Tuesday, February 14, 2012

ඉවසපං !!!!! | STICK OUT !!!!!


තරුණ සංගීත කණ්ඩායමක් වන Draw Links විසින් ගායනා කරණු ලබන "ඉවසපං..." ගීතය පසුගිය දිනක යළිත් ලේඛකයා විසින් අසනු ලද්දේය. එම ගීතය නිකුත් කළ 2010 වසරේ සිට මේ දක්වාම එම ගීතය ලේඛකයා සාමාන්‍යයෙන් අසන ගීත ගොන්නේ තිබේ. එම ගීතයේ සංගීත සංයෝජනය හේතුවෙන් එසේ වෙන්නට ඉඩ ඇති බව ලේඛකයාගේ මතයයි. කෙසේ වෙතත් මේ සැරසුම එම ගීතය ඇසුරෙන් වර්ථමාන ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ ශෝකාන්තය ගෙනහැර දැක්වීමටය.

මෙම ගීතයේ ගේය පද රචකයා නිශ්චිතවම කිව නොහැක. කණ්ඩායම් ගීතයක් බැවින් ගේයපද රචනය, සංගීත සංයෝජනය සහ ගායනය යන මේ කරුණු ත්‍රිත්වයම එකී Draw Links සංගීත කණ්ඩායමේ පොදු ගිණුමට බැර වේ.

ලේඛකයාගේ අදහසට අනුව වර්ථමාන ශ්‍රී ලාංකීය තරුණයන්ගේ ඉච්ඡා භංගත්වය, සමාජය විසින් ඔවුන් කෙරෙහි ඇති කරන ලද පීඩනය, නියමාකාර අධ්‍යාපනයක් නොලැබීම,  තම අනාගතය අවිනිශ්චිතභාවයෙන් පිරී තිබීම වැනි කරුණු රාශියක් මේ ගීතයේ පදවැල් අතරින් යහමින් තෝරා බේරා ගත හැක. ඉතාම සරළ එමෙන්ම විශේෂයෙන්ම තරුණ පිරිස අතර බහුල වශයෙන් භාවිත වන එනම් "ඉලන්දාරි ශබ්ද කෝෂයේ" ඇති වචන බොහොමයක් මේ ගීතය තුළ අඩංගු නමුත් ඒ වචනවලින් ගීතයට ගෙන එන්නේ අමුතුම හැඩතලයකි. එමෙන්ම එකී වචන හේතුවෙන් ගීතයේ ගලායාමට හෝ එහි අර්ථයට කිසිදු ආකාරයේ අවැඩක් සිදුවී නැත යන්න ලේඛකයාගේ පෞද්ගලික මතයයි. ගීතයේ පදවැල් සියල්ල හරහා ගමන් කිරීමෙන් මේ බව උදාහරණ සහිතවම දැක්විය හැක.

ගීතයේ පළමු පද්‍ය පහත පරිදිය.

අවුරුදු දහනමයයි අපි තවම සුන්දරයි
ඉපදුණු දවසේ ඉදං වැඩ සින්දුවෙන් තමයි
ඒ ලෙවලුත් ඉවරයි අපි හිටියා වගේමයි
සිංදු හදනව හදනව හිට් වෙන්නෑ අයියෝ....

වයස අවුරුදු 19 යනු තාරුණ්‍යයේ එළිපත්තයි. ශ්‍රී ලංකාවේදීනම් පාසල් අධ්‍යාපනය හමාර කර තරුණ ප්‍රජාව සමාජයට මුහුවන්නේ මේ වයසේදීය. ඒ උසස් අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවක් කිරීමට යනුවෙනි. මෙහිදී "සුන්දරයි" යනුවෙන් අදහස් කරන්නේ ජීවිතයේ ඇති බරපතළ ස්වභාවය තවමත් අවබෝධ කර නොගත් බවයි. ඒ පිළිබදව තර්කයක් නැත. අගනුවර හෝ තදාසන්න ටවුන්වල වාසය කරනා සංඛ්‍යාවෙන් බොහෝ අධික තරුණ පිරිසක් අවුරුදු 19, 20, 21 වන තුරුම වාසය කරනුයේ දෙමව්පියන්ගේ වියදමෙනි. මෙය ඉහළ පාන්තික, ඉහළ මධ්‍යම පාන්තික සහ පහළ මධ්‍යම පාන්තික සමාජයන්හි බොහෝ විට දැකගත හැකි තත්වයකි. දෙමව්පියන් කන්න, අදින්න සියල්ල කෙසේ හෝ සපයා දෙනවිට තම ජීවිතය අතිශය සුන්දර යැයි සිතීමේ අරුමයක් ලේඛකයා දකින්නේ නැත. පද්‍යයේ සදහන් වන පරිදි "ඉපදුණු දවසේ ඉදං වැඩ සින්දුවෙන් තමයි" වුවද එය හරියට නොහැකි බව ඊළග පද දෙකෙන් පැහැදිලි කර දීමට ගේය පද රචකයා සමත් වේ. අ.පො.ස උසස් පෙළ විභාගය අවසාන වී ඇතිමුත් "හිටියා වගේමයි" යන්නෙන් අදහස් වන්නේ එයින් සාර්ථකත්වයක් ලැබ නැති බවයි. අවසාන පේළියේ එන "සිංදු හදනවා හදනවා හිට් වෙන්නෑ අයියෝ...." මගින් ඔවුන් මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න තත්වය පිළිබදව කරුණු පැහැදිළි කරයි.

නූතන ශ්‍රී ලාංකීය තරුණයාගේ කතාවද මීට සමාන වේ. අ.පො.ස උසස් පෙළට මුහුණ දෙන තරුණයන්ගෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේ අතිශයින් සුළු ප්‍රමාණයක් වන අතර සෙසු බහුතරය "හිටියා වගේම" වීම මෙම සමාජයේ සාමාන්‍ය තත්වයකි. එමෙන්ම තමන් කරනා කටයුත්තේ ඔවුන් අසාර්ථකවීමද නිරන්තරයෙන් සිදුවන්නකි. ගීතයේ පළමු පද්‍යයෙන්ම තමන්ගේ සත්‍ය තත්වය පිළිබද යම් තොරතුරක් ප්‍රකාශ කරනු ලබයි. උසස් අධ්‍යාපනයත් නොලබන, රැකියාවක් නොකරන තාරුණ්‍යය වෙත සමාජයෙන් ඇතිවෙන පීඩනය මේ මගින් දැකගත හැකි වේ.

මීලගට ඇත්තේ සමූහ ගායන කොටසයි. එහි වදන් පහත පරිදි වේ.

ඉවසපං, තව හිටපං, තව එකක් කරල බලමු
බැරිමනං හොයල බලලා හොද කොප්පක්වත් ගහමු
උදේ ඉදං හෙට එළි වෙනකං මේකට ගිටාර් ගහලා කියමු
පොට්ටෙටවත් හිට් උනොත් වීඩියෝ එකකුත් අපි කරමු....

මෙහි මුළුමනින්ම ඇත්තේ තරුණයක් පිරිසක් එකිනෙකා සනසා ගැනීමකි. තරුණ පිරිසක් එක්ව යම්කිසි කර්තව්‍යයක් ඉටුකර එය වැරදී ගියතැන හෝ අසාර්ථක වූ තැන එකිනෙකා සනසා ගන්නා වදන් මාලාව මෙහි මුල් පදයෙන් දැක්වේ. එමෙන්ම තරුණයන් තුළ පවත්නා කෙසේ හෝ "තමන්ට අවශ්‍ය කාර්යය කරගැනීමේ වේතනාව" දෙවන පදයෙන් දක්වයි. උනන්දුව හා කැපවීම ක්‍රියාවෙන් කෙසේවෙතත් වචනවලින් ඉතා විශිෂ්ඨ ලෙස ඉදිරිපත් කිරීම නූතන තාරුණ්‍යයේ සෝබන ගතියකි. එය තෙවන පදයෙන් මොනවට පැහැදිලි කරන අතර තමන් කරන කාර්යය පිළිබදව තමන්ටවත් නියමාකාර විශ්වාසයක් නොමැතිබව සහ ඒ මත ෆැන්ටසි නිර්මාණය කිරීමේ පොදු තරුණ ගතිය අවසාන පදයෙන් පෙන්නුම් කරයි. මෙහිදී ගීතය නිර්මාණය කිරීම සදහා එළිසමය ඇති කරන නමුත්, සාමාන්‍යයෙන් ගේය පද රචකයන් භාවියා නොකරන භාෂා විලාසයක් මෙම රචකයා භාවිතා කරයි. එය ඉතා නිර්භීත පියවරක් වන අතර යම්තාක් දුරකට සාර්ථක වී ඇති බව ලේඛකයාගේ මතයයි.

වර්ථමාන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයටද අවශ්‍ය ක්ෂණිකව සෑම දෙයක්ම සිදු කරගැනීමටය. ක්ෂණිකව ධනවතුන් වීමට, ක්ෂණිකව ප්‍රසිද්ධියට පත්වීමට යනාදී කරුණු සදහා ක්ෂණික මාර්ග සෙවීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යය බොහෝ විට සිදුකරයි. කාලයක් තිස්සේ යම් දෙයක් කර ඉන් මනා පරිචයක් ලබා ගැනුමට වඩා ක්ෂණිකව "පොරක්" වීමට බොහෝ දෙනා උත්සාහ කරයි. නමුත් ඒ ක්ෂණිකව අත්කරගන්නා පොරත්වය ක්ෂණිකවම නැතිවී යනබව නොවැටහීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අභාග්‍ය සම්පන්නභාවය පැහැදිළි කරයි. තමන්ගේ දෙයක් හරියන්නේ නැත්තං "මාට්ටු වෙන්නේ නැති විදියට කොප්පක් හරි ගැහීම" මෙය මනාව විද්‍යාමාන කරයි(කොප්ප ගැසීම යනු කොපි කිරීම යන වදනේ ඉලන්දාරි ඉදිරිපත්කිරීමයි). එමෙන්ම තමාට තමා පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැතිවීම සහ හැකිතාක් වෙන කෙනෙක් මත යැපීම, හැකි සෑම විටම ශේප් න්‍යාය අනුගමනය කිරීමට තරම් ආත්මාර්ථකාමීවීම නූතන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ගති ලක්ෂණයි. පද්‍යයේ දෙවන පදයෙන් මේ සියල්ල ඉදිරිපත්වේ.

සෙට් එකේ හයක් හිටියා දැං ඉන්නේ පස් දෙනයි
එදා ඉදං අපි හිටියේ වෙන වෙන ලෝකවලයි
වීඩියෝ කරන්න සල්ලිත් නෑ අපි පුංචි ළමයි
මේ සිංදුවවත් අපෙ හිට් වෙයිදෝ... වෙයිදෝ...


කණ්ඩායමක් නිශ්චිත අරමුණකින් තොරව කටයුතු කිරීමේදී එහි සාමාජිකයින් හැලී යාම පොදු තත්වයකි. පද්‍යයේ මුල් පද දෙකින් එම තත්වය පැහැදිලි කරයි. එමෙන්ම තමන්ගේ සත්‍ය තත්වය යම් තරමකට හෝ අවබෝධකරගෙන සිටිනු තෙවන පදයෙන් පැහැදිලි කරයි. නමුත්, තමන් යුගයේ ජනප්‍රියතම ගායන කණ්ඩායම වීමේ ෆැන්ටසිය සිත් තුළ හොල්මන් කිරීම නිරන්තරයෙන් සිදුවේ. ගීතයේ පරිදි අවසාන බලාපොරොත්තුව වන්නේ හොද නිර්මාණයක් කිරීම නොව සිංදුව "හිට්" කරගැනීමයි. එනම් ප්‍රසිද්ධවීමයි.

ගීතයෙන් ඉදිරිපත්කරනා මෙම තත්වය නූතන ශ්‍රී ලාංකීය තාරුණ්‍යය සමග සසදා බැලීමේදීද සමානකම් විශාල ප්‍රමාණයක් දැකගත හැක. කණ්ඩායමක් වශයෙන් එක්ව කටයුතු කරනා විටදී බොහෝවිට තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකරගැනීමට වෙහෙසීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යය ගිලගත් ශෝචනීය තත්වයකි. එම හේතුව නිසා කණ්ඩායමේ සාමාජිකයන් අතර විරසකයන් ඇතිවීම හා සාමාජිකයන් කණ්ඩායම හැරයෑම සාමාන්‍ය තත්වයකි. එමෙන්ම තමන්ට අවශ්‍ය ජීවිතය ගතකිරීම සදහා අවශ්‍ය සමාජ, ආර්ථික, සංස්කෘතික ශක්තිය නොමැතිවීමද ශ්‍රී ලාංකීය තාරුණ්‍යය හමුවේ ඇති ගැටළුවකි. ශ්‍රී ලංකාවේ බොහෝ තරුණයන්ට අවශ්‍ය හොලිවුඩ් හෝ බොලිවුඩ් චිත්‍රපටයන්හි පෙන්වන තරුණයන්ගේ හා සමාන ජීවන තත්වයකි. නමුත් සත්‍යයම තත්වය නම් ඒ සදහා අවශ්‍ය සමාජමය, ආර්ථිකමය, සහ සංස්කෘතිකමය ශක්තිය මෙරට සමාජය තුළ නොමැති වීමයි. මේ හේතුවෙන් ඉච්ඡාභංගත්වය ඇති වේ. "මෙහේ වගේ නෙමේ ජර්මනියේ හුළගත් සැපයි!!!" කියා බොහෝ තරුණ පිරිස් කෙසේ හෝ වළිකා විදේශ ගතවන්නේ මේ සමාජ, ආර්ථික, සංස්කෘතික රාමුවෙන් මිදී තමන්ගේ ෆැන්ටසියේ ඇති සමාජ, ආර්ථික, සංස්කෘතික රාමුවට අනුගතවීමටය. නමුත් එම කරුණේදී සාර්ථකවන්නෝ බොහෝ සුළු ප්‍රමාණයකි.

කෙල්ලෝ ගැන ලිව්වා අපි ආදරේ ගැන ලිව්වා
රැප් කරලත් කිව්වා කෙල්ලො දම්මවලත් කිව්වා
කෑ ගහලා කිව්වා හැම මගුල ගැනම කිව්වා
දැං බලපංකෝ චික් මේකෙත් උං ගැන කියලා...


තමන්ගේ සිහිනය එළිකරගැනීම සදහා දන්නා සෑම දෙයක්ම කිරීම ඉහත පද්‍යයෙන් මනාව ගම්‍ය වේ. "සිංදුවක් හිට් කරගැනීමට" සිදුකළයුතු සෑම දෙයක්ම සිදුකළත් "සිංදුව හිට් නොවීම" මෙහි ඇති ගැටළුවයි. තමා සතු සියළු උපක්‍රම අවසන්වුවත් තවමත් ප්‍රතිඵල රහිත වූ විට ඇතිවන ඉච්ඡාභංගත්වය මෙහි වචන වලින් මනාව ග්‍රහණය කරගත හැක.

නූතන තාරුණ්‍යය සමාජමය වශයෙන් මුහුණ දෙන ප්‍රධානම ගැටළුව මෙහි දක්වා ඇත. එනම් මොන දේ සිදු කළත් ඉන් නියම ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි වීමයි. වර්ථමාන තරුණයා පාසල් අධ්‍යාපනයෙන් පසු නොයෙක් දිශාවන්ට යොමු වුවත් ඉන් සාර්ථකත්වයක් නොලැබීම මෙහි විස්තර වේ. එමෙන්ම කාලයෙන් කාලයට තාරුණ්‍යය වසා ගන්නා රැළි හේතුවෙන්ද මේ තත්වය උදා වේ. උදාහරණයක් ලෙස මීට වසර කීපයකට ඉහත කාලයකදී පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු නීති ප්‍රවේශ විභාගය කිරීමේ රැල්ලක් විය. වර්ථමානයේ පරිගණක පාඨමාලා හැදෑරීමේ රැල්ලකි. එමෙන්ම හෝටල් කළමනාකරණ රැල්ලද තාරුණ්‍යය හරහා යමින් පවතී. මේ සියල්ල කළත් තරුණයා ඉන් කිසිවක කෙළවරක් දකින්නේ නැත. තමා යා යුතු දිශාව පිළිබද නිශ්චිත අරමුණකින් තොර ඔහු අතරමගදී වෙන රැල්ලකට හසුවී ගසාගෙන යාම සිදුවේ. අවසානයේදී "නොකරපු දේකුත් නැති, පුළුවන් දේකුත් නැති" ඉච්ඡාභංගත්වයෙන් පිරි පුද්ගලයෙක් සමාජයට පැමිණෙන අතර මොනවා හෝ දෙයක් සිදුකර ජීවත් වීම ඔහු සිදුකරයි. තමන්ට කියා ස්ථිර දැක්මක් නොමැතිවීම හෝ එවන් දැක්මක් සදහා තමන්ව යොමුකරනා නායකත්වයක් නොමැතිවීම මේ අර්බුධයට ප්‍රධානතම හේතුව වේ. ශෝචනීයම කරුණනම් ශ්‍රී ලාංකීය තාරුණ්‍යය  මේ ගැටළුවේ කරවටක් එරී සිටීමයි.

ඉදල ඉදලා කොහෙට හරි අපි සෙට් වෙනවා
කකා ඉදලා ඉදත් පිස්සු නටලා යනවා
දවසක් රෑ නමයට මම මේ සිංදුව ලිව්වා
කෝල් කරල මේ සිංදුව සෙට් එකටම කිව්වා


තමන් ස්ථිර අරමුණකින් තොරව ඉබාගාතේ සැරිසරණා බව මෙම පද්‍යයෙන් දක්වයි. "ඉදල ඉදලා කොහෙට හරි අපි සෙට් වෙනවා, කකා ඉදලා එදත් පිස්සු නටලා යනවා" යන දෙපදෙන් එය පැහැදිලි වේ. ප්‍රසිද්ධවීමට, ජනප්‍රියවීමට තමන් ඉතාමත්ම කැමති නමුත් ඒ සදහා අවශ්‍ය කැපවීම සිදුකිරීමට තමන් අකමැතිවීමද මේ අතරම පෙන්නුම් කරයි.

නූතන තාරුණ්‍යයද මේ ව්‍යාධියෙන්ම පෙළෙයි. ඉක්මනින් ධනවත්වීමට, ප්‍රසිද්ධවීමට දැඩි ආශාවක් ඇතිමුත් ඒ සදහා අවශ්‍ය කැපවීම සිදුකරන්නෝ ඉතා අල්පයකි. බොහෝ විට සිදුකරන්නේ එළෙසින් කැපවීමෙන් කටයුතු කරනා කෙනෙකු දුටු විට එම පුද්ගලයාවද අධෛර්යයට පත් කරවන සිදුවීම් සිදු කිරීමයි. බොහෝ තරුණ තරුණියන්ද මෙළෙසින් හැසිරීම අභාග්‍යයට කරුණකි. එමෙන්ම රැකියා ස්ථානයන්හිදී තමාගේ හෝ ආයතනයේ හෝ ඉදිරි දියුණුවක් පිළිබදව අවධානය යොමු නොකොට රැකියාවට යා යුතු හෙයින් යනෙන ලෙසට සිටින තරුණ පිරිස්වලින්ද මෙරටට අඩුවක් නැත. පෞද්ගලික අංශයේදී මේ තත්වය යම්තාක් දුරට අවම වුවත් රාජ්‍ය අංශයේදීනම් මේ කරුණ පිළිබදව ඕනෑ තරම් උදාහරණ දැක්විය හැක.

ශ්‍රී ලාංකීය තාරුණ්‍යය වර්ථමානයේදී මුහුණ දී ඇති ගැටළු සදහා වන සම්පූර්ණ වගකීම ඔවුන් මතම පැටවීම කිසිසේත් යුක්ති සහගත නොවේ. 1970 දශකයේ මුල සිටම තාරුණ්‍යය මෙම ගැටළු වලින් පීඩනයට පත්වූ අතර එකී පීඩනය ඔවුන් මුදාහරින ලද්දේ රාජ්‍ය බලය පැහැර ගැනීම සදහා වන සන්නද්ධ අරගල දෙකක් මගිනි. එම ක්‍රමය මුළුමනින්ම අසාර්ථක වූ අතර සිදුවූ එකම කරුණ වූයේ විශාල තරුණ ජීවිත ප්‍රමාණයක් රටට අහිමිවීම  සහ රටේ ජන ජීවිතය අඩාල වීම පමණි. එකී සන්නද්ධ අරගලයන්ගෙන් පසුව බලයට පැමිණි රජයන්ද තාරුණ්‍යයේ උන්නතිය වෙනුවෙන් දැනෙන යමක් සිදු නොකළ අතර සිදු කළ එකම දෙය වූයේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවාගැනීම සදහා තාරුණ්‍යය බළල් අතක් කරගැනීම පමණකි. එකී සේවයට කළගුණ සැළකීමක් ලෙස රැකියා ලබාදීම සිදුකළ අතර වර්ථමානයේ බිහිවී ඇති මුළුමනින්ම අදේශපාලනික ආත්මාර්ථකාමී තාරුණ්‍යය එකී ක්‍රියාදාමයේ ප්‍රතිඵලය වේ. වර්ථමාන සමාජ ආර්ථික රටාව අනුව මෙම ක්‍රමය පෙනෙන තෙක්මානයේදී වෙනස් නොවන අතර තාරුණ්‍යය ගිලගෙන ඇති ගැටළුද සදාකාලිකව එළෙසම පවතිනු ඇතැයි ලේඛකයා විශ්වාස කරයි. තමන්ට සාධාරණයක් ඉටුකරගැනීමට තාරුණ්‍යයට අවශ්‍යතාවයක් නොමැති අතර වෙන කවුරුන් හෝ එය ඉටුකර තමන් වෙත එය ගෙන දෙනවාට ඔවුන් දැඩි ප්‍රියතාවයක් දක්වයි. සැබෑ කරුණ නම් වර්ථමාන තාරුණ්‍යයට තමාගේ සහ අනෙකුත් තරුණයන්ගේ අරමුණු වෙනුවෙන් පාරට බහිනවාට වඩා සවසට ගෙදර පැමිණ Facebook එකේ status update කිරීම සහ photo එකක් share කිරීම වැදගත් හා අත්‍යාවශ්‍ය වීමයි. අනෙකාට කුමක් සිදුවුවත් තමාගේ කාර්යය කෙරේනම් කමක් නැතැයි සිතන තරම් ආත්මාර්ථකාමී ස්ථානයකට තාරුණ්‍යය තල්ලුවී යෑම කෙතරම් අභාග්‍යසම්පන්න සිදුවීමක්ද?

Draw Links සංගීත කණ්ඩායම ගායනා කරන ඉහත ගීතය ලේඛකයාගේ සිත් ගැනීමට තවත් ප්‍රධානතම හේතුවක් නම් එහි උපයෝගී කරගෙන ඇති වේග රිද්ම සංගිතයයි. වේග රිද්ම වුවද එම සංගීතය මනාව පාලනය කිරීම හේතුවෙන් කොපමණ හඩ උස්කර ශ්‍රවණය කළත් එම ගීතයෙන් කණට අපහසුතාවයක් ඇතිවන්නේ නැත (ලේඛකයා මෙහි සදහන් කරන්නේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමයි. මෙය පුද්ගලානුබද්ධව වෙනස් විය හැක). එමෙන්ම මෙම ගීතයේ ශක්තිය(weight) ඉතා ඉහළ වන අතර මෙම ගීතය ශ්‍රවණය කරනා විට එය මනාව ශරීරයට දැනීමද සිදුවේ. එමෙන්ම මෙම ගීතය සදහා නිර්මාණය කර ඇති වීඩියෝවද ගීතයේ රිද්මයටම අනුකූල වන ලෙස නිර්මාණය කර ඇති අතර ගීතයෙන් ශරීරයට ලබා දෙන ප්‍රවේගය එළෙසින්ම වීඩියෝවෙන්ද ලබාදීම හෝ තීව්‍ර කිරීම සිදුකරයි. ඒනයින් බලන කළ ජනප්‍රිය වීම කෙසේ වෙතත් නිර්මාණාත්මක අතින් මේ ගීතය සාර්ථකය.

නූතන ශ්‍රී ලංකාවේ පවතින සමාජ, ආර්ථික, දේශපාලන තත්වය හේතුවෙන් ඉච්ඡාභංගත්වයට, අපේක්ෂාහීනත්වයට පත්ව සිටින තාරුණ්‍යය පිළිබදව කෙරෙන මනා විවරණයක් සහිත විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස මෙම ගීතය ලේඛකයා වර්ග කරයි. සැබැවින්ම තාරුණ්‍යය මුහුණ දී ඇති ගැටළු මේ තරම් සාර්ථකව විග්‍රහ කරනා වෙනත් ගීතයක් 2000 දශකයේදීම ලේඛකයාට හමුවී නැත. නූතන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට ඇති බොහෝ ගැටළු මේ ගීතය මගින් ස්පර්ශ කර ඇති අතර එය කොපමණක පිරිසක් වටහාගත්තාදෝ යන සැකය ලේඛකයා තුළ ඇත. තමන් දකින අනතුරක් පිළිබදව සමාජය දැනුවත් කිරීම සමාජ මෙහෙවරකි. මේ ලිපිය ලියැවුනේ එකී සමාජ මෙහෙවර ඉටුකිරීම වෙනුවෙන්මය.