Sunday, April 8, 2012

Dual Boot අයිං කරමු... ජනෙල්ම තියමු!!! | How To Remove Linux!!!

ලිනක්ස් එක්ක ජනෙල් එහෙමත් නැත්තං Windows මෙහෙයුම් පද්ධති දෙකම එකට ස්ථාපනය කරලා, ඒ කියන්නේ Dual Boot කරලා තියෙන කොම්පියුටර් අද සාමාන්‍ය ප්‍රමාණයක් දකින්න පුළුවනි.

රස්සාව හරි එහෙමත් නැත්තං ඉගෙනීමේ කරුණු නිසා හරි Windows අතාරින්න බැරි, ඒවගේම ලිනක්ස් පාවිච්චි කරන්න බොහොම කැමැත්තක් ඇති උදවියට තියෙන හොදම විසදුම තමා Dual Boot කිරීම. Dual Boot කරලා තියෙද්දි තමන්ට Windows ඕනේ වෙලාවට Windows සහ ලිනක්ස් ඕනේ වෙලාවට ලිනක්ස් තෝරගෙන පාවිච්චි කරන්න පුළුවනි. ගොඩක් වෙලාවට ආසාවට ලිනක්ස් පාවිච්චි කරන උදවිය තමංගේ කොම්පියුටරේ Hard Disk එකෙං පොඩි ඉඩක්, උදාහරණයක් විදියට 320GB HDD එකකිං 40GB විතර වගේ කොටසක තමා ලිනක්ස් ස්ථාපනය කරගෙන ඉන්නේ. වැඩියම ලිනක්ස් පාවිච්චි කරන්නේ නැත්තං, ඒ වගේම ලිනක්ස් නොවන අනිත් පාටිෂන් පිරෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවට, ලිනක්ස් අයින්ම කරලා දාන එක තමා තියෙන එකම විසදුම.

ආරක්ෂිතව ලිනක්ස් ඉවත් කරන්නේ කොහොමද?

ඉස්සෙල්ලාම බලමු "අනාරක්ෂිතව ලිනක්ස් ඉවත් කිරීම" කියන්නේ මොකක්ද කියලා.
Dual Boot කරලා තිබ්බ කොම්පියුටරයකින් අනාරක්ෂිතව ලිනක්ස් අයිං කරන්න ගිහිං රනාට වෙච්ච සන්තෑසිය මතකයිනේ....
ඒ වැඩේ වෙලා තාම මාස 3ක්වත් නෑ.
එදා රනා මෙහෙම කිව්වා කියලා කාටද මතක?

"Windows තුළින් ගොස් සාර්ථකව ලිනක්ස් පාටිෂන් ඉවත් කළ හැකි ක්‍රමයක්ද ඉහත සොයා ගැනීම් සිදු කරද්දී රනාගේ ඇස ගැටුණි.
ඒ වෙලාවේ අවශ්‍යතාවය එය නොවූ නිසා වැඩිදුර පස්සෙන් පැන්නුවේ නැත.
පස්සේ වෙලාවක ඒකත් කරලා බලමු...."

එහෙනං එදා ඒ දීපු පොරොන්දුව ඉටුකරන්න තමා මේ උත්සාහ කරන්නේ.

Windows ඕනෙම සංස්කරණයක්, ඒ කියන්නේ Windows 98, Windows 2000, Windows XP, Windows XP SP1, Windows XP SP2, Windows Vista, Windows 7 කියන මේ ඕනෙම සංස්කරණයක් එක්ක සමාන්තරව ස්ථාපනය කරලා තියෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඉවත් කරනා ආකාරය තමා මේ පහතින් දක්වන්නේ.

මුලින්ම අවශ්‍ය කරන්නේ අදාළ Windows සංස්කරණය සහිත CD එකක් හෝ DVD එකක්.
උදාහරණයක් විදියට ඔබේ පරිගණකයේ තියෙන්නේ Windows 98 නම් Windows 98 CD තැටියක්. ඔබේ පරිගනකයේ තියෙන්නේ Windows 7නම් Windows 7 DVD තැටියක්.

පියවර 1
   
Windows 98දී...
 
1.   Command Prompt එකෙන් Boot කරගත යුතුය.

2.   ඉන් පසුව  :- fdisk /MBR විධානය ක්‍රියාත්මක කළ යුතුය.
3.   ඉහත විධානය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව exit විධානය ක්‍රියාත්මක කර Command Prompt එකෙන් ඉවත්විය යුතුවේ.

Windows 2000, Windows XP, Windows XP SP1, Windows XP SP2 යන මෙහෙයුම් පද්ධතිවලදී...
 
1.    CD තැටියෙන් Boot කර Recovery Console වෙත යා යුතුය.

2.    Recovery Console තිරය පහත පරිදි වේ. 

3.    එහිදී ඔබේ Administration Password එක ලබා දිය යුතු වේ. නැතිනම් ඔබට ලොග් විය නොහැක.
4.    ඉන් පසුව :- fixmbr විධානය ක්‍රියාත්මක කළ යුතුය.
5.    ඔබ එම විධානය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව ස්ථිර කිරීමට Y යතුර ඔබන්න.
6.   ඉහත විධානය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව exit විධානය ක්‍රියාත්මක කර Command Prompt එකෙන් ඉවත්විය යුතුවේ.

Windows Vista, Windows 7 යන මෙහෙයුම් පද්ධතිවලදී...
 
වැඩේ කරන විදිය මීට කළිං සවිස්තරව තියෙනවා. මේක තමා පහසුම ක්‍රමය.


පියවර 2

ඉහත ඔබ ක්‍රියාත්මක කරන ලද විධානයන්ගෙන් සිදුවන්නේ ලිනක්ස් හි GRUB Boot Loarder එක ආරක්ෂිතව ඉවත් කිරීමයි.
දැන් කොම්පියුටරය ReStart කළවිට Windows Boot Loarder එක මගින් කෙළින්ම Windows මෙහෙයුම් පද්ධතියට ඔබව යොමු කරයි.


පියවර 3
    
Windows හි ඇති Disk Management උපාංගය මගින් දැන් ඔබේ ලිනක්ස් පාටිෂන් සියල්ල ඉවත් කළ හැක. 
      
එම ලිනක්ස් පාටිෂන් එක තෝරාගෙන එය මකා දැමිය හැක.
ලිනක්ස් පාටිෂන්වල File Type එක Windows හට හදුනාගැනීමට නොහැකි බැවින් File Type එකක් නොපෙන්වන පාටිෂන් ලිනක්ස් පාටිෂන් ලෙස පහසුවෙන් හදුනාගත හැක.
      

ඉහත පියවර කීපය හරහා යාමෙන් වඩාත් පහසුවෙන් හා ආරක්ෂාකාරීව ඔබට Dual Boot ලෙස ඇති පරිගණකයකින් ලිනක්ස් ඉවත් කළ හැක.

වැඩිදුර:-
මේ දේවල් කොච්චර ලිව්වත්, කිව්වත් රනා තවමත් දකින්නේ ලිනක්ස් තියෙන පරිගණකයකින් එය ඉවත් කිරීම "මහා අපරාධයක්" ලෙසය.
එම නිසා අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර අනිත් කිසිම විටක එවන් "මහා අපරාධ" කිරීමෙන් වළකින්න.


ජයවේවා ලිනක්ස්!!!


මේ කරුණු හොයාගත්තේ අන්තර්ජාලයේ ඇතිවෙනකං කරක් ගැසීමෙනි. මෙම ක්‍රම සහ විධි සොයාගත් මුල් අයිතිකරුවන්ට පිං සිදු වේවා.
ලිපියට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගත්තේ
ඉල්ලන පරක්කුවෙන් මේ වෙබ් අඩවි ලබාදුන් ගූගල් දෙයියන්ට ජයවේවා!!!