Saturday, April 24, 2010

ගෙදර උදවියගේ ලිනක්ස් භාවිතය

මීට පෙර දවසක ලියූ "වයිරස්, වයිරස් ගාඩ් සහ කාලය ~ I Mean Time" යන ලිපියට අපේ හිතවත් සරදියෙල් ලියූ කොමෙන්ටුවක් දැක මෙම ලිපිය ලිවීමට සිත් විය. අපේ ගෙදර මිනිස්සු සහ ඔවුන්ගේ ලිනක්ස් පාවිච්චිය ගැන මා ලිපියක් ලිවීමට සිතා සිටියේ මීට සෑහෙන්න කලකට කළිනි. නමුත් දවසින් දවස එය අතපසු විය. අද ලියමි.

රනාගේ ලිනක්ස් භාවිතය ගැන මෙතන කතා කරලා තේරුමක් නැහැ. කොටින්ම කියනවානම් රනාගේ සමීපතම මිතුරන් සමහර වෙලාවල්වලට රනාට තමන්ගේ කොම්පියුටරේ ඕන් කරන්නවත් දෙන්නේ නෑ (මේ දේවල් දන්නෝ දනිති). කොහොම උනත් කොම්පියුටරයක් එක්ක රනා කරන ගනුදෙනු වලින් 95%ක්ම වගේ වෙන්නේ ලිනක්ස්වලදී තමා.

රනාගේ මල්ලී

රනාගේම එක කුස උපන් සොහොයුරා නොවුනත් දැනට වසර 2කටත් වැඩි කාලයක සිට මොහු වාසය කරන්නේ රනාගේ නිවසේය. මොහු තමන්ගේ එදිනෙදා කොම්පියුටර් කටයුතුවලින් කීපයක් හැර අනෙත් හැම එකක්ම කරන්නේ ජනෙල් මත ඉදගෙනය. ඇත්තෙන්ම කියනවානම් රනාගේ මල්ලී ලිනක්ස් මත සිට කරනා එකම වැදගත් වැඩේ "ටොරන්ට්" මගින් පිචර් බෑමය. ඔහු කියනා ආකාරයට උබුන්ටු සමගින් එන "Transmission BitTorrent Client" 1 තරම් හොද ටොරන්ට් software 1ක් තවම ඔහුට හමුවී නොමැත. මීට අමතරව ඔහු ආරක්ෂිතව file copy කිරීමටත් ලිනක්ස් පාවිච්චි කරයි. පාවිච්චි නොකරම ඉන්නවාට වඩා ඔහොම හරි ලිනක්ස් පාවිච්චි කරන 1 ගැන රනාට ඇත්තේ අප්‍රමාණ සතුටකි.

රනාගේ නංගී

උග්‍ර ජනෙල් වාදියෙකි. ලිනක්ස් අරහංය. මැයට ලිනක්ස් ඉගැන්වීමට රනා අසාර්ථක උත්සාහයන් කීපයක්ම දැරුවේය. නමුත් ඒ සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් විය. සමහරවිට මැය ලිනක්ස්වලට මෙච්චර අකමැති රනා එය කියලා දෙන්නට යාම නිසා විය යුතුය. නංගිලාගේ හැටි කොහොමත් ඔහොමය. ඉඳලා හිටලා දවසක (අවාරේට අඹ වැටෙන්නාක් මෙන්) ගිනිනරියා පිටේ තුරුදැලේ සංචාරය කිරීම හැර ලිනක්ස් සමග වෙන කිසිම ගනුදෙනුවක් ඇයට නොමැත.
පලි : රනාගේ නංගී වෘත්තියෙන් Graphic Designer කෙනෙකි. එමනිසා ඇය ඇඩෝබි කාරයා සහ බිල්ව දේවත්වයෙන් අදහයි. හැබැයි පාවිච්චිකරන්නේ හොරකොපිය.

රනාගේ පුංචි අම්මා

මැයට කොම්පියුටර් ඉගැන්වීමේ ගෞරවය හිමිවන්නේ රනාටය. ඇයට කොම්පියුටරයේ "අ" යනු "ආ" යනු කියාදෙන ලද්දේ ලිනක්ස් මත දීය. එබැවින් ඇය දන්නේ ලිනක්ස්ම පමණි. තමාගේ එදිනෙදා කොම්පියුටර් කටයුතු (තුරුදැලෙන් පත්තර බැලීම, ලිපි ලිවීම, OpenOffice Calc සමග කරනා ගනුදෙනු)සෑම එකක්ම වාගේ ඇය කරන්නේ ලිනක්ස්මත සිට වීම රනාට හෙන සතුටකි. රනා නිසා ලිනක්ස්හි රස බැලීමට පැමිණි අතේ ඇඟිලි ගාණට වඩා 1ක් වැඩි පිරිස අතරෙන් මැය ඉඳිරියෙන්ම සිටී.

වැදගත්...

රනාගේ මව සහ පියා මොනම හේතුවක් නිසාවත් ගෙදර ඇති කිසිම කොම්පියුටරයකට අත නොතබයි. එමනිසා ඔවුන්ට ජනෙල් හෝ ලිනක්ස් කියා ඒ හැටි වෙනසක් නොමැත.

ඔබෙන් ඉල්ලන්නේ....

ඔබ ලිනක්ස් රස විඳින්නෙක්නම් ඔබේ ගෙදර අයටත් එහි රස බැලීමේ අවස්ථාව අදම ලබාදෙන්න. මුලදී ටික ටික රස බලා අවසානයේදී ඔවුන්ද පූර්ණ ලිනක්ස් ලෝලීන් බවට පත්වනු ඇත.
ඔබ තවමත් ලිනක්ස් රස බලා නැත්නම් අදම රස බලන්න. බොහෝවිට ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ.

රනාගේ ගෙදර මිනිසුන්ගේ ලිනක්ස් පාවිච්චිය ඔන්න ඔය ආකාර වේ. සරදියෙල්ට පිළිතුරක් ලැබුණායයි සිතමි.

ජය වේවා...

5 comments:

  1. ""Transmission BitTorrent Client" 1 තරම් හොද ටොරන්ට් software 1ක් තවම ඔහුට හමුවී නොමැත"

    vuze දාලා දෙන්න බලන්න මලයට

    ReplyDelete
  2. @änthräX
    එළ.
    කියන්නම්...

    ජය වේවා...

    ReplyDelete
  3. මම ජනෙල් එක්ක හන්තාන දාලා තියෙන්නේ.ජනේලෙට නගින්ඩ කාටවත් බැ.පාස් වර්ඩ් එකක් දාලා තියනවා.කාටවත් දෙන් නැ.යාළුවො එහෙම බැන බැන ලීනක්ස් උඩ කැරකිලා දාහන්කො *** වීන්ඩොස් කියලා බනිනවා.

    දුවට ඉතින් ලීනක්ස් තමයි.ජනෙල් වලත් යන්න එයාට පුළුවන් මම දැන් පාස්වර්ඩ් එකක් දාලා තියන නිසා යන්න බැ.

    එයාට ගැටලුවක් නැ.ලිනක්ස් වලට කැමතියි.මම කැමතියි එයා ලිනක්ස් ගැන පොරක් වෙනවට.මට එයාට මග පෙන්නන්ඩ තරම් දැනුමක් නැතිඑක ගැන කනගාටුයි.

    ඉස්සර අපේ උන්දැ කොම්පිතර දිහා බැලුවේ යකෙක් දිහා බලනවා වගේ. දෝණියැන්දගේ හන්තාන පාඩම් මාලාවට සම්බන්දවෙලා දැන් ටිකක් දැනුවත් වෙලා දැන් සමහරක් වේලාවට අටම්පහුර බලනවා.සින්දු අහනවා.ගේම් එහෙමත් ගහනවා.

    මම ලැප් දෙකක් ඇතූලත්ව කොම්පීතර් 6කට හන්තාන දාලා දුන්නා. හන්තාන ඩීවීඩි 46ක් බෙදලා දීලා තියනවා.
    රෝලන්ඩ් කියන යාළුවා සම්පුර්නයෙන්ම ලීනක්ස් වලට බැස්සා.
    තව හතර පස් දෙනෙක් ඉදහිට පාවිච්චි කරනවා.
    කාට හරි පෙන්නපුවහම ෂා එළනේ කියනවා
    එලනං ඇයි යකූනේ පාවිච්චි නොකරන්නේ

    ReplyDelete