Saturday, April 24, 2010

චීන උපමා කතා I

ලෝක ශිෂ්ඨාචාරයේ චීනයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. චීන ජාතිකයින් සතුව ඈත අතීතයේ සිටම රැගෙන ආ දියුණු ජන සාහිත්‍යයක්ද විය.
චීන ජන සාහිත්‍යයෙහි උපමා කතාවලට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. පැරණි චීන ජන සාහිත්‍යකරුවා ජීවිතය දෙස බැලුවේ කිසියම් ගැඹුරකින් මෙන්ම උපේක්ෂා සහගත හැගීමකින්ද යුතුවය. චීන සාහිත්‍ය කෘතීන් බොහොමයක කිසියම් ගැඹුරු අරුතක් ස්වනිත කරවන ජීවන දර්ශනයක් විදහා දැක්වෙන්නේ එම නිසාය.

හාස්‍යය මුසුවූ උපහාසය චීන උපමා කතාවල අනිවාර්ය අංගයක් විය. මෙනිසාම සමාජ අසාධාරණයන් හා සමාජ විෂමතාවයන් කෙරෙහි මෙන්ම ඒවා ජනිත කරවන පුද්ගලයන් සහ ආයතන කෙරෙහිද කෝපයෙන් ද්වේශයෙන් නොව හාස්‍යය මුසුවූ උපහාසයෙන් බැලීමට චීන උපමා කතාකරුවාට හැකිවිය.

තමාගේ බහුශ්‍රැත බවත්, වාග් චතූර්යයත් කතිකත්වයත් උපමා කතාවලින් පැවසූ සාහිත්‍යකරුවන් අතරින් ලෙයි ට් සූ චූ, ටෙක්ට්සු තුන්, පිට්සු ලූ පුවේ, ලාඩට්සේ, සින්පාට් ආදීන්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

අන්තිම පාඩම

චාන්ග් චුන්ග් අසනීප වී සිටින බව ලාඕට්සේට දැනගැනීමට ලැබුණි. ඔහු තම ගුරුවරයා බැලීමට ගියේය. ගුරුවරයා ජීවිතයේ අවසානයට සමීපව ඇතිබව දැනගත් සිසුවා තම ගුරුවරයා මියැදෙන්නට පෙර අන්තිම අවවාදයක් ලබන්නට සිතා යහන අසලට සමීප වී "ගුරුතුමානනි, ඔබගේ කීකරු ශිෂ්‍යයා පැමිණ සිටී. ඔහුට අවසාන වශයෙන් දෙන අවවාදය කුමක්ද?" යි ඇසීය.

චාන්ග් චුන්ග් හිස ඔසවා ලාඕට්සේ හඳුනාගෙන මෙසේ ඇසීය.

"කෙනෙක් තම පැරණි ගමට එනවිට රථයෙන් බැසිය යුතුයැයි සිරිතක් පවතී. එහි තේරුම මොකක්ද?"

"එම සිරිතෙන් අපි අදහස් කරන්නේ තම උත්පත්තිය අමතක නොකළයුතු බව නොවේද?"

"ඔබ නිවැරදියි. එසේනම් කිසිවෙක් උස් ගසක් යටින් යද්දී දිවිය යුතුයැයි යන පැරණි කියමනෙන් කුමක් අදහස් කරන්නේද?"

"එයින් කියැවෙන්නේ අප වැඩිහිටියන්ට ගරු කළයුතු බවයි."

"දෙවෙනි වරටත් ඔබ නිවැරදිය. දැන් මගේ දිව තිබේදැයි බලන්න", චාන්ග් චුන්ග් තම මුව විවර කොට ලාඕට්සේට දැක්වීය.

"එසේය තිබේ"

"දත් තිබේද?"

"නැත"

"දිව තිබියදී දත් පමණක් වැටෙන්නට හේතුව කුමක්දැයි කිව හැකිද?"

"දිව වැඩි කාලයක් පවතින්නේ එය මුදු නිසාය. දත් ඉක්මනින් වැටෙන්නේ ඒවා තද නිසාය"

චාන්ග් චුන්ග් තෙවන වරටත් තම ගෝලයා ගැන සතුටු විය. ඔහුගේ අතගෙන, "ඔබ දැන් ලෝකය පිළිබදව හැම ප්‍රතිපත්තියක්ම දනී. එබැවින් අලුතින් ඉගැන්වියයුතු යමක් නැත" යි කීය.

2 comments: