Wednesday, December 5, 2012

පොලිසියෙන් ආවා!!! | When Cops came!!!

ඊයේ අපේ ගෙදරට පොලීසියෙන් ආවා. කට උත්තරයක් ගන්න. මම හොරකමකට මංකොල්ලෙකට ස්ත්‍රී දූෂණයකට සැකකාරයා වෙලා එහෙම නෙමෙයි. පාරිසරික ප්‍රශ්ණ...

කතන්දරේ මෙහෙමයි...
අපේ ගෙදර තියෙන්නේ ගමේ පිට්ටනිය ළඟ. පිට්ටනිය ළඟ කියන්නේ පිට්ටනියට අල්ලපු වැට අපේ ගෙදර. නිවාස සංකීර්ණයක් නිසා ඒක ටිකක් ලොකු පිට්ටනියක්. මේ පිට්ටනියේ අවුරුද්දට සැරයක් දෙකක් කානිවල් පවත්වනවා... එක එක ආයතන, සංගම්, පදනම්වලින්. ඒ අයගේ අරමුදල් තර කරගන්න, සුභසාධන වැඩවලට වගේ දේවල් වලට. ඒ කානිවල් දවස් දෙක තුනක් තිස්සෙම තියෙනවා. ඒවගේ ප්‍රධානම අංගයක් තමා මහා සංගීත රාත්‍රිය. ඇත්තම කියනවානං, කානිවල් එකේ ලාභය හෝ පාඩුව තීරණය කරන සාධකේ තමා ඔය සංගීතේ. සංගීතයක් බලන්න අඩුම තරමේ දාහක් දෙදාහක් එන නිසා ඒක ටිකක් ලාභදායක වැඩක්...

මේ මාසේ අග හරියට වෙන්න, ආයෙත් තියෙනවා ලොකු කානිවල් එකක්. දවස් 3ක. සංගීතත් 03ක්ම තියෙනවා. නමගිය සංගීත කණ්ඩායම් 3ක් එන්නේ. සෙනඟ ඉඳියි වකාරෙට. හොඳ ලාබෙකුත් තියෙයි.

දැං ඇයි අපේ ගෙදරට කට උත්තර ගන්න පොලීසියෙන් ආවේ. අපි නෙමේ කානිවල් එක සංවිධානය කරන්නේ. එහෙනං මොකක්ද මේ කටඋත්තරේ. මේකයි වැඩේ. සංගීත සංදර්ශනයක් කියන්නේ ලොකු ඝෝෂාවක්. ඒ ඝෝෂාව ඇතිකරන්නේ ලොකු ස්පීකර්, බෆල් වලින්. මේ ස්පීකර්, බෆල් තමන්ට හිතූමනාපෙට දාන්න බැහැ. නීතියෙන් අවසර ගන්න ඕනේ. ඒ කියන්නේ පර්මිට් එකක් ගන්න ඕනේ. අවසරේ දෙන්නේ පොලිසිය. කොට්ඨාශය භාරව ඉන්න සහකාර පොලිස් අධිකාරීතුමාගෙන් තමා අවසරේ ගන්න ඕනේ. ඒකෙත් ලොකු වැඩ සටහනක් තියෙනවා. බෆල් කොච්චර දානවද? සද්දේ ඩෙසිබල් කීයද? ඔය වගේ ලොකු ප්‍රශ්ණ පත්තරයක්. ඒවට උත්තර බඳින්න ඕනේ සංගීතය සපයන අය. අපි ඒ ගොඩට අයිති වෙන්නෙත් නැහැ. එහෙනං මොකටද අපෙං කට උත්තර?


මේ ඝෝෂාකාරී ශබ්ද නිසා අසල්වැසියන් වෙන අපිලු අගතියට පත්වෙන්නේ. අපි එහෙම අගතියට පත්වෙනවට කැමතිද නැද්ද කියලා සහසුද්ධෙන්ම දැනගන්නයි කට උත්තරේ ගන්න ඇවිත් තියෙන්නේ.

ඊයේ කට උත්තරේ දෙන්න සෙට් උනේ මම. පොලිස් පොර මගෙන් අහනවා, සංගීත සංදර්ශනේට විරුද්ධද නැද්ද කියලා. මම ගත්ත කටටම කිව්වා, අනේ අපේනං කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා.

හේතු මෙන්න මේවයි.
පළවෙනි එක,  අපේ ගමට විතරක් නෙමේ, අහළ පහළ ගම්මාන කීපයකටම පිට්ටනියකට කියලා තියෙන්නේ මෙච්චරයි. ඉතිං අහළ පහළ ඉස්කෝලෙක ආදි ශිෂ්‍ය කණ්ඩායමක්, ඉස්කෝලේ සුබ සිද්ධියට කානිවල් කරනවානං, ඒක කරන්න එයාලට තියෙන්නෙත් මේ පිට්ටනියම  විතරයි. ඉතිං අපිට සද්දයි කියලා ඒ වගේ දේකට විරුද්ධ වෙන එක සදාචාර සම්පන්න නැහැ.

දෙවෙනි එක, කානිවල් සහ ඔයවගේ දේවල්වලට පිට්ටනි පාවිච්චියට ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒකේ තහනමක් නැහැ. ඉතිං අපි දැනගන්න ඕනේ කානිවල් වගේ දේවල්වලට අකමැතිනං, පිට්ටනි ළඟ ගෙවල් නොගෙන ඉන්න. වැරැද්ද අපේ. පිට්ටනියක් ළඟ ගේ තියාගෙන, කොල්ලෝ ක්‍රිකට් ගහද්දි බෝලේ ගෙදර වහලෙට වදිනවා කියලා උං එක්ක ගෝරි දාගන්න එක ගොං පාට් එකක්. මේවගේ දේකටත් එහෙම විරුද්ධ වෙනවා කියන්නේ අර ගොංපාට් එකේම දිගුවක්.

ඊළඟ එක. අවුරුද්දේ හැමදාම මෙතන කානිවල් තියන්නේ නැහැ. උපරිම, මුළු අවුරුද්දටම දවස් 10ක් තියෙයි. නමුත් ඒකෙන් සන්තෝස වෙන සංඛ්‍යාව ගොඩක්. සංගීතයක් ගත්තොත්, ඒකේ කඩල විකුණන, සාරවිට විකුණන මිනිහගේ ඉඳලා, සිංදු කියන අයගේ ඉඳලා, සංවිධායකයෝ වෙනකම්ම කට්ටිය ජීවත් වෙන්නේ ඒකෙන්. ඒ වගේම ඒක බලන්න ඇවිත් සන්තෝසවෙන, නටන, බොන්න සෙට් වෙන, තව වෙන වෙන සබ්ජෙක්ට්වලට සෙට් වෙන උදවිය කොච්චරක් ඉන්නවද. අපිට දවස් 03ක් නිදාගන්න නැහැ කියලා ඇයි අපි ඒ අයගේ ආතල් කඩන්නේ. මට අනුව ඒක හෙණ අසාධාරණයි.

දැං සමහරවිට  කව්රු හරි තර්ක කරන්න පුළුවං පාඩම් කරන ළමයි, ලෙඩ්ඩු, ගැබිණි මාතාවන්, අලුත ඉපදිච්ච පොඩි ළමයි ගැන කියලා. ඒත් මම ආයෙත් කියන්නේ, අපි සොහොනේ ගෙවල් හදන්න ඕනේ, ජීවත් වෙන්න වෙන්නේ යක්කු එක්ක තමා කියලා දැනගෙනම. නැතුව සොහොනේ ගෙයක් ලොකුවට ලස්සනට හදලා, ආනේ "මෙතන ඉන්න අසල්වැසියෝ යක්කුනේ" කියලා තැවෙන එක ගොංපාට් එකක්.

ඊටත් අමතරව, දැං පිට්ටනිය වටේම ඉන්න හැමෝම මේකට පට්ටෙට විරුද්ධ උනා කියමුකෝ. එහෙම විරුද්ධ වෙලා පොලිස් පොත පිරෙන්න කට උත්තර දීලා තියෙද්දි, සංවිධායක මණ්ඩලේ උදවිය දේශපාලක පොරක් අල්ලලා, DIG ලෙවල් එකේ පොලිස් ලොක්කෙක්ගෙං ඕඩර් එකක් අරගත්තොත් පර්මිට් එක ගන්න කියලා, අපිට නිකං හිතේ අමාරුව හැදෙන එක සහ රට ජාතිය ගැන කළකිරීමක් ඇතිවෙන එක විතරයි වෙන්නේ. මොකෝ අපි නොදන්නවායැ රටේ වැඩ කටයුතු සිද්ධ වෙන සිස්ටම් එක...

ඔන්න ඔය ටික මම පොලිස් බුවාට කිව්වා. ඔයා කැමති දෙයක් ලියාගන්න කියලත් කිව්වා. පැහැදිලිව ලියන්න කිව්වා "මේ සංගීත රාත්‍රීන්ට අපේ(පෞද්ගලිකව අපේ ගෙදර කිසිවෙකුගේ) කිසිම විරෝධයක් නැහැ" කියලා. මම සහසුද්ධෙන්ම දන්නවා පොලිස් බුවා මගෙන් ඔයවගේ දෙයක් බලාපොරොත්තු උනේ නැහැ කියලා. ඒත් ඉතින්ග් මොනා කරන්නද. මම ඇත්තම කිව්වා...

පොලිස් බුවත් මාර කතාවක් කිව්වා. දැං මේ කට උත්තරේ ගන්න යන ගෙවල්වලින් හැමෝම වගේ ඔහොම කියනවළු. හැබැයි රෑ 12 පනිද්දී වන් වන් නයින් (119) කෝල් කරලා කියනවළු සද්දේ වැඩියි, අරකයි මේකයි කියලා. ඊට පස්සේ වන් වන් නයින් (119) එකෙන් ගමේ පොලීසියට කතා කරලා කියනවළු සංගීතයක්, අසල්වැසියන්ට කරදරයි, ගිහිං බලලා පිළියමක් කරන්න කියලා. මගෙන් අහනවා ඒකට මොකද කරන්නේ කියලා. මම මොනා කරන්නද ඒකට. මම කතා කරන්නේ නැහැ කොහොමත් ඔය මොකකටවත්.
ඒ පාර මම පොරට කිව්වා, "මම සහතික වෙනවා අපේ ගෙදරින් කිසිම කෙනෙක් එහෙම වන් වන් නයින් (119) එකට කෝල් නොකරන බවට, අනිත් මිනිස්සු ගැන කියන්න මම දන්නේ නැහැ, මට වගකීමක් ගන්නත් බැහැ, ඔයාලා ඒක ඒ ගෙවල්වල අය එක්ක බලාගන්න" කියලා. අනිත් එවුංගේ ටෙලිෆෝන් කෝල් ගැන හොයන්න මට වෙන වැඩ නැතුවයැ...


අවසානේ මේකයි.
පිට්ටනියක් ළඟ නං අපේ ගෙදර තියෙන්නේ, අපිට පෞද්ගලිකව කොච්චර කරදරයක් වදයක් කරච්චලයක් උනත්, ඒකත් එක්ක බැඳිලා තියෙන ක්‍රියාකාරකම්වලට අකමැත්තෙන් හරි අපිට එකඟ වෙන්න වෙනවා. අපි පෞද්ගලිකව ඒකට කැමති නැත්තං, අපිට කරන්න තියෙන හොඳම වැඩේ, පිට්ටනියක් පේන තෙක්මානෙක නැති, නිස්කලංක පරිසරයකින් ගෙයක් හදාගෙන පදිංචි වෙන එකයි. නැතුව පිට්ටනියේ එක එක ඉවෙන්ට් සංවිධානය කරන එවුංට බාල්දි පෙරලන එක නෙමෙයි.

සංවාදයට විවෘතයි...

17 comments:

  1. හැබැයි රනයියෙ මෙහෙම දෙයක් තියෙනවා. අවුරුදු බර ගාණකට කලින් මිනිස්සු පිට්ටනි ලඟ ගෙවල් හදද්දි ඔය සංගීත කියලා ජාතියක් තිබ්බෙ නැහැ. ඊට පස්සෙ මුල් කාලෙ තිබ්බේ යකට කටවල් වලින් දෙන සංගීත. ඒවා බේස් (Bass) නැති නිසා පපුවට මිටියෙන් ගහනවා වගේ අමාරුවක් තිබ්බේ නැහැ. හැබැයි දැන් අලුත් තාක්ෂණය එක්ක තියෙන බැෆල් වල කොලිටිය කියන්න ඕනෙ නෑ නේ ඉතින්. හැතැප්ම ගාණක් ඈතින් ගෙදරක උනත් මේසේ උඩ තියෙන කෝප්ප දෙදරනවා ඒවයේ Bass වලට.

    අංක දෙක. මං හිතනවා මිනිස්සු කොයිතරම් ශබ්දෙන් තිබුනත් ලයාන්විත සංගීතෙකට අකමැති වෙන එකක් නැහැ. වෙසක් වගේම කතෝලික පල්ලියේ මංගල්ලෙට ශබ්ද විකාශනය කරන ආගමික ගීත ඒ ගණයට අයිතියි. ඒවා සද්දෙන් අහං හිටියා කියලා අමාරුවත් නැහැ. නමුත් දැන් කණ්ඩායම් සංගීතයේ වැඩිහරියක් තියෙන්නේ ඝෝෂාකාරී සද්ද. ඒවා ටිකක් සද්දෙන් අහං ඉන්න අමාරුයි. කැමති අය ඇති. නමුත් මං දන්න විදියට බහුතරයක් අකමැතියි.

    ආධාර එකතුකිරීමේ වගේ ව්‍යාපෘතියකට සංගීතයක් පවත්වන එක සද්කාර්යයක්. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ඔය වගේ දේකදි කෙරෙන්න ඕනේ වැදගත් වැඩක් තමා ශබ්ද පරිපාලකයන්ගේ අතින්, පොඩ්ඩත් පිට්ටනියේ සීමාවන් වලින් එහාට ඇවිදලා බලලා ඒ ප්‍රදේශ වලට කරදරයක් නොවෙන අන්දමටත්, පිට්ටනියේ සීමාව තුලට පමණක් ශබ්දය සීමා වල පරිදි Volume ප්‍රමාණ සැකසීමත්, බැෆල් ස්ථානගත කිරීමත්.

    ReplyDelete
  2. මරේ මරු රනෝ. මේක පොදුවේ හැම දේකටම ආදේශ වෙන්න ඕනෙ දෙයක්. මරු.

    ජය වේවා

    ReplyDelete
  3. ආගමික , සහනාධාර , ආතල් , ඔය මොන මලබකබාවකටවත් රැ 12න් පසු ශබ්ධ දැමීම (නිවාසාශ්‍රිත ප්‍රදේශ වල ) තහනම් කල යුතුය . ගෙවල් අස්සේ මියුසිකල් දාන්නේ මා දන්නා තරමින් ආශ්චර්ට දීපයේ පමණි . රෙසිඩෙන්ශල් ඒරියා වල් මියුසිකල් තියා සිල්ලර කඩයක්වත් දියුණු රටවලදී තහනම් ය . ලංකාවේද එවන් නීතියක් ගෙනා මුත් ලෙබ්බෙලාත් හාමුදුරුවරුත් එයට කෙලවූහ ( බුදු හාමුදුරුවන් හෝ නබි වරයා මයික් දාගෙන ආගම අදහන්න කියා නැත ) , ඉතුරු වූ නිතියත් දෙකයි පනහේ සංගීත කණ්ඩායම් ජනපතිතුමා ඉඳිරියේ කෙඳිරි ගා නැති කරගත්හ . මුන් දන්න සංගීතය ගැන්ගන්ම් ස්ටයිල් එකත් ගැන් රේප් කිරිල්ලය , කොල්ලෝ කරන්නේ ජොයින්ට් එකක් ගසා විරහ ගිතයටත් නැටීමය . සමහර පැතිවල දැලි පිහි පාරවල් ද හරි හරියට යනවාය

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ මිසුසිකල් එකක් තිබ්බොත් එක්කෝ එකෙක් දෙන්නෙක් අනිවා ඉස්පිරිතාලේ.. නැත්තම් මෝචරියේ... ඉස්සර අපි කතාවට කියන්නේ මාමයිට් ඩප්පියක් වත් නැතුව අපේ උන්ට මියුසිකල් ආතල් නෑ කියලා... ගහ‌ෙගන බැරි නම් අහල පහල තියෙන ලයිට් කණුවක වාහනේ හප්පගෙන හරි මැරෙනවාමයි එකෙක්...

      Delete
  4. මේ වෙනකම් දැනගෙන හිටියෙ නෑනෙ 119 කම්ප්ලේන් කරන්න පුළුවන් කියල ඔව්වට... වෙලාවක් කලාවක් ඇතුව ඕන එකක්... මෙලෝ සීමාවක් නැතුව යන ඒවනෙ වැඩි හරිය තියෙන්නෙ... අනිත් අතට දැන් තියෙන්නෙ සංගීතෙට වඩා සද්දෙ විතරනෙ...

    වෙලාවට ගෙවල් කිට්ටුව ඔය වගේ එව්වා තියෙන්නෙ නෑ... (මට කොහොමත් වැඩි සද්දෙ ඇලජික්...)

    ReplyDelete
  5. ඔය වගේ දේකට ඉහලිං ඕඩර්ස් අරං තිබුණොත් 119 වලට කතා කලත් වැඩක් වෙන්නෙ නැතිවෙයි.
    හැබැයි ඕව සංවිධානය කරන අය වටේ පිටේ මිනිස්සු ගැනත් පොඩ්ඩක් හරි හිතනවනං ඒක තමයි වෙන්න ඕන.

    ReplyDelete
  6. රනා අයියා නම් ඉතින් ඔය වගේ දේවල් වලට 119 call කරන එකක් නැහැ. ඒ වෙනුවට සංගීතේ කරදරයක් වුනම කාටහරි බනිවි. අනිත් එක තමා ඉතින් රනා අයියාට තියෙන වාසිය ගෙදර ඉදන්ම සින්දු අහන්න පුලුවන්නේ..
    විශේෂ හේතුව තමා රනා අයියා වෙ. ප්‍රා. ම. විදිහට ඔයවගේ දෙයකට අකමැති වෙන්නේ නැහැ...

    ReplyDelete
  7. ඔයා හොද මහත්තයෙක්නේ අප්පා

    ReplyDelete
  8. රසික මල්ලි...ඕක ඔයාට එච්චර ප්‍රශ්නයක් නෙවෙයි වෙන්න ඇති. මොකද, ස්ටෙජ් එක ගහන්නෙ ඔගොල්ලන්ගෙ ගෙවල් පැත්තෙ විරුද්ධ පැත්තට මුහුණ දාලා..ඔය ම්යුසිකල් එකක් ගහන කොට ඒ සද්දෙට බිත්ති දෙදරණවා. ජනෙල් දෙදරණවා. ඔය ස0ගිතයක් නිසා අපෙ බිත්තියක් කඩන් වැටුනොත් කවුද වග කියන්න ඔනී. එකට ගෙවල් වල අයිති අපි පළි ද? ගිය මාසේ 21 තිබ්බ ස0ගිතෙට අපි ගෙදර ඔක්කොම පුදුම බයෙ හිටියේ. මොකද මැද බිත්තිය පවා දෙදරණවා. දැන් මේ ගෙවල් අවුරුදු 30කට වඩා පරණයි. පොලොවක් බැහැලා. බිත්ති පුපුරලා. හාදා ගන්න සල්ලි නැතුව ඉන්න වෙලාවට ඔය බිත්තියක් කඩන් වැටුණොත් කාට කියන්නද? ඔය බිත්තියකට කවුරු හරි යට උනොත් අපි කාටද කියන්නේ. ඔගොල්ලෝ කියයි අපේ කරුමේ කියලා.


    අපිත් ආසයි ස0ගිත අහන්න. ගායක ගායකාවොන්ගෙ සින්දු අහන්න. එත් මේ ස්කීම් වල දාන්න සද්දෙ ලිමිට් එකක් තියෙන්න ඕනී. මේවා ස්කීම්. පිට්ටිනිය උනත් හතර වටින්ම වට වෙලා තියෙන්නේ. එක නීසා සද්දෙ දෙදුරුම් කනවා. අනිත් පිට්ටිනි වගෙ සද්දේ දාන්න බෑ.

    ඕයා කියනවා පිට්ටනියක් ලග ඉන්නවා නම් ඕවා බලාපොරොත්තු වෙන්න ඕනිලු. එහෙම කියලා උන්ට දවස් 3ක් හම්බ කරන් යන්න, අපි ජිවිතෙත් අනතුරේ දාගෙන ඉන්න ඕනී. ඔවා තියලා බිත්ති පිපුරුවාම උන් හම්බ කර ගත්ත ගාන වගෙ මුදලක් එක හදන්න අපි යට කරන්න ඔනි.

    ඔයට පොල් තෙල් පහන පත්තු කරන්න දෙනවා කියලා ඔය වගෙ කතා කියන්න එපා. පිට්ටනිය වටේ තියන ගෙවල් වලින් ගිහින් අහලා බලන්න.

    ඔකෙන් ගේකට මිනිහෙකුට කරදරයක් උනොත් ඔවා තියන්න කැමත්ත දුන්න අයත් එකට වග කියන්න ඕනි. ඒ සාප වල බාර කාරයො වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මම කොමෙන්ට් වලට උත්තර දෙන්නේම නැතිතරං.
      ඒත් මේකට උත්තර දෙන්නේ, ඔබ විශේෂ කෙනෙක් නිසා. විශේෂත්වය තමා ඔබත් මම වගේම මෙ ප්‍රශ්ණෙට මුහුණ දෙන කෙනෙක් වෙච්ච එක.

      ස්ටේජ් එක අපේ ගෙවල් පැත්තේ ඉඳලා ගැහුවට එක බෆල් සෙට් එකක් කෙළින්ම හැරිලා තියෙන්නේ අපේ ගේ දිහාවට තමයි. ඔබගේ ගෙදර වගේම අපේ ගෙදරත් ජනෙල් බිත්ති දෙදරණවා. දෙපාරක් කැබිනට් එකේ වීදුරුවක් බිඳුණා. 2011 අවුරුද්දෙදි දෙසැම්බර් වල තිබ්බ එකේදියි, මේ අවුරුද්දේ මාර්තුවල තිබ්බ එකේදියි. මම ඒ සිද්ධි දෙක මෙතන ලිව්වේ නැත්තේ ඒක පෞද්ගලික කාරණාවක් නිසා වගේම ඒක ඔප්පුකරලා පෙන්නන්න තරම් නීතිමය ප්‍රතිපාදන තියෙනවාද කියලා මම නොදන්න කාරණාව මත. අපේ ගෙදරත් මැද මහබිත්තියත් දෙදරණවා සද්දෙට. ඔබ ඔය කිව්ව අනතුර පිට්ටනිය වටේට ඉන්න අපි හැමෝටම එක වගේම තියෙනවා. ඔබගේ වගේම තමා, අපේ ගෙදරත් අවුරුදු 30ක් පරණයි. බැරිවෙලාවත් අපේ ගෙදර බිත්තියකුත් කඩාගෙන වැටුනොත්, මිනිස්සු කියන්නේ අපේ කරුමේ කියලම තමයි.

      පිට්ටනියක් ළඟ ඉන්නවානං මේ සද්ද බලාපොරොත්තු වෙන්න ඕනේ කියන තැන මම තාමත් ඉන්නවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. කොහොමත් සංවිධායකයෝ හම්බකරගෙන යනවා. ඒක නතර කරන්න අපිට බැහැ.

      හරි, අපි දැං කල්පනා කරමු මේකට විසඳුම මොකක්ද කියලා.
      එහෙනං කරන්න තියෙන්නේ මේ මහා ඝෝෂාවට විරුද්ධ වෙන එක. රෑ 12ට සංගීත නතර කරන්න ඕනේ කියන නීතියත් හරියට ක්‍රියාත්මක නොවෙන එකේ, සංගීතේ යන අතරතුර ඩෙසිබල් ගාණ මැනලා ඒක අඩුකරන එක මේ ශ්‍රී ලංකාව කියන රටේදී සිද්ධවෙයි කියලා මම හිතන්නේ නැහැ.

      එහෙනං ඊළඟ විකල්පය මොකක්ද?
      මේක නතර කරන්න ඕනේ ප්‍රාදේශීය සභාව. මොකද පිට්ටනිය අයිති ප්‍රාදේශීය සභාවට.
      එතකොට මම අහන්නේ, කව්ද ප්‍රාදේශීය සභාවට ඕක කියන්නේ?
      කව්ද ප්‍රාදේශීය සභාවේදී ඕකට විරුද්ධ වෙන්නේ?
      අඩුමගානේ එක පක්ෂෙකින්වත් මන්තිරියෙක්වත් ඉන්නවද?
      අන්න එහෙම හිටියනං, ඒ මන්තිරියා ලව්වා අපිට ඔය දේ කරගන්න පුළුවං. නතර කරන්නත් පුළුවං.
      ඒත් අපිට එහෙම හැකියාවක් තියෙනවද?
      සාමාන්‍ය ඔප්පු කළ නොහැකි චෝදනාවක් නිසා තමන්ට ලැබෙන ආදායම නැතිකරගන්න ප්‍රාදේශීය සභාව කැමති වෙයිද?
      දැං මෙතන තර්ක කරන්න පුළුවං. ඒත්, තර්කෙයි රියැලිටියයි අතර ලොකු පරතරයක් සහ නොගැලපීඉමක් තියෙනවා කියලා අපි දෙන්නම දන්නවා.

      //ඔයට පොල් තෙල් පහන පත්තු කරන්න දෙනවා කියලා ඔය වගෙ කතා කියන්න එපා. පිට්ටනිය වටේ තියන ගෙවල් වලින් ගිහින් අහලා බලන්න.//
      මම මේක ගැන කියන්න යන්නේ නැහැ. ඔබටත් සංගීත පටං ගන්න සද්ද ඇහෙනවා කියලා මට විශ්වාසයි, මොකද ඔබේ නිවසත් පිට්ටනිය ළඟ තියෙන නිසා. කල්පනා කරලා බලන්න පහුගිය අවුරුදු 5ටම මම, "රසික නානායක්කාර" කී පාරක් පොල්තෙල් පහන් පත්තු කළාද කියලා. නිකමට මතක් කරලා බලන්න.
      මම එච්චර ලාභ ආත්මාර්ථකාමියෙක් නෙමේ...

      //ඔකෙන් ගේකට මිනිහෙකුට කරදරයක් උනොත් ඔවා තියන්න කැමත්ත දුන්න අයත් එකට වග කියන්න ඕනි. ඒ සාප වල බාර කාරයො වෙන්න ඕනි.//
      අපේ ගෙදරට පොලිසිය මම කතාකරලා ගෙන්න ගත්තේ නැහැ කට උත්තර දෙන්න. ඒ අය ආව පාර තමා මම මේ ටික කිව්වේ. වාසනාවකට හෝ අවාසනාවකට මේ වගේ දේකට කට උත්තර ගන්න හැමදාම ඒ උදවිය අපේ දිහාට එනවා. ඒ එද්දි ඒ අයට අපි (ඒ වෙලාවේ අපේ ගෙදරින් කට උත්තර දෙන කෙනා) කියනවා පිට්ටනිය ළඟ ඉන්නේ අපි විතරක් නෙමේ, අනිත් ගෙවල්වලිනුත් අහන්න කියලා. එහෙම ඇවිත් ඔයාලගෙනුත් අහන එක පොලිසියේ ඩියුටි එක. මට බලෙන් ඒ උදවිය ගෙයක් ගෙයක් ගානේ පිටත් කරන්න බැහැ නේද...
      අනික පොලීසිය ආවේ නැත්තං, ඔබට පුළුවං ගිහිං පැමිණිල්ලක් දාන්න, හෝ ඒ ගැන විමසන්න. මොකද ඔබත් අගතියට පත්වෙන කෙනෙක් නිසා.

      අනික, මම අන්තිමටම කිව්ව කාරණාව.
      //සංවිධායක මණ්ඩලේ උදවිය දේශපාලක පොරක් අල්ලලා, DIG ලෙවල් එකේ පොලිස් ලොක්කෙක්ගෙං ඕඩර් එකක් අරගත්තොත් පර්මිට් එක ගන්න කියලා, අපිට නිකං හිතේ අමාරුව හැදෙන එක සහ රට ජාතිය ගැන කළකිරීමක් ඇතිවෙන එක විතරයි වෙන්නේ.//
      මෙහෙම උනාම හෙණ අයියෝ සල්ලි කියන සිතුවිල්ල එනවට මම හරි අකමැතියි...
      මේ අංකවලට ඇමතීමෙන්, කෙළින්ම පොලිස් මූලස්ථානය හා සම්බන්ධ විය හැකියි.
      0112854931, 0112854893, 0112854880, 0112823788, 0112854885
      කතා කරන්න ඕනේ පරිසර අංශෙට. එතනින් තමා මේ වගේ කේස් හැඩල් වෙන්නෙ.

      අයියේ,
      අපිට (මෙතන අපි කිව්වේ රද්දොළුගම ජනතාවට) දෙයක් කරගන්න තිබ්බ හොඳම අවස්ථාව අපි එක එක හේතු ඉඳිරිපත්කරලා නැති කරගත්තා...
      ඒ අවස්ථාවේ පොදු අරමුණ ගැන නෙමේ, පෞද්ගලික පටු අරමුණු ගැන හිතලා ඒ අවස්ථාව නැති කරගත්තා...
      දැං ඉතිං ආයේ එහෙම අවස්ථාවක් එනකං තියෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්න එක තමා අපි හැමෝටම කරන්න තියෙන්නේ...
      මොකද තීන්දු තීරණ ගන්න තැංවල අපේ කියන්න පුළුවං කව්රුවත්ම අපිට නැති නිසා...

      ඔබ මේක දකියි කියලා විශ්වාස කරනවා.
      දැක්කොත් පොඩි සටහනක් දාන්න...

      Delete
    2. ඔබෙ පිලිතුර මම හැහිමකට පත් වෙනවා මල්ලී....අපිට ඕවා නවත්තන්න ඕනි නැ....මොකද අපිත් ආසයි ඕව අහන්න දකින්න...ප්‍රශ්නය ඇවිල්ලා...පොලිසිය හරි..කවුරු හරි මේ ගැන අහන්න ඒනවානම් එ අයට පැහැදිලිව කියන්න ඔනි..මෙක ස්කීම් එකක් කියලා..එක නිසා මෙහෙ ගෙවල් වලට මිනිස්සුන්ට ඔරොත්තු දෙන ආකාරයට ඔව කරන්න බලධාරින් දැනුවත් කරන්න.

      මේ කියන කිසිම වචනයක් පෞද්ගලිකව මම ඔයාට කියනවා නෙවෙයි. මිනිස්සුන්ට අමාරුවක් වෙන ඔයාට හයිය තියනවා එකට කතා කරන්න. බලය තාම තැතත් දැනට කරන වැඩ ප්‍රමාණවත්. ඉක්මනට බලයට ඇවිල්ලා මේ ස්කීම් එකට වැඩක් කරන්න ලැබෙවායි පතනවා.

      Delete
  9. අර අටම් කියපු එකම මමත් රිපීට් කරනව
    ඔයා ‍හොඳ මහත්තයෙක්...

    ReplyDelete
    Replies
    1. අගතියට පත්වෙනවට කැමතිද නැද්ද ?
      niyama prashne ba..
      ane machan thala nathuwa akuru dingal loku karahan..
      podi wadiy..post eka niyamai...

      Delete
  10. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  11. අපේ ගෙවල් පැත්තේ නැටුම් පන්තියක් තිබ්බා... ප්‍රේමදාස සර් කියලා හොඳ නැටුම් සර් කෙනෙක් තමයි කළේ... එයාගේ ගෙදරම පොඩි හෝල් එකක් හදලා පොඩියට පන්තිය කරගෙන ගියා... ඕකට මහ ලොකු ළමයි ගොඩක් ආවෙත් නෑ... ඔය ගෙදරට පිටි පස්සෙන් අලුතින් ගෙයක් අරන් ආවා කට්ටියක්... ටික කාලෙකට පස්සේ අර පිටිපස්සේ ගෙදර අය පොලිසි ගියා බෙර සද්දෙට ඒ ගෙදර අන්කල්ට පපුවේ අමාරුව හැදෙනවා කියලා... බෙර නැතුව නටන්න බෑ නේ.. ඊට පස්සේ අර සර් බෙර ගහන එක අඩු කරලා ක්ලාස් කරගෙන ගියා.. කො‌ොහම හරි ටික කාලෙකින් ඒ සර් මැරුනා.. එයාගේ බිරිඳත් නැටුම් ටීචර් කෙනෙක්.. එයා දිගටම පන්ති කරගෙන ගියා.. මෙන්න මේ මිනිස්සු ආයිමත් පොලිසි ගිහින්... අර ටීචර් හරි අහිංසකයි.. ඒ මනුස්සයා ඕවට පැටලෙන්න ගියේ නෑ.. බෙර නැතුව ක්ලාස් කරගෙන ගියා... බෙර සද්දේ ඕනෙ වෙලාවට ඉස්කෝලේ හෝල් එක ඉල්ල ගත්තා...

    අපේ මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී බව පෙන්නන්න තවත් දේවල් මොකටද... ?

    ඔය කොට්ටාවේ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන අපේ අම්මලගේ මහ ගෙදරින් තමයි ඉස්සර තොරණට ලයිට් දුන්නේ.. දැං එතන හැමදාම මොකක් හරි එකක් ස්පීකර් දාගන කරනවනේ... ඒ සද්දෙට අපේ ගේ ඇතුලේ ඉන්න බෑ... ඒත් මෙච්චර කාලයක් ඔය ස්ටෑන්ඩ් එකේ වෙන දේවලට පොලිසි ගියා නම් හැමදාම පොලිසියේ ඉන්න තමයි වෙන්නේ... වෙන එකක් ඕනේ නෑ.. දැං කොට්ටාවේ ‌පොලිසිය තියෙන්නෙත් එතනමනේ...

    අපේ රටේ මිනිස්සු කිසි තැනක නීතියට වැඩ කරන්නේ නෑ.. හැබැයි තමන්ගෙන් අනුන්ට කරදරයක් වෙච්ච තැන තමන් ෂේප් වෙන්න දඟලනවා වගේම, තමන්ට අනුන්ගෙන් කරදරයක් උනාම පොලිසි යන්න තමයි දඟලන්නේ... පාරක තොටක යද්දි ඕක හොඳට පේනවා... පොලිසි නෙවෙයි මොක්කු ගෙනාවත් මිනිස්සු හරියට නැත්තම් වැඩක් නෑ නේ.. මොකෝ ‌පොලිසි වල ඉන්නේ වෙන ග්‍රහලෝකෙකින් ආපු අය නෙවෙයි නේ... මේ රටේ මිනිස්සු තමයි...

    ReplyDelete
  12. ඒක අරි ෙකාල්ෙලා ෙකාල්ෙලා් කිව්ෙව් මල්ලිද අයියද දන්නැති නිසා කථාව අැත්ත

    ReplyDelete