Monday, May 30, 2011

සියලෝම තම තමන්ගේ ආගම සිහිකරගන්න...

අපේ රටේ ඕනෙම තැනක රැස්වීමක් හරි හමුවක් වගේ දෙයක් පටං ගන්න යද්දි න්‍යාය පත්‍රානුකූලව මුලින්ම කරන දේ තමා "තම තමන්ගේ ආගම සිහිකර ගැනීම". ඒත්, මේ කියන ආගම සිහිකරගැනීම අපි කොච්චර දුරකට හරියට කරනවද කියලා හිතලා බලද්දි තමා මේ ලිපිය ලියන්න හිතුනේ.

මම මේ කියන කරුණ මේ ලිපිය කියවන බොහෝ දෙනෙක්ට පොදු දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද කියනවානං අපි හැමෝම නොයෙක් විදියේ රැස්වීම්වලට ජීවිත කාලේ බොහෝ සැරයක් සහභාගී වෙලා තියෙන නිසා. උදාහරණ විදියට කියනවානං, පොඩි කාලෙදි අපි හදාගත්ත ළමා සමාජවල රැස්වීම්, යෞවන සමාජ රැස්වීම්, තරුණ වයසෙදි එකතු වෙච්ච ක්‍රීඩා සමිති රැස්වීම්, ගමේ සංවර්ධන සමිති රැස්වීම්, පාසලේ ගුරු දෙගුරු රැස්වීම්, දේශපාලන පක්ෂවල ශාඛා සමිති රැස්වීම් වගේ මෙකී නොකී බොහෝ රැස්වීම් දක්වන්න පුළුවං. මෙතනදී මම පන්සලේ හෝ පල්ලියේ හෝ දහම්පාසල්වල පවත්වන රැස්වීම් සිතාමතාම බැහැර කරනවා. ඒකට හේතුව ලිපිය දිගටම කියවද්දී පැහැදිලි වෙයි.

මේ හැම රැස්වීමකම න්‍යාය පත්‍රානුකූලව මුලින්ම කරන දේ තමා "තම තමන්ගේ ආගම සිහිකර ගැනීම". මේ කටයුත්ත අද දවසේදී සිදුකෙරෙන්නේ චාරිත්‍රයක් විදියට. ඒත් ඒ චාරිත්‍රයේදී, ඒ ආගම සිහිකරගැනීම කියලා අපි ඇත්තටම කරන්නේ මොකක්ද? මෙන්න මේ දේයි අපි කතා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ආගම සිහිකිරීම සදහා වෙන්කරන වෙලාව මිනිත්තු එකකටත් වඩා අඩු වෙලාවක්. මේ මිනිත්තුවක කාලය තුළදී සිහිකරන්න පුළුවං මොනවාද? මෙහිදී මේ චාරිත්‍රය මුලින්ම සමිති න්‍යාය පත්‍රයකට එකතු කරපු පුද්ගලයා ඒක කරන්න ඇත්තේ සද්භාවයෙන් යුතුව කියන එකේ කිසිම තර්කයක් නෑ. නමුත් අද දවසේදී ඒ චාරිත්‍රය නිකංම නිකං කරන්නං වාලේ කිරීමක් විතරමයි වෙන්නේ.

උදාහරණයක් ගමු.
රනා බෞද්ධයෙක්. බෞද්ධ අය ආගම සිහිකිරීමේදී බොහෝවිට සිදුකරන දේ තමා පන්සිල් සමාදන් වීම. හේතුවක් හරියටම කියන්න දන්නේ නැතිවුනත් බොහෝ බෞද්ධ පුද්ගලයන් ආගම සිහිකරන්න කියපු විට සිදුකරන්නේ පන්සිල් සමාදන් වීමම තමා. මේ පන්සිල් සමාදන්වීමේදී ඉස්සෙල්ලාම නමස්කාරය කියනවා. ඊළගට "මම පළමුවත් දෙවනුවත් තෙවනුවත් බුදුන්, දහම්, සඟුන් සරණ යමි" කියන ගාථා පාඨ තුන සජ්ඣායනා කරනවා. ඉන් පස්සේ තමා පංච ශීලය සමාදන් වෙන්නේ. මෙහිදී සජ්ඣායනා කරන ගාථා පාඨ ගණන 17ක්. දැන් තමයි වැඩේ තියෙන්නේ. ආගම සිහිකරන්න දෙන මිනිත්තුවකටත් අඩු කාලයේදී කොහොමද ඔය ටික කරන්නේ? බොහෝ වෙලාවට ආගම සිහිකිරීමේදී කළින් සදහන් කරපු ගාථා පාඨ 17න් 8ක්වත් ඒ කියන්නේ පන්සිල් සමාදන්වීමේ ක්‍රියාවලියෙන් භාගයක්වත් කරගන්න ලැබෙන්නේ නෑ. න්‍යාය පත්‍රයේ සදහන් ඊළග අංගයට යොමුවීම තමා සිදුවෙන්නේ.

එක පාරක් මේ ගැන රනා තමන්ගේ කතෝලික මිතුරෙක්ගෙනුත් ඇහුවා. රනා ඔහුගෙන් ඇහුවේ ඒ වගේ වෙලාවට කරන යාඥාව මොකක්ද කියලයි. කතෝලික අය ගොඩක් වෙලාවට කරන්නේ එම අවස්ථාවට සහභාගීවීමට තමන්ට හැකියාව උදාකරදීම පිළිබදව දෙවියන්ට ස්තූතිකිරීම සහ එම රැස්වීමේ වැඩකටයුතු වඩාත් සාර්ථකව කරගෙන යෑමට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීම බවයි මිතුරා කිව්වේ. ඔහුට අනුව ඒ සදහා තත්පර 30ක විතර වෙලාවක් ගතවෙනවා කියලත් කිව්වා. නමුත් එතැනදී වුනත් ඇත්තටම ආගම සිහිකිරීමක්ම නෙමෙයි ආගම සිහිකිරීම සංකේතවත් කිරීමක් සිදුකරනවා කියලයි ඔහු වැඩිදුරටත් කිව්වේ. ඒ කියන්නේ බෞද්ධ කතෝලික හැමෝම මේ වෙලාවෙදි තමන්ගේ ආගම ඇත්තටම සිහිකරනවාට වඩා හුදෙක් එම සිහිකිරීම සංකේතවත් කිරීමද සිදුකරන්නේ?

ඉස්ලාම් ධර්මයේ හැටියට ආගම සිහිකරන වෙලාවට සිදුකරන යාඥාව මොකක්ද කියලා අහන්න මිතුරෙක් රනා ලග නෑ. අහපු එවුන් දෙන්නා තුන්දෙනාම විකාර කියෝලා රනාව බයිට් එකට ගන්න උත්සාහ කළා මිසක් හරි හමන් උත්තරයක් දුන්නේ නෑ.

ගොඩක්ම වෙලාවට ආගම සිහිකිරීම කියන අංගයේදී සිදුවෙන්නේමෙහෙම දෙයක්. මේක බොහෝ රැස්වීම්වලට පොදුයි. බෞද්ධ අය වැඳගන්නවා, අනෙත් අය බිම බලාගන්නවා, ඊට පස්සේ හැමෝම හොරෙන් අනිත් අය දිහායි, මූලාසනේ දිහායි බලනවා කොයි වෙලේද මේක ඉවර වෙන්නේ කියලා. රනාත් ඔය දේ අනන්ත වාරයක් කරලා තියෙනවා. බොහෝ වෙලාවට මේක කියවන ඔබත් එහෙම කරලා ඇති. ඒකේ වැරැද්දක් නෑ. වැල යන අතට එපායැ මැස්ස ගහන්න. හැබැයි මේකෙන් වෙනස් වෙන තැනුත් නැත්තෙමත් නෑ.

ඒත් ඇත්තටම අපි කරන දේ හරිද?

අපි මොකක්ද මේ කරන්නේ. රනාට අනුවනම් මේක වැරදියි. අපිට අපේ ආගම හරි විදියට සිහිකරන්න බැරිනං, අපි ඒක නොකර ඉන්න ඕනේ. මොකද දෙයක් වැරදියට කරනවට වඩා ඒක නොකර ඉන්න එක වඩාත් යහපත් නිසා. ඒත්, සෑහෙන්න කාලයක් තිස්සේ ඉදලා කරගෙන එන චාරිත්‍රයක් එක පාරටම අයින් කරලා දාන්නත් බැහැ.

හැබැයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවං. රැස්වීමේ මුලසුන හොබවන කෙනාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවං ආගම සිහිකිරීම සදහා ප්‍රමාණවත් කාලයක්, අඩුම තරමේ මිනිත්තු තුනක්-හතරක්වත් ලබාදෙන ලෙස. දැන දැනම වැඩක් බාගෙට කරනවත වඩා ඒ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරන එක එතකොටවත් වෙයි.

දහම් පාසල්වල හෝ ආගමික ස්ථානයන්හී පවත්වන රැස්වීම් මෙහිදී අමතක කළේ ඒ රැස්විම් වලදී ආගම සිහිකිරීම නියමාකාරව ක්‍රමානුකූලව සිදුකරනා නිසා. ගොඩක් වෙලාවට ඒ රැස්වීමක මූලාසනය හොබවන්නේ පූජක උතුමෙක් නිසා උන්වහන්සේ එම කටයුත්ත නියමාකාරව සිදුකරනවා.

මේ කරුණ ඔළුවට වැටිච්ච දවසේ ඉදලා රනා කළේ රැස්වීම්වලදී ආගම සිහිකරන වෙලාවට එහෙම නොකර බිම බලාගෙන ඉන්න එක. ඕක දැකපු රනාගේ හිතවතෙක් රනාගෙන් ඇහුවා මෙන්න මෙහෙම.

රනා මොකද ළගදී ආගමවත් මාරුකළාද?
ඇයි එහෙම ඇහුවේ?
නෑ, මේ ආගම සිහිකරන වෙලාවෙදි වදින්නේ නැතුව බිම බලාගෙන හිටපු නිසා ඇහුවේ.

රනා හිනාවෙලා හිටියා මිසක් ඒ වෙලාවේ උත්තරයක් දෙන්න ගියේ නෑ. ඒත් ලිපියක් ලියන්න තරම් වැදගත් ප්‍රශ්නයක් නේද ඔහු ඇහුවේ කියලා පස්සේ වෙලාවක ඒ ගැන කල්පනා කරද්දි රනාට හිතුනා.

එහෙනං,
හෙට ඉදලාවත් හරියට තම තමන්ගේ ආගම සිහිකරගමු නේද.

ජය වේවා...