Sunday, January 29, 2012

ආරාධිත අමුත්තෝ.....

 
 
ලොව කොතැනක හෝ උත්සව අවස්ථාවක්, ප්‍රිය සම්භාශනයක්, ත්‍යාග ප්‍රධානෝත්සවයක්, වාර්ෂික සාදයක් හෝ මොනයම් හෝ ඒ හා සමාන අවස්ථාවකදී එම උත්සවයට සම්බන්ධවීමට එම උත්සවය සංවිධානය කරනා පාර්ශවයන් විසින් සමාජයේ උසස් යැයි සම්මත තලයන්හි සිටිනා පුද්ගලයින්ට ආරාධනා කිරීම සිරිතකි. එසේ ආරාධනා ලැබූ පුද්ගලයෝ ආරාධිත අමුත්තන් යන නමින් හැදින්වේ. තමන්ගේ උත්සව අවස්ථාවන් සදහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කරගැනීම කව්රුන් විසින් කුමන කාලයකදී ආරම්භ කරන ලද්දේදැයි නිශ්චිතවම පැවසිය නොහැකිමුත් අනාදිමත් කාලයක සිට සිරිතක් ලෙස එය සිදුවෙමින් පවතී. මෙම සිරිත වර්ථමානයේදීත් ක්‍රියාත්මක වන අතර අනාගතයේදීද වෙනස් නොවනු ඇතැයි අපේක්ෂා කළ හැක.


මෙලෙස ආරාධිත අමුත්තන් ලෙස ආරාධනා ලබන්නේ බොහෝ විට සමාජය විසින් ප්‍රභූන් ලෙස වර්ග කර ඇති කොට්ඨාශයයි. වර්ථමාන ශ්‍රී ලංකාවේදී දේශපාලකයින්, රජයේ ඉහළ මට්ටමේ සේවකයින්, පූජ්‍ය පක්ෂයේ ස්වාමීන් වහන්සේලා, පෞද්ගලික අංශයේ ධනවතුන් වැන්නන් ඉහළ මට්ටමේ උත්සවයන් සදහා ආරාධනා ලබයි. බොහෝ විට ග්‍රාමීය මට්ටමේදි ගමේ ආගමික ස්ථානයේ පූජක උතුමන් වහන්සේ, ගමේ සමාජ සේවකයින්, ගුරුවරුන්, ප්‍රාදේශීය දේශපාලකයින්, ගමේ විශාලතම වෙළද ව්‍යාපාරිකතුමන් යනාදීන් ආරාධිත අමුත්තන් ලෙස ආරාධනා ලබයි. කොයි සමාජ තලයේදී වුවත් එකම කාණ්ඩයකට අයත් වන පුද්ගලයින් (උදා. ආගමික, දේශපාලන, ව්‍යාපාරික) මෙලෙස ආරාධිතයන් ලෙස පැමිණෙන බව දැකිය හැක.


අද දවසේ මෙම ලිපියෙන් මූලික වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මෙලෙස පැමිණෙන ආරාධිත අමුත්තන්ගේ භූමිකාව පිළිබදවය. බොහෝ විට සංවිධායක මණ්ඩලය මෙලෙස ආරාධිත අමුත්තන් ලෙස ප්‍රභූන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන්නේ තමන්ගේ උත්සවයට ඔවුන්ගේ පැමිණීම මගින් ආලෝකයක් එකතු කරගැනීමට වේ. එමෙන්ම සමාජයේ ප්‍රභුන් යැයි පිළිගැනෙන පුද්ගලයින් තමන්ගේ උත්සව සභාවට සම්බන්ධ වීමෙන් තම උත්සවයේ වටිනාකම වැඩිවෙන බව බොහෝවිට සංවිධායක මණ්ඩලයේ යටිහිතේ පැළපදියම්ව තිබෙන කරුණක් වේ. සැබෑම කරුණ නම් බොහෝවිට ආරාධනා පත්‍ර නිර්මාණය කරගෙන සහ බොහෝ වෙහෙස වී ප්‍රභූන්ට එම ආරාධනා පත්‍ර පිළිගන්වමින් ඔවුන්ව සම්බන්ධ තම උත්සවයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කරන්නේ ඉහතින් සදහන් කළ කරුණු හේතුවෙනි.


එළෙසින් ආරාධනා ලබනා පුද්ගලයින්ගෙන් එම උත්සව සභාවට අවශ්‍ය, එහි සංවිධායකයින් බලාපොරොත්තුවන ආලෝකය නොලැබේ නම් එය ඉතාම කණගාටුවට කරුණකි. උදාහරණයක් ලෙස යම් කිසි උත්සවයකට සහභාගීවන ප්‍රධාන ආරාධිත අමුත්තා නොපැමිණීමෙන් හෝ ඉතා කෙටි කාලයකින් එම උත්සව භූමියෙන් පිටව යාමෙන් එකී සංවිධායකයින් විසින් දරණ ලද මහන්සිය යම් තරමකට හෝ අපතේ යාම සිදුවන බව ලේඛකයාගේ මතයයි. මෙම ලිපිය කියවන ඔබද එම අත්දැකීම ජීවිතයේ එක වාරයක් හෝ සමහරවිට බොහෝවාරයක් අත්දැක තිබෙනවා වෙන්නට ඇති ඉඩ ඉතාමත්ම ඉහළ වේ. ලේඛකයා විසින් මූලිකත්වය ගෙන හෝ සහසම්බන්ධවී සංවිධානය කරන ලද බොහෝ අවස්ථාවලදී මෙය සිදුවී ඇත. එම ප්‍රභූවරයා අතිශය කාර්ය බහුල පුද්ගලයෙක් නම් එලෙස උත්සවය අතර මැදදී පිටව ගියාට කම් නැත. නමුත් එසේ නොවේනම්? 


බොහෝවිට මෙලෙස ආරාධිත අමුත්තන් පිටව යාම හේතුවෙන් සිත් තැවුල් ඇතිවන්නේ උත්සව අවස්ථාවකදී ගායනය, නර්තනය වැනි අංගයන්ගෙන් උත්සවය රසවත් කිරීමට සූදානම්ව සිටිනා පිරිසටය. ලේඛකයාගේ අත්දැකීමකින්ම එය විස්තර කිරීම අපහසු නොවන්නේ එවන් අත්දැකීම් ඔහුගේ ජීවිතයේ අනන්තවත් ඇති බැවිනි. මේ එවන් එක් අත්දැකීමකි.


ලේඛකයා දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන්නෙකි. මීට වසර කීපයකට (මහ විශාල ගණනක් නොවේ) පෙර ඔහු ඉගැන්වීම සිදුකරනා දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන ලෙසට ආරාධනා කරන ලද්දේ රටේ ඉහළම පුද්ගලයෙකු හටය. මේ උත්සවය නැටුම් දෙකකින් සහ එක් ගීතමය අංගයකින් රසවත් කිරීමට සූදානම් කරන ලද්දේ ප්‍රධාන අමුත්තා  ලෙස පැමිණෙන පුද්ගලයා සැබවින්ම අතිශය කාර්ය බහුල පුද්ගලයෙකු වූ බැවිනි. එම නර්තන අංගයන් සහ ගීතමය අංගය පුහුණු කිරීම භාර වූයේ ලේඛකයාට සහ තවත් ගුරුවරියන් දෙදෙනෙකු හටය. ඔවුන් තිදෙනාම එම අංගයන්හි සිටි දරුවන්ට පැහැදිලි කරන ලද්දේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන්නේ අහවල් පුද්ගලයා බැවින් දහම් පාසලේ තත්වය සහ ගෞරවය රැකෙන පරිදි එම කටයුත්ත ඉතා විශිෂ්ඨ ලෙස සිදු කළ යුතු බවය. ගුරුවරුන්ගේ අදහස සහ ඉල්ලීම පිළිගත් ළමුන් තම උපරිමය ඒ ඒ අංගයන් වෙනුවෙන් ලබා දුනි. ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි පුද්ගලයා උත්සවය ආරම්භ කිරීමට නියමිත වේලාවට වඩා ස්වල්ප වේලාවක් (මිනිත්තු 30ක් පමණ) ප්‍රමාදව පැමිණිය අතර ඉතාම කෙටි කථාවක් පවත්වා ත්‍යාග දෙක තුනක් වේගයෙන් දී උත්සව සභාවෙන් පිටව ගියේ තමන් ඉතා කාර්ය බහුල බැවින් තවත් ස්ථාන කීපයකටම යා යුතු බව ප්‍රකාශ කරමිනි. ගැටළුවක් නැත. ඔහු සැබවින්ම කාර්ය බහුල බව සත්‍යයකි. 
නියම සිදුවීම සිදුවූයේ ඉන් අනතුරුවය. අසවල් පුද්ගලයා ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන බව ආරාධනා පත්‍රයේම පැහැදිලිව සටහන් කොට තැබූ නිසා ආරාධනා පත්‍ර භාර දුන් අනෙකුත් සියළුම ආරාධිතයෝද පැමිණ සිටියහ. එම ප්‍රධාන අමුත්තා උත්සව සභාවෙන් පිටව ගිය පසු අනෙකුත් බොහෝ ආරාධිතයෝද උත්සව සභාව හැර ගියේ එදිනට යොදාගත් වැඩ රාශියක් ඇති බැවින් තමන්ද අතිශයින් කාර්ය බහුල යැයි ප්‍රකාශ කරමිනි. සැබෑම කරුණනම් ඔවුන් සැවොම වාගේ පැමිණ සිටියේ ප්‍රධාන අමුත්තාට තමාගේ මූණත්තහඩුව පෙන්වීමට මිසක් උත්සවය සදහා නොවේ. "ප්‍රධාන අමුත්තා පිටව ගිය බැවින් අපිත් යනවා " කියා යන්නට තරම්වත් සදාචාරයක් ඔවුන්ට නොවූ අතර ඔවුන් ප්‍රකාශ කළේ "අතිශය කාර්යබහුල බැවින්" එම ස්ථානයෙන් පිටත් වන බවයි. ප්‍රධාන අමුත්තා පිටව ගොස් වැඩි වේලාවකට මත්තෙන් වේදිකාවේ ඉදිරිපෙළ ආසන පේළි දෙකම හිස් වූයේ පැමිණ සිටි සියළුම ආරාධිත අමුත්තන්ගේ අතිශය කාර්යබහුලත්වයට පින් සිදු වන්නටය. 
අවසානයට තිබූ නර්තන අංගයේ සිටි එක් කටකාර සිසුවෙක් කීවේ "සර්, අපි නැටුවේ හිස් පුටුවලටනේ!!!" කියලාය. ගුරුවරුන් වශයෙන් ලේඛකයා සහ අනෙත් ගුරුවරියන් තිදෙනා නිරුත්තර විය. එම දරුවාගේ කතාවේ සත්‍යයක් තිබේ. ඔවුන් තම නර්තන අංගය ඉදිරිපත් කරන ලද්දේ ප්‍රධාන ආරාධිතයා ප්‍රමුඛ ආරාධිතයන් නොමැති හිස් පුටුවලටය. එම කුඩා සිසුවා එළෙස වචනවලින් මුදා හරින ලද්දේ ඔහුගේ හිතට දැනුන ආවේගයයි. ලේඛකයා එම ප්‍රකාශයේ වරදක් නොදකී. අගතියට පත්වන්නට කව්රුවත් කැමති නැත.
මේ එක සිදුවීමක් පමණි. මෙවන් සිදුවීම් තව කොපමණ ප්‍රමාණයක් මේ සමාජය තුළ වර්ථමානයේ සිදුවෙනවා ඇත්ද?


තවත් ඉතාම කෙටි සිදුවීමක් ලේඛකයාගේ මතකයට නැගේ. මෙයටත් ලේඛකයා කෙළින්ම සම්බන්ධය.
තමා දැනට සිදු කරන රැකියාව සහ ඒ ආශ්‍රිත සමාජ සම්බන්ධතා හේතුවෙන් මාසයකට දෙතුන් වතාවක්වත් ප්‍රධාන කෙසේ වෙතත් ආරාධිත අමුත්තෙකු ලෙස උත්සව අවස්ථාවන්ට සහභාගී වීමට ලේඛකයාට සිදුවේ. මෙම සිදුවීම සිදුවූයේ එළෙස ඔහු පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ අවස්ථාවකය.  මෙම විදුහල ග්‍රාමීය විදුහලකි. සුපුරුදු පරිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රධාන අනෙකුත් ආරාධිත අමුත්තන් බොහෝ දෙනෙක් ක්‍රීඩා උත්සවය ආරම්භ වී මද වේලාවකින් පිටව ගිය අතර වේදිකාවේ ඉතිරි වූයේ ලේඛකයා සහ අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා පමණි. එම විදුහල්පතිවරයා සහ විද්‍යාලය සමග සාර්ථක පුද්ගල සම්බන්ධතාවයක් ඇති කරගැනීමට එම දිනයේදී ලේඛකයාට හැකිවූ අතර අවසානයේ "ලූලා නැති වළට කණයා පණ්ඩිතයා වී" ප්‍රධාන ජය සංඛේතය ප්‍රදානය කරන ලද්දේද ලේඛකයා විසිනි. මෙය මහා ලොකු දෙයක් නොවේ. නමුත් එම සිද්ධිය ලේඛකයා ජීවත්වන ප්‍රදේශයේ දින කීපයක් සාකච්ඡාවට බදුන් වූ අතර එම සිදුවීම  ලේඛකයා හා සම තත්වයේ සිටි බොහෝ දෙනෙකුගේ ඊර්ශ්‍යාවට බදුන් වීමටද හේතු විය. වැදගත්ම කරුණ නම් එළෙස ලේඛකයා හා සම තත්වයේ සිටි බොහෝ දෙනෙකුද එදින එම ක්‍රීඩා උත්සවයේ ආරාධිතයන් වීම සහ තමන් කාර්ය බහුල බව ප්‍රකාශ කරමින් උත්සව භූමියෙන් පිටත් වූවන් වීමයි. එම සිදුවීම ලේඛකයාට කිසිදිනෙක අමතක නොවනු ඇත.


මේ ලිපිය කියවන ඔබෙන් ලේඛකයාට ඉල්ලීමට ඇත්තේ එකම එක ඉල්ලීමකි. සමහරවිට මෙය කියවන ඔබ නුදුරු අනාගතයේදී ආරාධිත අමුත්තෙකු ලෙස උත්සවයකට සහභාගී වීමට ආරාධනා ලැබ සිටින්නෙකු විය හැකිය. සෑමවිටකම හැකි උපරිම වේලාවක් එම ස්ථානයේ රැදී සිටීමට උත්සාහගන්න. මන්ද යත් ආරාධිතයෙකු ලෙස හැකි උපරිම වේලාවක් එම ස්ථානයේ රැදී සිටීම මගින් ඔබට එම අවස්ථාව සංවිධානය කළ සහ ඔබට ආරාධනා කළ පුද්ගලයින්ට සාධාරණයක් ඉටු කළ හැක. සමහරවිට ඔවුන් ඔබෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළ හැක. හැකි සෑමවිටම එවන් ඉල්ලීම් ඉවත නොදැමීමට කාරුණික වන්න. එවන් අවස්ථාවක් සදහා සූදානම්ව සිටීම වැදගත් වේ. තමන් සහභාගී වන උත්සව අවස්ථාවේ ස්වභාවය පිළිබදව කල් ඇතුව දැනුවත් වීම මගින් මෙම සූදානම ලබාගත හැක.


එසේනම්, ඊළග වතාවේදී හෝ ආරාධිත අමුත්තෙකුගේ භූමිකාව නිවැරදිව ඉටු කිරීමට පාඨක ඔබට අවශ්‍ය ශක්තිය, ධෛර්‍ය සහ ප්‍රඥාව ඇති වේවායි ලේඛකයාගේ එකම පැතුමයි.

ජය වේවා!!!



පිංතූරය උපුටාගත්තේ මෙතැනිනි...

Saturday, January 28, 2012

කෙළවිච්ච ඒවා ගොඩදැමීම හෙවත් GRUB RESCUE!!!

රනාට පට්ට FOSS අමාරුවක් තියෙන වග රනා ගැන දන්න ගොඩක් දෙනෙක් දන්නවා.
මහා ලොකු කොම්පියුටර් ගීක් කෙනෙක් නොවුනත් ඒ FOSS අමාරුවට පිං සිද්ධවෙන්න රනා මේ වෙනකොට හාරපන්සීයකට විතර FOSS සහ ලිනක්ස් උගන්නලා තියෙනවා. ඒ වගේම ඒ ඉගෙනගත්ත අයගෙන් 30ක් විතර සම්පූර්ණයෙන්ම ලිනක්ස්කාරයන් වෙච්ච එකත් රනාට ලොකු සතුටක්. දැං මේ ලියන්න යන්නේ රනාගේ FOSS අමාරුව නිසා කරදරේ වැටිච්චි එකෙක්ව ගොඩදාන්න දීපු නවතම ගේම පිළිබදවයි.

සිද්ධියේ නිදාන කතාව මෙහෙමයි.
රනාගේ ගෙදර ඉන්නවා රනාගේ මල්ලී කෙනෙක්. හරියටම නෑදෑකං කියනවානං රනාගේ ලොකු අම්මාගේ පුතා.
පොර හෙන ජනෙල්වාදියෙක්.
රනාගේ තෙල බෙදිල්ලට සහ ලිනක්ස් පුරාජේරුව ඉවසගෙන ඉන්න බැරිමතැනද කොහෙද දවසක් පොරගේ ලැපට ලිනක්ස් OS එකක් install කරන්න පොර රනාට අවසර දුන්නා.
සුපුරුදු පරිදි එකසිය ගාණට පොර ටෝක් දෙමින් රනා ඒකට ලිනක්ස් ඉන්ස්ටෝල් කළා. ඊට පස්සේ සතියක් විතර මල්ලී ලිනක්ස් පාවිච්චි කළත් ඊට පස්සේ පොර ඒක පාවිච්චි කරනවා රනා දැක්කේ නෑ.
මොනා කරන්නද. කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑනේ.
ඔය සිද්ධිය උනේ මීට මාස තුනකට හතරකට කළිං.


දැං තමා වර්ථමාන කතාව.
ඊයේ පෙරේදා දවසක මල්ලීගේ ලැපේ හාඩ් එකේ ඉඩ මදි මදි කියලා පොර ඇවිත් රනාගෙන් ඇහුවා ලිනක්ස් පාටිෂන් එක ඩිලීට් කරන්නේ කොහොමද කියලා.
ඕකේ ආයේ අහන්න දෙයක් තියෙනවැයි. කෙළිංම My Computer රයිට් ක්ලික් කළා, Manage ගියා, Diks Management ගියා පාටිෂන් දෙක (root පාටිෂන් එකයි swap එකයි) ඩිලීට් කරන්නයි තියෙන්නේ.
මේ හාඩ් එකේ පාටිෂන් ටේබල් එක හදලා තිබ්බේ මහාම මහා කම්මැලිම කම්මැලි විදියට.
ඒ කියන්නේ ලිනක්ස් වල root පාටිෂන් එකයි swap පාටිෂන් එකයි විතරයි.
පාටිෂන් හදන්න කම්මැලිම කම්මැලි හරි, එහෙම නැත්තං හාඩ් එකේ එච්චර ඉඩක් නැති වෙලාවක හරි ඔය පාටිෂන් දෙකෙං උනත් ගොඩ යන්න පුළුවං.
හරිම විදියට පටිෂන් හදන හැටි සිංහලෙංම මෙතන තියෙනවා...

කොහොමින් කොහොමින් හරි රනා පොර සේ අර පාටිෂන් දෙක ඩිලීට් කළා.
මල්ලීගේ ප්‍රශ්නෙටත් උත්තර ලැබුණා. ඇයි ඉතිං 20 GB විතර ඉඩක් ආවානේ. ඉතිං මල්ලිටත් සන්තෝසයි.
හැමෝම සතුටිං විසිර ගියා.

නියම අවුල ආවේ අද උදේ.
මල්ලිකාරයා කොම්පියුටරේ ඕන් කොරන කොට Windows ලෝඩ් වෙන්නේ නැතුව එනවා මෙන්න මෙහෙම සිරාම සිරා message එකක්.


මල්ලිත් උදේ පාන්දර කියලා බලන්නේ නැතුව දුවගෙන ආවා මහ ලොකු අයියා ලගට.
"ඒයි, මේකේ මෙන්න grub rescue කියලා දානයක් එනවා..."

අප්පට සිරි... කාලා හමාරයි...

වෙලා තියෙන දේ ගැන සම්පූර්ණ වැටහීමක් රනාගේ ඔළුගෙඩියට එන්න තත්පර විස්සක්වත් ගියේ නෑ.
මොකක්ද වෙලා තියෙන්නේ?

Windows සහ ලිනක්ස් Dual Boot කරනකොට (Dual Boot යනු Operating System එකකට වඩා වැඩි ප්‍රමාණයක් එකම හාඩ් ඩිස්ක් එකක install කර අවශ්‍ය විට ඉන් කැමති Operating System එකක් භාවිතා කිරීම වේ) Boot Loader එක විදියට By Default එන්නේ ලිනක්ස් වල තියෙන GRUB එක. මේ GRUB එක මගින් හාඩ් එකේ තියෙන Linux OS එකට හෝ Windows OS එකට පරිශීලකයාගේ අවශ්‍යතාව පරිදි ඔහුව යොමු කිරීම සිදුකරනවා. මේ GRUB file එක තියෙන්නේ ලිනක්ස් පාටිෂන් එකේ.
ඉතිං රනා ගොනා වගේ ලිනක්ස් පාටිෂන් එකට කෙළෙව්වම ආයේ කොහෙන් කියලා හොයාගෙන Windows ලෝඩ් කරන්නද?
ඔන්න ඕකයි අද උදේ රනාගේ මල්ලී සහ රනා මුහුණ දුන්න උභතෝකෝටික ගැටළුව.

දැං මොනා හරි ගේමක් දීලා ආයෙත් Windows Boot Loader එක මතුකර ගත්තොත් වැඩේ ගොඩ. ඕක තමයි උත්තරේ.

ඒත් කොහොමද එහෙම කරන්නේ???

ප්‍රශ්නේ මොකක්ද, ඒකට උත්තරේ මොකක්ද කියලා හරියටම දැනගෙන හිටියට උත්තරේ ක්‍රියාත්මක කරන ක්‍රමේ මොකක්ද කියලානං රනා අවංකවම දැනගෙන හිටියේ නෑ.
තමංගේ හිතේ තියෙන ඕනෙම ප්‍රශ්නෙකට උත්තරේ ගොඩාක් වෙලාවට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවං කියලා රනා අත්දැකීමෙංම දන්නවා.
රනා දෙපාරක් හිතුවේ නෑ. ගත්තා රනා ලග තිබ්බ උබුන්ටු Live CD එකක්. මල්ලීගේ ලැපෙංම ඒක ලෝඩ් කරගෙන ගියා අන්තර්ජාලෙට.

හෙව්වා හෙව්වා බරටම හෙව්වා...
අන්තිමේ සොයන්නාට සම්බවුනා!!!

කොහොමද වැඩේ කරන්නේ?

අවශ්‍ය ද්‍රව්‍ය
මේකට අවශ්‍ය එකම එක දෙයයි.
Windows Boot CD/DVD එකක්.
තමංගේ තියෙන Windows OS එක අනුව ඕනේ කරන එක වෙනස් වෙනවා. ඒ කියන්නේ කියන්නේ XP නම් XP එකක්, Vista හෝ 7 නම් ඊට හරියන එක.

සාදන ක්‍රමය
Windows CD/DVD එකෙං Boot කරන්න.
Boot උනාම එන window එක Next කරන්න. (Windows කට්ටියට ඉතිං හරි පුරුදුයිනේ ඕක)

ඊළගට එන්නේ මෙහෙම Window එකක්.

ඕකෙං තෝරන්න Command Prompt එක.

එතකොට Command Prompt එක open වෙනවා මෙහෙම.

දැං හරි.

දැං ඒකෙං යන්න ඕනේ C:\ පාටිෂන් එකට.

ඒක කරන command එක මෙහෙමයි.

X:\Sources>C:\

එතකොට යනවා C පාටිෂන් එකට.

දැං එතනින් යන්න ඕනේ boot කියන ඩිරෙක්ට්‍රියට. එහෙමත් නැත්තං Folder එකට.

C:\>cd boot

එතකොට අපි ඉන්නේ මෙතන.

C:\boot>

ඊළගට කරන්න තියෙන්නේ MBR (Master Boot Record) එක සහ Bootloader එක ෆික්ස් කරන එක. පොඩි command දෙකක් දෙන්න තියෙන්නේ.

C:\boot>bootrec /fixmbr
ඒක success කියලා message එක ආවම

C:\boot>bootrec /fixboot
ඒකත් success කියලා message එක එයි.

වැඩේ ගොඩ!!!

Restart කරලා ගත්තම එනවා මෙන්න මේ window එක.


ඔතනින් එහාට කරන්න ඕනේ දේ මම කියන්න ඕනේ නැහැනේ නේද....

උගත් පාඩම්...
  1. Dualboot කර තිබෙනා විට Windows තුළින් ගොස් ලිනක්ස් පාටිෂන් Delete කිරීම සිදු නොකළ යුතුය.
  2. කොච්චර Windows විරෝධියෙකු වුවත් අවශ්‍ය අවස්ථාවකදී පාවිච්චිය සදහා Windows පිටපත් කීපයක් (තියෙන version හැම එකකිංම වගේ)තබා ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකර වේ.
  3. අපට ඇති ඕනෑම ගැටළුවකට විසදුම් හෝ අඩුමගානේ විසදුම හොයාගන්නා ක්‍රමයක් හරි අන්තර්ජාලයේ ඇත. අවශ්‍යවන්නේ එය සොයා ගැනීමට අප තුළ නිබිය යුතු උනන්දුව පමණි.
  4. බැහැ හෝ දන්නේ නෑ කියා දෙයක් මෙලොව නැත. අද උදේ වෙනතෙක් ඔය වැඩේ කරන්න නොදැන සිටි රනා දවල් 12 වෙන්නත් කළිං ඒ ගැන ලිපියකුත් ලියා අවසාන වී ඇත.

කව්රු ලිනක්ස් එපා කිව්වත්, කව්රු වින්ඩෝස් දාගත්තත්, රනා නං ලිනක්ස්!!!


ජයවේවා FOSS!!!

වැඩිදුර:
grub rescue> prompt එකේදී අප දන්නා බොහොමයක් ලිනක්ස් command ප්‍රතිචාර දක්වන්නේ නැත.
හරි ගිය එකම command එක වන්නේ ls පමණි.
ඉන් හාඩ් එකේ ඇති පාටිෂන් ටික පෙන්වීය.

Windows තුළින් ගොස් සාර්ථකව ලිනක්ස් පාටිෂන් ඉවත් කළ හැකි ක්‍රමයක්ද ඉහත සොයා ගැනීම් සිදු කරද්දී රනාගේ ඇස ගැටුණි.
ඒ වෙලාවේ අවශ්‍යතාවය එය නොවූ නිසා වැඩිදුර පස්සෙන් පැන්නුවේ නැත.
පස්සේ වෙලාවක ඒකත් කරලා බලමු....

තවත් වැඩිදුර:
මේ ලිපියේ අන්තර්ගත ඡායාරූප එකක්වත් රනා විසින් ගත් ඒවා නොවේ. ඔක්කෝම අන්තර්ජාලයෙන් සොයාගත් ඒවා වේ. එම නිසා සෑම ඡායාරූපෞඅකටම ඉහළින් එය උපුටා ගත් තැනට සබැදියක් එක්කර ඇත.

Friday, January 27, 2012

ආයෙත් ලියන්න හිතුණා.....



ආයෙමත් බ්ලොග් සටහනක් ලියන්න හිතුණා....
මේ 2012 අවුරුද්දේ ලියන පළවෙනි ලිපිය.
අද ලියැවෙන මේ බ්ලොග් සටහන ලියැවෙන්නේ මාස 8ක විතර කාලයකින්.
මාස 8ක් කියන්නේ පොඩි කාලයක් නෙමේ.
ඉස්සරත් රනා වැඩිය මොකුත් ලිව්වේ නෑ. ඔහේ හිතුණාම ඇවිත් මොන මොනා හරි කුරුටු ගාලා යනවා. වැඩකට ඇති දේවලුත් නෙමේ. වැඩි හරියක් වෙලාවට මනස්ගාත.
ඒත් නොලියා ඉන්න එක අපරාදේ.

බ්ලොග් නොලියවෙන්න ප්‍රධානම හේතුව කාර්යබහුලකම හෝ ලියන්න දෙයක් නැතිවීම හෝ රටේ හෝ ගමේ හෝ සයිබර් ලෝකයේ සිද්ධවෙන දේවල්වලට සංවේදී නොවීම නෙමේ.
කම්මැලිකම!!!
රනා ගොඩාක් කම්මැලියි ලියන්න.
බ්ලොග් ලියන එක වෙනුවට බ්ලොග් කියවන එකනම් හැමදාම වගේ කරනවා.
කව්රුහරි ලියපු දෙයක් කියවන්න කිසිම කම්මැලිකමක් නෑ. ඒත් මොකක් හරි දෙයක් ගැන ලියන එක මහ එපා කරපු වැඩක්. හරියට නිකං මරණවා වගේ වැඩක්.

බ්ලොග් කියව කියව ඉන්නකොට වෙලාව යනවා නොදැනෙන එක රනාට තියෙන ලෙඩක්.
ඒ වගේම තමා පත්තර බැලිල්ල. උදේ නැගිටපු ගමන්ම දිවයින, ලංකාදීප, ලක්බිම, ලංකා ඊ නිව්ස්, ඊයේ පෙරේදා පටංගත්ත අද සහ ඕපදූප ටික කියවන එක තමා කරන්නේ. ඒ අතරින් පතර ඊ මේල් බැලිල්ලයි Facebook අඩවියේ එක එක්කෙනාගේ පුරාජේරු බැලිල්ලයි දෙකටත් සැළකියයුතු කාලයක් වියදම් වෙනවා. ඔය දේවල් ඔක්කොම ඉවර වෙනකොට පැය 2ක්ට කිට්ටු වෙලාවක් ගිහිං. ඉතිං කොහෙද ලියන්න වෙලාවක්.... ඒ එක්කම කම්මැලිකම සෙට් වෙච්ච ගමංම බ්ලොග් ලිවිල්ල හාන්සි.
ඉහතින් කියපු හේතුව රනාගේ බ්ලොග් නොලියවිල්ලට දායකවෙන සක්‍රිය හේතුවක්.

ඉස්සර තිබ්බ තවත් හේතුවක් තමා ෆිල්ම් එහෙම නැත්තම් බයිස්කෝප් බැලිල්ල.
සාපේක්ෂව ඒක පත්තර බැලිල්ලට වඩා සහ GMail හෝ Facebook කෙළියට වඩා හොදා.
ඕපදූප කියවනවට වඩා ඒක නාට්‍යානුසාරයෙන් බලන එක ටිකක් හොදයි.
හැබැයි ඉතිං කෙළිංම පැය 2කට විතර සොරි. සමහරවිට ඊටත් වඩා වැඩි වෙන වෙලාවල් තියෙනවා.
ඉස්සර බයිස්කෝප් බැළුවේ පරණ CRT මොනිටරේ. ඒක 15". අවුරුදු ගාණක විශිෂ්ඨ සේවයකිං පස්සේ ඒක ගිය ඔක්තෝම්බර් නොවැම්බර් කාලයේදී අවසන් ගමන් ගියා. ඊට පස්සේ දෙසැම්බර්වලදී නත්තල් සේල් අල්ලලා ගත්තා LED මොනිටර් කෑල්ලක්. දැං ඒකෙං පුළුල් තිරේ පිචර් බලනවා. ඔය අස්සේම තවත් මරු අයිටම් එකක් සෙට් උනා. Projector එකක්. ටිකක් පරණ උනාට ගින්දර වගේ වැඩ. ඒකෙං රනා ගෙවල් පැත්තෙම ඉන්න මිනිස්සුංට බයිස්කෝප් පෙන්නනවා. ඒ වැඩේ නැගලා යනවා. ඔය වගේ වැඩ කරන එක අනාගතේටත් ටිකක් විතර හොදයි.
මේ හේතුවත් රනාගේ බ්ලොග් නොලිවිල්ලට බලපාන වැදගත් හේතුවක්.

බ්ලොග් ලියනවානං ලියන්න දේවල් ඕනෙ තරං.
රනා සංවේදී දේවල් ගත්තොත් දේශපාලනය, සංගීතය, සමාජ සම්බන්ධතා, වේදිකා නාට්‍ය, ගුරු වෘත්තිය, දහම් පාසල්, ලිනක්ස් ගැන ලියන්න දේවල් ඕනේ තරම්. ඒ වගේම බ්ලොග් ලියන අනිත් මිනිස්සු විසින් කාලෙන් කාලෙට ඇතිකරන Trends එහෙමත් නැත්තම් රැළි ගැනත් ලියන්න දේවල් ගොඩක් ලියනවා. ඒත් කෝ ලියන්න උවමනාවක්.....
උදාහරණයක් විදියට ගත්තොත් මේ දවස්වල Trend එක වෙලා තියෙන ලිංගික කුහකත්වය සහ ඒ ආශ්‍රිත සමාජ සම්බන්ධතා ගැන හරි එහෙමත් නැත්තන් සීග්‍රයෙන් සිදුවන බ්ලොග්කරුවන්ගේ සයිබරයෙන් සමුගැනීම සහ ආපසු ඒම ගැන ලියන්න පුළුවං.
වෙලාවකට ඔය කෙහෙල්මලවල් ගැන නොලියා ඉන්න එකත් හොදයි කියලා හිතෙනවා.
ලිව්වත් වැඩකට නැහැනේ.

ඔන්න ඕක තමා ඇත්තම කතන්දරේ.
මේ 2012 අවුරුද්දේ අලුතෙන් පටංගත්ත මේ ලිවිල්ල කොච්චර සාර්ථකවේවිද කියලා.
කොහොමත් හැමදාම ලියන්නේනම් නෑ.
අඩුමගානේ මාස දෙකකට සැරයක් හරි... මොනා හරි.... කුරුටුගාලා යන්න තියේනම්....

බලමු!!!

ජය වේවා!!!