Thursday, May 5, 2016

නිහඬ වැඩකාරයෝ | The Unsung Heroes | 2016



සයිබර් සිහින බක්මහ උළෙල පහුගිය අප්‍රේල් 30 සෙනසුරාදා දවස පුරාම වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වුනා. බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කමෙන්ට් කරන සහ ඒ මොනවත්ම නොකරන සහ ඊට අමතරව ෆේස්බුක් සහ අනෙකුත් සමාජ ජාලවල ක්‍රියාකාරී බොහෝ පිරිසක් එදා දවස තමන්ගේ ජීවිතේ අමතක නොවෙන සුන්දර මතකයන්ගෙන් පිරිච්ච දවසක් බවට පත්කරගත්තා. අකුරුවලින් විතරක් දැනගෙන හිටිය අයව හැබැහින් දැකලා අඳුනගත්තා. තිබ්බ හිතවත්කම් වැඩි කරගත්තා. අමනාපකම් නැතිකරගත්තා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම සන්තෝසජනක දවසක්...

ඒ වගේම අවුරුදු උත්සවේට ආපු බොහෝදෙනෙක් ඒ වෙනුවෙන් සටහන් එක්කරලා තිබ්බා. ස්තූති ප්‍රශංසා වගේම සාධනීය විවේචනත් තිබුණා. ඒ හැම දෙයක්ම බොහොම ස්තූති පූර්වකව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අපි භාරගන්නවා. විශේෂයෙන්ම ඔබ පෙන්වා දුන්න ඒ අඩුපාඩු සම්පූර්ණ කරගත්තනම්, අවුරුදු උත්සවේ මීට වඩා සාර්ථකව පවත්වන්න තිබුණා. ලබන වතාවකදී ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න සංවිධායක මණ්ඩලේ උත්සාහ ගනීවි...

පළවෙනිම දේ, මෙදාපාර අවුරුදු උත්සවේ පවත්වන්න කිසිම කෙනෙක්ට කිසිම ආකාරයක බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලේ හිටිය බොහෝ දෙනෙක් මේ පාර අතිශය කාර්යබහුල වෙලා හිටිය හින්දා, අවුරුදු උත්සවේ සංවිධානය නොකර ඒ වෙනුවට වෙන මොකක් හරි දෙයක් කරමු කියලයි හිටියේ. හැබැයි ඒ තීරණේ වෙනස් උනා එකම එක දුරකතන ඇමතුමකින්. ඒ දුරකථන ඇමතුම දුන්නේ වැපා, එහෙම නැත්තං වැප් නිශාන්ත. 

කෝල් එක දීලා වැපා ඇහුවේ මෙච්චරයි, "අඩෝ, මේ පාර අවුරුදු උත්සවේ අපි සෙට් වෙලා කරමුද?". වෙන කෙනෙක් ඇහුවනං බොහෝ වෙලාවට මම දෙන උත්තරේ බොහොම සරළයි. ඒත් මොකක් හරි හේතුවක් නිසා වැපා වගේ එකෙක් (ඒ කුලකෙට අහුවෙන තව කීපදෙනෙක් ඉන්නවා) මොකක් හරි කරමු කිව්වම බෑ කියනන බැරි තත්ත්වයක් තියෙනවා. "හරි බං, කරමු!" ඒක තමයි මම දුන්න උත්තරේ. 

ඊට පස්සේ අපි කළේ සංවිධායක මණ්ඩලේ කට්ටියව ෆෝම් කරලා ගත්ත එක. ඒක මහ අමාරු වැඩක් උනේ නැහැ. ගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලේ හිටිය බොහෝ දෙනෙක් මේ පාරත් ස්වේච්ඡාවෙන් සහ බොහොම උනන්දුවෙන් වැඩේට සෙට් උනා. වෙන වාරවලදී සංවිධායක මණ්ඩලේ කට්ටිය රැස්වීම් වාර දෙකතුනක් පවත්වලා තව ඔන්ලයින් මේල් ත්‍රෙඩ්, ෆේස්බුක් ගෲප් චැට් සහ මෙකී නොකී විදි බොහෝමයකට සන්නිවේදන වැඩ කටයුතු සිදු කරනවා. ඒත් මේ පාර හරිම වෙනස්. ෆේස්බුක් ගෲප් චැට් එකක් තුළදී තමයි මේ හැම දෙයක්ම සිදු කළේ. වැඩ බෙදාදීම, අදහස් ප්‍රකාශ කිරීම, අනං මනං සේරම උනේ ගෲප් චැට් එකේදී. ඒකත් හරි ශෝක් අත්දැකීමක්.

ඒ වගේම අවුරුදු උත්සවේ සංවිධානය කරන්න වගේම එදා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණයට ආව ඔබ සැම වෙනුවෙන් එහෙම සුන්දර අත්දැකීමක් ගේන්න තිරය පිටිපස්සේ ඉඳං මහන්සි වෙච්ච පිරිස බොහෝමයි. විශේෂයෙන්ම දිවා රෑ නොබලා, තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැපකරගෙන, කිසිම ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී, හුදෙක් අනිත් අයගේ සතුට වෙනුවෙන් මහන්සි වෙච්ච බොහෝ දෙනෙක් සංවිධායක මණ්ඩලේ හිටියා. ස්තූති ප්‍රශංසා බොහොමයක් තිබ්බත්, ඒ හැම එකක්ම පොදුවේ සංවිධායක මණ්ඩලේ ගිණුමටයි බැරවුනේ. එහෙම වෙද්දි සංවිධායක මණ්ඩලේ තිරෙන් පිටිපස්සේ හිටිය පිරිස හඳුන්වා දෙන එක අපේ යුතුකමක්. ඉතිං පෙරහැරේ යන්නේ නැතුව කොට ඇද්ද අලි ටික හඳුන්වා දෙන්නයි මේ සටහන වෙන්වෙන්නේ.



වැපාගේ මැදිහත්වීම නොවෙන්න මේ පාර අවුරුදු උත්සවේ සිදුවෙන්නේ නැහැ. නොකරන්න හිටිය අවුරුදු උත්සවේ කෙරුණේ වැපා නිසා. වැපාගේ ඒ මැදිහත්වීම නියමයි.

සසිඳු තමා මෙදාපාර මෑන් ඔෆ් ද මැච්. ඒ වගේම සංවිධායක මණ්ඩලේ ජීවය... සංවිධායක මණ්ඩලේ වෙනුවෙන් හදල තිබ්බ ෆේස්බුක් ගෲප් එක සජීවීව තියාගත්ත එක්කෙනෙක් තමයි සසිඳු. හැමෝටම වැඩ කටයුතු භාරදීලා, ඒවා හරියට වෙලාවට කෙරෙනවද කියලා හොයලා බලලා, නොකෙරෙනවානං අදාල පාර්ශව දැනුවත් කරලා, වැඩේ හරියට ගෙනියන්න ලොකු බරක් ඇද්ද කෙනෙක්. විශේෂයෙන්ම පණිවිඩ සැපයීමේදී සසිඳු දක්වපු සම්බන්ධීකරණ හැකියාව විශිෂ්ඨයි. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවේ දවසේ උනත්, තමංගේ පෞද්ගලික විනෝදය එහෙම් පිටින්ම අමතක කරලා, වැඩේ වෙනුවෙන් උපරිම කැපවීමක් දුන්නේ සසිඳු. කොටින්ම කියනවානං අවුරුදු උත්සවේ වෙලාවේ එක එක දේවල් ගේන්න ගෙනියන්න සසිඳු එහේ මෙහේ දිව්ව අවස්ථා ගාන මට ඉලක්කමෙන් මතක නෑ. එච්චරකට සසිඳු දිව්වා. 



ගයාන් අවුරුදු උත්සව කීපයකදීම සංවිධායක මණ්ඩලේ හිටිය පළපුරුදු සංවිධායකයෙක්. ඒ වගේම මේ අවුරුද්දෙත් අපේ නිල මුද්‍රණ සහකරු. ගයාන්ගේ වැඩ කොච්චර කොලිටිද කියනවානං, 2014 අවුරුද්දේ අපි පාවිච්චි කරපු ඩිජිටල් ප්‍රින්ට් බැනර්, අදටත් ඒ විදියටම අපිට පාවිච්චි කරන්න පුළුවං උනා. මේ අවුරුද්දෙත් අවුරුදු උත්සවය වෙනුවෙන් අප පාවිච්චි කරපු හැම ඩිජිටල් ෆ්ලෙක්ස් පුවරුවක්ම, නොමිලේම මුද්‍රණය කරලා දුන්නේ ගයාන්. ඒ වගේම කඹ ඇදීමේ තරඟේ වෙනුවෙන් අපි ලබාදුන්න තෑග්ගත් බොහෝම ලස්සනට නිර්මාණය කරලා දුන්නේ ගයාන්. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවේ දවසේ, පැමිණි පිරිසව රෙජිස්ටර් කරන වැඩේ, නියමෙටම සිදුකරලා, ඒ බර අනිත් සංවිධායකයන්ගේ ඔලුවෙන් අයින් කළේ මෙතුමා තමයි. අවුරුදු උත්සවේ සාර්ථකත්වය වෙනුවෙන් නිහඬවම ගයාන් කරපු වැඩ කොටස අපමණයි...
මෙදාපාර සංවිධායක මණ්ඩලේ ගරු ලේකම්තුමියගේ භූමිකාව කළේ චාපා. මේ අවුරුදු උත්සවේ ලිපි ලේඛණ කටයුතු සියල්ල සිදුකළේ මෙතුමිය තමයි. විශේෂයෙන්ම අවුරුදු උත්සවේ දවසෙදි සංවිධායක මණ්ඩලේ කාර්යාලයේ වැඩකටයුතු සියල්ල බලාගෙන, ඒ වගකීම් අකුරටම ඉටුකරමින්, සමස්ත අවුරුදු උත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් ලොකු දායකත්වයක් චාපා දැක්වූවා. ඒ වගේම ත්‍යාග සඳහා අනුග්‍රාහකයන් හොයාගන්නත් ලොකු දායකත්වයක් දක්වපු කෙනෙක් තමයි චාපා...

අවුරුදු උත්සවේ සංවිධාන වැඩවලට මේ අවුරුද්දේ අලුතෙන් එක්කහු උනාට, බ්ලොග් හෝ බ්ලොග්කරුවන් නිමේෂාට අලුත් අය නෙමේ. නිමේෂා තමයි අපේ හිතවත් ඕනමැන්ටල් තරුණ මහතාගේ ප්‍රිය බිරිඳ. අවුරුදු උත්සවේ සංවිධායක මණ්ඩලේ ෆේස්බුක් චැට් එක නිරන්තරයෙන් අප්ඩේට් කරමින්, ඒ වගේම සංවිධායක මණ්ඩලේ අය අතර සම්බන්ධීකරණය තියාගනිමින් නිමේෂා විශාල මෙහෙයක් තිරෙන් පිටිපස්සේ ඉඳං සිදු කළා. ඒ වගේම තෑගි සඳහා අනුග්‍රාහකයන් හොයලා දෙන්න නිමේෂා දක්වපු දායකත්වය සුළුපටු නෑ. විශේෂයෙන්ම අපිට විශාල තෑගි ප්‍රමාණයක් ලැබුණ CBL ආයතනය සෙට් උනේ නිමේෂා හරහා බව මේ වෙලාවේ මතක් කළ යුතුමයි...

මෙදාපාර අලුතෙන්ම සංවිධායක මණ්ඩලේට සෙට් වෙච්ච එකෙක්. අවුරුදු උත්සවේ ගැන පූර්ව ප්‍රචාරණ වැඩවලට තමංගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරගෙන මාරම කට්ටක් කාගෙන වැඩ කරපු සංවිධායකයෙක්. මොකක් හරි දෙයක් ගැන විකාර අදහසක් දුන්නම, ඒ අදහස පණ පිහිටවලා පොළොවේ හිටවන්න  ලොකු පුතාට තියෙන්නේ පට්ට සිරා හැකියාවක්. ඒක මේ වෙලාවේදී ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ...

මේත් සෑහෙන්න මහන්සි වෙච්ච කෙනෙක්. විශේෂයෙන්ම තමන්ට භාර දෙන වගකීම අකුරටම ඉටුකරන්න ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්...

අවුරුදු කීපයක ඉඳලා සංවිධායක මණ්ඩලේ එක්ක ඉන්න තවත් සුපිරිම චරිතයක්. හැම අවුරුද්දේම වගේ අපි අවුරුදු උත්සවේ වෙලාවට චාරිත්‍රානුකූලව පත්තුකරන පොල්තෙල් පහන හැදෙන්නේ ගයාන්ගේ අතින්. මෙ අවුරුද්දෙත් ඒ වගකීම බොහොම කැමැත්තෙන් භාරගෙන ඒ වගේම බොහොම උනන්දුවෙන්, වෙනදා වගේම මාර කොලිටි පොල්තෙල් පහනක් හදලා දෙන්න ගයාන් සෑහෙන්න මහන්සි උනා...
මේ පාරත් නිහඬව අපිට සහයෝගය දුන්න කෙනෙක් චතුමිතු. වෙන අවුරුදු උත්සවවලදී වගේ අවුරුදු උත්සවේට කළිං ඉඳලා ලොකු සපෝට් එකක් දෙන්න අමාරු උනත්, අවුරුදු උත්සවේ දවසේ උදේ ඉඳංම තරඟ සංවිධානයට, තෑගි පිළිවෙලක් කරන්න, ජයග්‍රාහකයෝ සටහන් කරගන්න ලොකු දායකත්වයක් චතුරිකා දැක්වූවා. ඒ විතරක් නෙමේ, වෙනදට තනියම එන එක්කෙනා මෙදාපාර තනියට ලස්සන අක්කෙක්වත් එක්කගෙන ඇවිත් තිබ්බා...

නලීන් අයියව ඉතිං නොදන්න කෙනෙක් නැහැ නේ. හැමපාරම වගේ මේ අවුරුද්දේදීත් අවුරුදු උත්සවේ සාර්ථකත්වය වෙනුවෙන් සෑහෙන්න වැඩක් කරපු කෙනෙක් තමයි නලීන් අයියා... 
ප්‍රදීප්ව ඉතිං නොදන්න කෙනෙක් නැහැ නේ. අත්‍යවශ්‍ය පෞද්ගලික අවශ්‍යතාවයක් නිසා මේ අවුරුද්දේදි ප්‍රදීප්ට අවුරුදු උත්සවේට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. හැබැයි අවුරුදු උත්සවේ වැඩ සංවිධානය කරගන්න ප්‍රදීප් විශාල සහයෝගයක් ලබාදුන් බව මතක් කරන්නම ඕනේ...

අවුරුදු උත්සවේ දවසේ සහභාගී වෙන්න නොහැකි උනත්, රෙපා එහෙම නැත්තං අරුණ, මේ වැඩේ සාර්ථක කරගන්න ලොකු සහයෝගයක් තිරෙන් පිටිපස්සේ ඉඳං ලබාදුන්න කෙනෙක්. ඒ වගේම දුලාන් දළුගම, ජනිත් අරන්දර, තඹරු විජේසේකර, පවනි තරංගා, දුලිප් සිකුරාජපති හෙවත් ඕනමැන්ටල් තරුණ මහතා එහෙමත් ෆේස්බුක් චැට් එක හරහා ලොකු සහයෝගයක් මේ වෙනුවෙන් ලබාදුන්නා...

අවුරුදු උත්සවේ සංවිධායක මණ්ඩලේ නොහිටියත්, තව බොහෝ දෙනෙක් අවුරුදු උත්සවේ සාර්ථක කරගන්න සෑහෙන්න මහන්සි උනා. මේ උත්සහය ඒ අයවත් අඳුන්වලා දෙන්න.
2011දී තිබ්බ පළවෙනි අවුරුදු උත්සවෙන් පස්සේ ලිෂාන් කවදාවත් සංවිධායක මණ්ඩලේ හිටිය කෙනෙක් නෙමේ. හැබැයි එදා මෙදා තුර තිබ්බ හැම අවුරුදු උත්සවේකදීම, අවුරුදු උත්සව විතරක් නෙමේ ඕනෙම සයිබර් ක්‍රියාකාරකමකදී ලිෂාන් බොහොම නිහඬව තමන්ගේ උපරිම දායකත්වය ඒ වෙනුවෙන් ලබා දීලා තියෙනවා. මේ පාරත් ඒක එහෙම්මමයි. අවුරුදු උත්සවේ සියළුම ග්‍රැෆික් නිර්මාණ කටයුතු සිදුකළේ ලිෂාන්. ඒ වගේම මෙදාපාර ජයග්‍රාහකයන් සඳහා දෙන තෑගි හොයාගන්නත් ලිෂාන්ගෙන් ලැබුන දායකත්වය සුළුපටු නැහැ. ඒ වගේම අවුරුදු උත්සවේ ඡායාරූප ගතකරන්න ලිෂාන් ලබාදුන්න දායකත්වය විශාලයි. මේ තියෙන්නේ ලිෂාන්ගේ කැමරාවට අපේ අවුරුදු උත්සවේ අහුවෙච්ච විදිය.. 
2012 අවුරුද්දේ ප්‍රධාන සංවිධාකයතුමා. මේ අවුරුද්දේත් අවුරුදු උත්සවේ සංවිධානය කරගන්න අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා... 
තෑගි සඳහා අනුග්‍රාහකයින් අපි හොයද්දි රවීෂගෙන් ලැබුණ සහයෝගය සහ මැදිහත්වීම ගැන විස්තර කරන්න වචන නැහැ. ඒ විතරකින් නවතින්නේ නැතුව, අවුරුදු උත්සවේ දවසේ ඒ වැඩ සංවිධානය කරගන්න ක්‍රියාකාරීව රවීෂ දක්වපු සහයෝගයත් ඉස්තරම්. 
2014 ඉඳං අපි එක්ක ඉන්න සංවිධායකයෙක්. කාර්ය බහුලත්වය නිසාම මේ පාර වැඩි දායකත්වයක් දක්වන්න මංජුලට නොහැකි උනත්, කඹ ඇදීමේ තරඟය වෙනුවෙන් මංජුල දක්වපු සහයෝගය ගැන කිව යුතුමයි. සයිබර් බක් මහ සැණකෙළි ඉතිහාසයේ කඹ අදින්න පාවිච්චි කරපු ලොකුම කඹේ අපිට සහයලා දෙන්න මූලික උනේ මංජුල තමයි. 

ජනරඟ දේවසුරේන්ද්‍ර


පහුගිය අවුරුදු කීපයේදී වගේම මේ අවුරුද්දේදීත් නිවේදන කටයුතු සිදු කළේ ජනරඟ විසින්. බොහොම ප්‍රාණවත්ව ලස්සනට මේ අවුරුද්දෙත් ජනරඟ ඒ කටයුත්ත අපි වෙනුවෙන් ඉෂ්ඨ කරලා දුන්නා. ජනරඟ ඔබටත් බොහෝම ස්තූතිවන්ත වෙනවා. 
සංවිධායක මණ්ඩලේ වැඩවලට සහ අවුරුදු උත්සවේ දවසේ නිවේදන වැඩවලටත් නෙරංජි විශාල සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන්ම සයිබර් සැණකෙළිය බ්ලොග් එක අප්ඩේට් කරන්න සහ රෙජිස්ටර් වෙච්ච අයට යවන ලිපිය සකසාගන්න නෙරංජිගෙන් ලැබුන දායකත්වය අති මහත්.
අපේ අවුරුදු උත්සවේ නිල ඡායාරූප ශිල්පියා තමයි තිසර මධුවන්ත හෙවත් සිහින මල්ලි. ඒ මල්ලි විනෝදාංශයක් විදියට සිදු කරන හාල්කෑලි ට්‍රාන්ස්පෝට් සේවය නිසා පොඩි පොඩි වෙලාවල් කීපයක් අවුරුදු උත්සවේ හිටියේ නැති උනත්, එදා දවසේ බොහෝ අවස්ථා බොහොම ලස්සනට තමන්ගේ කැමරා කාචයේ සටහන් කරගෙන තිබුනා. ඒ දායකත්වය මේ වෙලාවේදී සිහිපත් කළ යුතුමයි. මේ තියෙන්නේ සිහින මල්ලිගේ කැමරා කාචයේ අපේ අවුරුදු උත්සවේ සටහන් වෙච්ච හැටි...


ඒ වගේම තමයි මේ අවුරුදු උත්සවේ වෙනුවෙන් අනුග්‍රහය දක්වපු අපේ අනුග්‍රාහක හිතවතුන්. ඒ අයගේ කාරුණික අනුග්‍රහයන් නොවෙන්න මේ වැඩ කටයුත්ත මේ ආකාරයෙන් සාර්ථකව අවසන් කරන්න අපිට හැකිවෙන්නේ නැහැ. මේ ඉන්නේ අපේ අනුග්‍රාහක භවතුන්.
මේ අවුරුදු උත්සවේ ප්‍රධානම අනුග්‍රාහකයා උනේ UnCommon Homes. ඒ අනුග්‍රහය අපිට සම්බන්ධ කරලා දුන්නේ අන්කොමන් හෝම්ස් අධ්‍යක්ෂකයෙක් වෙන අපේ හිතවත් අවංක පැට්ටා තරුණ මහතා. 

සමන් මල් ටෙක්ස්ටයිල්ස්

මෙදාපාර අවුරුදු උත්සවේ අවුරුදු කුමරියගේ ත්‍යාග වෙනුවෙන් පානදුර සමන් මල් ටෙක්ස්ටයිල්ස් රෙදි පිළි මාළිගය අපිට විශේෂ අනුග්‍රහයක් ලබා දුන්නා. ඒ ආයතනයටත් අපේ ගෞරවනීය ස්තූතිය විශේෂයෙන්ම හිමි වෙනවා.


Tech City
අපේ හිතවත් තිළිණ ශෙහාන් මල්ලි අධිපතීත්වය දරණ Tech City ආයතනය මෙදාපාර අවුරුදු උත්සවේ වෙනුවෙන් සෑහෙන්න දායකත්වයක් දක්වපු ආයතනයක්.

ඉන්දික ගුණවර්ධන, චමල්ක අල්විස් සමරසිංහ, රවීෂ තිලකවර්ධන කණ්ඩායමේ සාමුහික ව්‍යාපාරයක්. එක ටෙලිෆෝන් කෝල් එකෙන් අවශ්‍ය අනුග්‍රහය ලබාදෙන්න මැදිහත් උන රවීෂට වගේම එදා අවුරුදු උත්සවේට ඇවිත් සහයෝගය ලබාදුන්න ඉන්දිකටත් ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම අපිට විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබාදුන් රිදම් FM ආයතනයටත් අපේ විශේෂ ස්තූතිය හිමිවෙන්නම ඕනේ. ඒ වගේම රිදම් FM ආයතනය අපිට සම්බන්ධ කරලා දුන්න රවිඳු මධුශංක අපේ හිතවතාවත් මේ වෙලාවෙදි ඉතාම ආදරයෙන් මතක් කරනවා...

මීට අමතරව බ්ලොග් අවකාශයෙන් තමන්ගේ ලේඛණ හැකියාව දියුණු කරගෙන පොත් එළි දක්වපු කීපදෙනෙක්ගෙනුත් අපි ඉල්ලීමක් කළා අවුරුදු උත්සවේ වෙනුවෙන් තමන්ගේ පොත් දෙක තුනකින් දායකත්වය දක්වන්න කියලා. ඒ කටයුත්ත සම්බන්ධීකරණය කරලා දුන්න රන්ධිකා රණවීර මහත්මියට, ඒ වගේම අවුරුදු උත්සවේ වෙනුවෙන් තමන්ගේම පොත්වලින් දායකත්වය ලබා දුන්න අනිත් කොන ලිව්ව වෛද්‍ය බෝධිනී ආර්. සමරතුංග මහත්මිය, කොළඹ ගමයා ලිව්ව අජිත් ධර්මකීර්ති මහතා, තරු රසී ලිව්ව තරංගනී රොෂිකා ප්‍රනාන්දු මෙනවිය, කලාහිත ලිව්ව සුමිත් කළනසිරි මහතාවත් ඉතාම ආදරයෙන් මතක් කරන ගමන්, ඒ දක්වපු අනුග්‍රහයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම ඇවිද්ද පය බ්ලොග් එක ලියන සුදීක අයියා දක්වපු අනුග්‍රහයත් මේ වෙලාවේදී ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. 

2016 තව බොහෝ පිරිසක් අපිට එහෙම උදව් උපකාර කළා. එහෙම උදව්කරපු අනිත් අය තමන්ව අමතක කළා කියලා මාත්තෙක්ක අමනාප නොවේවි.
 
සංවිධායක මණ්ඩලේ හිටිය මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ කීපදෙනා නොවෙන්න මේ 2016 සයිබර් අවුරුදු උත්සවේ මේ  ආකාරයට සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම මේ අයට නිසි ඇගයීමක් සිදුවෙනවා මේ වනතුරු මම දැක්කේ නැහැ. එදා ඔබ ඒ වින්ද සතුට ඔබ වෙත ගෙන එන්න විශාලම දායකත්වය දැක්වූවේ මොවුන්. ඔවුන්ට ඒ නිසි ඇගයීම දිය යුතුයි...

සිංහල බ්ලොග්කරුවන්ගේ ඉතිහාසයේ, වඩාත් සාර්ථක අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න හැකිවීම පිළිබඳව සංවිධායක මණ්ඩලය විදියට අපිට ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට ගෙන එන්න විශාල දායකත්වයක් දක්වපු, 2016 සයිබර් සිහින බක්මහ උළෙලේ නිහඬ වැඩකාරයෝ සියළුම දෙනාට සමස්ථ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ස්තූතිකරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා...

එහෙනං, ආයෙත් දවසක හමුවෙමු...