Saturday, April 4, 2015

අපේ වෙලාව | Why U Waste My Time!



අපි යම්කිසි සේවාවක් ලබාගනිද්දි, ඒ සේවාව තවත් වැඩියෙන් ලබාගන්න හරි එහෙමත් නැත්තං අදාළ ආයතනය සහ අපි අතරේ සම්බන්ධතාවය වැඩි කරගන්න හරි වගේ දේවල්වලට ඒ අදාළ ආයතනය ක්ෂණිකව සම්බන්ධ කරගන්න පුළුවං ක්‍රමයක් සෑහෙන කාලෙක ඉඳං ක්‍රියාත්මක වෙනවා. කස්ටමර් කෙයාර් නම්බර් එක කියලා සිංහලෙන් හඳුන්වන්නේ ඒක. අද අපේ රටේ එක එක සේවාවන් සපයන විශාල ප්‍රමාණයක් ආයතන මේ විදියේ කස්ටමර් කෙයාර් නොම්මරයක් මේන්ටේන් කරනවා. ඒක සෑහෙන්න හොඳ දෙයක්.
හැබැයි මේ අකුරු ටික ලියවෙන්නේ ඒ සේවාවේ තියෙන යහපත ගැන කතා කරන්න නෙමේ. අපි නොදැනුවත්වම කස්ටමර් කෙයාර් හරහා අපේ විනාස කරන කාලය ගැන කතා කරන්න. මේ වැඩේ නරකම විදියට කරන්නේ  දුරකථන සම්බන්ධතා සේවා සපයන ආයතන.
මම ජංගම දුරකථන ආයතන 3ක සහ ස්තාවර දුරකතන ආයතන 1ක සේවාව ලබාගන්නවා. යම් යම් අවශ්‍යතා සඳහා අඩුම තරමෙන් සතියකට සැරයක්වත් ඔය ආයතනවල කස්ටමර් කෙයාර් එකට ඇමතුමක් ගන්නවාමයි. ඒ හැම වෙලාවකම, හැම ආයතනයකින්ම අඩු වැඩි හෝ සමාන වශයෙන් කරන්නේ එකම දේ. අපේ කාලය විනාස කිරීම.
මේක කියවන ඔබ හැමෝම ජීවිතේ එකපාරක් හරි කස්ටමර් කෙයාර් එකට කතා කරලා ඇති. ඔබ දන්නවා ඒකේ වැඩේ සිද්ධවෙන විදිය. ඉස්සෙල්ලාම භාෂාව තෝරගන්න ඕනේ. ඊට පස්සේ එන මෙනු එකෙන් අදාල සේවාව තෝරගන්න ඕනේ. ඉස්සරම ඉස්සර නං ඉතා කෙටි කාලයකින් ඔය වැඩේ කරගන්න පුළුවං කම තිබ්බා. හැබැයි අද?
පහුගිය සතියේ ඉඳලා මම ගණං බලපු විදියට අනුව ඩයලොග්, මොබිටෙල් සහ එටිසලාට් කියන ජංගම දුරකතන ජාල 3ම භාෂාව තෝරන තැන ඉඳලා ප්‍රධාන මෙනුවට එන ටිකට විනාස කරන කාලය විනාඩි එකහමාරකට ආසන්නයි!!!  එකම හේතුව ඔවුන්ගේ වෙළඳ දැන්වීම්. ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙත් මහ වෙනසක් නෑ.
භාෂාව තේරුවාට පස්සේ ආසන්න වශයෙන් විනාඩියට වැඩි කාලයක් මට කිසිම අවශ්‍යතාවයක් නැති සේවාවක් ගැන විස්තරයක් අහගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි ප්‍රධාන මෙනුවට පිවිසෙන්නේ.
ජංගම දුරකතන සමාගම් වෙළඳ දැන්වීමක් දාගත්තට මගේ අමනාපයක් නෑ. නමුත් මේ විදියට මහා කරදරකාරී විදියට ඒක කරන එක ගැන තියෙන්නේ මහා අප්පිරියාවක්. මොකක් හරි දෙයක් දැනගන්න/කරගන්න ඔවුන්ව ඇමතුවාම විනාඩි එකහමාරක් කෙළිංම විනාස කරනවා.
සමහර අවස්තාවලදී පාරිභෝගික සේවා නිලධාරියෙකු සම්බන්ධ කරනකං විනාඩි හතරක් පහක් උඩබලාගෙන ඉන්න වෙච්ච වෙලාවල් තියෙනවා. ඒකත් එක්තරා අවුලක් තමයි. නමුත් පාරිභෝගික නිලධාරීන් අමතන්න හදන එකම පුද්ගලයා මම විතරක් නොවන නිසා එතන තදබදයක් ඇතිවීම ස්වභාවිකයි.  
සමහරවිට ඔබ මගෙන් අහන්න පුළුවං, ඔය විනාඩි එකහමාර දෙක ඉතුරු කරගත්තා කියලා මොකෝ උඹ රට පෙරට ගෙනියන්නද කියලා. නමුත් ඒ විදියට මගේ කාලය බලෙං විනාස කරන එකට මගේ කිසිම කැමැත්තක් නෑ. එහෙම විනාස කරගන්න මට සතේක උවමනාවකුත් නෑ.
නරකම දේ තමයි මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවං දේකුත් නැතිවීම. මේ ගැන අදාළ දුරකථන ආයතනයට පැමිණිලි කරන එක මට හිතෙන හැටියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මගේ පැමිණිල්ල අහලා මේං කියලා නවත්තයි ඔය ඇඩ් දැමිල්ල...
පාරිභෝගිකයන් වෙනුවෙන් හදපු සේවාවක් හරහා පාරිභෝගිකයන්ව මේ විදියට පීඩාවට පත්කිරීම කවදා නවතීවිද?

Tuesday, March 3, 2015

අපිට වෙනස් වෙන්න බැරිද | Why No New Technology


කොටුව දුම්රියපොළේ නවීකරණ කටයුතුවලට සමගාමීව වේදිකා කීපයකම අඟල් 42 ප්‍රමාණයේ දැවැන්ත රූපවාහිනී සවිකර ඇත. දුම්රිය කාල සටහන සහ වෙළඳ දැන්වීම් කීපයක් ඒ මගින් විකාශනය කරන අතර දුම්රිය එනතුරු ඒ දෙස බලාගෙන සිටීමට මඟීන්ට ඉඩ පහසුව ඇත.

එම රූපවාහිනී සේවයේ විකාශනය වන වෙළඳ දැන්වීම් අතර එක් සුවිශේෂී වෙළඳ දැන්වීමක් දක්නට ලැබුනි. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය මඟින් ලබාදෙන ව්‍යාපාරික ණය ලබාගැනීමේ වෙළද දැන්වීමක් වන ඒ දැන්වීම මෙය කියවන ඔබ දැක තිබෙන්නට ඇතැයි විශ්වාස කරමි. කෙටියෙන් වෙළඳ දැන්වීමේ විස්තරය මෙළෙසය.

පෙනුමෙන් එක්දහස් නවසිය මුල් කාලයේ දුම්රිය ස්ථානයකි. මඟියෙක්  පැමිණ ගාල්ල බලා යාමට ටිකට් පතක් ඉල්ලා සිටින අතර දුම්රිය සේවකයාගේ ක්‍රියාකලාපය නිසා අවසානයේ මගියාට දුම්රියේ ගමන් කිරීමට නොලැබේ. මේ තත්වය එක්දාස් නවසිය ගණංවල මුල් කාලයේ පමණක් නොව වර්තමානයේදීද දිවයිනේ සමහර දුම්රිය ස්ථානයන්හිදී අත්දැකීමට ලැබෙන දෙයකි. ඒ ගැන වෙනම කථිකාවතක් ඇති කළ යුතුය. නමුත් ඒ වෙළද දැන්වීමෙන් මා මතුකරන්නට අදහස් කරන්නේ එම කරුණ නම් නොවේ.

එකී වෙළඳ දැන්වීමේදී දුම්රිය සේවකයා දුම්රිය ටිකට්ටුව ලබා දෙන ආකාරය පිළිබඳව ඔබේ අවධානය යොමු වූවාද නැතිද කියා කියන්නට මම නොදන්නෙමි. නමුත් ඒ කෙරෙහි ඔබගේ අවධානය යෙදවීම වටී. ඊට හේතුව වන්නේ එක්දාස් නවසිය මුල් කාලය නිරූපණය කරනා එම දැන්වීමේ දුම්රිය සේවකයා ටිකට් ලබාදෙන්නේ අද වර්තමානයේදීද දුම්රිය ටිකට්පතක් ලබාදීමට භාවිතා කරනා ආකාරයේ යන්ත්‍රයකින් වීමය. මේ ටිකට් නිකුත් කරනා යන්ත්‍රය ඔබ දැක ඇතැයි සිතමි. ඉතාම ප්‍රාථමික යන්ත්‍රයක් වන එයින් ටිකට් පතේ පසුපස කොටසේ අදාළ දිනය සටහන් කිරීම සිදු කරයි. එම ටිකට් යන්ත්‍රයක් නොමැති දුම්රියපොළවල්හිදී ඒ වෙනුවට දිනය සටහන් කළ හැකි තීන්ත සීල් එකක් භාවිතා කරයි. එම වෙළද දැන්වීමේ නිර්මාණකරුවන් විසින් එක්දාස් නවසිය තිහ හතලිහ දශකයන්හි අප රටේ දුම්රිය සේවය සහ ඒ අවට බැඳුන දේ පිළිබඳව හැදෑරීමක් සිදුකර එම ටිකට් යන්ත්‍රය දැන්වීමට එක්කර ගත්තේදැයි නොදන්නෙමි. නමුත් ඒ කාලයට සාපේක්ෂව අද දක්වාම තාක්ෂණිකව විශාල වෙනස් වීම් සිදුවී නොමැති බව නම් පැහැදිලිවම දැක ගත හැකි දෙයකි.

අද අප පා තබා සිටිනා නව යුගයට මෙවැනි ක්‍රමවේදයන් කොතෙක් දුරට ගැලපේද? මීට වඩා කාර්‍යක්ෂම ක්‍රමයක් ඇත්තේම නැත්ද? අප සිතා බැලිය  යුතු කරුණ එයයි. වර්තමානයේදී ලංගම සහ පුද්ගලික බස් රථවලින් 60%ක පමණ ප්‍රමාණයක භාවිතා වන්නේ ඉලෙක්ට්‍රොනික ටිකට් නිකුත් කිරීමේ යන්ත්‍රයි. රටේ ඇති සමස්ථ දුම්රිය ස්ථාන ගණන ලංගම බස් රථ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුය. මෙවැනි ටිකට් යන්ත්‍ර දුම්රිය ස්ථානයන්ට ලබා දී අවම වශයෙන් දුම්රිය ටිකට් ලබාදීමේ ක්‍රමවේදය හෝ නවීන කිරීමට බලදාරීන් උත්සාහ දැරිය යුතු බව මාගේ පෞද්ගලික අදහසයි. එමෙන්ම සෑම දුම්රියකටම මෙවන් ටිකට් මැෂින් කීපයක් සමඟ මුදල් අයකර ගැනීමට නිලදරුවන් කීප දෙනෙකු යෙදවීනම්, ටිකට් නොමැතිව දුම්රියේ ගමන් කරනා බොහෝ දෙනා ටිකට්පතක් ගැනීමට පෙළඹෙනු ඇතැයි මගේ විශ්වාසයයි.
"කෝච්චියේ කවදද ඕයි කොන්දොස්තරලා හිටියේ" යනුවෙන් කෙනෙක් මගෙන් ප්‍රශ්න කිරීමට හැකිය. ඔබට දියුණු වීමට අවශ්‍යනම් මීට පෙර සිදු නොකළ දේවල් සිදුකිරීමේ වරදක් නැත. අපේ දුම්රිය සේවය පාඩු ලබන්නේ දශක ගණනාවක සිට බව ඔබ සැමට අමතක නැතැයි සිතමි.

මේ ලියනා අකුරු දුම්රිය සෙවයේ වගකිව යුතු නිලදරුවෙකු හෝ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වගකිව යුතු නිලදරුවෙකුගේ ඇස ගැටෙනු ඇතැයි මාගේ කිසිදු බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් නැත. සමහර විටදී අලුතෙන් සිතනා පුද්ගලයෙකු විසින් මෙවන් ප්‍රතිසංස්කරණයන් දුම්රිය සේවය කෙරෙහි සිදුකරනු ඇත. ඇතැම් විට එසේ සිදු නොවෙනු ඇත. සිතෙනා දේ ලියා තැබීමෙන් අනර්තයක් සිදුවන්නේ නැත.

දුම්රියේ යන නොයන සියලු දෙනාගේ එකම පැතුම පාඩු නොලබන ලාභ ලබන වඩාත් යහපත් දුම්රිය සේවයක් පමණක්ම බව සටහන් කරමින් මේ සටහන හමාර කරමි.

Tuesday, April 29, 2014

නිහඬ වැඩකාරයෝ | The Unsung Heroes


සයිබර් සිහින බක්මහ උළෙල පහුගිය අප්‍රේල් 20 ඉරිදා දවස පුරාම බත්තරමුල්ල පැලවත්ත ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වුනා. බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කමෙන්ට් කරන සහ ඒ මොනවත්ම නොකරන බොහෝ පිරිසක් එදා දවස තමන්ගේ ජීවිතේ අමතක නොවෙන සුන්දර මතකයන්ගෙන් පිරිච්ච දවසක් බවට පත්කරගත්තා. අකුරුවලින් විතරක් දැනගෙන හිටිය අයව හැබැහින් දැකලා අඳුනගත්තා. තිබ්බ හිතවත්කම් වැඩි කරගත්තා. අමනාපකම් නැතිකරගත්තා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම සන්තෝසජනක දවසක්...

ඒ වගේම අවුරුදු උත්සවේට ආපු බොහෝදෙනෙක් ඒ වෙනුවෙන් සටහන් එක්කරලා තිබ්බා. ස්තූති ප්‍රශංසා වගේම සාධනීය විවේචනත් තිබුණා. ඒ හැම දෙයක්ම බොහොම ස්තූති පූර්වකව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අපි භාරගන්නවා. විශේෂයෙන්ම ඔබ පෙන්වා දුන්න ඒ අඩුපාඩු සම්පූර්ණ කරගත්තනම්, අවුරුදු උත්සවේ මීට වඩා සාර්ථකව පවත්වන්න තිබුණා. ලබන වතාවකදී ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න සංවිධායක මණ්ඩලේ උත්සාහ ගනීවි...

මේ පැවැත්වුණ සයිබර් සිහින බක්මහ උළෙල එක දවසකින්, සතියකින්, මාසෙකින් සංවිධානය වෙච්ච දෙයක් නෙමේ. මේ අවුරුද්දේ ජනවාරිවල ඉඳංම වගේ කට්ටිය එක්කහුවෙලා, සංවිධායක මණ්ඩලයක් හදාගෙන, ඒ සංවිධායක මණ්ඩලේ කීපවතාවක්ම එක්කහු වෙලා, කතා බහ කරලා, තීන්දු තීරන අරගෙන, ඒවා වෙනස් කරලා, බොහෝ කාලයක් අරගෙන තමයි මේ උත්සවේ ඔබ වෙත ගෙන ආවේ. ඔබ සැම වෙනුවෙන් එහෙම සුන්දර අත්දැකීමක් ගේන්න තිරය පිටිපස්සේ ඉඳං මහන්සි වෙච්ච පිරිස බොහෝමයි. විශේෂයෙන්ම දිවා රෑ නොබලා, තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැපකරගෙන, කිසිම ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී, හුදෙක් අනිත් අයගේ සතුට වෙනුවෙන් මහන්සි වෙච්ච බොහෝ දෙනෙක් සංවිධායක මණ්ඩලේ හිටියා. ස්තූති ප්‍රශංසා බොහොමයක් තිබ්බත්, ඒ හැම එකක්ම පොදුවේ සංවිධායක මණ්ඩලේ ගිණුමටයි බැරවුනේ. එහෙම වෙද්දි සංවිධායක මණ්ඩලේ තිරෙන් පිටිපස්සේ හිටිය පිරිස හඳුන්වා දෙන එක අපේ යුතුකමක්. ඉතිං පෙරහැරේ යන්නේ නැතුව කොට ඇද්ද අලි ටික හඳුන්වා දෙන්නයි මේ සටහන වෙන්වෙන්නේ.

චතුමිතු - චතුරිකා දුලාංජලී

පහුගිය අවුරුදු උත්සව කීපයකම සංවිධායක මණ්ඩලේ හිටිය, නිහඬ, නමුත් සෑහෙන්න බරක් ඇද්ද චරිතයක්. මේ අවුරුදු උත්සවේ ලිපි ලේඛණ කටයුතු සියල්ල සිදුකළේ මෙතුමිය තමයි. විශේෂයෙන්ම අවුරුදු උත්සවේ දවසෙදි සංවිධායක මණ්ඩලේ කාර්යාලය තුළ වැඩකටයුතු සියල්ල බලාගෙන, ඒ වගකීම් අකුරටම ඉටුකරමින්, සමස්ත අවුරුදු උත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් ලොකු දායකත්වයක් චතුමිතු දැක්වූවා...

 






ගයාන් සම්පත් ගුණවර්ධන

අපේ නිල මුද්‍රණ සහකරු. අවුරුදු උත්සවය වෙනුවෙන් අපපාවිච්චි කරපු හැම ලිපියක්ම, ඩිජිටල් ෆ්ලෙක්ස් පුවරුවක්ම, ටිකට් එකේ ඉඳං හැම දෙයක්ම, නොමිලේම මුද්‍රණය කරලා දුන්නේ ගයාන්. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවේ දවසේ, පැමිණි පිරිසව රෙජිස්ටර් කරන වැඩේ, නියමෙටම සිදුකරලා, ඒ බර අනිත් සංවිධායකයන්ගේ ඔලුවෙන් අයින් කළේ මෙතුමා තමයි. අවුරුදු උත්සවේ සාර්ථකත්වය වෙනුවෙන් නිහඬවම ගයාන් කරපු වැඩ කොටස අපමණයි...

 




සසිඳු නිර්මාල්

 සංවිධායක මණ්ඩලේ ජීවය... සංවිධායක මණ්ඩලේ වෙනුවෙන් හදල තිබ්බ ෆේස්බුක් ගෲප් එක සජීවීව තියාගත්තේ සසිඳු. හැමෝටම වැඩ කටයුතු භාරදීලා, ඒවා හරියට වෙලාවට කෙරෙනවද කියලා හොයලා බලලා, නොකෙරෙනවානං අදාල පාර්ශව දැනුවත් කරලා, වැඩේ හරියට ගෙනියන්න ලොකු බරක් ඇද්ද කෙනෙක්. විශේෂයෙන්ම පණිවිඩ සැපයීමේදී සසිඳු දක්වපු සම්බන්ධීකරණ හැකියාව විශිෂ්ඨයි...

 






වින්දික තිලක්ෂණ

තවත් හොඳ සංවිධායකයෙක්. මූලික සංවිධාන වැඩවලදී සෑහෙන්න මහන්සියක් වෙලා වැඩ කරපු පුද්ගලයෙක් තමයි මෙතුමාත්.

 












රුවන් රංගනාත්
 මේත් සෑහෙන්න කොට ඇද්ද අලියෙක්. රැස්වීම්වලට සහභාගීවීමේ ඉඳලා, තමන්ට භාර දෙන වගකීම අකුරටම ඉටුකරන්න ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්.

 







සමීර සඳරුවන්
අවුරුදු උත්සවේ වෙනුවෙන් සිදුවෙච්ච කතා බහවලදී, තමන්ගේ අදහස් දක්වලා නිකං ඉන්නේ නැතුව, ඒ අදහස් ක්‍රියාත්මක කරවන්න ලොකු මහන්සියක් ගත්ත කෙනෙක්.

 













ජනිත් අරන්දර
 අවසාන දවස් කීපයේ තමයි සංවිධායක මණ්ඩලේට එක්කහු උනේ. හොඳ සංවිධායකයෙක්. විශේෂයෙන්ම තරඟ සංවිධාන කටයුතුවලදී සෑහෙන්න ලොකු දායාකත්වයක් දැක්වුව කෙනෙක්.









මංජුල සමරසේකර
අවසාන දවස් කීපයේ සංවිධායක මණ්ඩලේ ඒකමතික තීරණයක් අනුව අපේ කණ්ඩායමට බලෙන් ඇදලා දාගත්ත පුද්ගලයෙක්. දහසක් වැඩ රාජකාරි තිබ්බත්, ඒවා කරන ගමන්ම, අවුරුදු උත්සවේ සාර්ථක කරගන්න විශාල දායකත්වයක් දැක්වුව කෙනෙක් මෙතුමා. විශේෂයෙන්ම, ඒ වෙලාවේ අවශ්‍යතාවය මොකක්ද, ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න, මංජුල තමන්ට කරන්න පුළුවං හැමදේම සිදුකරපු ආකාරය අපි දැක්කා. ලොකු වැඩ කොටසක් සිදුකරපු, ලොකු බරක් ඇද්ද කෙනෙක්...

 









ඒ වගේම සංවිධායක මණ්ඩලේ නැතිඋනත්, එදා දවස ලස්සන කරන්න මහන්සි වෙච්ච තව බොහෝ දෙනෙක් සිටියා. විශේෂයෙන්ම අපේ හිතවත්කම්වලට, තමන්ගේ විනෝදය සතුට පැත්තකින් තියලා, සංවිධාන කටයුතුවලට දායක වෙච්ච පිරිස බොහෝයි. බස් රේඩියෝ කණ්ඩායම, ජනරඟ, රාජ්, පසන්, අනුරාධ, වැප්, ලිෂාන්, පූසා, හර්ෂන, තරියා, දේවා මගේ මතකයට එන නම් කීපයක් විතරයි. ඒ වගේම එදා දවසේ ප්‍රථමාධාර කටයුතු භාරව සිටිමින් ඒ වගකීම ඉටුකළ නෙරංජිවත් මේ අවස්ථාවේදී ඉතාම කෘතවේදීව සිහිකරනවා. තව බොහෝ පිරිසක් අපිට එහෙම උදව් උපකාර කළා. එහෙම උදව්කරපු අනිත් අය තමන්ව අමතක කළා කියලා මාත්තෙක්ක අමනාප නොවේවි.

සංවිධායක මණ්ඩලයේ සාමාජිකයන් වෙච්ච ප්‍රදීප්, නලීන්, දුලිප් වගේ අය ගැන මම මොකුත් නොලිව්ව එක ගැන ඔවුන් මා එක්ක අමනාප වෙන එකක් නැහැ... ඒ සංවිධායක මණ්ඩලේ විදියට ඔවුන්ව හැමෝම අඳුරගත්ත නිසා සහ ගොඩක් බ්ලොග් සටහන් හරහාත් ඇගයීමකට ලක්කර තිබූ නිසා. නමුත් සංවිධායක මණ්ඩලේ හිටිය මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ කීපදෙනාට නිසි ඇගයීමක් සිදුවෙනවා දැක්කේ නැහැ. එදා ඔබ ඒ වින්ද සතුට ඔබ වෙත ගෙන එන්න විශාලම දායකත්වය දැක්වූවේ මොවුන්. ඔවුන්ට ඒ නිසි ඇගයීම දිය යුතුයි...

සිංහල බ්ලොග්කරුවන්ගේ ඉතිහාසයේ, සාර්ථකම අවුරුදු උත්සවය සංවිධානය කරන්න හැකිවීම පිළිබඳව සංවිධායක මණ්ඩලය විදියට අපිට ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට ගෙන එන්න විශාල දායකත්වයක් දක්වපු, 2014 සයිබර් සිහින බක්මහ උළෙලේ නිහඬ වැඩකාරයෝ සියළුම දෙනාට සමස්ථ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ස්තූතිකරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා...

එහෙනං, ආයෙත් දවසක හමුවෙමු...

Monday, October 28, 2013

අනිත් බොලෙයින් කෙල්ල | The Other Boleyn Girl



සුද්දාගේ රටේ ඒ කියන්නේ එංගලන්තේ එක්දාස් පන්සිය ගණංවල වෙච්ච සිදුවීමක් ගැන තියෙන ෆිල්ම් එකක් තමා The Other Boleyn Girl ෆිල්ම් එක. 2008 අවුරුද්දේදී තමා තිරගත උනේ. අටවෙනි හෙන්රි රාජෝත්තමයාණන් වහන්සේත් උන්දෑගේ ගෑණු පරාණත් නිසා ඒ දවස්වල ඒ රටේ රජමාළිගේ වෙච්ච ඕපදූප සීන් ටිකක් සහ ඒ සිදුවීම් නිසා රටේ අනාගතේ වෙනස් වෙච්ච හැටි ගැන යම් විස්තරයක් දෙනවා ෆිල්ම් එකෙන්. පැය එකයි විනාඩි 55ක් තිස්සේ යන ෆිල්ම් එක තනි වාක්‍යයකට ගත්තොත් දැනෙන අදහස තමයි ඒ කිව්වේ...
කළිංම කිව්වත් වගේ මේක ඉතිහාස කතාවක් පදනම් කරගෙන හදපු ෆිල්ම් එකක්. ෆිල්ම් එකට කළිං 2001 අවුරුද්දේදි මේ නමින්ම පොතකුත් නිකුත් වෙලා තියෙනවා. ලියලා තියෙන්නේ පිලිප් ග්‍රෙගරි (Philippa Gregory) කියලා රචිකාවියක්. පොත අනුසාරයෙන් තමයි ෆිල්ම් එක හදලා තියෙන්නේ. ෆිල්ම් එක බැලුවට මම පොතනං කියෝලා නැහැ.
දැං ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරමු. කතාවේ හැටියට අටවෙනි හෙන්රි රාජෝත්තමයන් වහන්සේට පිරිමි ළමයි නැහැ. ඒ බිසවුන්නාන්සේට පිරිමි ළමයෙක් ලබාදීමේ නොහැකියාවක් තිබිලා තියෙනවා. ඉතිං මේ හේතුව නිසා රජතුමාගේ පවුල් සංස්ථාවට අප්සට් කාලයක් උදාවෙලා තිබ්බේ. ඉතිං රජ්ජුරුවන්ගේ හිත සනසලා අග බිසවුන්නාන්සේගෙන් බැරිනං වෙන බිසවුන්නාන්සේ කෙනෙක්ගෙන් හරි රජ්ජුරුවන්ට පිරිමි පුතෙක් ලබා දෙන වැඩේට බහින්නේ නෝෆෝක් ආදිපාදතුමා. ආදිපාදවරු කියන්නේ එංගලන්ත රාජසභාවේ ඇමතිතුමාලාට. මේ ඇමතිතුමාගේ නංගී බැඳලා ඉන්නේ බොලෙයින් පවුලෙන්. ඉතිං රජ්ජුරුවන්ට පුතෙක් දෙන්න එහෙම නිකං බැහැ. ඉස්සෙල්ලාම රජ්ජුරුවන්ගේ හිත දිනා ගන්න ඕනේ. ඊට පස්සේ තමා ඉතුරු ටික. මේ බොලෙයින් පවුලේ ඉන්නවා අක්කලා නංගිලා දෙන්නෙක්. ගෙදර අය අර ඇමතිතුමා එක්ක ප්ලෑන් එක ගහන්නේ අක්කව රජ්ජුරුවන්ට සෙට් කරන්න. නමුත් අක්කගේ කට කැඩිච්ච කතා සහ රට පණ්ඩිතකම් රජ්ජුරුවන්ට දිරවන්නේ නැති නිසා රජ්ජුරුවෝ කැමති වෙන්නේ නංගිට. ඒ වෙනකොට නංගි බැඳලා. නමුත් ඉතිං මොනා කරන්නද? රජ්ජුරුවන්ගේ කැමැත්ත තමා අවසාන කැමැත්ත. ඒක නිසා නංගිගේ මනුස්සයා සීන් එකෙන් කැපිලා යනවා. රජ්ජුරුවෝ නංගිට කැමති වෙච්ච නිසා අක්කා සහ නංගී අතරත් පොඩි පොඩි වලි යනවා. ඉරිසියාව තමා ඉතිං. කොහොම හරි  රජ්ජුරුවෝ මුළු බොලෙයින් පවුලම ගෙන්න ගන්නවා රජ මාළිගාවට. කාලේ ගතවෙද්දී රජ්ජුරුවොයි නංගියි ගොඩක් ළං වෙනවා. ඔය අතරේ අක්කව ප්‍රංශෙට යවනවා ප්‍රංශ රජතුමාගේ බිසවුන්නාන්සේගේ කාර්ය මණ්ඩලයට. කොහොමින් කොහොමින් හරි අක්කා ආයෙත් එංගලන්තෙට ඇවිත් රජ්ජුරුවන්ගේ හිත දිනාගෙන රජ්ජුරුවන්ව අල්ලේ නටවනවා. අවසානයේ අක්කා එංගලන්තේ අග බිසවුන්නාන්සේ වෙනවා. ඒ වෙනුවෙන් අටවෙනි හෙන්රි රාජෝත්තමයාණන් වහන්සේ රෝමානු කතෝලික පල්ලියෙන් ඉවත් වෙනවා. ඒක ගොඩක් විශාල දේශපාලනික සහ ආගමික තීන්දුවක්. කාන්තාවක් නිසා අටවෙනි හෙන්රි ඒ තීරණේ ගන්නවා. අග බිසවුන්නාන්සේ වෙච්ච බොලෙයින් අක්කට හැමදාම එහෙම ඉන්න පුළුවං වෙයිද? රජ්ජුරුවන්ටයි රටටයි අවශ්‍ය රජ කිරුළේ ඊළඟ හිමිකාරයා වෙන පුත්කුමාරයෙක්ව ලබාදෙන්න බොලෙයින් අක්කට පුළුවං වෙයිද? නැත්තං මේ පිස්සුව පස්සේ දුවලා මුළු පවුලම විනාස වෙලා යාවිද? පැයයි විනාඩි 55න් මේ ප්‍රශ්න ඔක්කෝටම උත්තර දැනගන්න පුළුවං...
මේ ෆිල්ම් එක නිකංම නිකං ෆිල්ම් එකක් නොවෙන්නේ ඇයි? බලපු මට අනුව මේක සෑහෙන්න දේශපාලනික ෆිල්ම් එකක්. බලය වෙනුවෙන් මිනිස්සු තිරිසන්නු උනත් වෙන්න පසුබට වෙන්නේ නැහැ කියන දේ පැහැදිලිවම පෙන්නන්න අධ්‍යක්ෂකතුමා සමත්වෙලා තියෙනවා. ඒ වගේම කොච්චර උඩ අතු අල්ලගත්තත් එක ක්ෂණිකව බිමටම වැටෙන්න පුළුවනි සහ එහෙම බිමට වැටිලා විනාශ වෙච්ච මිනිස්සු ඉතිහාසේ පුරාම ජීවත් උනා කියලා දැනගන්න හොඳ ෆිල්ම් එකක් මේක. හැමදේම වෙන්නේ මිනිස්සුන්ට. ඒක බොහොම ලස්සනට පෙන්නුම් කරනවා මේකෙදි.

හරි. දැං බලමු විවේචන. මේක ඉතිහාස කතාවක් (ක්‍රි.ව එක්දාස් පන්සිය ගණංවලදී වෙච්ච) නිසා ඉතිහාස කතාවකට තියෙන විවේචනේ කොහොමත් තියෙනවා. කට්ටියක් කියනවා මේක තමා ඇත්තම ඇත්ත කියලා. තව කට්ටියක් කියනවා අහවල් අහවල් තැන් වෙනස් වෙන්න ඕනේ කියලා. ඔය කාරණාව නිසා එංගලන්ත ඉතිහාසේ මේකයි කියන අවසාන තීරණේ ගන්න මේ ෆිල්ම් එක රෙෆරන්ස් කරගන්න එපා. ඊට අමතරව ගත්තොත් රජ්ජුරුවන්ගේ රාජතේජස නං බොහොම මදි. එරික් බානා (Eric Bana) හොඳ නළුවෙක් උනත් මේ ෆිල්ම් එකේදි රජ චරිතෙට කරපු සාධාරණේ මදි කියන එකයි මට දැනෙන්නේ. හැබැයි ඔහුව මේ චරිතේ සඳහාම Australian Film Institute සංවිධානය කරන AFI International Award සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට නිර්දේශ උනා. Eric Bana ඕස්ට්‍රේලියන් ජාතික නළුවෙක්. ඉතිං ඒ හින්දා වෙන්න ඇති මේ හොලිවුඩ් නිර්මාණය වෙනුවෙන් ඔහුව නිර්දේශ උනේ. මංදා... මම කිව්වේ මට දැනුන දේ.

ෆිල්ම් එකේ ඇට් කරන අය ගත්තොත්, Eric Bana හෙන්රි රජ්ජුරුවන්ට රඟපානවා. මීට කළිං බලපු ඔහු රඟපාන Black Hawk Down, Troy වගේ ෆිල්ම් වලදි දැක්ක රංගන පෞර්ෂය මේකෙදී නම් දැක්කේ නැහැ. මට නං ඒ මදි. ඊට අමතරව නතාලි පෝර්ට්මන් (Natalie Portman) බොලෙයින් අක්කටත්, ස්කාර්ලට් ජොහැන්සන් (Scarlett Johansson) බොලෙයින් නංගිටත් රඟපානවා. ඔවුන් දෙන්නම හොඳ සාධාරණයක් ඉටු කරනවා තමන්ගේ චරිතෙට. විශේෂයෙන් නතාලි පෝර්ට්මන්, බොහොම දක්ෂ විදියට සාමාන්‍ය කෙල්ලෙක් විදියට ඉඳලා අග බිසව බවට පත්වෙද්දි වෙන වෙනස්වීම් රඟපානවා. ඒක නියමයි.



ඊටත් අමතරව, ෆිල්ම් එකේ වර්ණ එහෙම බොහොම ලස්සනට ගලපලා තියෙනවා. අපි එංගලන්ත රජ කතාවල දකින අඩ අඳුරු රෙට්‍රෝ පෙනුම (මේකට කියන හරි නම මම දන්නේ නැහැ) එහෙම ඇහැට හරි සනීපයි. බලාගෙන ඉන්න පුළුවනි. සංගීතේ එහෙමත් කියන්න මෙහෙමයි කියලා ලොකු වැරැද්දක් නැහැ. ඒ වගේම ඒ එක්දාස් පන්සිය ගණංවල එංගලන්තේ සමාජයේ බාහිර පෙනුම පෙන්නන්න සෑහෙන්න මහන්සියක් වෙලා තියෙනවා. ඒක සාර්ථකයි.

හරි එහෙනං...
මෙන්න ට්‍රේලර් එක...
මෙන්න IMDB විස්තරේ...

මෙන්න ටොරන්ට් ලිංක්...
මේ KAT ලිංක් එක
මේ පයිරේට් බේ ලිංක් එක
මේ YIFY ලිංක් එක

පවුලේ සැමට සුදුසුයි...
නමුත් කතාව තේරුම් ගැනීමට හැකිවන්නේ 15+ අයට බව,
මගේ විශ්වාසයයි...
අයියෝ ඩේටා නෙමේ...

Monday, October 21, 2013

ඇට්ටරයෝ!!! | Chillar Party!!!


ළඟදී බැලුවා හිංදි චිත්‍රපටියක්... නම Chillar Party. ඉන්දියාවේ මුම්බායි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වෙන අවුරුදු 5 ඉඳලා 12 විතර වෙනකං වෙන පිරිමි ළමයි 9 දෙනෙක් සහ එයාලගේ සුරතල් බල්ලා ගැන තමයි කතාව යන්නේ... ධාවන කාලය පැය 2යි මිනිත්තු 15ක්. 2011 වසරේදීයි ෆිල්ම් එක නිකුත් කරලා තියෙන්නේ...
මහා විශාල සිනමාත්මක අත්දැකීමක් හෝ රස වින්දනයක්, හිතන්න දෙයක් තියෙන චිත්‍රපටියක් නෙමේ... නමුත් හිත සැහැල්ලු කරන, හිනාවෙන්න පුළුවං, අඬන්නත් පුළුවං, සංවේදී සහ Happy Ending ෆිල්ම් එකක්.

ෆිල්ම් එක ගැන විස්තර වැඩිය කියන්නේ නැතුව, ෆිල්ම් එකෙන් දෙන පණිවිඩේ ගැන ටිකක් කතා කරන එක හොඳයි. අපේ රට ඇතුළු බොහෝ ආසියාතික රටවල්වල තවමත් ළමයා කියන පුද්ගලයාව තීරණ ගැනීමේ ක්‍රියාවලියන් සඳහා සම්බන්ධ කරගන්නේ නැහැ. ගොඩක් වෙලාවට ළමයින්ගේ මතය අවසාන තීන්දුව සඳහා වැදගත් වෙන්නේම නැහැ. නමුත් යම්කිසි දෙයක් සඳහා තීන්දු තීරණ ගැනීමට පෙර ඒ ගැන ළමයින්ගේ අදහස මොකක්ද කියලා විමසීම සහ එයින් සමස්ත සමාජයම ප්‍රතිලාභ ලබන්නේ කොහොමද කියන එක ගැන සාර්ථක කථිකාවතක් හදන්න මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමා සහ පිරිස උත්සාහ අරගෙන තියෙනවා. ඒ වගේම තමන්ගේ යහපත් ඉල්ලීම් වෙනුවෙන් සටන් කළ යුතුයි කියන තැනට ළමා මනස ගේන්නත් උත්සාහයක් දරණ ආකාරයත් දැකගන්න පුළුවනි. නමුත් මේ දකුණු ආසියාවේ නං ඒ සෙල්ලම් හරි යන්නේ නැහැ කියන එක ළමයින් ලොකු වෙද්දි තේරුම් ගනීවි.

ඒ වගේම දරුවන් කියන දේ දෙමව්පියන්, වැඩිහිටියන් සාවධානව ඇසිය යුතුයි කියන පණිවිඩේත් මේ ෆිල්ම් එක හරහා ලස්සනට බලන කෙනාට දෙනවා. ෆිල්ම් එකේ සමහර ළමයින්ගේ දෙමව්පියන්ගේ චරිත හරහා ඒ පණිවිඩේ ගෙනියන්න උත්සාහයක් අරගෙන තියෙනවා. ඒක යම්තරමකට සාර්ථකයි. හැබැයි ෆිල්ම් එකෙන් එළියට ඇවිල්ලා ඇත්ත ලෝකේ ගැන කල්පනා කරන්න පටං ගන්න පළවෙනි විනාඩියෙම, අර ෆිල්ම් එකේ තියෙන දේවල් කොහේ කොහොම කරන්නද කියලා හිතෙන එක නවත්තන්න බැහැ... ෆිල්ම් එකේ දෙමාපියන් හැසිරෙන ආකාරය මහ පොළොවට ගොඩක් දුරයි කියන එක නෙමේ මේ කියන්න හදන්නේ. නමුත් ඒකේ තියෙන දේවල් ඒ විදියටම හෝ යම් තරමකට හෝ මහ පොළොව මත හදන්න ගියාම එන ප්‍රැක්ටිකල් ප්‍රශ්න ගොඩාක් තියෙනවා අපි දැනටමත් අත්දැකලා තියෙන. ඉතිං ඔය කේස් දෙකම බැලන්ස් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ හිතට එනවා.
ඒ වගේම ආසියාතික රටවල්වල දෙමව්පියන් මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් වෙන හොඳ ළමයා සංකල්පයත් අභියෝගයට ලක් කරලා තියෙනවා. මටත් මතකයි පොඩි කාලෙදි මම සමහර ළමයින් ආශ්‍රය කරනවට මගේ දෙමව්පියන්  කැමැත්තක් දැක්වුවේ නැහැ... ඒ වගේම තමන්ගේ දරුවන් මාව ආශ්‍රය කරනවට සමහර දෙමව්පියන් කැමැත්තක් නොදැක්වූවා කියලත් මම දන්නවා. ඒකට හේතුව මම පොඩි කාලේ බොහොම ඉක්මනට රණ්ඩු ඇති කරගන්න, ගහගන්න චරිතයක් වීම. ඉතිං තමංගේ දරුවත් මාව ආස්සරේ කරලා ඒ ගතිගුන පුරුදු වෙලා හොඳ ළමයා ඉමේජ් එක නැති කරගන්නවාට බයේ වෙන්නැති සමහර දෙමව්පියෝ මගෙත් එක්ක සෙල්ලමට තමන්ගේ ළමයින්ව එව්වේ නැත්තේ. මගේ ඉස්සරහදීම මාත්තෙක්ක සෙල්ලම් කිරීම නිසා තමන්ගේ ළමයට ගහලා ගෙදර එක්කගෙන අම්මලා කීප දෙනෙක්ම ඉන්නවා. ඒවා ඉතිං එහෙම තමයි. එතකොට මගේ දෙමව්පියෝ සමහර ළමයින්ව ආස්සරේ කරන්න එපා කිව්වේ... ඒත් ඉතිං එයාලා මම ගැන හිතේ මවාගෙන ඉන්න හොඳ ළමයා ඉමේජ් එක, නැතිවෙයි කියන බයට වෙන්න ඇති. හැබැයි මම මහ ඇට්ටරයා නිසා එපා කිව්ව එවුං එක්කම තමා ආස්සරේ කළේ. පුස්බයිසිකලේ පදින්න, ඒකේ සර්කස් දාන්න, හොරෙං ගිහිං ගඟේ නාන්න ආදී මෙකී නොකී ඇඩ්වෙන්චර් වැඩ ගොඩාක් පුළුවං උනෙත් ඒක නිසාමයි... ඒ වගේ ඇට්ටරම ඇට්ටර පොඩි කොල්ලෝ ටිකක් ගැන තමයි මේ ෆිල්ම් එකේ කියවෙන්නෙත්. හොඳ ළමයා සහ නරක ළමයා කියන චරිත දෙකම මම පෞද්ගලිකවම රඟපාලා තියෙන නිසා ඒ දෙකේදිම හිතට දැනෙන දේ ගැන මම දන්නවා... ඒ හැඟීම වඩාත් ලස්සනට විඳින්න පුළුවනි මේ ෆිල්ම් එක බලද්දි.

රඟපෑම් ගැන කතා කරනවනං, ළමයි හැමෝම වගේ ප්‍රශස්ථ රඟපෑමක නියැලෙනවා. ඒ වයසේ ළමයි කණ්ඩායමක් ඒ විදියට හසුරුවා ගන්නත් ලොකු හැකියාවක් තියෙන්න ඕනේ. ප්‍රධාන චරිතවලට ඉන්න හැම ළමයෙක්ම තමන්ගේ චරිතයට සාධාරණයක් කළා කියලා හිතෙනවා. ඒ වගේම බල්ලත් හොඳට හසුරුවාගෙන තියෙනවා. දකුණු ආසියාවේ සුලබ රෝඩ්මාස්ටර් බල්ලෙක් තමා ඇට් කරන්නේ. ඌ හොඳට පුරුදු කරවපු සර්කස් බල්ලෙක් වෙන්න ඇති. ඒ වගේම බහුතරයක් වැඩිහිටි චරිතත් හොඳයි. විශේෂයෙන් ඇමතිතුමාගේ චරිතය ලස්සනට හදලා තියෙනවා. ඊට අමතරව හිංදි ෆිල්ම් එකක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන ගොං පාට් කීපයක්ම දකින්න පුළුවං. ලංකාවේ හෝටලයක් දානවානං පරිප්පු හොද්ද තියෙන්නම ඕනේ වගේ ඉන්දියාවේ ෆිල්ම් එකක් සඳහා ගොංපාට් තියෙන්නම ඕනේ ඇති.

දරුවන් සහ දෙමව්පියන් අතර බැඳීම, කුරුවල් නොවිච්ච ළමා මනස තුළ තමන්ගේ යාළුවන් වෙනුවෙන් ඇති බැඳීම, සත්තුන්ට දක්වන ආදරේ කරුණාව, මේ දේවල් Chillar Party ෆිල්ම් එකේ යහපත් දේවල් විදියට දකින්න පුළුවනි. ලොකූ වියදමක් කරලා හදපු ෆිල්ම් එකකුත් නෙමෙයි. කොහොම නමුත්, මට අනුව සාර්ථක ෆිල්ම් එකක්.

ෆිල්ම් එක ගැන විස්තර ගොඩක් කතා කළා.
ෆයිල් සයිස් එක මෙගා බයිට් 700ක් විතර වෙනවා. ඩවුන්ලෝඩ් කරගත්තට අයියෝ ඩේටා වෙන්නේ නැති ෆිල්ම් එකක්.
IMDB රේටිං 7.2ක් තියෙනවා. IMDB රේටිං ගොඩක් තිබ්බ පලියටම හොඳ ෆිල්ම් එකක් වෙන්නේ නැද්ද මංදා. රේටිං හොඳට තියෙන ඒත් බලන්න හිතෙන්නේ නැති මහ එපාකරපු ෆිල්ම් කීපයක්ම හාඩ් ඩිස්ක් එකේ තියෙනවා. ඒවත් බලන්න ඕනේ වෙලාවක් අරගෙන. නැත්තං ඩේටා ටික අපරාදේ.

මෙන්න ට්‍රේලර් එක...
මෙන්න පයිරේට් බේ ටොරන්ට් එක..
මෙන්න කික් ඈස් ටොරන්ට් එක...

වැදගත්ම දේ,
පවුලේ සැමට නැරඹීමට සුදුසුයි...

Monday, October 14, 2013

ලිනක්ස් - ප්‍රශ්න සහ පිළිතුරු | Linux Q&A


     පහුගිය දවස් කීපයකදි ලිනක්ස් පිළිබඳ කරපු කතාබස්වලදි, මගේ හිතවතුන්/හිතවතියන් ලිනක්ස් ගැන විවිධ අදහස් පළකළා.. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතා කරන අය නෙමෙයි. නමුත් ඔවුන් ඉඳිරිපත් කළේ නිදහස් හා විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ගැන ඔවුන්ගේ අවංක අදහස්.
ඒ අදහස්වලට ඔවුන්ට පිළිතුරු දුන්නත්, නිදහස් සහ විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් ගැන සංවාදයක් ඇති කරන්න ඒ අදහස් හා මතවාද හොඳ පදනමක් වේවි කියල දැනුනා... තැන් තැන්වල තිබුණ ඒ අදහස්, මතවාද එක්කහු කරලා මේ විදියට පෝස්ට් එකක් බවට පත්කළේ ඒකයි...
මේ සංවාදය වඩාත් යහපත් සංවාදයක් බවට පත් කරන්න ඔබටත් පුළුවං...
එන්න, අපිත් එක්ක එකතුවෙන්න...


ඔය කිව්වට කවුද ඕවා සල්ලි දීලා ගන්නේ... අපි ජාතියක් වශයෙන්ම කම්බ හොරුනේ... 
මගේ හිතවතෙක් කිව්ව දෙයක්...

දුන්න පිළිතුර...
මේක මචං අර "රත්වෙන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුව දිය කෙළියේ…" කේස් එකක්...
පෞද්ගලික පරිගණකවලත් OS එක ජෙනුයින්ද කියලා බලන කාලේ වැඩි ඈතක නැහැ...
හොරබඩු නං,
රුපියල් ලක්ෂ 5ට අඩු දඩයක් හෝ, මාස 6කට අඩු සිර දඳුවමක් හෝ, දෙකම සෙට් වෙන්න පුළුවං...
මෙන්න උදාහරණ...

ඊළඟ එක,
හොර මෘදුකාංග සමඟ එන ආරක්ෂාව පිළිබඳ ගැටළු...
නිකමට කල්පනා කරලා බලන්න,
වයිරස් කේස් නිසා කොම්පියුටරේ ෆෝමැට් කරපු වාර ගාන...
ෆෝමැට්කරලා ඉවරවෙලා ආයේ අනිත් සොෆ්ට්වෙයා දාන්න වින්ද දුක...
වයිරස් නිසා නැතිවෙච්ච ඩේටා....
වින්ඩෝස් ජෙනුයින් උනාට මචං අනිත් සොෆ්ට්වෙයා ජෙනුයින්ද?
ඔෆිස්, ෆොටෝසෝප්, නීරෝ උනත් ජෙනුයින් නෙමේ...
මම ටක්කෙටම කියන්නං,
උඹේ කොම්පියුටරේ තියෙන්නේ ජෙනුයින් සොෆ්ට්වෙයා දෙකයි...
පළවෙනි එක ෆයර්ෆොක්ස් හෝ ක්‍රෝම්...
අනික VLC/KPlayer/GomPlayer එක...
ඔය දෙකත් නිදහස් හා විවෘත මෘදුකාංග...
ඕනේ තරං විස්කි තියෙද්දි,
හිත යද්දි කසිප්පුවලටමනං,
ඒක විස්කිවල ප්‍රශ්නයක් නෙමේ මචං,
බොන එකාගේ මානසික ප්‍රශ්නයක්...

--මේ සංවාදයෙන් පසුව හිතවතා කිව්ව විදියට ඔහුගේ පරිගණකයේ තිබෙන්නේ ජෙනුයින් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය. ඊට අමතරව ඔහු එදිනෙදා අනෙකුත් පරිගණක ආශ්‍රිත වැඩ කටයුතු කරන්නේ ගූගල් සමාගමෙන් ලබාදෙන සේවාවන් ඔස්සේ... එමනිසා ඔහු පිළිබඳව කරපු උපකල්පනය වැරදියි...


ලිනක්ස් හොඳ ඇති. හැබැයි මට ඉතිං ඒක ඉගෙන ගෙන වැඩක් නැති වෙයි.... ඉස්කෝලෙන් කරන්න කිව්වොත් කරනවා..මම හිතන්නෙ නෑ ඕලෙවල් වෙනකං පොඩ්ඩන්ට ලිනක්ස් ඕනෙ වෙයි කියලා....
මගේ හිතවතියක්...

පිළිතුර...

පළවෙනි කාරණේ,
අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රලේකයක්ම නිකුත් කරලා තියෙනවා පාසැල් පරිගණක විද්‍යාගාරවලට මින් ඉඳිරියට ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ ජෙනුයින් මෘදුකාංග පමණයි කියලා... එතකොට ඔප්ෂන් දෙකයි... එක්කෝ සල්ලි දීලා ගන්න ඕනේ... නැත්තං නිදහස් මෘදුකාංගවලට යොමුවෙන්න ඕනේ...
OL/AL සිලබස් දෙකම බොහොම ලස්සනට ඉගෙන ගන්න පුළුවං නිදහස් මෘදුකාංගවලින්...

තියෙන පාඩම් ටික බලමු,

Word Processing, Presentation, Spreadsheet...
මේවා MS Office වලින් වගේම වෙන ඔෆිස් මෘදුකාංගවලිනුත් කරන්න පුළුවං... උදාහරණෙට LibreOffice වලින්...

Image Manipulating බොහොම පොඩ්ඩක් තියෙනවා..
ඒකට තමා ඔය හැමෝම ෆොටෝසෝප් ෆොටෝසෝප් ගාන්නේ... GIMP වලින් ඉගෙන ගන්න වැඩේ බොහොම අපූරුවට කරගන්න පුළුවනි...

තව HTML ටිකක් උගන්නනවා... ඒකට හොරෙං පාවිච්චි කරන Dreamviewer වෙනුවට ඔරිමජිනල් Geany පාවිච්චි කරන්න පුළුවං...

වැඩිය ඕනේ නැහැ... ප්‍රෝග්‍රෑමිංවලට තියෙන්නේ VB6 (මේක අධ්‍යාපන පද්ධතියට එක්කහු කරපු/කරන්න උපදෙස් දීපු කෙනාගේ හතරවරිගෙම නිවන් යන්න ඕනේ කරපු පිනේ බල මහිමෙට).. ඕකට VisualStudio 2000 ඕනේ නැහැ, Gambas වලින් VB6 ප්‍රෝග්‍රෑමිං කරන්න පුළුවං...

ඔය කිව්වේ OL ගැන...

AL ගැන එකම දෙයක් කියන්නං...
ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න තියෙන භාෂාව Python...
වින්ඩෝස්වලදි අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනේ...
ලිනක්ස් OS ඕනෙම එකක Default ඉන්ස්ටෝල්කරලා එන්නේ...

1වසරේ සිට 9 වසර දක්වා පොඩි පැංචොන්ට...
ඉගෙනගන්න උදව්කරන මෘදුකාංග දහස්ගාණක් තියෙනවා
චක්කරේ පාඩං කරගන්න, ගණං හදන්න, සමාජ අධ්‍යයනය ඉගෙනගන්න විතරක් නෙමේ තාරකා විද්‍යාව ඉගෙන ගන්නවානං ඒකට උනත් පාවිච්චි කරන්න පුළුවං මෘදුකාංග බොහොමයි... අපේ රටේ අපේ එවුංම හදන "හන්තාන ලිනක්ස්" OS එකේ ඒ මෘදුකාංග ගොඩක් ඉන්ස්ටෝල්වෙලාමයි එන්නේ... මේ තියෙන්නේ ඒ තියෙන මෘදුකාංග...


මේක ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
ලිනක්ස් වලට එදා ඉඳන් උනේ ස්වාදීන කණ්ඩායම් හැදිලා තනි තනි ලෝක වල ජීවත් වීම ( ඩිවලොප් කිරීම ) ..
මගේ හිතවතෙක්...

පිළිතුර...

85% බොරු... 15% ඇත්ත...
ඒක තමයි මෘදුකාංගකරණයේ නිදහස කියන්නේ...
තමන්ට කැමති දේ තමන් හදාගන්නවා...
මෘදුකාංග හදාගන්න තරම් තාක්ෂණික දැනුමක් නැති පුද්ගලයෝ (මමත් ඇතුළුව) ඒ හදලා තියෙන ඒවා පාවිච්චි කරනවා...
එකක් පාවිච්චි කරලා ඇති උනාම, ඒකට එහෙම පිටිංම වෙනස් වෙන එකක් පාවිච්චි කරනවා...
ඒකත් ඇති උනාම තවත් එකක් පාවිච්චි කරනවා...
මෘදුකාංග සංවර්ධනය කරන කිසිම පුද්ගලයෙක් කිසිම ආයතනයකට බැඳිලා නැහැ...
පාවිච්චි කරන පුද්ගලයොත් බැඳිලා නැහැ...
මේක එපා නං වෙන එකකට යන්න ඕනේ නිදහස උපරිමයෙන් තියෙනවා...
ඒ වගේම යන්න ඕනේ තරං වෙන ඔප්ෂනුත් තියෙනවා...
කිසිම මූල්‍යමය පාඩුවකින් තොරව...
Proprietary (හිමිකාරීත්වය ඇති) මෘදුකාංගවල නැති දේ තමයි ඕක...
ඒක නං ඒක විතරයි... ඒක කොච්චර ජරාව උනත් වෙන විකල්පයකට යන්න බැහැ...
බැහැ නෙමේ... යන්න පුළුවං... හැබැයි සල්ලි ඕනේ...


මේකත් ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
අනිත් එක ලංකාවේ උන් ලිනක්ස් දාගෙන ඉන්නේ පොරත්වය සඳහා ..
මගේ හිතවතෙක්...

පිළිතුර...
ඔව්... පොරත්වය සඳහාම තමයි...
ඔය කියන පොරත්වය නිසා වෙන්න ඇති,
ලංකාවේ ලිනක්ස් පාදක OS නිර්මාණය කරන/පාවිච්චි කරන බොහෝ දෙනෙක්, අවුරුදු ගාණක ඉඳං තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරගෙන,
රට වටේම ස්වේච්ඡාවෙන්,
ලිනක්ස් සහ තොරතුරු තාක්ෂණය ප්‍රචාරය කර කර යන්නේ...
එහෙම කළේ නැත්තං තමන්ගේ පොරසිටිය හැදෙන්නේ නැහැ නේ...
නිදහස් හෝ වේවා හිමිකාරීත්වය ඇති හෝ වේවා,
මෘදුකාංගයක් පාවිච්චි කරන කෙනෙක්ව පොරක් විදියට දකින්නේ,
කොම්පියුටරේ කියන්නේ මහත් ඵල මහානිසංස ලබාදෙන,
මහාර්ඝ බලයකින් හෙබි මැෂින් රාජයෙක් විදියට දකින,
මැ**ක්ම තමා...


මේකත් ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
ඩ්‍රයිවර් , හාර්ඩ් වෙයාර් , ෆර්ම් වෙයාර් එකම ෆ්ලැට්ෆෝරම් එකකට එන දෙයක් කලේ නැහැ..
මගේ හිතවතෙක්...

පිළිතුර...
ඔබ මෘදුකාංග ඒකාධිකාරය පිළිබඳව තාම හරි හැටි වටහාගෙන නැහැ...
එහෙම එක කොම්පැණියකින්,
සියල්ල ලබාදෙන තත්ත්වයක් ආවොතින්,
පාවිච්චි කරන මිනිස්සු නිකංම ඒ කොම්පැණියේ,
රූකඩ වෙන එක අහන්න දෙයක් ද?
ඔන්න ඔය කාරණාව නිසයි,
එක සමාගමක් විදියට නැතුව,
වෙන වෙනම ස්වාධීනව සිටීමේ වාසිය,
පාරිභෝගිකයට ලැබෙන්නේ...
එක ලිනක්ස් OS එකකින් තමන්ට අවශ්‍ය දේ වෙන්නේ නැතිනම්,
වෙන ලිනක්ස් OS එකකට මාරුවෙන්න පුළුවනි...
එතකොට තමන්ගේ OS එක මිනිස්සු පාවිච්චි කරනවා අඩුයි කියලා දැනෙද්දි,
OS එකේ නිර්මාපකයන් ඒකත විසඳුමක් ලබාදෙන්න ඉක්මන් වෙනවා...
නමුත් එකම තැනකින් නම් වෙන්නේ...
උඹලට ඕනෙනං පාවිච්චි කරහල්ලා, බැරිනං ඒත් පාවිච්චි කරහල්ලා,
කියලා අදාල සමාගම තමන්ගේ තනි කැමැත්තට වැඩ කරයි...
මිලියන ගාණක් පාරිභෝගිකයෝ,
කරකියාගන්න දෙයක් නැතුව උඩබලාගෙන ඉඳියි..

කොම්පියුටර් අල්ලලා දාන්න...
නිකං මතක් කරගන්න,
අපේ රටේ ජංගම දුරකතන ආපුම කාලේ,
සමාගම් දෙකකින් පාරිභෝගිකයව නටෝපු නැටවිල්ල...

ඊළඟ ප්‍රශ්නේ...
මේ ලෝකේ වින්ඩෝව්ස් , මැක් වලට සාපේක්ෂව ඇයි ලිනක්ස් මූලික වුණු OS සාමාන්‍ය මිනිස්සු අතර භාවිතයේ නැත්තේ ... ?
මගේ හිතවතෙක්...

පිළිතුර...
වැදගත් ප්‍රශ්නයක්...
සරළම පිළිතුර වෙළදාම...
වින්ඩෝස්, මැක් කියන්නේ වෙළඳ භාණ්ඩ...
ලිනක්ස් කියන්නේ තාමත් වෙළඳ භාණ්ඩයක් නෙමේ...
වෙළඳ භාණ්ඩ එක්ක එන පළවෙනි දේ තමා ප්‍රචාරන යාන්ත්‍රණය...
අන්තර්ජාලය පීරලා බලන්න ලිනක්ස් OS එකක් සඳහා කරලා තියෙන වෙළඳ ප්‍රචාරනය...
ඒ වගේම ඊට සාපේක්ෂව වින්ඩෝස්, මැක් සඳහා කරන ප්‍රචාරණය...
සහන් ඇතුළු බොහෝ දෙනෙක් ඔය කියන ප්‍රචාරණ යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වෙලා
තියෙන්නේ...
මේ බණ දෙසන මමත් කාලෙකට කළිං එහෙම තමයි... හැබැයි දැං එහෙම නෙමේ...

හරි, අපි ඊළඟ පියවර ගැන හිතමු.
ලිනක්ස් වෙළඳ භාණ්ඩයක් කරන්න බැරිද?
අපොයි පුළුවං... දැනටම කරලා තියෙන්නේ...
ඇන්ඩ්‍රොයිඩ් OS... ඒවත් ලිනක්ස්ම තමා...
මම කියනවට විශ්වාස නොකර හොයලා බලන්න...
ඇන්ඩ්‍රොයිඩ් OS ලෝකෙට නිකුත් කළේ 2009...
අවුරුදු 4ක් යද්දී ලෝකේ ස්මාට්ෆෝන්වලින් 66.9%ක තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OS එක...
ඒකත් එක්ක තරඟ කරන iOS මාකට් ශෙයා එක 2009 දී 18%.. අද 26%...
බ්ලැක්බෙරි එහෙමත් නැත්තං RIM 2009 දි 21%... අද 3.2%.
ලෝකෙම හොල්ලගෙන හිටිය Symbian (NOKIA OS) එක 2009 දී 47%.. අද ලොවෙත් නැහැ...
වින්ඩෝස් මොබයිල් OS එක ගැන අපි කතා නොකර ඉමු...
එතකොට ඒ ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නේ අසාමාන්‍ය මිනිස්සුද?
සමහරවිට ඔබ අතෙත් මේ වෙනකොට තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OSඑකක් තියෙන ජංගම දුරකතනයක් වෙන්න පුළුවනි...

ඊළඟ ප්‍රශ්නේ...
හරි ඔක්කෝම අමතක කරලා මට කියන්න සිංහල වැඩ කරන ( ටයිපින් කල හැකි ලිනක්ස් OS ටිකක්...( මන් මේ ඇහුවේ මට දාගන්න ඕනේ නිසා ...)


පිළිතුර
...
2008 ඉඳලා මම පාවිච්චි කරපු/කරන OS ඔක්කෝගෙංම මේ දේ කරන්න පුළුවං...
මම සිංහල යුනිකෝඩ් කොටන්න ඉගෙන ගත්තේත්, බ්ලොග් ලියන්න ඉගෙන ගත්තේත්,
ලිනක්ස් උඩදිම තමයි... මම පාවිච්චි කරපු/කරන OS ටික කියන්නං... කැමති
එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න... අමාරු තැනක්
තියෙනවානං අහන්න...

පාවිච්චි කරපු OS...
Ubuntu 8.04 / 8.10 / 9.04 / 10.04 / 11.04 ---> මේවා ඩවුන්ලෝඩ් කරන්න
මහන්සි වෙන්න එපා...
Fedora 10 / 14 / 15 / 16 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
LankaNet Linux 3 ---> මේකත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
හන්තාන ලිනක්ස් 11 / 14 / 17 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...

දැනට පාවිච්චි කරන OS
Ubuntu 12.04 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
Fedora 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
Cent OS ---> ඩවුන්ලෝඩ් කරගන්න...
හන්තාන ලිනක්ස් 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
සහළාන ලිනක්ස් ---> ඩවුන්ලෝඩ් කරගන්න...

ඔය දීලා තියෙන OS හැම එකකම සිංහල ටයිපින් විතරක් නෙමේ,
එදිනෙදා ජීවිතයේදී කරන කියන හැම පරිගණක කටයුත්තක්ම,
අතිශය සර්ථකව, බොහොම පහසුවෙන් කරගන්න පුළුවං...

මේ සංවාදය තවම ඉවර නැහැ...
ඔබටත් ඒ සමඟ එකතු වෙන්න පුළුවං...
ඔබේ අදහසත් ඉඳිරිපත් කරන්න... අපි සාකච්ඡා කරමු...
ඒ සාකච්ඡා තුළින් අවසානයේදී,
වඩාත් යහපත් දේ සමාජයට ලැබෙයි...

මතක තියාගන්න...
ලිනක්ස් කියන්නේ,
බලලා කරන දෙයක් නෙමේ...
කරලා බලන දෙයක්...

ජයවේවා ලිනක්ස්!!!

Tuesday, October 8, 2013

මැරුණ පරිගණකයට පණ පොවමු | The Reincarnation

තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. අද අලුතෙන් එළිදක්වපු තාක්ෂණික උපාංග හෙට වෙද්දි පරණයි. තව මාසයක් යද්දි ඊටත් පරණයි. අවුරුදු දෙක තුනක් යද්දි පරණම පරණයි. අවුරුදු 5ක් විතර වගේ පොඩි කාලයක් ඇතුළත භාවිතයෙන් ඉවත් කරන්න වෙන තරමට තාක්ෂණික උපාංග පරණ වෙනවා... වෙන උපාංගවලට බලපාන්නේ නැති මහ අරුම පුදුම කාරණාවක් තමා ඒක. නමුත් බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංගවල ඇත්ත තත්ත්වේ ඕක තමයි. 

ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් අපේ රටට වැඩියෙන්ම ගෙන්වන ඉලෙක්ට්‍රොනික් උපාංග වර්ගයක් තමා පරිගණක. ගෙන්නන විදිය අනුව කොටස් කීපයකට බෙදලා වෙන් කරන්න පුළුවනි. බ්‍රෑන්ඩ්නිව් පරිගණක, පරිගණක අමතර කොටස් සහ පාවිච්චි කළ පරිගණක. බ්‍රෑන්ඩ්නිව් කිව්වම ඉතිං ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක තමා අයිති වෙන්නේ. ඩෙස්ක්ටොප් පරිගණකත් බ්‍රෑන්ඩ්නිව් ගෙන්නනවා, නමුත් ලැප්ටොප්වලට සාපේක්ෂව අඩුයි. අනිත් ජාතිය තමා ඇමරිකාවෙ, එංගලන්තේ, ජපානේ, දකුණු කොරියාව වගේ රටවල්වල පාවිච්චි කරලා ඉවත් කරන පරිගණක. මේ මොන ජාතිය උනත් අවුරුදු දෙක තුනක් හතරක් පරණ වෙන කොට ඉතිං කුණු කූඩෙට තමයි. මොකද තාක්ෂණේ එන්න එන්නම දියුණු වෙන නිසා වගේම කාලයට සාපේක්ෂව ඒවාගේ මිල අඩුවෙන නිසා. උදාහරණෙකට මීට අවුරුදු 5කට (2008) කළිං ලැප්ටොප් එකක් තිබ්බේ එහෙමත් එකෙක්ට. නමුත් අද වෙනකොට ලැප්ටොප් එකක් තිබ්බා කියලා මහ බක්කක් නැහැ.

පරිගණක පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි මීට අවුරුදු 5කට 6කට කළිං ගත්ත පරිගණකයට දැං මොකද කරන්නේ කියන එක? එහෙමත් නැත්තං අද රුපියල් 4,000/=කට 5,000/=කට මිලදී ගන්න සෙකන්ඩ් හෑන්ඩ් පරිගණකයකට තව අවුරුදු දෙකකින් විතර මොකද කරන්නේ? කාට හරි පින් සලකා දුන්නා කියලා කියමු. ඒත් ඒ ගන්න මනුස්සයට ඒකෙන් ඇති වැඩක් තියේවිද? රුපියල්ම 100ක් වියදං කරලා CD කඩෙං අරගත්ත වින්ඩෝස් XP දාලා දුන්නත්, වර්ඩ් හරි ෆොටෝ එකක් එඩිට් කරන්න හරි ගියාම පරිගණක කියන වචනෙත් එපා වෙන එක වෙයි නේද? ඔය වගේ පරණ පරිගණකයකට අලුතෙන් එන වින්ඩෝස් 7, වින්ඩෝස් 8 (හොර කොපියක් තමා ඉතිං.. අපි කවදද සල්ලි දීලා ජෙනුයින් ගත්තේ) කිට්ටු කරන්නවත් පුළුවං වෙයිද? ඔය වගේ ගැටළු ගොඩයි.

මේ ගැටළුවලට පිළියමක් විදියට තමයි මේ පෝස්ට් එක ලියවෙන්නේ. ගොඩ දෙනෙක්ගේ ගෙවල්වල තියෙන, මීට අවුරුදු අටකට දහයකට කළිං ගත්ත පෙන්ටියම් II, පෙන්ටියම් III, පෙන්ටියම් IV පරිගණක වගේම, අවුරුදු 5කට 6කට කළිං මිලදී ගත්ත, තෑගි ලැබිච්ච ලැප්ටොප් පරිගණකවලට පණ දීලා ගන්නේ කොහොමද? අද දවසේ ඔබට කරන්න අවශ්‍ය වැඩ සඳහා ඒ පරිගණක ප්‍රමාණවත්ද? පිළිතුර ලොකුම ලොකු ඔව් එකක්. ඒ පරණ පරිගණකවලට පණදීලා ගන්න පුළුවං. ඒ වගේම ඒ පරණ පරිගණකවලින් අද දවසේ කරන වැඩ රාජකාරි කරන්නත් පුළුවං...

කොහොමද ඕක කරන්නේ?
පිළිතුර හරිම සරළයි. පාවිච්චි කරන්න ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති.

ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඩිසයින් කරල තියෙන්නේම පරිගණකයේ දෘඩාංග (Hardware) වලින් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන විදියට. බොහොම අඩු දෘඩාංග පහසුකම් යටතේ වැඩි වැඩ කොටසක් කරන්න පුළුවං වෙන විදියට. ඉතිං නිකං විසි කරලා හෝ විසි කරලා දාන්න ලෝබකමට දූවිලි බැඳි බැඳි පැත්තකට කරලා දාලා තියෙන තාක්ෂණයෙන් පරණ පරිගණකවලට අලුත් පණක් දීලා, අද දවසට ගැලපෙන විදියට හදලා ගන්න හැටියි මේ කියන්න යන්නේ.
 
ඊළඟට එන ප්‍රශ්නේ...
වියදම කීයක් විතර යයිද?
උත්තරේ - සතයක්වත් යන්නේ නැහැ...

ලිනක්ස් කර්නල් එක භාවිතා කරලා හදපු මෙහෙයුම් පද්ධති කීපයක්ම තියෙනවා බොහොම අඩු ධාරිතාවයක් තියෙන පරිගණක සඳහාම නිශ්පාදනය කරපු. පහතින් සාකච්ඡා කරන්න යන්නේ ඒවායින් ජනප්‍රියම සහ වැඩිම භාවිතාවකින් යුතු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන. 
මේ හැම මෙහෙයුම් පද්ධතියක්ම ඉතාම කාර්යක්ෂමව වැඩ කරවන්න පෙන්ටියම් III ප්‍රොසෙසරයක්, 512 MB රැම් එකක් සහ 6GB හාඩ් ඩිස්ක් ඉඩක් තියෙන පරිගනකයක් හොඳටම ඇති. දෘඩාංගවල ධාරිතාව ඊට ගොඩක් අඩු උනත් අවුලක් නැහැ. මේ දක්වලා තියෙන මෙහෙයුම් පද්ධති ඒකට ගැලපෙන විදියට සකස් කරගන්න පුළුවං.

හරි... එහෙනං අපි එකින් එකට සාකච්ඡා කරමු.

 


ලෝකේ තියෙන Light Weight Linux Distro වලින් ජනප්‍රියම OS එකක් තමයි මේ Puppy Linux OS එක. 2003 අවුරුද්දේදි තමයි මුලින්ම එළි දැක්වුවේ. සම්පූර්ණ OS එකම වෙන්නේ මෙගා බයිට් 128ක්. හිතාගන්නත් අමාරුයි නේද? ඩවුන්ලෝඩ් කරලා CD එකකට burn කරගන්නත් පුළුවං. USB පෙන් ඩ්‍රයිව් එකක් බූටබල් විදියට හදාගන්නත් පුළුවං. ඒ වගේම ඔබේ වින්ඩෝස් පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ නැත්තං, ඔබට පුළුවං Puppy Linux Live USB එකෙන් හෝ Live CD එකෙන් පරිගණකය පණ ගන්වා ඔබේ දත්ත සියල්ල බැකප් කරගැනීමට. අලුතෙන්ම ලිනක්ස් භාවිතයට පැමිණෙන කෙනෙක්ට ඉතාමත්ම පහසුවෙන් තම කටයුතු කරගන්න හැකි ආකාරයට තමයි Puppy Linux නිර්මාණය කර තිබෙන්නේ.
ප්‍රොසෙසරයේ වේගය 600 MHz සහ RAM එක 256 සිට ඉහළට තිබෙන ඕනෑම පරිගණකයක Puppy Linux ස්ථාපනය කර බොහොම පහසුවෙන් ක්‍රියාත්මක කරවන්න පුළුවනි.
Puppy Linux අලුත්ම සංස්කරනය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.

Puppy Linux ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
Puppy Linux ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

වින්ඩෝස් OS එකක ඉඳං ඩවුන්ලෝඩ් කරලා USB පෙන් එකකින් ඉන්ස්ටෝල් කරන විදිය ගැන බොහොම සරළව කාටත් තේරෙන විදියට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්. විනාඩි 30ක විතර වීඩියෝ එකක්. බැලුවට පස්සේ අයියෝ ඩේටා කියලා හිතෙන්නේ නැහැ...

 


තවත් බොහොම ජනප්‍රිය ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් තමයි VectorLinux කියලා කියන්නේ. බොහොම සරළ, ධාරිතාවයෙන් කුඩා මෙහෙයුම් පද්ධතියක් තමයි මේක. ඒ වගේම ඉතාම වේගවත්. අපේ පරිගනකය කොච්චර පරණ, ධාරිතාවයෙන් ඉතා අඩු වුනත් මේ මෙහෙයුම් පද්ධතිය තුළ වැඩ කරද්දි ඒක දැනෙන්නේ නැහැ... සාමාන්‍ය පරිගණකයකින් වැඩ කරනවා හා සමාන හැඟීමක් මේවාගෙන් දැනෙනවා. ඒ තරමටම වේගවත්.
VectorLinux සංස්කරණ කීපයක්ම තිබෙනවා. ඒ Standard Edition, SOHO Edition, Light Edition සහ Live Edition විදියට.
පහතින් තියෙන්නේ ඒ එක් එක් සංස්කරණය ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න අවශ්‍ය වෙන අවම දෘඩාංග පහසුකම්.

Standard Edition: පෙන්ටියම් 200 MHz ප්‍රොසෙසරය, 96MB RAM (අවම), 2.1GB හාඩ් ඩිස්ක් ඉඩ... පෙන්ටියම් I පරිගණකයක් සඳහා නියම OS එකක්. ඔබ සතුව පෙන්ටියම් I පරිගණකයක් තියෙනවානම් VectorLinux උත්සාහ කර බලන්න. ඔබ මවිතයට පත්වෙනවා නිසැකයි...

SOHO Edition: පෙන්ටියම් 750 MHz ප්‍රොසෙසරය, 512MB RAM (අවම), 5GB හාඩ් ඩිස්ක් ඉඩ... මේ සඳහා 1024x768 24 bit වර්ණ රෙසලූෂන් තිබෙන මොනිටරයක් අවශ්‍ය වෙනවා.

Light Edition: පෙන්ටියම් 166 MHz ප්‍රොසෙසරය, 64MB RAM (අවම), 1.8GB හාඩ් ඩිස්ක් ඉඩ...

Live Editions: පෙන්ටියම් 750 MHz ප්‍රොසෙසරය, 256MB RAM (අවම), මේ සඳහා 1024x768 24 bit වර්ණ රෙසලූෂන් තිබෙන මොනිටරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙහි ඇති වීඩියෝ ඉෆෙක්ට්ස් ආදිය සඳහා 16MB/32MB වගේ VGA කාඩ් එකකුත් අවශ්‍ය වෙනවා.

ඉන්ස්ටෝල් කරන විදිය බොහොම සරළව කාටත් තේරෙන විදියට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්.  විනාඩි 15ක විතර වීඩියෝ එකක්...

VectorLinux අලුත්ම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
VectorLinux ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
VectorLinux ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...


 


නම ඇහෙද්දිම දන්නවා කොහේ කාගේ මොකක්ද කියලා... සුප්‍රකට Canonical සමාගමේ තවත් සාඩම්බර නිශ්පාදනයක්. Ubuntu, Kubuntu, Xubuntu වගේ OS සඳහා ලොකු ධාරිතාවයකින් යුත් දෘඩාංග අවශ්‍ය නිසා හැම පරිගණකයකටම ඒ OS ඉන්ස්ටෝල් කරන්න බැහැ. ඉතිං පරණ පරිගණකවලටත් මනුස්සකමේ මෙහෙයුම් පද්ධතිය අරගෙන යන්න Canonical ලොක්කා දරන උත්සාහය තමා Lubuntu. අපි දන්න කියන Ubuntu වගේම තමයි. ගොඩක් සමානයි. පාවිච්චි වෙන මෘදුකාංගවලත් ලොකු වෙනස්කමක් නැහැ. ඔබට ධාරිතාවයෙන් අඩු පරිගණකවලදීත් Ubuntu අත්දැකීමක් ලබන්න අවශ්‍යනම්, Lubuntu තමා එයත හොඳම පිළියම.
Canonical සමාගමෙන් කරපු නොයෙකු පර්යේෂණ සහ අත්හදාබැලීම්වලදී මතුවෙච්ච කාරනයක් තමයි, ලුබුන්ටු මෙහෙයුම් පද්ධතිය පෙන්ටියම් II හෝ Celeron ප්‍රොසෙසර් සමඟ 128MB රැම් ධාරිතාවයකින් යුතුව ක්‍රියාත්මක කරවන්න පුළුවංයන වග. නමුත් ප්‍රායෝගිකව එදිනෙදා වැඩකතයුතු සඳහා එය යෝග්‍යවන්නේ නැහැ.

පෙන්ටියම් III ප්‍රොසෙසරයක් සමඟ 256MB - 384MB රැම් එකකින් ඔබේ පරිගණකය සන්නද්ධ නම්, කිසි ගැටළුවකින් තොරව ඔබට මෙම මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගෙන එදිනෙදා වැඩකතයුතු සිදුකරගත හැකියි...
ඔබේ පරිගණකයේ RAM ධාරිතාවය 512MB නම්, ආයේ අහන්න දෙයක් නැහැ... වෙඩි වගේ වැඩ...

Lubuntu අලුත්ම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
Lubuntu ඉන්ස්ටෝල් කරන හැටි සහ පාවිච්චි කරන හැටි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවං මෙතනින්...
Lubuntu ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

මේ තියෙන්නේ Lubuntu 13.04 නවතම සංස්කරණය ඉන්ස්ටෝල් කරන විදිය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙන වීඩියෝ එකක්...



Damn Small Linux (DSL)



ඩෑම්(න්) ස්මෝල් ලිනක්ස් [Damn Small Linux (DSL)] කියලා කියන්නේ බොහොම පොඩි ධාරිතාවයකින් යුත් (50MB) ඩෙස්ක්ටොප් ලිනක්ස් OS එකක්. DSL UBS ඩ්‍රයිව් එකකින්, Live CD එකකින්, වින්ඩෝස් ඇතුළෙම තවත් OS එකක් විදියට, බූට් කරන්න පුළුවං...
DSL කොච්චර Light Weight ද කියලා කියනවානං, 486DX පරිගණකයක් 16MB රැම් එකකින් ක්‍රියාත්මක කරවන්න පුළුවං...
දැං තියෙන ප්‍රශ්නේ කොහෙන්ද 16MB රැම් එකක් තියෙන 486 පරිගණකයක් හොයාගන්නේ කියලා...
128MB රැම් එකක් තියෙන පෙන්ටියම් II හෝ පෙන්ටියම් III පරිගණකයකින්, අද දවසේ අපි සිදුකරන බහුතරයක් වැඩ කටයුතු ඉතාමත්ම පහසුවෙන් සහ වේගයෙන් සිදුකරගන්න පුළුවං. ඔබට පුදුම හිතේවි, මේ වැඩ කරන්නේ ඒ 128MB රැම් සහ 450MHz පරිගණකයෙන්ද කියලා.

අංගසම්පූර්ණ ඩෙස්ක්ටොප් එකක් DSL සතුයි. ඒ වගේම SSH/FTP/HTTPD එකක් විදියට උනත් ක්‍රියාත්මක වෙන්න DSLට පුළුවනි. MP3 සිංදු අහන්න, CD එකක් රිප් කරන්න, MPEG වීඩියෝ බලන්න, Netrik/Dillo වෙබ් බ්‍රව්සර්, FireFox බ්‍රව්සර් එක, පැතුරුම්පත් (Spreadsheet) මෘදුකාංග, වදන් සැකසුම් මෘදුකාංග, ඡායාරූප සැකසුම් මෘදුකාංග ආදී මෘදුකාංග බොහොමයක් පෙරනිමියෙන්ම DSL එක්ක ඉන්ස්ටෝල් වෙනවා. රැහැන් සහිත වගේම රැහැන් රහිත ජාලකරණ පහසුකමුත් DSL ලබාදෙනවා.

DSL අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවං මෙන්න මෙතනින්.
DSL ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවං...

මේ තියෙන්නේ DSL ඉන්ස්ටෝල් කරන විදිය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙන වීඩියෝ එකක්...
මේ තියෙන්නේ පෙන්ටියම් I ප්‍රොසෙසරයක් තියෙන පරිගණකයකට DSL ඉන්ස්ටෝල් කරන විදිය ගැන වීඩියෝ එකක්...


අනිත් කිසිම මෙහෙයුම් පද්ධතියක නැති, ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතිවල පමණක් ඇති විශේෂම ලක්ෂණය තමා, තමන්ට කැමති විදියකට පාවිච්චි කරන්න තියෙන හැකියාව. පරණ පරිගණක අපිට විසිකරලා දාන්න වෙලා තියෙන්නේ, අපි පාවිච්චි කරන OS ඒවාට නොගැලපෙන නිසා. නමුත් ඒ පරිගණක තාමත් පාවිච්චි කළ හැකි තත්ත්වයේ තියෙනවානං, මේ වගේ OS එකක් දාලා ඒක පාවිච්චි කරන්න කැමති කෙනෙක්ට ලබා දෙන එක පිනක්. 


පරිගණකයක් ගන්න නෙමේ, පිටු 80 පොත් දෙකක් ගන්න සල්ලි නැතුව අසරණ වෙලා ඉන්න ළමයි අපේ රටේ ඕනේ තරම් තියෙනවා. අඳින්න හරි හමං ඇඳුමක් නැතුව එකම නිල ඇඳුම දවස් 5ම හෝද හෝද අඳින ළමයි ඉන්න ඉස්කෝල රටේ නැත්තේ කොහේද... ඒ පාසල්වල ළමයින්ට පරිගණකයක් අරගන්නවා කියන්නේ හීනයක්. ඒ ලමයින්ගේ දෙමව්පියන්ටත් එහෙම දේකට වියදම් කරන්න තරම් මුදලක් නැහැ... ඒ මිනිස්සුන්ගේ අනිවාර්ය අවශ්‍යතා පරිගණකයකට වඩා ගොඩාක් වැඩියි. තාමත් ඈත ගම්බදව තියෙන පාසල්වල බහුතරයක තත්ත්වේ ඕකයි. ඉතිං නිකං ගෙදර පැත්තකට දාලා තියෙන පරිගණකවලට මේ විදියට පණ දීලා, ඒ ළමයින්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය කරන්න, ඒ ළමයින්ටත් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න සහයෝගයක් දෙන්න ඔබටත් පුළුවං... ඔබේ සුළු උපකාරයක් ඔවුන්ට මහමෙරක් වගේ දැනෙයි...

මේ තියෙන්නේ රටේ බොහෝ දුෂ්කර පැත්තක පාසලක පරිගණක විද්‍යාගාරයක් හදලා ඒ දරුවන්ට පරිගණක අධ්‍යාපනය ලබා දීමට පවත්වපු වැඩමුළුවක ඡායාරූප.

මේ ඉස්කෝලේ පරිගණක විද්‍යාගාරය හදන්න උදව් කළේ Born Free කියන සංවිධානේ. වැඩමුළුව සංවිධානය කළේ සහ සම්පත් දායකයෝ විදියට කටයුතු කළේ හන්තාන ලිනක්ස් ටීම් එක. ඒ පාසලේ ළමයින්ට ලැප්ටොප් පරිගණක 15ක් ලබාදෙන්න පුළුවං උනා. ඒ පරිගණකනං අලුත් පරිගණක. ඒ හැම පරිගණකයකම තියෙන OS එක හන්තාන ලිනක්ස්. මේ එක පාසලක් විතරයි... තව මේ වගේ පාසල් විශාල ප්‍රමාණයක් රටේ තියෙනවා... ඔබට පුළුවන්නං ඒකට අපිත් එක්ක එකතු වෙන්න, වඩා යහපත් දෙයක් ඒ දරුවන්ට තිළිණ කරන්නට අපිට පුළුවනි...

පරන පරිගණකවලට පණ දෙන,
මෙකී නොකී මේ සියළුම සෙල්ලම්,
ලිනක්ස් එක්ක විතරයි....
ජයවේවා ලිනක්ස්!!!

Saturday, September 21, 2013

නිදහස් මෘදුකාංග දිනය අදයි...


ලෝක නිදහස් මෘදුකාංග දිනය අද... හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසේ 3වෙනි සෙනසුරාදා තමා ලෝක නිදහස් මෘදුකාංග දිනය සමරන්නේ... මීට අවුරුදු 4කට කළිං, ඒ කියන්නේ 2009 අවුරුද්දේදිත් මම නිදහස් මෘදුකාංග දිනයට පෝස්ට් එකක් දැම්මා... මේ තියෙන්නේ ඒක... ඒ පෝස්ට් එකේ තියෙන හැටියට, 2009 සැප්තැම්බර් වෙන කොට මම නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න පටං අරගෙන අවුරුද්දක්... එහෙනං අද මේ ගෙවෙන්නේ නිදහස් මෘදුකාංග එක්ක ගෙවෙන පස්වෙනි අවුරුද්ද... අවුරුදු 5ට ලබපු අත්දැකීම් සහ වෙච්ච දේවල් නං බොහොමයි... වැදගත්ම දේ විදියට දකින්නේ මේ අවුරුදු 5ක කාලය ඇතුලේදි, මවිසින් නිදහස් මෘදුකාංග හඳුන්වා දීපු ප්‍රමාණය... ඒ ගාණ 1000කට ටිකක් වැඩි ඇති... ඒ හැමෝම අද වෙනකොට නිදහස් මෘදුකාංග පාවිච්චි නොකළත් 10%ක්වත් සම්පූර්ණයෙන් නිදහස් මෘදුකාංග පාවිච්චි කරනවා කියලා නං ස්තීරයි...

මේ තියෙන්නේ එදා, 2009 ලිව්ව පෝස්ට් එකේ එක ඡේදයක්... මේකේ තියෙන කාරණා අදටත් ඒ විදියටම වලංගුයි...
"අනුන්ගේ මෘදුකාංග හොරට පාවිච්චි කරපු මම ඔරිමජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න පටන්ගත්තේ FOSS එහෙමත් නැත්තම් නිදහස් මෘදුකාංග නිසා තමයි. ඒක මම බොහොම ආඩම්බරෙන් කියනවා. අද මම පාවිච්චි කරන්නේ ඔරිජිනල් මෘදුකාංග. ඒවා නිදහස්. නිකම් දෙනවා විතරක් නෙමේ ඕනේනම් කැමති විදියට වෙනස් කරගන්න කේතත් දෙනවා. මම ඒ එක කේතයක්වත් වෙනස් කරලා මට කැමති දේ කළේ නෑ. ඒත් ලෝකේ ගොඩාක් මිනිස්සු ඒක කරනවා කියලා මම දන්නවා. එහෙම කරලා නිකම් ඉන්නේ නෑ. වඩාත් යහපත් දෙයක් සාමාජෙට දෙනවා."

දැං මේ පෝස්ට් එක ලිවීමේ අරමුණ මොකක්ද?
අරමුණු දෙකක් තියෙනවා... පළවෙනි එක අද දිනයේ වැදගත්කම පිළිබඳව මතක් කරන එක... පළවෙනි කාරණාව හරි...
දෙවෙනි එක, ව්‍යාජ මෘදුකාංග වෙනුවට පාවිච්චි කරන්න පුළුවං ඔරිජිනල් නිදහස් මෘදුකාංග පිළිබඳව ප්‍රජාව දැනුවත් කරන එක..
දැං සැරසෙන්නේ දෙවෙනි අරමුණ ගොඩ දාන්න...

මේක මම වෙන තැනක කිව්ව කතාවක්...
මේ පෝස්ට් එකටත් අදාල නිසා,
මෙතන අලෝනවා...

අද නිදහස් මෘදුකාංග දිනය...
උඹලා ගොඩක් දෙනෙක්,
දැනුවත්ව හෝ නොදැනුවත්ව,
නිදහස් මෘදුකාංග පාවිච්චි කරනවා...
ඒ ගැන බලවත් ස්තූතිය...

අපේ රටේ මිනිස්සු,
ගොඩක් වෙලාවට මෘදුකාංග හොර කොපි,
පාවිච්චි කරන්නේ,
වෙන විකල්පයන් නැති නිසා නෙමේ...
වෙන විකල්ප පිළිබඳ නොදැනීම නිසා...

ඔරිජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න...
මෘදුකාංග මිලදී ගන්න මුදල් නැත්තං,
ඒකේ හොර කොපි එක පාවිච්චි නොකර,
වෙන විසඳුමකට යන්න...
ඒ වෙන විසඳුම බොහෝවිට සම්පූර්ණ වෙන්නේ,
නිදහස් මෘදුකාංගයකින්...
නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න...
නිදහස් මෘදුකාංග ප්‍රචලිත කරන්න...
නිදහස් මෘදුකාංගවලට ජයවේවා!!!

උඹලාගේ දැනගැනීම පිණිස,
ජනප්‍රිය මුදල් ගෙවා මිලදී ගත යුතු මෘදුකාංග කීපයකට,
ගැලපෙන නිදහස් මෘදුකාංග ලිස්ට් එකක් අමුනන්නං...
පාවිච්චි කරලා බලන්න...


1. Mozilla Firefox - (වැඩි විස්තර අනවශ්‍යයි නේ)
අලුත්ම එක ගන්න - http://www.getfirefox.com/

2. Thunderbird - (ඊමේල් ක්ලයන්ට් එකක්... MS Outlook හෝ Eudora වෙනුවට)
http://www.mozilla.org/thunderbird/

3. Sunbird - (MS Outlook කැලෙන්ඩර් ෆන්ෂන් එක වෙනුවට)
http://www.mozilla.org/projects/calendar/sunbird/

4. LibreOffice - (MS Office වෙනුවට) 

5. CalmWin - (Antivirus Solution)
http://www.clamwin.com/

6. BitTorrent - (ටොරන්ට් ක්ලයන්ට් එකක්) 

7. Vuze - (ටොරන්ට් ක්ලයන්ට් එකක්) 

8. GIMP - (Photoshop වෙනුවට)
http://www.gimp.org/

9. VLC - (විස්තර ඕනේ නැහැ නේ)
https://www.videolan.org/vlc/download-windows.html

10. Audacity - (ඕඩියෝ එඩිටිං වැඩවලට සහ වොයිස් රෙකෝඩිං + පොඩ්කාස්ට්) http://audacity.sourceforge.net/

11. MusikCube - (iTunes වෙනුවට)
http://www.musikcube.com/

12. Handbrake - (ඕඩියෝ කන්වර්ට් කරන වැඩවලට)

13. KeePass - (පාස්වර්ඩ් මතක තියාගන්න, Store කරගන්න)
http://keepass.info/

14. TrueCrypt - (ඩේටා එන්ක්‍රිප්ට් කරන්න) 

15. PDFCreator - (ඩොකියුමන්ට්ස් PDF කරන්න)
http://sourceforge.net/projects/pdfcreator/

16. HealthMonitor - (පරිගණකයේ හාඩ්වෙයාර් ගැන ඇහැ ගහගෙන ඉන්න)
http://healthmonitor.zucchetti.com/

17. GranttPV - (MS Project වෙනුවට)
http://www.pureviolet.net/ganttpv/

18. Dia - (MS Visio වෙනුවට)
http://dia-installer.de/

19. Geany - (Adobe Dreamviewer වෙනුවට)
http://www.geany.org/

20. K3B - (Nero Suite වෙනුවට)
http://www.kde.org/applications/multimedia/k3b/

21. Scribus - (ඩෙස්ක්ටොප් පබ්ලිෂිං - MS Publisher වෙනුවට)   

22. NotePad2 - (MS Notepad වෙනුවට)
http://www.flos-freeware.ch/notepad2.html

23. Notepad++ - (ක්‍රමලේකන භාෂා කීපයකටම සපෝට් කරන Source Code editor එකක්)
http://notepad-plus-plus.org/

24. Virtual Box - (VMware වෙනුවට)
https://www.virtualbox.org/wiki/Downloads 


25. 7-Zip - (WinRAR වෙනුවට)
http://www.7-zip.org/

මේ මෘදුකාංගවලින් බොහෝ ඒවා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියටත් සහය දක්වනවා... ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නැතුව ජීවත් වෙන්නම බැරිනං, වින්ඩෝස් උඩ මේ මෘදුකාංගවලින් වැඩ කරන්න...

මේ ලිස්ට් එක තව දහස් ගාණක් දිග ඇති...
මේ මම සාමන්‍යයෙන් පාවිච්චි කරන ඒවා...
දන්න කියන ඒවා තියෙනවනං අමුනන්න...
නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න...


මේ මෘදුකාංග ඔක්කෝම ඉන්ස්ටෝල් වෙලා එන,
ඔපරේටිං සිස්ටම් තියෙනවා ගොඩක්...
උබුන්ටු, ෆෙඩෝරා වගේ ඒවා ගොඩක් ජනප්‍රියයි...
ඩවුන්ලෝඩ් කරගන්න තැං ඕනේ තරං...
 
අපේ රටේ අපේම අය හදපු,
ලිනක්ස් මෙහෙයුම් පද්ධති කීපයකුත් තියෙනවා...

ෆෙඩෝරා ලිනක්ස් ආශ්‍රයෙන් හදපු හන්තාන ලිනක්ස්...
මෙන්න විස්තර...

උබුන්ටු ලිනක්ස් ආශ්‍රයෙන් හදපු සහළාන ලිනක්ස්...
මෙන්න විස්තර...

උබුන්ටු ලිනක්ස් ආශ්‍රයෙන් හදපු Cylon ලිනක්ස්...
මෙන්න විස්තර...

ඔය මෙහෙයුම් පද්ධති 3මනියමයි...
අපේ රටේ ලිනක්ස් පාවිච්චිය අවම වෙන්න ලොකුම හේතුව වෙච්ච, අන්තර්ජාල සම්බන්ධතා ගැටළුවට විසඳුම මේ මෙහෙයුම් පද්ධති 3න්ම දීලා තියෙනවා... සරළව කියනවානං, එදිනෙදා ජීවිතයේදී භාවිතයට අවශ්‍ය වෙන මෘදුකාංග සියල්ලම පෙර නිමියෙන්ම මේ මෙහෙයුම් පද්ධති එක්ක එනවා... ඒ නිසා අතිරේක මෘදුකාංග ඉන්ස්ටෝල් කරන්න අන්තර්ජාල පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ...

එහෙනං අදට ඇති...
අවුරුදු 4කට කළිං ඉවර කරපු විදියටම,
මේ පෝස්ට් එකත් ඉවර කරන්නං...

නිදහස් ලෝකයක් තියෙනවානම්, ඇයි බලාගෙන ඉන්නේ?
නිදහස් මෘදුකාංග ජනප්‍රිය කරමු. මෘදුකාංග නිදහස අගයමු.
නිදහස් මෘදුකාංගවලට ජය වේවා...


මේ පෝස්ට් එකට විස්තර ගත්තේ මෙතනින්...
උඩිංම තියෙන ඡායාරූපය ගත්තේ මෙතනින්...