබහුල වෙලා හිටිය හින්දා, අවුරුදු උත්සවේ සංවිධානය නොකර ඒ වෙනුවට වෙන මොකක් හරි දෙයක් කරමු කියලයි හිටියේ. හැබැයි ඒ තීරණේ වෙනස් උනා එකම එක දුරකතන ඇමතුමකින්. ඒ දුරකථන ඇමතුම දුන්නේ වැපා, එහෙම නැත්තං වැප් නිශාන්ත. 

කෝල් එක දීලා වැපා ඇහුවේ මෙච්චරයි, "අඩෝ, මේ පාර අවුරුදු උත්සවේ අපි සෙට් වෙලා කරමුද?". වෙන කෙනෙක් ඇහුවනං බොහෝ වෙලාවට මම දෙන උත්තරේ බොහොම සරළයි. ඒත් මොකක් හරි හේතුවක් නිසා වැපා වගේ එකෙක් (ඒ කුලකෙට අහුවෙන තව කීපදෙනෙක් ඉන්නවා) මොකක් හරි කරමු කිව්වම බෑ කියනන බැරි තත්ත්වයක් තියෙනවා. "හරි බං, කරමු!" ඒක තමයි මම දුන්න උත්තරේ. 

ඊට පස්සේ අපි කළේ සංවිධායක මණ්ඩලේ කට්ටියව ෆෝම් කරලා ගත්ත එක. ඒක මහ අමාරු වැඩක් උනේ නැහැ. ගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලේ හිටිය බොහෝ දෙනෙක් මේ පාරත් ස්වේච්ඡාවෙන් සහ බොහොම උනන්දුවෙන් වැඩේට සෙට් උනා. වෙන වාරවලදී සංවිධායක මණ්ඩලේ කට්ටිය රැස්වීම් වාර දෙකතුනක් පවත්වලා තව ඔන්ලයින් මේල් ත්‍රෙඩ්, ෆේස්බුක් ගෲප් චැට් සහ මෙකී නොකී විදි බොහෝමයකට සන්නිවේදන වැඩ කටයුතු සිදු කරනවා. ඒත් මේ පාර හරිම වෙනස්. ෆේස්බුක් ගෲප් චැට් එකක් තුළදී තමයි මේ හැම දෙයක්ම සිදු කළේ. වැඩ බෙදාදීම, අදහස් ප්‍රකාශ කිරීම, අනං මනං සේරම උනේ ගෲප් චැට් එකේදී. ඒකත් හරි ශෝක් අත්දැකීමක්.

ඒ වගේම අවුරුදු උත්සවේ සංවිධානය කරන්න වගේම එදා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණයට ආව ඔබ සැම වෙනුවෙන් එහෙම සුන්දර අත්දැකීමක් ගේන්න තිරය පිටිපස්සේ ඉඳං මහන්සි වෙච්ච පිරිස බොහෝමයි. විශේෂයෙන්ම දිවා රෑ නොබලා, තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැපකරගෙන, කිසිම ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී, හුදෙක් අනිත් අයගේ සතුට වෙනුවෙන් මහන්සි වෙච්ච බොහෝ දෙනෙක් සංවිධායක මණ්ඩලේ හිටියා. ස්තූති ප්‍රශංසා බොහොමයක් තිබ්බත්, ඒ හැම එකක්ම පොදුවේ සංවිධායක මණ්ඩලේ ගිණුමටයි බැරවුනේ. එහෙම වෙද්දි සංවිධායක මණ්ඩලේ තිරෙන් පිටිපස්සේ හිටිය පිරිස හඳුන්වා දෙන එක අපේ යුතුකමක්. ඉතිං පෙරහැරේ යන්නේ නැතුව කොට ඇද්ද අලි ටික හඳුන්වා දෙන්නයි මේ සටහන වෙන්වෙන්නේ.



වැපාගේ මැදිහත්වීම නොවෙන්න මේ පාර අවුරුදු උත්සවේ සිදුවෙන්නේ නැහැ. නොකරන්න හිටිය අවුරුදු උත්සවේ කෙරුණේ වැපා නිසා. වැපාගේ ඒ මැදිහත්වීම නියමයි.

සසිඳු තමා මෙදාපාර මෑන් ඔෆ් ද මැච්. ඒ වගේම සංවිධායක මණ්ඩලේ ජීවය... සංවිධායක මණ්ඩලේ වෙනුවෙන් හදල තිබ්බ ෆේස්බුක් ගෲප් එක සජීවීව තියාගත්ත එක්කෙනෙක් තමයි සසිඳු. හැමෝටම වැඩ කටයුතු භාරදීලා, ඒවා හරියට වෙලාවට කෙරෙනවද කියලා හොයලා බලලා, නොකෙරෙනවානං අදාල පාර්ශව දැනුවත් කරලා, වැඩේ හරියට ගෙනියන්න ලොකු බරක් ඇද්ද කෙනෙක්. විශේෂයෙන්ම පණිවිඩ සැපයීමේදී සසිඳු දක්වපු සම්බන්ධීකරණ හැකියාව විශිෂ්ඨයි. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවේ දවසේ උනත්, තමංගේ පෞද්ගලික විනෝදය එහෙම් පිටින්ම අමතක කරලා, වැඩේ වෙනුවෙන් උපරිම කැපවීමක් දුන්නේ සසිඳු. කොටින්ම කියනවානං අවුරුදු උත්සවේ වෙලාවේ එක එක දේවල් ගේන්න ගෙනියන්න සසිඳු එහේ මෙහේ දිව්ව අවස්ථා ගාන මට ඉලක්කමෙන් මතක නෑ. එච්චරකට සසිඳු දිව්වා. 



ගයාන් අවුරුදු උත්සව කීපයකදීම සංවිධායක මණ්ඩලේ හිටිය පළපුරුදු සංවිධායකයෙක්. ඒ වගේම මේ අවුරුද්දෙත් අපේ නිල මුද්‍රණ සහකරු. ගයාන්ගේ වැඩ කොච්චර කොලිටිද කියනවානං, 2014 අවුරුද්දේ අපි පාවිච්චි කරපු ඩිජිටල් ප්‍රින්ට් බැනර්, අදටත් ඒ විදියටම අපිට පාවිච්චි කරන්න පුළුවං උනා. මේ අවුරුද්දෙත් අවුරුදු උත්සවය වෙනුවෙන් අප පාවිච්චි කරපු හැම ඩිජිටල් ෆ්ලෙක්ස් පුවරුවක්ම, නොමිලේම මුද්‍රණය කරලා දුන්නේ ගයාන්. ඒ වගේම කඹ ඇදීමේ තරඟේ වෙනුවෙන් අපි ලබාදුන්න තෑග්ගත් බොහෝම ලස්සනට නිර්මාණය කරලා දුන්නේ ගයාන්. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවේ දවසේ, පැමිණි පිරිසව රෙජිස්ටර් කරන වැඩේ, නියමෙටම සිදුකරලා, ඒ බර අනිත් සංවිධායකයන්ගේ ඔලුවෙන් අයින් කළේ මෙතුමා තමයි. අවුරුදු උත්සවේ සාර්ථකත්වය වෙනුවෙන් නිහඬවම ගයාන් කරපු වැඩ කොටස අපමණයි...
මෙදාපාර සංවිධායක මණ්ඩලේ ගරු ලේකම්තුමියගේ භූමිකාව කළේ චාපා. මේ අවුරුදු උත්සවේ ලිපි ලේඛණ කටයුතු සියල්ල සිදුකළේ මෙතුමිය තමයි. විශේෂයෙන්ම අවුරුදු උත්සවේ දවසෙදි සංවිධායක මණ්ඩලේ කාර්යාලයේ වැඩකටයුතු සියල්ල බලාගෙන, ඒ වගකීම් අකුරටම ඉටුකරමින්, සමස්ත අවුරුදු උත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් ලොකු දායකත්වයක් චාපා දැක්වූවා. ඒ වගේම ත්‍යාග සඳහා අනුග්‍රාහකයන් හොයාගන්නත් ලොකු දායකත්වයක් දක්වපු කෙනෙක් තමයි චාපා...

අවුරුදු උත්සවේ සංවිධාන වැඩවලට මේ අවුරුද්දේ අලුතෙන් එක්කහු උනාට, බ්ලොග් හෝ බ්ලොග්කරුවන් නිමේෂාට අලුත් අය නෙමේ. නිමේෂා තමයි අපේ හිතවත් ඕනමැන්ටල් තරුණ මහතාගේ ප්‍රිය බිරිඳ. අවුරුදු උත්සවේ සංවිධායක මණ්ඩලේ ෆේස්බුක් චැට් එක නිරන්තරයෙන් අප්ඩේට් කරමින්, ඒ වගේම සංවිධායක මණ්ඩලේ අය අතර සම්බන්ධීකරණය තියාගනිමින් නිමේෂා විශාල මෙහෙයක් තිරෙන් පිටිපස්සේ ඉඳං සිදු කළා. ඒ වගේම තෑගි සඳහා අනුග්‍රාහකයන් හොයලා දෙන්න නිමේෂා දක්වපු දායකත්වය සුළුපටු නෑ. විශේෂයෙන්ම අපිට විශාල තෑගි ප්‍රමාණයක් ලැබුණ CBL ආයතනය සෙට් උනේ නිමේෂා හරහා බව මේ වෙලාවේ මතක් කළ යුතුමයි...

මෙදාපාර අලුතෙන්ම සංවිධායක මණ්ඩලේට සෙට් වෙච්ච එකෙක්. අවුරුදු උත්සවේ ගැන පූර්ව ප්‍රචාරණ වැඩවලට තමංගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරගෙන මාරම කට්ටක් කාගෙන වැඩ කරපු සංවිධායකයෙක්. මොකක් හරි දෙයක් ගැන විකාර අදහසක් දුන්නම, ඒ අදහස පණ පිහිටවලා පොළොවේ හිටවන්න  ලොකු පුතාට තියෙන්නේ පට්ට සිරා හැකියාවක්. ඒක මේ වෙලාවේදී ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ...

මේත් සෑහෙන්න මහන්සි වෙච්ච කෙනෙක්. විශේෂයෙන්ම තමන්ට භාර දෙන වගකීම අකුරටම ඉටුකරන්න ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්...

අවුරුදු කීපයක ඉඳලා සංවිධායක මණ්ඩලේ එක්ක ඉන්න තවත් සුපිරිම චරිතයක්. හැම අවුරුද්දේම වගේ අපි අවුරුදු උත්සවේ වෙලාවට චාරිත්‍රානුකූලව පත්තුකරන පොල්තෙල් පහන හැදෙන්නේ ගයාන්ගේ අතින්. මෙ අවුරුද්දෙත් ඒ වගකීම බොහොම කැමැත්තෙන් භාරගෙන ඒ වගේම බොහොම උනන්දුවෙන්, වෙනදා වගේම මාර කොලිටි පොල්තෙල් පහනක් හදලා දෙන්න ගයාන් සෑහෙන්න මහන්සි උනා...
මේ පාරත් නිහඬව අපිට සහයෝගය දුන්න කෙනෙක් චතුමිතු. වෙන අවුරුදු උත්සවවලදී වගේ අවුරුදු උත්සවේට කළිං ඉඳලා ලොකු සපෝට් එකක් දෙන්න අමාරු උනත්, අවුරුදු උත්සවේ දවසේ උදේ ඉඳංම තරඟ සංවිධානයට, තෑගි පිළිවෙලක් කරන්න, ජයග්‍රාහකයෝ සටහන් කරගන්න ලොකු දායකත්වයක් චතුරිකා දැක්වූවා. ඒ විතරක් නෙමේ, වෙනදට තනියම එන එක්කෙනා මෙදාපාර තනියට ලස්සන අක්කෙක්වත් එක්කගෙන ඇවිත් තිබ්බා...

නලීන් අයියව ඉතිං නොදන්න කෙනෙක් නැහැ නේ. හැමපාරම වගේ මේ අවුරුද්දේදීත් අවුරුදු උත්සවේ සාර්ථකත්වය වෙනුවෙන් සෑහෙන්න වැඩක් කරපු කෙනෙක් තමයි නලීන් අයියා... 
ප්‍රදීප්ව ඉතිං නොදන්න කෙනෙක් නැහැ නේ. අත්‍යවශ්‍ය පෞද්ගලික අවශ්‍යතාවයක් නිසා මේ අවුරුද්දේදි ප්‍රදීප්ට අවුරුදු උත්සවේට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. හැබැයි අවුරුදු උත්සවේ වැඩ සංවිධානය කරගන්න ප්‍රදීප් විශාල සහයෝගයක් ලබාදුන් බව මතක් කරන්නම ඕනේ...

අවුරුදු උත්සවේ දවසේ සහභාගී වෙන්න නොහැකි උනත්, රෙපා එහෙම නැත්තං අරුණ, මේ වැඩේ සාර්ථක කරගන්න ලොකු සහයෝගයක් තිරෙන් පිටිපස්සේ ඉඳං ලබාදුන්න කෙනෙක්. ඒ වගේම දුලාන් දළුගම, ජනිත් අරන්දර, තඹරු විජේසේකර, පවනි තරංගා, දුලිප් සිකුරාජපති හෙවත් ඕනමැන්ටල් තරුණ මහතා එහෙමත් ෆේස්බුක් චැට් එක හරහා ලොකු සහයෝගයක් මේ වෙනුවෙන් ලබාදුන්නා...

අවුරුදු උත්සවේ සංවිධායක මණ්ඩලේ නොහිටියත්, තව බොහෝ දෙනෙක් අවුරුදු උත්සවේ සාර්ථක කරගන්න සෑහෙන්න මහන්සි උනා. මේ උත්සහය ඒ අයවත් අඳුන්වලා දෙන්න.
2011දී තිබ්බ පළවෙනි අවුරුදු උත්සවෙන් පස්සේ ලිෂාන් කවදාවත් සංවිධායක මණ්ඩලේ හිටිය කෙනෙක් නෙමේ. හැබැයි එදා මෙදා තුර තිබ්බ හැම අවුරුදු උත්සවේකදීම, අවුරුදු උත්සව විතරක් නෙමේ ඕනෙම සයිබර් ක්‍රියාකාරකමකදී ලිෂාන් බොහොම නිහඬව තමන්ගේ උපරිම දායකත්වය ඒ වෙනුවෙන් ලබා දීලා තියෙනවා. මේ පාරත් ඒක එහෙම්මමයි. අවුරුදු උත්සවේ සියළුම ග්‍රැෆික් නිර්මාණ කටයුතු සිදුකළේ ලිෂාන්. ඒ වගේම මෙදාපාර ජයග්‍රාහකයන් සඳහා දෙන තෑගි හොයාගන්නත් ලිෂාන්ගෙන් ලැබුන දායකත්වය සුළුපටු නැහැ. ඒ වගේම අවුරුදු උත්සවේ ඡායාරූප ගතකරන්න ලිෂාන් ලබාදුන්න දායකත්වය විශාලයි. මේ තියෙන්නේ ලිෂාන්ගේ කැමරාවට අපේ අවුරුදු උත්සවේ අහුවෙච්ච විදිය.. 
2012 අවුරුද්දේ ප්‍රධාන සංවිධාකයතුමා. මේ අවුරුද්දේත් අවුරුදු උත්සවේ සංවිධානය කරගන්න අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා... 
තෑගි සඳහා අනුග්‍රාහකයින් අපි හොයද්දි රවීෂගෙන් ලැබුණ සහයෝගය සහ මැදිහත්වීම ගැන විස්තර කරන්න වචන නැහැ. ඒ විතරකින් නවතින්නේ නැතුව, අවුරුදු උත්සවේ දවසේ ඒ වැඩ සංවිධානය කරගන්න ක්‍රියාකාරීව රවීෂ දක්වපු සහයෝගයත් ඉස්තරම්. 
2014 ඉඳං අපි එක්ක ඉන්න සංවිධායකයෙක්. කාර්ය බහුලත්වය නිසාම මේ පාර වැඩි දායකත්වයක් දක්වන්න මංජුලට නොහැකි උනත්, කඹ ඇදීමේ තරඟය වෙනුවෙන් මංජුල දක්වපු සහයෝගය ගැන කිව යුතුමයි. සයිබර් බක් මහ සැණකෙළි ඉතිහාසයේ කඹ අදින්න පාවිච්චි කරපු ලොකුම කඹේ අපිට සහයලා දෙන්න මූලික උනේ මංජුල තමයි. 

ජනරඟ දේවසුරේන්ද්‍ර


පහුගිය අවුරුදු කීපයේදී වගේම මේ අවුරුද්දේදීත් නිවේදන කටයුතු සිදු කළේ ජනරඟ විසින්. බොහොම ප්‍රාණවත්ව ලස්සනට මේ අවුරුද්දෙත් ජනරඟ ඒ කටයුත්ත අපි වෙනුවෙන් ඉෂ්ඨ කරලා දුන්නා. ජනරඟ ඔබටත් බොහෝම ස්තූතිවන්ත වෙනවා. 
සංවිධායක මණ්ඩලේ වැඩවලට සහ අවුරුදු උත්සවේ දවසේ නිවේදන වැඩවලටත් නෙරංජි විශාල සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන්ම සයිබර් සැණකෙළිය බ්ලොග් එක අප්ඩේට් කරන්න සහ රෙජිස්ටර් වෙච්ච අයට යවන ලිපිය සකසාගන්න නෙරංජිගෙන් ලැබුන දායකත්වය අති මහත්.
අපේ අවුරුදු උත්සවේ නිල ඡායාරූප ශිල්පියා තමයි තිසර මධුවන්ත හෙවත් සිහින මල්ලි. ඒ මල්ලි විනෝදාංශයක් විදියට සිදු කරන හාල්කෑලි ට්‍රාන්ස්පෝට් සේවය නිසා පොඩි පොඩි වෙලාවල් කීපයක් අවුරුදු උත්සවේ හිටියේ නැති උනත්, එදා දවසේ බොහෝ අවස්ථා බොහොම ලස්සනට තමන්ගේ කැමරා කාචයේ සටහන් කරගෙන තිබුනා. ඒ දායකත්වය මේ වෙලාවේදී සිහිපත් කළ යුතුමයි. මේ තියෙන්නේ සිහින මල්ලිගේ කැමරා කාචයේ අපේ අවුරුදු උත්සවේ සටහන් වෙච්ච හැටි...


ඒ වගේම තමයි මේ අවුරුදු උත්සවේ වෙනුවෙන් අනුග්‍රහය දක්වපු අපේ අනුග්‍රාහක හිතවතුන්. ඒ අයගේ කාරුණික අනුග්‍රහයන් නොවෙන්න මේ වැඩ කටයුත්ත මේ ආකාරයෙන් සාර්ථකව අවසන් කරන්න අපිට හැකිවෙන්නේ නැහැ. මේ ඉන්නේ අපේ අනුග්‍රාහක භවතුන්.
මේ අවුරුදු උත්සවේ ප්‍රධානම අනුග්‍රාහකයා උනේ UnCommon Homes. ඒ අනුග්‍රහය අපිට සම්බන්ධ කරලා දුන්නේ අන්කොමන් හෝම්ස් අධ්‍යක්ෂකයෙක් වෙන අපේ හිතවත් අවංක පැට්ටා තරුණ මහතා. 

සමන් මල් ටෙක්ස්ටයිල්ස්

මෙදාපාර අවුරුදු උත්සවේ අවුරුදු කුමරියගේ ත්‍යාග වෙනුවෙන් පානදුර සමන් මල් ටෙක්ස්ටයිල්ස් රෙදි පිළි මාළිගය අපිට විශේෂ අනුග්‍රහයක් ලබා දුන්නා. ඒ ආයතනයටත් අපේ ගෞරවනීය ස්තූතිය විශේෂයෙන්ම හිමි වෙනවා.


Tech City
අපේ හිතවත් තිළිණ ශෙහාන් මල්ලි අධිපතීත්වය දරණ Tech City ආයතනය මෙදාපාර අවුරුදු උත්සවේ වෙනුවෙන් සෑහෙන්න දායකත්වයක් දක්වපු ආයතනයක්.

ඉන්දික ගුණවර්ධන, චමල්ක අල්විස් සමරසිංහ, රවීෂ තිලකවර්ධන කණ්ඩායමේ සාමුහික ව්‍යාපාරයක්. එක ටෙලිෆෝන් කෝල් එකෙන් අවශ්‍ය අනුග්‍රහය ලබාදෙන්න මැදිහත් උන රවීෂට වගේම එදා අවුරුදු උත්සවේට ඇවිත් සහයෝගය ලබාදුන්න ඉන්දිකටත් ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම අපිට විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබාදුන් රිදම් FM ආයතනයටත් අපේ විශේෂ ස්තූතිය හිමිවෙන්නම ඕනේ. ඒ වගේම රිදම් FM ආයතනය අපිට සම්බන්ධ කරලා දුන්න රවිඳු මධුශංක අපේ හිතවතාවත් මේ වෙලාවෙදි ඉතාම ආදරයෙන් මතක් කරනවා...

මීට අමතරව බ්ලොග් අවකාශයෙන් තමන්ගේ ලේඛණ හැකියාව දියුණු කරගෙන පොත් එළි දක්වපු කීපදෙනෙක්ගෙනුත් අපි ඉල්ලීමක් කළා අවුරුදු උත්සවේ වෙනුවෙන් තමන්ගේ පොත් දෙක තුනකින් දායකත්වය දක්වන්න කියලා. ඒ කටයුත්ත සම්බන්ධීකරණය කරලා දුන්න රන්ධිකා රණවීර මහත්මියට, ඒ වගේම අවුරුදු උත්සවේ වෙනුවෙන් තමන්ගේම පොත්වලින් දායකත්වය ලබා දුන්න අනිත් කොන ලිව්ව වෛද්‍ය බෝධිනී ආර්. සමරතුංග මහත්මිය, කොළඹ ගමයා ලිව්ව අජිත් ධර්මකීර්ති මහතා, තරු රසී ලිව්ව තරංගනී රොෂිකා ප්‍රනාන්දු මෙනවිය, කලාහිත ලිව්ව සුමිත් කළනසිරි මහතාවත් ඉතාම ආදරයෙන් මතක් කරන ගමන්, ඒ දක්වපු අනුග්‍රහයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම ඇවිද්ද පය බ්ලොග් එක ලියන සුදීක අයියා දක්වපු අනුග්‍රහයත් මේ වෙලාවේදී ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. 

2016 තව බොහෝ පිරිසක් අපිට එහෙම උදව් උපකාර කළා. එහෙම උදව්කරපු අනිත් අය තමන්ව අමතක කළා කියලා මාත්තෙක්ක අමනාප නොවේවි.
 
සංවිධායක මණ්ඩලේ හිටිය මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ කීපදෙනා නොවෙන්න මේ 2016 සයිබර් අවුරුදු උත්සවේ මේ  ආකාරයට සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම මේ අයට නිසි ඇගයීමක් සිදුවෙනවා මේ වනතුරු මම දැක්කේ නැහැ. එදා ඔබ ඒ වින්ද සතුට ඔබ වෙත ගෙන එන්න විශාලම දායකත්වය දැක්වූවේ මොවුන්. ඔවුන්ට ඒ නිසි ඇගයීම දිය යුතුයි...

සිංහල බ්ලොග්කරුවන්ගේ ඉතිහාසයේ, වඩාත් සාර්ථක අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න හැකිවීම පිළිබඳව සංවිධායක මණ්ඩලය විදියට අපිට ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට ගෙන එන්න විශාල දායකත්වයක් දක්වපු, 2016 සයිබර් සිහින බක්මහ උළෙලේ නිහඬ වැඩකාරයෝ සියළුම දෙනාට සමස්ථ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ස්තූතිකරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා...

එහෙනං, ආයෙත් දවසක හමුවෙමු...

Wednesday, July 15, 2015

මම ෆෝන් එකෙන් ෆේස්බුක් නොයන්නේ ඇයි | Y No Facebook



විසිඑක්වන සියවසේ ඇඟට හානියක් කරගන්නෙ නැතුව මත් වෙන්න පුළුවං දේවල් මොනවාද කියලා මගෙන් ඇහුවොත්, මම අංක එකට දෙන උත්තරේ තමයි ෆේස්බුක්... මට හිතෙන විදියට ෆේස්බුක් කියන දේ හෙරොයින්, හෆීෂ්, එක්ස්ටසි වලට එහා ගිය මත්කාරකයක්... එකම දේ, ෆේස්බුක් ලීගල්... රටේ ජනාධිපතිගේ ඉඳං ඉස්කෝලේ 5වසරේ ඉන්න එකා දක්වා ෆේස්බුක් යනවා... ෆේස්බුක් ගියා කියලා පොලීසියෙන් අල්ලන්නේ, නඩුදාන්නේ, හිරේ දාන්නේ නෑ... අනිත් මත්කාරක ඒවා එහෙම නෙමේ... ඒවා පාවිච්චි කළොත් පොලිස් කූඩූවේ ඉඳලා හිර කූඩුව දක්වා දිග ගමනක් යන්න හේතු වාසනා වෙනවා...

මම ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවේ 2011 ජනවාරි මාසෙදි... මේ වෙද්දි අවුරුදු හතරහමාරකට වැඩි කාලයක් මම ෆේස්බුක් එකේ ඉඳලා තියෙනවා... ෆේස්බුක් වෝල් එකේ ඔහේ උඩට පල්ලෙහාට යන්න, ස්ටේටස් අප්ඩේට් කරන්න, චැට් කරන්න, එක එක මලවිකාර ලයික් කරන්න, ශෙයා කරන්න, ෆොටෝ අප්ලෝඩ් කරන්න, ඒවා ටැග් කරන්න, ෆොටෝවලට කමෙන්ට් කරන්න, රට හදන්න, වීඩියෝ අප්ලෝඩ් කරන්න, වීඩියෝ බලන්න, මෙකී නොකී ෆේස්බුක් එකේ කරන ගොඩාක් වැඩවලට වියදං කරලා තියෙන පැය ගාණ මෙච්චරයි කියලා මට කියන්න තේරෙන්නේ නෑ... හැබැයි සාමාන්‍යයෙන් දවසකට පැය 6ක් 7ක්වත් ඔය දේවල්වලට මම වෙලාව ගතකරනවා... කවුරු හරි කියන්න පුළුවං,අපරාදේ ෆේස්බුක් හිටිය වෙලාවේ වෙන දෙයක් කළානං කොච්චර එකක්ද කියලා... එක පැත්තකට ඒක ඇත්ත... හැබැයි ෆේස්බුක් ඇවිත් ඔය දේවල් කරන එකෙං මම මාර ආතල් එකක් ගත්තා... දැනුත් ගන්නවා... 

ඉස්සර ඉන්ටර්නෙට් යන්න කොම්පියුටර්ම පාවිච්චි කළාට, තාක්ෂණේ දියුණුවත් එක්ක මොබයිල් ෆෝන්, ටැබ් සහ වෙන වෙන උපාංගවලින් ඉන්ටර්නෙට් යන පහසුකම අපිට ලැබුනා... ඒකෙදි ඉන්ටර්නෙට් යන්න තියෙන ලේසිම උපාංගය තමයි මොබයිල් ෆෝන් එක... ලෝක ජනගනයෙන් දොළහෙන් එකකටත් වැඩි තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් බොහෝ දෙනෙක් ෆෝන් එකෙන් ෆේස්බුක් එන බව දැනගත්ත ෆේස්බුක් ආයතනය ෆේස්බුක් එන්න ලේසිකරන්නම වෙනම ඇප් එකක් හැදුවා මොබයිල් ඩිවයිස්වලටම... අද වෙනකොට මිලියන 200කට වඩා ජනතාවක් ෆේස්බුක් එන්නේ මොබයිල් වලිං විතරයි... 

මම ස්මාට්ෆෝන් එකක් පාවිච්චි කරන්න පටං අරගෙන අවුරුද්දකට කිට්ටු කාලයක් උනත් තවම එක දවසක්වත් ෆේස්බුක් ‍යන්න ෆෝන් එක පාවිච්චි කළේ නෑ... ඉස්සරහට එහෙම කරයි කියලා හිතන්නෙත් නෑ... ඒකට හේතු මොනවද?


ඒ ගැන කියන්න තමයි මේ බ්ලොග්පෝස්ට් එක ලියන්නේ...
හේතු මේ විදියයි...

1. කාළකණ්නි උනා ඇති...
මම කළිනුත් කිව්ව විදියට, කොම්පියුටරෙන් ෆේස්බුක් ඇවිත් විනාස කරගත්ත සහ ඉස්සරහටත් ඒ විදියට විනාස කරගන්න නියමිතව තියෙන කාලය ඉතා විශාලයි... ආයේ ෆෝන් එකෙනුත් ඒ පැය ගාණ වැඩිකරන්න ඕනේ නෑ... 


2. ඩේටා වියදම වැඩියි...
අපේ රටේ අන්තර්ජාල සේවා සපයන්නංගෙන් ලබාගන්න මොබයිල් ඩේටා බන්ඩල්වලට වියදං කරන සල්ලි, අවුරුද්දක් ඉතුරු කළානං, සෙකන්ඩ් හෑන්ඩ් බජාජ් පල්සර් එකක් ගන්න පුළුවං... 


3. අනිත් අය දකින නිසා...
ලෝකේ ජීවත් වෙන ගොඩාක් මිනිස්සුංට තියෙන (කැත) පුරුද්දක් තමයි එහා පැත්තේ මනුස්සයාගේ ෆෝන් එකට එබිලා, ඒ මනුස්සයා කරන්නේ මොනවද බලන එක... ඔය (කැත) පුරුද්ද අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තියෙනවා... මගේ ෆේස්බුක් වෝල් එක මට පෞද්ගලික දෙයක්... ඉතිං පොදු ස්තානයක ෆේස්බුක් එකේ රස්තයාදු වෙද්දි, අහළ පහළ ඉන්න ජනීජනයා ඒකේ ඕපදූප බලනවට මම කැමති නෑ... 


4. ෆෝන් එකේ බැටරිය...
ස්මාට්ෆෝන්වල බැටරිය බහින ස්පීඩ් එක ගැන ආයේ අලුතෙන් කියන්න දෙයක් නෑනේ... පැය 15ක් 16ක් තියෙන චාර්ජ් එක පැය 8ට 10ට අඩුකරගන්න මට ඕනේ නෑ... 


5. බිසී වෙන්න අවශ්‍යවීම...
අපි හැමෝම ආසයි හෙණ බිසී වෙන්න... ෆේස්බුක් එකේ තියෙන වැඩ කන්දරාව නිසා අපිට සෑහෙන්න බිසී වෙන්න පුළුවං... ෆෝන් එක එක්ක බිසී වෙනවට වඩා කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා එහෙම බිසී වෙන්න මම ආසයි...


ප්‍රධාන වශයෙන්ම ඔය හේතු නිසා තමයි මම ෆෝන් එකෙන් ෆේස්බුක් එන්නේ නැත්තේ... 

හරි, දැං ෆෝන් එකෙන් ෆේස්බුක් නොයා ඉතුරු කරගන්න වෙලාවේ මම මොනවද කරන්නේ? මේක කියවන ඔබට ඊළඟට එන ප්‍රශ්නේ තමයි ඒක... 

මම ගොඩාක්ම ෆෝන් එක පාවිච්චි කරන්නේ පාරේදි. බස් එකේ, කෝච්චියේ යන වෙලාවට... ඒ වගේම බස් හෝල්ට්, කෝච්චි ස්ටේෂන්වල ඉන්න කොට... ඒ වෙලාවට ෆේස්බුක් වෙනුවෙට ෆෝන් එකෙංම කරන්න දේවල් ටිකකුත් හදාගන්න මට පුළුවං උනා... 

1. PDF කියවන එක...
සිංහල සහ ඉංග්‍රීසි පොත් කියවන්න පටං ගත්තා... දැනටත් බාගෙට කියෙව්ව, භාෂා දෙකෙන්ම ලියවෙච්ච, මාතෘකා 10ක විතර පොත් ෆෝන් එකේ තියෙනවා... 


2. ඉන්ටර්නෙට් යන්න...
නොදන්න දේවල් ඉන්ටර්නෙට් එකෙන් හොයන්න පුරුදු උනා... හදිස්සියේ මතක් වෙන නොදන්න දේවල් ගැන ඉන්ටර්නෙට් එකේ තියෙන විස්තර දැකබලාගන්න ඒ වෙලාව පාවිච්චි කරනවා... 


3. බ්ලොග් පෝස්ට් ලියන්න...
ඉස්සර කොම්පියුටරේ ළඟ නැති වෙලාවට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනම කළේ ඒක මතක තියාගෙන ඇවිත් කොම්පියුටරෙන් ටයිප් කරපු එක... හැබැයි දැං එහෙම නෙමෙයි... මම අන්තිමට ලිව්ව බ්ලොග් පෝස්ට් ඔක්කෝම කුරුටුගෑවේ ෆෝන් එකෙන්... හැම එකක්ම ලිව්වේ පොදු ප්‍රවාහන සේවාවල යද්දි එද්දි... මේ බ්ලොග් එකේ තියෙන ජංගම සිතුවිලි, N5, Mobile Thoughts කියන ටැග් දාලා තියෙන්නේ එහෙම ෆෝන් එකෙන් කුරුටු ගෑව පෝස්ට්වලට...
සරළ උදාහරණයක් පෙන්නනවානං, මේ පෝස්ට් එක ටයිප් කරන්නෙත් ෆෝන් එකෙන්... 


4. ඉස්සර කියෙව්වේ නැති ඊමේල් කියවන්න...
ගොඩක් වෙබ්සයිට්වලට ගියාම ඒ සයිට්වලට සබ්ස්ක්‍රයිබ් වෙන එක මගේ සිරිතක්... ඉස්සර නං එව්වගෙන් එන නිව්ස්ලෙටර් කියවන්නේම නැති තරං... හැබැයි දැං ඒ ඊමේල් හැම එකක්ම වගේ කියවනවා... 


5. පත්තර සහ නිව්ස් බලන්න...
දැං දවසේ පත්තර ඔක්කෝම කියවන්නේ ෆෝන් එකෙන්... නිව්ස් වෙබ් සයිට් හැම එකකම තියෙන නිව්ස් බැලිල්ලත් එහෙම්මම තමයි... 


6. ෆෝන් එකේ ඔප්ෂන් එක්ක සෙල්ලං කරන්න...
මගේ ෆෝන් එකේ තියෙන වැඩ කෑලි මොනවද කියලා ටෙස් කරලා බලන එක... 


7. වෙනත් සෝෂල් මීඩියා ඇසුරු කරන්න...
සෝෂල්මීඩියා කිව්වම ඒකට ගොඩාක් වෙබ් සයිට් අයිතියි... ෆේස්බුක් කියන්නේ එකක් විතරයි... ටුවිටර්, ලින්ක්ඩින් , ගූගල් +, පින්ටරෙස්ට්, ඉන්ස්ටග්‍රම්, වයිබර්, වට්සැප්, යූටියුබ් වගේ සෝෂල්මීඩියා සයිට්වල මම දැං නිතරම රස්තයාදු වෙනවා...


ෆෝන් එකෙන් ෆේස්බුක් යන එකට වඩා නොයන එකෙන් ලැබෙන වාසි වැඩියි කියන එක තමයි මගේ අදහස... ෆෝන් එකෙන් නෙමෙයි මොකෙන්වත් ෆේස්බුක් නොයා ඉන්න පුළුවංනං කියලා වැඩක් නෑ... හැබැයි ෆේස්බුක් එකට ඇබ්බැහිවෙලා, ඒකෙන් මත්වෙලා ඉන්න මම කොහොම ඒ මතෙන් මිදෙන්නද... 

ෆෝන් එකෙන් ෆේස්බුක් නොයා ඉන්න එක හරි සන්තෝසජනක වැඩක්... පුළුවන්නං උත්සාහ කරලා බලන්න... 
ජයවේවා!!!

Monday, June 22, 2015

ලිනක්ස් ගැන සිංහලෙන් | Linux Video Tutorials


අවුරුදු 7කට වැඩි කාලයක් තිස්සේ මගේ පරිගණක ජීවිතය ගෙවෙන්නේ තනිකරම නිදහස් සහ විවෘත මෘදුකාංග උඩ.

ඒ විතරක් නෙමේ, මම පාවිච්චි කරන හැම මෘදුකාංගයක්ම ජෙනුයින් මෘදුකාංග. අන්තිමටම ක්‍රැක් කරපු මෘදුකාංගයක් (Pirated Software) පාවිච්චි කළේ 2008දී. මම හිතන්නේ නැහැ මැරෙනකංම ආයේ කවදාවත් මම ක්‍රැක් කරපු මෘදුකාංග පාවිච්චි කරයි කියලා. ඒ ගැන හිතද්දී දැනෙන්නේ හරි සන්තෝසයක්. ඒකට එකම හේතුව, 2009 ඉඳං අද මේ මොහොත වෙනකංම මම පාවිච්චි කරන්නේ ලිනක්ස් OS එකක්...

ලිනක්ස් පාවිච්චි කරන්න ගත්තට පස්සේ, ලිනක්ස් ගැන හොයන්න පටං ගත්තා. ලිනක්ස් ගැන කියවන්න පටං ගත්තා. එහෙම හොයලා, කියවලා, කරලා බලලා ඉගෙන ගත්ත දේවල් බ්ලොග් එකේ ලියන්න්නත් පටං ගත්තා. එහෙම ඉස්සෙල්ලාම ලිනක් සම්බන්ධ දෙයක් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ 2009-ජූලි-03 වෙනිදා. තව සති දෙකක්ට අඩු කාලයකදි ලිනක්ස් ගැන මම දන්න දේවල් ලෝකේ එක්ක බෙදාගන්න පටං අරගෙන අවුරුදු 6ක් සම්පූර්ණ වෙනවා...

මම දන්න ලිනක්ස් පොඩ්ඩ ගැන තව කෙනෙක්ට ක්‍රමවත්ව උගන්නන්න පටං ගන්නේත් 2009 අවුරුද්දේ ඉඳංම තමයි. ඒ අවස්ථාව මට ලබාදෙන්නේ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ දෙහිවල කව්ඩානේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක දෘඪාංග (Computer Hardware) පාඨමාලාවේ අධ්‍යක්ෂ Chamara Nandika Perera මගේ හිතවතා. මම ගැන, මගේ හැකියාව ගැන විශ්වාස කරලා ඔහු මට අවස්ථාව ලබාදෙනවා ඔහුගේ හාඩ්වෙයා කෝස් එකේ ලිනක්ස් පාට් එක මෙහයවන්න. 2009 ඉඳලා අද වෙනකංම චාමර සර්ගේ පාඨමාලාවල් සියල්ලේම ලිනක්ස් කොටස උගන්නන්නේ මම. 

මේ වෙනකොට මගෙන් ලිනක්ස් ගැන "අ" යනු, "ආ" යනු කියෙව්ව තරුණ තරුණියන් සංඛ්‍යාව 1500කට වැඩි මිසක් අඩු නං නැහැ. ඒ අයගෙන් 10% විතර දැනට සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේත් ලිනක්ස් OS විතරයි. ඒ ගැන දැනෙද්දීත් හිතට දැනෙන්නේ ලොකු සතුටක්...

බ්ලොග් පෝස්ට් එකක් ටයිප් කරනවාට වඩා වෙනස් විදියකට, ලිනක්ස් ගැන කතාකරන්න අවශ්‍යයි කියන කාරණාව මගේ හිතේ වැඩකරන්නේ සෑහෙන කාලෙක ඉඳං. හොඳම විකල්පය තමයි පොඩි පොඩි වීඩියෝ නිකුත් කරන එක... 
  
ලිනක්ස් ගැන, ලිනක්ස් කමාන්ඩ්ස් ගැන, එදිනෙදා පරිගණක අවශ්යතාවයන් ලිනක්ස් OS එකක ඉඳං කරන විදි ගැන තියෙන වීඩියෝ YouTube එකේ වගේම ඉන්ටර්නෙට් එක පුරාම දකින්න පුළුවං. හැබැයි එහෙම කරන විදිය ගැන සිංහලෙන් තියෙන වීඩියෝ තියෙන්නේ ඉතාම අල්පයයි. 

ඉතිං මම තීරණය කළා ඒ හිඩස මට හැකි අයුරින් පුරවන්න.
ඒ සඳහා මම හැදුවා වෙනම YouTube Play List එකක්, සිංහලෙන් ලිනක්ස් ගැන තියෙන. දවසින් දවස, සතියෙන් සතිය මේ ලිස්ට් එකේ තියෙන වීඩියෝ ගණන වැඩි වෙයි. ඒ වගේම ලිනක්ස් මඟින් කරගන්න පුළුවං වැඩ ගැන ඔබ දන්න ප්‍රමාණෙත් ඒ වගේම වැඩි වෙයි. 

පල්ලෙහා තියෙන ලිංක් එකෙන් ගිහිං ඒ වීඩියෝ ඔබටත් බලාගන්න පුළුවං. ඒ වගේම ඔබගෙන් බොහොම පුංචි උදව්වක් ඉල්ලන්නම්. ලිනක්ස් ඉගෙන ගන්න ආස කෙනෙක්ව ඔබ දන්නවානං, ඒ අයටත් මේ වීඩියෝ ලිංක් යවන්න. ලිනක්ස් ගැන අන්දො සංසාරයක් නොදන්න අයට බොහොම සරළව තේරෙන විදියටයි මේ වීඩියෝ හදලා තියෙන්නේ.


එහෙනං සිංහලෙන් ලිනක්ස් ගැන තියෙන වීඩියෝ සීරීස් එකක් බලන්න ඔබ සැමට ආරාධනා!!!



YouTube චැනල් එකට යන්න පුළුවං මෙතනින්...

mv කමාන්ඩ් එක


rm කමාන්ඩ් එක


rmdir කමාන්ඩ් එක


මෙතන අමුණලා තියෙන්නේ වීඩියෝ බොහොම පොඩි ගාණක් විතරයි. තව වීඩියෝ ගොඩක් ප්ලේ ලිස්ට් එකේ තියෙනවා. 

ඒ වගේම මේ වීඩියෝ ටියුටෝරියල් ටික හදන්න මම පාවිච්චි කරපු මෘදුකාංග ටික ගැන සඳහන් නොකළොත් ඒක ලොකු අඩුවක්. පල්ලෙහායින් තියෙන්නේ මම ඒ පාවිච්චි කරපු මෘදුකාංග කීපය.

LibraOffice Impress


Simple Screen Recorder



OpenShot Video Editor



ජයවේවා ලිනක්ස්!!!

Wednesday, June 10, 2015

මම මහරජ ගැමුණු හැදුවානං | If I were Jayantha Chandrasiri

http://goo.gl/GnKsFB
 
ගිය අවුරුද්දේ (2014) අග ඉඳලා පෙන්නන්න පටං ගත්ත මහරජ ගැමුණු ෆිල්ම් එක මෙතන ඉන්න ගොඩ දෙනෙක් බලන්න ඇති... මමත් හෝල් එකටම ගිහිං බැලුවා... ආරංචි විදියට ඒක ආදායම් වාර්තා අලුත් කරාලු... හැබැයි මට අනුව ඒ ෆිල්ම් එක පට්ට ෆේල්!!!

බැරිවෙලාවත් ඔය ෆිල්ම් එක මම හැදුවානං, ඒක කොහොම එකක් වෙයිද? මේ තියෙන්නේ ඒ ගැන මගේ රෝඩ්මැප් එක.
 
පළවෙනිම දේ තමයි, ගැමුණු රජ්ජුරුවංගේ කතාව එක පැය 3කින් වට කරන්න බෑ... ඒක ඊට වඩා ගොඩාක් විශාලයි... අනිවාර්යයෙන්ම ෆිල්ම් කීපයක් හදන්න වෙනවා සම්පූර්ණ කතාව ආවරණය කරන්න.


1. පළවෙනි ෆිල්ම් එක...

මේකේ ගැමුණු කුමාරයා නෑ!!!
හැබැයි විහාරමහාදේවීගේ තාත්තා අර රහතන් වහන්සේ නම මරපු එක,
කාවන්තිස්ස රජ්ජුරුවෝ රුහුණේ රජකම ගන්න එක,
අසේළ රජ්ජුරුවෝ මරලා එළාර රජ්ජුරුවෝ වෙන එක,
මේ දේවල් කේන්ද්‍ර කරගෙන ෆිල්ම් එක හදනවා...
ක්ලයිමැක්ස් එක විදියට මුහුද ගොඩගලන සීන් එක ගන්නවා...
විහාරමහාදේවීව නැවක නග්ගලා මුහුදට බිළිදෙන එකෙන් ෆිල්ම් එක ඉවර කරනවා...

 
http://www.nation.lk/2009/03/01/eye1pic1.jpg


2. දෙවෙනි ෆිල්ම් එක...

මේකේ ෆිල්ම් එක පටංගන්නේ විහාරමහාදේවීගේ නැව ,
රුහුණෙන් මතුවෙන එකෙන්...
කාවන්තිස්ස රජ්ජුරුවෝ එයාව රැජිණ කරගන්න එක සහ,
කාවන්තිස්ස රජ්ජුරුවෝ යුද්දෙට ලෑස්ති වෙන එක,
දසමහා යෝධයෝ සෙට් වෙන විදිය,
කේන්ද්‍ර කරගෙන ෆිල්ම් එක හැදෙනවා.
විශේෂයෙන් විහාරමහාදේවීගේ දොළදුක වෙනුවෙන්,
වේළුසුමන යෝධයා කරපු මෙහෙයුම එහෙම දානවා...
ඒ වගේම දසමහා යෝධයෝ වෙනුවෙන් වැඩි වෙලාවක් වෙන් කරනවා...
ගැමුණු කුමාරයා උපදින එකෙන් ෆිල්ම් එක ඉවර කරන්න පුළුවං...

http://www.sundayobserver.lk/2008/03/16/jun08.4.gif


3. තුන්වෙනි ෆිල්ම් එක

මේකේ බේස් වෙන්නේ ගැමුණු කුමාරයාගේ ළමා කාලය.
ශිල්ප ඉගෙන ගන්න එක,
විශේෂයෙන් රට එක්සේසත් කරන්න ඕනේ කියන ආකල්පය,
ගැමුණු කුමාරයට එන විදිය,
මේ දේවල් කේන්ද්‍ර කරගෙන ෆිල්ම් එක හදනවා...
ඒ වගේම වයසින් ලොකු වෙද්දී ගැමුණු කුමාරයා සහ,
කාවන්තිස්ස රජ්ජුරුවෝ අතර ඇතිවෙන ආරවුල්...
ගැමුණු කුමාරයා තරහ වෙලා මාළිගාවෙන් යන සිද්දිය,
ගිහිං කොත්මලේ නැවතිලා ගෙවපු ජීවිතේ ගැන පෙන්නනවා...
කාවන්තිස්ස රජ්ජුරුවෝ මැරෙන එක,
ඊළඟ රජකමට ගැමුණු කුමාරයා සහ,
තිස්ස කුමාරයා අතර වෙන යුද්දෙ වගේ දේවල් එක්ක ඇවිත්
ගැමුණු කුමාරයා රජ වෙන එකෙන් ෆිල්ම් එක ඉවර වෙනවා...


http://www.gossipsonline.com/wp-content/uploads/2014/04/maha-raja-gamunu-25-1024x768.jpg


4. හතරවෙනි ෆිල්ම් එක

මේකේ තියෙන්නේ තනිකරම යුද්දේ...
ගැමුණු රජ්ජුරුවෝ ප්‍රමුඛ සේනා,
රුහුණේ ඉඳං පිහිටි රටට ගිහිං යුද්ද කරන එක...
යුද්දෙ එක්ක බැඳුන සේරම සිද්දි...
දසමහා යෝධයෝ දක්වපු සූර වීර වැඩ...
යුද්දේ දිනන එකෙන් ෆිල්ම් එක ඉවර වෙනවා...

 
http://www.ticketslk.com/movie_items/0001/0827/wallpaper_4.jpg


http://www.sithmakiri.com/art/images/54755972606_dutu%20gamunu%20%2823%29.jpg

5. අන්තිම ෆිල්ම් එක...

මේකේ තියෙන්නේ යුද්දෙන් පස්සේ,
ගැමුණු රජ්ජුරුවෝ රට පාලනය කරපු හැටි...
කරපු ආගමික සහ ශාසනික සේවාව...
සාලිය කුමාරයාගේ කතා, මේ වගේ දේවල්...
අන්තිමේදී ගැමුණු රජ්ජුරුවෝ මැරෙන එකෙන් ෆිල්ම් එක ඉවර වෙනවා...


http://upload.wikimedia.org/wikipedia/commons/a/aa/Ruwanwelisaya.jpg

 
අවුරුදු දෙකකට සැරයක් හරි,
එකහමාරකට සැරයක් හරි වගේ එක ෆිල්ම් එකක් රිලීස් කරනවා...
අවුරුදු කීපයක් යයි ඔක්කෝම ඉවර වෙන්න...
හැබැයි කොලිටි ප්‍රොඩක්ට් එකක් අන්තිමේ ඉතුරු වෙනවා...


ඔය කිව්වේ දුටුගැමුණු කතාව ෆිල්ම් එකක් කළානං,
මම ඒක කරන විදිය...
හොඳවෙලාවට මම ෆිල්ම් හදන එකෙක් නෙමේ... :)

Wednesday, June 3, 2015

හකා | The Maori War Cry


හකා කියන්නේ මොකක්ද? 
සරළම පිළිතුර යුධ නැටුමක්... කාගෙද ඒ නැටුම? කව්ද හකා ලෝකෙට හඳුන්වා දුන්නේ? නවසීලන්තේ ආදිවාසීන් වෙන මඕරි ජාතිකයන්. ඔවුන් හකා නැටුම නැටුවේ යුද්දෙකට කළිං යුද්ද භූමියේදී. ඒ නැටුමේ අරමුණ තමයි යුද්දෙට පෙර තමන්ගේ ප්‍රතිවාදියාව මානසිකව වැට්ටවීම... ප්‍රතිවාදියාව මානසිකව පරාජය කිරීම යුද්දය ජයග්‍රහණය කිරීමට පහසුවක් වෙන බවට විශ්වාසයක් මඕරි ජාතිකයන් තුළ තියෙන්න ඇති. ඒක හොඳ යුධ උපක්‍රමයක්. 

හකා වර්තමානයට එන්නේ කොහොමද. ඒකත් යුධ නැටුමක් විදියටම තමයි. හැබැයි යුද්දේදී නෙමෙයි.. ක්‍රීඩාවේදී. හකා යුධ නැටුම ජාත්‍යන්තරයට ගෙනයෑමේ ගෞරවය හිමිවෙන්නේ නවසීලන්ත ජාතික රගර් කණ්ඩායමට. ඕල්බ්ලැක්ස් නමින් හඳුන්වන්නේත් ඔවුන්වම තමයි. තමන් ක්‍රීඩාකරන සෑම ජාත්‍යන්තර තරඟයකටම කළිං ඔවුන් හකා යුධ නැටුම ඉඳිරිපත් කරනවා. ලෝකය පුරාම ප්‍රේක්ෂකයෝ අති බහුතරයක් දෙනා මේ නැටුම බොහොම ආදරයෙන් වැළඳගන්නවා.  ඒ නැටුම ඒ තරමටම ගොඩක් ලස්සනයි...

දැං මට ඇයි හකා ගැන ලියන්න හිතුනේ... පොඩි හේතුවක් නිසා... වර්තමාන කාලයේදී අපේ රටේත් රගර් ක්‍රීඩාවේ ලොකු පිබිදීමක් තියෙනවා... ක්‍රීඩා සමාජ මට්ටමේදී වගේම පාසල් අතරත් රගර් ක්‍රීඩාව දැං සෑහෙන්න ජනප්‍රියයි. රගර් ක්‍රීඩාව හා සමානවම හකා නැටුමත් ඒ අය අතර ඉතා ජනප්‍රියයි...

පහුගිය දවසක ෆේස්බුක් එකේදී මම දැක්කා ඔය වගේ පාසල් රගර් කණ්ඩායමක හකා එකක්. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රගර් කණ්ඩායම තමයි ඒ හකා එක ඉඳිරිපත් කළේ. ඒ ළමයි කට්ටිය බොහෝම සාර්තකව ඒ හකා එක ඉඳිරිපත් කළා... ඉතා හොඳට පුහුණුවෙලා, බොහොම ගාම්භීර විදියට ඔවුන් කරපු ඒ හකා එක කරද්දි  ලොකු ගැම්මක් ඒ ළමයින්ට වගේම වටේ බලාගෙන ඉන්න අයටත් එන්න ඇති. හැබැයි ඒ වීඩියෝ එක බලලා එතන තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබ්බ බොහෝ දෙනා තුළ තිබ්බ පොදු අදහස තමයි, මොන පිස්සුවක්ද මේ කියන එක. එහෙම උනේ ඇයි...


ඇත්තම කතාව කියනවනං, ඒ හකා එකේ එක වචනයක්වත් මට තේරුණෙත් නෑ. සමහරවිට හකා එක කරපු ළමයින්ටත් එහෙම වෙන්න ඇති. ඔවුන් කළේ තමන් නොදන්න, තමන්ට නොතේරෙන භාෂාවකින් තියෙන් වචන මාලාවක් කටපාඩම් කරගෙන රඟපාමින් ඒක් ඉඳිරිපත්කිරීමක්... ඕක තරඟබිමේදී ඉඳිරිපත්කලාම ඒකෙන් බලාපොරොත්තු වෙන දේ අනිත් පැත්තේ ඉන්න කණ්ඩායමෙන් ලැබෙයි කියලා මම නං කීයටවත් හිතන්නේ නෑ... බයවෙනවා වෙනුවට මොන විකාරයක්ද මේ කියලා හිනායන එකනං වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි. ඇත්තටම ඒ වීඩියෝ එක බලද්දි මමත් සෑහෙන්න හිනා උනා...
 
දැං මේ ළමයි ටික විහිළුවක් වෙච්ච එකේ වැරැද්ද තියෙන්නේ කොතනද? හකා එකේද? එහෙම් නැත්තං ඒ ළමයින්ගෙද? එහෙමත් නැත්තං ඒ ළමයින්ට ඒක ඉගැන්නුව අයගෙද? 

මගේ පෞද්ගලික මතයට අනුව, ඒ ළමයින්ගේ කිසිම වැරැද්දක් නෑ. ඒ ළමයි ටික බොහොම ලස්සනට ඒ ඉඳිරිපත්කිරීම කරනවා. ඒ ළමයි විහිළුවක් වීමේ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ ඔවුන්ට ඒක් පුරුදු පුහුණු කරපු අය කියන එකයි මගේ අදහස. ඇයි එයාලට බැරි උනේ මේ හකා එක වෙන විදියකට කරන්න. 

 
ප්‍රතිවාදියාව කටෙන් බයකරන්න ඕනේ නං, අසභ්‍ය වචන පාවිච්චියක්  නැතුව ඒ දේ කරන්න පුළුවං වචන ඕනේ තරං සිංහල භාෂාවේ තියෙනවා.

"තොපි කොහෙද යකෝ අපි එක්ක හැප්පෙන්නේ, මේ පැත්තට අඩියක් තිබ්බොත් තොපිව දෙකට කඩනවා දැනගනිව්!!!" කියලා හරි
"අපි ආවේ දිනන්න යකෝ! අපි දිනලා මිස යන්නේ නෑ යකෝ!!!" කියලා එකපාර එක හඬින් 20ක් විතර කෑ ගහලා කිව්වනං, නොදන්න මාඕරි වචනවලට වඩා ලොකු ගැම්මක්, ලොකු ශක්තියක් ඒ කියන ක්‍රීඩකයන්ට එනවා කියලයි මට හිතෙන්නේ. අනික ආයේ බයවෙන්න දෙයක් නෑ පිට්ටනියේ බලාගෙන ඉන්න හැමෝටමත් හොඳටම තේරෙනවා කිව්වේ මොකක්ද වෙන්නේ මොකක්ද කියලා. ඇයි මේ අය එහෙම කරන්නේ නැත්තේ?

අනුකරණය කරන එකේ වැරැද්දක් නැහැ. හැබැයි ඒක කරන්න ඕනේ ගැලපෙන විදියට. ඕනෙම දෙයක් අපිට ගැලපෙන විදියට හදාගන්න අපි දැනගන්න ඕනේ. එහෙම නැති උනාම ඒ අනුකරණය නිසා සමස්ත සමාජය ඉඳිරියේ අපි ලොකු විහිළුවක් බවට පත්වීම  වළක්වන්න බෑ. අපි ඒ බව තේරුම්ගන්නේ කවදාද?

ඡායාරූප දෙකම අරගත්තේ අන්තර්ජාලයෙන්... ඒ ඡායාරූප අන්තර්ජාලයට එකතු කරපු හැමෝටම ස්තූතියි...

Thursday, May 7, 2015

100 | Century





මේක බොහොම පොඩි සටහනක්...

එදිනෙදා ඇසි දිසි දේ යම් පමණකට අරගෙන ආව, රනා ලියන බ්ලොග් අඩවිය, අද සාපේක්ෂව බොහොම සරළ කඩ ඉමක් පහුකරනවා...

මම රනා.
බ්ලොග් කියවන්න,ලියන්න මටත් හරි ලොකු අමාරුවක් ඉස්සර ඉ‍දංම තිබුනා. මීට කළිං මම බ්ලොග් ලියන්න උත්සහ කළත් ඒක හරියටම හරි ගියේ නෑ. කොහොම උනත් මම මේක කරන්න දිගටම උත්සාහ කරනවා. ඒකට ඔයලාගේ උදව් මට ගොඩක් ඕනේ වෙයි.

මේ තියෙන්නේ රනා ලියන බ්ලොග් එකේ පළවෙනිම පෝස්ට් එකේ පළවෙනිම වාක්‍ය තුන හතර... මේ ටික ලියලා තියෙන්නේ 2009 ජූනි මාසේ 23වෙනිදා... අදට අවුරුදු 6ට මාසයයි දවස් ගාණයි අඩු... බ්ලොග් පෝස්ට් 100ක් ලියන්න අවුරුදු 6ක් ගියේ ඇයි කියන එක කියවන ඔබට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. එකම හේතුවයි... කම්මැලිකම!!!

මේ බ්ලොග් සටහන් 100න් 52ක්ම ලිව්වේ පැය 24ක් ඇතුළත. ඒ 2010 අවුරුද්දේ අප්‍රේල් 24වෙනි සෙනසුරාදා සිට 25වෙනි ඉරිදා වෙනකං තිබ්බ සිංහල බ්ලොග් මැරතන් තරඟේදි. එදා පැය 12ක කාලෙකදි බ්ලොග් පෝස්ට් 52ක් ලිව්වා... ඊට පස්සේ තමයි හොඳම හරිය... 2011 අවුරුද්දේ ඉඳං අද මේ මොහොත දක්වා, මේ සටහනත් ඇතුළුව ලියලා තියෙන්නේ හරියටම බ්ලොග් පෝස්ට් 25යි. හැබැයි හැම අවුරුද්දෙම බ්ලොග් පෝස්ට් එකක් හරි ලියන්න තරං දක්ෂතාවයක් මගේ තිබිලා තියෙනවා... ඒ ගැන හරි සන්තෝසයි...

මේ බ්ලොග් පෝස්ට් 100 පුරාවට එක එක ජාතියේ විකාර ලියලා තියෙනවා. රනාගේ චින්තන, නිදහස් මෘදුකාංග, ලිනක්ස්, කතන්දර, කවි, ෆොටෝ, ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් වැඩකෑලි, චිත්‍රපටි විචාර, පොලිස් කේස්, අරක්කු ගැන... මේ වගේ ගොඩාක් දේවල්... බ්ලොග් පෝස්ට් එකක් ලියන එක හරි ආස හිතෙන වැඩක්... නමුත් ඉතිං උප්පත්ති කම්මැලිකම ඔය හැම එකටම වඩා විශාලයි...

බ්ලොග් නිසා ලැබුණ දේවල් විශාලයි... ඉන්ටර්නෙට් එකේ මගේම කියලා පෙන්නන්න තියෙන එක දෙයක් තමයි බ්ලොග් එක... ඒ වගේම තමයි අඳුරගත්ත හිත මිත්‍ර සෙට් එක... ලේසියෙන් සෙට් වෙන්නේ නැති වපසරියක විශාල පිරිසක් අඳුරගන්න ලැබුනා අන්තර්ජාල ජීවිතේ නිසා... වැදගත්ම දේ ඒ අයගෙන් බහුතරයක් යුනිකෝඩ් මිනිස්සු නෙමේ... යුනිකෝඩ්වලිං එහාට ගිය ලොකු බැඳීමක් තියෙනවා එතන... 

මම කවදාවත් ප්ලෑන් කරලා බ්ලොග් පෝස්ට් ලිව්වේ නැහැ... ඉස්සරහට එහෙම ලියන එකකුත් නෑ... ඒක නිසා 150වෙනි පෝස්ට් එක හෝ 200වෙනි පෝස්ට් එක කවදා ලියවෙයිද දන්නේ නැහැ... සමහරවිට ලියවෙයි... සමහර විට ලියවෙන එකක් නෑ... බ්ලොග් පෝස්ට් ගොඩාක් ලියන්න ලොකු කැමැත්තක් තියෙනවා... බලමු...

හරි එහෙනං... අවුරුදු 6ක් තිස්සේ මේ බ්ලොග් එක කියවපු, කමෙන්ට් කරපු, කමෙන්ට් නොකරපු, ඔබ හැමෝටම බොහෝම ස්තූතියි... ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු...

ජයවේවා!!!

Wednesday, May 6, 2015

පාරෙදි චාර්ජ් කරන ෆෝන් | Public Phone Charger


ජංගම දුරකතන එහෙමත් නැත්තං මොබයිල් ෆෝන් එකක් අතේ නැති පුද්ගලයෙක් අද හොයාගන්න එක තරමක් අමාරු වැඩක්. ප්‍රයෝජනයක් ඇතුවා හෝ නැතුවා හෝ අපේ රටේ සමස්ත ජනගහනයෙන් අති විශාල ප්‍රමාණයක් අද ජංගම දුරකතන පාවිච්චි කරනවා. 

ජංගම දුරකතන පාවිච්චියත් එක්ක ඊළඟට එන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඒකේ බැටරි බලය. ඉස්සරම ඉස්සර තිබ්බ ෆෝන් වගේ නෙමේ දැං තියෙන ස්මාට් ෆෝන් බහුතරේක බැටරිය පැය 8ක් 10ක් යද්දි බැහැලා යාම ස්මාට් ෆෝන් පාවිච්චි කරන බොහෝ දෙනෙක් දිනපතා අත් දකින දෙයක්. මේ තත්ත්වය මඟහැරගන්න විදියක් තියෙනවද?

ලෝකේ අනිත් රටවල පොදු ස්තානවල නොමිලේ තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න උපකරණ පිහිටුවලා තියෙන බව මම අහලා දැකලා තියෙන දෙයක්. විශේෂයෙන්ම ගුවන්තොටුපොළ, දුම්රිය ස්තාන, බස්නැවතුම් පොළවල්, උද්‍යාන, පුස්තකාල මේ වගේ පොදු ස්තානවලදී තමන්ගේ ජංගම දුරකතනය චාර්ජ් කරගන්න හැකියාවක් තියෙනවනං, ඒක මහජනතාවට මහත් විශාල පහසුවක් බව නං පැහැදිලියි. 

තමන්ගේ දුම්රිය එහෙම නැත්තං බස් එක එනකං බලාගෙන ඉන්න විනාඩි කීපයේදී, බිංදුවට ටිකක් අඩුවෙන් බැහැලා තියෙන බැටරිය ආයෙත් ටිකකින් හරි වැඩි කරගන්න හැකියාවක් තියෙනවනං, මුදල් ගෙවලා හෝ ඒ සේවය ලබාගන්න විශාල පිරිසක් ඉන්නවා. නිකං උදාහරණයක් විදියට ගත්තොත් එකපාරක් චාර්ජ් කරගන්න රුපියල් 10ක් අයකළා කියලා හිතමු. ඊට වඩා දහගුණයක් හරි වැඩුපුර ගෙවලාවත් ෆෝන් එක චාර්ජ් කරගන්න තැනක් හොයාගන්න සමහර අවස්තාවලදී බෑ. අතිශය අත්‍යවශ්‍ය අවස්තාවලදී, හිත කෑලි කෑලි කරමින් ෆෝන් එකේ බැටරිය බැහැලා ගිය අවස්ථා ජීවිතේ ඕනෙතරං ඇති...

හරි, දැං තියෙන ප්‍රශ්නේ ඕකට යන වියදම කව්ද දරන්නේ, ඔය චාර්ජ් කරන ගැජට් හදන්නේ කව්ද, කරන්ට් බිල ගෙවන්නේ කව්ද කියන එකනේ... එක එක ජාතියේ ෆෝන් චාර්ජ් කරන්න ඕනේ වෙන චාර්ජර් සහ ඒ චාර්ජර්වලට බලය සපයන්න මල්ටිප්ලග් එකක් ගහලා, චාර්ජර් ගලෝගෙන යන්න බැරි විදියට ෆ්‍රේම් එකක් ගහන්න රුපියල් 1000ක් යයි උපරිම. ඊට අමතරව ඉතිං කරන්ට් එක තමයි. කරන්ට් එකට උපරිම මාසෙකට රුපියල් 1000ක් යයි. ඊට වැඩි වෙන එකක් නෑ. අපේ රටට මොබයිල් ෆෝන් ගේන කම්පැණියකට ඔය ගාණ ඉතා සුලු මුදලක්. තමන්ගේ CSR ප්‍රොජෙක්ට් එක විදියට කිසි කරදරයක් නැතුව ඕක කරන්න පුළුවං... ඒ වගේම පත්තරේ ටීවී එකේ ලක්ෂ ගණං වියදං කරලා ඇඩ් දාන්න ඕනේ වෙන්නෙත් නෑ. එයාලාගේ ප්‍රචාරණ අවශ්‍යතාවයෙන් යම් කිසි ප්‍රමාණයක් මේ වැඩේ හරහා ගොඩ දාගන්න පුළුවං...

අවසානම ප්‍රශ්නේ වෙන්නේ මොකක්ද? හරි වෙනස් වර්ගයක මිනිස්සු වෙන ශ්‍රී ලාංකීය අපි කොයි විදියට ඔය සේවය ලබාගනීද කියන එක... කෙනෙක්ට සාධාරණ සැකයක් එන්න පුළුවං ෆෝන් චාර්ජර් සෙට් එක එක්ක ඒ ගැජට් එක රහත් නොවී තියේවිද කියලා. හැබැයි මට හිතෙන හැටියට, 70%කට වඩා මේ වැඩේ සාර්තක වෙන්න පුළුවං. ඉස්සර වගේ නෙමේ දැං මිනිස්සුංගේ අදහස් දියුණුයි. මේ සේවය සැලසෙන්නේ තමන්ටමයි කියන අදහස දැං බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙනවා. රටේ තැං 100ක මේ වගේ යුනිට් හයි කරලා හරියට මේන්ටේන් කළොත්, අවුරුද්දකට පස්සේ මේ ගැජට්වලිං 70%ක් විතර හොඳ තත්වයෙන් තියෙනවා කියන එක මගේ පුද්ගලික අදහස. සමහරවිට මම වැරදි වෙන්න ඇති...

ලෝකේ ගොඩාක් රටවල ක්‍රියාත්මක වෙන මේ වගේ සේවාවන්, කවදා හෝ දවසක අපේ රටේත් ඇතිවේවි. ඒ දවස ඉක්මනින් උදාවේවා...

Saturday, April 4, 2015

අපේ වෙලාව | Why U Waste My Time!



අපි යම්කිසි සේවාවක් ලබාගනිද්දි, ඒ සේවාව තවත් වැඩියෙන් ලබාගන්න හරි එහෙමත් නැත්තං අදාළ ආයතනය සහ අපි අතරේ සම්බන්ධතාවය වැඩි කරගන්න හරි වගේ දේවල්වලට ඒ අදාළ ආයතනය ක්ෂණිකව සම්බන්ධ කරගන්න පුළුවං ක්‍රමයක් සෑහෙන කාලෙක ඉඳං ක්‍රියාත්මක වෙනවා. කස්ටමර් කෙයාර් නම්බර් එක කියලා සිංහලෙන් හඳුන්වන්නේ ඒක. අද අපේ රටේ එක එක සේවාවන් සපයන විශාල ප්‍රමාණයක් ආයතන මේ විදියේ කස්ටමර් කෙයාර් නොම්මරයක් මේන්ටේන් කරනවා. ඒක සෑහෙන්න හොඳ දෙයක්.
හැබැයි මේ අකුරු ටික ලියවෙන්නේ ඒ සේවාවේ තියෙන යහපත ගැන කතා කරන්න නෙමේ. අපි නොදැනුවත්වම කස්ටමර් කෙයාර් හරහා අපේ විනාස කරන කාලය ගැන කතා කරන්න. මේ වැඩේ නරකම විදියට කරන්නේ  දුරකථන සම්බන්ධතා සේවා සපයන ආයතන.
මම ජංගම දුරකථන ආයතන 3ක සහ ස්තාවර දුරකතන ආයතන 1ක සේවාව ලබාගන්නවා. යම් යම් අවශ්‍යතා සඳහා අඩුම තරමෙන් සතියකට සැරයක්වත් ඔය ආයතනවල කස්ටමර් කෙයාර් එකට ඇමතුමක් ගන්නවාමයි. ඒ හැම වෙලාවකම, හැම ආයතනයකින්ම අඩු වැඩි හෝ සමාන වශයෙන් කරන්නේ එකම දේ. අපේ කාලය විනාස කිරීම.
මේක කියවන ඔබ හැමෝම ජීවිතේ එකපාරක් හරි කස්ටමර් කෙයාර් එකට කතා කරලා ඇති. ඔබ දන්නවා ඒකේ වැඩේ සිද්ධවෙන විදිය. ඉස්සෙල්ලාම භාෂාව තෝරගන්න ඕනේ. ඊට පස්සේ එන මෙනු එකෙන් අදාල සේවාව තෝරගන්න ඕනේ. ඉස්සරම ඉස්සර නං ඉතා කෙටි කාලයකින් ඔය වැඩේ කරගන්න පුළුවං කම තිබ්බා. හැබැයි අද?
පහුගිය සතියේ ඉඳලා මම ගණං බලපු විදියට අනුව ඩයලොග්, මොබිටෙල් සහ එටිසලාට් කියන ජංගම දුරකතන ජාල 3ම භාෂාව තෝරන තැන ඉඳලා ප්‍රධාන මෙනුවට එන ටිකට විනාස කරන කාලය විනාඩි එකහමාරකට ආසන්නයි!!!  එකම හේතුව ඔවුන්ගේ වෙළඳ දැන්වීම්. ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙත් මහ වෙනසක් නෑ.
භාෂාව තේරුවාට පස්සේ ආසන්න වශයෙන් විනාඩියට වැඩි කාලයක් මට කිසිම අවශ්‍යතාවයක් නැති සේවාවක් ගැන විස්තරයක් අහගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි ප්‍රධාන මෙනුවට පිවිසෙන්නේ.
ජංගම දුරකතන සමාගම් වෙළඳ දැන්වීමක් දාගත්තට මගේ අමනාපයක් නෑ. නමුත් මේ විදියට මහා කරදරකාරී විදියට ඒක කරන එක ගැන තියෙන්නේ මහා අප්පිරියාවක්. මොකක් හරි දෙයක් දැනගන්න/කරගන්න ඔවුන්ව ඇමතුවාම විනාඩි එකහමාරක් කෙළිංම විනාස කරනවා.
සමහර අවස්තාවලදී පාරිභෝගික සේවා නිලධාරියෙකු සම්බන්ධ කරනකං විනාඩි හතරක් පහක් උඩබලාගෙන ඉන්න වෙච්ච වෙලාවල් තියෙනවා. ඒකත් එක්තරා අවුලක් තමයි. නමුත් පාරිභෝගික නිලධාරීන් අමතන්න හදන එකම පුද්ගලයා මම විතරක් නොවන නිසා එතන තදබදයක් ඇතිවීම ස්වභාවිකයි.  
සමහරවිට ඔබ මගෙන් අහන්න පුළුවං, ඔය විනාඩි එකහමාර දෙක ඉතුරු කරගත්තා කියලා මොකෝ උඹ රට පෙරට ගෙනියන්නද කියලා. නමුත් ඒ විදියට මගේ කාලය බලෙං විනාස කරන එකට මගේ කිසිම කැමැත්තක් නෑ. එහෙම විනාස කරගන්න මට සතේක උවමනාවකුත් නෑ.
නරකම දේ තමයි මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවං දේකුත් නැතිවීම. මේ ගැන අදාළ දුරකථන ආයතනයට පැමිණිලි කරන එක මට හිතෙන හැටියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මගේ පැමිණිල්ල අහලා මේං කියලා නවත්තයි ඔය ඇඩ් දැමිල්ල...
පාරිභෝගිකයන් වෙනුවෙන් හදපු සේවාවක් හරහා පාරිභෝගිකයන්ව මේ විදියට පීඩාවට පත්කිරීම කවදා නවතීවිද?

Tuesday, March 3, 2015

අපිට වෙනස් වෙන්න බැරිද | Why No New Technology


කොටුව දුම්රියපොළේ නවීකරණ කටයුතුවලට සමගාමීව වේදිකා කීපයකම අඟල් 42 ප්‍රමාණයේ දැවැන්ත රූපවාහිනී සවිකර ඇත. දුම්රිය කාල සටහන සහ වෙළඳ දැන්වීම් කීපයක් ඒ මගින් විකාශනය කරන අතර දුම්රිය එනතුරු ඒ දෙස බලාගෙන සිටීමට මඟීන්ට ඉඩ පහසුව ඇත.

එම රූපවාහිනී සේවයේ විකාශනය වන වෙළඳ දැන්වීම් අතර එක් සුවිශේෂී වෙළඳ දැන්වීමක් දක්නට ලැබුනි. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය මඟින් ලබාදෙන ව්‍යාපාරික ණය ලබාගැනීමේ වෙළද දැන්වීමක් වන ඒ දැන්වීම මෙය කියවන ඔබ දැක තිබෙන්නට ඇතැයි විශ්වාස කරමි. කෙටියෙන් වෙළඳ දැන්වීමේ විස්තරය මෙළෙසය.

පෙනුමෙන් එක්දහස් නවසිය මුල් කාලයේ දුම්රිය ස්ථානයකි. මඟියෙක්  පැමිණ ගාල්ල බලා යාමට ටිකට් පතක් ඉල්ලා සිටින අතර දුම්රිය සේවකයාගේ ක්‍රියාකලාපය නිසා අවසානයේ මගියාට දුම්රියේ ගමන් කිරීමට නොලැබේ. මේ තත්වය එක්දාස් නවසිය ගණංවල මුල් කාලයේ පමණක් නොව වර්තමානයේදීද දිවයිනේ සමහර දුම්රිය ස්ථානයන්හිදී අත්දැකීමට ලැබෙන දෙයකි. ඒ ගැන වෙනම කථිකාවතක් ඇති කළ යුතුය. නමුත් ඒ වෙළද දැන්වීමෙන් මා මතුකරන්නට අදහස් කරන්නේ එම කරුණ නම් නොවේ.

එකී වෙළඳ දැන්වීමේදී දුම්රිය සේවකයා දුම්රිය ටිකට්ටුව ලබා දෙන ආකාරය පිළිබඳව ඔබේ අවධානය යොමු වූවාද නැතිද කියා කියන්නට මම නොදන්නෙමි. නමුත් ඒ කෙරෙහි ඔබගේ අවධානය යෙදවීම වටී. ඊට හේතුව වන්නේ එක්දාස් නවසිය මුල් කාලය නිරූපණය කරනා එම දැන්වීමේ දුම්රිය සේවකයා ටිකට් ලබාදෙන්නේ අද වර්තමානයේදීද දුම්රිය ටිකට්පතක් ලබාදීමට භාවිතා කරනා ආකාරයේ යන්ත්‍රයකින් වීමය. මේ ටිකට් නිකුත් කරනා යන්ත්‍රය ඔබ දැක ඇතැයි සිතමි. ඉතාම ප්‍රාථමික යන්ත්‍රයක් වන එයින් ටිකට් පතේ පසුපස කොටසේ අදාළ දිනය සටහන් කිරීම සිදු කරයි. එම ටිකට් යන්ත්‍රයක් නොමැති දුම්රියපොළවල්හිදී ඒ වෙනුවට දිනය සටහන් කළ හැකි තීන්ත සීල් එකක් භාවිතා කරයි. එම වෙළද දැන්වීමේ නිර්මාණකරුවන් විසින් එක්දාස් නවසිය තිහ හතලිහ දශකයන්හි අප රටේ දුම්රිය සේවය සහ ඒ අවට බැඳුන දේ පිළිබඳව හැදෑරීමක් සිදුකර එම ටිකට් යන්ත්‍රය දැන්වීමට එක්කර ගත්තේදැයි නොදන්නෙමි. නමුත් ඒ කාලයට සාපේක්ෂව අද දක්වාම තාක්ෂණිකව විශාල වෙනස් වීම් සිදුවී නොමැති බව නම් පැහැදිලිවම දැක ගත හැකි දෙයකි.

අද අප පා තබා සිටිනා නව යුගයට මෙවැනි ක්‍රමවේදයන් කොතෙක් දුරට ගැලපේද? මීට වඩා කාර්‍යක්ෂම ක්‍රමයක් ඇත්තේම නැත්ද? අප සිතා බැලිය  යුතු කරුණ එයයි. වර්තමානයේදී ලංගම සහ පුද්ගලික බස් රථවලින් 60%ක පමණ ප්‍රමාණයක භාවිතා වන්නේ ඉලෙක්ට්‍රොනික ටිකට් නිකුත් කිරීමේ යන්ත්‍රයි. රටේ ඇති සමස්ථ දුම්රිය ස්ථාන ගණන ලංගම බස් රථ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුය. මෙවැනි ටිකට් යන්ත්‍ර දුම්රිය ස්ථානයන්ට ලබා දී අවම වශයෙන් දුම්රිය ටිකට් ලබාදීමේ ක්‍රමවේදය හෝ නවීන කිරීමට බලදාරීන් උත්සාහ දැරිය යුතු බව මාගේ පෞද්ගලික අදහසයි. එමෙන්ම සෑම දුම්රියකටම මෙවන් ටිකට් මැෂින් කීපයක් සමඟ මුදල් අයකර ගැනීමට නිලදරුවන් කීප දෙනෙකු යෙදවීනම්, ටිකට් නොමැතිව දුම්රියේ ගමන් කරනා බොහෝ දෙනා ටිකට්පතක් ගැනීමට පෙළඹෙනු ඇතැයි මගේ විශ්වාසයයි.
"කෝච්චියේ කවදද ඕයි කොන්දොස්තරලා හිටියේ" යනුවෙන් කෙනෙක් මගෙන් ප්‍රශ්න කිරීමට හැකිය. ඔබට දියුණු වීමට අවශ්‍යනම් මීට පෙර සිදු නොකළ දේවල් සිදුකිරීමේ වරදක් නැත. අපේ දුම්රිය සේවය පාඩු ලබන්නේ දශක ගණනාවක සිට බව ඔබ සැමට අමතක නැතැයි සිතමි.

මේ ලියනා අකුරු දුම්රිය සෙවයේ වගකිව යුතු නිලදරුවෙකු හෝ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වගකිව යුතු නිලදරුවෙකුගේ ඇස ගැටෙනු ඇතැයි මාගේ කිසිදු බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් නැත. සමහර විටදී අලුතෙන් සිතනා පුද්ගලයෙකු විසින් මෙවන් ප්‍රතිසංස්කරණයන් දුම්රිය සේවය කෙරෙහි සිදුකරනු ඇත. ඇතැම් විට එසේ සිදු නොවෙනු ඇත. සිතෙනා දේ ලියා තැබීමෙන් අනර්තයක් සිදුවන්නේ නැත.

දුම්රියේ යන නොයන සියලු දෙනාගේ එකම පැතුම පාඩු නොලබන ලාභ ලබන වඩාත් යහපත් දුම්රිය සේවයක් පමණක්ම බව සටහන් කරමින් මේ සටහන හමාර කරමි.

Tuesday, April 29, 2014

නිහඬ වැඩකාරයෝ | The Unsung Heroes


සයිබර් සිහින බක්මහ උළෙල පහුගිය අප්‍රේල් 20 ඉරිදා දවස පුරාම බත්තරමුල්ල පැලවත්ත ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වුනා. බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කමෙන්ට් කරන සහ ඒ මොනවත්ම නොකරන බොහෝ පිරිසක් එදා දවස තමන්ගේ ජීවිතේ අමතක නොවෙන සුන්දර මතකයන්ගෙන් පිරිච්ච දවසක් බවට පත්කරගත්තා. අකුරුවලින් විතරක් දැනගෙන හිටිය අයව හැබැහින් දැකලා අඳුනගත්තා. තිබ්බ හිතවත්කම් වැඩි කරගත්තා. අමනාපකම් නැතිකරගත්තා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම සන්තෝසජනක දවසක්...

ඒ වගේම අවුරුදු උත්සවේට ආපු බොහෝදෙනෙක් ඒ වෙනුවෙන් සටහන් එක්කරලා තිබ්බා. ස්තූති ප්‍රශංසා වගේම සාධනීය විවේචනත් තිබුණා. ඒ හැම දෙයක්ම බොහොම ස්තූති පූර්වකව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අපි භාරගන්නවා. විශේෂයෙන්ම ඔබ පෙන්වා දුන්න ඒ අඩුපාඩු සම්පූර්ණ කරගත්තනම්, අවුරුදු උත්සවේ මීට වඩා සාර්ථකව පවත්වන්න තිබුණා. ලබන වතාවකදී ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න සංවිධායක මණ්ඩලේ උත්සාහ ගනීවි...

මේ පැවැත්වුණ සයිබර් සිහින බක්මහ උළෙල එක දවසකින්, සතියකින්, මාසෙකින් සංවිධානය වෙච්ච දෙයක් නෙමේ. මේ අවුරුද්දේ ජනවාරිවල ඉඳංම වගේ කට්ටිය එක්කහුවෙලා, සංවිධායක මණ්ඩලයක් හදාගෙන, ඒ සංවිධායක මණ්ඩලේ කීපවතාවක්ම එක්කහු වෙලා, කතා බහ කරලා, තීන්දු තීරන අරගෙන, ඒවා වෙනස් කරලා, බොහෝ කාලයක් අරගෙන තමයි මේ උත්සවේ ඔබ වෙත ගෙන ආවේ. ඔබ සැම වෙනුවෙන් එහෙම සුන්දර අත්දැකීමක් ගේන්න තිරය පිටිපස්සේ ඉඳං මහන්සි වෙච්ච පිරිස බොහෝමයි. විශේෂයෙන්ම දිවා රෑ නොබලා, තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැපකරගෙන, කිසිම ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී, හුදෙක් අනිත් අයගේ සතුට වෙනුවෙන් මහන්සි වෙච්ච බොහෝ දෙනෙක් සංවිධායක මණ්ඩලේ හිටියා. ස්තූති ප්‍රශංසා බොහොමයක් තිබ්බත්, ඒ හැම එකක්ම පොදුවේ සංවිධායක මණ්ඩලේ ගිණුමටයි බැරවුනේ. එහෙම වෙද්දි සංවිධායක මණ්ඩලේ තිරෙන් පිටිපස්සේ හිටිය පිරිස හඳුන්වා දෙන එක අපේ යුතුකමක්. ඉතිං පෙරහැරේ යන්නේ නැතුව කොට ඇද්ද අලි ටික හඳුන්වා දෙන්නයි මේ සටහන වෙන්වෙන්නේ.

චතුමිතු - චතුරිකා දුලාංජලී

පහුගිය අවුරුදු උත්සව කීපයකම සංවිධායක මණ්ඩලේ හිටිය, නිහඬ, නමුත් සෑහෙන්න බරක් ඇද්ද චරිතයක්. මේ අවුරුදු උත්සවේ ලිපි ලේඛණ කටයුතු සියල්ල සිදුකළේ මෙතුමිය තමයි. විශේෂයෙන්ම අවුරුදු උත්සවේ දවසෙදි සංවිධායක මණ්ඩලේ කාර්යාලය තුළ වැඩකටයුතු සියල්ල බලාගෙන, ඒ වගකීම් අකුරටම ඉටුකරමින්, සමස්ත අවුරුදු උත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් ලොකු දායකත්වයක් චතුමිතු දැක්වූවා...

 






ගයාන් සම්පත් ගුණවර්ධන

අපේ නිල මුද්‍රණ සහකරු. අවුරුදු උත්සවය වෙනුවෙන් අපපාවිච්චි කරපු හැම ලිපියක්ම, ඩිජිටල් ෆ්ලෙක්ස් පුවරුවක්ම, ටිකට් එකේ ඉඳං හැම දෙයක්ම, නොමිලේම මුද්‍රණය කරලා දුන්නේ ගයාන්. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවේ දවසේ, පැමිණි පිරිසව රෙජිස්ටර් කරන වැඩේ, නියමෙටම සිදුකරලා, ඒ බර අනිත් සංවිධායකයන්ගේ ඔලුවෙන් අයින් කළේ මෙතුමා තමයි. අවුරුදු උත්සවේ සාර්ථකත්වය වෙනුවෙන් නිහඬවම ගයාන් කරපු වැඩ කොටස අපමණයි...

 




සසිඳු නිර්මාල්

 සංවිධායක මණ්ඩලේ ජීවය... සංවිධායක මණ්ඩලේ වෙනුවෙන් හදල තිබ්බ ෆේස්බුක් ගෲප් එක සජීවීව තියාගත්තේ සසිඳු. හැමෝටම වැඩ කටයුතු භාරදීලා, ඒවා හරියට වෙලාවට කෙරෙනවද කියලා හොයලා බලලා, නොකෙරෙනවානං අදාල පාර්ශව දැනුවත් කරලා, වැඩේ හරියට ගෙනියන්න ලොකු බරක් ඇද්ද කෙනෙක්. විශේෂයෙන්ම පණිවිඩ සැපයීමේදී සසිඳු දක්වපු සම්බන්ධීකරණ හැකියාව විශිෂ්ඨයි...

 






වින්දික තිලක්ෂණ

තවත් හොඳ සංවිධායකයෙක්. මූලික සංවිධාන වැඩවලදී සෑහෙන්න මහන්සියක් වෙලා වැඩ කරපු පුද්ගලයෙක් තමයි මෙතුමාත්.

 












රුවන් රංගනාත්
 මේත් සෑහෙන්න කොට ඇද්ද අලියෙක්. රැස්වීම්වලට සහභාගීවීමේ ඉඳලා, තමන්ට භාර දෙන වගකීම අකුරටම ඉටුකරන්න ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්.

 







සමීර සඳරුවන්
අවුරුදු උත්සවේ වෙනුවෙන් සිදුවෙච්ච කතා බහවලදී, තමන්ගේ අදහස් දක්වලා නිකං ඉන්නේ නැතුව, ඒ අදහස් ක්‍රියාත්මක කරවන්න ලොකු මහන්සියක් ගත්ත කෙනෙක්.

 













ජනිත් අරන්දර
 අවසාන දවස් කීපයේ තමයි සංවිධායක මණ්ඩලේට එක්කහු උනේ. හොඳ සංවිධායකයෙක්. විශේෂයෙන්ම තරඟ සංවිධාන කටයුතුවලදී සෑහෙන්න ලොකු දායාකත්වයක් දැක්වුව කෙනෙක්.









මංජුල සමරසේකර
අවසාන දවස් කීපයේ සංවිධායක මණ්ඩලේ ඒකමතික තීරණයක් අනුව අපේ කණ්ඩායමට බලෙන් ඇදලා දාගත්ත පුද්ගලයෙක්. දහසක් වැඩ රාජකාරි තිබ්බත්, ඒවා කරන ගමන්ම, අවුරුදු උත්සවේ සාර්ථක කරගන්න විශාල දායකත්වයක් දැක්වුව කෙනෙක් මෙතුමා. විශේෂයෙන්ම, ඒ වෙලාවේ අවශ්‍යතාවය මොකක්ද, ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න, මංජුල තමන්ට කරන්න පුළුවං හැමදේම සිදුකරපු ආකාරය අපි දැක්කා. ලොකු වැඩ කොටසක් සිදුකරපු, ලොකු බරක් ඇද්ද කෙනෙක්...

 









ඒ වගේම සංවිධායක මණ්ඩලේ නැතිඋනත්, එදා දවස ලස්සන කරන්න මහන්සි වෙච්ච තව බොහෝ දෙනෙක් සිටියා. විශේෂයෙන්ම අපේ හිතවත්කම්වලට, තමන්ගේ විනෝදය සතුට පැත්තකින් තියලා, සංවිධාන කටයුතුවලට දායක වෙච්ච පිරිස බොහෝයි. බස් රේඩියෝ කණ්ඩායම, ජනරඟ, රාජ්, පසන්, අනුරාධ, වැප්, ලිෂාන්, පූසා, හර්ෂන, තරියා, දේවා මගේ මතකයට එන නම් කීපයක් විතරයි. ඒ වගේම එදා දවසේ ප්‍රථමාධාර කටයුතු භාරව සිටිමින් ඒ වගකීම ඉටුකළ නෙරංජිවත් මේ අවස්ථාවේදී ඉතාම කෘතවේදීව සිහිකරනවා. තව බොහෝ පිරිසක් අපිට එහෙම උදව් උපකාර කළා. එහෙම උදව්කරපු අනිත් අය තමන්ව අමතක කළා කියලා මාත්තෙක්ක අමනාප නොවේවි.

සංවිධායක මණ්ඩලයේ සාමාජිකයන් වෙච්ච ප්‍රදීප්, නලීන්, දුලිප් වගේ අය ගැන මම මොකුත් නොලිව්ව එක ගැන ඔවුන් මා එක්ක අමනාප වෙන එකක් නැහැ... ඒ සංවිධායක මණ්ඩලේ විදියට ඔවුන්ව හැමෝම අඳුරගත්ත නිසා සහ ගොඩක් බ්ලොග් සටහන් හරහාත් ඇගයීමකට ලක්කර තිබූ නිසා. නමුත් සංවිධායක මණ්ඩලේ හිටිය මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ කීපදෙනාට නිසි ඇගයීමක් සිදුවෙනවා දැක්කේ නැහැ. එදා ඔබ ඒ වින්ද සතුට ඔබ වෙත ගෙන එන්න විශාලම දායකත්වය දැක්වූවේ මොවුන්. ඔවුන්ට ඒ නිසි ඇගයීම දිය යුතුයි...

සිංහල බ්ලොග්කරුවන්ගේ ඉතිහාසයේ, සාර්ථකම අවුරුදු උත්සවය සංවිධානය කරන්න හැකිවීම පිළිබඳව සංවිධායක මණ්ඩලය විදියට අපිට ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට ගෙන එන්න විශාල දායකත්වයක් දක්වපු, 2014 සයිබර් සිහින බක්මහ උළෙලේ නිහඬ වැඩකාරයෝ සියළුම දෙනාට සමස්ථ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ස්තූතිකරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා...

එහෙනං, ආයෙත් දවසක හමුවෙමු...

Monday, October 28, 2013

අනිත් බොලෙයින් කෙල්ල | The Other Boleyn Girl



සුද්දාගේ රටේ ඒ කියන්නේ එංගලන්තේ එක්දාස් පන්සිය ගණංවල වෙච්ච සිදුවීමක් ගැන තියෙන ෆිල්ම් එකක් තමා The Other Boleyn Girl ෆිල්ම් එක. 2008 අවුරුද්දේදී තමා තිරගත උනේ. අටවෙනි හෙන්රි රාජෝත්තමයාණන් වහන්සේත් උන්දෑගේ ගෑණු පරාණත් නිසා ඒ දවස්වල ඒ රටේ රජමාළිගේ වෙච්ච ඕපදූප සීන් ටිකක් සහ ඒ සිදුවීම් නිසා රටේ අනාගතේ වෙනස් වෙච්ච හැටි ගැන යම් විස්තරයක් දෙනවා ෆිල්ම් එකෙන්. පැය එකයි විනාඩි 55ක් තිස්සේ යන ෆිල්ම් එක තනි වාක්‍යයකට ගත්තොත් දැනෙන අදහස තමයි ඒ කිව්වේ...
කළිංම කිව්වත් වගේ මේක ඉතිහාස කතාවක් පදනම් කරගෙන හදපු ෆිල්ම් එකක්. ෆිල්ම් එකට කළිං 2001 අවුරුද්දේදි මේ නමින්ම පොතකුත් නිකුත් වෙලා තියෙනවා. ලියලා තියෙන්නේ පිලිප් ග්‍රෙගරි (Philippa Gregory) කියලා රචිකාවියක්. පොත අනුසාරයෙන් තමයි ෆිල්ම් එක හදලා තියෙන්නේ. ෆිල්ම් එක බැලුවට මම පොතනං කියෝලා නැහැ.
දැං ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරමු. කතාවේ හැටියට අටවෙනි හෙන්රි රාජෝත්තමයන් වහන්සේට පිරිමි ළමයි නැහැ. ඒ බිසවුන්නාන්සේට පිරිමි ළමයෙක් ලබාදීමේ නොහැකියාවක් තිබිලා තියෙනවා. ඉතිං මේ හේතුව නිසා රජතුමාගේ පවුල් සංස්ථාවට අප්සට් කාලයක් උදාවෙලා තිබ්බේ. ඉතිං රජ්ජුරුවන්ගේ හිත සනසලා අග බිසවුන්නාන්සේගෙන් බැරිනං වෙන බිසවුන්නාන්සේ කෙනෙක්ගෙන් හරි රජ්ජුරුවන්ට පිරිමි පුතෙක් ලබා දෙන වැඩේට බහින්නේ නෝෆෝක් ආදිපාදතුමා. ආදිපාදවරු කියන්නේ එංගලන්ත රාජසභාවේ ඇමතිතුමාලාට. මේ ඇමතිතුමාගේ නංගී බැඳලා ඉන්නේ බොලෙයින් පවුලෙන්. ඉතිං රජ්ජුරුවන්ට පුතෙක් දෙන්න එහෙම නිකං බැහැ. ඉස්සෙල්ලාම රජ්ජුරුවන්ගේ හිත දිනා ගන්න ඕනේ. ඊට පස්සේ තමා ඉතුරු ටික. මේ බොලෙයින් පවුලේ ඉන්නවා අක්කලා නංගිලා දෙන්නෙක්. ගෙදර අය අර ඇමතිතුමා එක්ක ප්ලෑන් එක ගහන්නේ අක්කව රජ්ජුරුවන්ට සෙට් කරන්න. නමුත් අක්කගේ කට කැඩිච්ච කතා සහ රට පණ්ඩිතකම් රජ්ජුරුවන්ට දිරවන්නේ නැති නිසා රජ්ජුරුවෝ කැමති වෙන්නේ නංගිට. ඒ වෙනකොට නංගි බැඳලා. නමුත් ඉතිං මොනා කරන්නද? රජ්ජුරුවන්ගේ කැමැත්ත තමා අවසාන කැමැත්ත. ඒක නිසා නංගිගේ මනුස්සයා සීන් එකෙන් කැපිලා යනවා. රජ්ජුරුවෝ නංගිට කැමති වෙච්ච නිසා අක්කා සහ නංගී අතරත් පොඩි පොඩි වලි යනවා. ඉරිසියාව තමා ඉතිං. කොහොම හරි  රජ්ජුරුවෝ මුළු බොලෙයින් පවුලම ගෙන්න ගන්නවා රජ මාළිගාවට. කාලේ ගතවෙද්දී රජ්ජුරුවොයි නංගියි ගොඩක් ළං වෙනවා. ඔය අතරේ අක්කව ප්‍රංශෙට යවනවා ප්‍රංශ රජතුමාගේ බිසවුන්නාන්සේගේ කාර්ය මණ්ඩලයට. කොහොමින් කොහොමින් හරි අක්කා ආයෙත් එංගලන්තෙට ඇවිත් රජ්ජුරුවන්ගේ හිත දිනාගෙන රජ්ජුරුවන්ව අල්ලේ නටවනවා. අවසානයේ අක්කා එංගලන්තේ අග බිසවුන්නාන්සේ වෙනවා. ඒ වෙනුවෙන් අටවෙනි හෙන්රි රාජෝත්තමයාණන් වහන්සේ රෝමානු කතෝලික පල්ලියෙන් ඉවත් වෙනවා. ඒක ගොඩක් විශාල දේශපාලනික සහ ආගමික තීන්දුවක්. කාන්තාවක් නිසා අටවෙනි හෙන්රි ඒ තීරණේ ගන්නවා. අග බිසවුන්නාන්සේ වෙච්ච බොලෙයින් අක්කට හැමදාම එහෙම ඉන්න පුළුවං වෙයිද? රජ්ජුරුවන්ටයි රටටයි අවශ්‍ය රජ කිරුළේ ඊළඟ හිමිකාරයා වෙන පුත්කුමාරයෙක්ව ලබාදෙන්න බොලෙයින් අක්කට පුළුවං වෙයිද? නැත්තං මේ පිස්සුව පස්සේ දුවලා මුළු පවුලම විනාස වෙලා යාවිද? පැයයි විනාඩි 55න් මේ ප්‍රශ්න ඔක්කෝටම උත්තර දැනගන්න පුළුවං...
මේ ෆිල්ම් එක නිකංම නිකං ෆිල්ම් එකක් නොවෙන්නේ ඇයි? බලපු මට අනුව මේක සෑහෙන්න දේශපාලනික ෆිල්ම් එකක්. බලය වෙනුවෙන් මිනිස්සු තිරිසන්නු උනත් වෙන්න පසුබට වෙන්නේ නැහැ කියන දේ පැහැදිලිවම පෙන්නන්න අධ්‍යක්ෂකතුමා සමත්වෙලා තියෙනවා. ඒ වගේම කොච්චර උඩ අතු අල්ලගත්තත් එක ක්ෂණිකව බිමටම වැටෙන්න පුළුවනි සහ එහෙම බිමට වැටිලා විනාශ වෙච්ච මිනිස්සු ඉතිහාසේ පුරාම ජීවත් උනා කියලා දැනගන්න හොඳ ෆිල්ම් එකක් මේක. හැමදේම වෙන්නේ මිනිස්සුන්ට. ඒක බොහොම ලස්සනට පෙන්නුම් කරනවා මේකෙදි.

හරි. දැං බලමු විවේචන. මේක ඉතිහාස කතාවක් (ක්‍රි.ව එක්දාස් පන්සිය ගණංවලදී වෙච්ච) නිසා ඉතිහාස කතාවකට තියෙන විවේචනේ කොහොමත් තියෙනවා. කට්ටියක් කියනවා මේක තමා ඇත්තම ඇත්ත කියලා. තව කට්ටියක් කියනවා අහවල් අහවල් තැන් වෙනස් වෙන්න ඕනේ කියලා. ඔය කාරණාව නිසා එංගලන්ත ඉතිහාසේ මේකයි කියන අවසාන තීරණේ ගන්න මේ ෆිල්ම් එක රෙෆරන්ස් කරගන්න එපා. ඊට අමතරව ගත්තොත් රජ්ජුරුවන්ගේ රාජතේජස නං බොහොම මදි. එරික් බානා (Eric Bana) හොඳ නළුවෙක් උනත් මේ ෆිල්ම් එකේදි රජ චරිතෙට කරපු සාධාරණේ මදි කියන එකයි මට දැනෙන්නේ. හැබැයි ඔහුව මේ චරිතේ සඳහාම Australian Film Institute සංවිධානය කරන AFI International Award සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට නිර්දේශ උනා. Eric Bana ඕස්ට්‍රේලියන් ජාතික නළුවෙක්. ඉතිං ඒ හින්දා වෙන්න ඇති මේ හොලිවුඩ් නිර්මාණය වෙනුවෙන් ඔහුව නිර්දේශ උනේ. මංදා... මම කිව්වේ මට දැනුන දේ.

ෆිල්ම් එකේ ඇට් කරන අය ගත්තොත්, Eric Bana හෙන්රි රජ්ජුරුවන්ට රඟපානවා. මීට කළිං බලපු ඔහු රඟපාන Black Hawk Down, Troy වගේ ෆිල්ම් වලදි දැක්ක රංගන පෞර්ෂය මේකෙදී නම් දැක්කේ නැහැ. මට නං ඒ මදි. ඊට අමතරව නතාලි පෝර්ට්මන් (Natalie Portman) බොලෙයින් අක්කටත්, ස්කාර්ලට් ජොහැන්සන් (Scarlett Johansson) බොලෙයින් නංගිටත් රඟපානවා. ඔවුන් දෙන්නම හොඳ සාධාරණයක් ඉටු කරනවා තමන්ගේ චරිතෙට. විශේෂයෙන් නතාලි පෝර්ට්මන්, බොහොම දක්ෂ විදියට සාමාන්‍ය කෙල්ලෙක් විදියට ඉඳලා අග බිසව බවට පත්වෙද්දි වෙන වෙනස්වීම් රඟපානවා. ඒක නියමයි.



ඊටත් අමතරව, ෆිල්ම් එකේ වර්ණ එහෙම බොහොම ලස්සනට ගලපලා තියෙනවා. අපි එංගලන්ත රජ කතාවල දකින අඩ අඳුරු රෙට්‍රෝ පෙනුම (මේකට කියන හරි නම මම දන්නේ නැහැ) එහෙම ඇහැට හරි සනීපයි. බලාගෙන ඉන්න පුළුවනි. සංගීතේ එහෙමත් කියන්න මෙහෙමයි කියලා ලොකු වැරැද්දක් නැහැ. ඒ වගේම ඒ එක්දාස් පන්සිය ගණංවල එංගලන්තේ සමාජයේ බාහිර පෙනුම පෙන්නන්න සෑහෙන්න මහන්සියක් වෙලා තියෙනවා. ඒක සාර්ථකයි.

හරි එහෙනං...
මෙන්න ට්‍රේලර් එක...
මෙන්න IMDB විස්තරේ...

මෙන්න ටොරන්ට් ලිංක්...
මේ KAT ලිංක් එක
මේ පයිරේට් බේ ලිංක් එක
මේ YIFY ලිංක් එක

පවුලේ සැමට සුදුසුයි...
නමුත් කතාව තේරුම් ගැනීමට හැකිවන්නේ 15+ අයට බව,
මගේ විශ්වාසයයි...
අයියෝ ඩේටා නෙමේ...