Monday, May 30, 2011
සියලෝම තම තමන්ගේ ආගම සිහිකරගන්න...
මම මේ කියන කරුණ මේ ලිපිය කියවන බොහෝ දෙනෙක්ට පොදු දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද කියනවානං අපි හැමෝම නොයෙක් විදියේ රැස්වීම්වලට ජීවිත කාලේ බොහෝ සැරයක් සහභාගී වෙලා තියෙන නිසා. උදාහරණ විදියට කියනවානං, පොඩි කාලෙදි අපි හදාගත්ත ළමා සමාජවල රැස්වීම්, යෞවන සමාජ රැස්වීම්, තරුණ වයසෙදි එකතු වෙච්ච ක්‍රීඩා සමිති රැස්වීම්, ගමේ සංවර්ධන සමිති රැස්වීම්, පාසලේ ගුරු දෙගුරු රැස්වීම්, දේශපාලන පක්ෂවල ශාඛා සමිති රැස්වීම් වගේ මෙකී නොකී බොහෝ රැස්වීම් දක්වන්න පුළුවං. මෙතනදී මම පන්සලේ හෝ පල්ලියේ හෝ දහම්පාසල්වල පවත්වන රැස්වීම් සිතාමතාම බැහැර කරනවා. ඒකට හේතුව ලිපිය දිගටම කියවද්දී පැහැදිලි වෙයි.
මේ හැම රැස්වීමකම න්‍යාය පත්‍රානුකූලව මුලින්ම කරන දේ තමා "තම තමන්ගේ ආගම සිහිකර ගැනීම". මේ කටයුත්ත අද දවසේදී සිදුකෙරෙන්නේ චාරිත්‍රයක් විදියට. ඒත් ඒ චාරිත්‍රයේදී, ඒ ආගම සිහිකරගැනීම කියලා අපි ඇත්තටම කරන්නේ මොකක්ද? මෙන්න මේ දේයි අපි කතා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ආගම සිහිකිරීම සදහා වෙන්කරන වෙලාව මිනිත්තු එකකටත් වඩා අඩු වෙලාවක්. මේ මිනිත්තුවක කාලය තුළදී සිහිකරන්න පුළුවං මොනවාද? මෙහිදී මේ චාරිත්‍රය මුලින්ම සමිති න්‍යාය පත්‍රයකට එකතු කරපු පුද්ගලයා ඒක කරන්න ඇත්තේ සද්භාවයෙන් යුතුව කියන එකේ කිසිම තර්කයක් නෑ. නමුත් අද දවසේදී ඒ චාරිත්‍රය නිකංම නිකං කරන්නං වාලේ කිරීමක් විතරමයි වෙන්නේ.
උදාහරණයක් ගමු.
රනා බෞද්ධයෙක්. බෞද්ධ අය ආගම සිහිකිරීමේදී බොහෝවිට සිදුකරන දේ තමා පන්සිල් සමාදන් වීම. හේතුවක් හරියටම කියන්න දන්නේ නැතිවුනත් බොහෝ බෞද්ධ පුද්ගලයන් ආගම සිහිකරන්න කියපු විට සිදුකරන්නේ පන්සිල් සමාදන් වීමම තමා. මේ පන්සිල් සමාදන්වීමේදී ඉස්සෙල්ලාම නමස්කාරය කියනවා. ඊළගට "මම පළමුවත් දෙවනුවත් තෙවනුවත් බුදුන්, දහම්, සඟුන් සරණ යමි" කියන ගාථා පාඨ තුන සජ්ඣායනා කරනවා. ඉන් පස්සේ තමා පංච ශීලය සමාදන් වෙන්නේ. මෙහිදී සජ්ඣායනා කරන ගාථා පාඨ ගණන 17ක්. දැන් තමයි වැඩේ තියෙන්නේ. ආගම සිහිකරන්න දෙන මිනිත්තුවකටත් අඩු කාලයේදී කොහොමද ඔය ටික කරන්නේ? බොහෝ වෙලාවට ආගම සිහිකිරීමේදී කළින් සදහන් කරපු ගාථා පාඨ 17න් 8ක්වත් ඒ කියන්නේ පන්සිල් සමාදන්වීමේ ක්‍රියාවලියෙන් භාගයක්වත් කරගන්න ලැබෙන්නේ නෑ. න්‍යාය පත්‍රයේ සදහන් ඊළග අංගයට යොමුවීම තමා සිදුවෙන්නේ.
එක පාරක් මේ ගැන රනා තමන්ගේ කතෝලික මිතුරෙක්ගෙනුත් ඇහුවා. රනා ඔහුගෙන් ඇහුවේ ඒ වගේ වෙලාවට කරන යාඥාව මොකක්ද කියලයි. කතෝලික අය ගොඩක් වෙලාවට කරන්නේ එම අවස්ථාවට සහභාගීවීමට තමන්ට හැකියාව උදාකරදීම පිළිබදව දෙවියන්ට ස්තූතිකිරීම සහ එම රැස්වීමේ වැඩකටයුතු වඩාත් සාර්ථකව කරගෙන යෑමට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීම බවයි මිතුරා කිව්වේ. ඔහුට අනුව ඒ සදහා තත්පර 30ක විතර වෙලාවක් ගතවෙනවා කියලත් කිව්වා. නමුත් එතැනදී වුනත් ඇත්තටම ආගම සිහිකිරීමක්ම නෙමෙයි ආගම සිහිකිරීම සංකේතවත් කිරීමක් සිදුකරනවා කියලයි ඔහු වැඩිදුරටත් කිව්වේ. ඒ කියන්නේ බෞද්ධ කතෝලික හැමෝම මේ වෙලාවෙදි තමන්ගේ ආගම ඇත්තටම සිහිකරනවාට වඩා හුදෙක් එම සිහිකිරීම සංකේතවත් කිරීමද සිදුකරන්නේ?
ඉස්ලාම් ධර්මයේ හැටියට ආගම සිහිකරන වෙලාවට සිදුකරන යාඥාව මොකක්ද කියලා අහන්න මිතුරෙක් රනා ලග නෑ. අහපු එවුන් දෙන්නා තුන්දෙනාම විකාර කියෝලා රනාව බයිට් එකට ගන්න උත්සාහ කළා මිසක් හරි හමන් උත්තරයක් දුන්නේ නෑ.
ගොඩක්ම වෙලාවට ආගම සිහිකිරීම කියන අංගයේදී සිදුවෙන්නේමෙහෙම දෙයක්. මේක බොහෝ රැස්වීම්වලට පොදුයි. බෞද්ධ අය වැඳගන්නවා, අනෙත් අය බිම බලාගන්නවා, ඊට පස්සේ හැමෝම හොරෙන් අනිත් අය දිහායි, මූලාසනේ දිහායි බලනවා කොයි වෙලේද මේක ඉවර වෙන්නේ කියලා. රනාත් ඔය දේ අනන්ත වාරයක් කරලා තියෙනවා. බොහෝ වෙලාවට මේක කියවන ඔබත් එහෙම කරලා ඇති. ඒකේ වැරැද්දක් නෑ. වැල යන අතට එපායැ මැස්ස ගහන්න. හැබැයි මේකෙන් වෙනස් වෙන තැනුත් නැත්තෙමත් නෑ.
ඒත් ඇත්තටම අපි කරන දේ හරිද?
අපි මොකක්ද මේ කරන්නේ. රනාට අනුවනම් මේක වැරදියි. අපිට අපේ ආගම හරි විදියට සිහිකරන්න බැරිනං, අපි ඒක නොකර ඉන්න ඕනේ. මොකද දෙයක් වැරදියට කරනවට වඩා ඒක නොකර ඉන්න එක වඩාත් යහපත් නිසා. ඒත්, සෑහෙන්න කාලයක් තිස්සේ ඉදලා කරගෙන එන චාරිත්‍රයක් එක පාරටම අයින් කරලා දාන්නත් බැහැ.
හැබැයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවං. රැස්වීමේ මුලසුන හොබවන කෙනාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවං ආගම සිහිකිරීම සදහා ප්‍රමාණවත් කාලයක්, අඩුම තරමේ මිනිත්තු තුනක්-හතරක්වත් ලබාදෙන ලෙස. දැන දැනම වැඩක් බාගෙට කරනවත වඩා ඒ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරන එක එතකොටවත් වෙයි.
දහම් පාසල්වල හෝ ආගමික ස්ථානයන්හී පවත්වන රැස්වීම් මෙහිදී අමතක කළේ ඒ රැස්විම් වලදී ආගම සිහිකිරීම නියමාකාරව ක්‍රමානුකූලව සිදුකරනා නිසා. ගොඩක් වෙලාවට ඒ රැස්වීමක මූලාසනය හොබවන්නේ පූජක උතුමෙක් නිසා උන්වහන්සේ එම කටයුත්ත නියමාකාරව සිදුකරනවා.
මේ කරුණ ඔළුවට වැටිච්ච දවසේ ඉදලා රනා කළේ රැස්වීම්වලදී ආගම සිහිකරන වෙලාවට එහෙම නොකර බිම බලාගෙන ඉන්න එක. ඕක දැකපු රනාගේ හිතවතෙක් රනාගෙන් ඇහුවා මෙන්න මෙහෙම.
රනා මොකද ළගදී ආගමවත් මාරුකළාද?
ඇයි එහෙම ඇහුවේ?
නෑ, මේ ආගම සිහිකරන වෙලාවෙදි වදින්නේ නැතුව බිම බලාගෙන හිටපු නිසා ඇහුවේ.
රනා හිනාවෙලා හිටියා මිසක් ඒ වෙලාවේ උත්තරයක් දෙන්න ගියේ නෑ. ඒත් ලිපියක් ලියන්න තරම් වැදගත් ප්‍රශ්නයක් නේද ඔහු ඇහුවේ කියලා පස්සේ වෙලාවක ඒ ගැන කල්පනා කරද්දි රනාට හිතුනා.
එහෙනං,
හෙට ඉදලාවත් හරියට තම තමන්ගේ ආගම සිහිකරගමු නේද.
ජය වේවා...
Wednesday, April 27, 2011
එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වසති. එකට පියාඹති. අනිකුන් වික්ෂිප්තව බලා සිටිති.
මීට දින කීපයකට පෙර නැරඹූ සහ අන් අය සමගින් බෙදාගත් වීඩියෝවක් පිළිබදව තබනා පසු සටහනකි මේ...
Master Sir Coverd by Nadeeka n Indrachapa ©A9™ Collections.flv යන හෙඩිමෙන් යුත් වීඩියෝව Youtube ඔස්සේ නැරබීමෙන් පසුව එම වීඩියෝවට යන පාර ෆේස්බුක් වෝල් එක මතද ඇලවූයේ එම වීඩියෝවෙන් අමුතුම ආකාරයක වින්දනයක් ලද නිසාවෙනි. ගායක ගායිකාවන් කිපදෙනෙක්ම කීප ආකාරයකිං ගායනා කර ඇති මාස්ටර් සර් ගීතය තවත් වෙනස් ආරකට නදීක ගුරුගේ සහ ඉන්ද්‍රචාප ලියනගේ දෙදෙනා රූපවාහිනී වැඩසටහනකදී ගායනා කරණු එහි අඩංගු වූ අතර සජීවී ඉදිරිපත් කිරීමක් වූ එය සැබැවින්ම මාගේ සිත ඇද ගති.
මේ සටහන තබනුයේ එම ගීත ගායනය හෝ නදීක හෝ ඉන්ද්‍රචාප පිළිබදව ලිවීමට නොවේ. එම වැඩසටහනේ මා දුටු විකාර රූපී සිදුවීම් පිළිබදව මගේ සිතැගි ලියා තැබීමටය.
මුලින්ම, එම වැඩසටහනට පැමිණ සිටි අනෙකුත් කලාකරුවන්ගෙන් අප දන්නා හදුනන චරිතවලට සිටියේ නවරත්න ගමගේ, උපේක්ෂා ස්වර්ණමාලී, අකලංක ගනේගම සහ නෙහාරා පිරිස් වේ. තවත් දෙදෙනෙක් එහි සිටි අතර ඇත්තටම ඔවුන්ව මම හදුනන්නේ නැත.
නදීක සහ ඉන්ද්‍රචාප යනු සංගීතයේ වෙනස්ම ආරක් සොයන පුද්ගලයෝ වෙති. ඇතැමුන්ට ඔවුන්ගේ සංගීතය දිරවන අතර ඇතැමුන්ට එය දිරවන්නේ නැත. මට ඇති ගැටළුව නම් ඔවුන්ගේ සංගීතය නොදිරවන පුද්ගලයන් හමුවේ ඔවුන්ව හෑල්ලුවට ලක්කිරීමට රූපවාහිනී වැඩසටහන්කරුවන් උත්සාහ කිරීමයි.
එම වීඩියෝව නැරඹීමේදී පැහැදිලිව පෙනී යන කරුණක් නම්, එම උපේක්ෂා, නෙහාරා යුවලගේ හිසට ඉහළින් එම සංගීතය ගලා යන බවයි. මේ බව ඔවුන්ගේ හැසිරීමෙන් හා ඉගියන්ගෙන් පැහැදිලිව දැක්වේ. සැබවින්ම ඔවුන් එය දකින්නේ "ටීවී කැමරාවක් ඉස්සරහා පොර වීමට පිස්සු කෙළීමක්" ලෙස මිස මේ නදීක හෝ ඉන්ද්‍රචාප ප්‍රිය කරනා සංගීතයයි යන අර්ථයෙන් නොවේ. සමහරවිට "අනේ මට පේන්න මෙයාලා දාන වැඩ" ලෙස ඔවුන් මෙය දකිනවා වන්නටද බොහෝ ඉඩ ඇත. ඔවුන්ගේ වරදක් නැත. සිද්දවෙන දේ ගැන තමන්ට වැටහීමක් නොමැතිවිට නා නා විද දේ සිතීම හා හැසිරීමෙන් එය ප්‍රකාශ කිරීම සහජ මිනිස් ගතියකි.
වරද ඇත්තේ එම රූපවාහිනී වැඩසටහනේ ගරු නිශ්පාදකතුමා අතේය. වැඩසටහන සදහා ගෙන්වන පුද්ගලයින් කවුරුන්ද කියා තීරණය කරන්නේ ඔහුය. ඒ ගෙන්වන පුද්ගලයින් එකිනෙකාට ගැලපෙනවාද නැත්ද යන්න ඔහු මෙහිදී අනිවාර්යයෙන්ම සළකා බැලිය යුත්තේය. එසේ නොමැති වූවොත් සිදුවෙන දෙය මෙම වීඩියෝව තුළින් පැහැදිලිව ඔප්පු කර ඇත. මෙය නදීකට හෝ ඉන්ද්‍රචාපට පමණක් සිදුවු දෙයක් නොව ඕනෑම කෙනෙක්ට සිදුවිය හැකි දෙයකි. මේ පිළිබදව නිශ්පාදක ඇත්තන්ගේ කල්පනාව යොමුවෙනවානම් ඉදිරියේදී මෙවැනි විකාර රූපී හැසිරීම් රූපවාහිනී තිරය තුළින් දැක බලාගැනීමේ ඛේදජනක අවස්තාව ප්‍රේක්ෂක අපෙන් ගිළිගෙනවා ඇත.
මගේ පැතුම ඉක්මනින්ම එහෙම දවසක් උදාවේවා කියාය...
Monday, September 13, 2010
මමයි උඩවැඩියා
උස් බවතෙකු සොයමින් ගෙදර නෙක සැලසුම්
උස් බවතුන් ඇතත් උන්සතු කෝ ගුණවත් කම්
උස්කම සමග තනිවෙම් තවම නැත හාදකම්
එකම දෝණිය වූ නිසාවෙන් පරපුරටම සිටිනා
පැතූ කුමරෙකුට නැත ඉඩක් මිස මව්පිය පතනා
දෙමව්පිය පතනා අය කිම මට කැමති නොවනා
කාරණය නොම දැන මා සිතින් නිති තැවෙනා
කන්ද උඩින් හැම හිමිදිරියේ හිරු දෙවියෝ වඩනා
වැන්ද දෙවිවරු අහෝ කිම මා දුක් ගීය නොඅසනා
සින්ද තෙල් බිඳු පැරදිලා අද ධවල කෙස් වැඩෙනා
බැන්ද ආදර කථා නැත මට කල වයස ගෙවෙනා
උපුල්වන් දෙවි බලන් නෙත් හැර තරුණියක සිටියා
උදෑසන පිපි මලක් සේ සිටි ඈ අද මැදි වයස ලඟයා
උනේ මේ ලෙස කිම් ද මා හට කෝ මගේ හිමියා
උඩින් වැඩ දෙවි සොයා දෙන් මට මමයි උඩවැඩියා
මෙම කවි පෙළ රචනා කරදුන් රන්දිකා රණවීර සොයුරියට හදපිරි ස්තූතිය පිරිනමමි.
Monday, September 6, 2010
බෝගන්විලා මල්...
Saturday, August 21, 2010
පහන්
තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං
තෙල් කපුරු වලින් ඇවිළුනා වු අන්ධකාරය දුරු කරන්නා වු මේ පහනින් ක්ලේශ නැමති ඝන අඳුර නැසුවා වු තිලොවට පහනක් වු සම්මා සම්බුදු රජුන්ට පූජා කරමි.
රනාගේ ගමේ පංසලේ පහන් වැටේ දසුන්....
ඉහත පළ කරන ලද ගාථාවේ යම්කිසි දෝෂයක් වෙතොත් එය නිවැරදි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි.
පෙර ගාථාවේ දෝෂ නිවැරදි කිරීම හා ගාථාවේ සිංහල අදහස ලබාදීම පිළිබදව පබළුට ස්තූතිවන්ත වෙමි.
Monday, August 16, 2010
රාගම දුම්රිය පොළේ කපුටෝ.....
Thursday, August 5, 2010
වේලිච්ච ගොරකා...
ගොරකා දැන් ගොඩක් වේලිලා. මදේ ඇතුළේ තියෙන වතුර වේලිලා යනකොට ලස්සනට තිබ්බ රතුපාට නැතිවෙලා දැන් හෙමීට කළුපාට වේගෙන එන්නේ. ජීවිතෙත් එහෙමද මන්දා... ලුණු වතුරෙන් හෝදලා ගොරකා වේලෙන්න දැම්මම තමයිළු ඒවා මෙලෙක් වෙලා එන්නේ. රනාගේ ගෙදර තියෙන ඒවානම් හරි තදයි. මගෙ හිතේ ලුණු වතුර සත්කාරය ඒවාට දීලා නෑ. ඊළගට තියෙන වැඩේ තමා දුම් ගහන 1.
රනාලාගේ ගෙදර තියෙන්නේ ගෑස් ලිපක් නිසා ගෙදරින් පිට තමා මැස්සක් ගහලා දුම් ගහන්නේ.
හොඳම දේ තමා දැම්මම ගොරකා වලට ඕඩර් එන 1.
කළු උනාට ගොරකා වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.
මේ ගොරකා ගෙඩි.
මේ ඊළගට හෝදලා වේලෙන්න දාලා තිබුණ ගොරකා මද.
ගොරකා දුම් ගස්සවද්දී යළිත් හමුවෙමු.
Sunday, August 1, 2010
රන්දිව්....

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර SSC පිටියේදී පැවැත්වූ 2වෙනි ටෙස්ට් තරඟය අවසන් වූයේ ජය පැරදුමෙන් තොරවය. දෙපිලේම පිතිකරුවන් තරඟයට මෙන් අර්ධ ශතක ශතක හා ද්විත්ව ශතක රැස් කරද්දී පන්දු යවන්නන් හා පන්දු රකින්නන් අන්ත අසරණව සිටිනු තරඟය පැවැත්වූ දින 5 පුරාම දක්නට ලැබුණි. පළමු දින දෙකෙහිදීම පිතිකරුවෝ ඉන්දීය පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් අතර එහි වාඩුවගත් ඉන්දීය පිතිකරුවෝ සහ පන්දු යවන්නෝ යන සැවොම ඊළග දින 3දීම ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට තැළුවේ මේ තරඟයේ පමණක් නොව පෙර තරඟයේ පරාජයෙන් නැගි හිත් වේදනාව සමනය වන්නටම විය යුතුය. කෙසේ වෙතත් මෙම තරඟය දැන් අවසානය. මෙම සටහන ලියැවෙනුයේ තරඟය පිළිබදව සමාලෝචනයකට නොව මෙම තරඟයේදී දැකි සුවිශේෂී කාරණයක් පාඨක ඔබට පැවසීමටය. ඒ අන් කිසිවක් ගැන නොව මෙම තරඟයේදී ශ්‍රී ලංකා ටෙස්ට් වරම් දිනූ සුරාජ් රන්දිව් පිළිබදව කෙටි සටහනක් තැබීමටය.
සුරාජ් රන්දිව් කණ්ඩායමට එක්වන්නේ පිටදඟ පන්දු යවන්නෙකු (offspinner) ලෙසටය. ඉකුත් සදුදා ටෙස්ට් වරම් දිනාගත්තද ඊට පෙර ඔහු ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරඟ 15කට සහ 20-20 තරඟ 5 කට ක්‍රීඩා කර එහිදී එක්දින කඩුළු 16ක් සහ 20-20 කඩුළු 4ක් දවාගෙන ඇත්තෙකි. ඔහුගේ එක්දින කඩුල්ලක සාමාන්‍යය 35.00ක් වන අතර 20-20 තරඟයකදී 22.5 ක සාමාන්‍යයක් ඔහු රදවාගෙන ඇත. මේ ඉලක්කම් දෙස බලනකල සුරාජ් යනු හොඳ පන්දු යවන්නෙකි. වරක් හෝ දෙවරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ දිනවූ පන්දු යවන්නෙකි.
දැන් අපි මෙම ටෙස්ට් තරඟයේදී සුරාජ්ගේ පන්දු යැවීම දෙසට හැරෙමු. තමන් විසින් යවන ලද පළමු පන්දුවේදීම ඔහුට එරෙහිව ළකුණු 4ක් ලබාගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වූහ. තරඟයේ දෙවන දිනයේදී ඔහු පන්දු ඕවර කීපයක්ම යවන ලද මුත් සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත් සුරාජ් තරඟයේ තෙවැනි දිනයේ තමන් විසින් යවන ලද පළමු පන්දුවේම ඉන්දීය පිතිකරු ශෙවාග්ගේ කඩුල්ල දවා ගත්තේය. ඉන් ඕවර 2කට පසු යළිත් ක්‍රියාත්මක වූ සුරාජ් ඩ්‍රාවිඩ්වද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගත්තේය. සුරජ් මෙම තරඟයේදීම දවාගත්තේ එම කඩුළු 2 පමණි. නමුත් තමා හොද ටෙස්ට් පන්දු යවන්නෙක් බව ඔහු මෙම තරඟයේදී මොනවට පැහැදිලි කර පෙන්වීය.

මෙම තරඟයේදී බාවිතා කළ SSC තණතිල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිතිකරුවන්ගේ තණතිල්ලකි. පන්දු යවන්නන්ට දෙවියන්ගේ පිහිට මිස අන් පිහිටක් නොමැති තණතිල්ලකි. එවන් තණතිල්ලක පන්දු යවනවා යනු පන්දු යවන්නන්ව මන්දෝත්සාහී කරවන එසේත් නැතිනම් "තමා පන්දු යවන්නෙකු වූයේ පෙර කරන ලද අකුසලකර්මයක් පළදීමෙනි" යන සිතිවිල්ල සිතට එන ආකාරයේ දෙයකි. එවන් තණතිල්ලක පන්දු ඕවර 74ක් පන්දු යවනවා යනු ඉතා වෙහෙසකර කටයුත්තකි. තමන්ගේ පළමු ටෙස්ට් තරඟයේදීම මෙතරම් දැවැන්ත පන්දු ඕවර ගනනක් යැවූ පන්දු යවන්නන් අතර සරාජ්ට හිමිවන්නේ දෙවැනි තැනයි. වැදගත්ම දෙය නම් අප මෙහිදී සැළකිය යුත්තේ ඔහු යැවූ පන්දු ඕවර ගණන, දුන් ලකුණු ගණන හෝ ලබාගත් කඩුළු ගණන පිළිබදව නොවේ. මෙම තරඟයේදී ඔහු පෙන්නුම් කළ ඉවසීම, කැපවීම, ධෛරයය හා ආත්ම විශ්වාසයයි. තරඟයේ තෙවන හා සිව්වන දින පුරාම ඔහු පන්දු යැව්වේය. එක දිගට ඕවර 15කට වැඩිය පන්දුව යැවූ අවස්ථාද විය. ජාත්‍යන්තර විස්තර විචාරකයින්ට සහ ලොව පුරා සිට මෙම තරඟය නැරබූ ප්‍රේක්ෂකයින්ට සුරාජ්ගේ මෙම කැපවීම පුදුමයක්ම විය. ගිණියම් වූ අව්ව කෙළින්ම ඇද වැටෙන පරිසරයක, පන්දු යවන්නන්ට කිසිම සහයක් නොදක්වන තණතිල්ලක, සෑම පන්දුවකටම පිතිකරුවන් රිසිසේ පහරදෙන අවස්ථාවකදීත් නොබියව තව දුරටත් සටන් කිරීමෙහි යෙදෙනා පන්දු යවන්නන් සෑමවිටදීම දක්නට නොලැබේ. සමස්ත ඉන්දියානු ඉනිමේ යවන ලද පන්දු ඕවර ගණනෙන් 33%ක්ම යවන ලද්දේ සුරාජ් විසින්ය. අන් කිසිදු පන්දු යවන්නෙක් මෙම තරඟයේදී එතරම් පන්දු යැවීමක් සිදුකළේ ඇත. එමෙන්ම සෑම විටම සුරාජ් ඔහුගේ සැළැස්මට අනුවම පන්දු යැවීමෙහි නිරත විය. ඔහු දුර්වල පන්දුද යැවූ නමුත් පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් ක්‍රීඩකයන් අසළින් ඇදී ගිය පන්දුද ඒ අතර බොහෝ ගණනක් විය. තමන්ගේ පන්දු රකින්නන් යොදවා ඇති සැළැස්මට අනුව පන්දු යවමින් පිතිකරුවන්ට පීඩනයක් එල්ල කර ඔවුන්ව දවාගැනීමට තමන්ට හැකිබව මේ එකම තරඟයේදීම සුරාජ් පෙන්වීය. එමෙන්ම තියුණු දගකැවීමක්ද ඔහු සතුය. පන්දු යැවීමේ මෙම හැකියාවන්ගෙන් සහ කොතරම් අපහසු අවස්තාවකදී වුවත් තමන්ගේ ආත්ම විශ්වාසය රඳවාගෙන සටන් කරනා මෙවැනි ක්‍රීඩකයින් දිගින් දිගටම ක්‍රීඩා කරවීම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට කළ හැකි ඉහළම අයෝජනයක්ය.

මීට වසර 15කට 16කට පෙර මුත්තයියා මුරලිදරන් ප්‍රසිද්ධව සිටියේ තියුණු දගකැවීමක් සහිත එක දිගට විශාල පන්දු ඕවර ගණනක් (marathon spell) යවන පන්දු යවන්නෙක් ලෙසටය. එම කැපවීම හා අධිෂ්ඨානය තුළින් තමන්ගේ දක්ෂතාවය ඔපමට්ටම් කරගත් මුරලි ලෝක පූජිතවී ක්‍රීඩාවට ආයුබෝවන් කීවේය. සුරාජ් රන්දීව් තවත් මුරලිදරන් කෙනෙක් යැයි කීමට තවම බොහෝ කල් වැඩිමුත් මුරලි සතුවූ සමහර ගුණාංග තමන් තුළද ඒ ලෙසම පවතින බවනම් ඔහු තමන් ක්‍රීඩාකළ පළමු තරඟයේදීම පෙන්වීය. තේරීම් කමිටුවේ වගකීම වන්නේ මෙවන් ක්‍රීඩකයින් දිගටම තරඟවලට යෙදවීමය. එවිට තමන්තුළ ඇති නොපසුබසිනා උත්සාහය හා කැපවීම තුළින් සුරාජ් රන්දීව්ද කඩුළු මැෂිමක් බවට පත්වෙනු ඇතිබවටනම් නොඅනුමානය.
Thursday, July 29, 2010
ගොරකා ගෙඩි
ගොරකා ගෙඩිත් නරකම නෑ නේද?
Wednesday, July 28, 2010
ගොරකා
වේලෙන්න වේලෙන්න මේවාගේ පාට වෙනස් වෙනවා. ඒවගේම කෑලි ප්‍රමාණයෙන් පොඩි වෙනවා. ඒවාගේ ෆොටෝත් ගන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ.
කොහොමද ගොරකා පැදුර
Thursday, July 22, 2010
වර්ෂ මාස පූර්ණය....
එම බ්ලොග් 1ට දැමීමට නමක් රනාගේ ඔළුවට ආවේම නෑ.
අන්තිමේ එය "රනා ලියන බ්ලොග්" නම් වුනා.
ඒ රනාගේ බ්ලොග් ලිවීමේ ආරම්භයයි.
ඊට පස්සේ බොහොම අමාරුවෙන් මාසෙකට බ්ලොග් පෝස්ට් 1ක් 2ක් රනා ලිව්වා.
ලියන්න දේවල් අනන්තවත් තිබුණත් රනාගේ කම්මැලිකම ඊට වඩා ගොඩාක් වැඩියි.
ගිය දෙසැම්බරයේදී රනා එකම සටහනක්වත් ලිව්වේ නෑ.
ඒ කාලේ රනා කඩේ ගියා.
ඇත්තම කියනවානම් රනා ලියන බ්ලොග් ට අවුරුද්දක් පිරුණේ ගිය මාසයේදීයි.
පහුගිය ජූනි මාසයටම රනා එකම බ්ලොග් සටහනක් හෝ ලිව්වේ නෑ.
මේ ජූලි මාසයටත් උපරිම බ්ලොග් සටහන් 2ක් හෝ 3ක් ලියැවෙනු ඇති.
ඒ රනාගේ හැටි.
රනාගේ හිතේ බ්ලොග් සටහන් ලිවීම උදෙසා නැගෙනා අදහස් හිත ඇතුලේම මියැදී,
ඒ අදහස් වැළලූ තැන ගසුත් පළවී, එම ගස්වල හටගත් ගෙඩිවලින් තවත් ගස් ද හටගෙන ඇතුවා නිසැකයි.
ඔයවගේ දේවල් රනාට සිම්පල්.
දවල්ට කෑවේ මොනාද කියා කවුරු හෝ ඇහුවොත් එය මතක නැති රනාට
බ්ලොග් 1 උපන්දිනය අමතකවීම මහ දෙයක් නෙමෙයි.
ඒ රනාගේ බ්ලොග් ලිවීමේ කතාවයි.
රනාත් සමගම වාගේ බ්ලොග් ලියන්නට පැමිණි බොහෝ අය අද බ්ලොග් අවකාශයේ පතාක යෝධයෝ...
දුකා, කතන්දරකාරයා, තමීර, මුචලින්ද
ඒ අතරින් කීප දෙනෙක්.
ඔවුන්ගේ වර්ෂ පූර්ණය වෙනුවෙන් රනා තව වතාවක් සුබ පතනවා.
ඒ වගේම තවත් සමකාලීනයෙක් වන
රනාගේ සදාදරණීය මිත්‍ර ඇන්ත්‍රැක්ස්,
බ්ලොග් අවකාශය නිසාම දැනහඳුනාගත්
රනාගේ අල්ලපු ගමේ පොරක්...
(දැන් මේක දැකලා කඩප්පුලි රොයිලි මොනාවත් නොකිව්වොත් වැඩක් නෑ...)
ඒ වගේම මේ දිනවල බොහොම උනන්දුවෙන් බ්ලොග් ලියන
දුරු රටක ඉන්න
"සීත සමීරත්" රනාගේ ගමේම පොරක් (බලමු සමීරයා රනාව අදුරගනීද කියලා).
ඒ විතරක් නෙමේ,
සන්සරසිඳුත් රනාගේ ඉස්කෝලෙන් ආපු පොරක්.
හැබැයි සීත සමීර වගේ නෙමේ සන්සරසිඳු රනාව අඳුරන්නේ නෑ...
රනා නිසා බ්ලොග් කියවන්න,ලියන්න පටන්ගත්ත
එකෙක් දෙන්නෙකුත් ඉන්නවා...
ඒ ගැන රනාට තියෙන්නේ
හෙන සතුටක්...
හැබැයි උනුත් රනා වගේම තමා,
මාසෙටම බ්ලොග් පෝස්ට් 1යි.
උපරිම 2යි....
රනාගේ පළමු බ්ලොග් සටහනේ නම පෙරවදන.
ඒකෙදී රනාට බ්ලොග් ලිවීමට අතහිත දීපු හැමෝටම
රනා "රනා ලියන බ්ලොග්" පිළිගැන්වුවා...
ඒ කතාවත් කියවලා බලන්න.
එහෙනම්,
අවුරුද්දකුත් මාසයක් පුරාවට
රනා ලියන බ්ලොග්
කියවපු
කොමෙන්ට් කරපු
ෆලෝ කරපු
හැමොටම
රනාගේ ස්තූතිය.....
රනාගේ බ්ලොග් කෙරුවාවට ජයවේවා....
Saturday, May 22, 2010
මේ මම ගැන නෙමෙයි....

අන්තර්ජාලය තුළ ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකින් තමාව හඳුන්වාදිය/ හඳුන්වාගත හැක. ඒ කොම්පියුටරයක් ඉස්සරහ වාඩිවී ලියන තමන්ව අනිත්පස සිට එය කියවන පුද්ගලයාට නොපෙනෙන බැවිනි. ඒ අන්තර්ජාලයේ හැටි ය. කවුරුන් හෝ ඒ ගැන දුක්වන්නේ නම් ඔහු හෝ ඇය අන්තර්ජාලයට ඔබින්නෙක් නොවේ.
එකම නමක් පුද්ගලයින් කීප දෙනෙකුටම තිබීම අන්තිම සාමාන්‍යය දෙයකි. එය අපේ රටේ පමණක් නොව ලොව සෑම රටකම දක්නට ඇති දෙයකි. එහිද කිසිම ගැටළුවක් නැත. ගැටළුව වන්නේ ඒ ඒ පුද්ගලයින් කරන කියන දේවල් වලය. එකම නමින් යුත් පුද්ගලයින් කීපදෙනෙක් එක් තැනක සිටීනම් ඒ එක් එක් පුද්ගලයින්ගේ ක්‍රියාවන් එම නමම ඇති අනෙක් පුද්ගලයන්හටද සමපාත වීම එහෙමත් නැතිනම් අනිත් අයගේ එකවුන්ට් 1ට වැටීම නොවැළැක්විය හැක්කකි.
මෙච්චර වැල් වටාරම් ලියුවේ එක් කරුණක් පැහැදිලි කිරීමටය.
බියොන්ඩ් ෆ්‍රේම් විසින් ලියන ලද මේ ලිපියට "රනා" නමින් කවුරුන් හෝ කෙනෙක් කොමෙන්ට් කර ඇත. එහි කිසිම අවුලක් නැත. මා කළින් කීවාක් මෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම නමක් පාවිච්චි කිරීමේ නිදහස ඇති බැවිනි. එම කොමෙන්ටුවට උත්තර ලෙස හොඳ හිත සහ මල් මාමා කොමෙන්ට් කර ඇත. මෙම කොමෙන්ට් යුද්දය ජයටම කෙරී ඇත. ඒ අතරවාරයේ හොඳ හිත තවත් බ්ලොග් පෝස්ටයක් ලියා ඇත. ඒ මේ නමිනි. "එම්බල රනා ගනු කඩුව එව සටනට නැතහොත් මෙහි නොසිට පලායව..!" ලෙස එය නම්කර ඇත. හොඳ හිත එය ලියා ඇත්තේ ඔහු හා කොමෙන්ට් කළ "රනා" ට බව පැහැදිලිය. කෙසේ නමුත් මා දන්නා පමණින් 2009 ජූනි 23 සිට සිංහල සයිබර් අවකාශයේ "රනා" නමින් සිටියේ මා පමණි. එමනිසා ඉහත හොඳ හිත විසින් පළකළ බ්ලොග් පෝස්ටය කියවන පිරිස එහි කොමෙන්ට් කර ඇත්තේ මා බව සිතීම නොවැළැක්විය හැකි දෙයකි. නමුත් එහි කොමෙන්ට් කළේ මම නොවේ.
කීමට තවත් දෙයක් ඇත. රනා නම් වන මමද දේශපාලනය කරමි. ඒ ගැන වැඩි විස්තර මේ මේ ලිපිවලින් දැනගත හැක. නමුත් ඒ සයිබරයේ නොවේ. බිම් මට්ටමේය. කෙළින්ම කියනවානම් ජනතාව අතරට ගිහින්ය. මම කිසිදාක සයිබරයේ දේශපාලන සංවාදයන්ට සහභාගී නොවෙමි. ඒ මගේ හැටිය.
ජය වේවා...
Sunday, April 25, 2010
ස්තූතියි...
අවසන් බ්ලොග් සටහනයි මේ
කුමක් කියන්නද
කුමක් ලියන්නද
සතුටක් දැනේ
දුකක්ද දැනේ
ජීවිතේ හැටි එහෙමද?
බ්ලොග් ලියපු,
වතුර ගහපු,
චැට් කරපු,
පාළු කපපු
මෙකී නොකී මේ හැමෝටම
බොහෝමත්ම ස්තූතියි.
"රනා ලියන බ්ලොග්"
මැරතන් ලිවිල්ල
මෙතැනින් නිමයි.
ස්තූතියි...
නැද්ද මං අහන්නේ???
පුටුවක් උඩට වී සිටියෙමි
කිසිදාක නොකල විළසින්...
මා පමණක් නොව
තවත් සයිබර් සහෘදයින් බොහෝ දෙනෙක්
එළෙස කළ බව මම දනිමි...
බ්ලොග්කරණයේ අපූර්වත්වය එයයි
සැමදා විඳගමු මේ අසිරිය
හැමදාම නැතිවුනත්
අවුරුද්දකට සැරයක් හරි
මැරතන් 1ක්නම් දුවන්නම ඕනේගගග
නැද්ද මං අහන්නේ???
අපි එකම රෑනෙ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ
මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නේ අපි
අපේම ලොවකට පියඹා යන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ
අපි එකම රෑනෙ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ
තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව තුළ සැඟවෙන්න නොවේ
අපේම ලොවකට පියඹා යන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ