Saturday, April 24, 2010

තට්ටයේ මහිමය II

තට්ටයේ මහිමයේ මුල් කොටස කියවූ ඔබට මෙන්න එම ලිපියේ දෙවන කොටස.

තට්ට හිසෙන් ඔබට වෙන අවාසි.

1. ඔබේ දෙකන් ඔබට නොගැලපෙයි නම් ඒවා වසාගැනීම අසීරුය.
2. ඔබේ හිස කැසීමට සිදුවෙනවායැයි සිතන්න. එවිට නොදැනුවත්වම ඔබ තට්ටය කසන බැවින් පිටතට ඔබව පෙනෙන්නේ විහිලු කාරයෙක් ලෙසය.


ඔබට සිදුවෙන වාසි.

1. යමෙක් හදිසියේම ඔබව හමුවීමට පැමිණියහොත් ඔබට කිරීමට ඇත්තේ ටයි පටිය සැකසීම පමණි.
2. එය ඉතා පිරිසිදුය. අනලස්ය.

අප නිතරම තට්ට හිසැති ව්‍යාපාරිකයින් ගැන සිතුවත් ව්‍යාපාරික ලෝකයේ ඉදිරියට යෑමට අදහස් කරන පිරිමින් තට්ටය පෑදීම වළක්වා ගැනීම නුවණට හුරුය. මීට කදිම නිදසුනක් වන්නේ උතුරු කැරොලිනාවේ වෙළද සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා මුඩු හිසැති සේවා නිලධාරීන්ට බොරු කොණ්ඩා පැළදීමට අණ කිරීමයි. මින්පසු සිදුවූයේ සිතාගැනීමටත් අසීරු දෙයකි. එනම්, වෙළදාම අපේක්ෂා නොකළ ලෙසට වැඩිවීමය.

තට්ටය පෑදීම වළක්වාගැනීමට ක්‍රමයක් තිබේද? බ්‍රිටැනිකා විශ්ව කෝෂයේ එකී ප්‍රශ්නයට කෙළින්ම පිළිතුරු සපයා ඇත. තට්ටය පෑදීම වැළැක්වීමට කිසිදු ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් නොමැත. එම පිළිතුර කෙසේවෙතත් විවිධ කාලවල විවිධ ප්‍රතිකාර ක්‍රම මේ සඳහා යොදාගෙන ඇත.

ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ තට්ටය පෑදීමට පටන් ගත්තේ වයස 23 දීය. වරක් ඔහු රුසියාවේ සාර් රජු මුණගැසුනේ යුරෝපයේ අනාගතය පිළිබදව සාකච්චා කිරීමටය. නායකයින් දෙදෙනාගේ මෙම සාකච්චාව කෙළවර වූයේ තට්ටය පෑදීම වැළැක්වීමට නවතම ඖෂධ ගැන කතාවකිනි. වසර 4000ක් පැරණි ඊජිත්තු බෙහෙත් වට්ටෝරුවක තට්ටය පෑදීම වළක්වාගන්නා ඖෂධය සාදාගන්නේ මෙසේය.
සිංහයෙකුගේ, හිපපොටේමසෙකුගේ, කිඹුලෙකුගේ, පාත්තයෙකුගේ, නරයෙකුගේ හා එලුවෙකුගේ මේද පටක මිශ්‍ර කිරීමෙනි.
තවත් ප්‍රතිකාර ක්‍රමයක් නම්, බල්ලෙකුගේ ගාත්, රට ඉඳි හා බූරුවෙකුගේ කුර මිශ්‍ර කර සාදාගත් ඖෂධ හිසේ ගැල්වීමයි.

හිප්‍රොක්‍රටීස් මුඩු හිසැයි වෛද්‍යයවරයෙක් විය. ලිලී හෝ රෝස මලේ සාරය ඕපියම් සමග මිශ්‍ර කර, එය වයින් අමු ඔලිව් තෙල් හෝ ඇකේෂියටා යුෂ සමග මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය හිසකෙස් වැටීම පාලනය කිරීමට නියම කරන ලදී.

සර්පයෙක් තම්බා ලැබෙන දියරය තට්ටය පෑදුන ස්ථානවල ගැල්වීමෙන් එය වළක්වා ගතහැකි බවට පළමු සියවසේදී මතයක් විය.

මෑතක සිට දිනපතා හිසට කළයුතු ව්‍යායාම වෛද්‍යයවරු අනුමත කර ඇත. හිස සම්බාහනය කිරීම, සූර්ය ප්‍රතිකාර ක්‍රම, හිස්වැසුම් පැළදීමෙන් වැලකීම, දිනකට 100වරක් තට්ටය පීරීම ඒවාගෙන් සමහරකි. මෙයින් කුමක් කළත් ලැබෙන ප්‍රතිපල පිළිබඳවනම් සෑහීමකට පත්විය නොහැක. මේ ගැන පැවසෙන කදිම ප්‍රස්තාව පිරුළක් බෙල්ජියමේ තොංගෝ ජනවහරේ ඇත.

"තට්ට හිසැති මිනිහෙක් කොච්චර උත්සාහ කලත් ඔහුට කිසිසේත් නැවත කොණ්ඩය වැවිය නොහැක".

නිමාලි ද සිල්වා
මුතුහර සගරාව
1998 මැයි

මෙම ලිපිය උපුටාගන්නා ලද්දේ 1998 මැයි මස පළවූ මුතුහර සගරාවෙනි.

No comments:

Post a Comment