Saturday, April 24, 2010

තට්ටයේ මහිමය I

රනා කියෝපු කතාවක් ගෙන එන්නයි මේ සූදානම. මේ කතාව කියෙව්වේ 1998 මැයි මාසේ මුතුහර සගරාවෙන්. ලියලා තියෙන්නේ නිමාලි ද සිල්වා කියන ලේඛිකාව. එහෙනම් කොණ්ඩේ තියෙන අයයි, නැති අයයි, හැමෝම කියවන්නකෝ තට්ටේ ගැන.

හිසේ කෙස් නොමැතිවීම බොහෝ දෙනා සලකන්නේ අභාග්‍යයක් ලෙසයි. නමුත් මුඩු හිසේ ගුප්ත සුන්දරත්වයක් ඇති බව බොහෝ දෙනා නොදනිති.

"අතීතයේ එක් දිනක සැම්සන් නම් පුද්ගලයෙක් ජීවත් විය. අශ්වයෙක් සේ ශක්තිමත් ඔහු මිනිසුන් දහසක් ගිල දැමුවේ ඇඟට පතට නොදැනීය. නමුත් ඩෙලයිලා නම් රජු සැම්සන්ගේ හිසකෙස් කපාදැමීමෙන් පසු ඔහු ක්‍රම ක්‍රමයෙන් පිරිහෙන්නට විය. පසුකලක ඔහුට කුඩා කුකුලු පැටවෙකුවත් ගිලගැනීමට තරම් ශක්තියක් නොවීය." පුරාවෘතයක එන ඉහත සිදුවීම ඇත්තක් හෝ බොරුවක් හෝ වුවත් මුලින්ම හිසකෙස් ගැලවී යනවිට මිනිසුන් ක්‍රියා කරන්නේ එක්වරම විශාල ජවයක් ලැබුනා සේය. වෛද්‍යයවරුන් මෙම තත්වය හදුන්වන්නේ alopecia (ඇලොපීසියා) යනුවෙනි.

මීට වසර කීපයකට පෙර තට්ටය පෑදුන මගේ මිතුරෙක් අකලට පැසී ඇති මගේ හිසකෙස් ගැන අවඥා සහගතව විහිලු කළේය. මා එයට පිළිතුරු දුන්නේ කෙස් පැහෙන 1 හොඳයි ගැලවෙනවාට වඩා යනුවෙනි. එම පිළිතුර දුන් මම ඒ වෙලේ වීරයෙකු මෙන් සිටියත් එහි පළවිපාක දැන් විඳින්නෙමි. එනම් මගේ හිසකෙස් අකලට සුදු වෙනවා පමණක් නොව දැන් හැලී යන්නටද පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් මෙම ලිපියෙන් මම පහදා දීමට උත්සාහ කරන්නේ මුඩු හිසක් ගැන ඔබේ ඇති ආකල්ප බොහෝ විට වැරදි වියහැකි බවයි.

ලිංගික එක්වීම මගින් හිස මුඩුවේ යැයි ඇරිස්ටෝටල් සිතුවේය. සමහර පූජකවරු පැවසුවේ දෙවියන්වහන්සේ තෝරාගත් කීපදෙනෙකුට ආගම් ප්‍රචාරය කිරීමෙහි යෙදෙන ලෙස ඇඟිල්ල දිගුකොට අණ කළ බවයි. දෙවියන්වහන්සේ එසේ තෝරාගත්තවුන්ගේ හිස් ස්පර්ශ කළ ස්ථානයේ තට්ටය පෑදෙන බව ඔව්හු වැඩිදුරටත් තර්ක කළහ.

මනෝ විද්‍යාඥයින් දෙදෙනෙක් කළ පර්යේෂනවලින් හෙලිවී ඇත්තේ සිනහව තට්ටය ඇතිකරන සතුරු බලවේගය බවයි. හිසේ මාංශ පේශීන් ක්‍රියාකිරීම පාලනය කරන්නේ මුහුනේ සිට දිවෙන ස්නායුවේ ශාඛා වලිනි. ඔබ සිනාසෙන විට හෝ බුම්මාගෙන සිටින විට පේශී දැඩිවෙයි. මේ නිසා හිසකෙස්වලට ඇති රුධිර සැපයුම අඩාලවෙයි. නිසි පෝෂණය නොලැබෙන හිසකෙස් හැලී යයි.

නමුත් සාම්ප්‍රදායික වෛද්‍යය විද්‍යාවට අනුව හිසකෙස් සම්පූර්ණයෙන්ම හැලී යන්නේ වෙනත් හේතු නිසා වේ. තාවකාලික කරුණු නිසාද මෙම තත්වය ඇතිවිය හැක. එනම් අධික උණ, ශල්‍ය කර්මයකට භාජනය වීම, දරු උපතක්, එක්වර බරෙහි විශාල අඩුවීමක් හා මානසික ආතතිය වැනි කරුණු මීට බලපායි. තට්ටය පෑදුන අයගෙන් 95% කටම වෛද්‍යයවරු හේතු දක්වන්නේ එය පිරිමින්ට ආවේනිකවූ හිසකෙස් හැලීයාමක් ලෙසයි. තට්ටය පෑදීමට ඉතාමත් නිවැරදි හේතුවක් දැක්වීමට තවමත් නොහැකිවී තිබේ. නමුත් පැහැදිලි ලෙසම යාන්ත්රණ 2ක ක්‍රියාකාරීත්වය මීට හේතුබව පැවසුවොත් නිවැරදිය. එනම් ආවේනික හේතු සහ ඇන්ඩ්රෝජන නම් පුරුස හෝමෝනයේ බලපෑමය. මින් අදහස් වන්නේ පවුලේ තට්ටය පෑදීමේ ලක්ෂනය පවතීනම් ඕනෑම පිරිමියෙකුට එම තත්වය උරුම වන බවයි.

තට්ටය හෙවත් Bald යන්න ඉංගිරිසි බාසාවට එක්වී ඇත්තේ මධ්‍යතන යුගයේදීය. එය ඉංගිරිසියෙන් Balled හෙවත් සුදු හිස පෙදෙස් යන පදයෙන් බිදී ආ බවට අනුමාන කළ හැක.

පහළොස්වන සියවසෙහි විසූ විලියම් කැන්ස්ටන් නම් ලේඛකයා සිය ලිපියක "ජූලියස් සීසර්ගේ තට්ටය පෑදුන පසු ඔහු සිටියේ මහත් පසුතැවිල්ලෙනි" යන්න සදහන් කර ඇත. මුල් යුගයේ තට්ටය පෑදීම අවඥාවට ලක්වුන අතර එය මහලුවියට එළඹි බවට දක්වන්නට පෙර නිමිත්තක් ලෙස සලකනු ලැබීය.

"ඔබේ හිසකෙස් සියල්ල අංකනය කර ඇත." බයිබලයේ එන මෙම වැකිය පවසන්නේ මැතිව් ය. මැතිව්ගේ මෙම කියමන නියම පදනමක් සහිතය. කලු හිසකෙස් ඇති කෙනෙකුට සාමාන්යයෙන් හිසකෙස් 1,000,000ක් පමණ ඇත. සුදු පාට කෙස් ඇත්තවුන්ට ඊට මදක් වැඩි ගණනක් ඇත. නමුත් රතු හිසකෙස් ඇත්තන්ටනම් ඇත්තේ ඊට වඩා අඩු හිස කෙස් සංඛ්‍යාවකි. ඔබට වුවත් මෙහි ඇත්ත නැත්ත පරික්ෂා කර බැලිය හැක.

අප සමාජයේ කොපමණ මුඩු හිස ඇත්තවුන් සිටීද යන්න තවමත් නිශ්චිතව සොයාගෙන නැත. මෙයට හේතුව ලෙස දැක්විය හැක්කේ තට්ටය පෑදීමට පටන්ගන්නා මොහොත නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වීමයි. තට්ටය පෑදීමේ ක්‍රියාවලියේදී ඒ බවට කෙරෙනා මුල්ම ඉඟිය හිස පිටුපස හිසකෙස්වල ඝනත්වය තුනී වීමට පටන් ගැනීමයි. මෙය සමහරවිට හිසේ සෙසු ප්‍රදේශ වලින් වෙනස් වූ තිතක් ලෙස දිස්වේ. පස් දෙනෙකුගෙන් එක් අයෙකුගේ තට්ටය පෑදීම ආරම්භ වන්නේ අවුරුදු විසිගණන්වලදීය. තවත් පහෙන් 1කගේ හිසකෙස් අඩුවීමක් දක්නට නොලැබේ. අනෙක් තුන්දෙනාගේද කල්යාමේදී තට්ටය පෑදීමට ලක් වේ. සමහර කාන්තාවන්ගේද සැළකියයුතු හිසකෙස් ප්‍රමාණයක් වැටීයාම දක්නට ලැබේ. කාන්තාවන් 15% ආර්තවයට පෙර හිසකෙස් හැලීම ඇරඹේ. ආර්තවයට පසු 50% කගේ හිසකෙස් හැලීම සිදු වේ. මීට හේතුව වන්නේ ආර්තවයට පසු සමයේදී සිරුර නිපදවන ඇන්ඩ්රෝජන් ප්‍රමාණය වැඩිවීමයි. නමුත් කාන්තාවන්ගේ තට්ටය සම්පූර්ණයෙන්ම පෑදෙන්නේ කළාතුරකිනි.

1947 බටහිර වර්ජිනියාවේ විසූ R.J විල්කින්ස් නම් නගර සභිකයාගේද තට්ටය පෑදී තිබුණි. ඔහු කරණවෑමියන්ට තට්ටය පෑදුණු පුද්ගලයින්ගේ කොණ්ඩය කැපීමේදී සම්පූර්ණ ගාස්තුව අයකළ නොහැකිය යන නීතිය පැනවීමට උත්සාහ කළේය. නමුත් එය අසාර්ථක විය. මේ කාලයේ විසූ එක් කරණවෑමියෙක් තම බාබර් සාප්පුව අසලින් ගමන්ගත් තට්ටය පෑදුන පුද්ගලයින්ට මෙසේ පැවසීය. "එන්න ඇතුලට, ඒත් ඔයාට නම් තවත් නැතිවෙන්න හිස කෙස් නෑනේ".

සමහර කරණවෑමියෝ අන් අයව රැවටිය හැකිසේ කොණ්ඩය සැකසීමේ (Illusion Styling) දක්ෂයෝය. මෙයින් අදහස් කරන්නේ කෙනෙකුගේ හිසකෙස් පිටතට පුම්බා තට්ටය පෑදුන පෙදෙස් වසා දමා කලාත්මකව කොණ්ඩය සැකසීමයි. නමුත් මෙය පවතින්නේ එම පුද්ගලයා කිඹුහුම් නොඅරින තෙක් පමණි.

මා විසින් පවත්වන ලද නිල නොවන එමෙන්ම විද්‍යාත්මක නොවන පර්යේෂනයකට අනුව බොහෝ දෙනා තට්ටය සිත් ඇදගන්නා සුලු දෙයක් නොවන බව සිතූහ. ඇත්ත වශයෙන්ම තට්ටය නිසා කෙනෙක් සිනහ උපදවනසුලු වෙයි.

තෝමස් ඩෙකර් නැමැත්තා තට්ටය ගැන මෙසේ පවසා ඇත. "තට්ටය කොතරම් අවලස්සනද? හරියට නාසය ඕනෑ මුහුණක් වගෙයි..." එසේ වුවත් මගේ නිල නොවන සමීක්ෂනයෙන්ද තට්ට හිසැති පුද්ගලයෙක් සමග සමීප ඇසුරක් පවත්වන කාන්තාවකගෙන් ඇසූ ප්‍රශ්නයකට මට ලැබුනේ වෙනස් පිළිතුරකි. ප්‍රශ්නය මෙසේය. "ඔයා හිතනවාද තට්ට මිනිස්සු ලිංගිකත්වය අවුස්සනවා කියලා?". "ඇත්තෙන්ම මට ලේඩ් හමුවෙනකම් මම එහෙම හිතුවේ නෑ..." ඇය පැවසුවාය.

ඉතිරි කොටස ඊළග පෝස්ට් 1න් බලාපොරොත්තුවන්න.

1 comment:

  1. ane ban mata mekata (blog marathon) enna bari unaa welasanin . . .. dan nidi matai heta wadata yananth ona . . samawenna ona kastiya hariya

    ReplyDelete